සතුටු කුමාරයාගේ මල් වත්ත



"ඔයා දන්නවද මේ මල් කතා කරනවා.. රෑට කතා කරන්නේ.. සමනල්ලු නැතිවෙලාවට. වැඩිපුරම කරන්නේ සමනල්ලු ගැන කතා වෙන එක.. එක්කෝ එක සමනලයෙක්ට බනිවී.. නැත්තම් තව සමනලයෙක්ගේ ඇද කියාවී. හරියට ගෑනු උදවිය වගේ ඕපදූප තමා බාගෙට බාගයක් කතා කරන්නේ..නැත්තම් සමහර වෙලාවට එක එක්කෙනා ගැන එයාලා සංසන්දනය කරනවා... "

සුරංගනාවී එහෙම කියන මල් වත්තේ වැඩ කරන කොලු ගැටයා දිහා බැලුවේ හරිම අවිනිශ්චිතතාවකින්... මල් ගහක් යටට වෙලා රහසින් අඬ අඬ ඉඳපු සුරංගනාවී හිතුවේ නැහැ තමාව කවුරුහරි හොයා ගනිවී කියලා...

"ඔයාට විශ්වාස නෑ නේද... එහෙනම් රෑට මෙහෙ ඉන්න. හැබැයි සද්ද නොකර ඉන්න ඕනා.. මං නම් ඉන්නේ අර පේන මඩුවේ ඇතුලේ.. "

කොලුවා අත දික් කර පෙන්නුවේ පුංචි මඩුවක්.. ඒක තිබ්බේ මල් ගහක් උඩ.. හරියටම කියනවා නම් ඇහැල මල් ගහ උඩ මැද හරියේ අත්තක.. සුරංගනාවි කවදාවත් දැකලා තිබුනේ නැහැ ඒ මඩුව හැමදාම මල් වත්තට ආවා වුණත්... ඒක තිබ්බේ මල් වලින් වැහිලා...

" ඔයා කොහොමද මං මෙතන ඉන්නවා කියලා දැන ගත්තේ"

" ඔයා අඬන සද්දෙන්.."

සුරංගනාවි එක පාර පියඹලා ඈතට ගියේ තමාට ලැජ්ජාවක් ඇති වුණ නිසා.. කවුරුත් දැන ගන්නවට සුරංගනාවී කැමති වුණේ නැහැ තමන් අඬන බව... කොලුවා බලන් හිටියේ සුරංගනාවී පියඹලා යන දිහා.. එයා හිතුවේ නැහැ සුරංගනාවී එහෙම එකපාර පියඹලා යාවි කියලා... ආයේ ආපසු හැරුණු කොලුවා ගියේ තමන් කර කර හිටපු කාර්‍ය්ය කරන්න... ඇහැල ගස් පැත්තේ කොලුවා අලුතෙන් මල් පාත්ති වගයක් සකස් කර කර හිටියේ.. උදැල්ලෙන් කොටලා පස් බුරුල් කරලා සකස් කරපු බිම හෙට දිහා වෙද්දි මල් පැල ටික ඉන්දනවා කියලා ආපසු ගියේ තමන්ගේ මඩුවට යන්න ඉස්සෙල්ලා පිරිසිඳු වෙන්න...

ගංගාවට ගිහින් නාලා පිරිසිඳු වුණ කොලුවා පලතුරු ටිකක් කඩන්න කියලා ගියේ පලතුරු ගස් පැත්තට. ඒ වෙද්දි සුරංගනාවී ආයෙත් ඇවිත් පලතුරු කඩමින් හිටියේ. සමහට දවසට ඒ ලස්සන සුරංගනාවී එක්ක තව මිතුරු සුරංගනාවන් කිහිප දෙනෙක් හිටියත් අද ඉන්නේ ඇය තනියම. තමාව දැක නැවත සුරංගනාවී යාවි කියන බයෙන් ආපසු හැරුණ කොලුවාට අඩි කිහිපයයි යන්න හම්බුනේ... එක පාර පියාඹගෙන ආපු සුරංගනාවී කොලුවා ඉදිරියෙන් හිට ගත්තේ පලතුරු කූඩයත් එක්ක..

" මේ ටික ඔයාට..." එහෙම කියලා සුරංගනාවී ආයෙත් ඉගිලුනේ පලතුරු කූඩය කොලුවගේ ඉදිරියෙන් තියලා...

කූඩයත් අරන් තමන්ගේ ගස උඩ පැල්පතට කොලුවා ගියේ අද සිදුවන පුදුම සිදුවීම් සිහි ගන්වමින්...

පැල්පතට ආපු කොලුවට හුඟක් වෙලා ඉන්න වුණේ නැහැ.. ඔහුට නින්ද ගිහින් තිබුනේ... ඒ වෙනකොට කලුවර වැටීගෙන එමින් තිබුනේ... පුංචි පුංචි තාරකා එක දෙක අහසේ දිලිසෙන්න අරන්... උදේ පිපිච්ච මල් වලටත් බාගෙට නින්දට ගිහින්.. ඔහුගේ මුහුණේ හිනාවක් ඇදුනේ නින්දෙන්ම.. ඒ පුංචි සුරංගනාවී ගැන හීනයක් දකින්න පටන් ගත්ත නිසා... සුරංගනාවී තමන්ගේ අතින් අල්ලන් මල් වත්තේ ඇවිදිමින් හිටියේ.. ඔහු සුරංගනාවිට ලස්සන මල් කඩලා දුන්නා. ඒවා තමන්ගේ කෙස්‍ රැලි අතර රඳව ගනිමින් සුරංගනාවීත් ඉදිරියට ගමන් කලා... ඔවුන් හිටියේ සතුටින් හිනහෙමින්.. සවස දුටු දුක්බර මුහුණ සුරංගනාවීගේ මුහුණෙන් දකින්න තිබුනේවත් නැහැ.. 

එකපාර ඔහු ඇසුනේ කවුරුහෝ දොරට තට්ටු කරන හඬ.. ඒ නිසා ඔහුගේ හීනය අතරමැද නවතා ඔහුට ඇහැරෙන්න වුණා.. කවදාවත් කවුරුත් ආපු නැති තමන්ගේ නිවසට කවුද ආවේ කියලා බලන්න ඔහු දොර අසලට ගියේ පුදුමයෙන්...


දොරෙන් එහා පැත්තේ හිටියේ හවස තමන්ව පුදුම කල, මල් ගස යට රහසින් හඬමින් හිටි,ඒ වගේම පොඩ්ඩකට පෙර තමන් හීනෙන් දුටු ඒ සුරංගනාවී...

" මං එන්නද ඇතුලට..."

"එන්න..."

පුංචි පැල්පතේ කොනකට වෙන්න පුලුන් අතුරපු යහනාවක් තිබුණා.. ගහක කොටයක් වාඩි වෙන්න පුලුවන් විදිය යහනාවට ටිකක් එහායින් තිබුනා.. එතන පිටිපස්සේ මේසයක් වගේ කොටසක් උඩ පලතුරු කූඩය තියලා තිබුණා.. සුරංගනාවීට හිතුනේ ඒ කුඩා ගෙය තමන්ගේ ලෝකේ තියන දේවල් වලට වඩා ලස්සන හුරුබුහුටි තැනක් කියලා...

"මං ආවේ තනියෙම ඉන්න බැරි නිසා.. මල් කතා කරනවා අහන්න ආවේ මම..."

"එහෙනම් අපිට කතා නොකර ඉන්න වේවී.."

"හරි.. ඒත් සුරංගනාවී රෑ ආහාරය අරන්ද... ඔයා කඩපු පලතුරු තියෙනවා.."

"ඒවා ඔයට කැඩුවේ මම.."

"කමක් නැහැ ඔයා කන්න.."

"හෙමින් හෙමින් පලතුරු කූඩය ළඟට ගිය සුරංගනාවී ඇපල් ගෙඩියක් කන්න පටන් ගත්තේ කොටය උඩින් වාඩිවෙමින්. ඇගේ දිග රෝස පැහැති ගවුම දොර ළඟත් වඩා දිගට තිබ්බා.. කොලුවා එය ඇතුලට අරන් දොර වහලා දැම්මා..

"ඇයි ඔයා ඇඬුවේ.."

"පොඩි ප්‍රශ්නයක්.." සුරංගනාවී ඒ පාර පිලිතුරු දුන්නේ හිනාවෙමින්.. සවස අඬපු වගක් තිබුණේ වත් නැහැ.

" මං හිතුවේ නැහැ ඔයාලා දුක කියන දේ දන්නවා කියලා.. මං හිතන් ඉන්නේ ඔයාලා සතුටින් ඉන්නවා කියලා..." කොලුවා උත්තර දුන්නේ සුරංගනාවී අසලින් වාඩි වෙන ගමන්..
"එහෙම නැහැ.. මං හිතන්නේ මට වඩා ඔයා සතුටින් ඉන්නේ.."

"සුරංගනාවි ඇයි එහෙම කියන්නේ.."

"මං දැකලා නැහැ කවදාවත් ඔයා දුකින් ඉන්නවා...මං දකින හැමදාම ඔයා මල් පාත්ති සකස් කරනවා. පලතුරු පැල හිටවනවා.. මල් පැල වලට වතුර දානවා... ඒ හැමදේම කරන්නේ සතුටින්.. හිනා වෙවි.."

"එහෙම නැහැ."

"එහෙම තමයි... මං මේ මල් වත්තට එන්නේ ඔයාගේ සතුට බලන්න... මේ මල් වත්තට අපි කියන නමත් සතුටු කුමාරයගේ මල් වත්ත කියලා..."

කොලුවා නොදන්න දෙයක් ඒක.. කොලුවට දැනුනේ පුදුමයක්...

"ඉස්සර මාත් හිටියේ දුකින්. තනිකම නිසා.. මට යාලුවෙක් නැහැ.. මං මේ මල් වත්තේ හිර වෙලා... මං ඉස්සරම ඈතට ඈතට ගියා මං වගේ කෙනෙක් හොයාගන්න.. ඒත් කොච්චර දුර ගියත් වැඩක් නැහැ... හැම පැත්තෙම තියෙන්නේ ගංගාව.. මේක දුපතක්නේ... පස්සේ මං වැඩ කරන්න ගත්තා.. මල් පැල හිටෙව්වා.  පලතුරු පැල හිටෙව්වා. වල් පැලෑටි ගැලේව්වා.. මං ඒ වැඩට ආස වුණා.. මට දුක අමතක වුණා..  මං මල් පිපෙනවා දැකලා සතුටු වුණා.. මට කන්න රස පලතුරු හම්බ වුණා. ඉන්න මං මේ පොඩි ගෙදර හදා ගත්තා.."

" සුරංගනාවී ඇයි දුකින් ඉන්නේ..."

"එහෙම තමා දුක හැමෝටම දැනෙනවා.. මිනිස්සුන්ට සුරංගනාවන්ට කියලා වෙනසක් නැහැ..."

එදා ඔවුන්ට මල් කතා කරන හඬ අහන්න වුණේ නැහැ.. මොකද කතාවෙන් කතාවෙන් දෙන්නටම නින්ද ගිහින් තිබුණා..

නොනිමි ප්‍රේමය

සුසුම වුව බිඳී විසිරී හඬ මවන කටුක නිහඬ යම,, නුඹටය..... දිගු රැයක පවා නොසැලෙන ප්‍රේමයටය.. තරු වර්ෂ ගණන් නොහිඳෙන කාලයට. මේ වැසි අක...