බන්ධන 03

***************************************



" ළමයෙක් හැදෙනකොට ඕවා හරි යැයි අපේ,"
"නිරංජන්ට ළමයි නැද්ද කොහෙද ඉවෝන්.." මං එහෙම කිව්වා නෙවේ.. කියවුනා... ඒත් ඒක නොකියවිය යුතු දෙයක් කියලා හිතෙන කොට ඉවෝන්ගේ කට ඇරිලා තිවුනේ...
"ඔයාට විශ්වාසද අපේ..?"
මට අවිශ්වාසයක් තිබුනේ නැහැ කොහොමත්... ළමයි නැති වැරැද්දත් මට පැටවෙමින් තිබුනේ මාස කිහිපයකම ඉඳලා... කොයි තරම් ආදරෙන් සැලකුවත් නිරංජන් එහෙන් මෙහෙන් මට හින්ට් ගහන එක පටන් අරං තිබ්බේ දරුවෝ ගැන කියලා..
"අපේ අක්කට දැන් තුන්වෙනි ළමයත් ඉන්නවා.…'' 
නිරංජන් කියන ඒවා මං හිටියේ ඇහෙන් නැතුව වගේ..
මට ඉවස ගන්නම බැරි තැන මං හොරෙන් වී.ඕ.ජී. කෙනෙක් හම්බෙන්න ගියා ඇත්තටම... මගේ අඩුපාඩු තියේද බලන්න... දොස්තර මගේ පරීක්ෂණ කිහිපයක් කරලා කිව්වේ,. "ඔයාගේ වරදක් නෑ ළමයෝ, ළමයි හදන්න ශක්තිය තියනවා.. සමහර විට හස්බන්ඩ් සක්සස් නැතුව ඇති.." කියලා...
"හස්බන්ඩ් එක්කම ආවා නම් තමා හොඳ ඊළඟ පාර එනකොට.. අපිට ඉක්මනට ප්‍රශ්නයක් තියේ නම් ට්‍රීට්මන්ට් වලට යන්න පුලුවන්" කියලා දොස්තර ආයේ, ආයේත් කියද්දී මං නිරුත්තර වුනා..
දොස්තර කිව්ව විදියට මං දවස් බලලා එයා එක්ක නිදා ගත්තා.. මාස හතරක් පහක් ගත වුනත් වෙනසක් තිබුනේ නෑ...
ඉවෝන් ඉස්සරහා මට එහෙම කියවුනේ නිරංජන්ට ළමයි නැති බව හිත මොර ගගා තිබුන නිසා.. 
"වඳ භාවයෙන් 70%කට ආසන්න හේතු තියෙන්නෙ පිරිමින්ගේ වුනාට වඳ භාවයේ වැරැද්ද පැටවෙන්නේ ගැහැනියට.." මං එහෙම කිව්වේ ඉවෝන් මට ළමයි ගැන කියලා හින්ට් එකක් ගැහුවා කියලා හිතුන නිසත්, පිරිමි හුඟ දෙනෙක්ට මේ තත්වය තියනවා කියලා අඟවන්නත් එක්ක...
මං ඉවෝන්ට මුකුත් කියන්න නොතියම ලොග් අවුට් වුනේ පොඩ්ඩක් හිත හදා ගන්න..

**************************************

අඹගෙඩි රාජ්‍යය 05


<<< කලින් කොටසට

**************************************



කුමාරයගේ පිපාසය සංසිඳවන්න ඔවුන් ළඟ ජලය නොතිබුන නිසා යැංසි ගඟට ගොස් කවුරු හරි ජලය රැගෙන එන්නට සිදුවිනා.. ඒත් කවුරුත් ඉදිරිපත් වුනේ නැහැ යැංසි ගඟට යන්න.. අඹගෙඩි රාජ්‍යයේ ප්‍රධාන අමාත්‍යවරයා කිව්ව විදියට යැංසි ගඟ පෙනෙන විදියට ඉතාම නිසල ගඟක් වුවත් එය එකෙනෙහි රකුසු වී බිලි ගන්නට හැකි බව සියල්ලටම සිතුනා. 
එබැවින් කිසිවෙක් එයට බසින්නට සූදානම් වුනේ නැහැ.
නමුත් කුමාරයා තමාට පිපාස බව නැවත වරක් සැල කර සිටියා. කුමාරයා තම අතවැසියෙකුට කතා කර වතුර රැගෙන එන ලෙස අණ කලා. 
එබැවින් අතවැසියා බියෙන් බියෙන් ජලය රැගෙන එන්න යැංසි ගඟ කරා පියවර තැබුවා...

ඇත්තටම යැංසි ගඟේ රකුසෙක් හිටියා... රකුසා අවුරුදු ගණනක් තිස්සේ යැංසි ගඟේ රජ කරන් උන්නේ. පිටස්තරයින් ගඟට අවසරයකින් තොරව පැමිණෙනවා නම් රකුසාගේ කුස ගින්න වර්ධනය වුනා.. එහෙම්මම රකුසා ඒ පුද්ගලයාව ආහාරට ගත්තා...
ඒ විදියටම සුවිස් කුමාරයාගේ අතවැසියට සිද්ධ වුනේ යැංසි ගඟේ රකුසට බිලි වෙන්න...
දැන් සුවිස් කුමාරයා නම් ඉන්නේ හොඳටම බඩගින්නේ... ඒ වගේම බය වෙලා.. සිද්ධ වෙන්න තමන් කිසිම විදියකට නොහිතපු දේවල්.. තමන්ගේ සේනාවෙත් එක්කෙනා දෙන්නා අඩු වෙනවා.. ආහාර හිඟකමත් එන්න එන්න වැඩි වෙනවා.. කොහොම හරි යකඩ සපත්තු හත ගෙවුනට පස්සේ සිනෙක්සා කුමරියගේ මාලිගාවට ආවා. ඒක ඉතාමත් මනස්කාන්ත මාලිගාවක්... මාලිගාවේ තියන මල් වත්ත එක එක මල් වලින් පිරිලා.. ඒ වගේම සමනල්ලු, පිරිලා මල්පැනි බොන්න...
මාලිගාවට ඇතුල් වුනාට පස්සේ සුවිස් කුමාරයා ඇතුලු පිරිසට මුලින්ම ලැබුනේ රසවත් ආහාර වේලක්.. ඔවුන් ආහාර වේල අරන් නිදා ගන්න ගියා, ඇයි හුඟක් දුර ඇවිදලා ඇවිදලා මහන්සිනේ...
සුවිස් කුමාරයා නොදන්නවා වුනාට සුවිස් කුමාරයා ඇතුලු පිරිස දින හතක් එක දිගට නිදාගෙන තිබුනා.. ඉරවල් හතක් අහසේ පායලා බැහැලා ගිහින් තිබුනා. අට වෙනි ඉර පායපු දවසෙ තමයි සුවිස් කුමාරයා ඇතුලු පිරිස අවදි වුනේ.. එදාම සිනෙක්සා කුමාරිකාවත් තමන්ගේ මාලිගයට සැපත් වුනා...

**********************
To be continue >>>

බන්ධන 02


01 කොටස


******************************************


"තොල් සායම් අවැසි නැත.
රතු වන තුරු මම ඉඹින්නම්"

කියලා ඉවෝන් දවසක් මගේ කවියකට දාපු පිලිතුරකට මාව හිරි වැටිලා ගියා.. නිරංජන් නම් කවදාවත් ඒ වගේ රොමැන්ටික් කතා කිව්වේ නැහැ..
උදේට තේක හදලා, බත් උයලා, එයාගේ  සූට් එක මැදලා දුන්නම මං ගෙදර වැඩකාරි වගේ, තේක බීලා, බත් එකත් අරං ඇඳුමත් ඇඳන් හාදුවක්වත් නොදී යනවා... කතා කරන්න දෙයක් තිබ්බොත් එයාට, තේකේ සීනි මදි පාඩුවක් හරි , ඇඳුමේ රැල්ලක් ඉතිරි වෙච්චි එකක් ගැනහරි තමා..

මං ඒක ඉවෝන්ට කිව්වම එයා කිව්වේ එයා නම් හැමදාම කෙල්ලගේ තොල් ඉඹලා යන්නේ කියලා... පරක්කු නැත්තම්, කෙල්ල රතුවෙනකම් ඉඹිනවලු.. මට ඉරිසියා හිතුනා ඒක කිව්වම නම්.. මට එහෙම පෙම්බරෙක් නෑ කියලා...
ඒ වගේ ආදරණීය දේවල් වලට මාත් ආසයි කියලා නිරංජන්ට කියන්න වුවමනා වුනත් එහෙම කියන්න තරම් සම්බන්ධතාවක් අපි අතර ඇත්තටම තිබුනේ නැහැ.. 
මට වුවමනා වුනේ ඒ වගේ නුවුනත් තරමක් හරි ළඟ සම්බන්ධතාවක් නිරංජන් එක්ක ඇති කර ගන්න...

ඒත් ගලන ගඟක් නවත්ත ගන්න බැහැ වගේ නිරංජන්වත් නවත්තන්න බැහැ.. ඒත් මං කල්පනා කලා වැවක්වත් හදන්න.. ටික දවසකට හරි නවත්ත ගන්න...
මං කලේ එයා වෙනුවෙන් වැඩිපුර සැලකිල්ලක් දක්වපු එක... ඒකට මට කරන්න වුනේ කවි කතා ලියන එක නවත්තලා, එයා ආස කෑම හදන එක. මං කන්නේවත් නැති මස් වර්ග මට එයා වෙනුවෙන් හදන්න වුනා.. මස් මාළු නොකන මම වෙජි වුනත් නිරංජන් වෙනුවෙන් ඒ අහිංසක සත්තු මගේ අතින්ම කපලා ලිපේ තියා පුච්චලා දෙන්න වුනා... කෑම මේසේ චිකන් තියනවා දැකලා නිරංජන්ගේ මූහුනේ ඇඳුනේ මං කවදාවත් නොදැකපු හිනාවක්. ඇත්තටම ප්‍රොපොසල් එක අරං අපේ මහගෙදර ආපු දවසේ දැක්කට පස්සේ මං නිරංජන්ගේ හිනාව දැක්කේ එදා, චිකන් නිසා...
චිකන්, බ්‍රීෆ් එක්ක නිරංජන්ගේ ආදරේ වැඩි වෙන්න ගත්තා.. ඒත් මගේ හිත නම් කුණුවෙන්න ගත්තේ... සමහර දවසට පාළුවට ඉවෝන් එක්ක චැට් කරන කොට මේ වෙනස කියනවා මං.. එයා නම් හිනා වුනේ බඩ අල්ලන් කියලා මට රහසක් වුනේ නෑ.. ඒත් මං හුඟක් දේවල් ඉවෝන්ට කියන්න ඇබ්බැහි වෙලා ඉඳියේ...

******************************************
To be continue >>>

බන්ධන 01



මං කුරුටු ගාන පුංචි කවි වල ඔහු නමට ප්‍රේමය වැගිරුනත් නිරංජන් නෙවේ කවි දිහා ඇහැක් ඇරලා බැලුවේ... නිරංජන් නම් කිව්වේ ඒ කවි වල තියෙන්නෙ ඉවසිය නොහැකි කම්මැලිකම කියලා. ඒත් හරිම වචනය ඉරිසියාව කියලා මගේ හිත මට හැමවෙලේම මිමිනුවා.. ඉතින් කවි වල ප්‍රේමය පිරි ඉතිරුනත්, හදවතේ ඔහු නමට ප්‍රේමය දියාරුවෙලා ගියා. දැන් ගෙවෙන සමය ඒ මහරු ප්‍රේමය වියැකෙන්න ඔන්න මෙන්න අවස්ථාව...
මට වුවමනා කලේ පුංචි කාලේ ඉඳලම කවි රසවිඳින ප්‍රේමණීය හිතක්.. කෙටි කතා කියවලා "හරිම ලස්සනයි" කියලා ලෝභ නොවී කියන හදවතක්...
කවි හද ගැස්ම විනිවිදින තරමට ලියන්න උත්සුක වුනේ ඒ නිසා..
කෙටි කතා වුනත් අමුතුම විදියට බඳින්න එක එක දහන් ගැට දැම්මේ ඒක නිසා...
කොයි තරම් කවි කතා ලිව්වද ප්‍රේමය ගැන.. සමහරු උමතු වෙලා කියෙව්වේ.. ඒ වුනත් නිරංජන් නෙවේ ඒ දිහා ඇහැක් ඇරලා බැලුවේ.. ඒක ඉරිසියාව මං හොඳටම දැනන් හිටියා.. තමන්ගේ බිරිඳගේ දක්ෂතාව අගය කරන්න බැරි පිරිමියෙක්.. මට දැනෙන්නේ අපෘෂ්ඨවංශිකයෙක් විදියට....
මං මුලින්ම සැඟවිලා ලියන බ්ලොග්කරිනියක් වෙන්න හිතුවේ ඒ නිසා...මගේ කවි, කථා රසවිඳින සහෘද පිරිසක් හොයාගන්න... බ්ලොග් එක නැගගෙන එනකොට මේ අපේක්ෂා කවුද කියන්න හුඟක් අය දැඟලුවා.. මං කල එලි බැස්සේ මටත් හැංගිලා ඉන්න බැරි නිසා... ඉන් පස්සේ මං මුහුණු පොතෙත් ලියන්න ගත්තා...
හිත් හුඟක් මගේ වටේ එකතු වෙන්න පටන් අරන් තිවුනේ..මං මේ හැම වීරකමක්ම කරලා හෙව්වේ නිරංජන්ගේ හිත වුනාට ඒ හුඟක් හිත් ගොඩට නිරංජන් කවදාවත් අහුවුනේ නෑ. මුහුණු පොතට ගිහින් මගේ කවි දැක්කත් නිරංජන් නොදැක්කා ගානට තමා මුලින් උන්නේ...
පස්සේ පස්සේ ගෙදර අඩු පාඩු දකින ගාන කවි දකින ගානට අනුලෝමයේ වර්ගයට සමානුපාතික වුනා....
නිරංජන්ට හිත් තලන්න පුලුවන් උනට හිත් නිවන්න දැනුමක් තිබුනේ නැහැ... කවිකාරයන්ට තිබ්බේ හිත් සනහාලන හිත් වගේම ඒවලින් උපදින සංවේදි අදහස්...
ලියන අයගේ හිත් සමීපයී...
ඔහොම තමා මට ඉවෝන් ව හම්බුනේ....
එයා මුලින්ම මගේ කවි වලට ලස්සනයි කියලා තමයි අදහස් දැම්මේ.. පස්සේ පස්සේ එයත් මගේ කවි වලට පිලිතුරු කවි ලියන්න ගත්තා..
***************************************
To be continue >>>>>

අමෘතය


රපුන්සෙල් පමණක් නොවේ
සිරව හුන්නේ එක්ටැම්ගෙයක
සුවිසල් උසක තිබුනත්
ප්‍රේමය නම් සොයා යන්නක්මය...
උන්මාද චිත්‍රා වුව මැව්ව ස්වප්නය
ප්‍රේමයෙන් උමතු වන්නය..
දිගු අක්බඹරු කෙහෙරැලිද නොව..
උන්මාද වන රුවකුඳු නොව...
සිහිනයක ඇත්නම් නොමියෙන
පතමි  ප්‍රේමයේ අමෘතය....

අඹගෙඩි රාජ්‍යය 04

*****************************************

ඒ අතර සීනිස් රජුගේ ප්‍රධාන අමාත්‍ය වරයා සුවිස් කුමාරය ඇතුලු පිරිසව යකඩ සපත්තු හතක් ගෙවෙනකම් සිනෙක්සා කුමරියගේ ගිම්හාන මාලිගාවට රැගෙන ගියා.. ඒ යන අතර මඟ වින්සි වනාන්තරය වගේම යැංසි ගඟත් පහු කරන් යන්න වුනා... වින්සි වනාන්තරය ඉතාම අඳුරු වගේම භයානක වනාන්තරයක. මොකද එහි මාංශ භක්ෂක ශාක හුඟක් තිබුනා.. ඒ ශාක වලට හිරිහැර කරන ඕනම කෙනෙක් එක් ක්ෂණයකින් උස්සලා තමන්ගේ මුඛයට දාගන්න තරම් ඒ ශාක වේගවත් වගේම භයානකයි.. ඒ බව ප්‍රධාන අමාත්‍යවරයා සුවිස් කුමාරයා ඇතුළු පිරිසට මුලින්ම පැවසුවා. එම නිසා වනයේ කිසිම ශාකයකට අත තියන්නවත් එපා කියලා. 
ඒ වගේම යැංසි ගඟත් එකපාර රළු වෙන්න පුලුවන් නිසා ගඟට හිරිහැර කරන්නත් එපා කියලා අමාත්‍ය කිව්වා..
නමුත් සුවිස් කුමාරයා ඒ බව විශ්වාස කලේ නෑ..

ඒ වගේම වින්සි වනාන්තරේ හුඟක් මී අඹ තිබුනා. සුවිස් කුමාරයට උවමනා වුනේ අඹ කන්න... රෝමයේ ඉන්නකොට කුමාරයා කෑවෙම මී අඹ. 
ඇත්තටම ඒ වෙලාවේ සුවිස් කුමාරයා හිටියේ හුඟක් මහන්සියෙන්. ඇයි එක දිගට යකඩ සපත්තු හතකුත් ගෙවෙනකම් ඇවිදලා තිබුනේ. ඉතින් සුවිස් කුමාරයා තමන්ගේ අත්වැසියෙකුට කිව්වා තමාගේ කුස ගින්න නිවන්න අඹ අවශ්‍යයි කියලා.
ඇත්තටම කිසි කෙනෙක් එයට කැමති නුවුනත්, කුමාරයට තිබ්බ බය නිසා කුමක් කරන්නදැයි සේනාව සිතන්නට වුනා... 
නැවත වතාවක් කුමාරයා තමන්ගේ සේනාවේ  පුද්ගලයකුට නියම කලා අඹ කඩන ලෙස... 
එවිට කුමාරයාට තියන බිය නිසාම ඔහු අඹ ගසකට නගින්න පලවෙනි කකුල තිබ්බා. දෙවනි කකුල තියනකොටම ගස දෙපැත්තට සෙලවෙන්න ගත්තා. නැවත වරක් ඊළඟ අඩිය තියනකොටම ඔහුව ගසේ අත්තක් ඇවිත් උඩට ඉස්සුවා.. ඔහු බයෙන් විලාප තිබ්බා. ඉන්පස්සේ ගහ කුමාරයගේ අතවැසියව ආහාරයට ගත්තා..

නැවතත් කුමාරයා ඇතුලු සේනාව බියෙන් සලිතව ගමන්කරන්න වුනා..   ඒත් කුමාරයාගේ මී අඹ කෑමේ ආසාව නම් හිඳුනේ නැහැ... ඔහොම යනකොට යැංසි ගඟ හමු වුනා.. එතකොටම කුමාරයාට මහ පිපාසයක් ඇති වුනා...
*************************************


මඟ හැරුනු ප්‍රේමය




ඔබ මා මඟ හැර ගිය
මාවත කෙලවර මඟහැරුනු
මතක මල් පොකුරු
පෙති හලා හඬන'යුරු
මම බලා උනිමි..

ඔබ හුඟක් ඈතින්
මහත් වේගෙකින් යන
අසෙරුවෙකු වී
පියාපත් සිඳි කිරිල්ලියක හා
අහම්බෙන් යනෙනු දුටිමි..

මා හා ඇසිල්ලක වේගයෙන්
සිනා වු නුඹ
ආයේ රළු බැල්මක් හෙලමින්
ගමනයෙහි අවතීර්ණ විය..


රිද්ම



පා සළඹට වැයෙන තාන්ඩව තාලය..
වයයි ම හද තත්..
ඒ ඔබදැයි..
නොපෙනෙන දුරක හිඳියත්..
සවන් යොමා කියවමි..
ඔබේ සිනා රැලිදැයි.
ඇත්තටම ඔබ යැයි හිත කියයි...
නොවසනු අන්සිතක
ඔය ලපලු හුරතල් දිගැස්
නොවටලනු
අහිංසක නැති සිත් මත
නොවෙලෙනු.
අන් සිතක මෙන් ගතකද ..
මා තවම සොයමි..
කියවමි..
මගේම ඔබව..


අවසානය...




මං ගියේ සියල්ලම අවසන් වෙච්ච නිසා නිදා ගන්න.. නිදා ගන්න කලින් සිගරට් එකක් ගහන්න තිබ්බ පුරුද්ද නම් තාම අහක් කරගන්න බැරුව සිගරට් එකක් පත්තු කර ගත්තා...මගේ සයනේ හරිබරි ගැහිලා වාඩි උනේ පලවෙනි දුම් පාර අදින්න.. ඒත් ඒකටත් අපලයි වගේ හුනෙක් "චුක් චුක්" ගාලා කෑගැහුවා.. මං අකමැතිම සත්තු ජාතිය තමයි හූනෝ.
මට මතක් වුනා ඒ ඇස් දෙක.. අන්තිම වතාවට දකිද්දි කඳුලු පිරිලා තිබුනා.. තාමත් ඒ කඳුලු එහෙම්මම තියෙනවද කියලා දැන ගන්න වුවමනා වුනත් මට ඒකට ශක්තියක් තිබ්බෙ නැහැ. මගේ හිත "පව්" කියලා කිව්වත් මං ඒක අමතක කරලා සිගරට් එක උරන්න ගත්තා.. මුල් දුම් රැල්ල ගියේ උඩට. ඒකට පස්සේ දෙවනි එක.. ඒකටත් පස්සේ තුන් වෙනි එක. ඔහොම සිගරට් එක ඉවර වෙනකම් දුම් රැලි අහසට නැග්ගා. එකක් පස්සේ එකක්.. ඒත් සිවිලම තිබ්බ නිසා අහසට යන්න බැරි වුනා.. බොහොම අමාරුවෙන් ජනේලේ උඩ හංස පූට්ටුව අස්සේ තියන සිදුරු වලින් රිංගලා ගියා.. ඉන් පස්සේ මං වතුර බෝතලයක්ම හිස් කරලා ඇස් පියා ගත්තා..
දිය සුලි හතක් කැරකෙමින් තිබුනා. ඒක සුලියක හිටියේ ඇය.. ඇගේ මුහුණ විකෘති වෙලා තිබුනේ... ඒත් මං හඳුන ගත්තා ඒ ඇයමයි කියලා. මට ඇගේ හැම අංශුවක්ම පුරුදුයි.. ඒ ඇය කියලා හඳුන් ගන්න වැඩි වෙලා ගියෙ නෑ ඒ නිසා... මං හිටියේ ඇය අහු වෙලා තිබුන සුලියට වම් පැත්තේ සුලියේ... සුලියට අහු වෙලා උනත් මං කලේ ඇය දිහා බලන් උන්නු එක.මගෙ හිත දෙකකට බෙදිලා තිබුනේ. එක කොටසක් කිව්වේ කවදාවත් ඇය දිහා බලන්න එපා කියල. ඒත් අනික් හිතින් ඇය දිහා බලන්න ඕන වුනා. අන්තිමට ජය ගත්තෙ හිතේ දෙවනි කොටස. මට මගේ හිත අවනත කරගන්න බැරි වෙලා ඈ දිහාම බලන් හිටියා..
ටික වෙලාවකින් මං සුලියට අහු වෙලා සිහි නැති උනා. ඇත්තටම මට මතක නෑ මොකද වුනේ කියලා..

අන්තිමට මං නැගිටින කොට හිටියේ  ඇගේ උකුලේ ඔලුව තියන්.. ඇගේ හිස කෙස් විසිරිලා හොඳටම අවුල් වෙලා තිබුනේ.. ඇගේ ඇඳුම වුනත් හොඳටම අවුල් වෙලා.. මට උවමනා කලා ඇගෙන් වෙච්ච සිද්ධිය අහන්න. ඒත් පලවෙනි හිත කිව්වේ ඇය එක්ක කතාවට නොයන ලෙසයි... ඒත් ඇගේ ඇස් වල කඳුලු හොඳටෝම.. මට මගේ දෙවනි හිත පාලනය කරගනා බැරි වුනා.. කොහොම වුනත් අවුරුදු දෙකක් මගේ හිතේ නතර වෙලා උන්නේ ඇය. මං මගේ පණ තරම් ආදරේ කලේ ඇයට. පිරිමි බය ගෑනුන්ගේ කඳුලු වලට කියන කතාව ඇත්ත. මගේ දෙවනි හිතටවුවමනා වුනේ ඇයව සනසන්න... මං ඇගේ උකුලෙන් නැගිටින්න හැදුවත් බැරි වුනා.. මුළු සිරුරම පණ නැති වෙලා වගේ... 
ඒත් ඇගේ ඇස් වලින් දිගටම කඳුලු ගැලුවා.  ඒ කඳුලු මගේ නිරුවත් පපුව උඩට වැටුනා. ඉන් පස්සේ එක පාර මගේ පපුවෙන් ඒ කඳුලු උරා ගත්තා...

මං කතා කරන්න උත්සහ කලා...
"ඔයා කතා කරන්න එපා.. ටිකක් මෙහෙම ඉන්න හොඳ වෙනකම්....... දැන් ඇස් පියන් ඉන්නකෝ.."
ඇය කිව්වේ එහෙම.. ඒකත් හරිම ආදරෙන්. මට ඉවස ගන්න බැරි වුනේ ඒ ආදරණීය බවට... 
ඇගේ ඇස් රතු වෙලා.. ඒත් කඳුලු දිගටම බේරුනා.. මගේ පපුව කිසිම තෙතක් නැති විදියට ඇගේ ඒ අහිංසක කඳුලු උරා ගත්තා.. 
පණ නැතිව තිබුන මගේ මුළු සිරුරම පණ එන්න ගත්තා.. ඒක හරිම පුදුමයක්... අන්තිමට මට පණ ආවා. මං හිතන්නේ ඇගේ කඳුලුවල බලයෙන්.. මං නැගිට්ටා.. මගේ මුළු සිරුරටම දැනුනේ නැවුම් ප්‍රබෝධමත් හැඟීමක්.. මං නැගිටිනකොටම ඇය පරඬැලක් වගේ කඩාගෙන වැටුනා.. 
මං ඈව උස්සගෙන රෝහලට ගෙනිච්චා.. මේ මගේ අත් දෙකෙන්ම...
දොස්තරලා හෙදියෝ හුඟක් වට වෙලා මැෂින් වලට ඇයව හයි කලා.. ඉන් පස්සේ එක එක ඉන්ජෙක්ෂන් ගැහුවා ඒත් අන්තිමට මට පුටුවක වාඩි වෙන්න කියලා දොස්තර කිව්වේ ඈ මිය ගිහින් කියලා.. 
මරණ පරීක්ෂණ වාර්තාවේ තිබුනේ ඇගේ හදවත අකර්මණ්‍ය වෙලා වගේම එහෙම වෙන්න අරං තිබුනේ අවුරුදු දෙකකට පෙර කියලා....


මියෙමි ඉපදෙමි

මන්ද මාරුතයක්ව පැමිණෙන,
එක් ක්ෂණයෙන් චණ්ඩ වන,
අදිසි විපර්යාසයෙන් මා විපරීතව
දරා ගන්න දරන වෙර නොදැනෙන සේ...
අළු යටින් ගිනි පුපුරු මතුව
අනේක විද රිදුම් දෙන
ඒත් එක වදනකුඳු නොපවසා..
රිදිල්ලට අමා පැන් ඉසින..
නුඹේ මහ විකාර කෝලමට
පුරුදු වී මියෙන ඉපදෙන හදින්
යලි යලිත් ප්‍රේම කරන
දන්නවද මමත් මියෙමි
ළඟදිම දිනෙක නොදන්වාම...

හොර හිත්...

ප්‍රේමය කියවන්නේ රාගයත් එක්ක වුනත් ඒක ලස්සන හැඟීමක්.... මං මගේ කවිය ලිව්වේ ලිඛිතාගේ කවියක පිලිතුරු විදියට..




ලිඛිතා:

දිනපතා දකින ඔබ
හීනෙන් බදා තොල් සිපින,

වාත්තුකල සිරුර
වෙලන සළුපට හිතින් ගලවන ,

උදෑසන පින්න
සැරදැයි පමණක් අසන,

හොර හිත මගේ
සුදුපාට මුහුණට වැහුන!


අරු:
ඔබේ සුදු වුවන
දකින විට මැවෙන
හීන යායන් මැද
මා සිතින් වල්මත් වන

නෙත් පියන ඇසිල්ලෙත්
හිතින් නුඹවම සිඹින
රුහිර වර්ණයන මතුවන තුරු
හීනෙනුත් තොල් සිඹින

මේ හීන යායම
නුඹේ හිත මත තබන
දිනය දුර නොවේ යැයි
දැන් නම් මසිත කියන

නුඹේ ඝන වරලස මත
මා මුව තබන
සුසුදු සුසිනිඳු සුවය මැද
සිතින් වල්මත් වන

බියෙන් වදනක් දෙඩුව
සමය අවසන් බව
නුඹ නොකියා කිවූ බසට
මසිත ඉකිලෙයි තුටින

අඹගෙඩි රාජ්‍යය 03


මේ සීනිස් රජතුමා හුඟක් වයසක කෙනෙක්. තමාගේ එකම දූට විවාහයක් හොයමින් තමා ඒ දිනවල අඹගෙඩි රාජ්‍යයේ රජතුමා උන්නේ.. ඒ කුමාරිකාව සිනේක්සා.. ඇය හරිම නිර්භීත, යුදකාමි හැකියාවක් තියන, වීනස් දෙව්දුව වගේ ලස්සන කුමාරිකාවක්..අඹගෙඩි රාජ්‍යයේ ඇත්තො නම් ඇයට ඇමතුවේ සිනෙක්සා වීනස් කියලයි.
ඒ වගේම ඇය හරිම ආඩම්බරයි, ඇය අඹගෙඩි රාජ්‍යයේ  වෛද්‍ය විද්‍යාලයෙ හොඳම සිසුවියත් ඇයයි.. ඇයගේ බුද්ධිමත් භාවය රටේ හැමතැනම ප්‍රසිද්ධ වෙලා තිවුනේ..

සීනිස් රජු තමාව හමු වෙන්න පැමිනෙන ලෙස දූ කුමරියට පුවත් දැන්වුනා. ඒ රෝම සුවිස් කුමාරයව හමු වන්න දූ කුමරියව පිටත් කර හරින්න...
දූ කුමරිය ඒ වෙලාවේ උන්නේ යුද ශිල්පය පුහුණු වෙන ගමන්. ඇය පිය රජතුමාගේ අණ ලැබුන ගමන් යුද ඇඳුමෙන්ම රජ මාලිගාවට සැපත් වුනා..
" ඕ, මගේ දුවණි.. ඔබව මට හඳුන ගන්නවත් බැරි වුනා. මේ විදියට මං ඔබව දැක නෑ මේ මාලිගාවෙදී.."
යකඩ යුද ඇඳුම නිසා දූ කුමරිය දුටු ගමන්ම රජුට සිනහා ගියා... ඒත් එක්කම රජතුමට දැනුනේ ප්‍රමෝදයක්. තමන්ගේ එකම දුවණි යුද ශිල්පයේද දක්ෂයකු නිසා...

"පියාණෙනි ඇයි මට හමු වෙන්න කිව්වේ හදිස්සියෙම."
"දුවණි..!ඇත්තටම කාරණය ඉතාම බරපතලයි. රෝමයේ සුවිස් කුමාරයා ඇවිත් කිසිම දැනුම් දීමකින් තොරව.. ඒත් මං කැමති දුව ගිහින් කුමාරයා එක්ක සාකච්ඡා පවත්වනවා නම්.."
"පියාණෙනි.. මං එතරම් කැමති නැහැ රෝම කුමාරයෙක්ව හමු වන්න.. ඒත් පියාණන්ගේ අණ නොතකා සිටීමට නොහැකි නිසා මං හෙට උදෑසනින්ම පිටත් වෙන්නම්.."
සිනෙක්සා කුමරිය සුවිස් කුමාරයා හමුවන්න තීරණය කලේ කැමත්තෙන් නොවේ... මන්ද ඇය ඉතාමත් ආඩම්බරකාර කුමරියක් නිසා...
මතු සබඳේ...
********************


අඹගෙඩි රාජ්‍යය 02


ඉතින් ඔන්න රෝමයේ සුවිස් කියන රාජ කුමාරය ගොඩබිම් හතක් අශ්වයෙක්ගේ පිටින් තම සේනාව එක්ක තරණය කරලා, මුහුදු හතත් මහ නෞකාවකින් තරණය කරලා අඹගෙඩි රාජ්‍යට එනවා.. ඒ සුවිස් කුමාරයගේ යටි හිතේ තියන මී අඹවල රහස දැන ගන්න...  
අඹගෙඩි රාජ්‍යයේ රජතුමා කැමති නැහැ සේනාවන් එක්ක තමන්ගේ සශ්‍රීක දිවයිනට කවුරුත් පැමිණිනෙනවට.. ඒ තමන්ට යුද්ධයක අවශ්‍යතාවක් නොතිබුන නිසා. ඒ මොකද කියනවා නම් හරිම සාමකාමි පිරිසක් තමා අඹගෙඩි රාජ්‍යයේ හිටියේ... එකිනෙකාට උදව් කරගෙන සාමයේ පරවියන් හැමතැනම නිදහසේ ඉගිල්ලෙන දේශයක් විදියට තමා අඹගෙඩි රාජ්‍යය අවුරුදු දහස් ගණනක් තිස්සේ පැවතුනේ.. ඒත් කවුරු හරි මිත්‍රත්වයේ දෑත් දිගු කරනවා නම් අඹගෙඩි රාජ්‍යයේ රජතුමා ඔවුන්ව පිලිගන්නේ හරිම උණුසුම්ව...

ඉතින් මගේ යාළුවනේ සුවිස් කුමාරයා ඇතුලු සේනාවට අඹගෙඩි රාජ්‍යය ඇතුලට යන්න හම්බුනේ නැහැ.. වෙරළේ උන්නු අඹගෙඩි රාජ්‍යයේ සෙබලුන් කිව්වේ සුවිස් කුමාරයා ඇතුලු සේනාවට අඹගෙඩි රාජ්‍යයේ රජතුමා වන සීනිස් රජතුමාගෙන් පුවතක් එනකම් නෞකාව නැංගුරම් දාලා බලන් ඉන්න කියලයි.. 
සුවිස් කුමාරයට දවස් තුනයි පැය තුනකුයි මිනිත්තු තුනකුයි බලන් ඉන්න සිද්ධ වුනා සීනිස් රජුගේ ලිපියක් එනතුරු...
ඒ අතර රෝමයේ සුවිස් කුමාරයා සේනාවක් එක්ක අඹගෙඩි රාජ්‍යට ආවා කියලා අඹගෙඩි රාජ්‍යයේ මුහුදු බඩ හිටපු චර පුරුෂයෝ සීනිස් රජුට දැන් වුවා... 
රජතුමා ප්‍රධාන අමාත්‍යව එව්වා ඔවුන්ව පිලිගන්න.. ඒ එක්කම සීනිස් රජතුමා ලිපියක් එව්වා රෝම කුමාරයට.. ඒ ඔවුන්ගේ යුද උපකරණ ඔක්කොම නෞකාවේ ගබඩා කරලා එන ලෙස. ඒ වගේම මුහුදු බඩ තිවුන අඹගෙඩි රාජ්‍යයේ රජකුමරියගේ ගිම්හාන මාලිගාව නවාතැන් ගන්න දෙන්න කියලා අඹගෙඩි රාජ්‍යයේ රජතුමා අවසර දීලා තිබුනා..

මතු සබැඳේ

*********************

To be continue >>>>>

කිරිල්ලී මං



කවදාවත් නොහිතපු විදියට
ඔබට ආදරේ කරන්නට
පෙලඹුනෙ එක
මොන තරම් පුදුමයක්ද....

ඒත් ඔබව අහිමි වේයැයි
බය හිතෙන එක
හිතට වදයක් වෙන තරමට
මට වදයක් වෙලා...

දැක්ක හුඟක් හීන
වල ලස්සනට හිනාවෙන සුදු මුහුණ
ඔබේ බව මං විශ්වාස කරන තරමට ඇබ්බැහි වෙලා ඔබට..

කාටවත් පුද කරන්න
බැරි තරම් ප්‍රේමයක් ඔබ නමට
හදවතේ රඳවගෙන
දුක් විඳින කිරිල්ලි මං...


අඹගෙඩි රාජ්‍යය 01

ඉයන් මාමාගේ තරඟයේ ජයග්‍රාහකයන් නිදහස් සිතුවිලි බ්ලොග් අඩවියේ රවීතුමා ප්‍රකාශයට පත් කරලා අවසන්.. ගෞරවනීය රවීතුමාට ස්තූතියි විශාල වැඩකන්දරාවක් එක්ක පුලුවන්තරම් ඉක්මනින් අවසාන තීරනය ප්‍රකාශයට පත් කිරීම ගැන..
ඒ ප්‍රකාශය ඉයන්ගේ අඩවියේ මෙතනින් ඔයාලට බලන්න පුලුවන්..
ජයග්‍රහණය කල සියලුම දෙනාට අරුගෙන් උණුසුම් සුභ පැතුම්..

ඒ වගේම ඉයන් මාමට හුඟක් ස්තූතියි තමන්ගේ මුදල්, කාලය වැය කරලා බ්ලොග්කරුවන්ට දෙන මේ අති විශිෂ්ට උපකාරයට....

ඉතින් මං මගේ පාඨක පිරිසට දෙන තිලිනයක් විදියට අලුතින් කතා සීරිස් එකක් ලියන්න හිතුවා.. මගේ හිතේ ඒ අදහස ඇත්තටම පැල පදියං උනේ හුඟක් දවසකට ඉස්සෙල්ලා.. ඒත් වස්තු බීජයක් හොයා ගන්න අමාරු වුනා.. ඒත් පරණ ප්‍රසිද්ධ බ්ලොගයක් අහම්බෙන් මුණ ගැහුන නිසා දෙයියනේ කියලා අදහස් ගංගාවක් ගලාගෙන ආවා.. මගේ හඳුන්පත කී ගානවා දැන් නම් ලියපන් ලියපන් කියලා.. 
මුලින්ම කියෙව්ව කෙටි-නවකතා සීරීස් එක නම් මගේ හිතට වැදුන් නෑ.. දෙවනියට හම්බුනේ ප්‍රසිද්ධ නුවර කුමාරි බ්ලොග් අඩවිය.. ඒකේ තමා සුරංගනා කතා සීරිස් එකක් තිබ්බේ. ඒත් ඒක ඉවර වෙලා තිබුනේ නැද්ද කොහෙද ඒකට නම් මට දුක හිතුනා..

මං ඇත්තටම වැඩිය බ්ලොග් කියවලා තිබුනෙත් නෑ බ්ලොග් එක පටන් ගන්නකොට...දැන් තමා පරණ ඒවත් ඒකට හරියන්න වෙලාව හම්බුනාම කියවන්නේ... එහෙනම් මගේ අලුත් පර්‍යේෂණ මට්ටමේ තියන හැකියාව පොඩ්ඩක් බලා ඉන්නකෝ... ස්තූතියි හැමෝටම..... (මගේ කචකචේ අමාරුවෙන් හරි අහන් හිටියටත් එක්කම)

ඹගෙඩි රාජ්‍යය 01


ඔන්න එකමත් එක කාලෙක, ඒ මීට අවුරුදු සිය දහස් ගණනකට පූර්වයේ පරණ රෝම අධිරාජ්‍යය මහත් සශ්‍රීකව පැවතුන සමයේ ගොඩබිම් හතකටත් මුහුදු හතකටත් මෙහායින් අඹගෙඩි හැඩයක් තිබුන තවත් සශ්‍රීක දිවයිනක් තිබුනා.. 
ඒකේ උන්නේ හුඟක් ආඩම්බර උදවිය කියලා මුළු ලෝකේ පුරාම සුපතල වෙලා තිවුනේ.. ඒත් රෝම අධිරාජ්‍යයේ හුඟක් සහ සම්බන්ධතා මේ අඹගෙඩි රාජ්‍යය එක්ක තිබුන නිසා රෝම රාජ්‍යය, අඹගෙඩි රාජ්‍යය සමඟ උන්නේ හුඟක් සහයෝගයෙන්..
ඒ නොමිලයේ රෝමයේ අධ්‍යාපනය ලබාගන්න අඹගෙඩි රාජ්‍යයේ ජනතාවට ලැබුන අතිවිශේෂ වරප්‍රසාදය එක්ක... ඒ වගේම ඒ වරප්‍රසාදය හුඟක් සියවස් ගණනකට වඩා පරණ එකක්.. ඒ කාලයේ අඹගෙඩි රාජ්‍යයේ ජනතාව රෝමයේ ගිහින් රෝමයේ තිබුන හැම ශිල්පයක්ම ඉගෙන ගෙන ඇවිත් අඹගෙඩි රාජ්‍යයේ රජයේ විශ්ව විද්‍යාලයේ උගැන්නුවා.. ඉතින් පසු කාලීනව අඹගෙඩි රාජ්‍යයේ ජනතාවට රෝමයේ යන්න වුවමනා වුනේ නැහැ ඉගෙන ගන්න.. ඒ වගේම අඹගෙඩි රාජ්‍යයේ ජනතාව පෙරදිග වෛද්‍ය විද්‍යාව ගැන හුඟක් පර්‍යේෂණ කරලා දියුණු තත්වයක පවත්වාගෙන ගියේ.. රෝමයේ හොඳ කල නොහැකි අසනීප පවා අඹගෙඩි රාජ්‍යයේ සුව කලා.. ඉතින් රෝමය අඹගෙඩි රාජ්‍යය සමඟ තිබුන රාජ තාන්ත්‍රික සම්බන්ධතා කවදාවත් කඩා බිඳ වැටෙන්න ඉඩ දුන්නෙ නැහැ.
ඒ වගේම අඹ ගෙඩි රාජ්‍යට ඒ නම වැටෙන්න හේතුවක් තමා අඹ ගෙඩි රාජ්‍යයේ තිබුන මී අඹ රෝමයට ඇතුලු ලෝකය පුරා අපනයනය කිරීම.. ඒවා අඹගෙඩි රාජ්‍යයේ හැර කිසිම තැනක මොන පරිසර තත්ව යටතේවත් හැදුනේ නෑ.. ඒ මී අඹ හැදුනේ අඹගෙඩි රාජ්‍යයේ විතරයි.. ඒත් රෝමයේ රජතුමා ඉඳලා හැම ජනතාවම මේ මී අඹ රෝමයේ හදා ගන්න මහන්සි වුනා.. ඒ වගේම රහසක් තිබුනා රෝමයේ ජනතාව අතර, මී අඹ රෝමයේ පැල කරපු කෙනෙක්ට රන් ආකරයක් තෑගි ඔප්පුවකින් පිරි නමනවා කියලා.. මොකද මී අඹ වල රස නිසා රෝමයේ ජනතාව විතරක් නෙවෙයි මුළු ලෝකෙම ජනතාව මේ මී අඹ කන්න ඇබ්බැහි වෙලා උන්නේ.. ඉතින් මී අඹ රෝමයේ හදා ගන්නවා කියන්නේ රෝමය තව හුඟක් සශ්‍රීක වෙන්න හැකි වෙනවා කියන එකනේ...

මතු සැබඳේ..


*****************

අරගල හදවත්..



මං හිටියේ අරගලයක... ඒක අරගල කිහිපයකින් සාන්ද්‍රනය වුනු මහා අරගලයක්... 
එක පසකින් මගේ හිතත් එක්ක.. අනික් පසින් මං රවටලා අතරමං කල කෙල්ලොන්ගෙන් බේරෙන්න.. තව පැත්තකින් සමාජ දෝෂාරෝපණය එක්ක..
මට වුවමනා වුනේ මගේ කතාව තියන කෙල්ල හොයා ගන්න.. පොතක් ගන්න පොත් සාප්පුවකට ගොඩ වුනාම වෙලා අරන් පොත් කිහිපයක් අරන් කියවලා බලන්නේ තමන්ට ගැලපෙන කතාව තියෙන්නෙ මොන පොතේද කියලනේ.. ඒ වගේ මට වුවමනා වුනේ මගේ කතාව තියන කෙල්ල හොයා ගන්න.. එක්කෙනෙක්ගේ කියවිල්ල අල්ලන් නෑ. අනික් කෙල්ලගේ නිහඬ බව අල්ලන් නෑ.. තව කෙනෙක්ගේ ලැජ්ජාව අල්ලන් නෑ. කෙල්ලට ලැජ්ජ නම් හිතෙන්නේ මේකි එක්ක කොහොම ඉන්නද කියලා... ඇයි මුකුත් කියන් නෑනේ... ලැජ්ජ නොවෙන ඕපන් කෙල්ලෙක් හම්බුනාම එයා බඩුවක් කියලා හිතෙන්න ගන්නවා..

මට පුරුද්දට ගිහින් තිබ්බේ පොත් සාප්පුවකට ගිහින් මුදල් ගෙවලා පොතක් අරන් ඉවර වෙනකම්ම කියවලා පැත්තකට විසික් කරන්න... හැම පොතකට ගෙවන්නේ මම නම්, ඒක කඩමාලු වෙනකම් මාස ගනන් එක දිගට කියවන්න හිමිකමත් මට තිබුනේ කියලා කාටවත් කියන්න මට නුවමනායි.. ඒ වගේම මගේ ප්‍රතිපත්තියක් තිබුනා කා ඒකවත් බෙදා නොගැනීම.. පොතට අකමැති නම් මං වෙන් පුද්ගලයකුට ගන්න ඉඩ දෙනවා.. එක එක පොත් වල තියෙන්නෙ විවිධාකාර රසවල්...ඒ අතර කිසිම රහක් නැති පොතුත් තිබ්බා.. මං එකක් සම්පුර්ණයෙන් මට ඉහිලුම් නොදෙනකම් කියවලයි වෙන පොතකට අවැසි නම් යන්නේ...
මට දැන් ඔක්කොම පොත් ඇති වෙලා.. මට ඕන කවියක්.. මියෙනතෙක්ම කියවලා එපා නොවෙන.. හයිකුවකට කැමති නැහැ. මහ පතරංගයක් නොවුනට කමක් නෑ. ඒත් හැම අකුරකම හැඩතලයක් තියෙන්න ඕනා.. කොච්චක් කියෙව්වත් එපා නොවෙන..කියවලා ඉවර වුනාම "අහ් කුමන අහ්ලාදයක්ද?" කියලා කියවෙන්න ඕනා...

ප්‍රේමණීය හිත්...


මගේ ඇක්සන්ට් එක හරි නැතැයි 
නුඹ නිවැරදි කරන කල
හුඟ වෙලාවක් අරන්
ස්පීච් එක හදා ගන්නම්

එකෙනෙහි වෙනස් කරන්න
තතනනා අපේ අරමුනු
එකත් පසව විසි කර දමා 
වෙලෙන්න ප්‍රේමයේ ආතුරයාව

කියඹු වැල් අතගා
ප්‍රේමණීය හැඟුමෙන් 
කියන්න සුදෝ සුදු පිණි බිඳක හැඩ
ප්‍රේමය තරම් නොවෙතත්
එයත් පාරිශුද්ධ නොවෙද

ආයේ එකත් සිත්ව
මම හිත ඔබන්නම්
ස්පෝකන් හදා ගන්න
ඒත් නුඹ හිමින් ආයේ
නොතරවන්න හාදු බිඳිති..
ටික වෙලාවකටවත්..


නුඹට....

හදෙනි මැවුනේ ඔබට බැඳුනේ ප්‍රේමයකි නැත නැවතුනේ..
පමණි දුටුවේ පුරුදු තිවුනේ මතකයකි පෙර භවදිගේ..
සසැලි තිවුනේ නෙතිනි කිව්වේ කවියකි පෙම් අම්බරේ..
නොනිමි සෙනෙහේ වඩනු නුඹගේ මහිමි සඳ මා ආදරේ....

කුරුලු දඩයම 02

  කුරුලු දඩයම 01 දවසක් උදෑසනක දුර්ශාන් සොයා ආවේ දුර්ශාන්ගේ හොඳම මිතුරෙක් වන සංධීර්. ඔහුට පුදුමයි මේ දුර්ශාන්ගේ වෙනස.  "ක්‍රිශෝලියි ඒකිග...