වෙනස්වීම



පෙර මතක මඟ හැර
ඔබේ වෙනස් වීම
කොම්බුවක් ගානේ
කියවමි මම..
හිත රිදුන තැන් සොය සොය...

රඟපාන අහිංසක වත
නොදුටිමි තවදුරටත්..
දනිමි රඟපාන බැව්
මා අබියසට විත්.

සහෝදරකම තබා
මිත්‍රත්වයටවත්
නුසුදුස්සකු බව කියමි.
සමනලයා මම, බඹරා වූ නුඹට,


කවියකුට පෙම් කලෙමි.



කවියෙක්ට ආදරේ කිරීම හරිම ප්‍රේමාන්විත උන්මාදයක් වේවි යැයි මම සිතුවෙමි. මා පිළිබඳ අකුරු අමුනපු කවි සමඟින් මගේ ප්‍රේමය ගලා යාවි.. මගේ හීනය ගොඩ නැගුනේ එලෙසින්. ඔහුව හැඳිනුවේ මං පුස්තකාලයේ පොත් අතර සැඟවුනු මොහොතක. මිතුරියන් හඳුන්වුයේ කලා සංගමයේ සභාපති කියලා. ඒ වන විට උගත්තේ කලමණාකරන පීඨයේ දෙවන වසරේ සිසුවෙක් ලෙසයි.

ඔහු පත්තර වලට කවි ලිව්වා. ඔහු මගේ හිතේ රෝපනය උනේ කවි නිසාමයි..ඒ කවි වල තිබුනේ කාන්තා අයිතිවාසිකම් ගැන. ඉතින් කාන්තාවන් වසඟ වෙලා ඔහුගේ ලිපිනය ඉල්ලලා පත්තරෙට ලියුම් එව්වා. ඒවා ඉතින් විශ්වවිද්‍යාලයේ ප්‍රසිද්ධ රහස්. විජේවර්ධන සම්මානයේ, ආධුනික නවකතා අංශයේ අදාල සම්මානය ඔහු හිමි කර ගැනීම නිමිත්තෙන් ඔහුගේ ප්‍රසිඳු භාවය තවදුරටත් කල එලි බසිනු දැක ගත හැකි විය. ගැහැනු ළමුන් ඇදීගියේ මෙරුවා ආලෝකයට ඇදෙනවා වගේ. සම්මුඛ සාකච්ඡා හරි හරියට පත්තරවල, රූපවාහිනීයේ ගියා.. මගේ ආඩම්බර හිතත් ඒවා හොරෙන් කියව කියව ඔහු පිළිබඳ අධ්‍යනය කරන්න වුනා... එය මගේ මිතුරියන්ගෙන් සඟවන් මං තනිව කල විප්ලවයක්..

"වික්ටොරියානු සභ්‍යත්වය ගැන දොඩන පිරිමි තවම තම ප්‍රියම්භිකාව නිවාස අඩස්සියේ තියාගෙන නිවසෙන් එලියට ගිහින් ගෝලිකරණය වෙනවා"

ඔහු එලිපිටම පුරුෂ පක්ෂයට විරෝධය එල්ල කලා.

"කවදාවත් කාන්තාවකට අවසර දීමක් අවශ්‍ය නෑ. සමහර පුරුෂයන් කට මැත දොඩවනවා මම මගේ බිරිඳ ට රැකියාවක් කරන්න ඉඩ දුන්නා කියමින්. ඒත් මං අහන්නේ උසස්  අධ්‍යාපනය ලබපු කාන්තාවට අවශ්‍යද සිය සැමියගේ අවසරය ? ඇයට තනි තීරණයක් ගන්න බැරිද ඇගේ වෘත්තීයමය ජීවිතය පිළිබඳව ?"

ඔහුගේ වාග් ප්‍රහාරයන් කාන්තා හිත් හැමවිටම ස්පර්ශ කලා.

මම පුස්තකාලයේ තනිව පොත්කියවන දිනෙක, ඔහුම පැමිණ මගේ අබියස පුටුවෙන් හිඳ ගත්තා. කිසිඳු අවසරයක්වත් නොගෙන...
ඒනමුත් අවසරයක් මොකට ?
මේ පුස්තකාලයනේ.. මගේ හිමිකාර තැනක් නෙවේනේ.. ඔහු මා සමඟ කතාව ආරම්භ කලේ බොහෝ කල් සිට හඳුනන මිතුරන් ලෙසය.. ඔහුගේ නිරහංකාරකම පිලිබඳ මං අතිශය පුදුම වුනා. මගේත් ආඩම්බරකම පරාද කරමින් ඔහුගේ ඇසුරේ උවමනාව ඔහුගේ ආගමනයෙන් උත්කෘෂ්ට ලෙස නැගී පැවතුනා.. ඉදින් අන් පිරිමින්ට දැක්වු ආඩම්බරකම් ඔහුගේ ඉදිරියේ දියවෙලා වැක්කෙරුනේ හරියට ඉටිපන්දමක් ගින්නකට අහුවුනා වගේ. ඔහු අග්නි ජාලාව. මං අහිංසක ඉටිපන්දම...

ටික ටික ඔහු මට ළං වුනේ ඇයි කියන්න මං දැන උන්නෙ නැහැ. ඔහු ඇත්තෙන්ම නිදහස් පුද්ගලයක් වුනා... ඕනෑම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නටත් ඒවා පෞද්ගලික වුවත් ඔහු පිලිතුරු දෙන්නත් පසුබට වුනේ නෑ. මගේ ප්‍රශ්න වලදීත් හරිම නිදහස් ව සිතා හොඳම පිලිතුර සොයා දෙන්නට ඔහු හරිම දක්ෂ  වුනා..
හරිම මිත්‍රශිලි ලෙස ඔහු මගේ සමඟ කාලය ගෙව්වේ.. මගේ හිත මටත් හොරෙන් ඔහුට ආදරේ කරන්න අරගෙනයි තිබුනේ. ඔහුගේ කවි වලට මං පිලිතුරු කවි ලියාගෙන රහසින් තියාගත්තා.ඉදින් මං කවියෙකුත් වෙලා.ඔහු නිසා..
ඔහු අලුතෙන් ලියැවෙන කවි වල ආදරේ වෑහෙනකොට මට විශ්වාස කලේ මං නිසා කියලා, ඒ කවි හිතේ දළුලාපු ආදරය මටමයි කියලා. පෙරදා සමාජ විවේචනයන් පමණක් කවියක් කල මගේ කිවිඳුන්ගේ කවි වල ටික දිනෙක පටන් ආදරය වෑහෙන්න ගත්ත, මහා විප්ලවයේ මහා නිමැවුම් කරු මමම මා ලෙසයි විශ්වාස කලේ.. ඉදින් මගේ ආදරය කවියක් වගේ ලස්සන වෙවී.. ඒ පමණයි මගේ හිතේ තිවුන හීනය.

මං මගේ ආදර ගීතය ලියන්න ගත්තා.. ඔහුයි තනු නිර්මාණකරුවා.. මං උත්කෘෂ්ට ප්‍රේමයේ මහෝදයෙන් උමතු වෙලා උන්නේ.ප්‍රේම ගීතයේ තනුව පිට පැන්නට කවදාවත් වචනවලට වෙනස් වෙන්න දුන් නෑ. තනුවට ඕන විදියට පද වෙනස් කලේ දක්ශ ලෙස. ගීතයේ අයිතිකරුත් ඔහු වගේ. ඉතින් ගීතය ඔහුට නැතුව කාටද හිමි කියලා හිතන් මාත් මගේ හිතටම බැන ගත්තා. අනික මට වඩා ඔහු ප්‍රතිභාපූර්ණ කවියෙක්නේ. ඉතිං ඔහු මගේ ගීයේ පද වෙනස් කලා කියලා මොකද....

ඔහුගේ සිනාවකට, වචනයකට පවා පෙම් කලා. ඔහුගේ කවි වල මාව හෙව්වා.. ඒත් ගොඩක් කවි තිබුනේ ආදරය නෙවේ.. සමනලයෝ, මල් ගැන.
පරිසරය පිලිබඳ.. එසේ නොවේ නම් කවි, ඉන් පස්සේ යාචකයෝ, පිශාචයො, පෙරෙතයෝ ගැන.. මං පිශාචයෝ පිලිබඳ කවියක හරි ආදරේ හොයන්න පෙලඹුනා. මං ඔහු ලිව්ව කොම්බුවක හරි යන්තම් ගැවිච්ච ආදරයක් හොයා ගත්තා.

කවියෙකුට ප්‍රේම කිරීම හිතන තරම් පහසු නැහැ කියලා දැන ගත්තේ ඔහු හා විවාහ වෙලා ටික දිනක් ගෙවුනම.
එක එක ගැහැනු ගැන ඔහු රචිත කවි තිබුනා. සුදු කෙල්ලෝ, කළු කෙල්ලෝ.. පිරිමින්ගේ ලස්සනත් ඔහු විස්තර කරලා, ඒ අතර පිරිමියකුට ප්‍රේම කරන පිරිමි ගැන රචිත කවි මට ලැබුනා. මං ඒවා කියවලා හිතුවේ මොන වියරුවක්ද කියලා ඒක. ගැහැනුන්ගේ උපන් ලප ගැන කවි ලියා තිබුනා.. ඒවා හරිම ජුගුප්සාජනකයි.. මං අහන්න ගියේ නෑ ඒවා කොහොමද ලිව්වේ කියලා.

ඒත් මං ගෘහණියකගේ භූමිකාව රඟන කොට මට සමාජ ඝට්ටණයක් නොලැබීම නිසා ඒවායේ සත්‍යතාව සොයා ගන්න බැරි වුනා.. ඒත් විවිධ උළෙල වල් වලට මට ආරාධනා ලැබුනාම මට මගේ ස්වාමියාගෙන් අවසර ලැබුනා ඒවට සහභාගි වෙන්න.. මං පරසිඳු කවියාගේ පිරිසිඳු භාර්යාව ලෙසින් පරසිඳු කවියාගේ අතින් අල්ලන් රතු පලස මතින් ඇවිද ගිහින්, VVIP අසුන් වල හිඳගෙන හිටියා..

වික්ටෝරියනු සභ්‍යත්වය ගැන දොඩපු පුරුෂයා තමන්ගේ උගත්, චර්තවත් ප්‍රිය භාර්‍යාවව නිවසේ වැඩකාරකමට තියාගෙන සිර ගත කොට ඉන්නේ.., සමහර පත්තර වල ඔහු පිලිබඳ මඩ ප්‍රහාර පල වුනා.. ඒ වෙලාවර මට තිබුනේ මගේ පරසිඳු කවියාගේ සුචරිත භාර්‍යාව ලෙසින් මාධ්‍ය හමුවක් කැඳවා ඒ මගේ තනි කැමැත්ත බවත්, කිසිදු සිරගත කිරීමක් නැති බවත් ප්‍රකාශ කරන්න...

ඒත් එක දවසක් මාධ්‍යකරුවෙක් ඉදිරිපත් කර ප්‍රශ්නයකට මගේ ඇඟ ගැහෙන්න පටන් ගත්තා..
"ද්වීලිංගිකතාවක් නිරූපනය කරන කවියන්ගේ අයිතිකරු ගැන වචනයක් පැවසිය හැකිද"
මං වලිප්පුව හැදුන පුද්ගලයකු වගේ ගැහෙන්න පටන් ගත්තා. මං දැන හුන්න කවියගේ පාරිශුද්ධත්වය ගිලිහී, 
මං නොදන්න මගේ කවියගේ ජිවිතයේ ඉසව්වක් පෙන්නුම් කලා.

මා ඔවැනි හාස්‍යජනක ප්‍රශ්න බැහැර කරනවායි කිව්වේ පිලිතුරක් සොයා ගැනීමට නොහැකි වූ නිසා..
නමුත් මගේ හිතේ විදුලි කොටන්න පටන් අරං තිවුනේ.. හීනි හීනි විදුලි ධාර රකුසු වේගෙකින් පැමිනිලා මගේ හදවත සිදුරු කරන්න තැත් දැරුවා..

දරුවන් දෙදෙනෙකු වදාපු කවියගේ සුචරිත භාර්යාව කවියගේ අනික් ලෝක ගැන නොසොයා, නොතකා, ජීවිතය ගෙනිච්චා. සමහර කතා මගේ ලවන් හාරමින් විකාශනය කෙරුනත්, මා නොවේ ඒවා ගැඹුරින් අධ්‍යනය කරන්නට ගියේ.. එලෙස අධ්‍යනය කලේ නම්, සහාසිකව මගේ ආත්මයම මියැදෙන්න තිබුනා. ඉදින් කවියකුට පෙම් කල මම මේ වනතුරුත් සැනසුමෙන් දිවි ගෙවමි..

ලවන් වසා ජිවත් වුන හෙයින්....


බොරුව

වැගිරෙන රුහිරය,
රුහිරයම බව පෙනෙන නමුදු
ජලය යැයි හැඳින්වීම.

ප්‍රේමය

හසඟනන් පාවෙනා
තේම්ස් නදියේ සිහිල
දැනුදු දනවන
ඔබේ ප්‍රේමය..

පොරි පැකට් දෙක තුනක්
සිනමා පටයක් නැරඹීමට
යන කලෙක මිලට ගෙන
ඔබ ඉතිරි කර ගත්තා නොවෙද
එකක් හෝ ..
හංස ජෝඩුවකට කියා...

සිහිලසේ සුව විඳින අතරම
මට තුරුල් වී විසිරවු පොරි,
තේම්ස් නදියේ සුදු හංස යුවල
පෙම්බරම වී පොරි ගිලු හැටි.
නැවත අප මෙන් තුරුලු වී හිඳ
ඈත දුරකට පාවුනම මොහොත....

දැනුදු විඳිනෙමි ඔබේ ප්‍රේමය,
පොරි පැකට් ගෙන විසි කරන කල
හංස යුවලක් එදා වාගෙම
අදත් පාවී එන අපුරුව.
මතක් කරවයි ඔබේ ප්‍රේමය.
තේම්ස් නදියේ හංස යුවලම
තුරුලු වී පොරි ගිලින විලසට,

දුටුවා නම් ඔබ බොලඳ කම් මේ
ඔබේ සතුටම මගේත් වු බව
සතුටු වේ ඔබ සහතිකයි මට
තරහ නෑ පෙම හැර ගියාවද.

පෙම



නැගුනු හිරිගඬු
කිතිය දනවන
චුම්බනයකට
ඉඩක් නොලැබුනු,

බිඳිති එකිනෙක
දහදියම පිපි,
සුසුදු සුවයක
ප්‍රේමයක් පැතු,

වෙව්ලනා හද
ගැස්ම වාගෙම
කකියනා හද
පෙමෙන් මත් වූ

සුසුම් මියෙනා,
කඳුලු සිඳෙනා
හසකැනයි ඔබේ
පෙම'ම නම් වු



තරුව ඔබ

ඔබ තරුවක් යැයි මා පැවසු කල්හි,
මේ අහසට තරුවට වඩා හොඳ ධූම කේතුවක් හමුවේ යැයි පැවසීය..
අහස ආදරේ තරුවට,,
හැමදාම පායන තරුවකට...
වසර ගණනාවකට වරක් පායන ධූම කේතුවකට වඩා.
හැමදාම පිළිස්සෙමින්, ඒත් අහසට ආදරේ කරන තරුවට...

මතක ඇහැරීම.


මේ අරුම සටහන ලියැවෙන්නේ දුර්ධර ත්‍රාසජනක අත්දැකීම ඔබ හා බෙදා ගැනීමටයි. නොදැන උන් ඔබට දැන ගන්නටත්, දැන හුන් ඔබට නැවත මගේ හැඟුමන් විඳින්නට හෝ විඳවන්නටත් මෙසේ ලියා තබමි..
ඒ වර්ෂ දෙදහස් හතරක් වු උඳුවප් මස විසි හයවනදාය. හරියටම නත්තලට පසු උදා වු දිනයයි. මම විශ්වාස කරමි. ඔබට අමතක නැතුව ඇති, එදින පසලොස්වක දිනයක්වූ බවද.
අපි එදින දුම්රියෙන් මාතර යන්නට උදෑසන අටකුත් ගානට විය හැකි වෙලාවක කලුතරින් දුම්රිය නැග ගත්තෙමු. මගේ පුංචි නැගනිය මහත් අපහසුතාවකින් පෙලෙමින් උන්නීය.. එය එලැඹෙන භයානක සිදූවීම පිලිබද පෙර නිමිත්තක් බව අපි කිසිලෙසකවත් නොසිතුවෙමු. දුම්රියෙ අසුන් හිස් නොවු හෙයින් අපි දොරටුවක් අසල ගමන් මළු තබාගෙන හිඳියෙමු.එතැන අසල වැසිකිලිය තුබු බවද මගේ මතකයේ ඇත්තේ යම් යම් සිදුවීම් නිසාය.. නමුත් අප කැමති වූයේ දුම්රිය දොරටුවේ බිම හිඳගෙන යාමට වුවත් එයට විදේශික යුවලක් බාධාවක්ව සිටි හෙයින් මාද නංගීද බලා සිටියේ ඔවුන් දුම්රියෙන් බසිනා තුරුය.. අළුත්ගම හෝ හික්කඩුවෙන් අනිවාර්යයෙන්ම ඔවුන් දුම්රියෙන් නික්මෙන බව ඔබද නොදන්නවා නොවේ.. ඉදින් අළුත්ගම  පසුවුවත්, ඔවුන් දුම්රියෙ සිටි බැවින් අප ඇඟිලි ගැනමින් හිඳියේ හික්කඩුව එනතුරුය. තවත් කුඩා ළමුන් හතරක් පමණ සිටි පවුලක් අසල තිබු මුහුනට මුහුනලා තිබු අසුන් දෙකක රජකරමින් සිටි බවත් මගේ මතකයේ තිබේ. ඔවුන්  නැගනියට එතනින් හිඳ ගැනීමට කතා නොකල නිසා පුංචි හිත පුංචි වෛරයකින් පෙලුනු බැවින් මට මෙවැනි සිදුවීම් මතක තිබෙන බව නොසඟවා පවසමි.
ඒ අතර තවත් තනි විදේශීකයෙක් සිතියමක් පෙන්වා හික්කඩුව කොහිදැයි ළඟ හිදි ලංකිකයෙකු ගෙන් විමසුවේය. අම්බලන්ගොඩ පසු වූ හෙයින් ඊලඟ නැවතුම හික්කඩුව බව එම ලාංකිකයා පැවසු බවත්, නමුත් විනාඩි කිහිපයක් ගතවෙත්ම දුම්රිය නැවතුනු බවත් මගේ මතකයේ පවති.. ඉදින් හික්කඩුවට එම දුම්රිය ඒ දුම්රියේ සිටි ජනයා රැගෙන නොගිය අතර, එම විදේශීකයාද නැවත කිසිදා නොඑන ගමන් ගියේය..

ඉදින් මේ ආරම්භ වූයේ ඒ මොහොතයි..
නැවතුන දුම්රියට ඇසුනේ ඒ ප්‍රදේශයයේ මිනිසුන් ගේ විලාපයයි. මා සිතුවේ පුද්ගලයකු දුම්රියට කියා සියදිවි නසා ගත් බවය. නමුත් දුම්රියෙන් එලියේ ගැමියන් එහෙ මෙහෙ දුවමින්, සමහර පිරිමි පා පැදිවල නැග ඉතා යුහුසුළුව කොහෙදෝ ගියෝය.. කාන්තාවෝ දිව විත් දුම්රියට නැග ගත්තෝය. ගත වුයේ නිමේශයකි..
අනතුරුව ක්ෂණයෙන් මුහුද පැත්තේ ප්‍රදේශයයේන් දිස් වූයේ, පොලව මධ්‍යයේ සිට පොලව ඉරා ගෙන සේ ඉතා වේගයෙන් පැමිනුනු අළු පැහැති ජල ධාරවයි. ගතවූයේ නිමේෂයකි. එහි ආගමනය කුණුරොඩු සහිතව සියල්ල සුන්නද්ධූලි කරමින් සිදුවුනි..
අප දුම්රිය පෙට්ටියේ හිඳි පුද්ගලයෝ "ශටර් වහන්න." කියමින් කෑගැසුවෝය.
ශටර් වැසිනි. දුම්රිය තුලට ජලය පැමිනියේය. නමුත් එය දුම්රිය පොලවේ සිය අඩි බාගයක් පමනය. ඉදින් සිතන්න එය පොලවේ සිට අඩි 3,4 ක් හෝ 5ක් පමණය. මට ඒ ඒ ප්‍රමාණයන් නිවැරදිව කීමට හැකියාවක් නොමැත...
ක්ෂණයෙන් ජල ධාරාවේ පීඩනය ඉසිලිය නොහැකිව,අප දුම්රිය පෙට්ටිය ගොඩබිම දෙසට අර්ධ වශයෙන් ඇලවුනි.
ඒ දුම්රිය අසල රැඳි ගස් වලට රැඳුනු නිසාවෙනි.මා සිටියේ මුහුද දෙසට දොර මුහුනලා තිබු වැසිකිලියට යාබදව වැසිකිලි දොර අසලය. දුම්රිය ඇලවුනු නිසා වැසිකිලි දොරට මා තුලිස නොවි ඇලවුනි. දොර හැරි මා  තව නිමේෂයකි න් මා ජලය පිරුනු වැසිකිලිය තුලට ඇදෙන්න තිබුනි.මම ඉතා අපහසුවෙන් එය වලක්වා ගත්තේ අම්මා මාව අල්ලා ගත් නිසාය.මගේ සෙරෙප්පුවක් ජලයට ගසාගෙන ගියේය. අර්ධව ඇලවුනු දුම්‍රිය ජලයෙන් පිරෙමින් තිබිනි. අහස දෙසට මුහුනලා තිබු ජනේල වලින් දුම්රියේ වහලට නැගගත් මිනිසුන් අපව දුම්රිය වහලටත්  අහස දෙසට විවෘතව තිබුනු දුම්රිය බිත්තිය මතටත් ගත්තේය..

අප පෙට්ටිය එන්ජිමේ සිට තිබු ඉදිරිපස දෙවන පෙට්ටියයි. එලෙස ඒවෙන විට ගැලවුයේ අප පෙට්ටිය පමනි.
කිහිප දෙනෙක් පෙට්ටියේ ඉහල වහලයෙත් සමහරු අර්ධ ලෙස පෙරලුනු හෙයින් දුම්රිය බිත්තිය මතත් හිඳිමින් නොසිතූ මොහොතක සිදුවූ කම්පිත සිදුවීම තේරුම් ගන්නට වෙහෙස දැරීය.
එම වතුර පහර පැමිණ සසල වූ ප්‍රදේශය මඳ වේලාවකින් නිසල විය.. ඒ වන විට එම රැල්ල හේතුවෙන් දුම්රියේ ගමන් ගත් කිසිඳු පුද්ගලයකුට හානියක් නොවුනි.

අවට නිවාස සමහරකට අර්ධ වශයෙන් හානි වී තිබුනි. ගස් පෙරලි, කුනු ජලය ගං වතුරක් සේ සැම දිශාවකම පිරි තිබිනි.
දුරකතන තිබු පුද්ගලයෝ ආරක්ෂාව සඳහා විවිධ ස්ථාන වලට දුරකථන ඇමතුම් දුන්හ. හෙලිකොප්ටර් කිහිපයක් උඩු ගුවනේ සැරිසැරීය.  අප උදව් ඉල්ලමින් හඬ නැගීය. නමුත් ඒ හෙලිකොප්ටර් ආපසු හරවා ගියේය.
පැය භාගයක් පමණ ගත වන්නට ඇත. සියල්ල නිශ්චල වී තිබිනි. අනෙක් දුම්රිය පෙට්ටි වල සිටිය මිනිස්සු  නිවසෙන් ගෙනෙන ලද ආහාර පාන ගනිමින් නිදහස්ව සිටියෝය. මා පෙර සඳහන් කල විදේශීය යුවලගේ පුරුශයා බිමට බැස සිදු වු ව්‍යයසනය ඡායාරූප ගත කරමින් පසුවිය.
අසල නිවසක ජලය අඩියක් පමණ බැස යනු අප දල වශයෙන් නිගමනය කර තිබුනි.
අසල පොල් රුකක මිනිසෙකු නැග සිටියේ ජල පහරෙන් බේරීමටය. පසුව ඔහු ජල පහර අඩු වෙත්ම සෙමින් සෙමින් පහලට රූරමින් සිටියේය.

එකිනෙහිම අපට නොදැනෙම විලස අප දුම්රිය පෙට්ටිය ගැලවී නිවසක් දෙසට නොසෙල්වී ගසාගෙන ගියේය..
එම නිවස තනි තට්ටුවේ නිවසකි. එක් පසක කුඩා ස්ලැබ් එකක් තිබුනි. එහි ආර්පිකෝ ජල ටැංකියක් පෙර තිබුනද දුම්රිය පෙට්ටිය ඇදීයන අවස්ථාවේ එය ජලයට ගසාගෙන ගොස් තිබුනේ අපට එය මතට ගොඩ වෙන්න ඉඩ සලසමිනි.
දුම්රිය පෙට්ටිය එම ස්ලැබ් එක අසලට ගොස් එකිනෙක බැඳිනි. අපට පෙර අප පෙට්ටියේ සිටි කිහිප දෙනෙක් එයට ගොඩ වුනු අතර අනතුරුව වහලය මතට නැගුනි. නංගි, මං, එයට ගොඩවී, පසුපස බැලුවෙමු.තාත්තා ස්ලැබ්  එකට ගොඩවී සිටි නමුදු ඊලඟ අවස්තාව තිබු මගේ මව දෙවන ජල පහර මඟින් පැහැර ගොස් තිබිනි.අප සියල්ලම ඒ වන විට සිටියේ වහල මත වන අතර සැල්බ් එකද නොපෙනෙමින් ඒ මතද ජලය තිබුනි.

සියල්ල ව්‍යර්ථ වෙමින් දෙවන ජල පහර පැමිනියේ එක ක්ෂණයෙනි. අපටත් නොදැනෙන ලෙස එයට මොහොතකට කලින් පැමිණි ජලය අපව බේරා තිබුනි. ඒ දුම්‍රිය නිවස මතට හේත්තු කර අපිට එයට ගොඩ වන්නට ඉඩ සලසමිනි.
සියල්ලටම සිදුවූයේ අසුරු සැනිනි.. ජල පහර සියල්ල සුන්නද්ධූලි කරමින් ගොඩබිම දෙසට ගලා යනු දක්නට ලැබිනි.
ජල පහර හා අතරින් පතර තිබු උස ගස් හැරෙන්නට කිසිඳු දෙයක් පරිසරයේ නොදුටුවෙමි. නිවෙස් බිඳ ජල පහර ගසාගෙන ගියේය.
අප හැඬුවේ අපේ මව වෙනුවෙනි.
බැලු බැලු අත සියල්ල සුන්නද්ධූලි කරමින් ගලන ජල පහරියන් සියල්ල විනාශ වෙමින් තිබුනි.

වහල මත අපි තිදෙනා හා බේරුනු මිනිස්සු කිහිප දෙනෙක් සිටියෙමු. ජල ප්‍රහාරය කැලඹි කැලඹි බොහෝ වේලාවක් තිබුනි.
අපි හෙලු කඳුල අම්මා නොමියේවා කියාය. ටිකෙන් ටික ජලය බැස යමින් තිබුනි. ගස් හානි වු නිවෙස් හා සුන්බුන් කොටස් පෙනෙන්නට පටන් ගති.
අප තවදුරටත් සිටියේ වහල මතය. හඬමිනි. ඒ අතර අපේ මව හැඳ සිටි ඇඳුමට සමාන ඇඳුමක් ජලයේ පාවෙමින් තිබුනි. අදටත් මගේ හිතේ එය නොමැකෙන මතකයන් අතර පවති. අපගේ සියලු ප්‍රාර්ථනා සුනුවිසුනු කරමින් ජල පහර අප තිදෙනාගෙ ජීවිත පමනක් ඉතිරි කරමින් තිබුනි.

ඒ අතර මගේ මතකයේ තිබු පොල් ගසේ හුන් මිනිසා මියගොස් තිබුනේ පොල්ගස කැඩි කුමක් හෝ විශාල දෙයකට ඒ පුද්ගලයා හිර කරමිනි. ජලය බැස යත්ම ඔහුගේ මලසිරුර පෙනෙන්නට තිබුනි. ඒ මේ අත මල සිරුරුද, බේරුනු කිහිපදෙනෙකුගේ විලාපයන්ද පමණක් සජීවීව පැවතුනි.
එලෙසම අප සිටි වහල හිමි නිවසේ සිට මුහුද දෙසට අඩි 10ක් පමන ගිය තැන දුම්රිය පාරය. නමුත් දුම්රිය පෙට්ටි ගොඩබිම දෙසට මීටර් සියයක් තරම් ඈතටත් ඒවා ඒ මේ අත හැරිද තිබුනි.

ජලය ඉතා අඩුවෙත්ම මිනිසුන් සුන්බුන් අතරින් ඉතා අපහසුවෙන් ගොඩබිම පැත්තට ගියේ තොටගමුවේ පන්සල සොයාගෙනය.
අපි තවදුරටත් වහල මත හිඳිමින් මව සොයන්නට වෙහෙසුනෙමු.
ජලය බැස ගියද ගොඩබිම හා මුහුද වෙන් කරන සීමාවක් නොපෙනිණ. ඒ වන විට එකොලහයි විස්ස පමන විය.

අවසානයේ.....
අපි වහල මත හිඳින විට අපේ මව ගොඩබිම දෙසට වන්න මිටර් සියයක් පමන ඈතින් සුන්බුන් ගොඩක් මැද ජිවිතය බේරාගෙන හිටගෙන සිටිනු අපි දුටිමු. එය පැහැදිය නොහැකි සන්තුෂ්ටියකි. ඒ අසල දුම්රිය පෙට්ටි කිහිපයක්ද ඒ මේ අත වැටි තිබුනි.

මා බැලුවේ මුහුද දෙසය. මන්ද අප වහල මත සිටියද මව සිටියේ පොලවෙය. නැවත වතුර පහරක් ආවහොත් මව නැවත අහිමි වන නිසාය.
දෙවියනේ නැවත වතුර පහරක් පැමිණෙමින් තිබුනි. අප මවට කෑ ගසා අසල තිබු දුම්‍රිය පෙට්ටිය උඩට ගොඩ වෙන්නට කිව්වෙමු. 
මා දුටු ආශ්චර්යම සිදුවීම එයයි. මගේ මව දුම්‍රිය පෙට්ටි දෙකක් අතර ඇති කලු පැහැති රබර් බුශය අල්ලාගෙන දුම්රිය වහල මතට ගොඩ විනි.

එම රල පහර විශාල එකක් නොවීය. සමහර විටෙක එය සාමන්‍ය මුහුදු රල පහරක් වුවා වන්නට ඇත. නමුත් අප බියෙන් සලිත වී සිටියේ නැවත ජල පහරක් එනු ඇත කියාය.
අනතුරුව අපි වහලෙන් බැස සුන්බුන් මතින් පන්සලට ඇවිද ගියෙමු.
හානි වු නිවෙස් වල බිත්ති, කඩා වැටුනු ගස්, ඒ අතර හිර වෙලා හුන් මිය ගිය මිනිස්සු බොහෝමයක් විය.
පුංචි මල්ලියෙක් තනිව අපහසුවෙන් සුන්බුන් මතින් ඇවිද යන්නට තැත් කරනු ඈත සිට අපි දුටිමු. අප ඔහු ළඟට එන විටත් කල යුතු දෙයක් නොදැන තනිව ඔහු වැටෙමින් මිනිස්සු ඇවිද යන දෙසට යැමට උත්සහයක යෙදී සිටියේය.
අපි ඔහු තනියෙන් බැවින් ඔහු සමඟ පන්සලට ගියෙමු.
අපගේ පෙර කල පිනකට පවුලේ කිසිඳු කෙනෙකුට ජීවිත හානියක් නොවී තිබුනද දහසක් මිය ගිය මිනිසුන් මැදින් අපි ගමන් කලෙමු.
අප සිතුවේ පන්සලට ගොස් ඒ මල්ලිගේ මව හෝ පියා සොයා ගැනීමටයි.
නමුත් අවාසනාවකට එය සිදු නොවිනි. පන්සලේ නොදන්න මිනිසුන් අතර මල්ලිගේ කවුරු හෝ නොසිටියේය. 
ඔහු සිය මව පියා හා අක්කා සමඟ ගාල්ලේ පිහිටි සිය මහ ගෙදරට යෑමට පැමින තිබුනි.

තවද මගේ හොඳම මිතුරියක්ද එහිදී හම් විය. ඇයගේ නැගනිය රකුසු රල පහර මඟින් රැගෙන ගොස් තිබුනි.
අපි හවස ගොඩබිම දෙසින් අපගේ නෑ නිවසකට යෑමට පිටත් වුනෙමු.
පුංචි මල්ලි අපේ කෙනෙක් නොවන නිසා රැගෙන ඒම නීතිමය ගැටලුවක් බැවින් පොලිසියට බාර දෙන්න යැයි කියා ගමේ මිනිසුන් හට අපි බාර කලෙමු.
අපි පයිනුත්, එක එක වාහන වල පිහිටෙනුත් අපේ මාමාගේ නිවසට අවසානයේ පැමිණියෙමු.

ප.ලි.: මෙම කතාව සාමාන්‍ය සාහිත්‍යයමය කතාවක් ලෙස ලියන්න උත්සහ කලත් එය ඉතා අපහසු විය. වැරදි අඩුපාඩු හුඟක් ඇති බව මම දනිමි. 
හැකි නම් විවේචනය කරන්න. ස්තූතියි.

තවද මගේ මව ජල පහරේ රවුමට එකම ප්‍රදේශයේ කැරකෙමින් හිඳ කඩා වැටුනු කොස් ගසක අත්තක් අල්ලන් බේරී ඇත.
එදින මට කිසි ලෙසකත් සුව නින්ද නොලැබුනි. කන් දෙකෙන් මුහුදේ ශබ්දය මහා කරදරයක් ලෙස ඇසෙමින් තිබුනි. රෑ මැද දෙතුන් වරක් බියවී ඇහැරුනි.
කතාවේ කියු මලනුවන්, දන්න කෙනෙක් වෙතොත් මට දුරකතන අංකයක් හෝ ලබා දෙන්න. මගේ පියා ඔහු ගැන දැන ගැනීමට ආසාවෙන් සිටින නිසාවෙනි.
ඔහු 1997 ඉපදුනු, පානදුර පදිංචි වේල්ස්කුමාර විදුහලට ගිය පිරිමි ළමයෙකි.

^_^



කෙම්බිමක්ව වැජඹුණු හරිත වනන්තරේ.
කතරක්ව වෙව්ලනා මොහොතක්ය නොතේරේ.
වැයුව පෙම් ගීතිකා එකලිහි සිතාරේ
තත් බිඳෙනවා රුදුව ප්‍රේමයේ ප්‍රහාරේ

මධුවිතක් පිරෙනවා-විනිවිදින වීදුරුව..
හදවතක් රිදෙනවා-නිදිවදින මහ රෑක.
මධුවිතෙන් මත් වෙලා-වනවදින හදවතම.
සුවයක්ම කැන්දලා-මතවිදින මධුවිතම.

ඉවර වුන වොඩ්කා වල සිහින හිරකර මිටින
විසිත්ත කාමරයේ තබමි, ඇබ ගසා එක පෙලට.
සබඳ ඔබ නොබලන්න. එදෙස ඔච්චම් ලෙසින.
ආයේ දවසක ඉඩ ඇති වෙලාවක එන්න තව මත් වෙන්න.

මේ තරම් රන්තරු- ඇතිය මගේ සුමිතුරු
අහස් ගඟ කළඹමු.- කඩා ගමු රන්තරු.
වෙන්දේසියේ දමා- කාසි කර ගමු තරු.
විප්පයෝග දුක් දැරු-හිත සුවපත් කෙරු
වොඩ්කා, විස්කි ගෙනත්-පාටී දාමුද මිතුරු.

ප්‍රේමයේ සැඳෑවක් අයේ ඇති කරලන්න.
මත් බවේ නිමාවක් අවැසි නැත දුරලන්න.
හිත් කොනේ විඩාවක්. හෙමි හෙමින් මියැදෙන්න
කුඩාරමේ නිද්‍රාවක්. බී ඉදින් සැනසෙන්න.

අක්මාව මැරෙනවා, නොදැනුනත් නොමඳ.
ආශාව මොටද මේ මධුවිතට නිබඳ.
ඔබදාව උපත ලද පෙමට කුරිරුව කිමද
ඔබමම මියැදෙන්නේ මධුවිතෙන් ලබැඳ.






කල්පාන්තරයකට පෙර
ඔබ තෙමුව මගේ සිරුර,
වළදාපු පහස සඟවා
ඔහු පාරනු හැඟේ..

ඔබෙ අදිසි චුම්බනයට රතුව
සිදුරු වූ තොල්පෙත්ත.
අද රිදව රිදවා 
ඔහු විසින් තුවාල කරනු දැනේ...

ඔබේ ඒ ප්‍රේමය අමිලවු නමුදු
ප්‍රේමයක් නැති යෝජනාවක
බිරිඳ නාමෙන් මගේ දෙනෙතෙන්ම
උණු කඳුලු කැට හැලේ...




සුදුමැලිව සමනලුන්
ගුලිවුණේ හැංගිලා..
මුමුණනවා තනිතනිව
රහසින්ම ඉකිගසා...

මහ බරට මදනලට
සුසුමන්ම අමුනලා...
කඳුලු කැට එකින් එක
පොළව මත අතැ'රලා...

හැංගිච්ච කතාවක
ගතු රහස් කියනවා...
ඇවිද යමි හෙමින්
මල් පාර දිවෙනවා....

මල් පිපුනු මල් ගව්ව
මොකද්දෝ යදිනවා..
මුසලම හැඟුමකින්
පත් ඔහේ විසිරිලා...

පොඩිවෙච්ච මල් පෙත්ත
පොළොව මත වැතිරිලා..
වෙච්ච මහ වියරුවක
තතු පවත් දවනවා..

මනහරව තිබුනු ඒ
මල් දෙවැට ඉහිරිලා..
වන බඹර පහරකම
සැහැසිකම් කියනවා...


මතක වළලමු

නතාශා..
නැවත පැමිණෙන්න..
අපි ආපසු යමු,
අතීතයට....
අපිට හැකිවේවී සිහින ඉහිරවා
මතක ඒ ආගිය තැන්වල වළලා එන්න.
කොන්ක්‍රීට් වලින්ම වලලමු.
දොම්නසක් නැති වේවී..
මේ වගේ ඉහිලුම් නොදෙන.
අනතුරුව ඔබට වාගේම මටද හැකිවෙයි
ඇවිද යන්නට අපේ තනි මඟ.
ඉදින් ආයෙත් එන්න..
අපි මතක වළලා එමු..

ප්‍රබන්ධ

ප්‍රේම ගීතයක් නොවූ එය..
ප්‍රබන්ධයක්ම විය,
ඔබ නිර්මාණකරුවා වු..
මා රසවිඳ අවසන් ව නැත තවමත්..
ළය රිදුම් දේ තවමත්
නෙත කඳුලු ඒ දැනුදු
කය ඔත්පලව ඇතත්..
ප්‍රබන්ධය අවසන්ව ඇත,
තවත් ප්‍රබන්ධයක් සොයා ගත් යුතුව ඇත.
අමතක කරවන්නට පෙර විප්පයෝග රසය.

අවිශ්වාසය

ප්‍රේමයම
ගිනි ගෙන දැවෙන
ගිනියම

ඇයැදුමක්

ඔබේ ඇසුරේ රසාලිප්තය,
මතක් වු වග අමතකව....
මා ගෙවන මේ සුයාමය....
මේ පණ නොමැති ආත්මය
ගැහෙන අවසන් පණ කදම්බය
යදින යැදුමක් දුර්ධර සොව,
දැනෙනා නමුදු නොදැන සිටයද....
ඇහැකිද පැමිණෙන්න....
කහ පැහැති කානේශන් මල් පොකුර ගෙන....
ළඟ ළඟම එන
මගේ අවසන් ගමනට..

රාධා

පෙම්වත..
නෙතු කැල්මන් විසුරුවනු මැන.
එයින් කල්පයක් වුව
ඔබ වෙනුවෙන් පමා වෙන්නෙමි..

සහජාන්ට ලියා තබමි..

සහජාන් ඔබ මා මියැදුනු පසු..
මගේ අනන්ත ප්‍රේමය හැඳින ගත්තෙද.
සත්තයි මා නොපිලිගනිමි.
මගේ පැටව් ටිකවත් බලා ගන්න ඇහැකි නම් ඇහැක් වගේ..
පිලිගන්නම් මං ප්‍රේමය හැඳිනි වග...

අන්ත පුරයට මා පැමිනිය පසු ඔබ මගේ කුටියට වඩා රැඳුනු කුටි අනන්තයි..
මං ආදරේ කරපු බවවත් දැන හුන්නෙ නැතිවද...
දැන හුන්නත් නොදන්නා සේ විසුවද..

කියන්න...
මගේ අවසන් ගමනට ඔබ හෙලුව කඳුලු කැට,
මිථ්‍යාවක් නොවේමද?
දනිමි මම ඔබේ රැඟුමන්..

ඔබ සෙනෙහස විඳීවී සියල්ල අමතක කර..
අන්තපුරයට වී...
එදා මෙන්.. හෙටත්..

මියැදුනු මා වෙනුවට මගේ හුරතල් පුංචි නංගි කැන්දන් එන්න තරම් හයිය තිවුනේ කොහොමද...
ඔය හිතට..
හයක් හතරක් නොදන්න පොඩි එකී..
මට වගේ දරුවෝ පුදන්න එපා ඒකීට..
ඒකීත් මැරිලා යාවී..
ටජ්මහල් හදන්නයෑ තව..?

ඔබේ ප්‍රේමය

පතරංග කවියක් උනා නම් යෙහෙකි..
මියෙනතුරු රසවිඳින...
හයිකුවක් නොවී
මොහොතකින් අවසන් වන

ඔබට...



මිතුදමක් හරි දුර ඇදී.
රෝස මල් පිපි හිනැහිනි.
මිතුදමට තිත තියැවුනි.
නැවුම් කවියක් ඇරඹුනි.

චුම්බන හුඟක් ඔද වැඩී.
සන්‍තත හදක් කිතිකැවී.
රත තඹරු පෙති දිගහැරී.
සෙනෙහසක කව් ලියැවුනී.

හාදු පත්තිරු ලෙල දුනි.
හිතක සුසුමන් ගිලිහුනි.
අළු මේඝ නිල්වලාවන් වී.
දේදුනු පැහැ කවි ලියැවුනී.

සෙනෙහසම මහ ගඟුලකි.
ආදරය මහ සයුරකි.
ඔබෙන් ලද මේ ප්‍රේමයේ ගී,
සුසුදු මල් වල ලියැනෙමි.



ගිනි ගෙන දැවෙන ජීවිතය මැදින් ලියමි...



ප්‍රේමයෙන් ඉරි තැලි සුන්නද්ධූලිව ගිය
ඔබේ හිත දැවෙන ගිනි
පත්තිරුවක ලියා එවන කල...
මා කියවිය යුතුමද...

තිත තැබුවේ ප්‍රේමයට..
අකැප කල ප්‍රේමයම..
දිනිය යුතු නොවෙද මම්
ගිනිගෙන දැවෙන ජීවිතය..
ප්‍රේමයට වඩා අවැසිය
ජීවිතය දිනන්නට..
මවට.. පියාට සලකන්න...
සල්ලි බාගේ සොයන්නට..

ප්‍රේමයෙන් නොව හදවතත් නොව,
සුන්නද්ධූලිව ගිය මගේ මුලු ජීවිතයම,
මේ වෙහෙස, ගොඩ ගන්න...
අනේ ටිකක් ඉවසලා ඉන්න..
ප්‍රේමය අකැප මට උඹව අහිමිකොට.
කෙලෙස උඹ හා ප්‍රේමය දිගහරින්නද තව..


ප්‍රේම අන්දරය

ගණනින් සියයකටත් වැඩි..
හදවතින් එකකුවත් නැති..
හාදු මත රැඳී ප්‍රේම අන්දරය...

ආදරය

ආදරය තරුවක්ව පිපෙයි..
හුඟ කලක් දිදුලයි.
විටෙක ගිනිගෙන දැවී
දෙරණට වැටෙයි.
උල්කාශ්මයක්ව දිස්වෙයි..

වැව් දිය අරුමය...



ගලන්නෙ ගඟුල වුනත්,
වැව එකම තැන තිවුනත්,
අනන්‍යය දිය පොදම පමණයි
නම් දෙකක් වුවත්..

මල් පෙති හැලි වතුරට..
ගලා නොයනව නම්..
පල් වෙනු ඇතිය එක තැන
ගන්ධයක් විසුරුවමින්...

යල කන්නයට වැවට වැන්දත්,
මහ කන්නයට වැවට බනින බව සැබයි..
මහ වැසි වැටුනහොත්...

මහ වැස්සට කලා වැවෙත්
කලාවක් නැති බවත් ඇත්තයි..

වැවේ කලාවට
අවුකන පිලිමේ රැලි නිමැව් බව
පැවසුවත්...
ඒ වැසි නැති කලක නම් පමණමයි.
පිලිමේ නෙලුවේ මහ අව්වක බවත් සැබැවයි..


ප්‍රේම මලගම



සඳ ළඟින් ආ සුසුම් සිහිලක.
දැනුනා හුරුපුරුදු හැඟුමක්..
ආගන්තුකයකුගේ ආගනමනය
වර්ශ එකහාමරකට පොරොතුව
අනාගන්තුක වුනම අරුමය...
මතක් කෙරුවා මතක දෙවොලෙන්...
සිනා සී මං හැංගුවා ඒ මතක වියරුව..

රෑයේ ගණදුරු මැදියමේ වුව..
මධ්‍යහන ගිනිගත් දහවලේ වුව,
හැඩගැසෙන මගේ දාහය සිහිලසකට..
ඒ මහ විප්ලවයේ මහා විප්ලවකරු
තවම ගයනා හඬ ඇසේ මට..
හද මැදුරු තුල කිඳා බැස වුව.
අරුමයි මහද වැජඹෙනා අපුරුව

සිහින සිතුවම් බොඳම කරමින්.
ඈත ගව්වක් දිය සිඳී වියැලෙමින්
පිපුනු මල් පෙති විසිර යවමින්..
හැමු මහ කුණාටු මතකයන්.
සසලකල එක ක්ෂණයෙන්
නිසල කරමින් හරි හෙමින්..
හද මලගම පෙමින් නිමැවීය කුරිරුව..


පතිනියගේ පතිවෘත


"ඔයා ඒ කාලේ ආදරේ හෙව්වේ මගෙන් විතරයි." කඳුලු කැට මිරිකලා පතිනි ගෝතමගේ පපුවට තුරුලු වුනේ තව මොහොතකින් වෙන් වෙන්න ඇති බව අමතක කරමින්...
ගෝතම පිලිතුරක් නොදී නිහඬව උන්නේ නිහඬ බව හොඳම පිලිතුර නිසා වෙන්න ඇති.. ඒ අතර පතිනිගේ හද මන්දිරයේ මේඝ වලාවන් අළු පැහැති වෙමින්, රත් පැහැති විදුලි රේඛා ඇදෙමින් මැකෙමින් තිවුනේ.. කොයිම හරි මොහොතක මහ හඬ තලමින්, විදුලිය විහිදුවමින්, අසෙනි වැස්සක් කඩා හැලෙන්න නියමිතව.. නමුත් පතිනි උන්නේ හැමදාම වගේ හරිම නිවිච්ච හදවත ඉදිරියට අරන්.. ඉවසීම ප්‍රගුණ කලේ ඈ ගෝතමට ආදරේ කරන්න ගත්තු මුල්ම දවස් වල ඉඳලා..
" ඔයාට බෑ ගෝතම වෙන ගෑනියෙක් එක්ක ඉන්න. මං දන්නවනේ ඔයාගේ ඕන එපා කම්"
පතිනි කිව්වේ ඇත්ත.. ගෝතමට උවමනා වුනේ නාට්‍ය කරන්න විතරයි. විවාහ වුන දවසේ ඉඳන් ගෝතමගේ අවශ්‍යතා, ගෝතමගේ අම්මගේ අවශ්‍යතාවන්, ගෝතමගේ ලෙයින් පතිනි උප්පත්තිය දුන් ගෞරි හා ගජිඳු වන දු-පුතුන්ගේ සියලු අවශ්‍යතාවන් ඉටු කලේ පතිනි. ගෝතමට අවශ්‍ය වුනේ නාට්‍යකරුවෙක් වෙන්න විතරයි. පවුල් ජීවිතය රැකුනේ පතිනි නිසා.. ගෝතමගේ සබඳතා පතිනි දැනහුන්නත් කිසිඳු වචනයක් නොකීවේ ආදරය ඊට වඩා ප්‍රබල නිසා,අනෙක් අතට අනාථ වුනු තමන්ට පියෙක් වගේ පුරුෂයෙක් ලැබුනේ පිනකට කියලා විශ්වාස කල නිසා. ගෝතම පෙම් කරන අවදියේ පතිනිව රැකුවේ ඇත්තටම පියෙක් වගේ.. වේලකට කෑම එකක් ගන්නවත් මුදල් නැති පතිනි, ඒ දිනවල ගෝතම නැත්තම් දැනටමත් මියැදෙන්න තිබුනා. ගෝතම කුමක් කලත් පතිනි කළගුන සලකමින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පතිනියක්ව හුන්නා..

ගෝතම වයසින් මුහුකුරා ගියත්, තාරුණ්‍යයේ ඔද වැඩි ගති පැවතුම් වලින් දිනෙන් දින වැජඹුනේ සිය දරු දෙදෙනාවත් අමතක කරමින්..
පරිසරයෙත් මුසල සුළඟක් හමයමින්, විප්පයෝගයට සූදානම් වුනා. අහස් මේඝයන් අළු පැහැවෙමින් වැහි දිය කැට කැට බිමට වැටුනා.
"මට දික්කසාදය ඕනා" ගෝතම නිහඬ බවට තිත තිබ්බා..
පතිනි ගැඹුරු හුස්මක් හෙලලා, හීනියට ඇයදුවේ.. 
" ඔයාගේ දරුවන්ට තාත්තා කෙනෙක් නැති කරන්න එපා" කියලා.. හෙමින් ඉකිබිඳින්න ගත්තා. ඒ එක්කම මෙපමණ කලක් බෙදා හදා ගත් ගෝතමගෙත් තමන්ගෙත් සයනයෙන් රූරා ගෝතමගේ සිරුර දිගේ පාද ස්පර්ශ කර කඳුලු සයුරක් අතහරින්න පටන් ගත්තා.

ගෝතම කඳුලු වලට බයයි. විශේෂයෙන්ම පතිනිගේ... මොනවා වුනත් තමන් අවුරුදු විසි පහකටත් වඩා ආදරය කරපු, අවුරුදු විස්සකටත් වඩා විවාහ ජීවිතය ගත කල තමාගේ දුකටත් සැපටත් උන්න මියුලැසිය, පතිනි...
නාට්‍ය පිටපත් ලියනකොට මැදියමේ වුනත් තමන්ට අවශ්‍යතා සැපිරුව ගැහැනිය...
තමන්ගේ අම්මටත් ආදරෙන් සැලකුවා..
තමන්ගේ රුදුරු ගති පැවතුම් ඉවසුවා. තමන්ගේම ළමයි දෙන්නෙකුට උප්පත්තිය දුන්නා.. ආදරේ කලා.. කොපමණ වැරදි කලත් ඒවා ඉවසා සිටියා..

දෙවෙනි වතාවට ගෝතමට හිතෙන්න ගත්තා තමන් වැරදි දෙයක් කරන බව..
පළමු වතාව වුනේ මීට වර්ෂ දහයකට පමණ පෙර පලමු වතාවට පතිනිව අමතක කර වෙන ගැහැනියක් හා යහන් ගත් වු අවස්ථාව.. එයින් පස්සේ ඒක වැරැද්දක් ලෙස නොහිතුනේ පුරුද්දට ගිය හන්දා.

"ඔයා දන්නවා පතිනි ඔයාගේ කඳුලු වලට මං අකමැති බව" ගෝතම එහෙම පැවසුවේ පතිනිව සම්පුර්ණයෙන්ම සිය දෑතින් ඔසවලා යහන මත තබන ගමන්...
වැස්ස අඩු කරලා තිබුනා.. ඒත් හීතල සුළං ජනෙල් තුලින් කාමරය ආක්‍රමණය කලා. පතිනි සීතලෙන් මිරිකුනේ පුරුද්දට වගේ.. එහෙම වුනාම පතිනි දැනන් හිටියා ඊළඟට මොකද වෙන්නෙ කියලා..

"මට සමා වෙන්න පතිනි." ගෝතම එහෙම මිමිනුවේ පලමු වතාවට වෙන්න ඇති.. 
" අපි දරු දෙන්නා වෙනුවෙන්වත් එකට ඉන්න ඕනා ගෝතම" පතිනි ගෝතමගේ 
තුරුලට වුනේ ආයේ කවදාවත් වෙන් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමින්..
"ඒත් කවදා වෙනකම් ගෝතම පතිවෘත රකීවිද?" පතිනි හිතන්න ගියේ නෑ. මොකද එන විදියට ජිවිතයට මුහුණ දෙන එක තමයි හොඳම කියලා ඈ දැන උන්නා..


මව් සෙනේ




විඩාබර නෙත් කෙවෙනි පිරිමැද
වෙසෙසින් නිදි දෙවිදු පලවා හරින
එකඳු පැතුමම දකිනු සිය පුතු,
රැයේ නොනිදා බලා හිදිනා
සොලොස් දහසක් පමණ වෙන ඒ,
උතුම් මව් ගුණ ලියනු කෙලෙසක.

හිමිදිරියටත් මත්තෙන් අවදිව,
දැලි කුනු මතින් දුම් බී නිවාලන
සිය කුසගිනි අමතකව
නිවනු සිය පුතුන්ගේ කුසගිනි.
රැකියාවට යන දරුවන්ට
ඉදෙන බත් පත පුදදී හිනැහුනා.

දහවලේ දර කෝටු ඇහිඳා
කොරටුවේ වල්පැලම සිඳලා
දාහයෙන් පීදුනු ඵලක් නෙලලා
කුසගිනි නිවාලන යුද්ධයට
තනිව ඈ හිනැහුනා.
වීරියෙන් ජීවිතය ගෙව්වා.

සිය වෙහෙස අමතක කරවන,
සිය දරුවන්ගේ වෙහෙස..
නිවාලන්නට සැරසෙන ඈ
යලිත් දුම් මත කුස්සියේ නිදනා.
දුක සතුට කර හිනැහුනා.
කඳුල මදහසව ඉතිරුවා.

එකඳු පැතුමක් සිතේ දැල්වුන.
දරු පැටව් සැප විඳින හීනය,
සැබෑ වුන ඒ මව්ගේ වීරිය
නිවාසේ හිඳ යෙහෙලියන් හා
ගයනු දුටුවා. හිනැහිමින් ඈ..
කිසිඳු කිලුටක සෙයක් නැතුවා

හරිම අවිවේකීය මා පුතු.
ලොකු තැනක හිඳිනා සන්තුෂ්ටිය.
ගයා අවසන, පරවූ හීනය
කඳුලු වී වැටී සිඳුනා.
නමුත් ඈ මල් පහන් පුදලා
පුතුගේ දියුණුවම පැතුවා


අතීතයට කුමට...



සුවහසක් පා තබා ගිය ඒ,
වෙරළ මත වූ අපේ කඳුලැලි
වියලි යනු ඇත, සැඟව යනු ඇත.
වෙහෙස නොවනුය, කඳුලු පිලිබඳ,

සවිමත්ව බැදි අපේ බන්ධන
ලිහි ගැලවී ගියෙ කෙලෙසක
තවම පුදුමයි ඔබේ ප්‍රේමය
මගෙන් නික්මී පියැඹු අරුමය.

සඳට කිව් ගී, දෝංකාරයකි.
මලට බැඳි පෙම, මිරිගු දුමාරෙකි.
මලත් නොවුනත් , සඳත් නොවුනත්.
මගේ හදවත ඔබේ හිමියනි.

ගාලු මුවදොර පෙම්වතුන් හුඟ
පෙම්කරන තුටු කඳුලු වගුරන,
දිනක් අපටත් තුබුනු ඔච්චම
මතක් කරවයි පෙම්වතුන් හැම.

සිහින විසිරුන දිනක් පසුවුන.
කුළුඳුලේ පිපි පෙම මැරු දුක.
දරාගමි හිත සසුන් කර.
අහිමි සඳකට කුමට ලොබකම්


ඔබ නැතිව ඔබ එක්ක



හරි හුඟක් තැබු හාදු,
දෙතොල මත වැතිරිලා.
ඔබ අහිමිවුනත් අද,
ඒ හාදු දැනෙනවා.
නෙත් පියන් මං හිතින්
හාදු මල් සිඹිනවා.
ඔබ නැතිව ඔබ එක්ක,
මං ප්‍රේම කරනවා.

ඔබ මගේ නොවේ යැයි
ලෝකයම කියනවා.
හදවතේ ගිලුනු ඔබ
හැමදාම දැනෙනවා.
අපේ මතක කවි හුඟක්
උදේ හවා මැවෙනවා
ඔබ නැතිව මියෙනතෙක්
ඔබට පෙම් කරනවා..


ප්‍රේමය මනරම්



පෙම්වති:
කඳුලු වියැලෙන විලසට..
සුසුම් සිඳෙනා තරමට..
ප්‍රේමයම දවා හළු කරනු හැකි නම්..
කිවිඳුනි..
මේ ඔබේ කවි දහස් ගණන් විසි කර දමමි..
ප්‍රේමයේ අංශූමාත්‍රයක්වත් සොයා ගත් නොහැකි විලසින්..

පෙම්වතා:
කවි විසි කරනු හැකි වේවී..
ප්‍රේමයම අමතක කරවාවි අනාගතය..
ඒත් මා කවියෙක් කල ඔබේ ප්‍රේමය,
මගේ කවි සමඟ බබලාවී..
එසඳ ඔබ මට මගේම වෙවී..


රැවටිල්ල


මගේ දෛවය මට සරදම් කරමින් උන්නේය.. ජීවිතය මට උරුමකලේ කඳුලු නොවේ.. එසේ නම් හසරැල්‍ යැයි ඔබසිතනු ඇති.. නෑ දැන් නම් මට හසරල්ලක් සොයා ගත් නොහී මටම මා එපාකරවා ඇත. සත්තකින්ම මගේ ජිවිතය යනු රැවටිල්ලකි. කවරකුවත් නොපතන තරමට මා වියැලි ගිය කොලරොඩුවක් සේය. මහ මන්දිරයක දුහුවිල්ලක් සේය.. මටසිළුටු මැණික් ගල් අතර හතර අතට ඉරි තැලි, පැලි ගිය මාණික්‍යයක් සේය.. 
මගේ උප්පත්තිය සර්ව සම්පුර්ණ උප්පරවැට්ටියකි. මගේ සුජාත මව හෝ සුජාත පියා කවුරුදැයි මම නොදනිමි. නමුදු මට උප්පැන්නයක් ඇත. එහි පියා ඉදිරියේ ඉරක් නොව නමක් ඇත. ඒ නම මා හදාවඩා ගත් මගේ දෛවයෙන් සිය දෛවය ලියා ගත් සුජාත පුතෙකුගේය. මා අවජාතකයකු ලෙස හැඳුන් නොවනුයේ මගේ වාසනවකට යැයි ඔබ නොසිතන්න.
ඉදින් මම මගේ කතාව ඔබට පවසමි..

අරුණෝදයෙ හිරු මහෝදය ජනෙල් පියන් පත් ඉරා මගේ මුහුනට වැදේ. මම එයින් කෝප විමි. අතීතයේ අරුණෝදයට පෙම් කල මා මෙලෙස කෝප වීම් පිළිබඳ යටි සිතෙහි ඇත්තේ හුදු ඔච්චමක් වන් හැඟීමකි.
සමාජය නැමති විශයෙහි හුදු ව්‍යක්තයෙකු වු මම දැන් දැන් සමාජයෙන් වහන් වී මගේ දෛවයේ සරදමට වෛර කරමි.

මා ඉපදුනේ කොහිදැයි මම නොදනිමි. නමුදු මගේ සුජාත භාවයට අනුව මා ප්‍රසිද්ධ නගරයක ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක උපත ලබා ඇත. මගේ නාමික මව සිහින්දැරී කෙනෙකි. ඇයට ඇය විසින් වැදු දරුවන් නොමැත. මා සමඟ වැඩිමල් පුත්‍රරත්නයක් ඇයගේ දරුවන් ලෙස සහතිකවම ඇය හදාවඩා ගත්තාය.
මගේ නාමික පියා සදහටම අපෙන් ඈත් වී සිටියේය. කලාතුරකින් දුටුවා මිස ඔහු නිවසේ නොවිසුවේය. ව්‍යාපාරයැයි කියමින් ඔහු විසුවේ ගිනි ගහන කොළඹ යැයි පමණක් මම දැනසිටියෙමි.
දිව්‍යමය සැප සම්පත්තීන් නොතිබුනද දෙමහල් නිවසක් හා වාහනයක් මා දන්න මගේ පෙරපාසල් වියේ සිටම තිබිනි. පාසල් යෑමට, ටියුශන් යෑමට සහෝදරයාට වඩා වාහනය නිවැසියන් විසින් මට පවරා තිබිනි. මම නිවසේ සැමගේ හුරතලා ලෙස හැදී වැඩුනි.
අවශ්‍යතාව කුමක්ද, මවට පැවසු වහම එය මට ලැබුනි. මම සැබවින්ම උගත්තෙමි. කලා විශයන් වලින් සමත්ව සමාජ විද්‍යා විශේෂ උපාධිය සඳහා මා තේරී පත් වුනි.. එය මාගේ උත්කර්ෂවත් අවදිය යැයි සිතුවෙමි. මාගේ දිවිය සමාජ විද්‍යා සංකල්ප වලින් නිර්මිතව ගලාගෙන ගියේය.. මම සමාජ විද්‍යා විශයට පරපෝෂිතයෙක්ව වැඩුනෙමි...

යාචක හා සමාජ පසුබිම මැයෙන් මා මගේ විශේවේදී නිබන්ධනය එලිදක්වන්නට සිතුවෙ ලංකීය යාචක පසුබිමේ රහස් සෙවීමේ උන්මාදයෙන් මා පෙලීම නිසාය.. මම හා මගේ මිතුරෙකු  වෙස්වලාගෙන කොළඹ යාචකයන් සේ සැරිසැරුවෙමු.. අප උදේම දුම්රියෙන් පැමින මුලු දවසම යාචකයන් සේ ගත් කර සවසට නිවස බලා ගියෙමු... එය මුලදී උත්කෘෂ්ට ජුගුප්සාජනක ක්‍රියාදාමයක් වුවද තෙදිනක් ගත් වෙත්ම අපි එයට හුරු විමු. නමුදු කිසිඳු විශේෂතාවයක් සොයා ගත් නොහී අපි ලත වෙමින් සිටියෙමු. සිව් වන දිනයේ අප වටා යාචකයකු කැරකැවෙනු අපගේ නිරික්ෂණයට හසු විය. 
පසුබිම කෙසේ වෙතත් අපව මරනයට කැදවගෙන යනු ඇතැයි අප සිතුවේ ඔහු අපට කිනිස්සක් පෙන්වා " තොපි දැන් කිහිප දවසක්ම මේ අඩවියේ දැක්කා. අයේ මෙහි ආවොත් කපනවා පලු යන්න"  කීවේය.

ම මිතුරා පින්සින්ඩු වුයේ...
"අපේ ගේ සින්න උනා. මේ මගේ මලයා. අපිට දැන් ඉන්න හිටින්න තැනක් නෑ..කවුරු අපිව බලා ගන්නද.. උඹ මැරුවා කියා අපට කම් නැත" කියමිනි..

"තොපි අපේ බජට් එකත් හුරන් කනවා වස්සෝ.. තොපි නිසා මගේ කොටස අඩු වෙනවා. කයිරා මහත්තයාට මන් දැන් උඹලව වාර්තා කරනවා. එක්කො තොපි කපොති. නැත්තම් තොපිට අපේ රංචුවට එක් වෙන්න වෙනවා" කියු ඔහු, " නැවත් දැක්කොත් හිල් කරනවා" යැයි කියා යන්න ගියේය..
අපි ක්‍රියාදාමය චිත්‍රපටයක නලුවන් වී සිටියෙමු. නමුදු සැබවින්ම අප උත්කෘෂ්ට සන්තෝශයටත්, උත්කෘෂ්ට බියකරු සිදුවීමකිනුත් තෘෂ්නිම්භූත වී සිටියෙමු..
උත්කෘෂ්ට බිය නම් නිසැකයෙන් හෙට දිනයේ අප කිනිසි පහරක් බලාපොරොත්තු විය යුතු නිසාය..
උත්කෘෂ්ට සන්තෝශය නම්, බියකරු බව පසෙකලා අපගේ අරමුණ සාක්ෂ්‍යත් කර ගැනීමට නිසැක සාක්ෂියක් අප කරා පැමිණ තිබීමයි. එනම් කයිරා මහත්තයා යනු කවුදැයි සෙවීම ඊළඟ අභියෝගය වීමයි.. ඒසේම මැර වදන් කියූ යාචකයා කයිරා නම් පුද්ගලයාට අප වාර්තා කිරීම ට තරම් සහේතුක විප්ලවය අප තරණය කල යුතු නිසාය..

අපි ආවෙමු. සිඟමන් යැදීම පසෙකලා  අප බලා සිටියේ ඒ මොහොත උදා වෙනකම්‍ ය.. පෙරදා පැමිණි යාචකයාගේ සෙවනැල්ලකුඳු අපි නොදුටුවෙමු. නමුදු අප පසු පස දෙදෙනෙකු ලුහු බඳින බව අපි පසක් කර ගතිමු. එක් කෙනෙකු කලු උස මහත් කෙනෙකුත්, අනිකා පච්චයක් කෙටු හීන් දැරී පුද්ගලයකුත්‍ ය..
"උඹලා දෙන්නා ගැන අපි සෝදිසියෙන් ඉන්නෙ.. හවසට කයිරෝ මහත්‍තයාව උඹලා හමු වෙන්න ඕනා. "
ඒ අතරින් කලු උස මහත පුද්ගලයා අප ළඟට පැමිණ කීවේ ගිනි පුපුරු විදින්නා සේය..
ඒක අණක් බව අපි පසක් කර ගතිමු. කෙලෙසක හෝ අපටද අවශ්‍ය වුයේ එයයි. යාචක ව්‍යාපාරය ගැන ලිවීමට හැකියාව උදා වී ඇත...
"අපි දැන්ම එන්නම්, මහත්තයෝ " යැයි කියු මම, ඔවුන් පසු පස ඇදුනෙමු.
අතිශයෙන් තැතිගෙන තිබුනද, අපගේ උන්මාදයේ අරමුණ පැහැදිලිව පෙනෙන්නට තිබිනි..

කොටුවේ පෙට්ටි කඩ මැදින් බ්ලුමැන්ඩල් පාර දෙසට ඇදුනු දෙදෙනා පසින් අපිත් ඉතා යටහත්ව ගමන් ගතිමු.
"උඹලා කැමැත්තෙන්ම පැමිණි එක හොඳයි. නැත්තම් උස්සන්නයි වෙන්නෙ.. උඹලා 40%ක් දෙන්න ඕනා අපිට. මේ අඩවියේ මේ ජොබ් එක කරනවා නම්."
කලු උස මහත ඉසකේ සුදු වු පුද්ගලයා එසේ කිවේන් අප මුහුනට මුහුන බලා ගතිමු..

ඔවුහු ටික දුරක් ගිය විට අතුරු පාරකට හැරුනෝය.ඒ යන විට පාර දෙපස සිටි යාචකයින් සේ පනෙන කුඩා දරුවන් ඔවුන් දැක හැකිලුනෝය. අපේ දෘශ්ටිය ගණකම කොට අවට අධ්‍යනය අවශ්‍යයැයි සිතුනු බැවින් අපි සෙමින් ගමන් කිරීමට පටන් ගතිමු..
කුඩා නිවෙස් වල හුන් ගැහැනුද ඉතා යටහත් පහත් ලෙස ඔවුන් දැක හිනාවුවෝය.
" ඉක්මන් කරහන්.. ගාටන් නැතුවලා"
එසේ පැවසුයෙන් අප ඉක්මන්කිරීමටවග බලාගතිමු.ඔවුන් තරහ ගැස්වීමට කිසිඳු වුවමනාවක් අපට නොතිබිනි.
අප පැමිණ තිබුනේ කුඩා නිවසකටය. එහි ඉදිරිපිට වාහනයක් නතර කර තිබුනේය. එය මට හුරු වාහනයක් බව එකිනෙහිම පසක්වු නමුදු එහි හිමිකරු මතකයට නගා ගත් නොහැකිවිය..
" මෙතන නැවතිලා ඉන්නවා." යැයි පැවසු හීන්දැරි මිනිසා, අපව නිවසේ ගේට්ටුව අබියසදී නතර කරවීය. අපි නතර වී බලා සිටියෙමු
" සර් ඇවිල්ලා වගේ බන්, කවදාවත් නැතුව.. මං මේ දකිනවා නම් දකින්නෙ වර්ෂ ගණනාවකින් වගේ"  යැයි හීනියට කලු මහත් මිනිසාට පැවසීය..
එසේ නම් සර් යනු මෙම ව්‍යාපාරයේ ඉහලම පුද්ගලයකු විය යුතුයැයි එකිනෙහිම හැඟුණි.
මිනිසුන් දෙදෙනෙකු එම කුඩා නිවසේ දොරටුව ළඟ සිටගෙන සිටිනු පෙනේ. ඔවුන් එලියට පැමිනෙනු දුටුවෙමි. එසේ නම් අනතුරුව මෙහි නායකයා ඉදිරියට පැමිණෙනු ඇත.
ඉතා අගනා ලෙස හැද පැලඳ ගත් ඔවුන්ගේ බලවතා යයි සිතිය හැකි පුද්ගලයකු එලියට පැමිනියා පමණි..
විශ්වාස කරන්න..
මට මගේ ඇස් අදහාගත නොහැකි වුනි.. කෙලෙස පහදන්නයැයි මට කිසිසේත් හැකි නොවනු ඇත.

එකිනෙහි අපව මෙහි කැඳවාගෙන ආ පුද්ගලයින් ගරුත්වයෙන් "සර්" කියමින් අැදුනේ මගේ නාමික පියනන් ළඟටය...
එනම් මේ යාචක ව්‍යාපාරයේ නයකයා මගේ පියාය... මගේ උප්පැන්නයෙ පියාගෙ නම ඉදිරියෙන් සඳහන් වු මිනිසාය...

අප්‍රකාශිත ප්‍රේමය

අදත් අසුන හිස්..
සුපුරුදු බව පසෙකලා.
ඔබ නෑවිත්..
අදට සත් දිනක් නොවැ..

අසුන දෙස බලා
සුසුම් ලන මගේ පෙම්වත් හිත..
එකල ඉසිඹුලන ඔබේ මදහස
මගේ මතක පොත අස්සෙන් සොයාගෙන.
හිනැහෙනවා තනිවම.

නොදැන උන්නත් නුඹේ පරසිඳු ප්‍රේමය..
දෙදිනකට පොරොතුව දැන ගතිමි..
ඔබ විවාහ වී මධුසමයට පිටත් වු වග..
ඉදින් ඔබ දැන් පෙම් බස් තෙපලනවා ඇති ඔහුට.
මා මෙලෙස අප්‍රකාශිත ප්‍රේමය ගැන සුසුම්ලන සඳ....

ජිවිත වෙනස

පාසි බැඳෙන්නේ තාප්ප වල.
සුදු තාප්ප හරිත කරමින්..
හිමින් සීරුවේ උඩට නගින අපුරුව.

ගෙදර උන්නැහේට වෙලාවක් නෑ නොවැ
කඩා දමන්න.
ලස්සන රටාවකට පාසි වැවිලා.
ඒ අතර සල්ලි කොල ද වැවිලා..

පාසි අතර පිපුනු සල්ලි කොල.
පුංචි ළමුන් කඩා ගෙන
සෙල්ලම් කඩවල් දැම්මා..

ඒකාලේ හරි මිහිරියි.
සල්ලි ඕන උනාම තාප්පේ ළඟට දිව්වා.
ඒත් දැන් සල්ලි කොහෙන්ද කඩා ගනු.??

හීන

හීන ඇහිඳින්න ගියෙමි.
තෙල් නිධි සපිරි දෙරණකට.
සත්කාරක තනතුරක..
සිත් බඳින නිමැවමක..

සතුට විසිරුනි පලමු දිනයෙම.
හීන හැඬුවා කර්කශින්.

හරිම කටුකම
හරිම පීඩිත
සේවයක්මැය..

බන්ධනය නිසා නොවැ මේ දුක විඳිනු.
බන්ධනය ලිහිනු විගස පැමිනෙමි.

එතකම් හීන වලලා දමමි.
හීන සිර කර තබමි.

රජිදුනි.....

රජිදුනි.....


හීතලෙන් වෙලා ගත් ආත්මය සනසවා..
දොම්නසින් හිරිවැටුන හද දුකින් උදුරවා..
වියරුවෙන් නොව ඉදින් සත්තකින් පෙම් කලා.
කෙලෙස අමතක කරනු ප්‍රේමයම සිතින් මා..

ආවට ඇත සඳේ.. නමුදු එලියක් ඇතේ...
අමාවක ලැබුව මුත්.. පසලොස්වකත් ඒ...
එදින නිසැකයෙන් ඔබ දිදුලනා සඳක් වේ...
ඉවසන්න පෙම්‍ රජුනි ඒ දිනය ළඟම වේ..

නොවිඳිනා දුක් වින්ද පෙම් යුවලක්ය අපි..
නමුදු සතුටින්ම අපි පසුකලා නොවෙද දිවි..
ඇස් වගේ රකිමි මම ඔබේ ප්‍රේමය ඉදින්.
දුක් නොවෙනු මැන, දිනෙක දිදුලනුය දුක දැවි.


ආදරය



ආදරය..
කටු අකුලක පැටලී.
නෙළුම් පතක සුවය පිදුව...

කඳුලක් තරම් හද පාරවා
හිනා කොඩයක් පිදුව.

මා මේ භවය පුරාවට
සත්තයි...
මේ ආදරයට ණයගැතියි..


වරද



සදාකලිකව මිහිදන් වු හීනයේ නටඹුන් ගවේෂණයට පෙර ඉඳුරාම ඔබේ තකතීරුකම් පිළිබඳ අවංකවම විස්සෝප වෙමි. ඔබගේ අහිංසකත්වයට පෙම් බැදි මා, මේ ගිනි ගහන කොලඹ ෆැන්ටසි ඉසව්ව කරා රැගෙන ගිය වරද සැබවින්ම මම වෙත පවරා ගනිමි. ඔබ, ෆැන්ටසි  ලොවෙහි උත්කෘෂ්ට අහ්ලාදයේ වියරුවෙන් වියරු වැටුනු බැව් මට  පසක් වුයේ සියල්ල සිදුවී හමාර වීමෙන් අනතුරුය. ඉදින් ඔබ මා වෙතින් ගිලිහුණේ අසුරු සැනෙකිනි.

තද දම් පැහැ කෙස්රොදේ උනුහුමට වශි වු මා ඔබේ රතැඟිලි මත වියරුවෙන් ආදරය තැවරුවෙමි. ස්වභාවිකත්වයට මුල් තැන දුන් ඔබේ නෙත් අදුන් ගැල්වුයෙමි. ඔබ නොදුටු ඉසව්වට මම අතැඟිලි වලින් අල්ලා රැගෙන ගියෙමි.
ගිනි ගහන අව්ව මැදින් ප්‍රේමයේ හිම තුහින ඉස්සුවෙමි. ඝන අන්ධකාර රාත්‍රියේ අඩවන් රතු කොල එලි මැදින් සීතල විනිවිදා රුහිර අග්නි වර්ෂාවෙන් නැහැව්වෙමි.

අපේ මතකයන් වියලි කොල රොඩු වී කොලොම්පුරයේ මං මාවත් වල හැලි ඉකිබිඳි. දැනුදු ඒවායේ ශෝකිරාවය මගේ හදවත කිනිසි පහරවල් සේ සිදුරු කරයි.
ඔබට මීට වර්ෂයකට පොරොතුව ආගන්තුක වු මේ විසේකාර කොලොම්පුරයේ ඔබ දැන් මා පසෙකට විසිකර තනිව හෝ ආගන්තුකයින්  සමඟ පාතබනු දැකීම තරම් වු දුර්ධර(අතිශය) වේදනාවෙන් පෙලෙමි. ඔබ මෙලෙස මා හැර ආගන්තුක බව පසෙකලා පිය නගනු බැව් මට අදහන්නටද නොහැකිය. මා ඔබ දත්තේ අහිංසක මලක් ලෙසටය. ඒ මල මගේ අතෙහි වෙලි එකල පිය නැගුවේ මුව පොව්වකු ලෝකය දකින්නාසේය.
මම පිලිගනිමි. මා ඒ මලට ආදරය වත් කොට විටින් විට රාගයද මිශ්‍ර කලේ මාගේ නොසන්ඩාල පිරිමිකම නාමයෙනි. නමුත් වෙන පිරිමියකු ගෙන් ඔබට ඒ නොසන්ඩාලකම හිමිවනු මම රිසි නොවුයෙමි. ඔබ මගේමය. මගේ පමණක්මයැයි මම ඇදහුයෙමි. මා ඔබට සැබවින්ම ප්‍රේම කලෙමි. දැනුදු ප්‍රේම කරමි.

මම ඔබව බලහත්කාරයෙන් මගේ ප්‍රේමයටත්, මගේ පිරිමිකමටද හුරු කෙරුවෙමි. එසේ නොනැවතී හදවත උමතු කරවන මතටත්, අන්ධකායේ රතු කොල ලෙල දෙන සමාජයටත් හුරු කෙරුවෙමි. සියල්ලම  මා ඔබ වෙත බලහත්කාරයෙන් පටවන ලද ආවේගයන් ය.
දැන් මට මගේ වරද දර්ශනය වේ. 
ගැමිකම මැදින් ඔබ නාගරිකරනය වුයේ මා නිසාය. ඒද ස්වයන් කැමැත්තෙන් නොවේ. එය ඔබට ආගන්තුක වු නමුත් හදවතට නතු වු වහාම ඔබ එයට වේගයෙන් ලොල් වුවාය, උමතු වුවාය. ඔබේ අහිංසකකම පරදා දඟකර කෙලිලොල් බව ඉස්මතු වීම මගේ පරම අපේක්ෂාව වු නමුදු ඒ ඔබේ තකතීරුකම මා විසින් ඔබගෙන් පිටතට ගත් බැව් වැටහුනේ සියල්ල සිදුවී හමාර වු පසුය. ඉදින් ඔබ මා වෙතින් ගිලිහිනි.

මා ප්‍රථම හාදුවත් මේ වනතුරු අවසාන හාදුවත් තැරවුයේ ඔබේ නාදෙතොලට පමණිමය. රතු කොල වර්ණයන් මැද ඔබ මගෙන් ගිලිහි වෙනෙකෙකුගේ හාදුවෙන් තෙමෙනු මගේ දෘෂ්ටියට හසු වු අතිශය උහුලාගත නොහැකි වේදනාවෙන් දැනුදු මා ඔත්පලව හිඳිමි. මා වෙතින් උගත් සංස්කෘතිය ඔබව විනාශ කරනු දැකීම තරම් වේදනාවක් අද වනතුරු මම නොදනිමි. ඔබව විනාශ මුඛයට ඇද දැමු පසුතැවිල්ල මාගේ හුස්ම සිඳෙන තුරු මහදින් නික්ම නොයනු ඇත. ඉදින් ඔබ දැනගන්න... මගේ ආදරය නාමයෙන්, මම විඳවමි. හෙටද විඳවන්නෙමි. මියෙනතුරු විඳවන්නෙමි.

පැතුම



වැස්සක් වෙලා වැටෙන්න
ගඟුලක් වෙලා ගලන්න
ඔබේ ප්‍රේමය...
අවැසිය මට
හුස්ම සිඳිනතුරු
ජිවීතය ගෙවන්නට..


කවි නුග

එකෝමත් එක කාලෙක පරසඳු කිවිවරයෙක් හිටියා. කිවිවරයා පාරදෘෂ්‍ය දිය උල්පතක් වගෙයි. කවි බීජ ඉසින්නේ.
ඒවා ධරණිතලයෙන් අවශෝෂණය කරගෙන හිමින් හිමින් පුංචි පුංචි අංකුර වගේ අස්වැද්දුවා.
අංකුර පැල වෙලා කවි නුග ගස් පුංචි පැල හැටියට ඉහල ආකාස ගඟ තරණයට ගියා.

ආකාස ගඟේ උන්නාලු රකුසෙක්..
ඌ සිඟිති කාලේ කවි අංකුර කාලයි ලොකු වෙලා තියෙන්නෙ. ඉතින් කවියක් දැක්ක ගමන් රකුසා දන්නවලු ඒකෙ රහ..
රකුසා ජිවත් උනේ කවි විකුනලලු..

ඉතින් අහස් ගඟ තරණයට ගිහිපු කවි නුග  පැල වල එකම එක නුග ගහයිලු ඉතිරි උනේ..
මොකද කියනවා නම් ඒ කාලේ එක දිගට නියඟයකුයි, ජල ගැල්මකුයි ආවලු.
ඉතින් කාලතරණ කොපුවක් හදාගෙන නියඟෙයි, ජලගැල්මයි තරණය කරලා අහස් ගව්ව සැබෑ ලෙසටම තරණය කරන්න වාසනාව තිබුනේ ඒ එකම එක කවි නුග ගහකට විතරයි.

අහස් ගඟ තරණයේ එන මේ දක්ෂ කවි නුග ගහ දැකපු රකුසාට හරි සන්තෝශ හිතුනලු.
මොකද දැක්ක ගමන් රකුසා දන්නවනෙ කවි වල රහ..

ඔය අතරේ කවි නුග ගහත් ගැබ්බර වෙන්න පටන් අරන් තිබුනේ. ලා ක්‍රිම්සන් පාට කවි නුග ගෙඩි කවි නුග දළු අතරින් අහස් ගව්ව පුරාම වැවිලා ලෙල දුන්නලු..

ඉතින් රකුසා කලේ හොරෙන් හොරෙන් මේ කවි ගෙඩි කඩලා අපනයනය කරපු එකලු..
ඒකත් අවීචියටලු..

අවීචියේ හිටපු උදවියට ඒ කවි ගෙඩි අමා රහක් වගේ උනාලු.
රකුසා කවි නුග ගහේ ගෙඩි ඉවර උනාම, මුලින් කවි නුග දළුයි, කවි නුග කොලයි අවීචියටම විකුනුවලු.

අන්තිමට ඉතුරු උනේ කවි නුග ගහේ වේලුනු අරටුව විතරලු..
ඒක රකුසා තමන්ගේ මිනී පෙට්ටිය හදන්න කියලා තියා ගත්තලු..

කවි නුග වල රස බලපු සහෘදය...!  විචාරේ ලියලා කිවිවරයව ගැබ්බර කරන්න හොඳේ..

නව මුලද්‍රව්‍ය 4ක් ආවර්තිතා වගුවට..



පින්තුරය:-
රිකෙන්හි ප්‍රධාන හා සුපිරි බලැති නිහොනියම් සොයාගැනීමට මුල් වු ව්ද්‍යාඥ කොසුකෙ මොරිටා හා ජපාන අධ්‍යාපන අමාත්‍ය හිරොශි හසේ  2016 ජුනි  09 දා වකොහි සම්මන්ත්‍රනයකදී 113 මුලද්‍රව්‍ය ආවර්තිතා වගුවේ ප්‍රදර්ශනය කරන අවස්ථාව


ශුද්ධ හා ව්‍යවහාරික රසායන පිලිබඳ ජාත්‍යන්තර සංගමය International Union of Pure and Applied Chemistry (IUPAC), මගින් 2016 දෙසැම්බර් 03 දින නව සංයෝග 4ක්  ආවර්තිතා වගුවට එක් කල බව නිල ප්‍රකාශයට පත් කලේය.

ඒවා පරමානුක ක්‍රමංකය 113,115, 117 හා 118 වන මුලද්‍රව්‍යයි.
මේ වර්ෂයේ ආරම්භයේදී  එනම් 2016 ජනවාරි 01 වනදා මූලද්‍රව්‍ය හතරක් සොයා ගත් බව ශුද්ධ හා ව්‍යාවහාරික රසායනික විද්‍යාව පිලිබඳ ජාත්‍යන්තර සංගමය මඟින් ප්‍රකාශ කල නමුදු නාමකරනයන් සහිතව නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුයේ දෙසැම්බර් තුන් වනදාය.

මේ වන තුරු පරමානුක ක්‍රමංකය 113 ලෙස පැවති අස්තතික මුලද්‍රව්‍ය උන්උන්‍යට්‍රියම්(ununtrium) ලෙසත්, පරමනුක ක්‍රමාංකය 115 මුලද්‍රව්‍ය උන්උන්පෙන්ටියම් හෝ ඌප් (ununpentium or Uup) ලෙසත්. 117 උන්උම්සෙප්ටියම හෝ ඌස් (ununseptium or Uus) හා 118 උන්උනොක්ටියම් හෝ ඌඔ(ununoctium or Uuo) ලෙසත් නම් කර තිබුනු නමුත් ඒවා ප්‍රායෝගික වශයෙන් ස්වභාවයේ නොතිබුනි. නමුදු නව සොයා ගැනීම් මගින් ඒවා ඉවත් වී යනු ඇත. තවද පෙර පැවති ඒවාට ඉහල විකිරණශිලිතාවක් පැවතුන සේම මුලද්‍රව්‍ය නිපැයු විගස එම මුලද්‍රව්‍ය පරමානු සිය වර්ගයේම වෙනත් පරමානු හා ඉතා සුලු කාලයකදි ප්‍රතික්‍රියා කර විනාශ වුනු බැවින් ඒවා සත්‍ය ලෙසටම නොපැවතුනි.



පින්තුරය:-
රිකෙන්හි ප්‍රධාන හා නිහොනියම් සොයාගැනීමට මුල් වු ව්ද්‍යාඥ කොසුකෙ මොරිටා පරමානුක ක්‍රමාංකය 113 මුලද්‍රව්‍ය සොයා ගැනීම පිලිබද 2015 දෙසැ 31 වකොහි සම්මන්ත්‍රනයදී මුල් වරට හඳුන්වා දෙන අවස්ථාව.


ප්‍රථම වතාවට ජපන් විද්‍යඥයින්  විසින් සොයා ගත් පරමානුක ක්‍රමංකය 113 වන මූලද්‍රව්‍ය නිහොනියම් (nihonium ) ලෙස නම් කර ඇත.  එහි රසායනික සංකේතය Nh වේ. නිහෝන් යන්නෙහි සැබෑ අරුත ජපන් භාෂාවෙන් හිරු නැගෙනා දෙරණ යන්නයි.

එලෙසම මෙය ආවර්තිතා වගුවට මූලද්‍රව්‍යක්  ජපන් ජාතිකයන් වගේම ආසියනුවන් ලෙසින්
මනුශ්‍ය වර්ගයාගේ ප්‍රඥා නැමති වත්කම පුද කල ප්‍රථම වතාව ලෙස, මුලද්‍රව්‍ය නිපදවීමට මූලික දායකත්වය ලබාදුන් විද්‍යාඥ කොසුකෙ මොරිතා(Kosuke Morita) සිය නිවේදනයෙන් ප්‍රකාශ කලේය.
113 පරමනුක ක්‍රමාංකය සහිත මුලද්‍රව්‍ය සොයා ගැනිම ඔලිම්පික් රන් පදක්කම්කටත් වඩා වටිනා බව රිඔජි නොයොරි(Ryoji Noyori) , රිකෙන් (Riken) නම් ජපන් රසායන විද්‍යා ආයතනයේහි හිටපු සභාපති එලෙසම නිහොනියම් සොයා ගැනීමට අගනා කාර්‍යභාරයක් සිදුකල විද්‍යාඥයා මෙම වර්ෂය මුලදී පවසා ඇත.

එය ද ස්වභාවයේ පවතින මුලද්‍රව්‍යක් නොවන අතර පරමාණුකක්‍රමාංකය 104ට පසු නිපැයු සංයෝග සේම පර්යේෂණාගාර නිමැවුමකි.

ඉතිරි සංයෝග තුනෙන් දෙකක් නාමකරනය සිදු කර ඇත්තේ ඒවා සොයා ගැනීමට පුරොගාමි වු භූගොලීය කලාපයෙ නම් වලින් වන අතර ඉතිරි මූලද්‍රව්‍ය එයට පුරෝගාමි වු විද්‍යාඥයා නමින් නාමකරනය කර ඇත.

රුසියානු විද්‍යාඥයින් පිරිසක් සොයාගනු ලැබු පරමානුකක්‍රමාංකය 115 මොස්කොවියම්(moscovium) නමින් නාමකරනය කල Mc සංකේතය සහිත මුලද්‍රව්‍ය රුසියානු අගනුවර වන මොස්කව් නාමයට ගෞරවයක් ලෙස නම් කර ඇත්තේ මොස්කොවියම් නිපදවීමට අදාල පර්යේෂණ මොස්කව්හීදී සිදු කළ බැවිනි.

එයට සමාන ලෙසම පරමානුකක්‍රමාංකය 117 වන නව සංයෝගය වන ටැනිසින් (tennessine) හි නාමකරනය ටැනිසි ප්‍රාන්තය නමින් නම් කර ඇත.
එහි රසායනික සංකේතය Ts ය.

අවසාන මූලද්‍රව්‍ය පරමානුක ක්‍රමංකය 118 වන Og හෙවත් ඔගනෙසන් (oganesson)ය.  එහි නාමකරනය එය සොයාගනු ලැබු යුරි ඔගනෙසීයන්(Yuri Oganessian) නම් රුසියානු න්‍යශ්ටික භෞතිඥයා හට ගෞරවයක් ලෙස  නම් කර ඇත.

මාස පහක මහජන විමර්ශන කාලයකින් අනතුරුව උතුරු කැරොලියන් මුලික ශුද්ධ හා ව්‍යාවහාරික රසායනික විද්‍යාව පිලිබඳ ජාත්‍යන්තර සංගමය මඟින් එම නාමකරනයන් නිල වශයෙන් පිලිගෙන ප්‍රකාශයට පත් කර ඇත.

නව මුලද්‍රව්‍යන්හි නාමකරනය වර්තමානයේ යථාර්තය මනාව ප්‍රකට කරන බව ශුද්ධ හා ව්‍යාවහාරික රසායනික විද්‍යාව පිලිබඳ ජාත්‍යන්තර සංගමයේ සභාපති නටාලියා තරසොවා (Natalia Tarasova) සිය සංගමයේ නිල වෙබ් අඩවිය මගින් ප්‍රකාශ කර ඇත. එහි තවදුරටත් විද්‍යාවේ සාර්වත්‍රිකත්වය හා අවශ්‍ය භූමිකාව  ඔගනෙසියන් මඟින් උපුටා දක්වා ඇත.

තවද මෙම අවසාන සොයාගැනීම් හතරත් සමඟම ආවර්තිතා වගුවේ හත් වන ආවර්තය සම්පුර්න වේ.

එලෙසටම මෙම නව සොයාගැනීමත් සමඟම ඒ සඳහා පුරෝගාමි වු විද්‍යාඥයන් ඉදිරි නොබෙල් ත්‍යාගයන් සඳහා නිර්දේශ වනු ඇත.

ජපනය අතිවිශිෂ්ට පර්යේෂණ ඉතිහාසයකට උරුමකම් කියන අතර ඔවුහු මේ තාක් නොබෙල් තාග්‍ය විස්සකට හිමිකම් කියනු ලබති. එසේම මෙම වසරේ වෛද්‍යවිද්‍යාව පිලිබඳ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබු යොශිනොරි ඔහ්සුමියන්වද සිහිපත් කරනු කැමැත්තෙමි.



බඹරා

බඹරා වැඩිවිය පැමිනුන උන්දා
වේලපත්කඩේ බැලුවලු..
අපලයිලු බඹරට..
පුළුවන් නම් බෝධිපුජා තියන්න කිව්වලු.

රොන් සුනු ඉරී යනතුරු
මල්පෙති තැලී යනතුරු
පහස ලබන තරම්
මහ වලත්තකම් කරන එකෙක් කිව්වලු..
කනට කරලා ජෝතිශ්‍යඥයා..

මම ඔබෙන් අසම්...
ඒත් ඇත්තටම අපල මල් වලට නෙවේද..?

බඹරා රෝස මලක් ළඟ ප්‍රථම හාදුව තියලා.
කානේශන් මලක් ළඟ කුමර බඹසර පිදුවලු.
ඉක්බිති කුමුදු මලක් ළඟට ඇවිත් පෙම් මුනු මුනුවක් ගැයුවලු.
ඒත් කුමුදු මල නෙවේලු ඇහැක් ඇරලා බැලුවේ..

සල්ලාලකම් අතෑරපු බඹරා
උත්පාදනය කරාලු ප්‍රේමයක්
කුමුද් මලට..
ඔච්චමක් නොවේ එය...!
කවිත් ගෙතුවලු...
ඒවා කඳුලු පෙති වලත් ලිව්වලු..

ඔබට කියමි.. එක්කෝ නොකියමි..
හැදින ගත්තා නම් අගෙයි..
බඹරා සමනලයෙක් උන වග..

නිදානය

හැඟීම් අකුරු  කරන්නට කලියෙන්, නුඹ හා මම එක්ව නිමැව් ආදරයේ සුසානය ළඟට වී කඳුලු පෙති අවාරේ මදනලට පා කරමි.. සුසුම් දිය, ගිනි ගහන මෙදියතට  දොවාලමි..
මා දොම්නසෙන් වුවාට කම් නැත. 
මේ ලියමන කියවන සහෘදයා දුකෙන් පෙලන්න කිසිකලෙකත් වුවමනා නැත. මන්ද මම ආදරයේ වේදනාව දනිමි. එය දරා ගැනීම අපහසුය.. ඔවුන්ට වියෝදුක පිරිනමා මට සොම්නසින් ඔද වැඩියා සේ ඉදිරියට පා තැබිය නොහැකිය...

ආදරය හමු වන්නේ වෙන්වීමක් ළඟය.. වෙන් නුවු කෙනෙකු සදාකලිකව ආදරය හඳුන නොගනු ඇත..

ටයිටැනික් හී ජැක් මියගියේය. එබැවින් ඔබ ඒ ආදරයට පෙම් කලෝය.
ජුලියට් මියැදුනේ රෝමියෝ මියැදුනු නිසාවෙනි. ඉදින් විශ්වයේ පෙම්වත්හු සදාතන වෙන්වූවෝය.. ආදරේ නාමයෙන් එය එසේ සිදුවිය යුතුමය. එක්වුවහොත් කවදාක හෝ ආදරය පෙම්වතුන් තුලින් ගිලිහියනු ඇත.ආදරය එසේය. පරිසමාප්‍ත අර්ථයෙන්ම එසේය..
එම්බා සහෘදය, ඔබේ මුවෙන් මට අමු අමුවෙන් තෙපලුවාට කම් නැත.. සත්‍ය නම් අව්‍යාජ ආදරයක් අවැසි නම් වෙන්වීමයි නියමය.. ඉදින් ඔබට මියෙන තුරුම හදකිනිති වල ප්‍රේමය හංගා නෛතික සහකරුට හොරෙන් ප්‍රේම කරනු හැකිය.. ඒ ප්‍රේමය රසවත්ය. "අහ්...! කෙතරම් අගනේද ? " යි ආදරය හද කිනිත්තෙන් එලියට ගෙන රූ විසිතුරු බලන කල්හි ඔබට සන්තෝශ විය හැකිය. ඒ අහ්ලාදය ඔබේම පමණක්මය.. ශෝකි නොවන්න ප්‍රේමය වෙන්වූවා නම්..
ඒ ප්‍රේමයට ඔබට ඉදිරියටත් ප්‍රේම කල හැකිය. ඒ රසය ඔබේමය....

මේ වස්සාන සෘතුව ග්‍රීෂ්ම මුනුමුනුවට තිරය විවර කල වැරදිකරුවා ඔබවත් මමවත් නොවේ. මට හැකි  නම් කාලතරනය කර ඔබගේ දෛවය නැවත ලියවමි. මේ සියල්ලටම වැරදිකරුවා ඔබයැයි නියම කර ඔබව ශෝක ලෝදියෙ ගිල්විමට මට නොහැකියි.

ඔබ පෙම් කලේ අන් පිරිමින් විලස නොවේ. ඔබට හාදු වුවමනා නොවිය. කර්කශ රතියක් වුවමනා නොවීය..
හද පමණක් ස්පර්ශ කර ඔබ තුටු වීය.
මට ඒ පෙම ප්‍රමනවත් නොවිනි.

මං දවසක් ඇහුවා "ඇයි හාදුවක්වත් තවරන් නැත්තේ" කියලා.
ඔහු කිව්වා ආදරය කියන්නේ එක දෙයක් රාගය කියන්නේ තව දෙයක් කියලා.

ඒත් මට හාදු අවශ්‍ය විය. මා හාදු දෙවොලට ගොස් හාදු යැදීය. රාග දෙව්ලොවට ගොසින් රාගය පැතීය. වරදවා වටහා නොගන්න...

සහෘදය..! ඒද ඔහුගෙන් පමණිමය.
ඉදින් ප්‍රේමයට මා අවැසිය. ප්‍රේමය මට අවැසිය. ප්‍රේමයට ප්‍රේමය අවැසිය. එමෙන්ම ප්‍රේමයට රාගයද යහමින් අවැසිය.

මට අවශ්‍ය වුනේ හයිඩ්‍රක්ලෝරික් අම්ලය වෙන්න. ඔහුට මං කිව්වා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වෙන්න කියලා.
යහමින් ප්‍රතික්‍රියා කරන්න.
ඒත් ඔහු ලවණයක් වගේ උදාසීනව හිටියා.

රටා මැවුනු ප්‍රේමයේ මම යහමින් සායම් උලමි.
ඔබ දන්නවාද සායම් වල බැර ලෝහ තිබෙන බව?
මං දැන හිටියේ නෑ.  ඉතින් මං නොදැන සායම් උලපු නිසා මගේ ප්‍රේමය විශ සහිත වුනා.

සුකුමාල ප්‍රේමයේ මම රතු රෝස මල් පෙති ඇතිරුවා. මං දැන උන්නේ නෑ ඒ අතර රෝස කටු තිබෙන බව. ඉදින් විස කටු ඇනිලා ප්‍රේමය සිදුරු වුනා. ප්‍රේමයෙන් රුහිරය ගැලුවා.

දවසක් මං ප්‍රැක්ටිකල් වලට එන්ඩොක්‍රයින් (endocrine) ක්ලිනික් එකට ගියාම එයා හිටියා.
මං එයාට හොරෙන් එයාගේ ක්ලිiනික් පොත අරන් බැලුවා එයාගේ ගැටලුව මොකද්ද කියලා.

දෙයියන්ට ඔප්පුවෙච්චවේ..
ඉන්පොටෙන්ස්.. (impotence)
මං ඉන් පස්සේ හිස්ට්‍රි බැලුවා.
"සිවිය ඇල්කොහොලික් ඇන්ඩ් කැනබීස් යුස්ඩ්." (Severe alcoholic and cannabis used)

යලි ඔබ දුටුවාම...



නොහඬන ගිම්හානයත් අකලට හැඬුව දුක.
වස්සානය දෙදරවලා ගැලුව ගඟ.
පවසමි ඔබට නොම සඟවා රහස් වෙද.
අසාරක් කල්පයක් පිරු පෙම දියවුනිය.

වැහි කොඩයකටවත් නොතෙමා රැකුව.
කලුවර මැදින් පියකුගේ සෙවණක් පිදුව.
කඳුලු වැසි වැටුනි නම් එක ක්ෂණයෙන් පිසලූව..
දෙවිදෙකු තරම් විය සෙනේහය තැරවුව

කඳුලූ මුතු නෙතට කඳුලක් බරම වැඩි.
කුමුදු මලෙක තරමට සුරකිමි කුමරි.
තුමුල හදෙහි වෙනසක් සිදු වුනු සැනෙනි.
සුමල හිතක් පැරුනි එසඳින් කැලති.

කැලතුනු ජලය නිශ්චල විය දිනෙන් දින.
වැගිරුනු කඳුලු මිණිකැට වුනි සඟවන්ට.
යලි නුඹ දුටු තුටට වැගිරුනු කඳුල කැට.
සැඟවුවත්, පෙම සඟවනු ඈ කෙලෙස?


රන් තාරකාව නොහොත් තාරකා මල


ඒකීගේ මදහසේ සුන්දර ක්ෂුද්‍ර අංශුවක්ම මගේ අන්වීක්ෂයට හසු වුනේ නෑ. ඒත් මං ඒකිගේ මන්දහාසෙට වසඟ වෙලයි හිටියේ..
මෙරුවා ආලෝකයට ඇදෙනවා වගේ මට ඒකිගේ හිනාව නැති තප්පරයක් අන්ධකාර මැදියම් හෝරාවක් වගේ වුනා. ඉතින් මං ඒකීගේ පස්සේ ඇදුනා..
ඔව් මං මෙරුවෙක් තමයි. ඒකී මගේ අන්ධකාර තාරකාව.

"ඒකී මහා ආඩම්බර එකියක්"
මගේ අතිජාත පරම මිතුරා කිව්වත් මං නෙවෙයි පිලිගත්තේ..

ඒකී අහංකාරෙට හිනා නොවී ඉන්නකොට මගේ හදවත් ගල්බෝර දාලා තලනවා වගේ වුනා..
"ජොයින්ට් එකක් දීපන්, එතකොට හිනා වෙවි" මගේ මිත්‍රයෝ මටයි එහෙම හිනා වුනේ ඒකීගේ ආඩම්බරේ ගැන කියලා
හදත් සාක්කි දේවි.
තරුවක් නැතිව හද පායන් නෑ...
ඒකිත් මට තරුවක් වගේ.. මගේ තාරකාවී.. 
ඉතිං මේ අන්ධකාරේ පායන මගේ තාරකාවි.

ඒකිට මං ආදරෙයි කිව්වේ කවියෙන්, සිංහල කවියකින්.  
"කවිකම් වලට ඉඩ නෑ."
ඒකී කෲර විදියට ඉංග්‍රීසියෙන් තෙපලනකොට මගේ හදවත ඒකිගේ ආඩම්බරේ කියන ගල්බෝරෙට වැදිලා තැලුනා. තැලිලා යකඩයක් වගේ පදම් වුනා.

ඒත් මං ඒක පෙන්නන්න ගියේ නෑ.
"ලැජ්ජ නැද්ද බොල! උඹ ඒකීගේ පස්සෙන් ඔච්චර සෙවලයා වගේ ඇදෙන්නෙ, මුහුදේ වෙන මාළු නැද්ද?"
මට ලැජ්ජාවක් දැනුන් නෑ.
අනික මං උන්නෙ මුහුදෙයැ. මං අහස් ගව්වේ සක්මන් කරන පුංචි කණාමැදිරියෙක්.
ආලෝකේ හොයා ගන්න ඕනා මේ ලෝකෙ මට සැරි සරන්න. ඒකී ළඟ විතරයි මට ගැලපෙන ආලෝකය තිවුනේ.

මගේ පුංචි රන් තාරකාව ඒකී....
මුලින් මං පිලිගත්තෙ මන් මෙරුවෙක් කියලා.. දැන්, කණාමැදිරියෙක්ලු...
මං පිලිගන්නම් ඇත්ත.. 
මං ඇත්තටම රෑ බදුල්ලෙක්.. 
ඒකී මගේ ආදරය පිලිගත්තේ සම්පුර්ණ වර්ෂයක්ම ඒකීගේ පස්සෙන් ගියාට පස්සෙයි. ඒකෙත් රහක් තිබුනා, ඒකීගේ අහංකාරේ බලා ඉන්න එක.
"කොහෙද ගෙම්බෝ ඔච්චර පස්සෙන් යන එකෙ රහක්?" ඔයාලා මගෙන් අහයි..
ඒක ඉතින් මගේ හර්ද වස්තුවෙන් එලියට අරන් මේන් මේකයි රහ කියන්න මන් දන්නෙ නෑ.
ඒක අර කුමාරතුංග මුනිදාස සාහිත්‍යයේ නව නළු රස වලට අමතරව පෙන්වලා දීපු දහ වෙනි රසේ වගේ රසයක් වෙන්න ඇති බාගදා වෙලාවට.

රෑ බදුල්ලා එලිය වෙලා.. 
අහස් ගව්වේ සැරිසැරුවා.
ඒකී.. මගේ රන් තාරකාව,
මට ප්‍රේම කරන්න පටන් ගත්තා..

ප්‍රේමය...
සහජාන් ප්‍රේමය හැදින ගත්තේ මුම්ටාස් මැරුනට පස්සේ..
රෝමියෝ ජුලියට් පෙම් කලාට එයාලා එකතු වුනේ නෑ. ප්‍රේමය නිස අකාලයේ මියැදෙන්න සිද්ධ වුනා...
ඒකයි ප්‍රේමයේ භයානකකම..

ප්‍රේමය,
තිබු කල ගත නොහි..
ඉහිරුනු කලම අරුත දැනවී..

මගේ රන් තාරකාවී..
හසරැල්ල විසිකරලා මාව උමතු කරලා සැඟව ගියා...
ඔව්! සහෘදයනි...

ඒකට වග කියන්න ඕනා බඹරෙක් ..
ඌ වන බඹරෙක්..
එහෙම කිව්වා කියලා ඔයාලා වන බඹරුන්ව අවිශ්වාස කරන්න යන්න එපා.
මගේ රන් තාරකාවිට බඹරව හම්බෙලා තියෙන්නෙ දහවලේ..
මං රෑ බදුල්ලෙක් නිසා මං උන්නේ රෑට විතරනේ.
ඒත් මගේ රන් තාරකාවි අහස් ගව්වෙන් බිමට බැහැලා දහවලේ තාරකා මලක් වෙනවලු.. 
මටත් කිව්වේ කණාමැදිරියෙක්..
ඌට කියලා තියෙන්නෙ සමනලයෙක්..

ඉතින් වන බඹරට මට වඩා ප්‍රේම රසාලිප්තයක් මගේ රන් තාරකවී වෙනුවෙන් පුදන්න පුලුවන් උනා ඇති..
මං හිත හදා ගත්තා.. කැලැල් නොතිබුනා නෙවෙයි.. හර්ද වස්තුව හදා ගන්නම බැරි වුනොත් ඇමරිකාවේ ගිහින් ට්‍රන්ස්ප්ලාන්ට් එකක් කරන්න බැරියැ.. 
එච්චර දුර හිතන්නෙ මොකට... 
ලංකාවේ බයිපාස් නැතැ..
ඒත් නිකම් කරන් නෑලු..
නිකම් කරන්න නම් ලිස්ට් එකේ ඉන්න ඕනලු. ඉතින් ඒ අතර හුඟදෙනෙක් මැරෙනවලු. මට බයයි මැරෙන්න..

මං හිත හදා ගත්තා..
පැලැස්තර ටිකක් අලවලා..

මගේ රන් තාරකාවි...!
වැරදුනා..!
මගේ නෙවි දැන්...!
ඒකී වන බඹරා එපා කියලා දැන් මීමැස්සෙක් අල්ලගෙනලු..
මට කිව්වේ ඒ වන බඹරාමයි.!

වැරදි කවුරුද

සිනහවක් දීගෙන ලෝකයට පාඩුවේ ඉන්න බව පෙන්වාම සුගන්ධය විදා  මත් කරන එකයි  වරද පාඩුවේ මල් මැදින් පියඹන බඹරුන්ව උන් උනුන් පියඹන්නෙ සනුහ...