කවි නුග

එකෝමත් එක කාලෙක පරසඳු කිවිවරයෙක් හිටියා. කිවිවරයා පාරදෘෂ්‍ය දිය උල්පතක් වගෙයි. කවි බීජ ඉසින්නේ.
ඒවා ධරණිතලයෙන් අවශෝෂණය කරගෙන හිමින් හිමින් පුංචි පුංචි අංකුර වගේ අස්වැද්දුවා.
අංකුර පැල වෙලා කවි නුග ගස් පුංචි පැල හැටියට ඉහල ආකාස ගඟ තරණයට ගියා.

ආකාස ගඟේ උන්නාලු රකුසෙක්..
ඌ සිඟිති කාලේ කවි අංකුර කාලයි ලොකු වෙලා තියෙන්නෙ. ඉතින් කවියක් දැක්ක ගමන් රකුසා දන්නවලු ඒකෙ රහ..
රකුසා ජිවත් උනේ කවි විකුනලලු..

ඉතින් අහස් ගඟ තරණයට ගිහිපු කවි නුග  පැල වල එකම එක නුග ගහයිලු ඉතිරි උනේ..
මොකද කියනවා නම් ඒ කාලේ එක දිගට නියඟයකුයි, ජල ගැල්මකුයි ආවලු.
ඉතින් කාලතරණ කොපුවක් හදාගෙන නියඟෙයි, ජලගැල්මයි තරණය කරලා අහස් ගව්ව සැබෑ ලෙසටම තරණය කරන්න වාසනාව තිබුනේ ඒ එකම එක කවි නුග ගහකට විතරයි.

අහස් ගඟ තරණයේ එන මේ දක්ෂ කවි නුග ගහ දැකපු රකුසාට හරි සන්තෝශ හිතුනලු.
මොකද දැක්ක ගමන් රකුසා දන්නවනෙ කවි වල රහ..

ඔය අතරේ කවි නුග ගහත් ගැබ්බර වෙන්න පටන් අරන් තිබුනේ. ලා ක්‍රිම්සන් පාට කවි නුග ගෙඩි කවි නුග දළු අතරින් අහස් ගව්ව පුරාම වැවිලා ලෙල දුන්නලු..

ඉතින් රකුසා කලේ හොරෙන් හොරෙන් මේ කවි ගෙඩි කඩලා අපනයනය කරපු එකලු..
ඒකත් අවීචියටලු..

අවීචියේ හිටපු උදවියට ඒ කවි ගෙඩි අමා රහක් වගේ උනාලු.
රකුසා කවි නුග ගහේ ගෙඩි ඉවර උනාම, මුලින් කවි නුග දළුයි, කවි නුග කොලයි අවීචියටම විකුනුවලු.

අන්තිමට ඉතුරු උනේ කවි නුග ගහේ වේලුනු අරටුව විතරලු..
ඒක රකුසා තමන්ගේ මිනී පෙට්ටිය හදන්න කියලා තියා ගත්තලු..

කවි නුග වල රස බලපු සහෘදය...!  විචාරේ ලියලා කිවිවරයව ගැබ්බර කරන්න හොඳේ..

Comments

Popular Posts