මව් සෙනේ
විඩාබර නෙත් කෙවෙනි පිරිමැද
වෙසෙසින් නිදි දෙවිදු පලවා හරින
එකඳු පැතුමම දකිනු සිය පුතු,
රැයේ නොනිදා බලා හිදිනා
සොලොස් දහසක් පමණ වෙන ඒ,
උතුම් මව් ගුණ ලියනු කෙලෙසක.
හිමිදිරියටත් මත්තෙන් අවදිව,
දැලි කුනු මතින් දුම් බී නිවාලන
සිය කුසගිනි අමතකව
නිවනු සිය පුතුන්ගේ කුසගිනි.
රැකියාවට යන දරුවන්ට
ඉදෙන බත් පත පුදදී හිනැහුනා.
දහවලේ දර කෝටු ඇහිඳා
කොරටුවේ වල්පැලම සිඳලා
දාහයෙන් පීදුනු ඵලක් නෙලලා
කුසගිනි නිවාලන යුද්ධයට
තනිව ඈ හිනැහුනා.
වීරියෙන් ජීවිතය ගෙව්වා.
සිය වෙහෙස අමතක කරවන,
සිය දරුවන්ගේ වෙහෙස..
නිවාලන්නට සැරසෙන ඈ
යලිත් දුම් මත කුස්සියේ නිදනා.
දුක සතුට කර හිනැහුනා.
කඳුල මදහසව ඉතිරුවා.
එකඳු පැතුමක් සිතේ දැල්වුන.
දරු පැටව් සැප විඳින හීනය,
සැබෑ වුන ඒ මව්ගේ වීරිය
නිවාසේ හිඳ යෙහෙලියන් හා
ගයනු දුටුවා. හිනැහිමින් ඈ..
කිසිඳු කිලුටක සෙයක් නැතුවා
හරිම අවිවේකීය මා පුතු.
ලොකු තැනක හිඳිනා සන්තුෂ්ටිය.
ගයා අවසන, පරවූ හීනය
කඳුලු වී වැටී සිඳුනා.
නමුත් ඈ මල් පහන් පුදලා
පුතුගේ දියුණුවම පැතුවා
Comments
Post a Comment