අපි ලෝකෙට පේන්න ආදරය කරමු...




සිහින ලෝක පාට පාටයි.
හරියට දේදුනු වගෙයි.
අහිංසක මේඝයක මතුවුනාම
ආඩම්බර වෙන මේඝ
ටික ටිකක් පිම්බෙනකොට
දේදුනු බොඳ වෙලා තියෙයි..

එන්න..
අපි අපේ පාටින් පාට කරමු.
ආදරය බැලුම් වගේ පුම්බමු
උඩ අරිමු..

පිපිරුනාම,
එන කඳුලු වල රහ බලමු.
ඒ කඳුලු අයිස් කර පාට ගාමු..
අයිස් විකුණමු
අයිස් පලම් කන්න හුඟක් උන් කැමතියි.
අපි අපිව විකුණන් කමු...


පැතුම


පිහාටු කිහිපයක් අමුනා,

අත හැරිය කවියකි..

නුඹ වෙතට පියඹන්න..

ගම් දනව් සිසාරා

නුඹේ අභිමුවට පැමිණීම,

එයයි, මගේ එකම පැතුම.....



මවක්..




උතුරු  සළු  බඳ වටා      එති බඳ           සිප සිප.
දුරුතු  සඳ   දිය කරයි    අහස් කුස       මැද හිඳ.
පුරුදු  ලිය   අවුදින්‍ ය    ලිප ඉදින්          අවුලන.
දුරුතු  සිල්  අවසන්ව    හද මැදද            ගින්දර.

පුතුන්    දැන්  දැන් එතීයී කුසගින්නේ     හිඳිනා.
නුවන්    පා   කරයි දුර ඈත මඟ           වෙතිනා.
දිනෙන්  දින ගෙවුනමුත් පුතුන් නැත       දකිනා.
දසන්    පා    එනමුදුත් සිනා වෙයි        තොසිනා.

රෑ       කළුවරේ ඇය කුස පිරවු              සුසුමකි.
මිය ගිහිපු සැමියා යලි දැක ගන්න      පැතුමකි.
පිරිත් කී තනියමම නිදා ගත්                  සකියනි.
ඇය තවම නොනිදාම පුතුන් ගැන      සිහියෙනි.

දස    මසක්    කුස දරන් දුක හොවා        සිටියා.
වස   විසක්    නොදී ඇස තරම් දරු        රැකුවා.
සස   භවත්    තරමටම සිත පුතුන්      වෙතිනා.
අද    කොහේ   පුතු ගියේ මව තනිව      හිඳිනා.


අඹගෙඩි රාජ්‍යය 10

සිහිමූර්ඡා වුන කුමරුව බෙහෙත් ශාලාවට ගෙන ගියා. ,නමුත් ,ඇත්තටම කුමරිය තරහින් වුවත් උන්නේ, සිහිමූර්ඡා වුන කුමරුව දුටු සැනෙන් කම්පා වුනා...

බෙහෙත් ශාලාවේ හෙදියන් උන්නා.. දිග ස්කාෆ් පැලඳපු ලස්සන හෙදියන්.. ඔවුන් රුධිරය වහනය නතර කරන ඔසු රැගෙන ආවේ සැනින්.. නමුත් කුමරියම පැමිණ කුමරුට බෙහෙත් කිරීමට තරම් නිහතමානි වුනා.. ඇය තවත් ඔසු වර්ග කිහිපයක් සාදන්න අණ කලා..  ඇය හොඳ වෛද්‍යවරියක්. ඇය තමා හොඳම ශිෂ්‍යාව වුනේ අඹගෙඩි රාජ්‍යයේ වෛද්‍ය විද්‍යාලයේ..
ඇය ප්‍රතිකාර ඇරඹුවේ මුලින්ම  වේදනාව සමනයෙන්.. ඒ එක්කම ඇය සේලයින් වගේ ද්‍රාවණයක් කෙලින්ම රුධිරයට දෙන්න අණ කලා.. මොකද බොහෝ සෙයින් රුධිරය වහනය වෙලා තිබුන නිසා...
සිහිමුර්ජා වුන කුමරු පැය කිහිපයකින් සිහිය ලැබුවා. ඒ සිනෙක්සා කුමරියගේ වෙදකම් වලින්.

කුමරුට අනතුරක් බව රෝමය දැන ගත්තොත් අනිවාර්යයෙන් යුද්ධයක් නිර්මාණය වන බව කුමරිය දැන හුන්නා. ඒ නිසා ඉක්මණින් කුමරුව සුව කිරීම අවශ්‍ය වුනා.

මුල් දින වල කුමරුට අත සොලවන්නවත් බැරි නිසා කුමරියම කුමරුට ආහාර කැව්වා..
කුමරුට හිතුනේ මේ අනතුර සිදුවුනේ තමාගේ වාසනාවට බව. මොකද කුමරු කුමරියට වශී වෙලා උන්නේ දුටුව මුල් දිනයේම.. මේ අනතුර නිසා කුමරිය කුමරුට ඉක්මනින් ලං වුනා...
තමා නිසා අනතුරට ලක්වුන කුමරුව ඉතා ඉක්මනින් සුව කිරීමත් තමාගේ වගකීම බව ඇය සිතාගෙන මේ සියල්ල සිදුකලත් වුනේ අනෙකකක්..

ඒ වන විට සිනෙක්සා කුමරිය උන්නේ කුමරුට වශී වෙලා වගේ.. හැමදාම දින හතක් තිස්සේ කුමරුව උදේ ඉඳන් රෑ වෙනකම් බලා ගත්තේ කුමරිය.. හරියට තමන්ගේ ස්වාමියා බලාගන්නවා වගේ..  කුමරු කුමරියගේ වෙනස තේරුම් අරගෙන දිනක් චෙස් ක්‍රීඩාවට කතා කලා.. ඒත් ඇය ඒ බව කුමරුගේ අදහසට එකඟ වුනේ නැහැ..
කුමරිය කාඩ් සෙල්ලෙමෙහි ප්‍රවීණයෙක් කියල දැනගෙන, ඒ සෙල්ලමට කතා කලා. නමුත් කිසිම දේකට ඇය කැමති වුනේ නැහැ..
මොකද තමාගේ හිත ඔහුට පෙනෙයි කියන බයට..  ඇය අවශ්‍යම දේවල් පමණක් කිරීමට පෙලඹුනේ ඉන් අනතුරුව.. මුල දින වල නින්දට පමණක් කුමරුගෙන් ඉවත් වන කුමරිය අත සුව වෙන්න ආසන්න වන විට දිනකට එකම වතාවක් පමණක් කුමරුගේ සැප දුක් අහන්න පැමිණියා.
ඇත්තටම මාසයයි දවස් හතක් යද්දි ඇය කුමරුගේ අත සුව කලා.. කැඩුන අස්ථිය නැවත යථා තත්වයටම පත් කලා..
නමුත් කුමරුට තවදුරටත් විවේකය අවශ්‍ය වුනා.

එක දවසක් කුමරුට අඹගෙඩි රාජ්‍යය බලා කියා ගන්න අවශ්‍යව කුමරියට ඒ බව පැවසුවා.. කුමරිය අකමැත්තෙන් වුවත් කුමරුව සතුටු කරන්න මේ අදහසට කැමති වුනා..
කුමරු සමඟ කුමරියත් ඇයගේ පිරිවර සේනාවත් මේ ගමනට එකතු වුනා...



ඔන්න,ගමන ආරම්භ කලා. කුමරිය තනිව අසු පදවනවා. කුමරු තවත් අසෙකු පිට යනවා. නමුත් ඒ අසු පැදෙව්වේ වෙනත් තරුණ අමාත්‍යවරයෙක්.  මොකද කුමරුට බාහුවේ අස්ථි සවි හරියටම වනතුරු කිසිම දෙයක් කිරීම කුමරිය විසින් තහනම් කර තිබුන නිසා.
ඔහොම මාස හතක් ගමන් කලාට පස්සේ, ගංගා හතක් පහු කලාට පස්සේ හත්වෙනි අඹ වනයට පැමිණියා.. ඒක තමයි අඹගෙඩි රාජ්‍යයේ තිබුන රසම අඹ තිබුනු වනය..
ඉතින් ඇය ඒ අඹ තෑගි කලා කුමරුට.
කුමරු මේ අඹ වලට කොපමණ කැමතීද කිව්වොත් ඔහු අඹගෙඩි රාජ්‍යයට පැමිණියාට පසු අඹගෙඩියක් කන්න හමු වුනේ නැති නිසා, ඒ වෙලාවෙම අඹ ගෙඩි ගස් හතක අඹ ගෙඩි සම්පුර්ණයෙන් ඉවර කලා... හරියට හත් වර්ෂයක් කුසගින්නේ සිටියා හා සමානයි, ඔහුගේ කුසගින්න...

අනතුරුව කුමරිය කුමරු හා සිරි නරඹන්නට ගියා... අඹගෙඩි රාජ්‍යයේ ලස්සන දියඇලි දොල පාරවල් තිබුනා.. ඔවුන් සිත් සේ විනෝද වුනා.
ඒ අතරතුර කුමරු තමන්ගේ හිතේ තෙරපෙන ප්‍රශ්නය.. නැත්තම් රෝමයේ සියලුම ජනතාවගේ හිතේ තියන ලොකුම ගැටලුව කුමරියට ඉදිරිපත් කලා.. එනම් කොහොමද මේ අඹගෙඩි රාජ්‍යයේ අඹ මේ තරම් රස කියන ප්‍රශ්නය...?

***************************************
ඉතින් සිනෙක්සා කුමරිය පැනයට පිලිතුරු දේවිද, අපි ඊළඟ කොටසින් බලමු මගේ ෆ්‍රෙන්ස්...

***************************************
තව දෙයක් තියනවා මගේ ෆ්‍රෙන්ස්ලගෙන් ඉල්ලන්න.. මගේ යාලුවෙක් අලුතෙන් බ්ලොගයක් ආරම්භ කලා. පුලුවන් අය ගිහින් බලන්න මෙතනින්...

කුවේණී

මේ ලිපිය කියවීමට පෙර කුවේණි ගීතය රස විඳන්න යැයි ඉල්ලමි... එය අනිවාර්යයෙන් කිරීමෙන් ගීතය තනිව රසවින්ඳනයට බාධාවක් නොවන නිසාය.. එමෙන්ම පසුව ලිපිය කියවීමෙන් ගීතයේ විශිෂ්ටත්වය තේරුම් ගැනීමටද හැකි වේවී යැයි මම විශ්වාස කරමි.

Kuweni (කුවේණි)
Vocals- Ridma Weerawardena/ Dinupa Kodagoda
Music & Melody- Charitha Attalage
Lyrics- Chandrasena Thalangama
Mixing & Mastering- Charitha Attalage



ලාංකීය ඉතිහාසය ලියැවෙන සන්දිස්ථානයක් වන විජය කුවේණි අන්දරය අලලා ලියැවුණැයි සිතෙන කුවේණි ගීතය හුදෙක් ඓතිහාසික කතාන්දරයක් පිලිබඳ පමණක්ම අරුත් පහදන්නක් නොවේ..
පද රචනාවෙත් සියුම්ව විවාදයට ලක් කෙරෙන ස්ත්‍රී පුරුෂ බැඳීම්, ලක්ෂණ, කාර්‍යභාරයන් ගීතයේ රූප රචනයෙන් අතිශය ගැඹුරින් නුමුත්, ඉතා උපහාසයෙන්, විස්තර කරලයි.

ඉතිහාසයට අනුව කුවේණි වූ කලී යක්ෂණියකි. තම්මැන්නාවේ ඇය සිටින්නේ කපු කටිමිනි. ලාට රටේ සිට පැමිණෙන විජය කුමරුව ඇය විසින් බන්ධනයක් කර වශී කරගත්තීය. ඉදින් ඇය කපටි ගැහැණියකි..
නුමුත් විජය කුමරු ඉතා සුචරිත බව ඔහු "විජය කුමරු හෝ විජය රජු" ලෙස හඳුන්වමින් ඉතිහාසය කතා කරයි. 
පසුව කුවේණිය අතහැර දමන විජය කුමරුන් ලාට රටෙන් කුමරියක් ගෙන්වා සරණ පාවා ගනී...

ඉදින් කපටි සෙල්ලක්කාර විජය කුමරුන් පිලිබඳ මෙන්ම කුවේණියගේ අහිංසක ගති පිලිබඳ ඇති සැටියෙන් නොව සියල්ල වෙනස් කරවා ඉතිහාසය ලියැවී ඇත.. සිය වංශයෙන්ද නෙරපන කුවේණිය, සිය පරපුරෙන් මෙන්ම අදටත් සකල ලාංකිකයන්ගෙන් ගැරහුම් ලබයි. ඇගේ පති භක්තිය, දාරක සෙනෙහස, ඇගේ ආදර අන්දරය , මෙන්ම ඈ විඳි විරහා වේදනාව පිලිබඳ කිසිවෙක් නොවිමසයි. නුමුත් අවස්ථාවාදී , කපටි සෙල්ලක්කාර විජය, අදත් රජෙක්ව වැජඹෙයි.

"ගැහැණු කවුරුද වරදේ නොබැදේ" ලෙසින් මෙන්ම, "පිරිමි නහවා ගෙට ගත හැක" විලස ආසියානු සමාජයේ (ලාංකික සමාජය) මුල් බැසගත් අමානුෂික දැක්මක් පිලිබඳ විවාදයට ලක්කරන්නට කුවේණි ගීතය සමර්ථ වී ඇති සෙයකි.
"බඹරුන් පසුපස මල්  දිව නොගියත් අවමන් වින්දේ මල් කුලයම නොවෙදෝ"  ලෙසින් අතුල අධිකාරී ගයන්නේද මේ කුවේණි ගීතයේ හරයයි.. විජය කුවේණි සොයා ආවා මිසෙක, කුවේණි විජය සොයා නොගියාය. බොරු ආදරයක් මවමින් ඇගේ සිත මෙන්ම ඇගේ රජ දහන විජය විසින් කොල්ලකෑවේය. පසුව ඈ අතහැර වෙන ගැහැණියක හ බැඳුනිය.. පසුව අවමන් වින්ඳේ කුවේණියයි.

දැනිදු වන්නේ එයමය. එමෙන්ම ගැහැණියකුගේ අතීතය හොයන පිරිමියෙකු හා පිරිමියෙකුගේ අනාගතය හොයන ගැහැණියකු අතර සිදුවන සිද්ධි දාමයක අවසාන ප්‍රතිඵලය වන්නේ ගැහැණිය රිදුම් දීමය.. කුවේණියට මෙන්ම ස්ත්‍රී වර්ගයටම සිදු වන්නේ එයය..

රූප රචනයේ විශිෂ්ටත්වය පෙන්නුම් කෙරෙන්නේ ගැහැනු ළමයකු මල්වර වීම පිලිබඳ කෙරෙන සියුම් විවරණය නිසාවෙනි..  ගැහැණිය සමාජයේ තබා ඇති ස්ථානය පැහැදිලි කෙරෙන්නේ එතැනිනි. එනම් දරුවන් පිලිසිඳ ගැනීමට ඇය සූදානම් බව සමාජය   අඬබෙර ගසා සමරයි. එතැනින් නොනැවති පිරිමින් ඇය කෙරෙහි උත්සර්ජනය කරවයි.

අවසානයේදී වස්තුව, රැජින මෙන්ම බඩුව වන්නේද එකම ගැහැණියයි.. එමෙන්ම එසේ ලස්සන අහිංසක ගැහැණිය වෛශ්‍යාවක් කලේ පිරිමියා යන්න පිරිමියා කිසිදා පිලි නොගනි.. ඇය ආදරය නිසාවෙන් තමා හා බැඳුන බව නොව ඇගේ ඇති අමාරුව නිසා ඇය එසේ වූවා යන්න පවසමින් සැමදා ගැහැණිය අවමානයට ලක් කරති.

සළුව උදව් වෙන්නෙ නිරුවත වසා ගන්නටය. කුවේණිය සළු වියුවද ඇයටත් නිරුවත බේරාගැනීමට නොහැකි වූයේ විජය නිසාවෙනි.
'සළුව අරන් ගෙට පලයන්' ලෙසින් දක්වන්නේද ' වියූ සළුව නොම හැරයන් කුවේණියේ' ලෙසින් දක්වන්නේද එයයි..

සමාජයේ කාන්තාවන්ට කතා කරන්නේ පිරිමින්ගෙන් ආරක්ෂා වන ලෙසය. නැති නම් කුවේණිය මෙන් ගැරහුම් විඳින්නට සිදු වනු නොඅනුමානය.'නැවක නැගී මරුවා එනවා' ලෙස දක්වන්නේ නැවෙන්  ආවේ විජය වුවද, ඒ සිදූවීම පසුව කුවේණියගේ මාරයා සේ වීමය. මන්ද කුවේණිය මියගියේ විජය නිසාවෙනි.

'වැස්ස වැටී තෙත තැවරෙයි' ලෙස දක්වන්නේ සැප පහසුවක් ලෙසින් පැමිණියද දුකක්, කරදරයක් ලෙස ආදරය  විඳින්නට වෙන බව ද මෙන්ම ගීතයේ 'මඩ' ලෙසින් පවසන්නේද අවමන් විඳින්නට කුවේණියට සිදු වන බව විය හැක.

එදා, අද සහ හෙට ඇසෙන බොහෝ කුවේණියන්ගේ කතාවල යථාර්ථය මෙයයි.කොහේ හෝ සිටින විජය කෙනෙක් හෙටත් පැමිණ ආදරයක් මවා කුවේණියක් රවටනු ඇත.. අවසානයේදී අවමානය කුවේණියට මිස කිසිම විජය කෙනෙකුට නොලැබෙයි..

කුමන අවමානයක් නුමුත් සියලු ගැහැණුන්ගේ අවසාන ප්‍රාර්ථනයද මේ ගීතයේ ගැහැණු හඬින් ආයේ ආයෙත් මතු කරයි. එනම් ඊළඟ භවයේදී හෝ හමු වන්නටය. ඒ වනතුරු මගේ ලොවට නොවැඩ වෙන කොහේ හෝ සතුටින් සිටින්න යැයි ද කියයි...

මේ ගීතය අසා පමණක් තිබූ බොහෝ දෙනෙක් මෙම ගීතයේ රෑප රචනාවෙන් බලාපොරොත්තු වන්නට ඇත්තේ ඉතිහාසගත ජවනිකා රැගත් නූතන සිංහල සිනමාවේ දක්නට ඇති ඒකාකාරී රජකතාවකට සමාන යමක්ය. නමුත් ඒ බොහෝ දෙනා ගීතය අසා තිබෙන්නේ වැරදියටය. වන්ද්‍රසේන තලංගමයන් මේ ගීතය රචනා කිරීමේදී පැරණි කාව්‍යමය වහරක් භාවිතා කොට තිබුනද චරිත අත්ලගේ විසින් ඒ සඳහා යොදාගන්නේ ඉතා නූතන Drum N Bass සංගීත රටාවයි. රිද්ම වීරවර්ධනගේ ගායනයේ ගැබ්ව ඇත්තේ උතුරු ඉන්දියානු ශෛලියයි. සර්වකාලීනව අදාල කතා වස්තුවක් හරහා අතීතය හා වර්තමානය යා කරමින් ගොඩනැගෙන මේ නිර්මාණය මෙතරම් විශිෂ්ට වන්නේම මේ එකිනෙකට නොගැලපීමයි.

(යූ ටියුබ් හී මෙම ගීතයට අදාලව Prathap Eash දැමු කොමෙන්ටුව කියවීමෙන් පසු ඔලුව විකාර වීමෙන් පසු කඩා හැලුනු මගේ අදහස් ද එක් කරමින් ලියුවකි. එහි අවසාන ඡේදය පමණක් එලෙසම යොදා ඇත..)

පාට මාරු වන සමනලයා



ඒ කාලේ මං හරියටම රෑ දොලහට විනාඩි පහකට කලින් නැගිටින්න පුරුදු වෙලා හිටියා.. ඒ වෙන මොනවටවත් නෙවෙයි. සුදු සමනලයා එක්ක කතා කරන්න.. සුදු සමනලයා කිව්වට එයා ඇත්තටම තරුණ පහේ කොල්ලෙක්... හරිම කඩවසම්.. ඇත්තම කිව්වොත් මං එයා එක්ක යාලු වුනේ එයාගේ තණකොළ ගස් වගේ තියන කොණ්ඩේ නිසයි, හිනාවෙනකොට වල ගැහෙන කම්මුල් නිසයි.. එයා රෑ දොලහට මාව බලන්න ආවේ රෑ බදුල්ලෙක්ගේ පිටේ නැගැලා..

පාට පාට ලස්සන ඇඳුම් එයැයිට තිබුනා. හරියට සමනලයෙක් වගේ පාට මාරු කරන්නේ ඒවා ඇඳලා.. මට අමතක වෙලා තිබුනේ කටුස්සෝ විතරයි පාට මාරු කරන්නේ කියලා.. මං විශ්වාස කලා ඒ හැම දවසෙම සුදු සමනලයා පාට මාරු කරන බව..

එයා හරියටම රෑ දොලහට රෑ බදුල්ලගේ පිට උඩින් ඇවිත් සුපුරුදු පරිදි අපේ ගෙදර තාප්පේ උඩින් බැස්ස.. හරියටම තාප්පේ දිගේ ඇවිදන් ඇවිත් මගේ කාමරේ තියන තැනින් බැස්සා. රෑ බදුල්ලා එයාව දාලා හැංගිලා හිටියා ඇති. මං දැනන් හිටියේ නැහැ.

ඉන් පස්සේ මා එක්ක කතා කරලා සුදු සමනලයා ගියා.. සුපුරුදු පරිදි හාදුවකුත් දීලා.. අතත් වනලා..

කවදාවත් නැතිව මං එදා එයාගේ පස්සෙන් යන්න තීරණය කලා. මං ඇඳන් හිටියේ රෑ ඇඳුම බව අමතක වෙලා තිබුනේ එදා. මං එයාගේ පස්සෙන් ගියා.. ඇත්තටම රෑ බදුල්ලා හරිම වේගෙකින් ගියේ. මට මීටර් සියය දුවන්න වුනා.. ටික දුරක් යද්දි මට රෑ බදුල්ලගේ ගැහැණු සතාද කොහෙද හම්බුනා..

ඒකී මං දුවද්දි කිව්වා,
"දිව්වට වැඩක් නෑ. ඔයාට එයාව අල්ල ගන්න වෙන් නෑ.."

" ඔයා කොහොමද ඒක දන්නේ?"

" මං එයාගේ විවාහක බිරිඳ.."

"කාගෙද?"

" ඔයාගේ සුදු සමනලයා එන්නේ මගේ මහත්තයගේ පිටේ.."

මොකක්.. ඒ කියන්නේ රෑ බදුල්ලොත් විවාහ වෙනවද.. මං ඒක කිව්වේ නැහැ..මං ඒකී කියන දේ විශ්වාස නොකරන බව දැනිලද කොහෙද, තටුව අස්සේ හංගන් උන්නු විවාහ සහතිකේ පෙන්නුවා.. එයාලගේ ෆොටෝසුත් තිබුනා විවාහ සහතිකේ අලවලා..

" ඔයා දන්නවද එයාලා යන තැන."

" මං දන්නවා.."

" පුලුවන් නම් මාව එක්ක යන්න.."

මං එහෙම ඉල්ලද්දී රෑ බදුල්ලී, මහ හයියෙන් හිනා වුනා..

"මෙහෙම.?.... ඔය රෑ ඇඳුමෙන්?"

එතකොටයි මට මතක් වුනේ මං රෑ ඇඳුමෙන් කියලා..

" ඔයාට ඇත්තටම ලැජ්ජ හිතුනේ නැද්ද කවදාවත්ම සුදු සමනලයාව රෑ ඇඳුමෙන් හම්බ වෙන්න.."

මං මොකටද ලැජ්ජ වෙන්නෙ එයා මගේ සුදු සමනලයනේ...

මං කතාව නවත්තලා ආයේ ගෙදර එන්න හැරුනා.. රෑ බදුල්ලී මගේ පස්සෙන් ආවා..... මං කතා කලේ නැහැ...

හරියටම දවසකට පස්සේ මං ක්ලාස් යනකොට මං දැක්කා සුදු සමනලයා අලුත් පාටකට හැරිලා තිබුනා කියලා.. ඒ පාට මං කිසිම තැනක දැකලා තිබුනේ නැහැ.. සුදු සමනලයා හිටියේ වෙන සමනලියක් එක්ක.. ඒකී සුදු සමනලයා එක්ක කතා කලේ තොඳොල් වෙවී. මට හිතුනා මගේ සෙරෙප්පුවෙන් ගහන්න..

මට සෙරෙප්පුව අතට ගත්තට ගහන්න හම්බුන් නෑ, රෑ බදුල්ලී ආවා. ඒකී ආවේ හොඳට කකුල් දෙකෙන් ඇවිද ගෙන.. මං අඳුන ගත්තේ ඒකිගේ පිහාටු වල පාටින්.. ඒ දවල් නිසා පිහාටු ගවුමකට පරිවර්තනය වෙලා තිබුනේ.. මං විශ්වාස නොකරන බව දන්න නිසා මුලින්ම ඒකී කලේ විවාහ සහතිකෙයි, හැඳුනුම් පතයි පෙන්නපු එක.. ඒක ගවුම අස්සෙන් අත දාලා අරගෙන මගේ අත උඩ තිබ්බා. ඒ වෙලාවේ මගේ අතේ තිබුන සෙරෙප්පුව වැටුනා බිමට.

"ඔයා සතුටු වෙන්න.. ඔයා නිදහස් වුනා කියලා. නැත්තම් මං වගේ විවාහ වුනා නම්, වෙන්නේ අඬ අඬ ඉන්න.. ඔයාට පුලුවන් දැන් වෙන කෙනෙක් හොයා ගන්න.."

" වෙන කෙනෙක්..?"

" ඔව්.. අම්මලාට කියලා හොඳ කෙනෙක් හොයා ගන්න.. "

" ඇයි අම්මලට කියන්නේ... මං සුදු සමනලයව බඳිනවා.."

රෑ බදුල්ලි ආයෙමත් හිනා වුනා...
මං බිම බලා ගත්තා...

" ඔයා මෝඩයි. අනිත් ගෑනු වගේ.. "

රෑ බදුල්ලි එක පාර අතුරුදහන් වුනා... විනාඩියක් ගත් වුනේ නෑ.. ඉර අවරගිරින් බැහැලා කලුවර වුනා... මං එදා දොලහට නැගිටිනේ නෑ කියලා තීරණය කරලා තිබුනේ.. ඒ නිසා ඔරලෝසුව තාප්පෙන් එහා පැත්තට විසික් කලා...වෙලාවට එහෙම වුනේ. නැත්තම් අදටත් මට හරිහමන් නින්දක් නෑ..


අඹ ගෙඩි රාජ්‍යය 09



නුමුත් කුමරිය සටන අතහරින්න කිසිඳු නුවුමනාවකින් සිය කඩුව කුමරුව පරාජය කරන්න කුමරුගේ ගෙලට තැබුවා..

"ඔබ පරාජය වුනා..."

කුමරිය සතුටෙන් පැවසුවා.. ඒත් මහල්ලා නැති නම් වෙස්වලා ගත් කුමරු කිසිවක් පැවසුවේ නැහැ...

කුමරු කිසිම දුකකින් තොරව පරාජය පිලිගත්තේ කුමරියට සතුට අත් කර දෙමින්...

බලා සිටි සියල්ලෝම මහ හරසරින් අත් පොලසන් දුන්නා... ඒක හරිම ලස්සන සටනක්.. කිසිම කෙනෙක්ට එකිනෙකා පරාජය කරන්න හැකියාවක් තිබ්බේ නැහැ.. අර මහල්ලා කැමැත්තෙන්ම පරාජය බාරගත්තේ..නැතිනම් තවමත් සටන යනවා...
දුටු සැවොම එලෙස පැවසුවා...

එය ඇසුනු මහල්ලා නැතිනම් කුමාරයා පැවසුවේ,

"ඒත් සටනක් කියන්නේ සටනක්.. අවසානය වෙන තෙක් සටන් වැදිය යුතුයි.  සටනේ ජයග්‍රහණයක් තිබිය යුතුයි.. අත් හැරීම කියන්නේ පරාජයක්..." 


කුමරු නැවතත් කුමරියට සටනකට ආරාධනා කලා... ඒ වන විට කුමරිය වෙහෙසෙන් වුවත් සිටියේ හරිම සතුටින්... මන්ද තමා ජයග්‍රහණය කල බව කුමරිය පිලිගත් නිසා... නැවත ඒ මහල්ලා තමාට සටනකට ආරාධනා කිරීම කුමරිය ඉවසුවේ තමාගේ හැකියාව අභියෝගයකට ලක් කිරීමක් වශයෙන්...

නැවත සටන ඇරඹුනා.. කුමරිය ඉතාමත් ආක්‍රමණකාරි ලෙසින් සටන ගෙන ගියා..  ප්‍රේක්ෂකයන් ඉතාමත් කුල්මත්ව කුතුහලයෙන් යුතුව සටන නැරඹුවා...

හරියටම මිනිත්තු දහයක් ගත වුනේ නැහැ..
කුමරියගේ කඩුව වැදී මහල්ලා නැති නම් කුමරුගේ බොරු කොණ්ඩය ගැලවුනා..
සියල්ලෝම විමතියට පත් වුනා.. ඊටත් වඩා සිනෙක්සා කුමරිය කුමරුව හඳුන ගෙන තිබුනා.. ඔහු මහල්ලෙක් නොවන බවත්, රෝමයෙන් පැමිණි සුවිස් කුමාරයා බවත්....
වෙස් මාරුව නිසා කුමරුට සටන දිගටම පවත්වා ගැනීමට තරම් හිත නිසල වුනේ නෑ.. 
කුමරිය සිටියේ අධික තරහකින්, වෙස් පෙරලුනු කුමරුව කුමරිය පරාජය කලා. ඒ වම් බාහුවට පහරක් එල්ල කරමින්....


කුමරිය ඉතාමත් තරහින් සටන් බිමෙන් නික්මුනේ එක ඇසිල්ලකින්.
නමුත් කුමරු සිටියේ මරාන්තික පහරක් වැදී.. වම් බාහුව ඒ වන විටත් කැඩී ගොඩ තිබුනේ.. සුවිස් කුමරු අධික වේදනාවෙන් කෑ ගසන්නට වුනා..

කුමරියගේ සේවකයන් ඉතා ඉක්මනින් කුමරුව ඔසව ගනු ලැබුවා. ඔවුන් රැගෙන කුමරිය පිටුපසින් ඔහුව ඔසවගෙන ගියා...  රුධිරය දිගින් දිගටම ගැලුවා..


ස්වල්ප වේලාවකට පසු කුමරු සිහි මුර්ජා වුනා..

අඹ ගෙඩි රාජ්‍යය -08



දෙදිනක් ගත වුනා.. සිනෙක්සා කුමරිය මාලිගාවට පැමිණියේ නැහැ... ඇය පසුගිය දිනයේ සිදුවූ සිදුවීමෙන් අනතුරුව නොදුටුවෙන් සුවිස් කුමාරයා උන්නේ මහත් කම්පිතව.. කුමරා අඹගෙඩි රාජ්‍යයට පැමිණි අරමුණත් අමතකව කුමරිය හමු වන්න උමතුවෙන් උන්නේ...
කුමරිය උන්නේ ඒ වන විට අඹගෙඩි රාජ්‍යයේ සටන් විද්‍යාලයේ පුහුණු සැසියක උගන්වමින්.. කුමරුට ඒ රහස දැන ගත් වහාම සටන් විද්‍යාලයට යන්න වුවමනා වුනා.නමුත් එයට පිටස්තරයින්ට ඇතුල් වෙන්න හැකියාවක් නැහැ.
ඒ බව අඹගෙඩි රාජ්‍යයේ සේවකයින් කුමරුගේ සේනාවට දැනුම් දුන්නේ කුමරුගේ සේවකයන් ඒ ගැන අඹගෙඩි රාජ්‍යයේ සේවකයන්ගෙන් විමසනකල...
ඉන් පස්සේ් සුවිස් කුමරා කල්පනා කලේ රහසින් හරි කුමරියගේ සටන් බලන්න යන්න හොඳ සැලසුමක්... 
කුමරු තනිවම මහල්ලෙක් විදියට වෙස්වලාගෙන ඇවිද ගෙන ගියේ සටන් විද්‍යාලය සොයාගෙන.. ඒ ගමන දුෂ්කරයැයි කුමරු හිතුවේ නෑ..
සටන් විද්‍යාලය තිබුනේ ගල් කුලක් උඩ. ගල් කුල නගින්න තනිවම බැහැ.. කුමරුගේ අත් පා සීරුනා.. කුසගින්නේ වෙවුලුවා. ඒත් කුමරුට අවැසි වුනේ කුමරියව දැක ගන්න...
කුමරු දින හතක් ගත කරමින් මහළු මිනිසෙක් සේ තුවාල වෙමින් ගිරිශිඛරය තරනය කරන්න සිදු වුනා. අවසානයේදී යකඩ සපත්තු හතක් ගෙවමින් සටන් විද්‍යාල භූමියට අවතීර්න වුනා...
ඒ වන විට කුමරිය උන්නේ සටනක.. ඒ සටනේ ප්‍රතිවිරුද්ධ සටන් කරු විදියට ඕනෑම කෙනෙකුට අභියෝග කරලා තිබුනේ.. නමුත් කිසිවෙකු සුදානම්ව සිටියේ නැහැ. කිසිම හැලහොල්මනක් නැති ශාලාවට කුමරු අවතීර්ණ වුනා...
කුමරියට කුමරු හඳුන ගන්න නොහැකි වුනේ ඔහුගේ මහළු වෙස නිසා..
ඉතින් කුමරු කුමරිය හා සටන් වැදුනා..
හරියටම කියනවා නම් පැයකටත් වඩා අධික කාලයක් කිසිම කෙනෙක්ට ජයග්‍රහනයක් හිමි නොවී පැවතුනා..
එන්න එන්නම කුමරියට වෙහෙස වුනා... කුමරු කුමරියගේ වෙනස තේරුම් අරන් සටන නවත්තන්න කඩුව බිම අතහැරියා.. නමුත් සිදු වුනේ නොසිතු දෙයක්....

පිපුණු වසන්තයට

කොඳුරනා ඇස් නවන බැල්මකි. කියවනා සිත් කවන රිදුමකි. නොහඬනා නෙත් තෙමන බිරුමකි. නොපවසා නුඹ දුරැර ගමනකි. කුරුල් නද ගී විසිර යන්නට. පීදෙ...