අම්මා

අහසින්       බැස්ස තරුවකි ආලෝකය දුන්නේ.
පොලවින්   රැක්ක තුරු වදුලකි  බර     දැරුවේ.
සෙනෙහෙන් පිදුව ප්‍රේමය හදවත         පතුලේ.
කවියෙන්     මනින්නේ කෙලෙසක දිය   සයුරේ.

ලෙයෙන්    කිර   දොවා දරු රක්ෂා       කෙරෙනි.
සඳින්          සඳ   මුදා එලි කරලන        සෙනෙකි.
ගලින්        ගල   මුදා හැර රැකගෙන    වෙසෙසි.
කවියෙන්   කවිය ගුණ වරුසාවක්           පබැඳි.

නෙතින්     නොහෙලු කඳුලැලි හදවත  පතුලේ.
ගතින්        පිරුනු ඩා බිඳු මිහිකත          සිම්ඹේ.
සතුන්        රුපුන් පිරි වන ලැහැබක      මැද්දේ.
නෙතින්     නොහැර රැකුවේ ප්‍රාණය    ලෙසිනේ.

දෑත හොවා,      වැටෙනා සඳ වාරුව           වීලා.
හිස සිඹ             කඳුලු පිසලා දිරියම           දීලා.
උරහිස   හොවා හඬනා විට සවියම          වීලා.
අත අත   නොඇර අඳුරෙත් සෙවනැල්ලම වීලා.

රකුස්     පද      ගිලිහුනද නැත ප්‍රේමය  සිඳුනේ.
සසුන්     ගත    වෙන්න  ඉවසීමය         රැඳුනේ.
පසේ       බුදු    වෙන තරම් පින් බල      මහිමේ.
සසර      මග    මවුනි නුඹ මතු බුදු       වන්නේ.

යථ'රුත

ඔබ ඔතන
මම මෙතැන..
කඳුලු මේ
හැමතැනම...

ඔහු නොහොත් මාලය..




ඔහු නැගගෙන නැගගෙන ගියේ ඒ "මාලය" සොයාගෙනය. ඇත්තම කතාව ඔහු සිතුවේ එය රත්තරං මාලයක් කියා වුනත් ඒ උරචක්කර මාලයකි. එය සිටියේ වෙනත් තැනකය. එය ඔහු කිසිදා සොයා නොගන්නා තැනකි. බගාදා වෙලාවට තට්ටු නම් කීයක් නගින්න ඇතිදැයි ඔහු කල්පනා කලේය. තවදුරටත් ඒ නිශ්ඵල නැග්ම අතරමඟ නවතාලන්නට ඔහු කල්පනා කරන්නට විණ. ඒ නිසාම වෙන්නට ඇති ඔහු ඒ තට්ටු ගණන ආයෙත් බහින්න කල්පනා කලේ. ඔහු උත්තෝලකයක් භාවිතා කරන්නට තිබුන බව නොදැන ඔහු සිය හීන්දෑරී සිරුර තවදුරටත් ගෙවාලමින් තිබුනි. නොදැන හෝ නොතේරුම්කමට ඔහුගේ සියලු ප්‍රස්තුත විෂයවල් අසමර්ථ වෙමින් පැවතින. උරචක්කර මාලයද ඒ අසමාර්ථ විෂයන් ගොඩට වැටෙමින් තිබුනේ ඔහුට  නොදැනෙන විලසය.එය එසේ සිදු වුන එක හොඳය..

එය සිය බෙල්ලේ රුවා ගත්තේ නම් විඳින්නට තිබු අපමණ දුක් ගැන ඔහු කිසිත් නොදත්තේය.. කවදාවත් නොදැනුන ලෙසට ඔහු සිය හීන්දෑරී සිරුර වැය කරමින් දින ගණන්, මාස ගණන් ගෙවමින් අවුරුදු හතයි මාස තුනයි දින හතක් වැය කරමින් එම තට්ටු ගණන අහවර කලේය.. ඔහුට නොදැනුන යමක් තිබිනි.. එනම් කිසිඳු හැල හොල්මනක් නොමැතිව තිබුනද තමා ඉහලට නැගීමට එතරම් කාලයක් වැය නොකරුව බවය...

ඔහු මහ විසල් ගොඩනැගිල්ලෙන් මුලුමනින්ම බැස ඉහල බැලුවේය. එවිට එය ඉතාමත් ඉහල තලයක සිනා මුසු මුහුණින් උන්නාය. එය සිනාවක්ද නැති නම් උත්ප්‍රාස සිනාවක්දැයි ඔහුට නිගමනය කල නොහැකි විය. බගාදා වෙලාවට උපහාසයක් වෙන්නට පුළුවන. ඔහු ඊට හිත නිමග්න නොකලේය.

තවත් දෙයක් ඔහුට දැක ගත හැකිවිය.. කිසිදා නුදුටු පිරිමි වතක් එහි උරහිසට ඉහලින් පැවතිනි.. එම වත කවන්දයකට අයිති එකක්දැයි ඔහු කල්පනා කලේය... මන්ද එම වතෙහි කිසිඳු ජීවී ස්වරූපයක් නොතිබුනි... ඔහුට පිරිමි රුව සමඟ පමණක් සිනහා වීමට අවැසි වුවද ඇයගෙන වෙන්කර සිනහව එම නොදන්නා පිරිමි රුව වෙතට විසිකරන්නේ කෙසේදැයි ඔහු කල්පනා කලේය.. අනෙක් අතට එම පිරිමි රුවෙහි කිසිඳු ජීවී ස්වරූපයක් ද නොතිබීම තවත් සහේතුක කාරණාවක් විය.

එකෙනෙහිම ඔහුගේ මතකයට නැගුනේ පසුගිය දින කිහිපයේම මිය ගිය කවන්ද අභිරහස් ලෙස නගරයේ එක එක තැන් වලින් හමුවූ බවය...

එය ළඟට ගත්තේ නැති එක හොඳය.. සමහර විට එම කවන්ද වලට එහි සම්බන්ධතාවක් ඇති බව නැවත සිතුවිලි සමුදායක් ඔහුගේ හදවත තුලට කාන්දු විය.

ඔහු පර්ෆියුම් ෆිල්ම් එක පමණක් බලා තිබිනි.. එහි පිරිමි කෙනෙකු සුවඳ විඳ විඳ ගැහැණුන්ව කෲර ලෙස මරණයට පත් කරන්නා සේ මේ උරචක්කර මාලයද පිරිමි ඩැහැ ගෙන මරණයට පත් කරන්නේ යැයි ඔහු ගේ සිතට අනවරත සිතුවිලි කදම්බ ගලා එන්නට විය.. ඇත්ත වශයෙන්ම ඔහු එම චිත්‍රපටය බැලු දා සිට ඇන්සයිටි ඩිසෝඩර් නම් තත්වයෙන් පෙලෙන්නට විය.. එම චිත්‍රපටියේ ලෙස මිනිසුන් මරණ අයුරු මැවෙමින් මැකෙමින්, කෲර ලෙස මරණ විට වේදනාවෙන් කෑගසන හඬවල් ඇසෙමින් නැවත නොඇසෙමින් යන සිදුවීම් සමුදායකට ඔහු තනිව මුහුණ දෙමිනි සිටියේය...

ඔහු එය මඟහැර අනවරත පාරකට අවතීර්ණ වෙමින් සිටියේය. නැවත හැරී බලන අපහසු තර්කය සිතින් ලුහු බැඳ පලවා හැර හුදෙකලා ගමනකට ප්‍රවිශ්ට වූයේය.. තරමක් දුර යන විට ඔහුට තේරුනේ තවත් හුදෙකලා සිරුරු රැසක් ඔහු හා එක්වත්, නමුත් එක් නොවෙමිනුත් ගමන් ගන්නා අන්දමය. සමහර විට මේ හුදෙකලා සිරුරකට මගේ හුදෙකලා බව නස්නය කරලීමට හැකියාවක් ඇති බව ඔහු කල්පනා කරන්නට වින. ඉදින් ඔහු ඒ හුදෙකලා සිරුරු වලින් මෑත් වෙමින්ද ඈත් නොවෙමින්ද සිය ජිවීතය ගෙවා ලීමට තීරණයක් ගත්තේය...



කෙටි කතා අහුර සමඟ මං

බාගෙට වැඩ ඉවර කරපු කවි කතා නම් හුඟක් තියනවා...
ඒත් මට හිතුනා ආයේ  කවියක් හරි කතාවක් හරි නොදා වෙනස් වැඩක් කරන්න. (හැමෝම ජාමේ බේර ගන්න මේ දවස් වල කරන උප්පරවැට්ටිය තමා ඉතින්..)
බ්ලොග් කියවන මගේ ෆ්‍රෙන්ස්ලගෙන් පොඩි ඉල්ලීමක් කරනවා.. ඔයාල මගේ නොකියවපු කියවපු හුඟක් කෙටි කතා ඇති. මං මගේ කෙටිකතා  ටිකක් ලින්ක් කරලා මේ පොස්ට් එකෙන් පල කරනවා.. ඒවා නොකියවපු අය කියවපු අය ආයෙත් කියෝලා රස විඳින්න... මගේ අඩු පාඩු කියන්න කියලත්...
පෝස්ට් එක පාලුවට යන නිසා කවියකුත් දානවා ඔන්න.. ඒ සැප් 19 වෙනිදා කාංචනා අක්කා මගේ කවියක් දිනමිණ වසත් සුළඟ පිටුවේ පල කරන්න තෝර ගෙන...  ඒක තමා මේ ෆ්‍රෙන්ස්... ස්තූතියි කාංචනා අක්කේ....

මල්..
නිද්‍රාගත ප්‍රේමය
මුදා හරින මොහොත
මේ විසල් නිහඬතාව රජයන රාත්‍රිය...

ඔබත් නැති හුදෙකලාවක
ලියන අකුරු මැද
රජයන්නේ කඳුලු මල්...
හිනැහෙන්න දඟලන්නේ ඒ අහිංසක මල්..
ඔබ ආයේම විත් උදුරා නුඹව සරසා ගන්න මල්...

"හරි කියුට්" පවසමින් ඉඹ ඉඹ රිද්දන මල්...
මා මලක් නොවෙතැයි සිතා..
රේණු එකිනෙක ගැලවූ රාත්‍රීන්
සිය ගණනක් මතක වරුසාවට වැටේ...

ඉදින් මා තෙමෙමි...
ඔබත් නැති රැය ගන අන්ධකාරයේ වෙලෙමි..



==========================
කෙටිකතා





කියුටෙක්ස්

"ආයෙත් කියුටෙක්ස් ගාන් එනවාද.."
ඔයා එක පාර ඇහුවේ එහෙම. මට මතකත් නෑ කියුටෙක්ස් ගාපු දවසක්.. මං එච්චර ආටෝප කරන කෙල්ලෙක් නෙවේ... අපි හම්බුන අන්තිම දවසට කලින් දවස.. (අන්තිම දවස අද.. කලින් දවස මගේ මතකයේ නෑ.. සමහර විට සති තුනක් නැත්තම් මාසයකට විතර කලින් දවසක්.) එදා මං හිටියේ කියුටෙක්ස් ගාන්.. ඒක මං නෙවේ ගෑවේ.. මගේ යාලුවා.. සිතුමි... සිතුට කියුටෙක්ස් කලර්ස් සෙට් එකක්ම තිබුනා..
මං ආසාවට කිව්වා මගෙත් ගාන්න ඕනා සිතු කම්මැලී කියලා.. සිතු මට බැන්නා කම්මැලි නොවි ස්ටයිල් කරන්න ඕනා කෙල්ලෙක් වුනාම කියලා.. ඉන් පස්සේ ඒකී කලේ මගේ කකුල් දෙක හෝදන් එන්න කියලා හොඳට රෙදි කෑල්ලකින් වතුර පිහිදලා කියුටෙක්ස් ගාපු එක..
ඉන් පස්සේ දවසක මගේ මොනව හරි වැඩක් කර ගන්න තිබුනා කොටුවට ගිහින්.. මං කලින් රෑ එයාගෙන් ඇහුවා එන්න පුලුවන්ද කියලා.. එයාට පුලුවන්කමක් තියේ නම් නෑවිත් ඉන් නැති බව මං සහසුද්දෙන්ම දන්න නිසා මං බය නැතුව  එයාට මට තනියෙන් කරගන්න බැරි හුඟක් දේවල් වලට කතා කලා..
එදා එයා ඇවිත් හිටියේ කොටුව ස්ටේෂන් එක ළඟට.. මං එක්ක මල්වත්ත පාර දිගේ ඇවිදලා මගේ වැඩේ කරගන්න උදව් කලා.. ඉන් පස්සේ මාව මොරටුව බස් එකට ඇරලලාමයි එයා ගියේ.. ආරක්ෂා කරන්නේ දැනෙන්නම වගේ.. සමහරවිට එයා 138ක නගින්න ඇති තුම්මුල්ලෙන් බහින්න. නැත්තම් ගෙදර යන්න, කොටුව ස්ටේෂන් එකට යන්න ඇති.. එයාගේ ගමන් මං දැනන් හිටියේ නැහැ. අහන්න වුවමනා වුනෙත් නෑ...
එදායින් පස්සේ අද...
මං ගියේ නුගේගොඩ නෝලිමිට් එකට ඇඳුම් කිහිපයක් ගන්න... ඉන් පස්සේ හෝල්ට් එකේ හිටියේ 17ක් එනකම්... මයිලෝ එකක් කටේ ගහන්, බඩගිනි නිසා.. එයා ආවේ හම්පඩ වුන ස්කෝලේ ටී ෂර්ට් එකක් ඇඳන්.. අද වෙනකොට ස්කොලෙන් අවුට් වෙලා අවුරුදු තුනකටත් වැඩී.. ඒත් තාම පරණ වැරහැලි වුන ස්කූල් ටී ෂර්ට්  එකට තිත තියලා නැහැ... මට එයාගේ ඇඳුම් ගැන දැක්කම දුක හිතුනා.. ඒත් මට අදාල දෙයක් නෙවෙයි නිසා මං ඒ ගැන වැඩිය හිතුවේ නැහැ...
මං එක්ක හිටියා නම් මං එයාව කොහොමහරි ලස්සනට අන්දනවා...
ඒවා ගැන හිත හිත ඉන්නකොට එයා ආවේ....
"කොහොමද ඉතින්...?"
"නරකක් නෑ.."
"තාම මේ ෂර්ට් එක අඳිනවද..?"
"හ්ම්.. ඔයාලට වගේ අපිට ඇඳුම් ගන්න සල්ලි නෑනේ.."
"සල්ලි තිබිලා නෙවෙයි ඇඳුම් ගන්නේ.. අඳින එක හොඳට අඳින්න... මැරෙන ජිවීතේ ඉන්න කාලේ සතුටින් ඉන්න එපැයි.."
වැඩක් නැති ඇඳුම් කතාවක් අස්සේ 17ක් ආවා.. මං බස් එකේ නැගලා ආවා...
ඉන් පස්සේ එයා කොහේ ගියාද, මොනවා කරාද දන්නෙ නැහැ...
ඒත් නිදා ගන්න හදද්දිම ආපු මැසේජ් එකට මාව ආපස්සට ඇදුනා..
"ආයෙත් කියුටෙක්ස් ගාන් එනවද"

අරුමය

විතැන් වී හිඳ කෙඩෑරීව
වියැලි පත් බිම සිප ගත
රුකක් කතරක තනිවම
දිවිය රැක ගන්නයි වෙර.

මන්ද්‍ර ස්වරයෙන් හමා එන
චන්ඩ සුලඟකි කෲරවෙන
වාලුකා කතරක හුලඟක
නොවේවිද විස වැලි කැට.

බලා ඉද්දිම රුදුරු වුන
කුණාටුව වී කාණාටුම.
හිමි හෙමින් වැටුනේ දිය.
කතරකට දෙවියන් වැඩ.

සිසිරයක් කිසිදා නොවිමසන
සරතක් නොවුනමුත් පෙර
ග්‍රීෂ්මය පමණක් ඇවිලුන
වසන්තය විත් කතරකට...

කෙම්බිමක් වූ දෙහද
පීදීලා රතු නෙළුඹු දල
ලෙලෙනවා තද රතේටම.
පස් පියුම් පිපෙවිද මතුවට...

ප්‍රේමයෙනි මම.




හිමිකමේ මූලකේෂයත් පරිස්සම් නේද.
ආයේ ආයේමත් හමුවන්නේ මෙහෙම.
යෑම් දහසකින් වෙහෙසුනත් හිත.
ඒම් සහසකට තවත් ඉඩ ඇත.

අවසානයක් නොවන කතාවක සම්බන්ධයක් ඇත.
තිතක් කිසිලෙසින්වත් නොතැබුවත් තව.
කොමා තව හුඟක් ඇත ඉඩ එයටමය.
නිහඬව නොම ඉන්න ආදරෙයි තව.

අවලංගු කාසියක් නොකරන්න හිත.
දලවංගු රාශියක් ජීවිතයේ ඇත.
අලවංගු පාරකින් සීරුනත් හිත.
ආදරය මැරෙන් නැත ප්‍රේමයෙනි මම.


ඇත් රජුනි, නුඹට.....




ලෙහෙන්   කුලෙන්   සසර මඟට   පිලි   පන්න.
කෙලෙස්   පිරෙන්     සසර අපා     ගත වෙන්න.
පෙමෙන්   කෙලෙස බවුන් වඩා    බුදු   වෙන්න.
සහස්        භවක්      අවැසි මට   නුඹෙ වෙන්න.

දුරු       ලැහැබේ   පිපි මල්        කැකුලියක හිඳ
මරු      කතරේ     මරු වල්          පැටලුනා වෙද
තරු     අඹරේ       අමාවකත්            පැමිනියෙද
තරු     නුඹගෙ     නෙත් මඟ හැර කෙලෙසකද

සත්     සමුදුරු     පීරාගෙන            ආව      නියා.
තරු    මැදුරෙන්  හීන හතක්         මැවී       ගියා.
ඇත්    පැටවකු   නෙළුඹු පතක    තියා       පියා.
හිත්    සතොසින් සුබ පුවතින්       පිරී        ගියා.

කෙත් වපුරනු නුඹ වෙනුවෙන් කීව            නියා.
පල දරනුය නුඹ වෙනුවෙන් දරනු               නියා.
නෙත් ගනඳුරු නොකෙරෙම් සෙනෙහසින් වයා.
සත් සමුදුරු කලඹා නුඹ රකිමි                   නියා.

පෙර  කල්   සහස්  භවයන්ගෙත් පෙරුම්   පුරා.
පෙම සස්    කලක්  සුරැකුවේ මම් ළයෙන්   දරා.
පල   ගත්   රුකක්  වී කුස යහනෙන්ම       වරා.
දල    ඇත්   රජුනි   ඇත් පැටියෙක්  පුදමි    දරා.


මතක

ලා පාට මත වැතිරූ
චුම්බන හුඟකි මහරූ
තනිකමෙන් පිරුනු
මතක රිදවයි කුරිරූ..

මහ හඬින් ගිගුරූ
අහස් ගඟ හැඬවූ
එහෙත් කඳුලම
පතයි සොඳුරූ

සුසුමන්ද මැතිරූ
මහ බරට මිරිකූ
අකම්පිත එලි වු
මහ හඬින් ගිගිරූ..

හඳත් අහසේ සැඟවූ
පිපිරිය යුතුවු අකුණු
පිපිරි යන්නේ සැනහී
හදවතේ නොවෙද කඳුලු

නුඹ, මම හා ප්‍රේමය


අතොරක් නැතිව සිඹින..
අතරමඟ හිත හිතාම සපින..
මගේ දෙතොලඟ
නුඹේ ප්‍රේමය...

නොලියවෙන කවි ලියැවුන..
අතික්‍රමනය කල වේදිකාව...
පිටුපස සැඟව දිරිය දුන,
සවිය, නොවෙද මම...

ලී කැටයමක දළුලන..
නුවර යුගයේ පෙම් යුවල...
අප දෙදෙන නොවෙද
නුවර අහස යට තවම අප...


ඔබ මට ආදරේද?



  

ඔබේ නෙත් ගුහා තුල
ගිලි ගිලී රෑ යාමේ...
ඉපදුනේ රතු නෙලුම්..

පැතුවේ සුදු නෙලුම්..
මුනිදු පුද වඳින්න..
අමතකව දහම් සිත්
එකත් පස හිඳ
විසල් සිත්
හෑරුවා නොව,
උගුල්ලා ගත්තේ
සිතුවිලි කන්ද

නාය යාම් සියයකටත් වැඩියෙන්
හීනි පොදකට යට වුන
එදවස තමයි දවස

මා මිය ගිහිපු
ඔබ සළුව අතැරිය..

ලිවිය යුතු කවි නොව
ලියැවෙන්නේ....
නොලිවිය යුතු පද එක් වෙන්නේ..

තිතක් තබන්නට නොහැකිව
ලත නොවී
කොමා කිහිපයක් දමා
අසමි.. ප්‍රශ්නයක්
පිලිතුර නැතත්...

සිනහ වී යමි
තව දුරක්..

"ඔබ මට ආදරේද?"

තරුව




තෙරපවාගෙන ප්‍රේමය.
මියගියා නොව ඔබ..
සදහටම පෑයුවා
තනි තරුව වී ...
පුදා අඬ එලියකුඳු
ගන අඳුරේ පමණක්ම ගිලුන
අහස කළඹා....


කාංචනා අමිලානි කරුණාමුනි කිවිඳියගේ "බූමරංගය ඔබේ ඇස් දෙක"


අමුතු කවි එක්ක බැඳුන අමුතුම ශෛලියක් තියන කවිකාරිනියක් වගේම දක්ෂ කෙටිකතාකාරිනියක් වන කාංචනා අමිලානි කරුණාමුනි, අක්කගේ දෙවනි කවි පොත වන බූමරංගය ඔබේ ඇස් දෙක පොත හෙට.. එනම් සැප්. 07  සුරිය විලේජ් හීදි සවස 4ට සයුර ප්‍රකාශනයක් ලෙසින් කල එලි බසින්න සූදානම්...

ගම්මිරිස් කුරුල්ලා කෙටිකතා සංග්‍රහයත්, ප්‍රේමයේ කාර්තු කවි පොතත් කාංචනා අක්කගෙන් මෙයට පෙර සිංහල කලාවට උරුම වුන විශිෂ්ට පොත්....

ඉතින්.. මේ ලස්සන දවසට කාංචනා අක්කාට සුභ පතන්න ආදරයෙන් එක්වෙන්න ඔබ සැමට ආරාධනා කරනවා ...
************************************
කාංචනා අක්කගේ අමුතු තාලේ කවි කිහිපයක්.....


හැම දේකටම නමක් තිබෙන
ඒත් කෝ ඔබට-මට
අපි ඉන්නෙ පින්තූරවල විතරයි ඇත්තට
සමහර වෙලාවට
වෛවර්ණ ඉමොජියක
සිහින් ශබ්දයක් නඟාගෙන
හුවමාරු වෙන පුංචි තෙරපුමක
අපි හිටියෙ එහෙම
බැටරි බැස්සොත් නිවෙන්නම පතාගෙන
ඒ තරම් අවදානමක
රතු කොඩිය අතේම තියාගෙන
ඔබට-මට
නමක් ඕනා වෙන්නෙ මොකටද
විශේෂණ සහ උපසර්ග නොදන්නා විට
සෑම සක්ක පදයකටම
තමන්ගේ වැඩ තියෙනකොට
කාංචනා අමිලානි• ජූලි 18•
***********************************
රහස් ඔත්තු සේවාවක
අලුතින් රස්සාව ලද්දාක් මෙනි
වියළී කොළයක් බිම වැටුණත්
ශාංකාව ය; විමසිල්ල ය
ඉස්සි-ඉස්සී ඇඟිලි තුඩින්
සොයන්නේ කොළ වැටෙන්නට හේතුව ය
චෞර සිත
බලෙන් කොළ හෙලන සර-සරය
මා මෙන්ම අනෙක් අය කලබල කරන
හික්මවාගෙන සිත පලක් නැත
මේ අලුත් රස්සාවෙන් සෙතක් නැත
රහස් ඒ විදිහටම තිබෙන්නට හැර
වෙනදා ගිය ගමන් යා යුතුය
උදේටත්-රෑටත්
නිකරුනේ ඔබව තුරුලු කර වැළැඳගෙන
සිනාසී තරවෙන්න දැන් මට පුළුවන
කාංචනා අමිලානි• ජූලි 02

ප්‍රේමය වූ කලී.....




ඔබ සිත් අහසින් පලවා හරින්නට..
මතක තරු එකින් එක පුලුස්සමි...
දැන් අහවර යැයි අහසට කියමි...
පොලවටම වී බලා හිඳිමි....

පිලිස්සුන තරු වුවද එලිය දෙන බැව්
අමතකව සතුටින් විසිමි...

ආයේ තරු දහසක්ව
මතක ගව් ගණන් එලියදෙයි.
මා රාත්‍රියේදී ඒ එලියෙන්
නැහැවී නැහැවී බමමි...

සිර කුටියක යැයි සිතා
මේ ප්‍රේමය විසර්ජනය කරන්නට සිත් වෙමි...

ඔබ එපා යැයි සිතට ගර්ජනා කරමි..
ඔබටද රවමි.. බනිමි...
ඔබ නොමැති ඉසව්වක් සොයා ඇදී යමි..
සිත නිහඬ වන්නේ සැනකිනි..
යලි අහම්බෙන් යැයි සිතා
ඔබේ ගැවසීමට හසු වෙන්න වෙර දරමි...
සැනෙන් මා හසු වෙමි...
ඉදින් මේ කුමන විජ්ජාවක් දැයි මම සිතමි...

"ප්‍රේමය" වු කලී මේ ලොවෙහි විසල්ම විජ්ජාවයි...

නොනිමි ප්‍රේමය

සුසුම වුව බිඳී විසිරී හඬ මවන කටුක නිහඬ යම,, නුඹටය..... දිගු රැයක පවා නොසැලෙන ප්‍රේමයටය.. තරු වර්ෂ ගණන් නොහිඳෙන කාලයට. මේ වැසි අක...