ප්‍රේමයේ ස්වභාවික විපත්...




ඉවසන්න බැරිම තැන
කඳු පන්ති දුක අරන් 
පහල මිටියාවත් මතට
ඇද වැටි මියැදේවී..

වැසි වේගයත් සමඟ
දුක් කඳුලු කඩතොලුව
මහ රකුසු මාරුතෙන්
දෙරණතට ගිලිහේවී..

ඔබ ඉන්න තැන හොයන්
යනෙන මඟ ගංවතුර
එන්න බැරිවම මමත්
අතරමඟ නැවතේවී.

නුඹ අවතැන්ව හිඳීවි.
ප්‍රේමයේ සහනාධාරයකුඳු නැතිව
ඔබ කුසගින්නේ හිඳ
හුදෙකලාවම මියැදේවී..

අවසන් වතාව


මං හුන්නේ නෙත් වසාගෙන වුවත් නිදාගෙන නෙවෙයි. මට දැනුනේ, ඒ ගෙවුන පැය කිහිපය ජීවිතේ මං විඳපු උත්කෘෂ්ටම මොහොත කියලා. මං අමතක කිරීමේ නිශ්ඵල උත්සහයක යෙදුනා ඒ මොහොත ඉක්මනින්ම අවසන් වන වග.මගේ වත තිවුනේ ඔහුගේ පර්ශු වල... ඒ උදාවුනේ දහස් දිනයන්ගෙන් පසු දිනයක්..
මේ වෙලාව මගේ හුදෙකලා දිවියේ සඳලුතලයට වෙලා කකුල් උඩ තියාගෙන පොතක එබීගෙන ඉන්න, නැත්තම් බීර බඳුනක රහ බලන්න වෙන් වුන වෙලාව.... තනිකමෙන් උමතු වුන මගේ ආත්මයට ඔහුගේ පුනරාගමනය පිනි වැස්සක් වගේ.. නමුත් යලි හිරු පීදෙන බව පිනි කැට නොදැන නොවේ....
"දඟ නොකර ඔහොමම ඉන්න මේඝා" සෞම්‍ය එලෙස පැවසුවේ එතනින් මිදෙන්න ගිය කල්හිය. ඔහු වෘක්ෂයක් වූ කල්හී මා ලතා මඩුල්ලක් නොවෙම්ද...?
"අපි මොනවා හරි බොමුද?"
මං එලෙස විමසුවේ ඔහු හා හරබර කතාවක් අවැසි වූ නිසාය. නමුත් නිහඬතාව හොඳම කතාව බවත්, ඔහුගේ කතා වලින් හිත රිදෙන බවත් මම දැන සිටියෙමි.. ඔහු අනැවැසි බව පවසන්න නෙත් නොහැරම හිස දෙපසට සෙලවීය. නමුත් මට අවැසි වූයේ එතනින් ඉවත්වන්නටය. මා ගියේ ශීතකරනය හැර වයින් උගුරක රස බලන්න.. ඒ වු සන්තුෂ්ටිය අමතක කර වෙනත් රසගුලක කිමිදෙන්න අවැසි බව හිත මොර ගාන මොහොතක මා උන්නෙ හෙම්බත්ව.. සෞම්‍ය නම් ඒ වනවිටත් හතිලමින් උන්නේ...
+++++++++++++++++++++++++++++++++

"කඳු මුදුනක පැල්පතක් හදන් ඉන්න බැරි බව දන්නවා නේද මේඝා.. අපි කොහොමද සමාජ සම්මතයන්ට විරුද්ධව වැඩ කරන්නේ. මං ආදරේ කලා තමා.. තාමත් ආදරෙයි. මගේ පුංචි සුරංගනාවි ඔයා හැමදාමත්. මං නැති වුනත් ඕනම පිරිමියෙක් ඔයාට ආදරේ කරනවා.. මේඝා ඔයාට තියෙන්නෙ පිරිමි වසඟ කරන හුරතල් ගතියක්.. වෙලාවකට ගලක් වගේ රළු බවක් පෙන්නුවට ඔයා මල්පෙත්තක් වගේ හරිම සියුමැලි.. කොහොම වුනත් මට මගේ පුංචි සුරංගනාවිව අමතක කරන්න බැරි වෙයි." 
ඒ දශකයකටත් වඩා පරණ මතක වස්ත්‍රයක්, ඔහු මගේ මොහොතින් මොහොත මියැදෙන ආත්මයට පුජා කල බැව් මම අසාමාන්‍යයව වුව පිලිගනිමි...

මං අපේ විවාහයෙදී ඔහුගේ ඇඳුම ප්‍රාර්ථනා කල විදියටම සෞම්‍ය හැඳ සිටියේ නිලමේ ඇඳුම. ඒ වගේම පරම්පරාගත නිල් මුද්ද දාගෙන හිටියේ.. 
"මේඝා ඔයාව මැරි කරන්න මට බැරි නැහැ. ඒත් පරම්පරාගත හැම දෙයක්ම මට නැති වෙයි.." ඔහුගේ විවාහයේදී  මගේ මතක මන්දිරයට පැමිණියේ ඔහු පැලඳ හුන් මුද්ද දිටිමෙන් පසුය. ඒ නිල් මැණික් මුද්ද නුවර යුගයේ ප්‍රසිද්ධ රජවාසල නිලමේවරුන් වූ ඔහුගේ පරම්පරාවේ උන්නු කිරි අත්තා කෙනෙකුට රජු රාජසිංහ රජු තෑගි කළ එකක්‍ය කියලා ඔහු මහා ආඩ්‍ය අහංකාරයකින් පැවසු පරණ කතා වස්තුවය.... 
ඒක ඇත්තටම සෞම්‍යගේ විවාහය වුනත් මේඝාගේ මලගම...මතක වස්ත්‍ර ප්‍රදානයක් අවශ්‍ය වුනේ නැහැ.. මං බලන් උන්නේ සෞම්‍යගේ මනමාලි දිහා. මට තරහක් ආවත් ඒකි ගැන, ඒකි මොනවා කරන්නද.. මං ඕස්ට්‍රේලියාවේදි සෞම්‍ය එක්ක ලිවින් ටුගෙදර් හිටියා කියලා කනට කරලා කියන්නත් හිතුනා.. ඒත් මං එහෙම කරලා තව ගෑණියෙක්ගේ හිත තලන්න ගියේ නැහැ.. මං දිහා බලාගෙන සෞම්‍යගේ අම්මා තුන් හතර පාරක් ඔරනවා මං දැක්කා වුනත් මං කලේ අම්මා එක්ක හිනා වුන එක.. සෞම්‍යගේ යාලුවෝ බීලා මේඝා අර යකා උඹට පණ ඇරලා හිටිය නිසා අපි බලාපොරොත්තු වුනේ නෑ මෙහෙම දෙයක් කවදාවත් කෙල්ලේ, කියලා කනට කරලා කිව්වට මං හිනා වෙලා ගානක් නැතුව හිටියා..  මං හුඟ වෙලාවක් බලන් හිටියා සෞම්‍යගේ කටහඬ අහන්න, අවසාන වතාවට..
ඒත් මේඝා කවුද දැන්...මියගිය කතා වස්තුවකට කවුරු උනත් ආයේ පනක් දෙන්න උත්සහ නොකරන බව මට නොතේරුනා නොවෙයි.. ඒත් මං බලන් උන්නා. අවසාන වතාවට....
(හැම අවසානයක්ම් අවසානයට පෙර අවස්ථාව..)
අවසානයේදී ඔහු මා ළඟට පැමිණියා... "මේඝා මං දන්නවා වෙන ගෑනියෙක් උනා නම් මේ ගමන නොඑන විත්තිය.. ඔයා ආවා කියලා මට තාම විශ්වාස නෑ.. ස්තූතියි මේඝා..ඔයාගේ හිනාව මාව ජීවත් කරවලා තියාවි.." කියලා මුමුනලා මධුසමයට පිටත්ව ගියා....
++++++++++++++++++++++++++++++++

නමුත් ඊයේ උදේ වනතුරු මට අවශ්‍යතාවක් මතු වුනේ නැහැ මගේ භෞතික මියයාම සිදුවන තෙක් ඔහු හා නැවත පූදින ප්‍රේමයක්... එය කෙඩෑරීගිය දෙරණත යලි අංකුර අද්දා රන් අස්වනු නෙලන්නටම හැකියාවක් පවතින බැව් මම නොදැන සිටියා නොවෙමි.. නමුත් රන් අස්වැන්න සෞම්‍යට හිමි වුනත් අවසානයේ මට හිමි වන්නේ බොල් වී බවද මම දැන හුනිමි.
ඉතින් ඒ මේඝාගේ මලගම නැති නම් සෞම්‍යගේ චන්ද්‍රකාන්තියට උදා වුන දා සිටම මං ඇවිදින ගල්කුළුනක් වුනේ අවංකවම හදවත සමඟ මහ සටනක නියෙලෙමින්..
+++++++++++++++++++++++++++++++++

සෞම්‍යගේ විවාහයෙන් පසුව මට අවැසි වුන ලෙසටම මං නැවත ඕස්ට්‍රේලියාවට ගියේ තවදුරටත් අධ්‍යාපනයට මගේ දෛවය ලියන්න ඉඩහසර ලබාදෙන්න. මෙල්බර්න් සරසවියේ ආචාර්‍ය් උපාධිය දක්වාම දූර්ධර වේගවත් ගමනක් ගොස් හති වැටුනු වෙළඹක් ලෙස මා ගත කල ජීවිතයට මා වෙනසක් කරන්න කතිකාචාර්යවරියක සේ පිවිසුනේ ඇමරිකානු පෙන්සැල්වි විශ්වවිද්‍යාලයටය. මට අවැසි වූයේ සියල්ලෙන්ම සැඟව වසන්නටය. දෙයක් අවසන් වෙත්ම මා එයින් පලා යෑම පුරුද්දට ගිහින් තිබුනේ.. වර්ෂ ගණනකට පොරොතුව සිදුවු සියල්ල අමතක කරලීමට මට හැකි වුනැයි පැවසීම අසාමාන්‍ය මුසාවකි. නමුත් මම ජිවිතය ගෙන ගියෙමි. සියල්ලටම අවැසි පුරුද්දය. පුරුදු වූ පසු සියල්ල පහසුය. පුරුද්දෙන් පසු නැවත වෙනසකටන් පිලිපන්ව සියල්ලෙන්ම ඉවත් වන්නෙ මා යුහුසුළුව...
ඔහු නැවත මා සොයා ඒ යැයි කිසිදා නොසිතුවෙමි. ඒ ආගමනය සිදුවූයේ නොසිතූ විලසිනි. එය පිනි වැස්සක් නොව අග්නි වැස්සක් වන බව නියත වශයෙන් මා දැන හුන්නත් ඒ පැමිණීමට මා හිත ගැඹුරෙන් අහ්ලාදයේ උත්කෘෂ්ටයට පැමිණෙනු ඇතැයි මට කුකුසක් නොමැත... මගේ රාමා පවසනවා නම් අග්නි පුජාව පවත්වන්න නම් මා එක හෙලා එයට එකඟ වන බව මම දැනුදු කියමි... ඒ පිලිස්සෙන් නැති බව දැන දැනම අග්නි පුජාවට නොයා ඉන්න මට අවැසි නැතත්, ඔහුගේ හා මගේ ජීවිතය වර නැගීම යලිත් මට අවැසි නුවුයේ අග්නි වර්ෂාවකට වලාකුල හසු වනු සක්සුදක් සේ දැන දැනමය...
"මේඝා ඇයි ඔයා මෙහෙම හැංගිලා හිටියේ මං ඔයාව හොයා ගන්න හුඟක් මහන්සි වුනා" කියාගෙන මගේ නවාතැනට එන්නට තරම් ඔහු කෙලෙස හිමිකමක් ලබා ගත්තා දැයි මම නොදනිමි.
සෞම්‍ය ආ නියාවෙන්ම මේඝය පුපුරා වැස්ස ඇරඹුනි.. එය ඉසුනේ සෞම්‍යගේ ළය මතයි.. ඉදින් මේඝා යලි වියැලෙනු කෙලෙසක...? අවසන් වතාවට මේඝා ඉල්ලා සිටියේ ප්‍රේමයක්... ඒත් හදවතින්... මොළය කිවේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක්..
නමුත් මට අවැසි වුයේ අනෙකක් කිරීමය. පළමුව මේඝා කලේ සෞම්‍ය පන්නා දැමීමයි. පන්නා දැමු පසු හැඬුවේද මේඝාමයි. 
දෙවනුව කලේ නුදුටු ලෙස හිඳීමයි. ඒ සෞම්‍ය උන්නේ දඬු මුගුරකින් පහර ලද සර්පයෙක් ලෙස. මගේ පසුපසින් ඇදෙමින්.. අනතුරක් කිරීම නොව නැවත මගේ ඇසුර අයදීනට තරම් ඔහුගේ අත්මාර්ථය පුළුල්ව නැගී හුන්නේ කෙලෙසකදැයි මම නොදනිමි..

ඉදින් සෞම්‍ය නැවත නැවත දකිමින් ගෙවෙන ජිවිතයේ නව අරුතක් සොයා නොයම්ද?
පෙර දිනෙහි ඔහු පැමිණියේ බීමතින්. ඒ මහ වැසි ඇද හැලුනු රාත්‍රියේ ඔහු ඇයදුවේ ඔහුට සවන් දෙන ලෙසයි. සවන්දීම කෙලෙස මුත් ඔහු නැවත පලවා හැරීම කල හැකි දෙයක්ව නොතිබිනි.ඉදින් මම ඔහුට නවාතැන් දෙන්නට පෙළඹුනිමි. ඒ එසේ මා විසින් ඉඩ දෙන අවසන් වතාවයැයි මටම සපත කර ගතිමි..
නමුත් දැන් ඔහු මගේ යහනෙහි හිඳිනු දුට මට දැනෙන්නෙ ඒ පෙර දිනෙන් පසු සියල්ල අවසන් වූ වගද.....?

ප්‍රේමයේ සළුව මත ඇවිද යමු...


අන්ධකාරය දැවී හලු වී යන කලෙක මෙන් මා උන්මාදනීය තුරුණුවිය සිදුරු කරමින් ගමනයේ නිරිතව හිඳිනි. ඔබ මා දැක මහා පිපාසිත කෙනෙකු දිය පිඬක් දක්නා ලද සේ මහත් යුහුසුලුව මා කරා පැමිණියේය. කිසිඳු සතරක් නොදැන ඔබ හා වියමන් කල මිත්‍රත්වයේ නාමයට ඔබ විටින් විට ඉසින ලද ප්‍රේමයේ අම බිඳු මම විසින් උකහා ගන්නා ලදුව ක්‍රමක්‍රමයෙන් දැවෙමින්, සිහිල් වෙමින් පැවතුනෙමි. ඔබ මදහසෙන් උත්පන්න කල සන්තුෂ්ටියට ලෝභී සිත් ඇතිව මා ප්‍රේම කල වග කිවයුතුය.
එනමුදු ඔබ හුදෙකලා නිම්නයක අතරමංව කාලානුරූපීව කාලතරණයට හදවතේ වූ උදුල දුක්ඛිත චතුර් වර්ණයන් නොසිඳින ලදුව මහත්ව සිත මඬල ආතුරව හිඳියැයි නොම දැනුවත් කලෙක ඒ දුර්ධර සත්‍යය ඔබ පැහැදුව මොහොත මම විපරීත වූයෙමි.
ඒ විසල් හදවත දොරගුලු ලා හිරකර තුබුයෙන් මහත් කෙඩෑරීව පිපාසිතව දුර්භික්ෂයකින් විඩාවට පත් වූ නියාවෙන් හැඟීම් විරහිත විතරාගීව මියෙන ලක්ෂණ සහිතව නොමියෙනු දුටිමි. ඒ සා විසල් සවියක ග්‍රහනයෙන් උද්දීපිත හැඟුමන් ජාලා ශඩ් වර්ණයෙන් නෙක විනිවිදින ලදුව ඔබ හා ආගමනයට පැමිණියෙමි.
නුඹ කල්පයකට ඉහතදී අහස් කුසක්ව චන්ද්‍රකාන්තියකට කල්ප ලක්ෂයක් දැවෙන්නට ඉඩ හසර විවර කරමින් හුදී අනඟ ලක්ෂණ විපරිනාම කරමින් සිටියදී  පිරිමි සිතක් සසල වන තරමට මියෙමින් තිබූ ඒ චන්ද්‍රකාන්තියට තවත් තම හදවත පහරමින් ප්‍රේම කල නියාවෙන් දෛවය මහත් වූ දණ්ඩනයකට ඔබව ලක් කල බැව් අදටත් මා කෙලෙස අදහම්ද....?
ඉදිම් ඔබ අදටත් මහත් භක්ත්‍යාදරයෙන් මා වන් මේඝයකට පෙම් කොට මියෙමින් ආයේ ඉපදෙමින් පිලිපන් මේ දිවියෙහි අරුතක් මම නොසොයමි.
ඔබේ විසල් හදවත ඒ සා දුක්බර පරජිත හැඟීමෙන් මඬින ලදුව  මා නම් විෂයෙහි විටින් විට පහරන සිතුවිලි ජාලයේ දාරකයා ඔබම වී ඔබේ හදවතේ මහා කිරීටකයටත් සිදුරුවීම් ඔබම සිදු කරන හැඟීම මා ක්ෂණයෙන් ඝාතනයට පත් කරයි.
නුඹව අහිමිව යන කලෙක මා පරජිත නොවෙමි.. තව තවත් හදවත සවියෙන් ආඩ්‍යව ඔබවම යදී... ඔබ ගන අන්ධකාරයේ මගෙන් සැඟවෙන කලෙක ක්ෂුද්‍ර එලියකුඳු නොමැතිව ඔබව හැඳින ගනිමි. මහ විසල් ශබ්දයන්ගෙන් දෝංකාර දෙන බිමක ඔබේ සියුම් කෙඳිරියත් එක් ක්ෂණයෙන් වුව හැඳින ගනිමි.ඒ ඔබ මට අක්ෂරයෙන් අක්ෂරය, ඇලපිල්ලෙන් ඇලපිල්ල උගැන් වූ ප්‍රේමයයි.
සකලවිද ලෝකයම ඔබ හා එරෙහි වුවත් මා කිසිඳු විටෙක මගේ අහස් කුස අතැහැර වර්ෂාවක්ව වුව ඔබගෙන් නික්මීමට වෙර නොගනිමි.. අහස්කුස බිඳි මියෙන මොහොතක ඒ බිඳෙන එක් පහරකින් මේ මේඝයද බිඳෙන ස්වප්නයක මම දිවි ගෙවමි. ඉදින් කිසිඳු භීතියක්, සංකාවකට ඔය විසල් හදෙහි වූ රෝමන්තික ස්වභාවය පරිවර්තනය නොකරන්න...
අපි මියෙමු..
සම පරතර වලින්
හුස්ම ගෙන,
එකම මොහොතක නවතාලමු.
අපි වැතිරෙමු...
ඒ සා විසල් හදවත් ඇත්තකු විලස,
මේ සා ප්‍රේමණීය අන්දරය මත
වැතිරෙමු..
මහත් සවියෙන් දෙඅත් අල්ලා ගෙන ඉමු..
අල්ලා ගත් හස්ත අත් නොහරිමු..
ප්‍රේමයේ සළුව මත ඇවිද යමු...

ජීවිතයට අඬ ගසන්න....

බොළඳ කතාවක් යැයි ඔබ දොස් නගනු ඇත.. පල කරම්දෝ නොකරම්දෝයි සිතමින් දින ගණනක වෙහෙසයකින් යුතුව පලකරන්නට යන තීරණය අවසානයේ ලදිමි....
///////////////////////////////////////////////////////////////////////

රෝස පැහැති ප්‍රේමය



සුන්දර රෝස දෙතොල..
පිරිමියකුට සරිලන දෙතොලක් නොවේ මට යැයි ආදරේට පැවසමින් හුරතල් උන මගේ කෙල්ල.. මං කිව්වේ රෝස කිරිල්ලී කියලා..
සිගරට් ගහනවා දැන ගත්තම, රෝස පාට නැති උනොත් ඔන්න හාදුවක්වත් දෙන් නෑ කියමින් මාව ආදරයෙන් උමතු කල මගේ රෝස කිරිල්ලී...

රෝස මලක කටු තිබුනට, කිරිල්ලියොන්ගේ කොහෙද කටු..
මං ආදරේ කලේ එහෙම හිතා ගෙන. ඇත්තටම අපේ ආදරේ මුල් අවදියේ, හරිම ලස්සනට ගලාගෙන ගියේ රෝස මල් යහනාවක මගේ රෝස කිරිල්ලි විසින් මා සතපවා සේය..

මගේ හද කිනිත්තේ ආදරය වැහෙන්න ගත්තේ, ප්‍රේමයේ මුලකුරු ලියැවෙන්න ගත්තේ මගේ රෝස කිරිල්ලිගේ සුදු ගවුමේ ඔපනැලි මතින් ඒකිගේ ලැජ්ජාව, හුරතල් ගති අංකුර වගෙ මෝදු වෙන සුන්දරත්වය දැකලා..
ඒත් මං කාලන්තර තරණය සිද්ධ කලේ කොහොමද කියන්න දන්නේ නැහැ. මගෙ නොහික්මුනු කුලුදුලේම පීදුනු පිරිමි හැඟීම් පොකුර හද කිනිත්තේ සඟවන් හිටියේ හරිම වෙහෙසකින්... මගේ රෝස කිරිල්ලිව දකින මොහොතක් මොහොතක් පාසා, මගේ පිරිමි හිත දළු ලෑවා.. කවි ගෙතුනා, සිතුවම් ඇඳුනා.. මේ අදිසි විප්ලවයේ නායකත්වය හිමි වුනේ රෝස කිරිල්ලිට. මගේ නොහික්මුනු ගති එක්ක යට වෙලා තිබ්බ බෝසත් උභය කුලයේ නාමයෙන් මං ඒකිට ආදරය ප්‍රකාශ කලේ සුදුගවුමට තිත තියන දවසේ..
එදා තිබ්බේ කෙමෙස්ට්‍රි. ඒකිට කෙමෙස්ට්‍රි අමාරු වෙලා තිබ්බ නිසා ඒකීට මගේ ආදරය ගැන නිනව්වක් තිබ්බෙ නැහැ.. මං ආදරේ ප්‍රකාශ කලාට ඒකීට ඊට වඩා හිතන්න කෙමෙස්ට්‍රි තිබුනා.
මට අමාරුවක් උනෙ නැහැ සම්පුර්ණ විභාගයම. මොකද, මගේ අම්මයි තාත්තයි  දෙන්නම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයන් නිසාත් ඔවුන්ගේ ජාන සිතියමේ ජාන මට හිමිව තිබුන නිසාත්, මගේ මොළයේ කුඩා කල සිටම අයි.කියු. මට්ටම ඉහල අගයක පැවතීමත් ඊට හේතු වුනා..
හංගලා තිබ්බ ප්‍රේමය ප්‍රකාශයට පත් කල වහාම හඬන්න පටන් අරන් තිවුනේ.. අසිනි වැස්සක් වගේ, නවත්තන්න බෑ වාන් දමලාවත්..
මගේ මිතුරෙක් උදව්වට ආවා.. මගෙ ප්‍රේමය මගෙ මිතුරු කැලට රහසක් වුනේ නැහැ. මිතුරෙක් හොයාගෙන ආවා මගේ රෝස කිරිල්ලී රිවිශන් යන විත්තිය.
මට රිවිශන් යන්න වුවමනාවක් නැති උනත්, මං රිවිශන් යන්න පටන් ගත්තේ ඒකී නිසා. ඒත් මට රෝස කිරිල්ලී ගේ අධ්‍යාපනයට ආදරය බාධාවක් කරන්න වුවමනා වුනේ නැහැ. ඒත් වෙන කුරුල්ලෙක් ඩැහැගෙන ගියොත් කියන බය මගේ හදවතේ ඇතුලේ කැකැරෙන්නේ ගත්තා. මට වුවමනා වුනා මං ආදරේ බව කියන්න. ඒ වගේම බලන් ඉන්න පුලුවන් බව කියන්නත්. ඉගෙන ගන්න ඕනෑම උපකාරයක් කරන්නම් කියලා කියන්නත්...

රෝස කිරිල්ලීට මං ලියුමක් ලිව්වා. ඒක හරි නෑ කියලා විසි කලා. ආයේ ලිව්වා ආදරෙ බව..
බොලඳ වැඩී කියලා හිතුනා..
ආයේ කවියක් ලිව්වා...
මට හිතා ගන්න බැරි වුනා ආදරය නැවත ප්‍රකාශ කරන විදිය..

මගේ සංඥා කුලුනට අසුවෙලා තිබුනේ වන බඹරෙක් රෝස කිරිල්ලී හඹා යන විත්තිය.. මට කුමක් කරන්නද කියලා තේරුම් ගන්න බැරිව මං විසංයෝජනයකට පත් වුනා.
රෝස කිරිල්ලිත් උන්නේ ඉබාගාතේ සැරිසරමින්... මගේ පෙම්වත් සිත බිය වුනා ඔහුගේ ප්‍රේමය දද කෙහෙලි නංවයි කියලා.

මං කලේ ආයේ ලියුමක් ලියලා දීපු එක.. ඒක දුන්නට පස්සේ ආයේ හරි නෑ කියලා හිත තෝන්තු මාන්දු වුනා. මොනවා කරන්නද ඒක දීලා ඉවරනේ...
ඇය මා දිහා බලන් උන්නා...මේ කුරුල්ලා දිහා.. ඒ කලු බෝල ඇස් දෙක තවත් ලොකු කරන්.. මගෙන් ඇහුවේ "ඇත්තටම ඔයා මට ආදරේද " කියලා විතරයි. මට කියන්න දෙයක් තිබුනේ නැහැ... ඇය පිලිතුරක් බලාපොරොත්තු වුනේ නැති නිසා...
ඇය කිව්වේ මේ පාර කැම්පස් සිලෙක්ට් නොවන නිසා ඇයට ඉඩ දෙන්න කියලා ඊලඟ පාර කොහොම හරි කැම්පස් යන්න..මං කිව්වා වුවමනා නම් මං ක්ලාස් කරන්නම් කියලා... හිනා වෙලා ඇහුවේ ඔයා ඒ තරම් බ්‍රයිට්ද කියලා විතරයි....

මං පිලිතුරු දුන්නෙ රිසල්ට් ආවාම බලා ගන්න කියලා විතරයි..
ඇයට අවශ්‍ය වෙලා තිබ්බේ කෙමෙස්ට්‍රියි ෆිසික්සුයි ප්‍රශ්න කරන්න.. අපි ටයිම් කරලා ප්‍රශ්න පත්‍ර කරන්න පටන් ගත්තා... ඒ ඇගේ ගෙදරදී... මට ඇවැසි වුනේ නැහැ.. මගේ පිරිමිකම ඉදිරියට දාලා ඇගේ සිහින බොඳ කරන්න...
ඈ සිහින වියමන වියුවේ හැමදාම.. හැම මොහොතකදිම...
මං කොල්ලෙක් තමා.. ඒත් නරක කොල්ලෙක් නෙවේ.. මට යාලුවෝ හුඟක් උන්නා.. ඒ සමහරවිට මන් හොඳ කන බොන කොල්ලෙක් නිසා වෙන්න ඇති... මට වියදම් කරන්න තිබ්බ සල්ලි එක්ක මට වුවමනා වුනේ නිදහසේ පාවෙන යෞවනයට ඉඩ දීලා මිතුරන් එක්ක සතුටු වෙන්න...
ඇය ඒ ගැන දැන ගත්තා... මං ඒ රෝස කිරිල්ලිට ආදරේ කලේ ඇත්තටම වුනත් එයාට වුවමනා වුනේ මගේ පුරුද්ද අතහැරලා දම්මන්න...
මුලින් මුලින් ආදරෙන් කිව්ව වචන.. මගේ රෝස දෙතොලට ඇය හරියට ආශා වුනා... ඉතින් ඇය "රෝස පාට නැති උනොත් ඔන්න හාදුවක්වත් දෙන් නෑ" කියමින් මගේ දුම්වැටිය නවත්තන්න බලකලා...
පස්සේ පස්සේ වෙනකොට ඉල්ලීම් හීනි රිදුම් එක්ක අණකිරීම් වැනි කිනිසි පහරවල් වෙන්න ගත්තේ මං හිතුවක්කාර නිසාම..
ඇගේ වෙනස් වීම මට කියවන්න නුපුලුවන් වුනේ,ඇගේ දක්ෂතාව නිසා වෙන්න ඇති... 
ඒත් ඈට උවමනා වුනේ මගේ ජීවිතයේට සීමා දාන්න...

ඇයට මං රෝස මල නොකියා රෝස කිරිල්ලි කීවේ ඇගේ සියුමැලි ගතිපැවතුම් නිසා මුත් මගේ ජීවිත පුරුදු එක්ක ඈ රෝස මලක් වග මා විශ්වාස කලේ ඈ මා රිදුවු නිසාමය. ඒ මගේ ජීවිතයට සීමා දමමිනි...
මා වෙන්ව ගියේ මගේ නිදහස් ජීවිතය සොයමිනි.. ඒ ඇගේ සීමාවන්ට හසු වන්නට මට කිසිසේත්ම උවමනා නොවුනි.. ඉදින් මමම රෝස කිරිල්ලිව අතැරෙන්නට ඉඩ දුනිමි.
මගේ නිදහස් තනිකඩ ජිවිතයේ ගෙවුනේ හරියටම වසර හතකි.. මගේ ඒ සෙල්ලක්කාර දිවිය මට පිදුවේ ඇය බය වූ යථාර්ථයයි.. එනම් පෙනහලු පිලිකාවකි..

නුමුත් මා මහරගම පැමිණියේ කිසිඳු බලාපොරොත්තුවක් රහිතවය. ඇගෙන් වෙන්ව ගිය මුත් ඇගේ වදන් තවමත් මා පසුතැවිලි කරවමින් තිබුනි..
නමුත් දෛවයන් මා ලද්දේ රෝගියෙක් වීද ඈවය. මා සයනයේ හිඳින කල ඈ ආවේ දෛවයේ සරදමකට වාගේය. ඈ කොලඹ වෛද්‍යපීඨයට තේරුනේ දෙවනවර විභාගයෙනි. එවිට මා ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබමින් සිටියෙමි. මා තරමක් ටියුෂන් ක්ලාස් ඇයට කල බැවින් ඇය වෛද්‍ය පීඨයට තේරුනු වග ඇය ලිපියක ලියා මට ස්තූති කර එව්වාය. නමුත් එයටද ප්‍රතිචාරයක් නොයැවීමට තරම් මං සැහැසික විනි.

නමුත් දැන් ඇය මගේ අබියස හිඳී.. මා දුට ඇගේ නෙතේ කඳුලක් දිලිසෙන්න පටන් ගනු මා දුටි.
මට ඇගේ රෝසකටු හරි පැවසු සත්‍යය වටහා ගත්තා නම් යැයි සිත ගෝරණාඩු කරයි. එසේ නම් මෙලෙස සයනයක නොහිඳ ඈ හා සතුටින් කල් ගෙවන්නට තිබුනි.. මම අදටද පසුතැවිලි වෙමි.. ඒ මගේ හිතුවක්කාර නිදහස සොයායෑම පිලිබඳවය..

නෙලුඹු වත



සුපිපි වන රත තඹුරු පෙති හුඟ, තදට රත් වී               දිලිසුනා.
නොදුටු නෙලුමක් ඝන කැලෑවේ නෑඹුල්ව              විකසිත වුනා.
අළුම අළු විහඟෙකු පමාවෙන් නෙලුම දුට මත්වී          ගියා.
කඳුලු වැස්සක පුරෝකතනෙන් ලපලු ගඟ කම්පිත         වුනා.

නිසල ගම් දනව් කැලඹී කුණාටුවකට හසු                            වුනා.
සසල වූ රුක් දෙවිවරුද මහ චන්ඩ සුලඟට විසි                වුනා.
විශාලාවක් නුවූවත් මහ භීතියෙන් ඇලලී                             ගියා.
බඹර දුර්ධරව පැසසුම් කරන් නෙළුමට ළං                           වුනා.

නෙළුඹ නොදතත් නොමනුසත් ගති බඹර නිරිඳු       පැහැදුවා.
නෙළුඹ තලලා පෙතිද හැලිලා දුක් කතාවක්                     ලියැවුනා.
හැලුනු පෙතිමත තිබුනු කඳුලැලි දුක්බරිත  හිරියෙන්    හැංගුනා.
සියල් සිදුවූ විසල් දුක්ගඟ නෙළුමෙන්ම ඉතිරි                    වියැකුනා.

බනුර නෙලුමක දිවිය අනුපම තරම් අගනේ                                නියා.
සම්බුදුන් විකසිත වුනේ ඒ සා අමිල දහමම                                නිසා.
ඉදින් නෙළුමම ලත් නිවට දැක තනිව මියැමි                              සිතා.
නෙළුම අකලට මිලින විය, ඒ කැකුලු බව                            පසෙකලා.


නුඹට..


නුඹ මට අයිති නොකීවද 
ඔය පුලුල් උරහිස
වගේම උණුහුම් ළය මඬල.
ගෙනෙන සැනසුම
හීනෙනුත් මා අවදි කරවයි.

ප්‍රේමය කවි වල පටලවා
උඩුගං බලා පා කර හැර
ඔබ එන තුරු තවමත් මා
පහල ගං මිටියාවතේ 
බලා ඉමි.. මියෙනතුරුම

ඔබ නො එන වග පවසා
මා හඬවන්න එපා තවතවත් 
ඉවසන්න බැරි වග දන්නවා නේද
මියෙන්නම් ඔබට එන්න බැරි නම්.
ලැව්ගිනි කර මතක වන පෙත.


නිදහසෙන් ඔබ්බට



කසාවතට පෙම්බැඳි කාලේ
නොතේරුනා මේ හැඟුමන් අම්මේ...
එපා කිව්වම අම්මත් ඒ කල
හිතුවක්කාරේටමයි මහන වුනේ....

උදේ පාන්දර නැගිටන් හැමදින
මිදුල අමදින්නේ ගුලිකර මතකය
අම්මා වියපුම පොල් අතු වහලය
මිදුලේ අදිනවා කලුවරේම මම

උදේට දානය බුදු ගෙයි තියලා
පිරිවෙන් ඉස්කෝලෙට යනවා
ඉගෙනගන්න එන කොල්ලන් හුඟ දෙන
මං නොදන්න දේ පවසනවා.

ආසයි මට හරි ඒ නිදහසටම
මගේ කොලු හදවත පා වෙනවා..
ආයෙත් අරගෙන හදවත දෑතට
මම හිමිනමකි පවසනවා.


සින්ඩරෙල්ලා මං



සින්ඩරෙල්ලා මං මගේ කතාවේ...
සපත්තු හුඟක් හැලුනේ  මාවතේ නොවුනත්, 
මැදියම් දොලහට ලං වෙලා හැමදාම..
ඒසී කාමර වල, 
ඒ හැලුන සපත්තුවක් අරන් කුමාරයෙක් එනකම් බලන් උන්න..
සින්ඩරෙල්ලා මම..

මැදියමේ මං ගියේ රාජ මාලිගාවලට නටන්න, කාසි වලට...
මත්බඳුන් පුරවපු මේ දෑත් වලින්ම හීන දැක්කේ රාජකුමාරයෙක්ගේ හස්තයක් අල්ල ගන්න...
සින්ඩරෙල්ලා මම රාජකුමාරයෙක් එනකම් බලන් උන්නු...

රාජ කුමාරවරු නැතුව මාලිගා හදන්න හීන දැක්කේ නැති මුත්..
හදවත පැත්තකට කරලා මාලිගාවක් හැදුවා,
මැටි වරිච්චි බිත්ති බිඳලා, පොල් අතු පියස්ස බිමට හෙලලා,
මගේ අම්මවයි නංගිලා තුන්දෙනාවයි රාජකුමාරියෝ කරන්න...
තවමත් රාජකුමාරයෙක් එනකම් මඟ බලන කෙස්රොදක් විතරක්ම සුදු වෙච්ච සින්ඩරෙල්ලා මං...

මාලිගාව හැදෙන්න  කියලා මගේ තුනුවගම රාජකුමාරයොන්ට පිදුවා..
උන් සින්ඩරෙල්ලව නොදන්න නිසා මට පහසු වුනා...
මැදියම පුරාවට සතුටුවෙලා රාජ කුමාරවරු අසු පිටින් ඔවුන්ගේ භවනට වඩිනකොට,
මං කබල් සෙරෙප්පු දෙක ගෙවෙනකම් පයින්ම බෝඩිමට ආවා...

නිදා ගන්නකොට හැමදාම මං සින්ඩරෙල්ලව හීනෙන් දැක්කා..
දවල් හීන සැබෑ නොවන බව දැන දැනත් ඒ රාජකුමාරය එනකම් බලන් ඉන්න මනමාල වයස පහු වෙච්ච සින්ඩරෙල්ලා මං...


පිහාටු


මං උන්නේ සුදු ඇඳුමෙන්, පොලවේ වැතිරිලා, ඒක තෙත සීතල පොලවක්..... ගන කළුවර තිවුන නිසා නිර්නය කරන්න නොහැකි වුනා කොහෙද කියලා... ඒත් ඒක හරියට ගුහාවක් වගේ ස්ථානයක් කියලා මට නිශ්චිතවම කියන්න නොහැකි වුනත් එවැනි සලකුණු මගේ දෘෂ්ටියට හසු වුනා... නමුත් පියස්සක් තිබ්බා.. කොන්ක්‍රීට් පියස්සක්... මට දැනුනේ මහ තනිකමක්, සිරකරලා වගේ හැඟීමක්. මට මගේ අම්මට කතා කරන්න ඕන වුනා... ඒත් කෑ ගැහුවට ශබ්දය පිට වුනේ නැහැ.. ඒ විතරක් නෙවේ, මගේ අත්,පා දරදඬු වෙලා තිබුනේ. ඒ හන්දා මට දඟලන්නවත් බැරි වුනා... මං මතක් කර ගන්න උත්සහ කලා අන්තිමට වෙච්ච සිදුවීම හරි  සිදුවීම් දාමය හරි... මෙතන මෙහෙම මං වැතිරිලා ඉන්න හේතු වුන සිදුවීමට අතිච්ඡාදනය වන සලකුනක්වත්..
සෞම්‍ය හිරු එලිය සිදුරකින් පෙරී මාව හොයාගෙන ආවා මං හිටපු තැනට... ඒත් අඳුර නස්නයට ඒ සිදුර දක්ෂ වුනේ නැහැ.. 
මං හයියෙන් හුස්ම ගත්තා.. ඒත් හුස්ම වැටුන් නැහැ... මං මගේ හුස්ම නොවැටුන බව දැක්කේ අහම්බෙන්.. ඒ දනහිස මදුරුවෙක් කනවා බලන්න කකුල් දිහා මං බලපු හන්දා...මගේ පපුව සෙලවීමක් තිබුනේ නෑ... එකයි මං අනුමාන කලේ හුස්ම වැටෙන් නැති විත්තිය... (ඒත් කොහොමද මදුරුව කනවා දැනුනේ....)

ටික වෙලාවකට පස්සේ දැනුනේ මං ඉහල ආකාශේ පා වෙනවා.. මාව ඇදිලා ආකාශෙට පා වුනා... ඒ සිදුවීම හරිම වේගවත්... හරියට වෙනත් ග්‍රහලොවක් හොයන් විශාල රොකට්ටුවක් ගමන් ආරම්භ කරනවා වගෙයි, නිසලව තිබුන මගේ සිරුර එකපාර ඇදිලා ගියේ හරිම වේගයෙන්... අනතුරුව මාව පාවෙන්න පටන් ගත්තා... මං අහසේ පාවි පාවී හිටිය වෙලාවේ මං දැක්කා මං සුදු මාමා එක්ක සරුංගල් අරිනවා. ඒ කැලිඩෝ වෙරලේ. ඒ සරුංගලේ හුඟක් ලොකුයි.. සරුංගලේ හදන්න සෝමතිලක මාමාත් උදව් කලා.. එයා අපේ වත්තේ වැඩට හිටිය කෙනා... මට මතක් උනා සුදු මාමා ගියාට පස්සෙ මං තනි උන විත්තිය.. ඒ කාලේ අපේ ගෙදරට ආව ගිය ජයනි අක්කා සුදු මාමා එක්ක විවාහ වෙලා ගිය නිසා මං හිටියේ ජයනි අක්කා එක්ක තරහින්. ඒත් ඒ විවාහයට කලින් ජයනි අක්කා මට හරි ආදරෙයි. මාවත් එක්ක යනවා මුහුදු වෙරලට.. මං සෙල්ලම් කරනවා එයාලා එක්ක... මං මගේ ජිවීතේ ආසම දවස තමයි එයාලගේ විවාහ උන දවස.. එයාලගේ විවාහයට හරිම ලස්සනට ඇන්දා... ඒත් ෆොටෝ ගන්න ගිහින් නම් මට එපා වුනා... මට කෙල්ලෙක්වත් ඉඹින්න වුනා ෆොටෝ එකට..
මං ආකාශේ පාවෙවී ඉඳලා පාවීම නතර වුනේ අපේ සුවිසල් නිවහන අද්දරින්.. මං විතරයි ගෙදර නොහිටියේ හුඟක් අය ඇවිත් අපේ ගෙදර.. තාත්තා හිටියේ හඬමින්.. අම්මා විලාප තියනවා ඇහුනා... ටික වෙලාවකින් අම්මට සිහිය නැතිව වැටුනා... මං අම්මා ළඟට ගිහින් රහසින් පැවසුවා මං හැංගිලා ඉන්න විත්තිය.. 
අපේ ගෙදර බැල්කනි එකේ ටික වෙලාවකින් මං හිටියේ හැංගිලා අම්මට මාව හොයා ගන්න බැරි වෙන්න.. අම්මට සිහිය ඇවිත්... අම්මා බැල්කනියට ආවා..
මං හැමදාම හැංගෙන්නේ ලොකු රෝස මල් පෝච්චියට එහායින්.. අම්මා හැමදාම වගේ බංකුව ළඟට ඇවිත් මාව හෙව්වා... මං විශ්වාස කලා අම්මා බංකුව පහු නොකර මාව හොයන් රෝස පෝච්චි ළඟට එන්නේ නැත්තේ බොරුවට කියලා...  ඒත් අද අම්මා ආවා..මං හිටියේ අම්මා හොයන් ආපු තැනමයි.. ඒත් අම්මා මාව දැක්කේ නෑ... මට අම්මට කතා කරන්න වුවමනා වුනත් මං කතා කරන්න උත්සහ කලත් බැරි විත්තිය මතක් වුනා.. ශබ්දය පිට වුනේ නැහැ.. ඒත් අම්මා "චුටිපුතා" කියලා මට කතා කලා... "ඇයි අම්මේ" කියලා කියාගන්න මට බැරි වුනා ඒත්...

ආයේ මාව පාවෙන්න ගත්තා අහසේ... මං දුටුවා මගේ පිහාටු ඇල්බම් එක බිම වැටිලා තියෙනවා. ඊට යාරයක් එහයින් පිහාටු සේරම පොලවේ හැමතැනම විසිරිලා. ඒ අපේ වත්ත නෙවෙයි.. මං නොදන්න තැනක්. ඒත් ඒ වත්තේ තිබ්බ පොඩි නිවසේ අපේ ඩ්‍රයිවර් අයියා හිටියා.. මං හිමින් හිමින් ඒ පිහාටු මතට පාවෙලා ඇවිත් ඒ පිහාටු මත් වැතිරුනා.. ඒක කොහොම සිදු වුනාද කියන්නමට තේරෙන් නෑ..හරිම සුමුදු සනීපයක් මට දැනුනේ. ඒත් හදවත ඇතුලෙන් හුඟක් විසල් වේදනාවක් දැනුනා. වේදනාව තියෙද්දිම මම කල්පනා කලා අවසාන සිදුවීම්....
මට සිදුවීම් ජාලය අමතක වෙලා තිබුනත් මට මතකයි මං පාසල් ඉවර වෙලා ඉන්නකොට අපේ නිවසේ වැඩ කරන අයියා කෙනෙක් ඇවිත් පිහාටු තියනවා කියලා මාව එයගේ ගෙදරට අරන් යනවා.... මං ඒ අයියා වැඩිපුර නොදුට තිවුනත්, මකං පිහාටු ඉල්ල ගන්න අයියා එක්ක ගියා.. ඊට පස්සෙ මට කිසිම දෙයක් මතක නෑ...
ආයේ වේදනාව මතු වුනා... ඒක මොන හේතුවක් නිසා ඇති වුනාද කියන්න මට තේරුන් නෑ.. ඒත් පිහාටු ඒ ස්පර්ශය මඟින් සුමුදු සනීපය මගේ හදවතේ වේදනාව සමනය කරන්න අසාමාන්‍ය වෙහෙසක් ගත්තා... පිහාටු දිනලා මගේ වේදනාව වාෂ්ප වෙලා ගියා මටත් නොදැනීම...මට අඬන්න වුවමනා වුනත් අඬන්න බැරි වුනා... ඒත් කඳුලු කැට පිහාටු මත තිබුනා... මං හිමින් හිමින් ඒවා පිහිදලා වටපිට බැලුවා.. ආයෙත් මගෙ විසල් වේදනාව උග්‍ර වෙන්න ගත්තම මට වුවමනා වුනේ අම්මගේ තුරුල... "අම්මා" කියලා කෑ ගැහුවත් ශබ්දය පිටවුනේ නෑ.... මට මතක් වුනා මං අඬනකොට තාත්තා මාව වඩාගෙන අහසට විසි කරනවා.. මං ඇඬිල්ල නවත්තලා හිනා වෙනවා.. ඒ සිදුවීම මීට අවුරුදු කිහිපයකට පෙර සිදුවීම් වුනත් මං ආස වුනා තාත්තා මගෙ ළඟ ඉන්නවට හැමදාම...
තාත්තා අවිවේකි වෙන්න ආරම්භ වුන දිනය මට නිශ්චිතවම කිව නොහැකි වුනත් තාත්තගේ ව්‍යාපාර දියුණු වෙන්න ගත්ත නිසයි මට හුඟක් දේවල් ලැබෙන්න ගත්තේ.. මගෙ යාලුවොන්ට නොතිබුන  විඩියෝ ගේම්ස් සෙට් එකක් මං ගාව තිබුනා.. මගේ උපන්දින පාටියට ඇවිත් හැමෝම පොර කෑවේ ඒකට.. මගේ උපන්දිනයෙන් පස්සේ මං පන්තියේ ප්‍රසිද්ධම ළමයා වුනා.. හැමෝටම මාතෙක්ක මිතුරු වෙන්න වුවමනා වුනත් මට වුවමනා වුනේ තනියම ඉන්න...
ඒත් මං පිහාටු එකතු කරනවා දැනගෙන හුඟක් යාලුවෝ මට පිහාටු ගෙනත් දුන්නේ මාත් එක්ක මිතුරු වෙන්න..මං ගාව හුඟක් පිහාටු තිබුනා.. මං ආස වුනේ මොනර පිහාටු වලට. ඒවා හරිම ලස්සනයි.. තාත්තා දවසක් මගේ මොනර පිහාටු දැකලා ඒවා ඉවත් කරන්න කිව්වා.. ඒත් මං අඬලා ඒවා තියා ගත්තේ මං හුඟක් ඒවට ආස නිසා... තාත්තා කැමති වුනේ නැත්තේ, මොනර පිහාටු අපේ නිවසේ තියාගන්න... අසුභයි කියලා... අසුභවාදී යමක් ඉක්මනට සිද්ධ වෙන්න පුලුවන් කියලාත් තාත්තා කිව්වා...


+++++++++++++++++++++++++++++++++++

(නිදාන කතාව: මං ඉතාමත් කුඩා කාලයේ ප්‍රවෘත්ති වලින් ඇසු කතාවක් මගේ හිතේ අදටත් රිදුම් දේ... ඒ නම්, කලුතර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙක් ගේ පුතකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමයි.. එය මුදල් සඳහා කල පැහැර ගැනිමක් වූ අතර ඒ කුඩා දරුවා සඟවා තිබුනේ වැසිකිලි වලකය... එය 2000 වසරේ පමණ සිදුවූ සිදු වීමකි.)

පව

යන්න ඕන වෙන්නේ ආදරය නැති නිසා නෙවේ... හුඟක් ආදරය නිසා.. ඒත් ඈතට වෙලා ඉන්න බැරුව එන්නේත් ආයේ ඒ හුඟ ආදරේ නිසා.... ඒකට කියන්නේ "සංස...