අවසන් වතාව
මං හුන්නේ නෙත් වසාගෙන වුවත් නිදාගෙන නෙවෙයි. මට දැනුනේ, ඒ ගෙවුන පැය කිහිපය ජීවිතේ මං විඳපු උත්කෘෂ්ටම මොහොත කියලා. මං අමතක කිරීමේ නිශ්ඵල උත්සහයක යෙදුනා ඒ මොහොත ඉක්මනින්ම අවසන් වන වග.මගේ වත තිවුනේ ඔහුගේ පර්ශු වල... ඒ උදාවුනේ දහස් දිනයන්ගෙන් පසු දිනයක්..
මේ වෙලාව මගේ හුදෙකලා දිවියේ සඳලුතලයට වෙලා කකුල් උඩ තියාගෙන පොතක එබීගෙන ඉන්න, නැත්තම් බීර බඳුනක රහ බලන්න වෙන් වුන වෙලාව.... තනිකමෙන් උමතු වුන මගේ ආත්මයට ඔහුගේ පුනරාගමනය පිනි වැස්සක් වගේ.. නමුත් යලි හිරු පීදෙන බව පිනි කැට නොදැන නොවේ....
"දඟ නොකර ඔහොමම ඉන්න මේඝා" සෞම්‍ය එලෙස පැවසුවේ එතනින් මිදෙන්න ගිය කල්හිය. ඔහු වෘක්ෂයක් වූ කල්හී මා ලතා මඩුල්ලක් නොවෙම්ද...?
"අපි මොනවා හරි බොමුද?"
මං එලෙස විමසුවේ ඔහු හා හරබර කතාවක් අවැසි වූ නිසාය. නමුත් නිහඬතාව හොඳම කතාව බවත්, ඔහුගේ කතා වලින් හිත රිදෙන බවත් මම දැන සිටියෙමි.. ඔහු අනැවැසි බව පවසන්න නෙත් නොහැරම හිස දෙපසට සෙලවීය. නමුත් මට අවැසි වූයේ එතනින් ඉවත්වන්නටය. මා ගියේ ශීතකරනය හැර වයින් උගුරක රස බලන්න.. ඒ වු සන්තුෂ්ටිය අමතක කර වෙනත් රසගුලක කිමිදෙන්න අවැසි බව හිත මොර ගාන මොහොතක මා උන්නෙ හෙම්බත්ව.. සෞම්‍ය නම් ඒ වනවිටත් හතිලමින් උන්නේ...
+++++++++++++++++++++++++++++++++
"කඳු මුදුනක පැල්පතක් හදන් ඉන්න බැරි බව දන්නවා නේද මේඝා.. අපි කොහොමද සමාජ සම්මතයන්ට විරුද්ධව වැඩ කරන්නේ. මං ආදරේ කලා තමා.. තාමත් ආදරෙයි. මගේ පුංචි සුරංගනාවි ඔයා හැමදාමත්. මං නැති වුනත් ඕනම පිරිමියෙක් ඔයාට ආදරේ කරනවා.. මේඝා ඔයාට තියෙන්නෙ පිරිමි වසඟ කරන හුරතල් ගතියක්.. වෙලාවකට ගලක් වගේ රළු බවක් පෙන්නුවට ඔයා මල්පෙත්තක් වගේ හරිම සියුමැලි.. කොහොම වුනත් මට මගේ පුංචි සුරංගනාවිව අමතක කරන්න බැරි වෙයි."
ඒ දශකයකටත් වඩා පරණ මතක වස්ත්‍රයක්, ඔහු මගේ මොහොතින් මොහොත මියැදෙන ආත්මයට පුජා කල බැව් මම අසාමාන්‍යයව වුව පිලිගනිමි...
මං අපේ විවාහයෙදී ඔහුගේ ඇඳුම ප්‍රාර්ථනා කල විදියටම සෞම්‍ය හැඳ සිටියේ නිලමේ ඇඳුම. ඒ වගේම පරම්පරාගත නිල් මුද්ද දාගෙන හිටියේ..
"මේඝා ඔයාව මැරි කරන්න මට බැරි නැහැ. ඒත් පරම්පරාගත හැම දෙයක්ම මට නැති වෙයි.." ඔහුගේ විවාහයේදී මගේ මතක මන්දිරයට පැමිණියේ ඔහු පැලඳ හුන් මුද්ද දිටිමෙන් පසුය. ඒ නිල් මැණික් මුද්ද නුවර යුගයේ ප්‍රසිද්ධ රජවාසල නිලමේවරුන් වූ ඔහුගේ පරම්පරාවේ උන්නු කිරි අත්තා කෙනෙකුට රජු රාජසිංහ රජු තෑගි කළ එකක්‍ය කියලා ඔහු මහා ආඩ්‍ය අහංකාරයකින් පැවසු පරණ කතා වස්තුවය....
ඒක ඇත්තටම සෞම්‍යගේ විවාහය වුනත් මේඝාගේ මලගම...මතක වස්ත්‍ර ප්‍රදානයක් අවශ්‍ය වුනේ නැහැ.. මං බලන් උන්නේ සෞම්‍යගේ මනමාලි දිහා. මට තරහක් ආවත් ඒකි ගැන, ඒකි මොනවා කරන්නද.. මං ඕස්ට්‍රේලියාවේදි සෞම්‍ය එක්ක ලිවින් ටුගෙදර් හිටියා කියලා කනට කරලා කියන්නත් හිතුනා.. ඒත් මං එහෙම කරලා තව ගෑණියෙක්ගේ හිත තලන්න ගියේ නැහැ.. මං දිහා බලාගෙන සෞම්‍යගේ අම්මා තුන් හතර පාරක් ඔරනවා මං දැක්කා වුනත් මං කලේ අම්මා එක්ක හිනා වුන එක.. සෞම්‍යගේ යාලුවෝ බීලා මේඝා අර යකා උඹට පණ ඇරලා හිටිය නිසා අපි බලාපොරොත්තු වුනේ නෑ මෙහෙම දෙයක් කවදාවත් කෙල්ලේ, කියලා කනට කරලා කිව්වට මං හිනා වෙලා ගානක් නැතුව හිටියා.. මං හුඟ වෙලාවක් බලන් හිටියා සෞම්‍යගේ කටහඬ අහන්න, අවසාන වතාවට..
ඒත් මේඝා කවුද දැන්...මියගිය කතා වස්තුවකට කවුරු උනත් ආයේ පනක් දෙන්න උත්සහ නොකරන බව මට නොතේරුනා නොවෙයි.. ඒත් මං බලන් උන්නා. අවසාන වතාවට....
(හැම අවසානයක්ම් අවසානයට පෙර අවස්ථාව..)
අවසානයේදී ඔහු මා ළඟට පැමිණියා... "මේඝා මං දන්නවා වෙන ගෑනියෙක් උනා නම් මේ ගමන නොඑන විත්තිය.. ඔයා ආවා කියලා මට තාම විශ්වාස නෑ.. ස්තූතියි මේඝා..ඔයාගේ හිනාව මාව ජීවත් කරවලා තියාවි.." කියලා මුමුනලා මධුසමයට පිටත්ව ගියා....
++++++++++++++++++++++++++++++++
නමුත් ඊයේ උදේ වනතුරු මට අවශ්‍යතාවක් මතු වුනේ නැහැ මගේ භෞතික මියයාම සිදුවන තෙක් ඔහු හා නැවත පූදින ප්‍රේමයක්... එය කෙඩෑරීගිය දෙරණත යලි අංකුර අද්දා රන් අස්වනු නෙලන්නටම හැකියාවක් පවතින බැව් මම නොදැන සිටියා නොවෙමි.. නමුත් රන් අස්වැන්න සෞම්‍යට හිමි වුනත් අවසානයේ මට හිමි වන්නේ බොල් වී බවද මම දැන හුනිමි.
ඉතින් ඒ මේඝාගේ මලගම නැති නම් සෞම්‍යගේ චන්ද්‍රකාන්තියට උදා වුන දා සිටම මං ඇවිදින ගල්කුළුනක් වුනේ අවංකවම හදවත සමඟ මහ සටනක නියෙලෙමින්..
+++++++++++++++++++++++++++++++++
සෞම්‍යගේ විවාහයෙන් පසුව මට අවැසි වුන ලෙසටම මං නැවත ඕස්ට්‍රේලියාවට ගියේ තවදුරටත් අධ්‍යාපනයට මගේ දෛවය ලියන්න ඉඩහසර ලබාදෙන්න. මෙල්බර්න් සරසවියේ ආචාර්‍ය් උපාධිය දක්වාම දූර්ධර වේගවත් ගමනක් ගොස් හති වැටුනු වෙළඹක් ලෙස මා ගත කල ජීවිතයට මා වෙනසක් කරන්න කතිකාචාර්යවරියක සේ පිවිසුනේ ඇමරිකානු පෙන්සැල්වි විශ්වවිද්‍යාලයටය. මට අවැසි වූයේ සියල්ලෙන්ම සැඟව වසන්නටය. දෙයක් අවසන් වෙත්ම මා එයින් පලා යෑම පුරුද්දට ගිහින් තිබුනේ.. වර්ෂ ගණනකට පොරොතුව සිදුවු සියල්ල අමතක කරලීමට මට හැකි වුනැයි පැවසීම අසාමාන්‍ය මුසාවකි. නමුත් මම ජිවිතය ගෙන ගියෙමි. සියල්ලටම අවැසි පුරුද්දය. පුරුදු වූ පසු සියල්ල පහසුය. පුරුද්දෙන් පසු නැවත වෙනසකටන් පිලිපන්ව සියල්ලෙන්ම ඉවත් වන්නෙ මා යුහුසුළුව...
ඔහු නැවත මා සොයා ඒ යැයි කිසිදා නොසිතුවෙමි. ඒ ආගමනය සිදුවූයේ නොසිතූ විලසිනි. එය පිනි වැස්සක් නොව අග්නි වැස්සක් වන බව නියත වශයෙන් මා දැන හුන්නත් ඒ පැමිණීමට මා හිත ගැඹුරෙන් අහ්ලාදයේ උත්කෘෂ්ටයට පැමිණෙනු ඇතැයි මට කුකුසක් නොමැත... මගේ රාමා පවසනවා නම් අග්නි පුජාව පවත්වන්න නම් මා එක හෙලා එයට එකඟ වන බව මම දැනුදු කියමි... ඒ පිලිස්සෙන් නැති බව දැන දැනම අග්නි පුජාවට නොයා ඉන්න මට අවැසි නැතත්, ඔහුගේ හා මගේ ජීවිතය වර නැගීම යලිත් මට අවැසි නුවුයේ අග්නි වර්ෂාවකට වලාකුල හසු වනු සක්සුදක් සේ දැන දැනමය...
"මේඝා ඇයි ඔයා මෙහෙම හැංගිලා හිටියේ මං ඔයාව හොයා ගන්න හුඟක් මහන්සි වුනා" කියාගෙන මගේ නවාතැනට එන්නට තරම් ඔහු කෙලෙස හිමිකමක් ලබා ගත්තා දැයි මම නොදනිමි.
සෞම්‍ය ආ නියාවෙන්ම මේඝය පුපුරා වැස්ස ඇරඹුනි.. එය ඉසුනේ සෞම්‍යගේ ළය මතයි.. ඉදින් මේඝා යලි වියැලෙනු කෙලෙසක...? අවසන් වතාවට මේඝා ඉල්ලා සිටියේ ප්‍රේමයක්... ඒත් හදවතින්... මොළය කිවේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක්..
නමුත් මට අවැසි වුයේ අනෙකක් කිරීමය. පළමුව මේඝා කලේ සෞම්‍ය පන්නා දැමීමයි. පන්නා දැමු පසු හැඬුවේද මේඝාමයි.
දෙවනුව කලේ නුදුටු ලෙස හිඳීමයි. ඒ සෞම්‍ය උන්නේ දඬු මුගුරකින් පහර ලද සර්පයෙක් ලෙස. මගේ පසුපසින් ඇදෙමින්.. අනතුරක් කිරීම නොව නැවත මගේ ඇසුර අයදීනට තරම් ඔහුගේ අත්මාර්ථය පුළුල්ව නැගී හුන්නේ කෙලෙසකදැයි මම නොදනිමි..
ඉදින් සෞම්‍ය නැවත නැවත දකිමින් ගෙවෙන ජිවිතයේ නව අරුතක් සොයා නොයම්ද?
පෙර දිනෙහි ඔහු පැමිණියේ බීමතින්. ඒ මහ වැසි ඇද හැලුනු රාත්‍රියේ ඔහු ඇයදුවේ ඔහුට සවන් දෙන ලෙසයි. සවන්දීම කෙලෙස මුත් ඔහු නැවත පලවා හැරීම කල හැකි දෙයක්ව නොතිබිනි.ඉදින් මම ඔහුට නවාතැන් දෙන්නට පෙළඹුනිමි. ඒ එසේ මා විසින් ඉඩ දෙන අවසන් වතාවයැයි මටම සපත කර ගතිමි..
නමුත් දැන් ඔහු මගේ යහනෙහි හිඳිනු දුට මට දැනෙන්නෙ ඒ පෙර දිනෙන් පසු සියල්ල අවසන් වූ වගද.....?
අපූරුයි
ReplyDeleteස්තූතියි තරිඳු නැවත නැවතත් මේ පැත්තට ගොඩ වෙලා අදහසක් එකතු කරනවට..
Deleteලස්සන නිර්මාණයක්.කියවන්න පටන් ගනිද්දි සූකිරි කතාවක් කියල හිතුනත් ඉවරවෙද්දි එහෙම නොවන බව තේරුණා.
ReplyDeleteඅප්ෆා .... සුකිරි නැද්ද...
Deleteස්තූතියි බක්කරේ මේ පැත්තට ආපු පලවෙනි වතාව වගේ....
පංකාදුයි ...
ReplyDeleteස්තූතියි මිතිල
Deleteරසයි අරූ
ReplyDeleteඔබට ජය...
ස්තූතියි ආයු
Delete"සෞම්‍ය ආ නියාවෙන්ම මේඝය පුපුරා වැස්ස ඇරඹුනි.. එය ඉසුනේ සෞම්‍යගේ ළය මතයි.."
ReplyDeleteමේ ටික තමයි මම ආසම වචන ටික.
ලස්සනයි. දිගටම ලියන්න.
ස්තූතියි පූර්ණිමා..
Deleteඔබට ජය....
මං මේ පැත්තෙ ආව පලවෙනි වතාව. අපූරු කතා සූකිරියක රස බලන්න ලැබුනා...
ReplyDeleteවිශිෂ්ඨයි අරු..
ජයවේවා!!
ස්තූතියි ඉශානි..
ReplyDeleteඉඩ ඇති වෙලාවක අනිත් කෙටි කතාත් කියවන්නකෝ.. මීට වඩා හොඳ ඒවා ඇති.. ස්තූතියි මේ පැත්තට ගොඩ වුනාට.. ආයේ අනිවාර්යයෙන් එන්නකෝ... ඔබට ජය..
Palamu wathawata awe, lassana writing style ekak,
ReplyDeleteSry for late... thankyou geethika
Delete