පෙර මතක මඟ හැර
ඔබේ වෙනස් වීම
කොම්බුවක් ගානේ
කියවමි මම..
හිත රිදුන තැන් සොය සොය...
රඟපාන අහිංසක වත
නොදුටිමි තවදුරටත්..
දනිමි රඟපාන බැව්
මා අබියසට විත්.
සහෝදරකම තබා
මිත්රත්වයටවත්
නුසුදුස්සකු බව කියමි.
සමනලයා මම, බඹරා වූ නුඹට,
පෙර මතක මඟ හැර
ඔබේ වෙනස් වීම
කොම්බුවක් ගානේ
කියවමි මම..
හිත රිදුන තැන් සොය සොය...
රඟපාන අහිංසක වත
නොදුටිමි තවදුරටත්..
දනිමි රඟපාන බැව්
මා අබියසට විත්.
සහෝදරකම තබා
මිත්රත්වයටවත්
නුසුදුස්සකු බව කියමි.
සමනලයා මම, බඹරා වූ නුඹට,
කවියෙක්ට ආදරේ කිරීම හරිම ප්‍රේමාන්විත උන්මාදයක් වේවි යැයි මම සිතුවෙමි. මා පිළිබඳ අකුරු අමුනපු කවි සමඟින් මගේ ප්‍රේමය ගලා යාවි.. මගේ හීනය ගොඩ නැගුනේ එලෙසින්. ඔහුව හැඳිනුවේ මං පුස්තකාලයේ පොත් අතර සැඟවුනු මොහොතක. මිතුරියන් හඳුන්වුයේ කලා සංගමයේ සභාපති කියලා. ඒ වන විට උගත්තේ කලමණාකරන පීඨයේ දෙවන වසරේ සිසුවෙක් ලෙසයි.
ඔහු පත්තර වලට කවි ලිව්වා. ඔහු මගේ හිතේ රෝපනය උනේ කවි නිසාමයි..ඒ කවි වල තිබුනේ කාන්තා අයිතිවාසිකම් ගැන. ඉතින් කාන්තාවන් වසඟ වෙලා ඔහුගේ ලිපිනය ඉල්ලලා පත්තරෙට ලියුම් එව්වා. ඒවා ඉතින් විශ්වවිද්‍යාලයේ ප්‍රසිද්ධ රහස්. විජේවර්ධන සම්මානයේ, ආධුනික නවකතා අංශයේ අදාල සම්මානය ඔහු හිමි කර ගැනීම නිමිත්තෙන් ඔහුගේ ප්රසිඳු භාවය තවදුරටත් කල එලි බසිනු දැක ගත හැකි විය. ගැහැනු ළමුන් ඇදීගියේ මෙරුවා ආලෝකයට ඇදෙනවා වගේ. සම්මුඛ සාකච්ඡා හරි හරියට පත්තරවල, රූපවාහිනීයේ ගියා.. මගේ ආඩම්බර හිතත් ඒවා හොරෙන් කියව කියව ඔහු පිළිබඳ අධ්‍යනය කරන්න වුනා... එය මගේ මිතුරියන්ගෙන් සඟවන් මං තනිව කල විප්ලවයක්..
"වික්ටොරියානු සභ්‍යත්වය ගැන දොඩන පිරිමි තවම තම ප්‍රියම්භිකාව නිවාස අඩස්සියේ තියාගෙන නිවසෙන් එලියට ගිහින් ගෝලිකරණය වෙනවා"
ඔහු එලිපිටම පුරුෂ පක්ෂයට විරෝධය එල්ල කලා.
"කවදාවත් කාන්තාවකට අවසර දීමක් අවශ්‍ය නෑ. සමහර පුරුෂයන් කට මැත දොඩවනවා මම මගේ බිරිඳ ට රැකියාවක් කරන්න ඉඩ දුන්නා කියමින්. ඒත් මං අහන්නේ උසස් අධ්‍යාපනය ලබපු කාන්තාවට අවශ්‍යද සිය සැමියගේ අවසරය ? ඇයට තනි තීරණයක් ගන්න බැරිද ඇගේ වෘත්තීයමය ජීවිතය පිළිබඳව ?"
ඔහුගේ වාග් ප්රහාරයන් කාන්තා හිත් හැමවිටම ස්පර්ශ කලා.
මම පුස්තකාලයේ තනිව පොත්කියවන දිනෙක, ඔහුම පැමිණ මගේ අබියස පුටුවෙන් හිඳ ගත්තා. කිසිඳු අවසරයක්වත් නොගෙන...
ඒනමුත් අවසරයක් මොකට ?
මේ පුස්තකාලයනේ.. මගේ හිමිකාර තැනක් නෙවේනේ.. ඔහු මා සමඟ කතාව ආරම්භ කලේ බොහෝ කල් සිට හඳුනන මිතුරන් ලෙසය.. ඔහුගේ නිරහංකාරකම පිලිබඳ මං අතිශය පුදුම වුනා. මගේත් ආඩම්බරකම පරාද කරමින් ඔහුගේ ඇසුරේ උවමනාව ඔහුගේ ආගමනයෙන් උත්කෘෂ්ට ලෙස නැගී පැවතුනා.. ඉදින් අන් පිරිමින්ට දැක්වු ආඩම්බරකම් ඔහුගේ ඉදිරියේ දියවෙලා වැක්කෙරුනේ හරියට ඉටිපන්දමක් ගින්නකට අහුවුනා වගේ. ඔහු අග්නි ජාලාව. මං අහිංසක ඉටිපන්දම...
ටික ටික ඔහු මට ළං වුනේ ඇයි කියන්න මං දැන උන්නෙ නැහැ. ඔහු ඇත්තෙන්ම නිදහස් පුද්ගලයක් වුනා... ඕනෑම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නටත් ඒවා පෞද්ගලික වුවත් ඔහු පිලිතුරු දෙන්නත් පසුබට වුනේ නෑ. මගේ ප්‍රශ්න වලදීත් හරිම නිදහස් ව සිතා හොඳම පිලිතුර සොයා දෙන්නට ඔහු හරිම දක්ෂ වුනා..
හරිම මිත්‍රශිලි ලෙස ඔහු මගේ සමඟ කාලය ගෙව්වේ.. මගේ හිත මටත් හොරෙන් ඔහුට ආදරේ කරන්න අරගෙනයි තිබුනේ. ඔහුගේ කවි වලට මං පිලිතුරු කවි ලියාගෙන රහසින් තියාගත්තා.ඉදින් මං කවියෙකුත් වෙලා.ඔහු නිසා..
ඔහු අලුතෙන් ලියැවෙන කවි වල ආදරේ වෑහෙනකොට මට විශ්වාස කලේ මං නිසා කියලා, ඒ කවි හිතේ දළුලාපු ආදරය මටමයි කියලා. පෙරදා සමාජ විවේචනයන් පමණක් කවියක් කල මගේ කිවිඳුන්ගේ කවි වල ටික දිනෙක පටන් ආදරය වෑහෙන්න ගත්ත, මහා විප්ලවයේ මහා නිමැවුම් කරු මමම මා ලෙසයි විශ්වාස කලේ.. ඉදින් මගේ ආදරය කවියක් වගේ ලස්සන වෙවී.. ඒ පමණයි මගේ හිතේ තිවුන හීනය.
මං මගේ ආදර ගීතය ලියන්න ගත්තා.. ඔහුයි තනු නිර්මාණකරුවා.. මං උත්කෘෂ්ට ප්‍රේමයේ මහෝදයෙන් උමතු වෙලා උන්නේ.ප්‍රේම ගීතයේ තනුව පිට පැන්නට කවදාවත් වචනවලට වෙනස් වෙන්න දුන් නෑ. තනුවට ඕන විදියට පද වෙනස් කලේ දක්ශ ලෙස. ගීතයේ අයිතිකරුත් ඔහු වගේ. ඉතින් ගීතය ඔහුට නැතුව කාටද හිමි කියලා හිතන් මාත් මගේ හිතටම බැන ගත්තා. අනික මට වඩා ඔහු ප්‍රතිභාපූර්ණ කවියෙක්නේ. ඉතිං ඔහු මගේ ගීයේ පද වෙනස් කලා කියලා මොකද....
ඔහුගේ සිනාවකට, වචනයකට පවා පෙම් කලා. ඔහුගේ කවි වල මාව හෙව්වා.. ඒත් ගොඩක් කවි තිබුනේ ආදරය නෙවේ.. සමනලයෝ, මල් ගැන.
පරිසරය පිලිබඳ.. එසේ නොවේ නම් කවි, ඉන් පස්සේ යාචකයෝ, පිශාචයො, පෙරෙතයෝ ගැන.. මං පිශාචයෝ පිලිබඳ කවියක හරි ආදරේ හොයන්න පෙලඹුනා. මං ඔහු ලිව්ව කොම්බුවක හරි යන්තම් ගැවිච්ච ආදරයක් හොයා ගත්තා.
කවියෙකුට ප්‍රේම කිරීම හිතන තරම් පහසු නැහැ කියලා දැන ගත්තේ ඔහු හා විවාහ වෙලා ටික දිනක් ගෙවුනම.
එක එක ගැහැනු ගැන ඔහු රචිත කවි තිබුනා. සුදු කෙල්ලෝ, කළු කෙල්ලෝ.. පිරිමින්ගේ ලස්සනත් ඔහු විස්තර කරලා, ඒ අතර පිරිමියකුට ප්‍රේම කරන පිරිමි ගැන රචිත කවි මට ලැබුනා. මං ඒවා කියවලා හිතුවේ මොන වියරුවක්ද කියලා ඒක. ගැහැනුන්ගේ උපන් ලප ගැන කවි ලියා තිබුනා.. ඒවා හරිම ජුගුප්සාජනකයි.. මං අහන්න ගියේ නෑ ඒවා කොහොමද ලිව්වේ කියලා.
ඒත් මං ගෘහණියකගේ භූමිකාව රඟන කොට මට සමාජ ඝට්ටණයක් නොලැබීම නිසා ඒවායේ සත්‍යතාව සොයා ගන්න බැරි වුනා.. ඒත් විවිධ උළෙල වල් වලට මට ආරාධනා ලැබුනාම මට මගේ ස්වාමියාගෙන් අවසර ලැබුනා ඒවට සහභාගි වෙන්න.. මං පරසිඳු කවියාගේ පිරිසිඳු භාර්යාව ලෙසින් පරසිඳු කවියාගේ අතින් අල්ලන් රතු පලස මතින් ඇවිද ගිහින්, VVIP අසුන් වල හිඳගෙන හිටියා..
වික්ටෝරියනු සභ්‍යත්වය ගැන දොඩපු පුරුෂයා තමන්ගේ උගත්, චර්තවත් ප්‍රිය භාර්යාවව නිවසේ වැඩකාරකමට තියාගෙන සිර ගත කොට ඉන්නේ.., සමහර පත්තර වල ඔහු පිලිබඳ මඩ ප්‍රහාර පල වුනා.. ඒ වෙලාවර මට තිබුනේ මගේ පරසිඳු කවියාගේ සුචරිත භාර්යාව ලෙසින් මාධ්‍ය හමුවක් කැඳවා ඒ මගේ තනි කැමැත්ත බවත්, කිසිදු සිරගත කිරීමක් නැති බවත් ප්‍රකාශ කරන්න...
ඒත් එක දවසක් මාධ්‍යකරුවෙක් ඉදිරිපත් කර ප්‍රශ්නයකට මගේ ඇඟ ගැහෙන්න පටන් ගත්තා..
"ද්වීලිංගිකතාවක් නිරූපනය කරන කවියන්ගේ අයිතිකරු ගැන වචනයක් පැවසිය හැකිද"
මං වලිප්පුව හැදුන පුද්ගලයකු වගේ ගැහෙන්න පටන් ගත්තා. මං දැන හුන්න කවියගේ පාරිශුද්ධත්වය ගිලිහී,
මං නොදන්න මගේ කවියගේ ජිවිතයේ ඉසව්වක් පෙන්නුම් කලා.
මා ඔවැනි හාස්‍යජනක ප්‍රශ්න බැහැර කරනවායි කිව්වේ පිලිතුරක් සොයා ගැනීමට නොහැකි වූ නිසා..
නමුත් මගේ හිතේ විදුලි කොටන්න පටන් අරං තිවුනේ.. හීනි හීනි විදුලි ධාර රකුසු වේගෙකින් පැමිනිලා මගේ හදවත සිදුරු කරන්න තැත් දැරුවා..
දරුවන් දෙදෙනෙකු වදාපු කවියගේ සුචරිත භාර්යාව කවියගේ අනික් ලෝක ගැන නොසොයා, නොතකා, ජීවිතය ගෙනිච්චා. සමහර කතා මගේ ලවන් හාරමින් විකාශනය කෙරුනත්, මා නොවේ ඒවා ගැඹුරින් අධ්‍යනය කරන්නට ගියේ.. එලෙස අධ්‍යනය කලේ නම්, සහාසිකව මගේ ආත්මයම මියැදෙන්න තිබුනා. ඉදින් කවියකුට පෙම් කල මම මේ වනතුරුත් සැනසුමෙන් දිවි ගෙවමි..
ලවන් වසා ජිවත් වුන හෙයින්....
වැගිරෙන රුහිරය,
රුහිරයම බව පෙනෙන නමුදු
ජලය යැයි හැඳින්වීම.
හසඟනන් පාවෙනා
තේම්ස් නදියේ සිහිල
දැනුදු දනවන
ඔබේ ප්‍රේමය..
පොරි පැකට් දෙක තුනක්
සිනමා පටයක් නැරඹීමට
යන කලෙක මිලට ගෙන
ඔබ ඉතිරි කර ගත්තා නොවෙද
එකක් හෝ ..
හංස ජෝඩුවකට කියා...
සිහිලසේ සුව විඳින අතරම
මට තුරුල් වී විසිරවු පොරි,
තේම්ස් නදියේ සුදු හංස යුවල
පෙම්බරම වී පොරි ගිලු හැටි.
නැවත අප මෙන් තුරුලු වී හිඳ
ඈත දුරකට පාවුනම මොහොත....
දැනුදු විඳිනෙමි ඔබේ ප්‍රේමය,
පොරි පැකට් ගෙන විසි කරන කල
හංස යුවලක් එදා වාගෙම
අදත් පාවී එන අපුරුව.
මතක් කරවයි ඔබේ ප්‍රේමය.
තේම්ස් නදියේ හංස යුවලම
තුරුලු වී පොරි ගිලින විලසට,
දුටුවා නම් ඔබ බොලඳ කම් මේ
ඔබේ සතුටම මගේත් වු බව
සතුටු වේ ඔබ සහතිකයි මට
තරහ නෑ පෙම හැර ගියාවද.
නැගුනු හිරිගඬු
කිතිය දනවන
චුම්බනයකට
ඉඩක් නොලැබුනු,
බිඳිති එකිනෙක
දහදියම පිපි,
සුසුදු සුවයක
ප්‍රේමයක් පැතු,
වෙව්ලනා හද
ගැස්ම වාගෙම
කකියනා හද
පෙමෙන් මත් වූ
සුසුම් මියෙනා,
කඳුලු සිඳෙනා
හසකැනයි ඔබේ
පෙම'ම නම් වු
ඔබ තරුවක් යැයි මා පැවසු කල්හි,
මේ අහසට තරුවට වඩා හොඳ ධූම කේතුවක් හමුවේ යැයි පැවසීය..
අහස ආදරේ තරුවට,,
හැමදාම පායන තරුවකට...
වසර ගණනාවකට වරක් පායන ධූම කේතුවකට වඩා.
හැමදාම පිළිස්සෙමින්, ඒත් අහසට ආදරේ කරන තරුවට...
කෙම්බිමක්ව වැජඹුණු හරිත වනන්තරේ.
කතරක්ව වෙව්ලනා මොහොතක්ය නොතේරේ.
වැයුව පෙම් ගීතිකා එකලිහි සිතාරේ
තත් බිඳෙනවා රුදුව ප්‍රේමයේ ප්‍රහාරේ
මධුවිතක් පිරෙනවා-විනිවිදින වීදුරුව..
හදවතක් රිදෙනවා-නිදිවදින මහ රෑක.
මධුවිතෙන් මත් වෙලා-වනවදින හදවතම.
සුවයක්ම කැන්දලා-මතවිදින මධුවිතම.
ඉවර වුන වොඩ්කා වල සිහින හිරකර මිටින
විසිත්ත කාමරයේ තබමි, ඇබ ගසා එක පෙලට.
සබඳ ඔබ නොබලන්න. එදෙස ඔච්චම් ලෙසින.
ආයේ දවසක ඉඩ ඇති වෙලාවක එන්න තව මත් වෙන්න.
මේ තරම් රන්තරු- ඇතිය මගේ සුමිතුරු
අහස් ගඟ කළඹමු.- කඩා ගමු රන්තරු.
වෙන්දේසියේ දමා- කාසි කර ගමු තරු.
විප්පයෝග දුක් දැරු-හිත සුවපත් කෙරු
වොඩ්කා, විස්කි ගෙනත්-පාටී දාමුද මිතුරු.
ප්‍රේමයේ සැඳෑවක් අයේ ඇති කරලන්න.
මත් බවේ නිමාවක් අවැසි නැත දුරලන්න.
හිත් කොනේ විඩාවක්. හෙමි හෙමින් මියැදෙන්න
කුඩාරමේ නිද්‍රාවක්. බී ඉදින් සැනසෙන්න.
අක්මාව මැරෙනවා, නොදැනුනත් නොමඳ.
ආශාව මොටද මේ මධුවිතට නිබඳ.
ඔබදාව උපත ලද පෙමට කුරිරුව කිමද
ඔබමම මියැදෙන්නේ මධුවිතෙන් ලබැඳ.
කල්පාන්තරයකට පෙර
ඔබ තෙමුව මගේ සිරුර,
වළදාපු පහස සඟවා
ඔහු පාරනු හැඟේ..
ඔබෙ අදිසි චුම්බනයට රතුව
සිදුරු වූ තොල්පෙත්ත.
අද රිදව රිදවා
ඔහු විසින් තුවාල කරනු දැනේ...
ඔබේ ඒ ප්‍රේමය අමිලවු නමුදු
ප්‍රේමයක් නැති යෝජනාවක
බිරිඳ නාමෙන් මගේ දෙනෙතෙන්ම
උණු කඳුලු කැට හැලේ...
සුදුමැලිව සමනලුන්
ගුලිවුණේ හැංගිලා..
මුමුණනවා තනිතනිව
රහසින්ම ඉකිගසා...
මහ බරට මදනලට
සුසුමන්ම අමුනලා...
කඳුලු කැට එකින් එක
පොළව මත අතැ'රලා...
හැංගිච්ච කතාවක
ගතු රහස් කියනවා...
ඇවිද යමි හෙමින්
මල් පාර දිවෙනවා....
මල් පිපුනු මල් ගව්ව
මොකද්දෝ යදිනවා..
මුසලම හැඟුමකින්
පත් ඔහේ විසිරිලා...
පොඩිවෙච්ච මල් පෙත්ත
පොළොව මත වැතිරිලා..
වෙච්ච මහ වියරුවක
තතු පවත් දවනවා..
මනහරව තිබුනු ඒ
මල් දෙවැට ඉහිරිලා..
වන බඹර පහරකම
සැහැසිකම් කියනවා...
නතාශා..
නැවත පැමිණෙන්න..
අපි ආපසු යමු,
අතීතයට....
අපිට හැකිවේවී සිහින ඉහිරවා
මතක ඒ ආගිය තැන්වල වළලා එන්න.
කොන්ක්‍රීට් වලින්ම වලලමු.
දොම්නසක් නැති වේවී..
මේ වගේ ඉහිලුම් නොදෙන.
අනතුරුව ඔබට වාගේම මටද හැකිවෙයි
ඇවිද යන්නට අපේ තනි මඟ.
ඉදින් ආයෙත් එන්න..
අපි මතක වළලා එමු..
ප්‍රේම ගීතයක් නොවූ එය..
ප්‍රබන්ධයක්ම විය,
ඔබ නිර්මාණකරුවා වු..
මා රසවිඳ අවසන් ව නැත තවමත්..
ළය රිදුම් දේ තවමත්
නෙත කඳුලු ඒ දැනුදු
කය ඔත්පලව ඇතත්..
ප්‍රබන්ධය අවසන්ව ඇත,
තවත් ප්‍රබන්ධයක් සොයා ගත් යුතුව ඇත.
අමතක කරවන්නට පෙර විප්පයෝග රසය.
ප්‍රේමයම
ගිනි ගෙන දැවෙන
ගිනියම
ඔබේ ඇසුරේ රසාලිප්තය,
මතක් වු වග අමතකව....
මා ගෙවන මේ සුයාමය....
මේ පණ නොමැති ආත්මය
ගැහෙන අවසන් පණ කදම්බය
යදින යැදුමක් දුර්ධර සොව,
දැනෙනා නමුදු නොදැන සිටයද....
ඇහැකිද පැමිණෙන්න....
කහ පැහැති කානේශන් මල් පොකුර ගෙන....
ළඟ ළඟම එන
මගේ අවසන් ගමනට..
පෙම්වත..
නෙතු කැල්මන් විසුරුවනු මැන.
එයින් කල්පයක් වුව
ඔබ වෙනුවෙන් පමා වෙන්නෙමි..
සහජාන් ඔබ මා මියැදුනු පසු..
මගේ අනන්ත ප්‍රේමය හැඳින ගත්තෙද.
සත්තයි මා නොපිලිගනිමි.
මගේ පැටව් ටිකවත් බලා ගන්න ඇහැකි නම් ඇහැක් වගේ..
පිලිගන්නම් මං ප්‍රේමය හැඳිනි වග...
අන්ත පුරයට මා පැමිනිය පසු ඔබ මගේ කුටියට වඩා රැඳුනු කුටි අනන්තයි..
මං ආදරේ කරපු බවවත් දැන හුන්නෙ නැතිවද...
දැන හුන්නත් නොදන්නා සේ විසුවද..
කියන්න...
මගේ අවසන් ගමනට ඔබ හෙලුව කඳුලු කැට,
මිථ්‍යාවක් නොවේමද?
දනිමි මම ඔබේ රැඟුමන්..
ඔබ සෙනෙහස විඳීවී සියල්ල අමතක කර..
අන්තපුරයට වී...
එදා මෙන්.. හෙටත්..
මියැදුනු මා වෙනුවට මගේ හුරතල් පුංචි නංගි කැන්දන් එන්න තරම් හයිය තිවුනේ කොහොමද...
ඔය හිතට..
හයක් හතරක් නොදන්න පොඩි එකී..
මට වගේ දරුවෝ පුදන්න එපා ඒකීට..
ඒකීත් මැරිලා යාවී..
ටජ්මහල් හදන්නයෑ තව..?
පතරංග කවියක් උනා නම් යෙහෙකි..
මියෙනතුරු රසවිඳින...
හයිකුවක් නොවී
මොහොතකින් අවසන් වන
මිතුදමක් හරි දුර ඇදී.
රෝස මල් පිපි හිනැහිනි.
මිතුදමට තිත තියැවුනි.
නැවුම් කවියක් ඇරඹුනි.
චුම්බන හුඟක් ඔද වැඩී.
සන්තත හදක් කිතිකැවී.
රත තඹරු පෙති දිගහැරී.
සෙනෙහසක කව් ලියැවුනී.
හාදු පත්තිරු ලෙල දුනි.
හිතක සුසුමන් ගිලිහුනි.
අළු මේඝ නිල්වලාවන් වී.
දේදුනු පැහැ කවි ලියැවුනී.
සෙනෙහසම මහ ගඟුලකි.
ආදරය මහ සයුරකි.
ඔබෙන් ලද මේ ප්‍රේමයේ ගී,
සුසුදු මල් වල ලියැනෙමි.
ප්‍රේමයෙන් ඉරි තැලි සුන්නද්ධූලිව ගිය
ඔබේ හිත දැවෙන ගිනි
පත්තිරුවක ලියා එවන කල...
මා කියවිය යුතුමද...
තිත තැබුවේ ප්‍රේමයට..
අකැප කල ප්‍රේමයම..
දිනිය යුතු නොවෙද මම්
ගිනිගෙන දැවෙන ජීවිතය..
ප්‍රේමයට වඩා අවැසිය
ජීවිතය දිනන්නට..
මවට.. පියාට සලකන්න...
සල්ලි බාගේ සොයන්නට..
ප්‍රේමයෙන් නොව හදවතත් නොව,
සුන්නද්ධූලිව ගිය මගේ මුලු ජීවිතයම,
මේ වෙහෙස, ගොඩ ගන්න...
අනේ ටිකක් ඉවසලා ඉන්න..
ප්‍රේමය අකැප මට උඹව අහිමිකොට.
කෙලෙස උඹ හා ප්‍රේමය දිගහරින්නද තව..
ගණනින් සියයකටත් වැඩි..
හදවතින් එකකුවත් නැති..
හාදු මත රැඳී ප්‍රේම අන්දරය...
ආදරය තරුවක්ව පිපෙයි..
හුඟ කලක් දිදුලයි.
විටෙක ගිනිගෙන දැවී
දෙරණට වැටෙයි.
උල්කාශ්මයක්ව දිස්වෙයි..
ගලන්නෙ ගඟුල වුනත්,
වැව එකම තැන තිවුනත්,
අනන්‍යය දිය පොදම පමණයි
නම් දෙකක් වුවත්..
මල් පෙති හැලි වතුරට..
ගලා නොයනව නම්..
පල් වෙනු ඇතිය එක තැන
ගන්ධයක් විසුරුවමින්...
යල කන්නයට වැවට වැන්දත්,
මහ කන්නයට වැවට බනින බව සැබයි..
මහ වැසි වැටුනහොත්...
මහ වැස්සට කලා වැවෙත්
කලාවක් නැති බවත් ඇත්තයි..
වැවේ කලාවට
අවුකන පිලිමේ රැලි නිමැව් බව
පැවසුවත්...
ඒ වැසි නැති කලක නම් පමණමයි.
පිලිමේ නෙලුවේ මහ අව්වක බවත් සැබැවයි..
සඳ ළඟින් ආ සුසුම් සිහිලක.
දැනුනා හුරුපුරුදු හැඟුමක්..
ආගන්තුකයකුගේ ආගනමනය
වර්ශ එකහාමරකට පොරොතුව
අනාගන්තුක වුනම අරුමය...
මතක් කෙරුවා මතක දෙවොලෙන්...
සිනා සී මං හැංගුවා ඒ මතක වියරුව..
රෑයේ ගණදුරු මැදියමේ වුව..
මධ්‍යහන ගිනිගත් දහවලේ වුව,
හැඩගැසෙන මගේ දාහය සිහිලසකට..
ඒ මහ විප්ලවයේ මහා විප්ලවකරු
තවම ගයනා හඬ ඇසේ මට..
හද මැදුරු තුල කිඳා බැස වුව.
අරුමයි මහද වැජඹෙනා අපුරුව
සිහින සිතුවම් බොඳම කරමින්.
ඈත ගව්වක් දිය සිඳී වියැලෙමින්
පිපුනු මල් පෙති විසිර යවමින්..
හැමු මහ කුණාටු මතකයන්.
සසලකල එක ක්ෂණයෙන්
නිසල කරමින් හරි හෙමින්..
හද මලගම පෙමින් නිමැවීය කුරිරුව..
විඩාබර නෙත් කෙවෙනි පිරිමැද
වෙසෙසින් නිදි දෙවිදු පලවා හරින
එකඳු පැතුමම දකිනු සිය පුතු,
රැයේ නොනිදා බලා හිදිනා
සොලොස් දහසක් පමණ වෙන ඒ,
උතුම් මව් ගුණ ලියනු කෙලෙසක.
හිමිදිරියටත් මත්තෙන් අවදිව,
දැලි කුනු මතින් දුම් බී නිවාලන
සිය කුසගිනි අමතකව
නිවනු සිය පුතුන්ගේ කුසගිනි.
රැකියාවට යන දරුවන්ට
ඉදෙන බත් පත පුදදී හිනැහුනා.
දහවලේ දර කෝටු ඇහිඳා
කොරටුවේ වල්පැලම සිඳලා
දාහයෙන් පීදුනු ඵලක් නෙලලා
කුසගිනි නිවාලන යුද්ධයට
තනිව ඈ හිනැහුනා.
වීරියෙන් ජීවිතය ගෙව්වා.
සිය වෙහෙස අමතක කරවන,
සිය දරුවන්ගේ වෙහෙස..
නිවාලන්නට සැරසෙන ඈ
යලිත් දුම් මත කුස්සියේ නිදනා.
දුක සතුට කර හිනැහුනා.
කඳුල මදහසව ඉතිරුවා.
එකඳු පැතුමක් සිතේ දැල්වුන.
දරු පැටව් සැප විඳින හීනය,
සැබෑ වුන ඒ මව්ගේ වීරිය
නිවාසේ හිඳ යෙහෙලියන් හා
ගයනු දුටුවා. හිනැහිමින් ඈ..
කිසිඳු කිලුටක සෙයක් නැතුවා
හරිම අවිවේකීය මා පුතු.
ලොකු තැනක හිඳිනා සන්තුෂ්ටිය.
ගයා අවසන, පරවූ හීනය
කඳුලු වී වැටී සිඳුනා.
නමුත් ඈ මල් පහන් පුදලා
පුතුගේ දියුණුවම පැතුවා
සුවහසක් පා තබා ගිය ඒ,
වෙරළ මත වූ අපේ කඳුලැලි
වියලි යනු ඇත, සැඟව යනු ඇත.
වෙහෙස නොවනුය, කඳුලු පිලිබඳ,
සවිමත්ව බැදි අපේ බන්ධන
ලිහි ගැලවී ගියෙ කෙලෙසක
තවම පුදුමයි ඔබේ ප්‍රේමය
මගෙන් නික්මී පියැඹු අරුමය.
සඳට කිව් ගී, දෝංකාරයකි.
මලට බැඳි පෙම, මිරිගු දුමාරෙකි.
මලත් නොවුනත් , සඳත් නොවුනත්.
මගේ හදවත ඔබේ හිමියනි.
ගාලු මුවදොර පෙම්වතුන් හුඟ
පෙම්කරන තුටු කඳුලු වගුරන,
දිනක් අපටත් තුබුනු ඔච්චම
මතක් කරවයි පෙම්වතුන් හැම.
සිහින විසිරුන දිනක් පසුවුන.
කුළුඳුලේ පිපි පෙම මැරු දුක.
දරාගමි හිත සසුන් කර.
අහිමි සඳකට කුමට ලොබකම්
හරි හුඟක් තැබු හාදු,
දෙතොල මත වැතිරිලා.
ඔබ අහිමිවුනත් අද,
ඒ හාදු දැනෙනවා.
නෙත් පියන් මං හිතින්
හාදු මල් සිඹිනවා.
ඔබ නැතිව ඔබ එක්ක,
මං ප්‍රේම කරනවා.
ඔබ මගේ නොවේ යැයි
ලෝකයම කියනවා.
හදවතේ ගිලුනු ඔබ
හැමදාම දැනෙනවා.
අපේ මතක කවි හුඟක්
උදේ හවා මැවෙනවා
ඔබ නැතිව මියෙනතෙක්
ඔබට පෙම් කරනවා..
පෙම්වති:
කඳුලු වියැලෙන විලසට..
සුසුම් සිඳෙනා තරමට..
ප්‍රේමයම දවා හළු කරනු හැකි නම්..
කිවිඳුනි..
මේ ඔබේ කවි දහස් ගණන් විසි කර දමමි..
ප්‍රේමයේ අංශූමාත්රයක්වත් සොයා ගත් නොහැකි විලසින්..
පෙම්වතා:
කවි විසි කරනු හැකි වේවී..
ප්‍රේමයම අමතක කරවාවි අනාගතය..
ඒත් මා කවියෙක් කල ඔබේ ප්‍රේමය,
මගේ කවි සමඟ බබලාවී..
එසඳ ඔබ මට මගේම වෙවී..
අදත් අසුන හිස්..
සුපුරුදු බව පසෙකලා.
ඔබ නෑවිත්..
අදට සත් දිනක් නොවැ..
අසුන දෙස බලා
සුසුම් ලන මගේ පෙම්වත් හිත..
එකල ඉසිඹුලන ඔබේ මදහස
මගේ මතක පොත අස්සෙන් සොයාගෙන.
හිනැහෙනවා තනිවම.
නොදැන උන්නත් නුඹේ පරසිඳු ප්‍රේමය..
දෙදිනකට පොරොතුව දැන ගතිමි..
ඔබ විවාහ වී මධුසමයට පිටත් වු වග..
ඉදින් ඔබ දැන් පෙම් බස් තෙපලනවා ඇති ඔහුට.
මා මෙලෙස අප්රකාශිත ප්‍රේමය ගැන සුසුම්ලන සඳ....
පාසි බැඳෙන්නේ තාප්ප වල.
සුදු තාප්ප හරිත කරමින්..
හිමින් සීරුවේ උඩට නගින අපුරුව.
ගෙදර උන්නැහේට වෙලාවක් නෑ නොවැ
කඩා දමන්න.
ලස්සන රටාවකට පාසි වැවිලා.
ඒ අතර සල්ලි කොල ද වැවිලා..
පාසි අතර පිපුනු සල්ලි කොල.
පුංචි ළමුන් කඩා ගෙන
සෙල්ලම් කඩවල් දැම්මා..
ඒකාලේ හරි මිහිරියි.
සල්ලි ඕන උනාම තාප්පේ ළඟට දිව්වා.
ඒත් දැන් සල්ලි කොහෙන්ද කඩා ගනු.??
හීන ඇහිඳින්න ගියෙමි.
තෙල් නිධි සපිරි දෙරණකට.
සත්කාරක තනතුරක..
සිත් බඳින නිමැවමක..
සතුට විසිරුනි පලමු දිනයෙම.
හීන හැඬුවා කර්කශින්.
හරිම කටුකම
හරිම පීඩිත
සේවයක්මැය..
බන්ධනය නිසා නොවැ මේ දුක විඳිනු.
බන්ධනය ලිහිනු විගස පැමිනෙමි.
එතකම් හීන වලලා දමමි.
හීන සිර කර තබමි.
රජිදුනි.....
හීතලෙන් වෙලා ගත් ආත්මය සනසවා..
දොම්නසින් හිරිවැටුන හද දුකින් උදුරවා..
වියරුවෙන් නොව ඉදින් සත්තකින් පෙම් කලා.
කෙලෙස අමතක කරනු ප්‍රේමයම සිතින් මා..
ආවට ඇත සඳේ.. නමුදු එලියක් ඇතේ...
අමාවක ලැබුව මුත්.. පසලොස්වකත් ඒ...
එදින නිසැකයෙන් ඔබ දිදුලනා සඳක් වේ...
ඉවසන්න පෙම් රජුනි ඒ දිනය ළඟම වේ..
නොවිඳිනා දුක් වින්ද පෙම් යුවලක්ය අපි..
නමුදු සතුටින්ම අපි පසුකලා නොවෙද දිවි..
ඇස් වගේ රකිමි මම ඔබේ ප්‍රේමය ඉදින්.
දුක් නොවෙනු මැන, දිනෙක දිදුලනුය දුක දැවි.
ආදරය..
කටු අකුලක පැටලී.
නෙළුම් පතක සුවය පිදුව...
කඳුලක් තරම් හද පාරවා
හිනා කොඩයක් පිදුව.
මා මේ භවය පුරාවට
සත්තයි...
මේ ආදරයට ණයගැතියි..
එකෝමත් එක කාලෙක පරසඳු කිවිවරයෙක් හිටියා. කිවිවරයා පාරදෘෂ්‍ය දිය උල්පතක් වගෙයි. කවි බීජ ඉසින්නේ.
ඒවා ධරණිතලයෙන් අවශෝෂණය කරගෙන හිමින් හිමින් පුංචි පුංචි අංකුර වගේ අස්වැද්දුවා.
අංකුර පැල වෙලා කවි නුග ගස් පුංචි පැල හැටියට ඉහල ආකාස ගඟ තරණයට ගියා.
ආකාස ගඟේ උන්නාලු රකුසෙක්..
ඌ සිඟිති කාලේ කවි අංකුර කාලයි ලොකු වෙලා තියෙන්නෙ. ඉතින් කවියක් දැක්ක ගමන් රකුසා දන්නවලු ඒකෙ රහ..
රකුසා ජිවත් උනේ කවි විකුනලලු..
ඉතින් අහස් ගඟ තරණයට ගිහිපු කවි නුග පැල වල එකම එක නුග ගහයිලු ඉතිරි උනේ..
මොකද කියනවා නම් ඒ කාලේ එක දිගට නියඟයකුයි, ජල ගැල්මකුයි ආවලු.
ඉතින් කාලතරණ කොපුවක් හදාගෙන නියඟෙයි, ජලගැල්මයි තරණය කරලා අහස් ගව්ව සැබෑ ලෙසටම තරණය කරන්න වාසනාව තිබුනේ ඒ එකම එක කවි නුග ගහකට විතරයි.
අහස් ගඟ තරණයේ එන මේ දක්ෂ කවි නුග ගහ දැකපු රකුසාට හරි සන්තෝශ හිතුනලු.
මොකද දැක්ක ගමන් රකුසා දන්නවනෙ කවි වල රහ..
ඔය අතරේ කවි නුග ගහත් ගැබ්බර වෙන්න පටන් අරන් තිබුනේ. ලා ක්‍රිම්සන් පාට කවි නුග ගෙඩි කවි නුග දළු අතරින් අහස් ගව්ව පුරාම වැවිලා ලෙල දුන්නලු..
ඉතින් රකුසා කලේ හොරෙන් හොරෙන් මේ කවි ගෙඩි කඩලා අපනයනය කරපු එකලු..
ඒකත් අවීචියටලු..
අවීචියේ හිටපු උදවියට ඒ කවි ගෙඩි අමා රහක් වගේ උනාලු.
රකුසා කවි නුග ගහේ ගෙඩි ඉවර උනාම, මුලින් කවි නුග දළුයි, කවි නුග කොලයි අවීචියටම විකුනුවලු.
අන්තිමට ඉතුරු උනේ කවි නුග ගහේ වේලුනු අරටුව විතරලු..
ඒක රකුසා තමන්ගේ මිනී පෙට්ටිය හදන්න කියලා තියා ගත්තලු..
කවි නුග වල රස බලපු සහෘදය...! විචාරේ ලියලා කිවිවරයව ගැබ්බර කරන්න හොඳේ..
පින්තුරය:-
රිකෙන්හි ප්‍රධාන හා සුපිරි බලැති නිහොනියම් සොයාගැනීමට මුල් වු ව්ද්‍යාඥ කොසුකෙ මොරිටා හා ජපාන අධ්‍යාපන අමාත්‍ය හිරොශි හසේ 2016 ජුනි 09 දා වකොහි සම්මන්ත්‍රනයකදී 113 මුලද්‍රව්‍ය ආවර්තිතා වගුවේ ප්‍රදර්ශනය කරන අවස්ථාව
ශුද්ධ හා ව්‍යවහාරික රසායන පිලිබඳ ජාත්‍යන්තර සංගමය International Union of Pure and Applied Chemistry (IUPAC), මගින් 2016 දෙසැම්බර් 03 දින නව සංයෝග 4ක් ආවර්තිතා වගුවට එක් කල බව නිල ප්‍රකාශයට පත් කලේය.
ඒවා පරමානුක ක්‍රමංකය 113,115, 117 හා 118 වන මුලද්‍රව්‍යයි.
මේ වර්ෂයේ ආරම්භයේදී එනම් 2016 ජනවාරි 01 වනදා මූලද්‍රව්‍ය හතරක් සොයා ගත් බව ශුද්ධ හා ව්‍යාවහාරික රසායනික විද්‍යාව පිලිබඳ ජාත්‍යන්තර සංගමය මඟින් ප්‍රකාශ කල නමුදු නාමකරනයන් සහිතව නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුයේ දෙසැම්බර් තුන් වනදාය.
මේ වන තුරු පරමානුක ක්‍රමංකය 113 ලෙස පැවති අස්තතික මුලද්‍රව්‍ය උන්උන්යට්රියම්(ununtrium) ලෙසත්, පරමනුක ක්‍රමාංකය 115 මුලද්‍රව්‍ය උන්උන්පෙන්ටියම් හෝ ඌප් (ununpentium or Uup) ලෙසත්. 117 උන්උම්සෙප්ටියම හෝ ඌස් (ununseptium or Uus) හා 118 උන්උනොක්ටියම් හෝ ඌඔ(ununoctium or Uuo) ලෙසත් නම් කර තිබුනු නමුත් ඒවා ප්‍රායෝගික වශයෙන් ස්වභාවයේ නොතිබුනි. නමුදු නව සොයා ගැනීම් මගින් ඒවා ඉවත් වී යනු ඇත. තවද පෙර පැවති ඒවාට ඉහල විකිරණශිලිතාවක් පැවතුන සේම මුලද්‍රව්‍ය නිපැයු විගස එම මුලද්‍රව්‍ය පරමානු සිය වර්ගයේම වෙනත් පරමානු හා ඉතා සුලු කාලයකදි ප්‍රතික්‍රියා කර විනාශ වුනු බැවින් ඒවා සත්‍ය ලෙසටම නොපැවතුනි.
පින්තුරය:-
රිකෙන්හි ප්‍රධාන හා නිහොනියම් සොයාගැනීමට මුල් වු ව්ද්‍යාඥ කොසුකෙ මොරිටා පරමානුක ක්‍රමාංකය 113 මුලද්‍රව්‍ය සොයා ගැනීම පිලිබද 2015 දෙසැ 31 වකොහි සම්මන්ත්රනයදී මුල් වරට හඳුන්වා දෙන අවස්ථාව.
ප්‍රථම වතාවට ජපන් විද්‍යඥයින් විසින් සොයා ගත් පරමානුක ක්‍රමංකය 113 වන මූලද්‍රව්‍ය නිහොනියම් (nihonium ) ලෙස නම් කර ඇත. එහි රසායනික සංකේතය Nh වේ. නිහෝන් යන්නෙහි සැබෑ අරුත ජපන් භාෂාවෙන් හිරු නැගෙනා දෙරණ යන්නයි.
එලෙසම මෙය ආවර්තිතා වගුවට මූලද්‍රව්‍යක් ජපන් ජාතිකයන් වගේම ආසියනුවන් ලෙසින්
මනුශ්‍ය වර්ගයාගේ ප්‍රඥා නැමති වත්කම පුද කල ප්‍රථම වතාව ලෙස, මුලද්‍රව්‍ය නිපදවීමට මූලික දායකත්වය ලබාදුන් විද්‍යාඥ කොසුකෙ මොරිතා(Kosuke Morita) සිය නිවේදනයෙන් ප්‍රකාශ කලේය.
113 පරමනුක ක්‍රමාංකය සහිත මුලද්‍රව්‍ය සොයා ගැනිම ඔලිම්පික් රන් පදක්කම්කටත් වඩා වටිනා බව රිඔජි නොයොරි(Ryoji Noyori) , රිකෙන් (Riken) නම් ජපන් රසායන විද්‍යා ආයතනයේහි හිටපු සභාපති එලෙසම නිහොනියම් සොයා ගැනීමට අගනා කාර්යභාරයක් සිදුකල විද්‍යාඥයා මෙම වර්ෂය මුලදී පවසා ඇත.
එය ද ස්වභාවයේ පවතින මුලද්‍රව්‍යක් නොවන අතර පරමාණුකක්රමාංකය 104ට පසු නිපැයු සංයෝග සේම පර්යේෂණාගාර නිමැවුමකි.
ඉතිරි සංයෝග තුනෙන් දෙකක් නාමකරනය සිදු කර ඇත්තේ ඒවා සොයා ගැනීමට පුරොගාමි වු භූගොලීය කලාපයෙ නම් වලින් වන අතර ඉතිරි මූලද්‍රව්‍ය එයට පුරෝගාමි වු විද්‍යාඥයා නමින් නාමකරනය කර ඇත.
රුසියානු විද්‍යාඥයින් පිරිසක් සොයාගනු ලැබු පරමානුකක්රමාංකය 115 මොස්කොවියම්(moscovium) නමින් නාමකරනය කල Mc සංකේතය සහිත මුලද්‍රව්‍ය රුසියානු අගනුවර වන මොස්කව් නාමයට ගෞරවයක් ලෙස නම් කර ඇත්තේ මොස්කොවියම් නිපදවීමට අදාල පර්යේෂණ මොස්කව්හීදී සිදු කළ බැවිනි.
එයට සමාන ලෙසම පරමානුකක්රමාංකය 117 වන නව සංයෝගය වන ටැනිසින් (tennessine) හි නාමකරනය ටැනිසි ප්‍රාන්තය නමින් නම් කර ඇත.
එහි රසායනික සංකේතය Ts ය.
අවසාන මූලද්‍රව්‍ය පරමානුක ක්‍රමංකය 118 වන Og හෙවත් ඔගනෙසන් (oganesson)ය. එහි නාමකරනය එය සොයාගනු ලැබු යුරි ඔගනෙසීයන්(Yuri Oganessian) නම් රුසියානු න්‍යශ්ටික භෞතිඥයා හට ගෞරවයක් ලෙස නම් කර ඇත.
මාස පහක මහජන විමර්ශන කාලයකින් අනතුරුව උතුරු කැරොලියන් මුලික ශුද්ධ හා ව්‍යාවහාරික රසායනික විද්‍යාව පිලිබඳ ජාත්‍යන්තර සංගමය මඟින් එම නාමකරනයන් නිල වශයෙන් පිලිගෙන ප්‍රකාශයට පත් කර ඇත.
නව මුලද්රව්යන්හි නාමකරනය වර්තමානයේ යථාර්තය මනාව ප්‍රකට කරන බව ශුද්ධ හා ව්‍යාවහාරික රසායනික විද්‍යාව පිලිබඳ ජාත්‍යන්තර සංගමයේ සභාපති නටාලියා තරසොවා (Natalia Tarasova) සිය සංගමයේ නිල වෙබ් අඩවිය මගින් ප්‍රකාශ කර ඇත. එහි තවදුරටත් විද්‍යාවේ සාර්වත්‍රිකත්වය හා අවශ්‍ය භූමිකාව ඔගනෙසියන් මඟින් උපුටා දක්වා ඇත.
තවද මෙම අවසාන සොයාගැනීම් හතරත් සමඟම ආවර්තිතා වගුවේ හත් වන ආවර්තය සම්පුර්න වේ.
එලෙසටම මෙම නව සොයාගැනීමත් සමඟම ඒ සඳහා පුරෝගාමි වු විද්‍යාඥයන් ඉදිරි නොබෙල් ත්‍යාගයන් සඳහා නිර්දේශ වනු ඇත.
ජපනය අතිවිශිෂ්ට පර්යේෂණ ඉතිහාසයකට උරුමකම් කියන අතර ඔවුහු මේ තාක් නොබෙල් තාග්‍ය විස්සකට හිමිකම් කියනු ලබති. එසේම මෙම වසරේ වෛද්‍යවිද්‍යාව පිලිබඳ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබු යොශිනොරි ඔහ්සුමියන්වද සිහිපත් කරනු කැමැත්තෙමි.
බඹරා වැඩිවිය පැමිනුන උන්දා
වේලපත්කඩේ බැලුවලු..
අපලයිලු බඹරට..
පුළුවන් නම් බෝධිපුජා තියන්න කිව්වලු.
රොන් සුනු ඉරී යනතුරු
මල්පෙති තැලී යනතුරු
පහස ලබන තරම්
මහ වලත්තකම් කරන එකෙක් කිව්වලු..
කනට කරලා ජෝතිශ්යඥයා..
මම ඔබෙන් අසම්...
ඒත් ඇත්තටම අපල මල් වලට නෙවේද..?
බඹරා රෝස මලක් ළඟ ප්‍රථම හාදුව තියලා.
කානේශන් මලක් ළඟ කුමර බඹසර පිදුවලු.
ඉක්බිති කුමුදු මලක් ළඟට ඇවිත් පෙම් මුනු මුනුවක් ගැයුවලු.
ඒත් කුමුදු මල නෙවේලු ඇහැක් ඇරලා බැලුවේ..
සල්ලාලකම් අතෑරපු බඹරා
උත්පාදනය කරාලු ප්‍රේමයක්
කුමුද් මලට..
ඔච්චමක් නොවේ එය...!
කවිත් ගෙතුවලු...
ඒවා කඳුලු පෙති වලත් ලිව්වලු..
ඔබට කියමි.. එක්කෝ නොකියමි..
හැදින ගත්තා නම් අගෙයි..
බඹරා සමනලයෙක් උන වග..
හැඟීම් අකුරු කරන්නට කලියෙන්, නුඹ හා මම එක්ව නිමැව් ආදරයේ සුසානය ළඟට වී කඳුලු පෙති අවාරේ මදනලට පා කරමි.. සුසුම් දිය, ගිනි ගහන මෙදියතට දොවාලමි..
මා දොම්නසෙන් වුවාට කම් නැත.
මේ ලියමන කියවන සහෘදයා දුකෙන් පෙලන්න කිසිකලෙකත් වුවමනා නැත. මන්ද මම ආදරයේ වේදනාව දනිමි. එය දරා ගැනීම අපහසුය.. ඔවුන්ට වියෝදුක පිරිනමා මට සොම්නසින් ඔද වැඩියා සේ ඉදිරියට පා තැබිය නොහැකිය...
ආදරය හමු වන්නේ වෙන්වීමක් ළඟය.. වෙන් නුවු කෙනෙකු සදාකලිකව ආදරය හඳුන නොගනු ඇත..
ටයිටැනික් හී ජැක් මියගියේය. එබැවින් ඔබ ඒ ආදරයට පෙම් කලෝය.
ජුලියට් මියැදුනේ රෝමියෝ මියැදුනු නිසාවෙනි. ඉදින් විශ්වයේ පෙම්වත්හු සදාතන වෙන්වූවෝය.. ආදරේ නාමයෙන් එය එසේ සිදුවිය යුතුමය. එක්වුවහොත් කවදාක හෝ ආදරය පෙම්වතුන් තුලින් ගිලිහියනු ඇත.ආදරය එසේය. පරිසමාප්ත අර්ථයෙන්ම එසේය..
එම්බා සහෘදය, ඔබේ මුවෙන් මට අමු අමුවෙන් තෙපලුවාට කම් නැත.. සත්‍ය නම් අව්‍යාජ ආදරයක් අවැසි නම් වෙන්වීමයි නියමය.. ඉදින් ඔබට මියෙන තුරුම හදකිනිති වල ප්‍රේමය හංගා නෛතික සහකරුට හොරෙන් ප්‍රේම කරනු හැකිය.. ඒ ප්‍රේමය රසවත්ය. "අහ්...! කෙතරම් අගනේද ? " යි ආදරය හද කිනිත්තෙන් එලියට ගෙන රූ විසිතුරු බලන කල්හි ඔබට සන්තෝශ විය හැකිය. ඒ අහ්ලාදය ඔබේම පමණක්මය.. ශෝකි නොවන්න ප්‍රේමය වෙන්වූවා නම්..
ඒ ප්‍රේමයට ඔබට ඉදිරියටත් ප්‍රේම කල හැකිය. ඒ රසය ඔබේමය....
මේ වස්සාන සෘතුව ග්‍රීෂ්ම මුනුමුනුවට තිරය විවර කල වැරදිකරුවා ඔබවත් මමවත් නොවේ. මට හැකි නම් කාලතරනය කර ඔබගේ දෛවය නැවත ලියවමි. මේ සියල්ලටම වැරදිකරුවා ඔබයැයි නියම කර ඔබව ශෝක ලෝදියෙ ගිල්විමට මට නොහැකියි.
ඔබ පෙම් කලේ අන් පිරිමින් විලස නොවේ. ඔබට හාදු වුවමනා නොවිය. කර්කශ රතියක් වුවමනා නොවීය..
හද පමණක් ස්පර්ශ කර ඔබ තුටු වීය.
මට ඒ පෙම ප්‍රමනවත් නොවිනි.
මං දවසක් ඇහුවා "ඇයි හාදුවක්වත් තවරන් නැත්තේ" කියලා.
ඔහු කිව්වා ආදරය කියන්නේ එක දෙයක් රාගය කියන්නේ තව දෙයක් කියලා.
ඒත් මට හාදු අවශ්‍ය විය. මා හාදු දෙවොලට ගොස් හාදු යැදීය. රාග දෙව්ලොවට ගොසින් රාගය පැතීය. වරදවා වටහා නොගන්න...
සහෘදය..! ඒද ඔහුගෙන් පමණිමය.
ඉදින් ප්‍රේමයට මා අවැසිය. ප්‍රේමය මට අවැසිය. ප්‍රේමයට ප්‍රේමය අවැසිය. එමෙන්ම ප්‍රේමයට රාගයද යහමින් අවැසිය.
මට අවශ්‍ය වුනේ හයිඩ්රක්ලෝරික් අම්ලය වෙන්න. ඔහුට මං කිව්වා සෝඩියම් හයිඩ්රොක්සයිඩ් වෙන්න කියලා.
යහමින් ප්‍රතික්‍රියා කරන්න.
ඒත් ඔහු ලවණයක් වගේ උදාසීනව හිටියා.
රටා මැවුනු ප්‍රේමයේ මම යහමින් සායම් උලමි.
ඔබ දන්නවාද සායම් වල බැර ලෝහ තිබෙන බව?
මං දැන හිටියේ නෑ. ඉතින් මං නොදැන සායම් උලපු නිසා මගේ ප්‍රේමය විශ සහිත වුනා.
සුකුමාල ප්‍රේමයේ මම රතු රෝස මල් පෙති ඇතිරුවා. මං දැන උන්නේ නෑ ඒ අතර රෝස කටු තිබෙන බව. ඉදින් විස කටු ඇනිලා ප්‍රේමය සිදුරු වුනා. ප්‍රේමයෙන් රුහිරය ගැලුවා.
දවසක් මං ප්‍රැක්ටිකල් වලට එන්ඩොක්රයින් (endocrine) ක්ලිනික් එකට ගියාම එයා හිටියා.
මං එයාට හොරෙන් එයාගේ ක්ලිiනික් පොත අරන් බැලුවා එයාගේ ගැටලුව මොකද්ද කියලා.
දෙයියන්ට ඔප්පුවෙච්චවේ..
ඉන්පොටෙන්ස්.. (impotence)
මං ඉන් පස්සේ හිස්ට්‍රි බැලුවා.
"සිවිය ඇල්කොහොලික් ඇන්ඩ් කැනබීස් යුස්ඩ්." (Severe alcoholic and cannabis used)
නොහඬන ගිම්හානයත් අකලට හැඬුව දුක.
වස්සානය දෙදරවලා ගැලුව ගඟ.
පවසමි ඔබට නොම සඟවා රහස් වෙද.
අසාරක් කල්පයක් පිරු පෙම දියවුනිය.
වැහි කොඩයකටවත් නොතෙමා රැකුව.
කලුවර මැදින් පියකුගේ සෙවණක් පිදුව.
කඳුලු වැසි වැටුනි නම් එක ක්ෂණයෙන් පිසලූව..
දෙවිදෙකු තරම් විය සෙනේහය තැරවුව
කඳුලූ මුතු නෙතට කඳුලක් බරම වැඩි.
කුමුදු මලෙක තරමට සුරකිමි කුමරි.
තුමුල හදෙහි වෙනසක් සිදු වුනු සැනෙනි.
සුමල හිතක් පැරුනි එසඳින් කැලති.
කැලතුනු ජලය නිශ්චල විය දිනෙන් දින.
වැගිරුනු කඳුලු මිණිකැට වුනි සඟවන්ට.
යලි නුඹ දුටු තුටට වැගිරුනු කඳුල කැට.
සැඟවුවත්, පෙම සඟවනු ඈ කෙලෙස?
ප්‍රේමිය.. මම.. නුඹේ කෙමිය, මතට වැටිමි. මල් පෙතිතර සැඟවෙමි. මකරද මත ගිලෙමි.