පිලිගැනීම් දෙකක්



"යූ හැව් ටූ බී පේරන්ටින්."

එයා එහෙම කිව්වේ මගේ ඇස් දෙකට එබීගෙන. මගේ ඇස් දෙකම එයාගේ යටතට අරගෙන තිබ්බේ. අලංකාර පසුබිම් සංගීත වාදනය වුනේ නැහැ. හැමදේම කලුවරයි වගේ... එක පාර මාව කරකැවෙන්න පටන් ගත්තා. මටම පාලනය කරන්නම බැරිව. කැරකැවීම පුදුම වේගයකින්. මගේ දෙඅත් තිබුනේ එයාගේ දෙඅත් වල එල්ලිලා. මගේ බෝඩිම් කාමරය නිහඬව හීල්ලුවා. අවස්ථාව උචිතව හැමදේම නිහඬව. කොටින්ම බිත්ති ඔරලෝසුව පවා නැවතිලා. මට අමතක වෙලා තිබුනේ ඒකට අලුත් බැටරි ගෙනත් දාන්න. කොහොමත් මේ දවස් කිහිපයේ හැමදේම කණපිට හැරිලා තිබුනේ. අඩුම තරමේ මට කන්නවත් වුවමනාවක් තිබුනේ නැහැ. එයා විතරක් හූල්ලනවා. සද්දෙන් හුස්ම ගන්නවා..

"අම්මා...!" ඒක නෑකමක් නෙවෙයි. පදවියක්. සුදුසුකම මම තාම සපුරලා නැහැ.මට වුවමනා වුණේ එක කියන්න. මට මතක් වුණේ මගෙ අම්මව. මාව එයැයිගේ කුසට ආවා කියලා එයැයි සතුටු වුණා ඇති. ඒත් මට මගේ කුසට වැඩපු ඒ දරුව ගැන සතුටක් ඇති වුණේ නැහැ.

තවම මට අවුරුදු විස්සයි. මං ලැහැස්ති නැහැ කොහොමටත්, මවක් වෙන්න. එයා ලැහැස්ති ද එතකොට පියෙක් වෙන්න. එයාට පුලුවන් වුනාට මට බැහැ අම්මට කියන්නවත්. ඊටත් හර්ද රෝගී මගෙ අම්මට මොනව වෙයිද දන් නැහැ, විවාහයක් නැතුව තමන්ගේ එකම දූට දරුවෙක් හම්බෙන්න යනවා කිව්වම. කොහොමටත් මට බැහැ සමාජය මුහුණ දෙන්න. මේක වෙන්න බැහැ...!!!



කඳුකරයේ හීතලම හීතල දවසක මං ආස වුණේ උණුම උණු කෝපි කෝප්පයක් අතේ තියාගෙන සීතල මඟ හරින්න. එක කෝපි කෝප්පයකට පස්සේ තව එකක්.. හරියටම කියනවා නම් අන්න එහෙම දවසකයි එයා මගේ හිතට එබුනේ. ඒත් කඳුකරයෙ නෙවෙයි මං හිටියේ මගේ ඇනෙක්ස් එකේ හීතලෙන් ගල් ගැහිලා.. එදා මෙල්බර්න් වලට හිම පතනයක් නිසා හැමෝම ගෙවල් වල හිටියේ. කවුරුත් එලියට බැස්සේ නැහැ. ඒ වගේම තමන්ගේ නිවසේ තියන ගිනි උඳුන ළඟින් සෙලවෙන්නවත් කාටවත් වුවමනා වුනේ නැහැ. ඒත් රාත්‍රී දොලහට ඔහු ආවේ උණුම උණු පීසා එකක් එක්ක බියර් බෝතලයක් අරන්.. සීතලට බෙහෙතක්.. බියර්.. ඒ වගේම සීතලට බෙහෙතක.. ආදරය...

මිනිස්සු ගෑණුන්ට පිස්සුවෙන් ආදරය කරද්දි පොලියත් එක්ක ලිංගික ආශාව පිරිමින්ගේ ගෑණු ඉෂ්ට කරනවා... එහෙමයි වුණේ...



"වළාකුළු විවේක දෙයි.
සඳ දෙස බලන මිනිසුන්ට,
විටින් විට..

-බෂෝ."

මගේ හිතේ හිටියේ බෂෝ... අන්තිමට කියවපු කවිය. මට මහන්සි.. මටත් වුවමනා පොඩිම පොඩි විවේකයක්. 
ඒ සඳ එක්ක තරඟ කරලා මට මහන්සී. ඊටත් සඳ, අහස දෙස මුළු විශ්වයම බලා සිටිනවා. මට ඒ නෙත් වසන්නවත් ඒ වදන් නවත්තන්නවත් පුලුවන් වෙන් නෑ. මට පුළුවන් එකම දේ මාව නවත්තන්න.


"ඒක මීනී මැරුමක්." 

මගේ විසඳුමට ප්‍රතිචාරය ඉතාම රෞද්‍ර, සිදුවිය නොහැකි යමක් දෙසට හෙලන බැල්මක් මා වෙත හෙලු, ඔහු මොර ගෑවේය.


" නෝ.. ඉටීස් අ අන්වෝන්ටඩ් ප්‍රෙග්නන්සි."

"අන්වෝන්ටඩ්....? යර්ස්.. ඉට්ස් අන්වෝන්ටඩ්..... බට් නව් අයි වෝන්ට් ඉට්... ඉට්ස් මයි බේබී... මයි ඕන් බ්ලඩ්..."

"බට් අයි ඩොන්ට් වෝන්ට් ටූ රේය්ස් හිම්.."

"අයි වෝන්ට් නව්. අයි කැන් ටේක් කෙයර් ඔෆ් දිස්.. ප්ලීස් ගිව් මී අ චාන්ස් ටූ රෙක්ටිෆයි දිස් සිටුවේෂන්."

"නොප්... තරින්ද, අයි විල් ගෝ අවේ ෆ්‍රොම් දිස්... අයි විල් ලීව්... රියලි සොරි..."

"ඉට්ස් අ ක්‍රයිම්. හියර් ඇබෝෂන් රිමෙන්ස් අ ක්‍රයිම් අන්ඩර් ද ක්‍රිමිනල් කෝඩ් ඇක්ට් එයිටීන් නයින්ටි නයින්.."

මට කිසිවක් කියන්න නැහැ. මං ඒ වෙනකොටත් තීරණය කරලා තිබුනේ මීසොප්‍රොස්ටොල් සික්ස් හන්ඩ්‍රට් ගන්න. ඒක මගේ තීරණයක්. මගේ කුසේ ළමය හැදෙන්නෙ. මමයි ඒක තීරණය කරන්නේ.

" මං දන්නවා ඔයාට ඕනිම දෙයක් කරන්න පුළුවන් කියලා. ඔයා මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. ඔයාට මේක නතින්..."  තරින්ද කිව්වේ අඬන්න ඔන්න මෙන්න. මං ආයෙත් හිටියා වගේ නිශ්ශබ්දව හිටියා.

එතකොට මම හිටියේ මගේ කාමරේ වීදුරු ජනේලෙන් එලිය බලාගෙන. තරින්ද මගේ ඇඳේ කොනක වාඩී වෙලා මගේ දිහා බලාගෙන. එයා අත් දෙක ඔලුවේ ගහ ගත්තා. මට ඒ ඇස් බලන්න බැහැ...

"අයු විල් මැරී යූ.." තරින්ද කඳුලු අතරින් කිව්වේ ඒක.

වීදුරු ජනේලෙන් එයාව පෙනුනා. ඒ හැම හැසිරීමක්ම. ඒ වෙලාව රාත්‍රී එකොලහත් පහුවෙලා. ඒත් තරින්ද මම... ඒ වගේම මෙල්බර්න් මිනිස්සු ඇහැරිලා.

"ඔයාමයි කිව්වේ ඔයාට එන්ගෙජ් කියලා. එයාට මොකද වෙන්නේ.."

"අයි ලව් යූ..."

"ප්ලීස්. යූ කැන් ලීව් නව්..."

"ප්ලීස් මේඝා..."

"ප්ලීස් තරින්ද..."

" ඒ කියන්නේ ඔයා මගේ දරුවා නැති කරනවා..."

නම





පාවහන් පැලැඳ විත් 
ගලවාම නොතබා...
හදවත මත ඇවිදින විදියත්,
ඔබ හුඟක් අරුමයක්.
ඇනී සිර වුණ ගල් කැට පතුලත
ගැලවි ගැලවී විසි වන
නුමුත් රිදුමට වඩා නොරිදවන.....

මා නොඇඳ කිසිවක්.
ඉවසමි නුඹේ අඩි.
රිදෙමි, රිදවගමි.
ආයෙත් සිඹිමි නුඹේ අඩි.
සටහන්ව ඇත්දැයි බලමි,
නොදුටු සේ ඉමි...
යලිත් හිස රුවා 
පා සටහන් ගැනම වෙහෙසෙමි..

ඝනීභවනය තරම් රිදුමකුඳු නොදනිමි.
නුමුත්, නටඹුනුත් නොසලකමි.
පොසිල පමණක්ම පතමි.
ඒ පොසිලයට ආදරය යන නම තබමි.

රස


ප්‍රේමිය 
ඔබ ඉව් හොද්දක 
ලුණු රහක් නොබලමි.
මේ නොරහ දිවි 
ඔබම රහ කරදුන් 
අයුරු පමණක්ම
මතක් කරන්නට කැමැත්තෙමි.


විස්මය



ඔබ එනතුරු බලා හිඳ,
නිදිමත තරු, නයනත සිඹිනි.
මා අනියත බියෙන් 
තරු වැරෙන් ගලවා විසි කරමි.

ඔබවිත් (නො)සිප (නො)වැලඳ
නාන කාමරයට වැදෙනි.
මම, දොර'ගුල නොහැර ඒ තුල මැවෙමි.
ඔබ නුදුරුව හිඳිමි.
නොදුටු නුඹ සැනෙන් විත් බොජුන් කිස
නිදිමත තරු බලෙන් නයනතට ඔබා නිදති.

මා තරු නිවා පහනක් ගෙන එලිය ගමි.
ඔබ දෙස බලා මත් වෙමි.
තොල් මත වැතිරෙමි.
සිහිනෙන්ම හාදු අත'රිමි.
විඩාවට බනිමි. ඔබට නොබනිමි.
ආදරෙන් හිස මත අතැඟිමි දුවමි.
ඉදින් මේ ප්‍රේමයම විස්මයක් යැයි අදහමි.


සියල් ඵල නෙලා අවසන
ඔබ නිදයි, නිදන මැදිරියක.
මා අහම්බෙන් එල්ලුන
පා පුවරුවේ තවම....

විසඳුමක්??




පිරිමි පපුවක ලතෙත් බව මහ හුඟක් මිහිරියි දන්නවා.
තුරුලු කරගෙන නින්ද එනතුරු නලල හෙමිහිට ඉඹිනවා.

මට හෙමින් හෙමින් හැම හැඟීමක්ම ලියන්න හිතුනා. මේ මහ රෑ ඇහෙරෙනවා සමහර වෙලාවට.. එතකොට මං ඔයා දිහා බලන් ඉන්නවා.. සමහර වෙලාවට ඔයා මාව තුරුල් කරගෙන ඉන්නවා මං හදිස්සියේ නැගිට්ටෙන කොට. සමහර වෙලාවට අනික් පැත්ත හැරිලා ඔයා නිදි. ඇත්තටම හුඟක් වෙලාවට අනික් පැත්ත හැරිලා නිදා ගන්නේ මං.. ඔයාට ඕනා මාව තුරුල් කරන් නිදාගන්න.. අපි ඒකට රණ්ඩුත් වෙනවා.

ඔයා හරිම අහිංසකයි. නිදාගෙන ඉන්න කොට හුඟාක් අහිංසකයි.. 

ඒත් තරහා ගියාම නපුරුයි, මටත් වඩා. එතකොට මං ඔයා කියන දේ අහනවා. මං බයයි ඔයාට තරහ ගියාම.. ඔයා ඔරවනවටත් බයයි. මං නපුරුයි තමා. ඒත් ඔයා මට වඩා නපුරුයි..


මං නියපොතු වලින් හූරනකොට ඔයාව, ඔයා මගේ හිතම වචන වලින් හූරලා දානවා.එතකොට මගේ හිත තුවාල වෙනවා. දන්නවද හිත තුවාල උනාම හොඳ වෙන් නෑ. ඒත් මගේ නියපොතු පාරවල් දවස් තුනෙන් හොඳ වෙනවා. මගේ හිත දැන් නම් ලෙඩ වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් තුවාල වෙන්න දෙයක් නෑ..


ඒක වෙනම කතාවක්.

මුලින්ම මොනවා ලියන්නද, මට හිතෙනවා මේ ආදරේ පටන් ගත්තේ අවුරුදු දහයකට කලින් නෙවෙයි, පහුගිය ආත්ම වලදි පවා කියලා. අපේ ආගමේ ආත්මයක් කියලා දෙයක් නැහැ. ආත්මයක් කියන එකේ තේරුම අල්ලන් ඉන්න පුලුවන් දෙයක්ලු... ආත්මයක් කියන එකේ හරිම වචනය කියලා තියෙන්නේ පුනුරුප්පතිය කියලා..

ඔයාලගේ ආගමේ නම් තියෙන්නේ එක භවයක්නේ.. මේ භවය ඉවර වුනාම එක්කෝ ඔයා ස්වර්ගයට යනවා,නැත්තම් අපායට යනවා.. අපාය කියන වචනේ ඔයාලා මතක් කරන්නත් භයයි..

ඔව්....!!!

ඔයා අනිවාර්යයෙන් යන්න ඕනා ස්වර්ගයට.. මං පතන්නෙත් එහෙම.
ඒත් මං නම් තව භව කිහිපයක් ප්‍රාර්ථනා කරනවා. ඒ මගේ ආගමේ විදියට.
හරි අමුතුයි නේද ආගම් දෙකක් නිසා වෙන වෙනම ප්‍රාර්ථනවල් තියන එක..
මං මගේ ආගම අනුව තව සසර දික් වෙන්න පතන්නේ ඔයත් එක්ක ජීවත් වෙන්න ආසාවට.. සසර දිග වෙන්න දිග වෙන්න, අපිට නිවන් දකින්න පරක්කු වෙනවා. ඒත් ඔයා ළඟින් ඉන්න එක මට සතුටක්.. අපේ ආගම හැටියට සතුටක් කියන්නේ අවසානයේ දුකක් ඇත්තම කිව්වොත්...

මට ලෝභයි ඔයාව නැති කරගන්න.. ඒකයි මං භව කිහිපයකය හරි ඔයාව පතන්නේ...
ඒ කියන්නේ භව දුක...

භව දුක ඇති වෙන්නේ මගේ තණ්හාව නිසා. තණ්හා වර්ග තුනක් තියෙනවා.
1.කාම තණ්හා – පස්කම් සැප පිළිබඳ ඇති ආශාව
2. භව තණ්හා – නැවත නැවත ඉපදීම පිළිබඳව ඇති ආශාව
3. විභව තණ්හා – නැවත නොඉපදීම පිළිබඳව ඇති ඇල්ම.


මට ඇත්තටම ඔයා නිසා ඒ තුනම හට ගෙන. තුන් වෙනි එක ඒ කියන්නේ විභව තණ්හාව ඇති වෙන්න හුඟක් හේතු වෙන්නේ ඔයාගේ ආගමේ හැටියට ඔයා ස්වර්ගෙට ගියොත් මගේ සසර කෙටි වෙයි කියන බය.

ඔයාගේ අම්මා දැක්කොත් අපි මෙහෙම ආදරෙන් ඉන්නවා ඒකටත් කේලම් කියයි මොනව හරි ඔයාට. ඇයි ඔයාට ඉස්සර ආදරේ කරන කාලේ වගේ මගේ හිත තේරුම් ගන්න බැරි.. ඔයා ගෙදර ආපු ගමන් අම්මා කියන හැමදේම හරි කියලා මට බැන ගෙන බැන ගෙන යනවා. මගෙ දුක අහන්නෙත් නෑ.. දැන් ඒකත් මට පුරුදු වෙලා.ගෙදරට වෙලා උදේම උයලා, ඔයාට බත් බැඳලා දීලා ඔයා ගෙදරින් එලියට බැහැලා ගියාම, ගේ අතුගාලා මිදුල අතුගාලා එනකොට තම‍යි අම්මා නැගිටින්නේ.. ඉන් පස්සේ උයපු එකේ අඩුපාඩුයි, අතුගාපු තැන් වල කුණුයි හොයාගෙන බනින්න ගන්නවා, මං ඒවා ඇහෙන් නැති විදියට ඉන්නවා..

" මගේ පුතා කොහොම කනවද මන්දා මේ රහ නැති මාලු..."

දන්නවද ඒක තමයි මං වැඩියෙන්ම අහන්නේ ගෙදර ඉන්නකොට. ඔයාමයි ඉස්සර කිව්වේ මගේ කෑම රහයි කියලා. ඔෆිස් එකේ යාලුවොත් ඔයාගේ බත් එක ලිහනකම් බලන් ඉන්නවා කියලා බැඳපු මුල් දවස් වල කිව්ව ඔයාමයි දැන් අම්මගේ කතා වලට කිසිම දෙයක් නොකියා ඉන්නේ.. සමහර විට දැන් දැන් අපේ විවාහේ අවසානේ ලං වෙලා ඇති. දැන් මටත් ඉවසීම ඇති වෙලා.. මං කරපු රැකියාව කලා නම් දුකක් නැහැ කියලත් වෙලාවකට හිතෙනවා. ඒක ඔයාගේ තත්වෙට ගැලපෙන් නෑ තමයි. බැංකුවක ගණකාධිකාරිවරයෙක්ට කියන්න බැහැනේ හොටෙල් එකක රිසෙප්ශනිස්ට් කෙනෙක් කියලා විවාහ වෙලා ඉන්නේ.. ඒත් මං ඒ රැකියාවෙන් සතුටු  වුනා. මටම කියලා ආස දේවල් ගත්තා.ලස්සනට ඇන්දා. මාසෙකට අනිවාර්යයෙන්ම සාරියක් ගත්තා. දැන් අම්මා දාන්නේ මගේ චේන් එක කියලවත් අම්මට මතක නැහැ. මං අම්මා කියලා කියද්දී, මගේ නම කියලා කතා කරන්න තරම් අම්මා දුරස් බව පෙන්නන්නවා. කිසිම දෙයක් නැති වුනාම මගෙ රැකියාව පහතට දාලා කියවන්න ගන්නවා.. ඔයාටත් දැන් කිසිම දෙයක් මතක නැති ගානට වැඩ සිද්ධ වෙන්නේ. අපි වාහනයක් ගමු කියලා මගේ ඉතිරි කරන් හිටපු සල්ලි ටිකත් අම්මා ගත්තේ අක්කට දෙන්න කියලා.  දැන් අක්කලා වාහනයක් අරගෙන. මං ඕවා කිව්වොත් ඔයාගෙත් හිත නරක් වෙනවා. හිතුනොත් මං ඔයාටත් නොකියා ආයේ රැකියවට යනවා. එතකොට හැමදේම වෙනස් වෙයි.ඒක තමයි දැන් තියන හොඳම විසඳුම...

පන්දම

ආයෙත් ඔන්න කාලෙකට පස්සේ ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ ඉහලම තියන ගීතයක විචාරයක් එක්ක මං ආවා..

මේ ගීතයත් කරලියට එන්නේ කතරකට දියපොදක් වැටෙන සේ.. එහෙම නැත්තම් පසු බැහැපු සංගීත ලෝකයට සාර්ථක සාධාරණත්වයක් ඉටු කරමින්. විශේෂයෙන් සංගීත රූප රචනයට කියලම කිව්වොත් තමයි සාධාරණ. 

මුලින්ම කියන්න ඕනා මං මේකේ විචාර කිහිපයක් යූටියුබ් එකේ කියෙව්වා. ඒවලත් අදහස් එක්වෙයි. නමුත් මේක මට අනුව නම් කුවේණී තරම් පට්ට ගීතයක්ම නෙවෙයි. නමුත් රූපරචනය නම් "පට්ටයි" කියලා ලේබල් කරන්න පුලුවන්.


අපි මුලින්ම පද පෙලේ අර්ථයට යමු.
ආදරය හා ලිංගිකත්වයෙන් තොර කලාවක් බිහි වන්නේ නැත. ඉදින් "පන්දම" ගීතයේද ඒ සියල්ල සම්මිශ්‍රව අතිශය රූපාකාරව සියල්ල සහෘදයා අභිමුවට කැන්දයි.

"පන්දම" ලෙසින් නම්කොට ඇති ගීතයේ පන්දම යන්න අර්ථය මට තව පැනයකි. එය සමහරු පවසනා අන්දමට ලිංගිකත්වය නිරූපනයට රචකයා විසින් යෙදු හොඳම අවියම විය හැක.

කෙසේ හෝ අර්ථ කිහිපයක් වචනයක් වචනයක් පාසා තිබිය හැක. එය නිර්මාණයක අපූර්වත්වයි. පන්දම යනු අඳුර නස්නය පිණිස දල්වන්න උපකරණයකි. සියල්ලෝම ආදරය නොමැති කල අඳුරක  සිටීමක් වැනිය. එනම් සිය පෙම්වතියට අඬ ගසන පෙම්වතා මෙසේ පවසනවාද විය හැක... "ඔබ අඳුරේ ඉන්නේ. එන්න ඇවිත් මේ ආදරය නිසා ආලෝකයට යන්න..."  මෙහි එන්න මා හදවතට යන්න පැවසීම නම් ඉඳුරාම ආදරය නම් හදවතේ ඇරඹීමක් නිසාවෙන්, හදවතට ගොඩවන්න ලෙස ආරාධනා කරන්නේ ආදරය කරන්න පැමිණෙන ලෙසටමය. නමුත් දෙවන හා තෙවන පද පෙලින් නම් ඉඳුරාම අරුත් දෙන්නේ ආදරය නොව ලිංගිකත්වය ගැනම බව පැවසිය යුතුමය. පිරිමියෙකු නෙතු දැහැනක සිටි නම් එය බිඳලිය හැක්කේ ගැහැණියකටම පමණි. එනම් සිය රූ ලාලිත්‍යය පෙන්විය හැකි කිසිත් අැඳීමෙනි. එය එසේම රචකයා පවසයි.

"නෙතු දැහැන් බිඳිනා රන් සලුව ඇඳ
ලියතඹර ලෙලවා හද මඬල යට"


ලියතඹර මලක් වූ කලී සාහිත්‍යයේ පවසන නාරී දේහය ඉස්මතුව නිර්මාණය වූ පුෂ්පයකි. එය සේ නාරි දේහයක් ඇත්නම් පරිසමාප්තියෙන්ම පිරිමි සිතක දැහැන් බිඳ උපරිමයට ඇද දැමීමට තරම් හැකියාවක් පවතින බව සාහිත්‍යයේම සඳහන් වේ. පෙම්වතා පෙම්වතියට ඇරයුම් කරන්නේ මේ ගින්දර තමාට දෙන ලෙසය. එනම් තමා රාගය නැමති ගින්නේ දවන්න යන්නය. බුදු දහමේ ගින්න යන්න යෙදෙන්නේ රාගයටමය. එය එසේම මෙම ගීතයටද රචකයා එක් කර ඇත.
"පපුවට " යන්න පැවසීමම ආදරය ගැන නැවත සඳහන් කිරීමක් යන්න මාගේ මතයද වේ.ආදරය තිබෙන්නේ හදවතේ වුවද, අනුරාගය හදවත නොවැලඳගෙනම පහස සෙවිය හැක. එනිසාම වදන් භාවිතය අපූර්වට සිදු කර ආදරය පිලිබඳවම තතු පහදයි.

ගීතයේ මුල් කොටස ඉතා සංයමයෙන් ගායනය වේ. ඉන් පසුව දෙවන කොටසට පා තබද්දීම වේග රිද්මයකට හසු වේ.. මෙය නම් නිර්මාණකරුවාගේ හදවතද සැලෙන සේමය. කිසිඳු පූර්ව හැඟීමක් නොමැතිව ඇරඹි මේ කතාවට ආදරය හා අනුරාගය නොඅඩුව ගැබ් වෙන කල්හී පිරිමි සිත වේගවත් නොවන්නේද...

"මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැති.
රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ."


සිය පූර්ව දිවිය කිසිඳු ප්‍රේමයක් රාගයක් නොමැතිව කතරක්ව පැවතුන බවද, මේ විචල්‍යය කිසිඳු දිනෙක තමා අත් නොවිඳි බවද මේ පෙම්වතියගේ පැමිණීම නිසා කතරකට දිය පොදක් වැටුනා සේ හැඟීමකින් තමා පෙලෙන බවද පෙම්වතා නොසඟවා පසක් කරලයි.

"අනෙ මගෙ යකුනේ නටපන් හනිකේ.
තම් දෙන තානෙනේ තානෙනේ තානෙනේ"


අනතුරුව කිසිඳු ඉවසීමක් නොමැතිව පෙම්වතා තමාගේ රාගික හැඟුම් වලට ආරාධනා කරන්නේ ඉක්මණින් කරලියට පැමිණෙන ලෙසයි. පිරිමි හැඟීම් "යකෙකුට" සමාන කරවන ඔහු ඒ රිද්මයට තමාද නටන්නට නැති නම්, සැලෙන්නට සූදානම් බව මොනවට පෙන්වයි.

එය රිද්මය තාලයකින් ගීතයට රැගෙන ආවෙන් ඉතාම සංවරව, නුමුත් ඉතා ස්ථීරව දැනේ..


"ඉන වට බැන්දා වූ මුතු පට සැලෙනා විට" මෙලෙස පවසන්නේ මුතු පටක් පිලිබඳව නම් නොවන බව සක්සුදක් සේ විශ්වාසය. එනම් කුමක් පිලිබඳව යන්න සිතිය යුතුමය. 
මෙය රජකුමරියකට සම්බන්ධ කලා නම් කුමරියක් අනිවාර්යයෙන් මණිමේඛලාවක් පලඳින බැව් රහසක් නොවේ. එනම් ඒ මණි මේඛලාවේ මුතුපට යැයි කිව හැක..නුමුත් මේ ගී පද රචනයේ කෙසේවත් රජ පෙලපතකට මුහු නොකල නිසා වෙන් මේ පද පෙල පිලිබඳ මට නම් කිසිඳු අදහසක් නැත්තේමය. නැති නම් මෙසේ පවසමු, නාරිදේහය පා තබන කලද, නො එසේ නම් රමණයේ යෙදෙන කලද, ඉන ප්‍රදේශය මෙන්ම උකුලද රිද්මයානුකූලව ලෙලෙනු ඇත. රචකයාගේ සිතෙහි හට ගන්නා කිසියම් සත්තකින්ම නොතිබෙන දෙයක් පිලිබඳ කරුණු පහදන පද පෙලක් ලෙස මෙය ඉදිරිපත් කල හැක. නැතිනම් මුතු ලෙස හඳුන්වන්නේ දහදියද?


එසේ නම්, "පන්දම දැවෙනවා හදගිනි ලවා ගෙන" යන්න පැහැදිය හැක. එසේම නම් "පන්දම" ලෙසින් රචකයා උද්දීපනය කරන්න හදන්නේ සංස්කෘතික කඩතුරාවෙන් වැසුනු සංයමයෙන් කතා කල නොහැකි පිරිමියකු සම්බන්ධ දෙයක් පිලිබඳවමය. හදවතේ වූ ආදරය නිසාවෙන්ම මෙම සියල්ල සිදුවන බවද රචකයා පවසයි. එනම් රාගය ආදරයෙන් වියුක්ත කිරීමට කිසිදා නොහැක යන්න මෙයින්ද අතිශයෙන් විවරණය වේ.

"වැහි කළුව එනවා නුඹ නැතිදාට.
සිත් අහසම පුරවා අන්ධකාරෙක."


පෙම්වතිය නැති කලෙක සිය ලෝකයම අන්ධකාරයෙන් වැසෙන බව පෙම්වතා පවසයි. එනම් ජීවිතය ආලෝකමත්ව ගලායෑමට නම් ආදරයද ගැහැණියක්ද අනිවාර්යයෙන් සිටිය යුතුමය. එබැව් පවසමින් ගීතය අවසාන වේ..



පන්දම රැගෙන යන්න එන්න මා හදවතට
නෙතු දැහැන් බිඳිනා රන් සලුව ඇඳ
ලියතඹර ලෙලවා හද මඬල යට
දෙන්න මැණිකේ මගෙ පපුවට ගින්දර.

මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැති.
රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ.
අනෙ මගෙ යකුනේ නටපන් හනිකේ.
තම් දෙන තානෙනේ තානෙනේ තානෙනේ.

ඉන වට බැන්දාවු මුතු පොට සැලෙනා කොට
පන්දම දැවෙනවා හදගිනි ලවා ගෙන
වැහි කළුව එනවා නුඹ නැතිදාට.
සිත් අහසම පුරවා අන්ධකාරෙක.

ගායනය, ගීත රචනය, තනු නිර්මාණය හා රූප රචනයේ තිර පිටපත: Dhanith Sri

ගීතයේ විචාරය අවසන් වුවද රූප රචනය පිලිබඳ අනිවාර්යයෙන්ම කතා කල යුතුමය. රූප රචනය පිලිබඳ නැවත ලිපියක් ලිවීමට බලාපොරොත්තු වෙමි.


පළමු තහනම


මං කිව්වේ සුළඟට
උඹේ ලස්සන
පුංචිම පුංචි පදපෙලකට එක්ක කර..

සුළඟ ඇඹරුනේ ක්ෂණයෙන්ම,
එය ඇසූ පමණින්ම..

එතකොට උඹ උන්නේ 
සයුරු රැල්ලට දෙපා ඔබාගෙන...
මං උඹ දෙස බලාන
ඇස් මගේ නුඹෙ ළඟම...

එකෙනෙහිම ආ සුළඟ 
උඹේ රතු කෙටි සාය
ඉස්සුවේ හරි දඟව.
මගේ ඇස් දිව්වේ
ළඟපාත පිරිමි ඇස් වලට.

රත් කලව යුග්මය
දිලිසුනේ හිරු එලියත් උරාගෙන.
ඒ සියක් ඇස් පිබිදුනේ
උඹේ ඒ දිලිසුමට.
හිරුත් රතුව 
ගිනි සිළුවක් දැවුනෙ සීරුවට.

තරහ කොහෙන්දැයි නොදැන
මා රතු වුනේ නුඹ නිසා නොව
සුළඟ සමඟින්‍ ය..
සුළඟට බනිනු කෙලෙසින්?

වදන් රුදු කටුව
සිනා මුව මඩලට විසිව
පෑරුනේ රතුව,
කඳුලු වැක්කෙරුනේ
ඒ වණයන්ට....

"ආයේ කෙටි ඇඳුම් තහනම්..."

එහෙමයි පළමු තහනම
වැටුනේ උඹට..



ඉරණම්.



ශිෂ්‍යත්වේ පාස් වෙලා ඈත ගමක ඉඳන්  කොළඹ ලොකු ස්කෝලෙකට එන හැම කොල්ලෙක්ගෙම එකම හීනේ වෛද්‍යවරයෙක් වෙන්න හරි ඉංජිනේරුවෙක් වෙන්න හරි කියලා මං දැන ගත්තේ මීට අවුරුදු අටකට ඉස්සෙල්ලා රෝයල් එකේ හය වසරේ ඩී පන්තියට වැටුනම. එදා තමයි ශිෂ්‍යත්වෙන් ආපු ළමයිගේ රෝයල් එකේ පලවෙනි දවස. හැමෝම යාලුවෝ හොයන් හිටියා. මං විතරක් තනියෙන්. එදා මට යාලුවෙක් උන්නේ නැහැ.. මට මතකයි ක්ලාස් එකේ ටීච මයි සෙල්ෆ් ගැන කියන්න කිව්වා. ශිෂ්‍යත්වේ පාස් වෙච්ච හැම ළමයෙක්ටම ඉංග්‍රීසි බැහැ කියලා ටීච දැනගෙන හිටියේ නැද්ද මංදා. එදා මට කියන්න පුලුවන් වුනේ අයෑම් මෙත්මල්, අයෑම් ෆ්‍රොම් අම්පාර කියලා විතරයි. 
ඒ හතර වසරේ ඉංග්‍රීසි පොතේ අයෑම් මුරු, අයැම් ෆ්‍රොම් නයිජීරියා කියන පාඩම මං කට පාඩම් කරපු නිසා.

ඒත් අනික් අය කියන එක අහන් ඉඳලා අන්තිම වාක්‍ය විදියට අයි ලයික් ටු බී ඩොක්ටර් කියන්න පුලුවන් උනා. ඒත් ටීච කිව්වා ඒකේ ග්‍රැමර් වැරදි කියලා. ඒක එන්න ඕනා අයි ලයික් ටූ බී අ ඩොක්ටර් කියලලු.

ඒත් ඒ දවස් වල මට දොස්තර මහත්තයෙක් වෙන්න ආසාවක් තිබ්බේ නැහැ. ඇත්තටම මට ඕන උනේ අපේ පැත්තෙන් ඡන්දේ දිනලා පාර්ලිමේන්තු ගිය සුමනදාස මන්ත්‍රී මහත්තයා වගේ වෙන්න. ඉගෙන ගත්තේ නැති උනාට වාහන හත අටක්ම ඒ මහත්තයට තිබ්බා. එයාට රජ සැප කියලා අපේ පුංචම්මත් හැමවෙලේම කිව්වා.. ඒ මහත්තයා ඡන්දේ දිනුවට පස්සේ අපේ ගමේ ස්කෝලේ අලුතෙන් හදපු ශාලාව විවෘත කරන්න ආපු දවසේ තමයි මං දැක්කේ ඒ අලුත්ම වාහන ටික. ඒවා පොලිෂ් කරලා වගේ දිලිසුනා. එදා මල් මාලේ දාන්න තිබ්බේ මට. මල් මාලෙත් අතින් අරන් මං බලන් හිටියා. ඒ වාහනේ ඇවිත් නැවැත්තුවේ මගේ ඉස්සරහමයි. මන්ත්‍රී මහත්තයට බහින්න හුඟක් වෙලා ගියා.. මං බලන් හිටියේ මාවම ඒ වාහනේ දොරෙන්.. මං මා එක්කම හිනා වුනා. කොණ්ඩේ අවුල් වෙලාද බැලුවා. තෙල් ගාපු කොණ්ඩේ ලස්සනට තිබුනා. මං මා එක්කම හිනා වුනා. එතකොට කාර් එකේ දොර ඇරුනා. මන්ත්‍රී මහත්තයා කාර් එකෙන් බැස්සා. මට තිබුනේ ඒ මහත්තයගේ කරට මල්මාලයක් දාන්න. ඒ මහත්තයා ඇඳන් හිටියේ සුදු නැෂනල් සූට් එකක්. රත්තරං දම්වැල් චේන් එකක් කරේ දිලිසෙනවා මං දැක්කේ යන්තමට වගේ.. ඒත් සුමනදාස මන්ත්‍රී මහත්තයා මං මල්මාලේ දාපු පමාවට ඒක ගලවලා ළඟ හිටපු සුදු කමිසයයි, කළු කලිසමයි ඇඳන් හිටපු කනේ කරාබුවක් දාන්, දම්වැලක් වගේ රිදී මාලයක් දාන් ළඟින් හිටපු මාමාගේ අතට දුන්නා. එයා දිහා නම් මට බලන්න බය හිතුනා. ඒත් සුමනදාස මහත්තය නම් මගේ ඔළුවත් අතගෑවා හිනාවෙලා..

එදා මට අඳින්න අලුත් සපත්තු දෙකකුයි, අලුත් කමිසයකුයි හම්බුනේ ස්කෝලේ සුවිනීතා ටීචගෙන්මයි. මාව තෝරගන්න එයාලට ඕන උනේ ඒ වැඩේට මං තමයි ශිෂ්‍යත්වේ පාස් වෙච්ච එකම ළමයා නිසා.

ඒත් අනික් අය ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන කියද්දි දොස්තර මහත්තයෙක් වෙන්න වුවමනා උනේ නැහැ. හැමෝම කිව්වෙ තමන් අනාගතයෙදි වෙන්න කැමති ඩොක්ටර් කෙනෙක් හරි ඉංජිනේරුවරුවෙක් හරි නිසා මාත් කිව්වේ ඩොක්ටර් කෙනෙක් කියලා. මොකද ඩොක්ටර්ට විතරයි නිකම් බෙහෙත් හම්බෙන්නේ. ඒ කාලේ මගේ අක්කා හිටියේ වකුගඩු අමාරුවට වලට බෙහෙත් කර කර. ඒ බෙහෙත් ගන්න අපේ කොස්ලන්ද, කළු මුදලාලිට උගස් කරන්න වුනා. පස්සේ උගස බේරගන්න බැරුව කොස්ලන්ද කළු මුදලාලිට සින්න උනා. ඉතින් මං ඩොක්ටර් කෙනෙක් වුනොත් ආයේ කිසි දෙයක් කළු මුදලාලිට උගස් නොකර බෙහෙත් ගන්න පුලුවන් නේද කියලා ඒ වෙනකොට මට හිතිලයි තිබුනේ.

ඉන් පස්සේ තමයි මට ඕන උනේ අනික් අය හිනා වෙන්නේ නැති විදියට ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න. ඒත් මං දැනන් හිටියේ නැහැ ඒක කරන්නේ කොහොමද කියලා. ඒත් අට වසරෙදි මං දැන ගත්තා ටෝස්ට් මාස්ටර් ක්ලබ් එක ගැන. ඉන් පස්සේ මං ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ ටෝස්ට් මාස්ටර් ක්ලබ් එකට බැඳුනේ ඉංග්‍රීසි ඉගෙන ගන්න.. ඒකේ මුල් කාලේ කලේ මං අහගෙන හිටපු එක විතරයි.පස්සේ මං කතා කලා. අහන් හිටපු ඒවා මට පාඩම් වෙලා වගේ තිබුනා. මං හුඟක් වෙලාවට කලේ අනික් අය වගේ කතා කරන එක නෙවෙයි. අනික් අයගේ කතා අහන් ඉන්න එක. කොහොම හරි මට ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් වුනා..

ඕලෙවල් වලින් පස්සේ හොස්ටල් එකේ ඉන්න බැරි වුන නිසා හම්බුන අඩුම ගාස්තුව ගත්ත බෝඩින් හවුස් එක ලස්සන වුනේ ඉංග්‍රීසි කතා කරන ඇන්ටි නිසා. මගේ බලාපොරොත්තුවත් නිකම්ම ඉටු වෙන පාර කැපිලා තිබුනේ.. මට උදේට කෑම එකක් හම්බුනා. රෑට බෝඩින් එකේ ඇන්ටි බත් එක බෙදලා මගේ කාමරේට ගෙනත් දුන්නා. මට දරුවෙක්ට වගේ සැලකුව  නිසා මං ඒ බෝඩිමට ආස වුනා. මට තිබුනේ මගේ රෙදි ටික හෝද ගන්නයි, පාඩම් කරන්නයි විතරයි. මං ඒ ලෙවල් වලට තෝර ගෙන තිබුනෙ මැත්ස්... ඒ පහ වසරෙදි කිව්ව, අයි ලයික් ටු බි ඩොක්ටර් කිව්ව බලාපොරොත්තුවම බොරු කරමින්...

බෝඩින් ඇන්ටි, ඇන්ටි කෙනෙක් වුනාට, අක්කා කියලා කියනවටයි කැමති වුනේ.. මං එයා නැති තැන ඇන්ටි කිව්වට එයා ඉන්න තැන කිව්වේ අක්කා කියලා.

දවසක් බෝඩින් එකේ ඇන්ටි රෑ කෑම එකත් ගෙනත්, කාමරයෙන් නොයා මගේ ඔලුව අත ගන්න ගන්න කොට මට දැනුනේ මගේ අම්මා වගේ කියලා. ඒත් ඒක වෙනස් හැඟීමක් කියලා දැනෙන්න වැඩි කල් ගියේ නැත්තේ, මාත් කොල්ලෙක් නිසා.

බෝඩින් එකේ ඇන්ටිට මට වඩා වැඩිමල් දුවෙක් හිටියා. එයා හුඟ දවසට ගෙදර හිටියේ නැහැ. රැකියාවට යන නිසා ගෙදර ඉන්නවෙන් නෑනේ කියලා තමයි කිව්වේ... බෝඩින් එකේ ඇන්ටි කොච්චරවාත් මගේ කාමරේට එන්න අරන් තිබුනේ කියන එක  මට දැනෙමින් තිබුනේ, මොකද ගානක්වත් හදා ගන්න වෙලාවක් නැති වෙලාවටත් එයා ඇවිත් කියව කියව ඉන්න නිසා. කොහොම හරි ඇන්ටි ළඟින් ආව සුවඳ නිකම් මිනිස්සු දාහක් වුනත් මරන්න පුළුවන් එකක්... කවදාවත් නොවිඳපු සුවඳ මං විඳින්න ගත්තේ ටික ටික... ගණන් හැදිල්ල පැත්තකට වුනේ සමහර දවසට ඇන්ටිගේ පිච්චුන බල්බ් දාන්න, කැඩිච්ච බඩු හදන්න වුන නිසා.. මං ඒක කැමැත්තෙන් කලාද, කරන්න වුනාද කියන්නවත් මං දැන ගෙන හිටියේ නැහැ...

දවසක් ඇන්ටිගේ කකුලේ අමාරුවක් ආපු  නිසා තමයි හැමදේම වෙනස් වුනේ.... එදා තමයි මං කොල්ලෙක් ගේ සතුට මේකය කියලා දැනගත්ත දවස... ඒත් වැඩි කාලයක් ඒ සතුට තිබ්බේ නැහැ.

ඒක වුනේ යුද්ධ කාලේ හමුදාවේ තුවාල වුන සොල්දාදුවන්ට ඕන ලේ ගන්න අපේ පාසලේ තිබ්බ කෑම්ප් එකට මගේ ලේ දුන්නට පස්සේ..  රුපියල් එකසිය පනහක් එක්ක උදේ කෑම වේල හම්බුනා ලේ දන්දුන්නම. අපි ඒ නිසා අපි කැමැත්තෙන්ම එහෙම ලේ දන් දීලා තිබුනා කලිනුත්... ඒත් හැමදේම සිද්ධ වුනාට පස්සේ දීපු ලේ සාම්පල් එක නිසා දවස් දහයකට විතර පස්සේ මට එන්න කියලා තිබුනා කොළඹ ජාතික රෝහලට..

මට එස්. ටී. ඩී. ක්ලින්ක් එකට යන්න තිබ්බේ. මගේ නම අහගෙන එතන හිටපු නර්ස් ඩොක්ටර් ළඟට යන්න කිව්වා..

එදා හිටියේ ගැහැණු වෛද්‍යවරියක්.

"පුතා වාඩි වෙන්න....... නම් මොකද්ද..."

"මෙත්මල්... ජයවර්ධන.."

"මෙත්මල්ගෙ වයස කීයද.."

"ඔයා දවස් දොලහකට කලින් පාසලට ආපු ලේදන් දීමකදී ලේ දුන්නා නේද..."

"ඔව් ඩොක්ටර්"

" බය වෙන්න එපා මේ කියන කතාවෙන්. ඒ වගේම කලබල වෙන්නත් එපා. දැන් ඉස්සර වගේ නෙවෙයි වෛද්‍ය විද්‍යාව දියුණුයි...ම්ම්ම්..."

"මොකද්ද ඩොක්ටර්.."

"ඔය කලබල වෙලානේ... මෙත්මල්ට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද..."

"නැහැ ඩොක්ටර්..."

"මෙත්මල්... ඇත්තටම මේකයි කාරණේ.. අපි හැම ලේ පයින්ට් එකක්ම ගත්තම, ඒ ලේ දායක කල තැනැත්තගේ ටෙස්ට් වගයක් කරනවා.. ඒ ටෙස්ට් වල මෙත්මල්ගේ ලේ රිපොට්ස් වල එඩ්.අයි.වී. පොසිටිව්..."

"මොකක්.... ඒක වෙන්න බෑ ඩොක්ටර් "

"මෙත්මල්, අපි මුලින් කරන පරික්ෂණයෙන් පොසිටිව් ආවම, දෙවනියට කරනවා කන්ෆමේෂන් ටෙස්ට් එකක්.. ඒක කරන්නේ එච්. අයි. වී. කියලා තහවුරු කරන්න.. ඒ රිපෝට්ස් දෙකම පොසිටිව් මෙත්මල්."

මට ඒ කතාව විශ්වාස කරන්න බැරි උනා..

තත්පර කීපයකට පස්සේ මට දැනුනේ ලෝකය මගේ වටේ කැරකෙනවා වගේ.. හැමදේම කලුවර බොඳ වෙලා තිබුනා.. කලු පාටින් පෙනුන බෝඩිමේ ඇන්ටී මහ හයියෙන් හිනා වුනා.,මට...

ඔබට අවැසි වුනේ සිප ගන්න...
මට අවැසි වුනේ කියවන්න..
ඔබ හොඳ අසන්නෙක්..
මේ කටකාරිව ඉවසපු...
ඒ හුඟක් ඉස්සර...

ඒත් දැන්,
මට අවැසි සිපගන්න.
ඔබ ආස බලා හිඳින්න.
මගේ දෙනෙතේ එල්ලෙන්න.
තව හුඟක් කියවන්න..
මං දැන් හොඳ දඟකාරියෙක්.., දන්නවා...,ඔබ
මාව ඉවසනවා...

ප්‍රේමය




ප්‍රේමයම "ප්‍රේමය" වන්නේ 
හිමිකමෙන් මිස 
ලංව විසීමෙන් නොවන බව කියමි.
ලං වන්න අවැසි තැන 
ලංව ස්පර්ශයක් නොමැතිවත්
ආදරය පවතින බව දනිමි.

ආදරය හට ගත්තේ අනාරාධිතව සේම
අනායාසයෙන් බව උනුන්ට කියා දෙමි.
සම්මතයක්වත්, අසම්මතයක්වත් නොතැකුව බවද පවසමි.

රිදෙනවද කියා අසන විට
රිදිල්ලකුඳු කෙසේදැයි අසමි.
එතරම්ම ආදරය විඳිමි.
නොවිඳවමි.

වස්තු,ඔබ නොමැති වුව
ඔබ හිඳිනවා සේ දකිමි.
ඔබේ නිහඬබව ඉවසමි.
ඔබේ ආදරයම එතරම්ම බව දනිමි.

ඉතින්,
නොපහත් දේ පවසන උන් නොඅදහන මෙන් ඉල්ලමි.
ඔබේ සියල් වැඩ පසෙකලා මා ගැන නොතකනම ලෙස අණ කරමි.
සියල්ල අවහර වූ කල අපි අපේ වගම පමණක්ම දනිමි.

ඉතින් මේ ආදරය ආදරයම යැයි හඳුනමි.
මැණික.. ඔබට අවශ්‍ය ඉවසිල්ල පමණකි.
අවසානය ඔබ මගේමත්, මා ඔබේමත් පමණකි.

ලිහිණියා


සමනොලුන් යනෙන මඟ
නොතිබුනත් කටු කොහොල,
ජීවිතය නම් විසල් තරණයක..
විමසුමක් මහ සමනල් හෙළ තරණයම....

ලිහිණියෙක් පියඹලා
සමනල් ගිරි දුර්ග මුදුන මත වසා..
ඉගිල යන්නට වරම් ඉල්ලුවේ
කුරිරු දෛවයෙන් සදහටම...

මහ ගිරි දඹට තරමක් පහලදී
ලිහන්නට ඈ වෑයමක් කර
සදාතන මතකයට ඉඩහැර
පලා යන්නට ගියේ ඈ ආයෙ නොඑන්නම..

නොබිඳි කඩතුරා බැමි තවමත්ම
වරද පටවනු ඇගේ ගැහැණුකමටම.
රිදව රිදවා යලි යලිත් පුලුස්සන.
කතා කරනවා ඈට හෙල මුදුනේම.

කඳුලු මහ ගඟ කාල නදියත් පරදා
තවම ගැහැණුන් වගුරවන දිය නොනවතා
කඳුලු උල්පත් තවම පීදේ නොසිඳා
රිදි රිදී හඬන නෙතු රිදවා.

තුමුල මහ ගිරි දඹත් පරදින
කඳුලු මහ ශිඛ ගිරි හිසත් සිඹ
දැවුන හදවත, සුවෙන සැතපුන
එකම තැන ඇගේ... ලිහිනියා හෙල...

තවම කියවන ඈව අමතන,
කඳුලු අසෙනිය සැඟව ගිය තැන...
දැවුන හදවත, සුවෙන සැතපුන
එකම තැන ඇගේ... ලිහිනියා හෙල...

කෙහෙරැලි



"නිර්මා...!" 

බොස්ගේ වචන එක පාරටම මාව බය කලා.

උදේ පාන්දරම මාව දුටු බොහෝ දෙනෙක් වගේම බොස් ඉන්නේත් ශොක් වෙලා වගෙයි. මං සුපුරුදු හිනාවෙන්...

"ගුඩ් මෝනින් සර්.."

සුපුරුදු විදියටම මං ගුඩ් මෝනින් කිව්වේ කිසිම වෙනසක් නැතුව...

තත්පර කිහිපයකට පස්සේ බොස් දබරගිල්ලෙනුයි මාපටගිල්ලෙනුයි නලල පිරිමැද එතනින් ගියා..


සිදුවුන සිද්දිය වටේ ඉන්න හැමෝම බලාගෙන.. ඊටත් මං දිහා කන්න වගේ බලාගෙන කට්ටිය.   ඒකට කමක් නෑ.. මං නිදහස්.. මට දැන් තියෙන්නේ නිදහස් මනසක්... බැඳීමක් නැති ජීවිතයක තියන නිදහස තේරුම් ගන්න පුලුවන් බැඳීමක් නැති කෙනෙකුටම විතරයි...


"  නිර්මා.. ඔයා ආදරේ නොකලට ඔයාගේ කොණ්ඩෙට හුඟක් අය ආදරේ කරලා..." රශ්මි දුවගෙන ඇවිත් කිව්වේ උපහාසයට වගේ වුනාට එකී හිත හොඳ කෙල්ල. ඒකි දැනන් හිටියා මං එහෙම කලේ ඇයි කියලා. මං හිනා වුනා...

" දැන් හැමදේකටම හිනා වෙන්න එපා නිර්මා.."

"මට අඬන්න අමතක වෙලා.."  මං ආයේ හිනා වුනා...

" නිතේෂ් දැක්කා නම් සිහිය විකල් වෙයි..."

" දැන් නිතේෂ් නෑනේ රශ්මි.."

" සර් කියාවී..."

"මං හිතන් නෑ... ඒක නෙවෙයි රශ්මි මං උයන් ආවා කමුද ඉක්මන්ට.."

අපේ ඩිපාර්ට්මන්ට් එකට යන්න කලින් කලා යන එක හොඳයි කියලා හිතුනේ හැමෝම මගේ කොණ්ඩේ දැකලා වටකරගත්තොත් කන්නවත් වෙන් නැති නිසා.

"හානේ කිරි කොස්... එක්ක කරොල..."

රශ්මි එහෙම කිව්වේ කටට කෙල උනන ගමන් ..
මං ගියේ වෙනම ලෝකෙකට.

කිරිකොස් කියන්නේ නිතේෂ් කැමතිම කෑමක්.. අනික මං උයපුවා..

"ඒවා හරි කිරි රසයි නිරු.."

හැමවෙලේම ආදරේ නොකල නිතේෂ්, කෑමක් හදන් ආවම වර්ණනා නොකර හිටියේ නෑ කවමදාකවත්...

"මට ඉස්සරහට රසට කන්න පුලුවන් නිරූ.." ඔයාට රහට උයන්න පුලුවන්... එයා මං උයපුව කෑවේ පොඩි දරුවෙක් දවස් ගානක් බඩගින්න හිටියා වගේ... වෙන කෙනෙක් කාවි කියලා වගේ ඉක්මන්ට ඉක්මන්ට කනවා..

" අයියෝ හිර වෙයි ඔහොම කාලා... " මං හිනාවෙනවා එයා කන වේගේ දැකලා..

"හාල්මැස්සෝ තෙල් දාලා ගේන්නකෝ.."
මං වැඩිය ආස නැති වුනාට හාල් මැස්සෝ එයා වෙනුවෙන් හදන් ආවා...

හැමවෙලේම මගේ ගොතපු කොණ්ඩෙ ලිහලා එයා අතින් පිරිමදිනවා.. ආයේ අපි වෙන් වෙලා යනකොට ඒක ගුලියක් වෙන්න බඳින්න ඕනා. ඒක නීතියක්. ඇත්තටම එකම තහනම කොණ්ඩේ සමාජයට නිරාවරණය කිරීම. ඒත් මං ගොතාගෙන ආවා. සමහර දවසට නිකම්ම බූල් බෑන්ඩ් එකක් දාන් ආවා, පෝනි ටේල් එකක් වෙන්න.එදාට මූණ තරහෙන් රතු වෙලා.. 


නිතේෂ් කියන්නේ මං දැන ගන්න කලින් මගෙ බොස්ගේ  යාලුවෙක්. එයා මාව යාලු කර ගත්තේ ෆේස්බුක් එකෙන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාලා. පොඩියට කතා කරලා තිබුනට මං නිතේෂ්ව කවුද කියන්න දැනගෙන හිටියේ නැහැ.. මං කතා කලෙත් නැහැ වැඩිපුර ඇත්තම කියනවා නම්.. ඒත් නිතේෂ් නම් හැමවෙලේම මං එක්ක ෆ්‍රේස් බුක් එකෙන් චැට් කරන්න අරං තිබුනේ... මං පොඩියට රිප්ලයි ඇරියේ මේ කරදරකාරයව ටික දවසකින් අන්ෆ්‍රෙන්ඩ් කරනවා කියලා හිතාගෙන... ඒත් එයා එව්වේ දිග මැසේජ්..
අන්ෆ්‍රෙන්ඩ් කලාම එයා දැන ගත්තා මං එයාව අන්ෆ්‍රෙන්ඩ් කලා කියලා..

"අන් ෆ්‍රෙන්ඩ් කලා නේද.  මං ඔයාව අද බලන්න එනවා.."

එහෙම එෆ් බී මැසේජ් එකක් එවලා තිබ්බේ උදේ පාන්දර. මං එච්චර ගනන් ගත්තේ නැහැ.. වෙනදා වගේ උදේම වැඩට ගියා.. සාමාන්‍ය විදියට දහය පහු වෙනකම් වැඩ කලා. හැමෝම උදේ ටී එකට ගියාට මට යන්න බැරි වුනේ හවස බොස්ට දෙන්න ඕන වැඩක් ඉවර කරන්න තිබුන නිසා. එක පාර මගේ ටේබල් එකට ඉස්සරහ පුටුවේ ඉඳ ගත්තේ, කොල්ලෙක්.. මුලින් අඳුන ගන්න බැරි වුනත් මං හැඳිනුවා කවුද කියලා. මගේ ඇඟ ඇතුලේ කෙටුවේ මහ විදුලියක්.. ඒක මෙගා වොට් දාහ දාහත් පන්නන්න ඇති. ඒක එයා දැක්කා.. මං හිටියේ කතා කර ගන්න බැරුව.. ඇත්තටම මං කතා කරන්න ඕනා මොනවද කියලා දැනන් හිටියේත් නැහැ .


"අයැම් නිතේෂ් සමරසිංහ..." එයා කිවේ අත් දික්කරන ගමන්, මං හිටියේ වතුරෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ...

"හිතුවේ නෑ නේද මං ඒවී කියලා.. ඔයා නොදැන හිටියට මං ඔයාව දැනගෙන හිටියා..."
මං හිටපු තත්වේ දැනගෙන නිතේෂ්ම එතනින් ගියා... එයා ගිහින් විනාඩි කිහිපයක් ගතවුනා මං යථා තත්වෙට එන්න...

" මොකද හීනෙන් බය වෙලා වගේ..." එහා සීට් එකේ මේඛලා ඇවිත් ඇහුවමයි මං පියවි සිහියට ආවේ...

කොල්ලෙක්ට පුලුවන්ද කෙල්ලෙක්ව මේ තරම් අසිහියට පත් කරන්න...

"මං ටී එක අරන් එන්නම්.." මං එතනින් ගියේ ටී එක බොන්නම විතරක් නෙවෙයි. නිතේෂ් කොහෙද ගියේ කියලා හොයන්න..

මං එලියේ විසිටින් ඒරියා එකේ බැලුවත් නිතේෂ් හිටියේ නැහැ. මං හීනයක් දැක්කද කියලත් මට අවිශ්වාසෙකින් හිටියේ.. ඉන් පස්සෙ මං හවස ප්‍රසන්ටේෂන් එක රෙඩි කලා. පොඩ්ඩක්වත් ප්‍රැක්ටිස් වෙන්න වෙලා තිබුනෙත් නෑ..

"තුනට මීටින් එක.."  මේඛලා එහෙම කියාගෙන ආවේ සර්ගේ රූම් එකට ගිහින් දෙකහමාරට විතර ඇති.

ඒක අපේ අලුත් ප්‍රොජෙක්ට් එකේ ප්‍රපෝසල් එක.

කොන්ෆරන්ස් රූම් එකේ හිටියේ බොස් එක්ක, නිතේෂ් , මාව ටිකකට ආයෙත් විදුලි සැර කිහිපයකට අහු වුනා.. කරන්න දෙයක් තිබ්බේ නැහැ. අම්මව මතක් කරන් මං ප්‍රසන්ටේෂන් එක කලා. මට අසරණ වල හැමවෙලේම අම්ම මට උදව් කලා වගේම මං අසරණ වෙන හැමවෙලේම මං අම්මව මතක් කරන් හැමදේම සාර්ථකව කලා.

මාකටින්  ඩිපාර්ට්මන්ට් එකෙන් කරපු හොඳම ප්‍රසන්ටේෂන් එක ඒක තමයි කියලා බොස් මට තෑන්ක්ස් කලා.

"නිර්මා... මේ නිතේෂ් මගේ යාළුවෙක්.. එයා තමයි මේ ප්‍රොජෙක්ට් එක හැන්ඩ්ල් කරන්නේ වෙලෝස් කම්පැණි එකේ.."

මං ආයෙම තුන්වෙනි වතාවටත් විදුලි කුණාටුවකට අහුවුනා.

නිතේෂ් ආදරේ කිව්වේ අපේ ප්‍රොජෙක්ට් එකෙන් අපි සක්සස් වෙච්ච දවසේ.. ඒ කියන්නේ අපි වැඩිම ලාභයක් ඉපයපු දවසේ... ඔන්ලයින් මාකටින් වලට යමු කියන ප්‍රොපොසල් එක මමයි නොහිතපු වෙලාවක අපේ බිස්නස් ඩවුන් වෙලා තියන වෙලාවක ගෙනාවේ.. නිතේෂ් බිස්නස් වැඩ කලාට අයි.ටී. ගැනත් දන්නවා කිව්ව නිසා, එයා එක රැයින් වෙබ් පිටුවක් හදලා තිබුනේ මාව පුදුම කරන්න.. අපි සෝෂල් මීඩියා වලට දාල වෙබ් එක ලෝන්ච් කලේ ඩිස්කවුන්ට් වලින්. මුල්ම විසි පහට ඩිස්කවුන්ට් දෙනවා කිව්වම මුලින්ම දහස පන්නලා අපේ රේටින් තිබ්බා...
එයා පස්සේ කිව්වේ මගේ ප්‍රොපොසල් එක එයා කලින්ම දැක්ක නිසා ටික ටික වෙබ් එක ඩිවලොප් කරන් ආවා කියලා..


මගේ ආදරේ ගලාගෙන යන අතරෙයි මට මගේ කියලා හිටිය එකම කෙනා වුන අම්ම පිලිකාවකින් දුක් විඳිනවා කියලා දැන ගත්තේ.. මං අම්මව බලාගන්න ඔන නිසා ගෙදර නැවතුනේ කාටවත් නොකියා.. හුඟක් දවසට මං හිටියේ මහරගම පිලිකා රෝහලේ..
මගේ අම්මා නැතුව මං ජීවත් වෙන්නෙ කොහොමද කියලා මං දැනන් හිටියේ නැහැ. මගෙ අම්මට කීමෝ දෙන්න පටන් ගත්තට පස්සේ හුඟක් ලස්සනට හිටපු අම්මා මැලවුනා. කොණ්ඩේ ගියා. මගේ අත් දෙක අල්ලන් අම්මා ඇඬුවේ කිසිදෙයක් කියාගන්න බැරුව.. මටත් කියන්න කියලා වචන හොයාගන්න බැරි වුනා. ඔක්කොම පපුවේ හිරවෙලා තිබ්බා...

අම්මාට තව දුරටත් කරන්න දෙයක් නෑ පුතේ.. අම්මව ගෙදර එක්ක යන්න කියලා ලොකු දොස්තර කිව්ව දවසේ මගේ හැමදේම කඩාගෙන වැටුනා.. අම්මට කිසි දෙයක් නොකියා අම්මට දැන් හොඳයි කියලා බිම බලාගෙන අම්මගෙ බඩු පැක් කලේ කඳුලු හංග ගන්න ගමන්... මට උදව් කරන්න කියලා කවුරුත් හිටියේ නැහැ..

නිතේෂ් කියල කෙනෙක් මට මතක තිබුනේ නැහැ.. එයා මට කෝල් කලත් මං උත්තර දුන් නෑ කිසිමදේකට. හැමදේම වුනේ මාස දෙකක් වගේ කාලයක් ඇතුලත.. 

ගෙදර ඇවිත් හුඟ දවසට කලේ අම්මා කණ්නාඩියෙන් මූණ බලන් අඬන එක. මට අම්ම වෙනුවෙන් කරන්නෙ මොනවද කියලා තේරුම් ගන්න ශක්තියක් තිබුනේ නැහැ.. අම්මා කෙස් ගස් කිහිපයක් ඉතිරි වුන තට්ට හිස අල්ලන් අන්තිම කාලේ මගෙ අතින් සුප් බිව්වා. මට අදටත් මතක් කරගන්න පුලුවන් එච්චරයි.


ඉන් පස්සේ හැමදේම නැති වුනා. මේඛලා මාව බලන්න අනුරාධපුරේ ආවේ ඒ අතර. සර් ආයේ මට ජොබ් එකට එන්න කියලා කෝල් කලා. කරන්න දෙයක් මට නොතිබුන නිසා මං ආයේ ජොබ් එකට ගියා. හැමදේම අලුතින් පටන් ගන්න ඕන උනා. අපේ ප්‍රොජෙක්ට් එක වෙන කෙනෙක් නිතේෂ් එක්ක හැන්ඩ්ල් කලා. මං එක්ක නිතේෂ් කතා කරන්න හැදුවත්  කලින් හිටිය නිර්මා හුඟක් නිශ්ශබ්ද චරිතයකට වෙනස් වෙලා තිබුනා.. නිතේෂ්ට ආදරේ කලත් මං මට ආදරේ නොකරන තත්වෙට පත් වෙලා තිබුනේ.. හැමදේම හැදෙන්න කාලයක් ගියා..

"නිරු.. මට සමා වෙන්න. මං හිතුවේ නැහැ මෙහෙම දෙයක්.. මං හිතුවේ ඔයා මාව දාල ගියා කියලා.."

"අනේ නිරූ කතා කරන්නකෝ.."

"මොනවා කතා කරන්නද නිතේෂ්...."

ආදරේ මගේ හිතේ තිබුනත් ඒකට මං බය වුනා. මං හැමවෙලේම හැමෝගෙන්ම ඈත් වෙලා ඉන්න උත්සහ කලා.

අන්තිමට නිතේෂ් මගෙන් ගියා. කොල්ලෙක්ට උනත් කෙල්ලෙක් හැමදාම ප්‍රතික්ෂේප කරනකොට ඉන්න පුලුවන්කමක් නැහැ කියලා මං දැනන් හිටියට මට ඒ ගැන හිතන්න පුලුවන්කමක් තිබ්බේ නැහැ.

" නිර්මා... කලා ඉවර නම් යමු..."

කෑම එකත් ඉවර වෙලා තිබුනා. මං හිටියේ අත ගගා.. හැමදාම වගේ දුක පිරිලා තිබුනත් මං නිසා හෙට අනිද්දා වෙනකොට කවුරුහරි 
කාගේ හරි හිතට සතුටක් ගෙනේවි කියලා හිතුනා.

තේ නෙලන්නී



නොපිපුන මල් පොහොට්ටු අතර
පරව මිලිනව ගිය කලෙක රෝස මල
රුදුරු විස කටු ඇනි ඇනී ලේ ගැලින
තවම නොමියව පණ ගැහි හීල්ලෙන

අපා දුක් මැද සිනා මල් කැන්දුව
කපා වෙන් කල හදවතකි රිදුනම
දවා වක් වුන සිහින යායේ සමුදුර
සිනාවක් පුද කඳුලු සඟවා හිඳී නිහඬව

අවදිව හිරුටත් කලියෙනුත් හැමදාම,
නොමඳව කඩිසර වැඩපලෙහි ඉඳුරාම,
කහටට සීනි උගුරක් බී අරඹාන,
දහිරිය අරගන්නේ කුසගිනි හන්දාය.

වත්තට අරුණෝදේ වේලාසන කැන්දා
තේ දළු කඩා මස් නැති පිට මත රන්දා
පා පොඩි තබා වත්තේ, සටහන් කැන්දා
රෑ වනතුරුම පා රිදුනත් දළු හින්දා

කිලෝ මීටර ගව් ගණන් ඇවිදා
තේ ගෝනි හැමදාම පිට මතම පටවා
සොච්චමක් ගැන ඇඟිලි ගැනලා
පා රිදුම්, පිට රිදුම් තෙල් වලින් හින්දා

තේ කහට පා දත් කැකුලු පාලා 
බුලත් විටකට පමණක් සතුට දීලා
කඳුළු සුසුම් දා දියෙන් හරවා
කුස පුරවන්න සුපිරින්ටන්ටත් වැන්දා

සිත නිවාලන තැනෙකි තේ වත්ත.
හරිත යායම නොනැවතී වේ දිස්න.
සිසාර යමින් දළු සොයා කර සුද්ද.
සුපිරින්ටන් පඹයා වත්තේ හරි මැද්ද.

තේ කහට පාටිනුයි ලේ බිංදු තිවුනේ.
වේලිලයි හීන තරුණකම යැද්දේ.
සීතලයි හුඟක් රෑ තිස්සේ මැද්දේ.
ඇහැරිලයි හුඟක් රෑ ගණන් ගෙව්වේ

නොපිපුන කුසුමන් පොහොට්ටු මැද
පරව මිලිනව ගිය කලෙක රෝස මල
රුදුරු විස කටු ඇනි ඇනී ලේ ගැලින
තවම නොමියව පණ ගැහි හීල්ලෙන

වලාකුලු ☁



මගේ ඇස් තිබුනේ මොහොතකට නිල් වලාකුලු වල එල්ලිලා. හරියටම කියනවා නම් මගේ උපැස් යුවල වලාකුලු බොඳ නොවී බලන්න මට උදව් කලා. ලා පැහැති නිල, ධවල පැහැති වලාකුලු එක්කලා හරියට තරඟෙක යෙදිලා වගේ මං බලා ඉද්දි මාව පහු කරලා ගියා.  ඔෆිස් එක ඇතුලේ සීතල නිසා මට ජනේල් පියන්පත් හැරලා ඒ සුන්දරත්වය විඳ ගන්න බැහැ. තට්ටු දහයක් උඩ හිටියත් වලාකුලු හිටියේ මට වඩා හුඟක් දුරින්. ඊටත් මගේ ඇතුලෙන් මහ කියගන්න බැරි දෙයක් හිර වෙලා වගේ හැඟීමක් තිබුනේ. ඒ නිසා කිසිම දෙයක් විඳින්න හැකියාවක් තිබුනේ නැහැ. හිස්කමක් වගේ දැනෙන්නේ.


ආයේ මං මගෙ ඇස් මගෙ ඉදිරිපිට තියන පරිගණක තිරයට දිවෙව්වා. අද සෙනසුරාදා නිසා වැඩි වැඩක් නෑ. සමහර විට දවල් වෙද්දි ෆෝල්ට් එන්න ගනීවී. මං කම්මැලිකම යන්න අලුත් වෙබ් පිටුවක් ඕපන් කරලා, ඩිඇක්ටිවේට් කරපු ෆේස්බුක් ප්‍රොෆයිල් එක ඇක්ටිව් කර ගත්තා.


පුරුද්දට එෆ්බී සර්ච් බාර් එකේ වලාකුලු කියලා ටයිප් කලා.ඇත්තටම මං හිතලා එහෙම ටයිප් කලේ නැහැ. ඒක ඉබේම වගේ පුරුද්දට ටයිප් වෙලා තිබුනා. වලාකුලු අලුත් ප්‍රොෆයිල් පින්තූරයක් දාලා. එකේ හිටියේ ලා අහස් නිල් ඇඳුමක් ඇඳන් ඒ හිනාව මවාගෙන, ඔලුව යන්තම් වම් පැත්තට බර කරන්, ටොප් එකේ පොකට් දෙකට අත් දෙක ඔබාගෙන. මහ දඟ පෙනුමකින්, වලාකුලුගේ ප්‍රොෆයිල් එක ඕපන් කරගෙන මං වෝල් එක දිගේ පහලට ගියා. සිංහල කවි එක්ක ඉංග්‍රීසි කවිත් ලියලා. ඉස්සර නම් ලිව්වේ සිංහලම විතරයි, මට තේරුම් ගන්න බැහැ කිසි දෙයක්..


එයා හිම ගැන කවි වගයක් ලියලා තිබුනා. ඒ කවි එක්ක හිම ගොඩේ ඉන්න එයාව මට දැක ගන්න පුලුවන් වුන. .


" හිම පියලි, වලාකුලු අතහරින
ආදරණීය පෙම්වතියක්...
උණුසුම ඉතිරිකර සීතලම උරන්
මිහිකතට වඩින....


මම වලාකුලු බව සැබැවි.
නමුත් නුඹ පොළව නොවේමයි.
සසල සිතැති නුඹ 
එසේ නම් ජපන් පොළවක්..


වසරකට භූමි කම්පා 
සියයකටත් වඩා ඇති කරන
ජපන් පොළවක්,
එසේ නැත්තම් අහසක්ද.. "



ඇත්තටම මෙහෙ ඉන්නවට වඩා වලාකුලු ලස්සන වෙලා තිබුනා. සුදු වෙලා, මහත් වෙලා. හුරුබුහුටි දඟ පෙනුමක් ඇවිත්. එයා අප්ලෝඩ් කරපු ෆොටෝස් බලන්න ගත්තා. සුද්දො එක්ක , සුද්දියො එක්ක ඉන්න ෆොටෝස් තිබ්බා. තව ලංකාවේ පෙනුමක් තියන කොල්ලෙකුත් ඒ අස්සේ හිටියා.. මාව එක පාර ගිනි උඳුනකට වැටුනේ ඒ අස්සේ.. මං ඉක්මන්ට ෆොටො එකේ ටැග් වෙච්ච අය බැලුවා. අයුෂ් මෙහෙතා.. එහෙනම්, ඉන්දියන්කාරයෙක්.. මට ඉරිසියාවක් ආවේ ඒ යකා වලාකුලුව බදාගෙන හිටපු විදියට. ඒක ෆොටො එකට ෆෝකස්වෙන්න හිටපු විදිය වුනාට මට තරහා ගියා.


මං නිකමට මැසේජ් බොක්ස් එක ඔන් කලේ වලාකුලු අන්තිමට අවේලබල් ඉඳලා තියෙන්නේ කීයටද බලන්න.


ටූ මිනිට්ස් අගෝ...


වලාකුලු දැනටමත් ඔන්ලයින්.


විදුලියක් කොටට එක පාර නුවර අහසක් මැවුනේ, නොකියම චුරු චුරුවක් ඇරඹුණා. මට දැනුනා මගේ වටේ සමනල්ලු පියාඹනවා. කුරුලු ජෝඩු කිචි බිචි ගානව, පියාපතකින් තමන්ගෙ පෙම්වතියව වසාගෙන, කුරුලු හොට පෙම්වතියගේ කුරුලු හොට මත තියාගෙන කුරුලු ජෝඩු ආදරය කරනව, හැමතැනම ඇහැල මල් වැටෙනවා......


" වලා,,,,"


ඒක ඩිලිවර් උනා...


මං එක ටයිප් කලා නෙවෙයි.මං එහෙම කරලා තිබුනා ඒ වෙනකොටත්... මං බලන් හිටියේ ඒක සීන් වෙනකම්.


තත්පර දෙක තුනක් ගත වුනා. ඒක මට දැනුනේ කල්පයක් වගේ.. විනාඩි දෙකක් බලන් හිටියා., සීන් වුනේ නැහැ. මං ෆේස් බුක් පිටුව මිනිමයිස් කරලා ඔෆිස් එකේ මේන් ඔපරේටින් වෙබ් පිටුවට ගියා,  ඒකේ මොනිටරින් වැටිල තිබ්බා. කිසිම ෆෝල්ට් එකක මැසේජ් එකක් ඇවිත් තිබ්බෙත් නැහැ.



ආයේ විනාඩි පහකින් විතර ආයේ ෆේස්බුක් ගිහින් මැසේජ් එක සීන්ද බැලුවා. සීන් වෙලා තිබුනා. ඒත් රිප්ලයි එකක් තිබ්බේ නෑ. ඒ වගේම වලාකුලු මාව බ්ලොක් කරලා කියලා පෙන්නුවා.


ඒක හරියට මං වලාකුලුට ඉස්සර කලා වගේ.
වැඩ කරන ගැහැණු කෙනා නෙස්කැෆේ එකක් ගෙනත් දුන්නා..ඒක බොන්නවත් පිරියක් තිබුනේ නැහැ.. මං ෆේස් බුක් පිටුවෙන් අයින් වෙලා ආයේ අහසේ වලාකුලු දිහා බලන්න ගත්තා.


වසන්තය



මලින් මල පිපෙන , 
කුරුලු ගී ගයන, 
සුපෙම් සිත් නිවෙන 
සමය නම් වසන්තය...

නමුදු සුපෙම්වත....,,,

නුඹෙ සිනා මැවෙන, 
සුවඳ නුඹෙ දැනෙන,
ම'සිත පොබයන, 
සමය මට වසන්තය...


නාඩගමේ මං

ගීතයක් හෝ කවියක් හෝ කතාන්දරයක් හෝ වේවා, අනර්ඝ වීමට නම් අපුරූ වචන හරඹයක් තිබීම මගින් සහෘදයින් උපරිම වින්දනයට පත් කල හැක. එයිනුත් ගීතයක් වූ කලී වචන සීමා සහිත ප්‍රමාණයකින් කරන්නා වු මනරම් නිමැවුමකි.  එය සහෘදයින් පින වීමට මනරම් රිද්මයක්,මනරම් හඬකින් සම්මිශ්‍රව පැවතීමෙන් අත්‍යන්තයෙන් ඔබ්බටත් සහෘදයන් රැගෙන යාමකි.
නුමුත් මේ කිසිවකුඳු නැතිව,  චිත්තරූප මැවීමට තරම් ගීතයේ පද පෙළ අපූරු නම් ගීතය කෙතරම් විශ්මයජනක වේදැයි ඔබටද සිතා ගත නොහැක.

එවැනිම අපූරුතම මෙන්ම වෙනස් ගීතයකි, "නාඩගම් ගීය", නැතිනම් "හෙට නාඩගමේ මං..." ගීතය...

නැවත වතාවක් එනම්, "කුවේණියේ" ගීතයට පසු, රිද්ම වීරවර්ධනයන්ගේ හඬින්, චන්ද්‍රසේන තලංගමයන්ගේ අපූරු විශ්මාන්විත පද රචනයෙන් හා චරිත් අට්ටලගේ යන්ගේ, තනු නිර්මාණයෙන් නිර්මාණය වී සිංහල කලාවට දායාද වූ දුර්ලභ ගණයේ ගීතයකි. එය..

සාමාන්‍යයෙන් මෙන්ම කාලීනම පදපෙලකට හසු නොවන අපුරූ සිදුවීමක් පිළිබඳ පරිකල්පනාවකට තලංගමයන් හසුවේ..
සංගීත නිර්මාණයද නාට්‍යක හුරුකම් සහිත මූලික අඩිතාලම දමමින් අමුතුම හැඩයක් ගීතයට ලබා දීමට තනු නිර්මාණකරුද අතිශය සාධාරණත්වයක් ඉටු කිරීමට නොපසුබට වී ඇත.

එය රචනා කරන්නේ අනාගතයේදී සිදුවන සිද්ධියක් විලසින් කතා නායකයා, එනම් හෙට පෙන්වන නාට්‍යයේ නලුවාගේ චරිතය විදහාලීමකින්‍ ය. එමෙන්ම අතිශය සොම්නසින් කතා නායකයා කියන්නේ, තමාගේ ප්‍රෞඩත්වයයි. එමෙන්ම ඉතාම විශ්වාසශීලිව නාට්‍ය නරඹන්න පැමිණෙන කාන්තාවන් තමාට වහ වැටෙන බවද නොසඟවා කිසිඳු අපහසුවකින් හෝ කුකුසකින් තොරව පවසයි.

"මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරු නම්."

එලෙසින්ම නාට්‍යයේ තමා හෙට දින රඟන අයුරු පිළිබඳව චිත්ත රූප මවමින්, පියවරක් පියවරක් පාසා කිසිඳු අපහසුවකින් තොරව වාග් කෝෂයේ වදන් යුහු සුලුව භාවිතා කර ඉදිරිපත් කර ඇති අපූර්වත්වයද විද්‍යාමන වේ.

"දමා කඩුක්කන්, ඔටුණු නළල් පටි,
කඩුව කරකවා සබයට එන හැටි..
"

මෙලෙස පබැඳි වචනයක් වචනයක් පාසා රජුගේ පෞරුෂය ,පෞඩත්වය විදහාමාන වේ, රජු පළඳින ආභරණ, පිළිබඳව ඉතා සංක්ෂිප්ත අර්ථයක් ලබා දීමෙන් ගීතයට ආභරණයක් එක්කර ඇත.

නැවත වතාවක් මේ නාට්‍යයේ තමාගේ ඉදිරිපත් කිරීම නිසා අඟනුන් ආදරේ කරන අන්දම, කිසිඳු අවිශ්වාසෙකින් තොරව තමගේ රංගනය පිළිබඳවද විශ්වාසයෙන් පවසයි.

නමුත් අවසාන පද්‍ය පේලියේ දක්වන,
"පවර අජාසත් නිරිඳුන් මම වෙමි
පියා නසා රජකම අරගන්නෙමි.
" යන පැදිපෙලෙන්, ගීතයේ ප්‍රෞඩත්වයට හානි වී යැයි කුකුසක් හට ගනී. එනම් පියා මරා නිරිඳුන් වීම අනුමත කල නොහැකි සිදුවීමක් නමුදු, එය ලෙහෙසියෙන්, කිසිඳු අපහසුවකින් තොරව,එමෙන්ම සොම්නසෙන්ද පවසයි.

එසේ සිදුවීමෙන්
"මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරු නම්" යන්න සිදු වීම සිදු වේ යැයිද,කුකුසකි.


නමුදු, ගීතයක් ලෙසින්, එය අපුරූ පරිකල්පනාවක් මෙන්ම, ගී රචනයකි.


හෙට නාඬගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්,
මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරු නම්.
හෙට නාඬගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන්,
මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ලා බොරු නම්.

දමා කඩුක්කන්, ඔටුණු නළල් පටි,
කඩුව කරකවා සබයට එන හැටි..
බලා හිඳින අඟනුන් සත්තයි ආලේ බඳී රහසින්.
බලා හිඳින අඟනුන් ආලේ බඳී රහසින්.

පවර අජාසත් නිරිඳුන් මම වෙමි
පියා නසා රජ කම අරගන්නෙමි.
කියා එද්දි අද මං සත්තයි, ආලේ බඳී අඟනුන්..
කියා එද්දි අද මං, ආලේ බඳී අඟනුන්..

ගීතය මෙතනින්.. https://youtu.be/zv2SiwkJTAw

ආදරයට ආදරෙන්




ඈත දුරින් අකුණු හඬක් ඇහුන ගමන් තුරුලු වෙන්න.
හිරිකඩ සීතල එනකොට උණුහුම් කර ළඟින් ඉන්න.
ආදරේ තව හුඟක් වෙන්න සීතල නුඹටම දැනෙන්න.
මැණික නුඹම මා ගාවීන් එපා ඉතින් ඈත් වෙන්න.

රාත්‍රියම නිරුවත් කල, බිනර හඳට එලි මැවිච්ච.
තනිකම දුරැරා ළඟ උන් තරු මල් ඇත තව පිපිච්ච.
සලුව උනපු හඳ එලියෙන් ඔබෙ ලස්සන දැක මැවිච්ච.
මගෙ කඳුලු වල උණු තෙත ඔබේ හදෙ ඇත තෙමිච්ච.

වාං දමන වැව් තාවුලු පිරි ඉතිරිවා දමන්න.
වැව් පතුලෙ සෙනෙහෙ තියා වැවක් වෙලා පිරි ඉන්න.
හුඟක් වෙලා ළඟින් ඉන්න රෑ යම තව තව තියෙන්න.
හීන් සිරුවට මගෙ ළඟ සෙනෙහෙ තබා තුරුල් වෙන්න.


එන්න අපි තනි වෙන්න.




හිම වැටෙන දිගු රැයක උණුසුමක් මට                    දෙන්න.
ගිනි උඳුන ළඟ ඉඳන් උණු කෝපී හුඟ                   බොන්න.
තනිකමක් නොදැනෙන්න තුරුලු වී                හිනැහෙන්න.
ආදරේ ගැන කියා එන්න මා සිප                                ගන්න.

අඩ හඳක්වත් ඇතිය අපිට එලි                             විහිදන්න.
තරු මලින් හැඩ වෙච්ච රෑ අහස යට                        ඉන්න.
ලස්සනම දවස් තව ඉදිරියේ අත                                වනන.
යමු හනික අප දෙදෙනා දෑතැඟිලි බැඳ                      ගන්න.

කඳුලු පිරි දවස් අපි ගෙව්වෙ හරි                         එකමුතුව.
දුකක් නොලබා සොඳුර සිනහ වෙන්නේ            කොහොම.
පසුකරපු දවස් වුව සුභ පැතුවේ අපෙ                      පෙමට.
කවුරු වුව පුදුමෙකින් නොබලනු                    කෙලෙසින්ද.

සංසාර සාගරේ නෞකාව නුඹ                                 වෙන්න.
මට හුඟක් ඉඩ දෙන්න ඔබේ ළඟ තනි                   වෙන්න.
හිම කඳුත්, කුණාටුද , මහ වැසිද                           තිබුනේද.
දුරැර ඒ බාධා එන්න අපි තනි                                   වෙන්න.



කඳුලු




කඳු මුදුන්, 
ගිරි දුර්ග
මැද නිසල 
තැනිතලා.........

ඒ තැනිතලාවෙක
නුඹ නැතිව 
මං පාළුවෙන.....

මැණික දැන් බෝ කලක්ය...

කඳු මුඳුන් හැර දමා,,
ගිරි දුර්ග මත හෙලා
පහත් බිම් තෙම තෙමා

අයිස් වී සීතව
හුඟ කල් නිදන්ව
හුන් මගෙ කඳුළු කැට

ගලන්නේ දැන්‍ ය..
නුඹම සොයානය...

මගෙ මැණික 
නුඹ විනෝදෙන් 
ගිලෙන්නේ එහිය..


අභව්‍ය නොවෙම්



මලක් වුව පිපෙන
පරවෙන නියමයක් ඇත්තේද...

ගසක් වුව අතු බෙදී කොල හැලී, 
වෙනස් වෙන නියමයක වන්නේද...

ගගන වුව නිල් වලා විසිරුවා 
අලු මැදින් ගිනි විදා හඬන්නේද.....

අභව්‍යයි සොඳුර නිසලතාවය.  
ඉදින් ඒකයි මගෙත් මේ සසලතාවය...


විජය- මානෙල්




විජය කුමාරතුංගගේ ගඟ අද්දර ගීතය වේදිකාවේ තරු තෝරන තරඟයක අලුත් ගායකයෙක් ගයනවා. සුනීතා ඒ ගායකයගේ නම දන්නේ නැති වුනාට, විජයව මතක් වුනා..

"විජය..."
ඒ කාලේ විජය, ඒ කියන්නේ සුනීතා හොඳින්ම දන්න, ඇසුරු කරපු විජය කියන්නේ, විජය කුමාරතුංග වගේම කඩවසම් පිරිමියෙක් තමයි...  ඒත් ගායකයෙක්වත් නළුවෙක්වත් නෙවෙයි.. ලංකාවේ මාලනී-විජය වගේ, කැම්පස් එකේ නම ඈඳිලා තිබුනේ විජය-මානෙල් කියලා.. මානෙල් ආවේ කොළඹ හතෙන් උසස් පාන්තික සමජයෙන් වුනාට, ශිෂ්‍ය ව්‍යාපාර වැඩ වලට ක්‍රියාකාරීව වැඩ කරපු කෙල්ලෙක්. ඒ කියන්නේ පීඩිත පන්තිය වෙනුවෙන් හඬ නගපු කෙල්ලෙක්. විජය වේදීකාවේ කෑගැහුවේ නැති වුනාට, මානෙල් කෑගැහුවා.
ඒ වගේම පෙලපාලි ගියා, විජය එක්ක. විජය වේදිකාවේ නිශ්ශබ්ද චරිතයක් වුනාට හුඟක් ශිෂ්‍ය ක්‍රියාකාරී වැඩ කලා.

විජයගේ යාලුව ඒ කියන්නේ මැල්කම් මැරුනේ පොලිසියෙන් අරන් ගිහිල්ලා වද දීලා. ඒ මිනිය බලන්න විජයලා ගිහින් තිබුනා. සමහර ගැහැණු ළමයි එතන කලන්තේ දාලාත් වැටිලා තිබුනා. මානෙල් විතරයිලු කිසිම ප්‍රතිචාරයක් නොදක්වා උදාසීනව මැල්කම්ව බලපු එකම ගැහැණු ළමයා කියලා කැම්පස් එකේ හැමෝම කතා වුණා. මැල්කම්ගේ රහස්‍යතැන රෝම පිලිස්සීලා කියලා දැකලා තිබුනෙත් ගැහැණු ළමයෙකුට මානෙල් විතරයි. දණහිසේ ඉඳන් කකුල් වල උඩට වෙන්න කුණු රතු පැල්ලම් හුඟක් තිබුනා කියලත් කැම්පස් එකේ ගැහැණු ළමයිට කිව්වේ මානෙල්ම තමයි. ඒත් මැල්කම් ගැන පිරිමි ළමයි කිසිදෙයක් කතා කලේ නැහැ ඒ දෙයින් පස්සේ.. හැමෝම හිටියේ බයවෙලා. මැල්කම් තමයි කැම්පස් එකේ විජයටත් වඩා ප්‍රසිද්ධ චරිතය. කොහොම හරි මැල්කම් මැරුනට පස්සේ මානෙල් ගෙදර නැවතුනා.

විජය තමාරා එක්ක සම්බන්ධයක් පටන් ගත්තා.. තමාරා එක්ක විජය හැමතැනම ඇවිද්දා.

මානෙල් ආවේ විභාගයට විතරයි. ඒකත් උදේම තාත්තා එක්ක කාර් එකෙන්. සමහරු නම් කිව්වා, විභාගයට එන්න මානෙල් නැවතිලා හිටියේ සුවිස් එකේ කියලා. විජය වැව රවුමේ තමාරා එක්ක ඇවිදිද්දි, මානෙල් දැකලා තිබුනා. තුන් අවුරුදු උපාධිය අවුරුදු හයකින් මානෙල්, සුනීතා එක්ක තව සමහර ශිෂ්‍යයන්ට පිරිසක් ලබාගත්තා.  විජය, උපාධිය ගත්තේ නැහැ. මොකද ඒ වෙනකොට ඈත ඉස්කෝලෙකට ගුරු පත් වීමක් හම්බෙලා විජය ඒකට ගියා කියලා හැමතැනම ආරංචි වෙලා තිබුනේ..

"හරියට දුයිශේන් වගේ ඇති" කියලා සමහර කෙල්ලො විහිලු කලා..

සුනීතට උපාධි ගුරු පත්වීම හම්බුනේ උපාධිය අරන් අවුරුදු දහයකට පස්සේ.. සුනීතා මාතලේ සංඝමිත්තෙට යද්දි මෙන්න විජය ඉන්නව...
************************************

" අත්තම්මේ අත්තම්මේ," පුංචි දුවගේ කොලු පැටියා ඇවිත් සුනීතගේ අතේ එල්ලුනා.  පරිකල්පනය බිඳ වැටුනේ, විජය මානෙල්, තමාරා, මැල්කම්ව පොළවට සමතලා කරමින්.

"මාව නිදි කරවන්නකෝ." පොඩි එකා කොට්ටෙ අරන් ආවේ සුනීතා ළඟට.

***************************************

ඒ කාලේ නිද ගන්න බැහැ. දැන් වගේ නිදහසේ. එක්කො පොලීසියෙන් එනවා, නැත්තම් වෙඩි හඬවල් ඇහෙනවා.. හැමෝම කාමරයකට වෙලා ගුලිවෙලා හිටියේ. ලයිට් එකක්වත් නොදා, බයේ ගැහි ගැහි. එතකොට කැම්පස් ජීවිතය ඉවර වෙලා තිබුනේ. රැකියාවකට යන්න බැහැ. කෑමක් හොයන්න තිබ්බෙ නෑ. පොතට පාන් බාගයක් සමුපකාරයෙන් අරන් ඇවිත් පොල් එක්ක කෑවේ.. වෙලාවට වත්තේ  පොල් ගස් හුඟක් තිබුනේ...

ඒවා මතක් වෙද්දී වතුරෙ ගිල්ලපු රබර් බෝලයක් වගේ අකමැති රූප මතකෙට එනවා.. ටයර් එක්ක රෑ පුච්චපු මිනී, කම්බිවල එල්ලලා තියපු පුච්චපු මිනී, උදේ පාන්දර කොහේ හරි යන්න පාරට බැස්සම කොණ්ඩේ පිච්චෙනකොට එන ගන්දය දුර තියාම  එනවා.එතකොට හැමෝම දන්නවා රෑ වෙච්ච දේවල්.. බයෙන් බයේ ඒ පැත්තට යන්නේ තමන් දන්න කෙනෙක්ක්ද කියලා හිත හිත...

****************************************
පොඩි එකාව නිදි කරලා සුනීතා ආයේ ටීවි එක ඉස්සරහින් වාඩි වුනා. ඒ වෙනකොට ජෝතිපාලගේ සිංදුවක් තරු තෝරන තරඟෙකින් ආපු අලුත් ළමයෙක් ගැයුවේ.

සුනීතලා ජෝතිපාලගේ සංගීත සංදර්ශන  වලට ගියේ ඒ කාලේ ගෙදරට හොරෙන්.

සුනීතා පලවෙනි වතාවට සංගීත සංදර්ශනයකට මානෙල්,  විජය, තව පිරිමි ළමයි කිහිපදෙනෙක් එක්ක ගියේ.  එදා තමයි මානෙල් විජය එක්ක යාලු වෙලා කියලා සුනීතලා දැන ගත්තේ..

*****************************************
විජය මාතලේ සංඝමිත්තෙට නැතුවම බැරි ගුරුවරයෙක් වෙලා හිටියේ සුනීතා යද්දී.

" සුනීතට මාව මතකද..."
විජයමයි සුනීතව හඳුනගෙන ආපු ගමන් කත කලේ. සුනීතට මුලින් හඳුන ගන්න බැරි වුනේ විජය හොඳටම කළුවෙලා තිබුන නිසා. අනික කැම්පස් කාලේ තිබ්බ කොණ්ඩේ කොටටම කපලා රැවුලත් කපලා හිටියේ..

" මොකද මතක නැතුවයේ විජේ.."

සුනීතට සතුටු හිතුනේ පරණ යාළුවෙක් හම්බුන නිසා නෙවෙයි. විජය ජීවත්ව ඉන්නව දැකලයි. මොක්ද මැල්කම්ට පස්සේ කැම්පස් එකේ දේශපාලනය කරපු හුඟක් පිරිමි ළමයි මරලාදාලා තිබුනා. සුනීතා දැක්කා විජයගේ දකුණු වෙදගිල්ලේ රන් මුද්ද.. ඒක පවුම් දෙකකවත් එකක් වෙන්න ඇති කියල බැලූ බැල්මට පෙනුනා. සුනීතට විජය කාව කසාද බැන්දද කියලා දැන ගන්නකම් ඉස්පාසුවක් තිබුනේ නැහැ..

"සුනීතා එන්නකො අපේ ගෙදර දවසක, අලු විහාරෙට එහා පැත්තේ පාරේ ඉන්නෙ අපි.." විජය කිව්වේ පරණ මිත්‍රත්වයෙන්..

ඒ වෙනකොට සුනීතාත් ආමි එකේ කැප්ටන් කෙනෙක්ව බැඳලා දරුවො දෙන්නෙක් හිටියා. නුවර ගෙවල් වුනාට සුනීතා හිටියේ කටුගස්තොටට කිට්ටු වෙන්න නිසා ගෙදර ඉඳන් උදේම ඉස්කෝලෙ යන්න අපහසුවක් වුනේ නැහැ.

අලුත් පත්වීම අරන් ඉස්කෝලෙට ගිය සුනීතා විජේගේ ගෙදර ගියේ සති දෙකකට පස්සේ ඉස්කෝලේ ඉවර වෙලා.

විජයගේ ගෙදර හොයාගන්න අමාරු වුනේ නැහැ. විජය නානායක්කාර  කියලා ඉස්සර විසාල ගේට්ටුවෙ හයි කරලා තිබුනා. ගේට්ටුව ඇරගෙන යන සුනීත දැක්කේ විශාල වැරෙන්ඩා එකෙ ඉන්න මානෙල්ව...

" මානෙල්.." එතකොට විජය කසාද බැන්දේ මානෙල්වද..

සුනීතව දැකපු මානෙල් දුවගෙන ආවේ පුංචි ළමයෙක් වගේ..

"පුදුමයි නේද සුනීතා.. අපි ආයේ හමුවේවී කියලා හිතුවේ නෑනේ කවදාවත්.."
මානෙල් කිව්වේ පරණ ලෙන්ගතුකමින්.

" මානෙල් කොයි කාලෙද බැන්දේ.. ආරංචියක්වත් ආවේ නෑනේ.. කැම්පස් ආවෙත් නෑනේ අන්තිමට විභාගෙට ආවෙත් කාර් එකේනේ.. කා එක්කවත් කතා කලේ නෑනේ."

"අපි වාඩි වෙලා කතා කරමුකෝ.." සුනීතා ඉස්පාසුවක් නැතුව කියද්දි මානෙල් සුනීත එක්ක ආලින්දයේ ලොකු පුටු සැටියේ වාඩි වුනා.

විජේ කිව්වම සුනීතා අලුතින් අපොයින්මන්ට් අරන් ආවා කියල, මට ඔයාව දකිනකම් ඉවසිල්ලක් නැති වුනා."

"මං දැනන් හිටියේ නෑනේ මානෙල් විජයව කසාද බැන්දා කියලා.."

" ඔව් සුනීතා, විජය එක්ක තියන සම්බන්ධේ නතර කරන්න කියලා අපේ ඩැඩා මට නියෝග දැම්මා. මැල්කම්ගේ මරණෙත් එක්ක මාත් හුඟක් බය වුනා. ඒක නිසයි මං ගෙදර ගියේ.. ඉන් පස්සේ මට කැම්පස් එන්න දුන් නෑ.. ඒක අපේ ඩැඩාගේ නීතී.. ඔයාලා නොදැන හිටියට උනාට එයා තමයි ඒ කාලේ පොලිස් කමිෂන් බාලසූරිය.. එයාට සී අයි ඩී එකෙන් කියලා මා එක්ක හුඟක් අය අපේ මරන්න ඉන්නවා කියලා මට ගාර්ඩ් එකක් දැම්මේ ඒක නිසා......අන්තිමට විජේට උපාධිය නවත්තලා දාන්න කියලා ගුරු පත්වීම අරන් දුන්නේ අපේ ඩැඩා. මං මැරෙන්න ගිහිපු නිසා. නැත්තම් විජේ දැනුත් ජීවතුන් අතර නැහැ.. අපේ ඩැඩත් ටික කාලෙකින් නැතිවුනා. අපි බැන්ඳේ ඊට පස්සේ.."

හැමදේම සුනීතා දැන ගත්තේ එදා. එතකොට තමාරට මොකද වුනේ.. ඒක සුනීතා ඇහුවේ නෑ... ඒක ගිලගෙන ගෙදර ආවේ විජේ එක්ක මානෙල්ට සුනීතගේ ගෙදර රෑ කෑමකට ආරාධනා කරලා.


පිපුණු වසන්තයට

කොඳුරනා ඇස් නවන බැල්මකි. කියවනා සිත් කවන රිදුමකි. නොහඬනා නෙත් තෙමන බිරුමකි. නොපවසා නුඹ දුරැර ගමනකි. කුරුල් නද ගී විසිර යන්නට. පීදෙ...