විසංයෝජන


"මිස් කතා කරන්න කැමති ෆෙමිනිසම් ගැන නේද... ලියන කවි වලත් තියෙන්නේ ෆෙමිනිසම්... ඩොමෙස්ටික් ව‍යල්න්ස් ගැන තකහනියක්ම අවලාද කියලා..."

රාහුල් මගෙන් ඇහුවේ ඒ ගැන කතා කල හැකි වෙලාවක නෙවෙයි... මොකද මං හිටියේ අදිසි කම්පනයක... එක දිගට කම්පන සියයකටත් අධික ප්‍රමාණයකට මුහුණ දුන්න මං හිටියේ එල්ලෙන්න පිදුරු ගහක් හරි හොය හොය... 
කිසිම පිලිතුරක් දුන් නැති වුණත් රාහුල් දිගටම කතා කරමින් හිටියේ...

"මැඩම් දන්නවද සමහර ගෑනු කැමති මිනිහගෙන් ගුටි කන්න... මසොකිස්ටික් ගෑනු ඉන්නවා හරියට.. එතකොට ඒක ඩොමෙස්ටික් වයල්න්ස් වෙන්නේ නැහැ... මැඩම් කියනවා වගේ.."

"ඒ ගැන මං ලියන කියන දේ වල තියනවා නම් එහෙම වෙන්න ඇති. මං මසොකිසම් ගැන දන්නේ නැහැ රාහුල්. මං ඒවට කැමතිත් නැහැ....." කතාවට තිත තියන්න මං ඉක්මන්ට කියලා දැම්මේ රාහුල්ගේ කතාවට බාධා කරමින්...

මට ඉක්මනට ගෙදර යන්න ඕන වුණා.

කඩා වැටුණ ජීවිතය ගොඩ ගන්න කල්පනා කරන්න ඕනා..  ඇන්තනීගෙන් ශෝට්ලීව් රික්වෙස්ට් කරන්න පුළුවන්.. කවදාවත් නොගන්න ශෝට් ලීව් ගැන අහන ඒවට පිලිතුරු මං ගාව නැති බව මං දැනන් හිටියා. 
මගේ අපිලිවෙල ඩෙස්ක් එකේ ෆයිල්, පෑන් පැන්සල් තියෙන තැන් වලින් තියන ගමන් හිටියේ...

රාහුල් කියන්නේ ට්‍රේනින් ආපු පොඩි කොලු ගැටයෙක්... ඌට මාව පේන්නේ අදහන්න වටින ජර්නලිස්ට් කෙනෙක් විදියට..

" සමහර ෆෙමිනිස්ට්ලා ෆෙමිනිසම් කරන්නේ ෆැෂන් එකට.. ගෙදර ගිහින් බලන්න ඕනා මිනිහට වඳින වැඳිල්ල..."

ටිකක් සද්දෙට මිස්ට කාපිරි කිව්වේ මට ඇහෙන්න.. කාපිරි කියන්නේ කාඩ් එක උගේ... ඇත්ත නම දැන් මට මතකත් නැහැ.. කිසි දෙයක් නොකියා මං ගියේ ඇන්තනීගේ ඔෆිස් එකට.. ඒ යනකොට ඇන්තනී කොම්පියුටරය බදාගෙන ටයිප් කරනවා.. කණ්නාඩි කුට්ටමත් හැලෙන්න ඔන්න මෙන්න. ඒ ගැනත් කිසිම නිනව්වක් නැහැ...

"එක්ස් කියුස් මී... "

මං දිහා බැලුවේ ඇන්තනි නොබලන ගානට. ආයේම කොම්පියුටරයට මූණ ඔබා ගෙන...

" යර්ස් , ඩාර්ලින් සෙනේකා, "

" මට ශෝට් ලීව් ඕනා..."

පුදුමෙන් වගේ ඇන්තනී කොම්පියුටරයෙන් මුහුන අරන් බැරැරුම් මුහුණක් අලව ගත්තා...

" කවදාවත් නැතුව මොකද.."

" කවදාවත් නැති දේවල් කරන්න වෙනවා.."

" ඉස් එවුරිතින් ඕකේ?.."  කණ්නාඩිය නලලට ඔබා ගන්න ගමන් ඇහුවේ.. ඒ ඇස් මගේ ඇස් වල ගිලුනා. මං තාමත් හිටගෙන...

මං ඒ බැල්ම මඟ හරින ගමන් කතා කලා.

" නොට් ඇට් ඕල්.............
මං ශෝට් ලීව් ගන්නද..."

" ඕකේ... බට් වට් හැපන්ඩ්..."

" මං යනවා මිස්ටර් ඇන්තනී.. මට රෙස්‍ට් එකක් ඕනා.."

එහෙම කියලා  මගේ පුටුවට ආපු ගමන්ම මං බෑග් එකත් අරන් එලියට එන්න ආවා..

"මැඩම් යනවද..... මෙච්චර ඉක්මනට.." රාහුල් මගෙ පස්සෙන් එන්න අරන්..

"මං කලින් යනවා රාහුල්.."

එහෙම කියාගෙන මං ආවේ ජංගමයට මුහුණ ඔබන්... ඒ ටැක්සියක් හොයන නිසා... මේ වෙලාවට කාර් එකක් ඕනා අඬ අඬ යන්න... කාර් ඒසී එකේ එන අමුතු සුවඳ තවත් මාව හඬවනවා කියලා මං දන්නවා...

රිසෙප්ශන් එකට එනකම්වත් ඩ්‍රයිවර් කෙනෙක් මාව තෝරගෙන තිබුනේ නැහැ. මල ඉලව්, ටැක්සි සමාගමත් එක්කත් මට මල පැන්නා.. රිසෙප්ශන් එකේ කෙල්ලත් මං එන කොට කන්න වගේ බලන් හිටියා...

" මැඩම් කලින් අද.."

මුන්ට ඕන ඉලව්වක් නැහැ.. මං යන්තම් හිනාවක් දාලා සැටි එකේ වාඩි වුණේ කාර් එකක් එනකම්..

මුස්ලිම් ඩ්‍රයිවර් කෙනෙක් මගේ ඉල්ලීම අරගෙන තිබුනේ...

වෙන වෙලාවක නම් ඒක කැන්සල් කරන්න තිබ්බා. කවුරුත් නැති වෙලාවක මං ජාති වාදි වුනොත් වෙන්නේ මට ඉක්මන්ට ගෙදර යන්න බැරි වෙන එක..

රැඩිකල් විප්ලවවාදි සන්තානයක් නොහිතපු ප්‍රේම විප්ලවයක... සනුකව හොයාගන්න ඕනා, කොහෙන් හරි.. පරිසරවේදියෝ කැලේකට ගියාම කොහොන් හොයාගන්නද, මාසයක්, අවුරුද්දක්... දවස් කිහිපයක්.. මං දන් නැහැ... පුරුද්ද තිබුණට මේ වෙලාවේ ඒක ප්‍රායෝගික නැහැ.. එක්කෝ මං ගෙදර යන එක නවත්තලා ලංකාවේ කැලේ ගානේ යන්න ඕනා...

මං නිකමට සනුකගේ නම්බර් එක ඩයල් කලා.. 
ෆෝන් එක ඔෆ් බව හෝ කනෙක්ෂන් නැති වෙච්ච නිසා ප්‍රතිචාරයක් නැති බව හඬවමින් රෙකෝඩින් එක ගියා. මට ඉලව් ටෙලිෆෝන් කම්පැනිය එක්ක තරහා ගියත් මට කරන්න කියලා දෙයක් තිබ්බේ නැහැ..

"රැඩිකල් ලිපි ලිව්ව ගෑනී, ඔය කරගෙන තියෙන්නේ.." මගේ හිතින්ම දෝංකාර දෙන්න ගත්තා.

කෝල්ස් වැඩ නොකලත් සනුකට මේල් දාන එක ප්‍රැක්ටිකල්.. අනිවාර්යයෙන්ම ඊමේල් චෙක් කරන්න ඕනා එයා සතියකට වතාවක්වත් එයා.

ටැක්සි කාරයා ඇවිත් තිබුණා.. මං ඉක්මන්ට එලියට ඇවිත් ටැක්සියට නැග්ගේ ඉක්මන්ට ඔෆිස් එකෙන් චුත වෙලා යන්න ඕනා නිසා.

" උඩහමුල්ලට.."

"මිස් කැෂ් ට්‍රිප් එකක්ද?"

"කාඩ්."

ටැක්සි කාරයගේ මූණ ඇඹුල් උනේ කාඩ් කිව්වම.

උන් මොකට දුවනවද මන් දන් නැහැ. 

" නැහැ මිස් දුර කාඩ් ට්‍රිප් හම්බුණාම අපිට දවස කවර් කරගන්න බැහැ.."

ටැක්සි කාරයා ආඩපාලි කියන්න අරගෙන තිබ්බේ... මං ඇහෙන් නැති ගානට නිහඬව හිටියා... 

කුස ඇතුලෙන් දරුණුවට රිදිල්ලක් ආවා.. මං සූදානම් නැති වුණත් දෛවය ක්‍රීඩාව පටන් අරන්...

Urgent!!! Meet me at my place immediately..

Senekaa.

ඊමේල් එක එහෙම යවලා ඊමේල් පිටුව දිහාම බලන් හිටියා.. කවදා සනුක මේ ඊමේල් එක දකීවිද කියන්න මං දන් නැහැ...

විනාඩි හතලිස්පහක ගමන ටැෆික් නිසා තවත් පරක්කු වෙමින් තිබුනේ.. නවාතැනට ඉක්මනට යන්න වුවමනා වුණත්, ටැක්සිකාරයටත් ඉක්මනින් මගෙන් නිදහස් වෙන්න වුවමනා වුනත් ට්‍රැෆික් එක ඊට ඉඩ දුන් නැහැ.. පැය එකහාමාරක ගමනකින් පස්සේ මං නවාතැනට ආවා.. දොර වැහුව ගමන්ම හැම ඇඳුමක්ම ගලවලා නාන කාමරයට වැදුනේ මගේ පපුව ඇතුලෙන් බුර බුරා නැගෙන ගිනි දලු නිවෙන සීතල වතුරක්.. ඇත්තටම මං නෑවා කියලා ඒ ගිනි රස්නේ නවත්තන්න බැහැ.. ඒත් කුඩා බිඳුවක් තරම් සහනයක් මට අවැසි වුණා.. අන්තිමට මං කිසිම ඇඳුමක් නොහැඳම ඇඳේ වැතිරුණා...

සනුකගේ සුවඳ මගේ සයනයෙන් එන්න ගත්තා. මාසයකින් නොදැකපු සනුකගේ ආත්මයම මගේ වටා සැරිසරනවා වගෙයි... මං බෙඩ්ශීට් එක මාරු කලා... ඒත් ඒ සුවඳ හමන එක මට නවත්තන්න බැරි වුණා.. 

එහෙම්මම මට නින්ද ගිහින් තිබුණා.

අලුත් දවස් එකින් එක ආරම්භ කරමින් අවසන් කරමින් සතියක් ගෙව්වා.. ෆ්ලැට් එකෙන් එලියට නොයන දවස් කවදාවත් නැතුව ගෙවුණා. නින්ද සහ බඩගින්නටම පමණක් කුසට වැටෙන ආහාරයකින් හෝ දෙකකින් දවස ගෙවුණා.. දුරකතනයත් දවස පුරාම තිබුනේ ඕෆ් එකේ.. 

සතියට කිසිම ඊමේල් එකක් ලැබුණේ නැහැ.. හැමවෙලේම මේල් චෙක් කරනමින් ගෙවුණා. සනුක මේල් එක දැක්කද නැද්ද කියන්නවත් මං දැනන් හිටියේ නැහැ.

හත් වෙනි දවස් උදා වෙලා තිබුණා. උදේ අට වුනෙත් නැහැ.. ගෙදර බෙල් එක රින් වෙන්න ගත්තා.. මිස්ටර් ඇන්තනී වෙන්නත් පුලුවන්. මං නොකියම වැඩට නොගිය නිසා එක්ක යන්න ආවා වෙන්නත් පුලුවන්.. මං දොර හැරියේ නැහැ. ගෙදර නැහැ කියලා ආයේ හැරිලා යාවි. ඒත් බෙල් එක මිනිත්තු පහළවක් තිස්සේ රින් වුණා.

මං වැඩිය නොහිතා දොර හැරියා.. දොර ඉදිරිපිට හිටියේ සනුක... අතේ බෑග් එකත් එක්ක මල් බොකේ එකක් තිබ්බා.. මට දැනුනේ සතුටක් නෙවෙයි.. උදාසීන බවක්... බලාගෙන හිටිය කෙනා මගේ ඉදිරියට ආවා වුණත් මට දැනීමක් නැති කෙනෙක් ගානය වැටිලා තිබුණා... ඇත්තටම ස්නායු පද්ධතියම අඩපණ වුණා වගෙයි... මගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් හිටපු සනුක මගේ ක්ෂණික වැලඳ ගැනීම නැති වුණ නිසා මාව වැලඳ ගත්තේ දෙතොල් මත හාදුවක් තබන ගමන්.. මං ඉතාම කුඩා ඉඩ ප්‍රමාණයකට ඉඩ දෙමින් ඔහුගෙන් ඉවත් වුණා.. ඔහු මා අනුගමනය කරමින් නිවසට ඇතුල් වුණා.. මල් කළඹ තවමත් ඔහුගේ අතේ.. ඔහුම මේසය මත තිබෙන මල් වාස් එකට මල් ටික දැම්මා...

" සෙනේ... ස් එවුරිතින් ඔකේ?"

"නෝ.."

" වට් හැපන් බේබී.."

සැටියේ වාඩි වෙලා උන්න මාගේ අසලින්ම වාඩි ගත් සනුක මාව තුරුලට ගැනීමට මගේ උරහිසට ඉහලින් සිය අත යැව්වා... 

මට වැලඳ ගැනීම් අවශ්‍ය නැහැ... 

මං කිසිම ප්‍රතිචාරයක් නොදක්වා ගියා කාමරයට.. හංගලා තිබ්බ ස්ට්‍රිප් එක හොයා ගන්න මට වැඩි වෙලා ගියේ නැහැ.. බොක්ස් එකෙන් එලියට අරන් මං එයාගේ අතට දුන්නා. 

ඒ මුහුණ.. මට ඒ එක්ස්ප්‍රේෂන් එක තේරුන් නැහැ. සමහර විට ඒ මැවුණ එක්ස්ප්‍රේෂන් මික්ස් එකක් වගෙයි. සතුට, දුක, භිය මට වෙන් කරලා අඳුර ගන්න බැරි වුණා..

මං ඇස් පියා ගත්තා... ඒ මුහුණේ වූ කතාව නොදකින්න..

ඔව්.. මං බබාව නැති කරනවා... එයාගේ තීරණය එතකොට මාව රිදවන් නැහැ... මං තීරණය කලා... 

"මං බබා නැති කරන්න හිතලා ඉවරයි.."

...............

" ඔයා මොකද කියන්නේ.."

නික්මට වගේ මං ඇහුවා එයාගේ තීරණය...

" මොකද්ද ඉතින් කියන්න තියෙන්නේ සෙනේකා... බබාව අපි හදමු... ඊට කලින් අපි මැරි කරමු..."

විශාදය වළක්ව ගන්නේ කෙසේද..


මේ කොටසින් මං කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ depression වල ප්‍රතිකාර වගේම වළක්වා ගන්න ක්‍රම.. මේ ක්‍රම ඕනෑම මානසික රෝගයක් සඳහා යොදන්න පුලුවන්.. ඒත් depression ගැන කතා කරන නිසා ඒ ප්‍රතිකාර හුඟක්ම ගැලපෙන්නේ විශාදය නැත්තම් depression වලට..
මානසික රෝග වලට ප්‍රතිකාර කරන ක්‍රමය ඖෂධීය ප්‍රතිකාර හා ඖෂධීය නොවන ප්‍රතිකාර යනුවෙන් කොටස් දෙකකට බෙදා දක්වන්න පුලුවන්..

Depression වලදී මේ වර්ග දෙකේම එකතුවක් ලෙස ප්‍රතිකාර කරනවා නම් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.
Depression වලට ඖෂධීය ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

ප්‍රධාන ඖෂධ කාණ්ඩ කිහිපයක් තියෙනවා. ඒවා දෙන්නේ විශාදයේ දරුණු බව අනුව. වෛද්‍ය නියමයන්ට අනුව.


නමුත් ඔබට විශාදය උපරිමයට පත් නොවේ නම් ඖෂධ නොමැතිව වුවත් මනෝ වෛද්‍ය උපදේශනය හා මනෝ වෛද්‍ය ක්‍රම වලට යන්න පුලුවන්. 

උපදේශනයට අමතරව ඇති ප්‍රතිකාර ක්‍රම ලෙස,
1. Cognitive Behavior Therapy 
2. Behaviour Therapy
3. Interpersonal Therapy
4. Mindfulness-based cognitive therapy (MBCT)
MBCT ප්‍රතිකාර ක්‍රමයේදී නම් කරන්නේ භාවනාව වගේ දෙයක්.. ඒ නිසා මානසික තත්වය සෞඛ්‍යමත්ව තබා ගැනීමට සිත එක් තැන් කරන භාවනා සේම කලා කටයුතු වලට සිත යෙදීම ඉතාම ප්‍රතිඵලදායකයි.


මේ ප්‍රතිකාර වලට අමතරව විශාදීය ලක්ෂණ තමාට දැනෙනවා නම් හෝ කවදා හෝ දැනී තිබේ නම් මං කියන දේවල් ටික අත් හදා බලන්න.

පළවෙනි එක තමා විශාදීය ලක්ෂණ එන්න ඇගේ උෂ්ණ බව බලපානවා. ඒක ආයුර්වේදයට අනුව පැහැදිලි දෙයක්. ඒ නිසා උෂ්ණයි කියන ආහාර වර්ග නතර කරන්න. උදාහරණ විදියට ඉස්සෝ, දැල්ලො, අන්නාසි , අච්චාරු වගේ ආහාර වර්ග ගැනීම නතර කරන්න.

ඇඟ සීතල කරන ආහාර වැඩිපුර ගන්න. සව්, නෙල්ලි වගේ දේවල් ගන්න.. පුලුවන් නම් අරලු පෙති මාස හයකට සැරයක් ගන්න..
ඊට අමතරව අනිවාර්යයෙන්ම කොයි විදියකවත් තනිවෙන්න බලන්න එපා.. හැමවිටම සමාජයට යන්න. පාඩම් කරන්න වුණත් පුස්තකාලයකට වගේ යන්න. බෝඩිමක තනිව නම් ඉන්නේ  කිහිප දෙනෙක් ඉන්න බෝඩීමක් හොයාගන්න. තමාගේ ප්‍රශ්න විශ්වාසවන්ත වැඩිහිටියකුට පවසන්න. අඩුම තරමේ විශ්වාසවන්ත යහලුවෙකුට වුණත් කමක් නැහැ. 

ඒ වගේම ඔයාට කලා හැකියාවක් තියේ නම් අනිවාර්යයෙන්ම ඒක ආරම්භ කරලා දිගටම කරගෙන යන්න, චිත්‍ර ඇඳීම, ගායනය, වාදනය, චිත්‍රපට නැරඹීම, ලිවීම වගේ දේවල් කරන්න.

ඒ වගේම තමාගේ ආගමට බර වෙන්න. ආගමික දර්ශන වලින් හුඟක් වෙලාවට සිතට සහනයක් එනවා. ඒ වගේම බෞද්ධ කෙනෙක් නම් අඩුම තරමේ ගාථා කියන්න අවශ්‍ය නැහැ, බෝධියක් යට පැයක් දෙකක් වාඩි වෙලා ගත කරන්න.. 

මට හුඟ කාලයකට කලින් ලිපියක් කියෙව්වා ඇයි බෝධියක් ළඟ පොඩි කාලයක් ගත කරාම නිදහසක් දැනෙන්නේ කියලා. ඒ ලිපියේ තිබ්බා, අපේ සිරුරේ වගේම හිසේත් ධන සෘණ ආරෝපණ තියෙනවා, අපි ප්‍රශ්නයක ඉන්නවා කියන්නේ ඒ ආරෝපණ අපිළිවෙල වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ තියෙන්න ඕන විදියට නෙවෙයි.. 

 ඒ වගේම බෝ කොලෙත් ආරෝපණ තියනවා. ඒ අපිළිවෙල වෙලා තියන අපේ හිසේ ආරෝපණ බෝ කොළේ ආරෝපණ මඟින් නිවැරදිව පිළිවෙලට සකස් කරනවා කියලා... ඒක විද්‍යාත්මකව කල්පිතයක් වෙන්න පුලුවන්. නමුත් කෙසේ හෝ බෝ ගහක් යට ගත කලාම ආතතිය මඟ හැරෙනවා..

තව දෙයක් තමා දර්ශීය කාලසටහනෙන් බැහැරව මුහුදු වෙරළක ඇවිදින්න, විනෝද චාරිකා , ශොපින් යන්න වගේ දේවල් කරන්න පුලුවන් නම් සාර්ථකව විශාදීය ලක්ෂණ නවත්ත ගන්න පුලුවන් වෙනවා..  
විශාදීය ලක්ෂණ කියන්නේ ඇත්තටම ආතතිය දීර්ඝ කාලිනව පැවතීම නිසා ඇතිවන්නක්.. ඒ නිසා ආතතිය මඟ හරවා ගන්න එක වඩා වැදගත්..

ක්ෂණිකව විශාදය හැදෙන එක නම් සුලභ නැහැ. ඒ නිසා අපේ මනස නිරවුල්ව තබා ගන්න එක තමයි හුඟක්ම වැදගත් දේ...

මේ ලිපිය හුඟක් අය බලගෙන හිටපු ලිපියක්.. අවුරුදු ගණන් පරක්කු වුණාට සමා වෙන්න හොඳේ...

ප්‍රේමයේ නිදානය



ආදරණීය හොරෙක් නුඹ.
නොපල කවියක් ඉන්දවන,
මගෙ හද මැද වලක් හාරා...

වල ගොඩැලි සමතලා කොට,
යන්තමින් ඉසුව පෙම් දියර
කේෂ නාලිකා වලින් උරාගෙන 
මනි පත්‍ර දක්වාම ගෙන ගොස්,
දලුදමා වැඩෙන'යුරු,
නුඹවත් නොදැන...

තකහනියක්ම දුරැර බාධා හමා
ශේෂ වුන කවි සුලං,
නතරව අභිමුව, 
පාදා සිතැති සේ නොලත් ගිවිසුම්,
ඔබ නුදුටුවද යවන අනිසි කිවිසුම්.,
ඔබ නිසා ලදින්, උපදි හද මැද කුසුම්.

හමුවීම...


අවසාන වතාවට සියලු දේ
නොනිමි යැයි හිතෙනු ඇත.
ඔබේ සනහස මැවී බොඳව
මගේ මුවග අපහසුවෙන් දිලෙනු ඇත.

අසල හිඳිනා හෙදියකට
මියැන මොහොතෙත් හිනැහෙන
රෝගියෙකු දක්නට හැකි වනු ඇත.
එතැන සිට මා නුඹේය..

වනපස මල් පොඩිව
අතු රිකිලි බිඳව
පාවෙනා මාවත අබිමුව
නුඹ මා එන තෙක් ඉසිඹුලනු ඇත..

නුඹ මට කලියෙන් ගිය ගමන
මා වසර ගණනක් පතමින් බලාහිඳ
පැමිණෙනු ඇත...
නොකී පෙම කියාගන්නට නොහී
ආයෙත්ම තැවෙනු ඇත..

මෙතරම් කල් නුඹ තනිව ගෙව්වාට
සමාව අයදිමින් මා 
නුඹේ දෙතොල් මල් මත
හාදු තවරනු ඇත.

ප්‍රේමය ප්‍රේමයෙන්ම අවසන් වනු ඇත...

ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික වශයෙන් වන වැදගත්කම

නියතයෙන්ම යටත්විජිතකරණයෙන් පසු නිදහස ලබාගන්නා අවදියේ අන් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවට ඉහළ තත්වයකට පැමිණීමට හැකි විභවතාවක් තිබිණි.. 

එනම්, අන් රටවලට සාපේක්ෂව නිදහස් අධ්‍යාපනය නිසාවෙන් සාක්ෂරතාව අතින්ද, නිදහස් සෞඛ්‍ය පහසුකම් නිසා සෞඛ්‍යමය අංශයෙන්ද ඉහළ තත්වයකද, අන් රටවලට සාපේක්ෂව ඒක පුද්ගල ආදායම ඉහළ අගයක පැවතීම මෙන්ම භූගෝලීය පිහිටුම අතින්ද වැදගත් ස්ථානයක පිහිටීම හේතුවෙන් ය.

නමුත් 1978 විවෘත ආර්ථිකය සමඟ වැඩි වශයෙන් ආනයන ක්ෂේත්‍රයේ  උන්නතිය සිදුවූ බැවින් ස්වයංපෝෂිත අර්ථක්‍රමය බිඳවැටෙන්නට විය. පෙරදී කෘෂි භෝග වගා කලද, අඩු වියදම් ආනයනික කෘෂි භෝග සමාජය ආක්‍රමණය කරන්නට විය.

ප්‍රබල බලවත් රටවල් විසින් බලහත්කාරයෙන් දුන්නාවූ ආනයනික ද්‍රව්‍ය වලට සමාජය හැඩගැසෙන්නට විණි. එසේම, අති දූෂිත දේශපානයක් 1978 පසු බිහි විණි. ඉන් පසු බලයට ආවේ දක්ෂ බුද්ධිමත් නායකයන් නොව, සල්ලි මඟින් ඉදිරියට එන වුණ් විය. ඔවුන්ගේ පුර්වාරම්භය හොරකම්, මැරකම් මත් ජාවරම්, වැනි අපරාධ වුවද, නීතියේ රැහැනේ වූ හිඩැස් තුලින් බේරී ආවුන් ආවේ අවසානයේ අර දියවන්නා ඔයෙන් වට වූ හරක් ගාලටය.

කතාව එය නොවේ....
ලෝකයේ භූ දේශපාලනය පිළිබඳවය..

ලෝකයේ භූ දේශපාලනමය වශයෙන් වැදගත් රටවල් ඇත්තේ අතලොස්සකී.. ඒ අතරින් ලංකාව යනු අතිශය වැදගත් සන්ධිස්ථානයකි. පෙර අපර දෙදිග අතීතයේ සේද මාවතෙන් සම්බන්ධ කළේ සෙයිලාන්, නැතහොත් තැප්‍රොබේන් හෝ බ්‍රිතාන්‍යයින්ට අනුව සිලෝන් යන්න පාසල් කාලයේ සිටම අප දන්නා කාරණයකී. 

එසේම ඉන්දියන් සාගරයෙ නෞකාවකට ඉතාම පහසුවෙන් ළඟා විය හැකි පහසුකම් සලසන්න හැකියාව ඇති රට වනුයේද ලංකාවයි.

තවදුරටත් කියනවා නම් දැන් දැන් නැගී එන රටවල් ලෙස නම් වන චීනය ඉන්දියාව වැනි රටවලට තර්ජනයක් එල්ල කිරීමට හැකියාවක් ඇති යුද නෞකා ( ප්ලාවිත යුද කඳවරු) රඳවන්නට හැකි වරායන් සහිත කේන්ද්‍රස්ථාන වන්නේද ලංකාවයි. 

එලෙසම විශාල තෙල් ගබඩාවක් පවත්වාගෙන යා හැකි තෙල් ටැංකි ත්‍රිකුණාමල වරාය ආසන්නව පැවතීමද ලංකාව කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු වූ තවත් එක් කාරණයකි.

සොයා නොගත්තා වුවද, පර්‍යේෂණ වාර්තා අනුව ලංකාවේ මන්නාරම් ද්‍රෝණියේ සිට යාපන අර්ධද්වීපය දක්වාද, නැගෙනහිර වෙරළ කලාපයේද බොරතෙල් හා ස්වභාවික වායු සංචිත ඇති බව සනාථය.  එසේ නම් 2040 වන විට අවසන් වන බොරතෙල් වලට යලි එකතු කිරීමට හැකි වන ලංකාව සතු එකී  බලශක්ති ප්‍රභව වල වටිනාකම අනාගතය වන විට තක්සේරු කිරීමට නොහැකි වනු ඇත.

එසේම එලෙස සොයා නොගත්තා වූ තවත් බල ශක්ති ප්‍රභව ඉන්දියන් සාගරය තුල සැඟව ඇතැයි ද අනුමාන කෙරේ. ඉදිරියේ එක්සත් ජාතින්ගේ සාගර ප්‍රඥප්තින් අනුව ඉන්දියන් සාගරයේ වැඩිකොටසකට හිමිකම් ලැබෙන්නේ ලංකාවට වීමෙන් එකී සොයා නොගත් බලශක්ති ප්‍රභව වල වාසියද අනාගතයේදී ලංකාවට ලබාගත හැක.

අනාගතයේදී සිදුවිය හැකි ආහාර අර්බුදයන්ට පිලියම් ලෙස සාගර ආහාර භාවිතා කිරීමට සිදුවනු ඇත. මන්ද කෘෂි කර්මාන්තට අවශ්‍ය භූමි පහසුකම් දිනෙන් දින අඩු වෙමින් පවතින්නේ  ශීඝ්‍ර ජනගහන වර්ධනය නිසාවෙනි.

එපමණක් නොව, දේශපාලනික වශයෙන් ශක්තිමත් නොවූ දකුණු ආසියානු රට වන්නේද වර්තමානයේ ලංකාවයි.



18 වන සියවසේ සිට 19 වන සියවස දක්වා පෘථිවියේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් වූ සාගරය වූයේ අත්ලාන්තික් සාගරයයි. බටහිර යුරෝපය හා නැගෙනහිර ඇමරිකාව තුළ ක්‍රමයෙන් ආර්ථිකයන් ස්ථාවර විය.  

20 වන සියවස වන විට ලෝක ආර්ථික කේන්ද්‍ර පැසිෆික් සාගරය වෙතට භ්‍රමණය වූයේ බටහිර ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ( ලොස් ඇන්ජලීස්) ආශ්‍රිතව රන් ආකර සොයා ගැනීමත් සමඟය. එසේම ජපානය, ඕස්ට්‍රේලියාව නවසීලන්තය වැනි රටවල්ද ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කරගත් හෙයිනි.

නමුදු වර්තමානය බොහෝ වෙනස්වෙමින් පවති. එය 1990 න් පසු ලෝකයේ ප්‍රජමනිත බලවතා වූ ඇමරිකාවට සිතා ගැනීමටත් අපහසුය. 
ලෝක ආර්ථික කේන්ද්‍රය ඇමරිකාව ආශ්‍රිත සාගර කලාපයෙන් ගැලවී ආසියාව දෙසට එනම් ඉන්දියන් සාගරය වෙත ගලාවිත් ස්ථාපිත වී හමාරය. එය සිදු වූ දිනය නිශ්චිත වශයෙන් කිව නොහැකිය.  නැතහොත් තවමත් ස්ථිරවම ස්ථාපිත වී නොමැත.
කෙසේ නමුදු දශකයක් වැනි කෙටි කාලයක් තුල ආර්ථික මට්ටම් අනුව පහළ මට්ටමේ පැවති, චීන, ඉන්දීය, රුසියානු ආර්ථික මේ වන විට අතිශය ඉහළ ස්ථාවර වලට ළඟා වෙමින් පවතී. 

මේ හේතු සමඟ එකී සියලු රටවලට (නැගි එන රටවල් සහ දැනට බලවතාට) බලය තහවුරු කර ගැනීමට අත්‍යවශ්‍ය ඉලක්කයක් වී ඇත්තේ ශ්‍රී ලංකාව යන්න විවාදයක් නොවේ. 

දැනටමත් ශ්‍රී ලංකාවේ මර්මස්ථානයක් වන හම්බන්තොට වරාය අවුරුදු සියයකට චීනයට බදුදී හමාරය. ඉදිරියේ අත්‍යවශ්‍ය වූ විටෙක සිය බලය තහවුරු ගැනීම පිණිස චීනයට යුද නෞකාව වුවද එහි නැංගුරම්ලා තැබීමට හැකියාව නැතැයි කීම මුසාවකි. 

එබැවින් ඊට ප්‍රතිවිරුද්ධ පියවරක් වශයෙන් ඇමරිකාව යෙදූ උපාය මාර්ගික සැලැස්මක් ලෙස මේ දිනවල කතා කෙරෙන මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඇග්‍රිමන්ට් එක හරහා සිදුවන බව රහසක් නොවනු ඇත.

ශ්‍රී ලාංකික රජය මේ වාතාවරණය තුළ කළ යුතු වන්නේ සෑම රටක් සමඟ සහයෝගයෙන්, ඝට්ටනයකින් තොරව, දේශපාලනික සබඳතා වර්ධනය කර ගැනීම මෙන්ම ආර්ථිකය ශක්තිමත් කළ හැකි දිගු කාලීන මෙන්ම කෙටි කාලීන පියවර අනුගමනය කිරීම මිස ශ්‍රී ලංකාවේ ඇති වැදගත් මර්මස්ථානය ලෙස සැලකෙන වරායන්, ගුවන් තොටුපලවල් හා තෙල් ටැංකි ආර්ථික වාසි වෙනුවෙන් බිල්ලට දීම නොවේ..


එක් පෙති මල



මට තව මල් පෙති නැහැ. සමනලුන්ට බෙදන්න තරම්.. එක සමනලයෙක් වැහුවොත් බර වෙලා පෙත්ත කැඩෙන්න ඔන්න මෙන්න වෙනවා. ඉතින් කොහොමද සමනල්ලු කිහිපදෙනෙක්ට ඉඩ දෙන්නේ...

" ඔයා හිතන විදිය වෙනස් චාරු. මට ඕන හැමදාම ඉන්න වුනාට ඔයා බයයි. ඒ නිසයි ඔයා මාව අතැරියෙත්. හිනා වෙන්න එපා. අඬන්න ඕන වෙලාවට.." එහෙම කිව්වේ දසි හුඟක් කාලෙකට පෙර.


"මේ බලන්න අද මගේ අත කැපුනා. උයන්න ගිහින්. අනේ බලන්නකෝ දසි.."


දසි මගේ අත ඇල්ලුවා. මාව සීතල වෙලා ගියා. හැමදාම වගේ.. ඒ ආදරේ විවේක් ළඟ නැහැ.මට ඒක කියන්න ඕනා දසිට. ඒත් වැඩක් වෙන් නෑ. අම්මි දන්නවා නම් තාමත් මං දසි එක්ක කතා කරනවා කියලා, මට බනීවී. අනික කවදාවත් විවේක් ළඟ මගේ හැඟීම් උත්සර්ජනය වුනේ නැහැ. හරියට ලෝකයට පෙන්නන ජීවත් වෙනවා වගේ විවේක් මගේ පෙම්වතා වුනේ.


"මේකට බෙහෙත් ටිකක්වත් දාගන්නකෝ ළමයෝ.."


මං බලන් ඉන්නවා. ආදරෙන් එදා වගේම දසි මගේ අත අත ගානවා. ඒක හරියට තාත්තාගේ ආදරේ වගේ. තාත්තා නැතිව ජීවත් වුන, අම්මගෙ දුරස්ථභාවයෙන් දුක් විඳපු මට දසි ශක්තියක් වුනේ. තාත්තා කෙනෙක් වගේ හැමදේම හොයලා බැලුවා. ඒ සෙවනැල්ල මට හැමවෙලේම ඕන වුනා.. මං අවදි වුන වෙලාවේ ඉඳන් ආයේ රෑ නින්දට යනකම්ම.. කන්නේ මොනවද, කොහොමද ඔෆිස් ගියේ..., කොහොමද ඔෆිස් එකේ වැඩ... ප්‍රශ්නයක් වුනාද.. ඒ හැමදේම හොයලා බලන පිරිමියෙක්.. විවේක්ට කවදාවත් ඒ දේවල් කරන්න බැහැ.. කිලෝ මීටර් සිය ගණනක් දුරින් ඉඳන්, දවසට නිමාවක් නැති රාජකාරියක් කරමින් කවදාවත් දසි වගේ විවේක් මගේ සිතුම් පැතුම් ගැන අමුතුවෙන් වෙහෙස වුණේ නැහැ..


"දැන් කොහොමද බෝඩිමට යන්නේ.."


" යනවා ඉතින්, බස් එකේ.."


මං ගිහින් දාන්නම්..

මං අහක බලන් ඕනවට එපාවට උත්තර දුන්නේ එහෙම උත්තරයක් දසිගෙන් බලාපොරොත්තුවෙන්. ඒත් මුකුත් කිව්වේ නෑ දසි. සමහර විට දසි ඉක්මණට මැරි කරාවි. මට දසිව ඕනා කියලා මොනව කරන්නද. අම්මි කවදාවත් කැමති වෙන්නෙ නැහැ.


අම්මි කෝල් කරනවා. මං ඈතට ගිහින් කෝල් එක ගත්තා, ලංකාවට මහ දවල් වුණාට එහෙට තාම උදේ පාන්දර. ඔෆිස් එකට යන්න කලින් අම්මි හැමදාම මට කෝල් කරනවා.


" හෙලෝ.. අම්මී."


"කොහෙද දූ ඉන්නේ.."


"මං ඔෆිස් එකේ ඉන්නේ..."


"අද වැඩ ඉවර වෙන්නේ කීයටද..."


"සමහර විට පරක්කු වෙයි."


"පරිස්සමෙන් ගෙදර යන්න.. ගිහින් කෝල් කරන්න මට."


"හ්ම්..."


"මං ලබන මාසේ එනවා. ටිකට් හරි."


"හ්ම්..."


"මොනවද දූට ඕනි.."


"මුකුත් නෑ.."


"කැමති දෙයක් කියලා මැසේජ් එකක් දාන්න.. මං අරන් එන්නම්....... විවේක් කතා කලාද.."


"එයා බිසීනේ.."


"ඉතින් ඒ ළමයා කොහොමත් බිසී තමයි."


"හ්ම්...."


"මං තියන්නම් දූ... පරිස්සමට ඉන්න..."


"හරි.. "


"ජේසු පිහිටයි, දූ..."


"ජේසු පිහිටයි.."


මං දුරකතනය ක්‍රියා විරහිත කලේ විවේක් කතා කරයි කියලා. දසිත එක්ක ඉන්න ලැබෙන මොහොතෙදිවත් විවේක්ගේ කරදරයෙන් බේරිලා ඉන්න වුවමනා වුනා මට. මං විවේක් ගැන අම්මිට චෝදනා කරාට පස්සේ, විවේක් අනික් පැත්තට කෝල් කරන්න හුඟක් ඉඩ තියෙනවා. ඒ අම්මී විවේක්ට කතා කරන නිසා මගේ චෝදනා ගැන...


දසි ඉක්මනට ගියේ එයාගේ ෆෝන් එකට කෝල් එකක් ආපු නිසා... මං ටිකක් වෙලා කල්පනා කරලා මගේ සීට් එකට ගියා.. එයා එයාගේ වැඩ කරන්න පටන් ගත්තා ඇති. ලන්ච් ටයිම් එකත් ඉවර නිසා මං සල්ලි බැලන්ස් කරන්න සමුර්දිට උදව් කලා.. නැත්තම් අපි දෙන්නටම යන්න වෙන් නෑ අද... මං හිටියේ අද ඩිපොසිට් නෙවෙයි වුනාට, අපි දෙන්න පුරුදු වෙලා හිටියා එකිනෙකාට උදව් කරගන්න..


"චාරු.... චාරු.."


සමුර්දි මගේ මුහුණට එබිලා හිටියේ... ඒ වෙද්දී මං සෝෆා එකක වැතිරිලා හිටියේ.. මතක නැහැ මොකක් වුණාද කියලාවත්...


" ඔයාට දැන් හොඳද..."


"ම්ම්...මට මොකද වුණේ..."


"ඔයා ෆේන්ට් වුණා චාරු.... දැන් හොඳද..."


මං වටපිට බැලුවේ දසි ඉන්නවද කියලා... එයා ටිකක් ඈතට වෙන්න මං දිහා බලන් හිටියා.. දෙතුන් දෙනෙක් මගේ වටේ හිටියා..


"දැන් ඔයාලා යන්න චාරුට දැන් හොඳයි..." 


සමුර්දී එහෙම කිව්ව හැමෝම එතනින් ගියා... දසි මං දිහා එහෙම්මම බලන් හිටියා. සමුර්දි දසිගේ මුහුණයි, මගේ මුහුණයි මාරුවෙන් මාරුවට කිහිප සැරයක් බලලා නැගිටලා ගියේ දසි මං එක්ක ඒ රූම් එකේ තනි කරලා.. සමුර්දි දැන ගෙන හිටියා දසිගෙයි මගේ සම්බන්ධය හුඟක් දුරට.. තවම මගේ හිතේ ආදරය නැවතිලා නැති බවත් ඇය සක් සුදක්සේ දැනන් ඉන්න ඇති.


"චාරු ඔයාට දැන් හොඳද.." එහෙම කියාගෙන මගේ ළඟ පුටුව ඇදන් දසි වාඩි වුණා.


"ප්‍රශ්නයක් නැහැ.."


"ෂුවර්ද"


"ඔව්..."


"ඔයා කොහොමද දැන් තනියෙන් බෝඩිමේ ඉන්නේ.. කවුරුත් නැතුව..."


"මෙච්චර කල් හිටියේ මං එහෙම තමයි දසි."


"ඒ උනාට ඔයාට මෙහෙම අසනීප වෙනවා නම් බයයි චාරු.. අපි කෝකටත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නමු.."


"ඕන නැහැ.."


"ඔයාගේ පණ්ඩිතකම වැඩි..."


"හ්ම්ම්..."


මං හිමින් සැරේ නැගිට්ටා.. අපහසුවක් නොදැනුන නිසා මම එහෙම්ම වැඩ කරන්න පටන් ගත්තා...


අම්මට මං ෆේන්ට් උනා කියලා සමුර්දි කියලා තිබුනේ දවස් කිහිපයකට පස්සේ...


මං නොකියා හිටියේ අම්මාට කියලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්න අනවශ්‍ය නිසා. තාත්තා ඒ අතර ලංකාවට ඇවිත් මාව බලන්න බැන්ක් එකට ආවේ හදිස්සියේ... අම්මාට ඒවා වුනත් මං නොකියන්න ගියේ අනවශ්‍ය දේවල් අම්මා එක්ක  නොකියන තරමට හොඳ නිසා..


තාත්තගේ මුදල් වලිනුත්, අම්මිගේ මුදල්වලිනුත් මගේ හිතේ සතුට හම්බුනේ නැති බව අම්මට කියාගන්න ඕන වුණා මට.. ඒත් ඒකට මට ශක්තියක් තිබ්බෙ නැහැ.. දසි එක්ක ඉන්න එක මිනිත්තු කිහිපයක ඒ සතුට තිබුණා. මං ගැන සොයා බැලීම්, මට ආදරේ කිරීම්..මහ හුඟක්... අන්න ඒකයි මේ තනි හිතට ඕන කලේ... මං ඒකයි හෙව්වේ...


දින දින ගෙවුණා.. සති ගෙවුණා.. අම්මා ලංකාවට ආවා.. ගෙදර එක්ක යන්න අම්මා ආවේ මාමගේ වාහනේමයි.. නිවාඩු දෙකයි මං දැම්මේ.. අම්මා එක්ක මට ඉන්න වුවමනා වුණේ නැහැ... අම්මා සමහර වෙලාවට මම අකමැති දේවල් කරන්න ගත්තම නිදහසේ ඉන්න බැරි වෙනවා..


ඒත් දෙවනි දිනයේ නොකියම විවේක් එයාලගේ ගෙදර අය එක්ක ආවා.. 


ටික වෙලාවක් යනකම් මට වෙනසක් තේරුණේ නැහැ..


"ලබන සතියේ අපේ එන්ගේජ්මන්ට් එක.. ඔයා නිවාඩු දාන්න හොඳේ..වැඩිපුර.. අපි යමු අනුරාධපුරේ පවුලේ අය එක්ක..."


මට කතා කරන්නවත් නිවාඩු නැති විවේක්ට එක පාර අනුරාධපුරේ යන්නයි, එන්ගේජ්මන්ට් එකටයි නිවාඩු ගන්න පුලුවන් වුණේ කොහොමද කියන්න මට තේරුණ් නැහැ.. කොහොම වුණත් මං නොදැන හැමදේම ලැහැස්ති වෙලා තිබුණා.. අම්මා එක්ක මට තරහා ගියා.. ඒක නොපෙන්න ඉන්න මං හුඟාක් උත්සහ කලා... මං දන්නේත් නැතුව මගේ එන්ගේජ්මන්ට් එක ලැහැස්ති කරලා..


"මට දැන්ම මැරි කරන්න බැහැ.." මං විවේක්ට කිව්වේ හීන් සීරුවට...


"මැරි කරනවා නෙවෙයි චාරුණි.. එන්ගේජ් වෙන්නේ.. වෙඩින් එක ලබන අවුරුද්දේ ගමු.."


ඔය මොකක් කලත් මැරි කරන එකනේ වෙන්නේ.. පොතේ ලිව්වා කියන්නේ මැරි කරන එකනේ... මං මුකුත් කිව්වේ නැහැ.. 


" මේ දවස් වල ඔඩිට් යනවා.. මට හදිස්සියේ මුකුත් කරන්න බැහැ.. මට කිව්වේත් නැහැ.."


අම්මා ළඟට ගිහින් කිව්වේ විවේක් එක්ක රණ්ඩුවට යන්න බැරි නිසා...


කොහොමහරි අමාරුවෙන් එන්ගේජ්මන්ට් එක පස්සට දාගන්න පුලුවන් වුණා. මගේ අකමැත්තෙන් එයාලට කිසිම දෙයක් කරන්න බැරි බව අම්මත් තේරුම් ගත්තා.. සති හතරකින් අම්මත් ලංකාවෙන් ගියා තමන්ගේ සුපුරුදු රැකියාවට..


ඔෆිස් එකේ වැඩ සාමාන්‍ය විදියට සිද්ධ වුණා. හදිසියේ ගන්න හදපු මගේ එන්ගේජ්මන්ට් එකත් පස්සට ගිය නිසා මාත් පාඩුවේ ජීවිතය ගෙව්වා... විවේක් හැමදාම මට කතා කලා.. ඉක්මන්ට මැරිකරන්න අවශ්‍ය බව කිව්වා.. මං කිසිම දෙයක් කියන්න ගියේ නැහැ..


දින දින ගෙවුණා.. සති සති ගෙවුණා..


අන්තිමට මට අමු අමුවෙන් පිලිස්සෙන්න පුලුවන් වෙන දේ සිද්ධ වුණා.. .. 


දසීගේ විවාහය..


මට වුවමනා වුණේ ලස්සනට හැඳගෙන යන්න.. මනමාලියටත් වඩා ලස්සනට යන්න... හැමෝම මං දිහා බලනවා බලන්න..... 


ඒත් ඇත්තටම දසීගේ ළඟින් හුන්නේ මට වඩා ලස්සන කෙල්ලෙක්.. එදා දසීට මාව පෙනුන් නැහැ. ඈ එක්ක හිනා වෙවී හිටියා...


මං ප්‍රාර්ථනා කරපු හැමදේම දසී ඇය එක්ක සිදු කලා.. නිලමේ ඇඳුමෙන් ඔහු ඇය සමඟ පෝරුවේ චාරිත්‍ර කළා.. දෑඟිලි බැදී, කෙන්ඩියෙන් වතුර වැක්කෙරුණා. ඔවුන් ලස්සන කපල් ඩාන්ස් එකක් කලා. ඒ ආදරණීය කටහඬින් ඔහු ඇය වෙනුවෙන් ගීතයක් ගැයුවා.


මං එදා හැමෝටම නිකම්ම කෙනෙක් විතරක් වුණා.. 


තද කරන් උන්න හැඟීම් එක්ක මං හිටියේ තනියෙන් යුද්ධෙක.. 


සමුර්දී එක්ක ඌබර් එකක නවා තැනට ගිහිපු මම හොඳට නාගත්තා..


පිරිටන් පෙති දෙකක් බිව්වා..


"අම්මේ මං මැරි කරන්න කැමතියි..." 


එහෙම මැසේජ් එකක් දාලා, ඇස් පියා ගත්තා...




Raazi සමඟ කාශ්මීර ඉතිහාසය

මං කාවදාවත් නොලියපු වර්ගයේ ලිපියක් ලියන්නේ.. මොකද කියනවා නම් මේ කතා කරන මාතෘකාව තවමත් මගේ හිතේ භූමිකම්පා ඇති කරනවා... 

ඒ තමයි Raazi කියන හින්දි ෆිල්ම් එක. 

ඊට අමතරව කාශ්මීර අර්බුදය ගැනත් මේ ලිපියෙන් කතා කරනවා..

මං හුඟක්ම බලන්න කැමති හින්දි ෆිල්ම් නිසා, කාලෙකින් ෆිල්ම් එකක් බලන්න බැරිවුණ නිසාත්, සම්මාන ගත්ත චිත්‍රපට ලිස්ට් එක බැලුවා.. ඒකෙන්  ෆෙයාර් සම්මාන ලිස්ට් එක දිහා බලලා අන්තිමට මං තීරනය කලා, 2018 වසර වෙනුවෙන් හොඳම නිලිය සම්මානය, ආලියා බාට්ට හිමි වුණ Raazi කියන ෆිල්ම් එක බලන්න.ඉතින් ෆෝන් එකෙන්ම නයිට් ඩේටා වලින් ඩවුන් වෙන්න දාලා Raazi ඩවුන් කරගත්තා.. 



හරින්ද්‍ර එස්. සික්කාගේ  Calling Sehemath කියන නවකතාව පාදක කරගෙන පකිස්තානය හා ඉන්දියාව අතර උණුසුම වෙනුවෙන් සිය ජීවිතය කැප කරමින් ඉන්දියානු බුද්ධි අංශයට සේවය කළ තරුණියකගේ කතාවක් තමයි Raazi කියන ෆිල්ම් එකට පාදක වෙන්නේ... 

ඉන්දියාව වෙනුවෙන් සේවය කිරීමට පකිස්තාන් තරුණයකු හා විවාහ වෙන සෙහෙමත් වීරවරියක් ලෙස සිය ඉන්දියාව වෙනුවෙන් ලබා දෙන සේවය ගැන මගේ හිතේ තියන දෙදරීම ඇත්තටම කියන්න වචන නැහැ...  

යුද්ධයක ත්‍රස්තවාදයක තිබෙන කුරිරු බව ඉතාමත් හොඳින් තේරුම් කරනවන මේ චිත්‍රපටිය ඇත්තටම මට නම් වචන වලින් කියන්න බැරි තරම් අපූරුයි.



මේ දිනවලත් පැතිර යන කාශ්මීර් උණුසුම පිලිබඳ තේරුමක් ලබා ගන්නත් මේ චිත්‍රපටිය උදව් වෙනවා...

1947 බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගන්න මොහොමඩ් අලී ජින්නා පකිස්තානය බිහිකරනවා....  පකිස්තානය නිදහස දිනා ගැනීමෙන් පසුවයි ඉන්දියාවට නිදහස ලැබෙන්නේ...

කාශ්මීරය කියන ප්‍රදේශය පකිස්තානයට අයත් නොවන නිසා ඔවුන්ට කැමති රාජ්‍යයකට අයිති වීමේ අයිතියක් ඔවුන්ට හිමි වෙනවා.. කාශ්මිරය කියන කොටසේ ඉස්ලාම් ජනකාය වැඩි වශයෙන් හිටියත්, එහි ප්‍රාදේශීය පාලකයා ලෙස හුන්, හරී සිං නම් හින්දු මහාරාජවරයා පකිස්තානයට එක් නොවී ඉන්දියාවට එක් වීමට තීරණය කරනා නිසා අවසානයේදී කාශ්මීරය ඉන්දියාවට අයිති වෙනවා....

නමුත් කාශ්මීරය පකිස්තානයට ලබා ගන්න පකිස්තානයට අවශ්‍ය වෙනවා. ඒ නිසා 1947 සිට ප්‍රධාන යුද්ධ තුනකටත් අර්බුද ගණනාවකටත් කාශ්මීරය නිසා ඉන්දියාවත් පකිස්තානයත් එකිනෙකාට විරුද්ධව සටන් කරනවා...

පකිස්තානය නිදහස ලබා ගන්නේ 1947 අගොස්තු 14 දිනයි. ඉන්දියාව නිදහස ලබාගන්නේ එයින් දිනකට පසුව, එනම්.. , 1947 අගෝස්තු 15 දිනයි..



1947- 1948 කාලය

මෙන්න මේ කාල වකවානුවේදී තමයි, කාශ්මීරය වෙනුවෙන් ඉන්දියාව හා පකිස්තානය ප්‍රථම යුද්ධය ඇති වෙන්නේ... 1947 ඔක්තෝම්බර් 26 ඉන්දියන් හමුදාව කාශ්මීරයට පැමිණ සිය බලය තහවුරු කරගන්නවා.. නමුත් නැවත 1948 මැද භාගයේදී පකිස්තානය ඉන්දියාවට කාශ්මීරය වෙනුවෙන් පහර දෙනවා..

අවසානයේදී 1949 ජනවාරි 01 එක්සත් ජාතින්ගේ සංවිධානය මැදිහත්වීමක් නිසා ඉන්දියාව හා පකිස්තානය සටන් විරාමයකට අත්සන් කරනවා...

නමුත් මුල් කාශ්මීරයෙන් කොටසක් පකිස්තානයට අයිති වෙනවා.. ඒ කොටස හඳුන්වන්නේ අසාද් කාශ්මීරය කියලා..



1965 වසර

දෙවන කාශ්මීර යුද්ධය ඇතිවනේ 1965 වර්ශයේදී..
කාශ්මීරය හා රාම් ඕෆ් කුච් නම් වගුරු ප්‍රදේශය වෙනුවෙන් මෙම යුද්ධය ඇති වෙන්නේ..
එවකට නිරවි යුද්ධ වල හුන් සෝවියට් රුසියාව ඉන්දියාවටත්, හා ඇමරිකාව පකිස්තානයටත් සහය ලබා දෙනවා...

නමුත් මෙතනදිත් පකිස්තානය සිතුව තරම් සාර්ථකත්වයක් ලැබුනේ නැහැ...

නැවතත් එක්සත් ජාතින්ගේ සංවිධානය මැදිහත් වීමකින් සෝවියට් රුසියාවේ ටෂ්කන්ට් නගරයේදී 1966 ජනවාරි 10 දින "ටෂ්කෙන්ට් සම්මුතිය" අත්සන් කරමින් සටන් විරාමයකට මුල පුරනවා.. 
එම සමයේ ඉන්දියාවේ අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රී. ඔහු එම සම්මුතිය අත්සන් කල දිනට පසු දින මිය යනවා..



1971 වසර

1971 වසරේ ඉන්දියාව හා පකිස්තානය අතර ඇතිවන යුද්ධය කාශ්මීරය නිසා ඇතිවන්නක් නෙවෙයි.. එය එකල නැගෙනහිර පකිස්තානය ලෙස පැවති කොටසේ ඇති වූ නිදහස් ව්‍යාපාර හේතුවෙන් ඇතිවුන අර්බුදයක්.

පකිස්තානයේ එනම් නැගෙනහිර හා බටහිර කොටස් වල දේශපාලනමය වශයෙන් බලය තිබුණු පන්ජාබ් මුස්ලිම්වරුන්, නැගෙනහිර පකිස්තානයේ බහුතරය වූ බෙංගාලි මුස්ලිම්වරුන්ට එරෙහිව යටපත් කිරීමේ උත්සහයක් පැවතුණා..

එමනිසා 1960 සිට නැගෙනහිර පකිස්තානයේ නිදහස් ව්‍යාපාර ඇතිවුණ වගේම 1970 මහමැතිවරණයෙන් නැගෙනහිර පකිස්තානයේ අවාමි ලීගය ආසන 300න් 160ක්ම දිනාගනු ලබනවා.. එහි ප්‍රතිඵලයක් විදියට නායකයා වූ ශෙයිල් මුජිබර් රහමන් 1971 මාර්තු 26 දින නැගෙනහිර පකිස්තානයේ ස්වාධින බංගලිදේශයක් ප්‍රකාශයට පත් කරනවා.

මෙම නිදහස් ව්‍යාපාරයට පකිස්තානය කඩාකප්පල් කිරීම් කරනවා. එමඟින් වූ පකිස්තාන හමුදාමය ක්‍රියා ( ඝාතන, ස්ත්‍රී දූෂණ හා අත්අඩංගුවට පත් වීම්) හේතුවෙන්  බංගලිදේශයේ වැසියන් සරණාගතයින් ලෙස ඉන්දියාවට සංක්‍රමණය වෙනවා. එම හේතුවෙන් ඉන්දියාව මැදිහත් වීමකින් 1971 දෙසැම්බර් මස තුන් වන දා සිට දහසයවන දින දක්වා ඉන්දියාව හා පකිස්තානය අතර නැවත යුද්ධයක් ඇති වෙනවා.. ලොන්ගෙවාලා සටනෙදී විශාල පකිස්තාන වැසියන් ඝාතනය වෙනවා වගේම 1971 දෙසැම්බර් 16 දින පකිස්තානය ඉන්දියාවට යටත් වීමට සිදු වෙනවා. 

ඉන් පස්සේ තමයි, බංගලාදේශය නැමති රාජ්‍යය බිහිවීම සිදුවෙන්නේ.. 

කාශ්මීරයේ වර්තමාන තත්වය වන විට මුල් කාශ්මීරයෙන්
55% - ඉන්දියාවට
30% - පකිස්තානයට
15% - චීනයට හිමි වෙන්නේ...

ඉන්දියන් කාශ්මීර කොටසට,  පසුගියදා ප්‍රකාශයට පත් කල ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 390 වගන්තිය ඉවත් කිරීම නිසා එහි වූ විශේෂ බලතල ඉවත් වීම සිදුවුණා.. එය ඔක්තෝම්බර් 31 සිට ක්‍රියාත්මක වෙනවා..

එමඟින් වෙනම ධජයක් තිබුණ කාශ්මීරයට එම බලතලය අහිමිව යනවා.
එසේම ප්‍රාන්තයක් ලෙස තිබුණ බලතල අහිමිව ඉන්දියාවේ මධ්‍යම රජය මඟින් පාලනය වන යූනියන් ටෙරටරි එකක් ලෙස පාලන කටයුතු සිදුවෙනවා..
ඒවගේම කාශ්මීරයට ඉන්දියාවේ ව්‍යවස්ථාව යටතේ පැවතිමටත්, ඉන්දියානු මධ්‍යම රජයේ නීති වලට අවනත වීමටත් සිදුවන වගේම පෙර තිබු ප්‍රාන්තයෙන් පිටත පුද්ගලයින්ට කාශ්මීරයේ ඉඩම් මිලදී ගැනීමේ නොහැකියාවද මඟ හැරී යනවා...

මෙම වෙනස්කම නිසා ඉන්දියාවේ වූ 29 වන ප්‍රාන්ත ගණන 28 දක්වාත්, 7 ක් ලෙස පැවති යූනියන් ටෙරටරි ගණන 9 දක්වාත් දැන් වෙනස් වෙනවා.....

ඉතින් මේ Raazi කියන ෆිල්ම් එකෙන් කියවෙන්නේ 1971 යුද්ධය පිලිබඳව වුණත් එම චිත්‍රපටියෙන් ගැඹුරින් ඓතිහාසික තොරතුරු  ප්‍රකාශ වෙන් නැහැ..  මං ඉන්දියාව හා පකිස්තානයේ අර්බුද පිලිබඳ ඉතිහාසය කෙටියෙන් කතා කලේ කැමති කෙනෙක්ට අදහසක් ගන්න....

ඔන්න ඉතිහාසයත් එක්ක Raazi ෆිල්ම් එක බලන්න ඔයාලට ආරාධනා කරනවා...





රාත්‍රී වැඩ මුරයේදී..

"සීතයි අද.."
ඔබ කියනකොට ජංගමයෙන් 
හිත හිරිවැටේ...
නොදැනීම මටත්,
මේ මහ රෑ යම,
මැවෙනවා, 
නුඹ මට කිටි කිටියේ තුරුල් වෙනවා,,

නොනිඳා මේ පහන් කරන යම,
නුඹේ රස බත් පිඬ කිස.
ඇත්තමයි පාලුයි මට,, 
නුඹ තනිව වග දැනම බයයි මට...

පෙම්බර


රාත්‍රිය කවිබරයි හැකිය පෙම දලු ලෑම.
පුරහඳම පෙම්බරයි හැකිය හිත් බරවීම.
සිත් සතන් ගොළුව යයි, පෙම්බරින් බරවීම.
කවියෙකුට කල හැකියි අකුරු කර පෙම ලීම.

හිමිකම

විසල් රුකක එතුනා ලිය මඬුලු වෙමී.
සුළං ඇවිත් කරවන දඟකම් සැහැසි.
විසල් තුරු අතින් අල්ලා ගෙන පැහැදි.
කෙලෙස් නසනු කෙලෙසින් දුක් භව නැවති.

ආ මඟ දිගේ වැටුනා මල් මතක වැහි.
සුළඟෙ නුඹද තතු කිව යුතු බවත් දනී.
හිත තෙත වැඩී ඒ හන්දද දුකම වැඩී.
කවියෙන් දවන්නේ වෙන් වූ පෙමක ගිනි.

නැව් බඳ වටා ඇත රැලි එකිනෙකම හැපී.
හැපී බිඳෙන රැලි තරමට නොහේ රිදී.
නැව නොනැවතී ගමනේ යා යුතුය රැඳී.
ලතෙත් හිතට කෙලෙසක දුක දරනු හැකී.

රුකකට නොහේ කුණාටුවක් දරනු හැකී
ලතා මඬුලු නොනැමී ඇත බඳේ වෙලී
සැඩ සුළඟට වැටෙනා නුඹ සමඟ රැඳි
නැගී සිටිය හැකිමද වැල් මඬුලු පෙවී.

ප්‍රේමය මැවුනේ මුදුන් මුලක මුල් පීදී
නොම තැවෙනා ප්‍රේමය දළු ලා දිලිහි.
නුඹ සිහි නොවෙන තත්පරවත් නැතිය හිමි.
හිමිකම් නැති වුවත්, හිමිකම නුඹය හිමි.

ප්‍රේමයේ අමෘතය

සෙනෙහසක අමයුරේ
පැටලී පැටලී හිඳ
රාගයක සේලයේ 
වැතිරී වැතිරී සිප

සනසන නෙතින් පා සිඹ
නෙතඟක නෙතින් විඳ විඳ 
මෝහයද ප්‍රේමයද වෙන් කර
හඳුනා නොගත් පැරදුම
කොපමණත් හද පෑරුන
නොසිතෙයි පෙමම සෘණ බව

අහසත් උසට නැග නැග
හදවත් රෝග උත්සනව
ප්‍රේමයේ පැරදුමක් ලොව
කොහේ වේවිද සබඳ

කැකුලකට වෙර පිපෙන්නට
විහඟක පැතුමත් ඉගිලෙන්නට
වියැලි පතක හිත පියඹන්නට
ප්‍රේමයක අදිටන පිදෙන්නට

තරහකුඳු, වෛරයකුඳු නොවී ශේෂව.
ප්‍රේමයම පමණකුඳු පිපෙන
එලෙසයි සබඳ 
රිදුන මුදු ප්‍රේමය..

අනාගත දුක්ඛය..



කොත පැලඳි ඉඩෝරෙක
හරිත වන වියැලී කතරව
යදී, මියැදෙන තුරු ලතාවෝ
දිවිය නොමැරි පවතින්න

විල්පත්තු නම මියැද
සිල්ගත්තු උන් නැගිට
වෘක්ෂලතාවන් ඉදිර
හෙලයි අවසන් හුස්මම

ලකඹර හරිත පැහැයම
දූලී පැහැයෙන් බොරව
නෙත් සියල්  අඳ කරව
යදී හුස්මක් නුදුරව

මුදල්ව පිරුණ මුත් පුස්තක
වුවත් කෙතරම් පොහොසතක
ඔක්සිජන් මුදලටත් අයැදුවද
ඉතිරිවේවිද නිමල වාතය

සිඳි වියැලී උල්පත් දියර
පිපාසය සිඳින්නට ඉතිරි මුහුදු දිය පමණය කෙතරම්ම පිරුණත් කාසි
පිරේවිද වැව් පිරිසිඳු ජලයෙන.

පාසල් කාලේ...


පෝස්ට් එකක් නැතුව වේලි වේලි ඉන්න මොහොතක මගේ යාලුවෙක් මට කතාවක් ගැන මතක් කරලා දුන්නා.. ඇත්තටම එයා මතක් කලා නෙවෙයි. එයා මට කෝල් කරපු නිසා මට ඒ කතාව මතක් වුනා..ඒ කෙල්ල ඉස්කෝලේ කාලේ යාලුවෙක්. නම්බර් එකත් අලුත් වෙලා. මං බැලුවා කවුද කියලා. ඉතින් බලනකොට මෙන්න මගේ පරණ යාලුවෙක්... අපි ඉතින් ඉස්සරහ දවසක හම්බෙන්න දාගත්තා. තනියම හම්බෙන්න බැහැනේ. තව දෙතුන් දෙනෙක් සෙට් කරගන්න එපැයි. ඒත් ඒක හරියටම සිද්ධ වෙයිද කියලා නම් දෙයියෝ තමා දන්නේ ඇයි අනේ කිහිප දෙනෙක් සෙට් වෙනකම් ඉන්නවා කියන්නේ වෙන දෙයක් නෙවෙයිනේ. ඉතින් මට ස්කෝලේ කාලේ මතක් වුනා..

දැන් මං ඒ කතාව කියන්නම්. එක කතාවක් නෙවෙයි. කතා කිහිපයක් ලියනවා .

1) සීතලම දවසේ තෝස් කෑම.

ඉතින් අරු ස්කෝලේ යන කාලේ එක දවසක් කළුතර දිස්ත්‍රික්කයම හීතල වුනා එදා කොච්චර හීතලද කියනවා නම් හැමතැනම මීදුම. කලුතර මීදුම කියන්නේ සුලභ දෙයක් නෙවෙයිනේ. අනික මීදුම තිබ්බත් උදේම තිබිලා හත අට වෙද්දී නැති වෙලා යනවා. නුවරඑලියේ නම් ඒක ලොකු දෙයක් වෙන් නෑ.. ඒත් ඒ මීදුම උදේ ඉවර වුනේ නැහැ. දවල් වෙනකම්ම තිබ්බා..

(ඒක කියන කොට මතක් වුනේ. ඉස්සර ස්කෝලේ යන කාලේ මාසෙකට සැරයක් විතර මීදුම උදේම තියනවා. ඒත්දැන් මීදුම උදේම දකින එකත් හරිම කලාතුරකින් වෙන දෙයක් වගේ. එහෙම දවසක් දැක්කෙම නැහැ කාලෙකින්. හැමදේම වෙනස් වෙන එකේ දේශගුනයත් වෙනස් වෙනවද කොහෙද..)

එදා ස්කෝලේ වහන්න තරම්, උදේ හීතල.. ළමයි ස්කෝලේ ආවේ නැහැ. ටීචර්ස්ලා ස්කෝලේ ආවේ නැහැ. ඒ නිසා අරු ඇතුලු ස්කෝලේ ගිය ළමයි සුළු පිරිසකට එදා රජ මඟුල් වුනා. ඇත්තටම අරු ස්කෝලේ නොගිහින් තියෙන්නෙ හරිම අඩුවෙන් තමයි. හැමදාම ස්කෝලේ ගියා. ඇයි අරුගේ ගෙදර තාත්තා විතරයි ස්කෝලේ නොයන්නේ හැමෝම ස්කෝලේ යනවනේ. ඉතින් ගෙදර ඉන්න හම්බෙන් නෑ...

ඉතින් මෙන්න මේ සීතල දවස උදා වුනේ මං ඒලෙවල් කරනකොට පෙබරවාරි මාසේ දවසක. එදා උෂ්ණත්වය කීයද බලන්න අපි ෆිසික්ස් ලැබ් එකට ගියා උදේම. සෙල්සියස් අංශක දහ හතරයි. දවල් වෙනකොට දහ හත වුනා. ඒත් සාමාන්‍යයෙන් අපි ඉන්න ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් 26-31 වගේ රේන්ජ් එකක තියෙන්නේ..

ඉතින් එදා අපි සීතලයි කියලා ස්වීටර් ගෙනත් තිබ්බේ නැහැ. ඇයි දෙයියනේ පොඩිම ළමයි තමා මෙහේ ස්වීටර් අඳින්නේ. මට මතකයි වැස්සට වගේ තමයි අපි ස්වීටර් ඇඳලා පාසල් ගියේ ප්‍රයිමරි ක්ලාස් වලදි විතරයි.

මේ සිදුවීම වුනේ ඒලෙවල් ක්ලාස් එකේදී. ඉස්සර පුංචි කාලේ නම් පොඩි සීතලටත් මම ස්වීටර් ඇඳගෙන ගියා. ඇයි එතකොට හැමදාම අඳින ඇඳුම නෙවෙයිනේ. පාට ඇඳුමක් හම්බෙනවනේ..

ඉතින් මේ සීතල දවසේ උගන්නන්න ටීචර්ස්ලා ආවෙත් නැහැ පන්තියට. උදේම නම් ෆිසික්ස් ප්‍රැක්ටිකල් එකක් තිබ්බා. ඒක කරලා දවසම හිටියේ කිසිම දෙයක් නැතුව.. අපි කියන්නේ මං එක්ක තව මගේ යාලුවෝ කිහිපදෙනෙක්. අර මට කෝල් එක දීපූ යාලුවත් එදා හිටියා.
ඉතින් අපි දහයට විතර කැන්ටිමට ගියා. ගිහින් ප්ලේන්ටී බීලා, තෝසේ කෑවා. තෝසෙත් රස්නෙට තිබ්බා. ඒ වෙලෙම දාලා දෙන්නේ ඒ තෝසේ.

කාලා පන්තියට ආවා. ඒත් සීතලයි. කරන්න දෙයක් නැහැ.. ආයේ තව දෙතුන් දෙනෙක්වත් සෙට් කරන් ආයේ කැන්ටිමට සීතල නස්නය පිණිස ගියා.. නැවත උණු තෝසේ සමඟ, උණු ප්ලේන්ටී.. කොහොම හරි තුන් හතර පාරක්ම ඒ වටරවුම ගියා. 

ඉන් පස්සේ තමා ක්ලාස් එකට ආවේ.. ඇවිල්ලත් වැඩක් නැහැ. ආයේ ෆිසික්ස් ලැබ් එකට ගියා ඔන්න ඒ වෙලේ නම් උෂ්ණත්වය ටිකක් නැගලා. ඉන් පස්සේ ඉතින් ඔහේ ගෙවල කාලේ ගෙදර ආවා.
මගේ පාසල් ජීවිතයේ සීතලම සීතලේ උණුම උණු තෝසේ දවස ලෙස එදා ඉතිහාස ගත වුනා.


2) දන්සල

මං මෙහෙම වේලී වේලී හිටියට හොඳ ඔර්ගනයිසර් කෙනෙක් ඉස්කෝලේ යන කාලේ.. (දැන් නම් වෙඩින් ඕර්ගර්නයිසින් බිස්නස් එකක්වත් පටන් ගන්න හිතිලා තියෙන්නේ..) 

එකොලහ වසරෙදි දන්සලක් දෙන්න අදහස ගේනාවේ මුලින්ම මම. ලේසිම දේ සරුවත් කියලා, ඔන්න ළමයිගෙන් සල්ලි එකතු කරල බඩු ගෙනාවා.. මගේ යාලුවෝ ගොඩක් උදව් කලා කොහොම හරි වැඩේට. වැඩේ නැගලා යන නිසා, තව යාලුවෙක් බැනර් එකකුත් ලියන් ඇවිත් තිබ්බා. අපි ඒක දන්සලට කලින් දවසේ කැන්ටිම ඉස්සරහ එල්ලුවා.
දන්සල පටන් ගන්න අපි වෙලාව දැම්මේ,10ට විතර.

ඔන්න දන්සල දවස ආවා. අරහෙ මෙහෙන් බේසම්, බාල්දි හොයාගෙන ඇවිත් ඔන්න සරුවත් හැදුවා.

කොහොම හරි වැඩේ නැගලා ගියා. ඔක්කොම සරුවත් ඉවර වුණා පැයකින් විතර.. වැඩේ දැන් ඉවර කරන්න මට ඕන උනා.. ඒත් මගේ වටේ හිටිය යාලුවොන්ටතව දුරටත් වැඩේ කරගෙන යන්න ඕනා.. කැන්ටින් එකේ අන්කල්ට සල්ලි දීලා ඔන්න ආයේ බඩු ගෙන්නුවා. ඉතින් දන්සලේ සෙකන්ඩ් රවුන්ඩ් එකකුත් ගියා පැයකට විතර පස්සේ.. කොහොම හරි ඉතින් හැමෝම දන්සලෙන් සතුටු වුණා...


3) ඓතිහාසික සිංහබාහු නාට්‍ය බැලීම.


ඒ වගේ තව ඉතිහාසගත වුන දවසක් තමා, සිංහබාහු නාට්‍යය දවස.. ඒක ලැබුවේ, අපි එකොලහ වසරෙදි,

දැන් ළමයිව ට්‍රිප් එක්ක යනවා,නාට්‍ය බලන්න එක්ක යනවා වගේ ඉස්සර එක්ක ගියේ නැහැ. හරිම අඩුවෙන් තමා එක්ක ගියේ..

සිංහබාහු නාට්‍ය බලන්න යනවා කියලා අපිට කියලා තිබ්බේ නැහැ. නමුත් අපි දැක්කා ටික දවසකට කලින් නෝටිස් බොර්ඩ් එකේ සිංහබාහු  නාට්‍ය නගර ශාලාවේ පෙන්නවා කියලා නෝටීස් එකක්. එදාට කලින් දවසේ අපිට ට්‍රිප් එකක් තිබ්බා. කොළඹ තමයි එක්ක ගියේ.. අයියෝ ඉතින් හරි ලොකු ට්‍රිප් එක වගේ අපි ඒකාලේ සතුටින් ට්‍රිප් එක ගියා. ට්‍රිප් එකක් ගිය දවසෙට පහුවෙන්ද නිල නොවන නිවාඩුවක් හැමෝටම හම්බෙනවා. ඇයි ට්‍රිප් ගියාම නැවත පාසකට එන්නේ එකොලහට දොලහටනේ . ඉතින් ට්‍රිප් එක ගිය හැමෝටම මහන්සියි.  ගුරුවරුත් නැහැ. ශිෂ්‍යයොත් නැහැ. ඒත් ඉතින් අරු පාසල් නොයනවද.. නෑනේ. මං හිතන්නේ මං වැඩිපුරම පාසල් ගිහින් තියෙන්නෙ මේ වගේ පිස්සු නටන්න පුලුවන් දවස් වලට තමයි.

ඉතින් ඔන්න ට්‍රිප් එක ගියාට පස්සේ දවසේ අපේ යාලුවෝ කිහිප දෙනෙක් කතා කරගෙන පාසල් ආවේ සමහර විට සිංහබාහු බලන්න එක්ක යාවී කියලා. හරියටම හරි.. ඒක සිද්ධ වුනා. නාට්‍ය සර් ඇවිත් අපිවත් සිංහබාහු බලන්න එක්ක යන්න කැමති වුනා.. බස් එකකුත් කතා කරලා. ඉන් පස්සේ අපි බස් එකෙ නැගලා සිංහබාහු බලන්න ගියා.  ඉතින් අපි ටිකට් වලට සල්ලි දීලා ඇතුලට ගියා. මාත් එක්ක අපේ යාලුවෝ හතර පහක් හිටියේ. හුඟක් අය අපේ වයසේ ඇවිත් නැහැ. අපේ පාසලෙන් ගිය ඉතිරි අය පොඩි පන්ති වල ළමයි.

පාසල් වලින් ආපු පිරිමි ළමයිනුත් හිටියා. අපි එක්ක ගැහැණු හිටිය ළමයෙක් ඉතාම දඟකාර.  කොල්ලොන්ව බයිට් කරනවා පාරේ යද්දි වුණත්... කොහොමහරි අපේ සහෝදර කියන පාසලේ (ඒක දැන් නම් සහෝදරකමක් නැද්ද කොහෙද අප්ෆා..) බිග් මැච් එක කලින් දවසේ ඒ කියන්නේ අපි ට්‍රිප් එක ගිය දවසේ තිබුනේ. ඒක කොහොමහරි පැරදිලා තිබ්බා.  ඉතින් මේ සහෝදර පාසලේ සහෝදරයන් කිහිප දෙනෙකුත් ඇවිත් හිටියා සිංහබාහු නාට්‍ය බලන්න.. ඒකේ ගොඩක් කවියෙන් යන නිසා වැඩියා තේරුන් නැහැ. ඉතින් අපිට කම්මැලී. අර සහෝදරයන් හිටියා අපිට පේලියක් ඉදිරියෙන්.. බිග්මැච් එක පරාද වුණාට සිංහබාහු බලලා ඉවරවෙනකම්ම බයිට් කලා ඉතින් අර මගේ කරකාර යාළුවා..
මැදදි ඉන්ටර්වල් එකේ, ඉස්සො වඩේ විකුණන ගැනු කෙනෙක් ආවා. ඒකේ සුවඳට අපිත් වහ වැටුනා. කොහොමහරී තිබ්බ අන්තිම සතෙනුත් අපි වඩේ කෑවා..

වඩෙත් කාලා, අර සහෝදරයන්වත් බයිට් කරලා, සිංහබාහුත් බලලා ආයෙ ඉස්කෝලෙට එන්න බස් එකට නැගලා ආවා. 

අන්න එතකොට තමා අපිට දෙයියො සිහි වුනේ.. බස් එකේ කොන්දොස්තර සල්ලි එකතුකරන්න ගත්තා.. අපිට සල්ලි නැහැ. තිබ්බ අන්තිම සතෙනුත් අපි වඩේ කෑවනේ..
කරන්න දෙයක් නැහැ... ටීචර් කෙනෙක්ගෙන් සල්ලි ඉල්ලන් තමා දෙන්න වුණේ අන්තිමට.

-------------------------------------------------------------------

සිංහබාහූ නාට්‍යය කියන්නේ අපේ සංස්කෘතික විදහාලන එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ලස්සන නිර්මාණයක්.

සිංහබාහුනාට්‍යයේ ප්‍රසිද්ධම කොටස වෙන්නේ,

“ගල්ලෙන බිඳලා. . . ලෙන් දොර ඇරලා
සිංහබා. . . . සිංහබා. . . . සිංහබා. . .
මා සොඳුර. . .  මා සොඳුර. . .  මා සොඳුර. . .  
සිංහ සීවලී . . . මා ප්‍රිය දියණිය. . .
ගල්ලෙන බිඳලා ලෙන් දොර ඇරලා
ගොසින් සැම දෙන නැතේ කිසිවෙක්
මම දැන ගතිමි. . . මම සැක කළෙමි
සිංහබා. . . . සිංහබා. . . . සිංහබා. . .
ලෙන තුළ නොවෙති - පෙරලා නොයෙති
මම දැන ගතිමි - මම සැක කළෙමි
සුරතල් දියණිය මොළකැටි වදනින්
මා සනසන්නිය අහර පිසන්නිය
කවන්නිය . . . පොවන්නිය. . .
මා ගැන. . . බිය වන්නිය
වනයේ දුකක් වෙද. . . අසන්නිය. . . සොයන්නිය
ඈත් ගොසින්ය. . . ඈත් ගොසින්ය
ඇයි සුදු දුවනියේ නුඹවත් නොසිටියෙ
සොහොයුරා නම් ඔළ මොළ ගති ඇත
නුඹ මෙන් මුදු නැත
ඔහුගේ අණටද කීකරු වූයේ
පෙරලා එන්නේද ඔහුගෙන් ගැලවී . . .”

ඒත් මං ආසම කොටස මේක නෙවෙයි.. ආසම කොටස, 

"නැත ලොවේ අන් රසඳුනා - ආදරේ සේ සුව දෙනා.."

මට මතකයි එක පාරක් අපේ කලා දිනයට ආපු ප්‍රධාන අමුත්තා තමයි, නිශ්ශංක දිද්දෙනිය මහත්මයා. ඔහු හරිම ලස්සනට ඒ ගීතය ගායනා කලා... එදා තමයි මං ඒ කොටසට ආස වෙන්න පටන් ගත්ත දවස... අහල නැති අය හොයාගෙන අහන්න. මට යූ ටියුබ් ලින්ක් එකක් හොයාගන්නත් බැරි වුණා...



සතුටු කුමාරයාගේ මල් වත්ත



"ඔයා දන්නවද මේ මල් කතා කරනවා.. රෑට කතා කරන්නේ.. සමනල්ලු නැතිවෙලාවට. වැඩිපුරම කරන්නේ සමනල්ලු ගැන කතා වෙන එක.. එක්කෝ එක සමනලයෙක්ට බනිවී.. නැත්තම් තව සමනලයෙක්ගේ ඇද කියාවී. හරියට ගෑනු උදවිය වගේ ඕපදූප තමා බාගෙට බාගයක් කතා කරන්නේ..නැත්තම් සමහර වෙලාවට එක එක්කෙනා ගැන එයාලා සංසන්දනය කරනවා... "

සුරංගනාවී එහෙම කියන මල් වත්තේ වැඩ කරන කොලු ගැටයා දිහා බැලුවේ හරිම අවිනිශ්චිතතාවකින්... මල් ගහක් යටට වෙලා රහසින් අඬ අඬ ඉඳපු සුරංගනාවී හිතුවේ නැහැ තමාව කවුරුහරි හොයා ගනිවී කියලා...

"ඔයාට විශ්වාස නෑ නේද... එහෙනම් රෑට මෙහෙ ඉන්න. හැබැයි සද්ද නොකර ඉන්න ඕනා.. මං නම් ඉන්නේ අර පේන මඩුවේ ඇතුලේ.. "

කොලුවා අත දික් කර පෙන්නුවේ පුංචි මඩුවක්.. ඒක තිබ්බේ මල් ගහක් උඩ.. හරියටම කියනවා නම් ඇහැල මල් ගහ උඩ මැද හරියේ අත්තක.. සුරංගනාවි කවදාවත් දැකලා තිබුනේ නැහැ ඒ මඩුව හැමදාම මල් වත්තට ආවා වුණත්... ඒක තිබ්බේ මල් වලින් වැහිලා...

" ඔයා කොහොමද මං මෙතන ඉන්නවා කියලා දැන ගත්තේ"

" ඔයා අඬන සද්දෙන්.."

සුරංගනාවි එක පාර පියඹලා ඈතට ගියේ තමාට ලැජ්ජාවක් ඇති වුණ නිසා.. කවුරුත් දැන ගන්නවට සුරංගනාවී කැමති වුණේ නැහැ තමන් අඬන බව... කොලුවා බලන් හිටියේ සුරංගනාවී පියඹලා යන දිහා.. එයා හිතුවේ නැහැ සුරංගනාවී එහෙම එකපාර පියඹලා යාවි කියලා... ආයේ ආපසු හැරුණු කොලුවා ගියේ තමන් කර කර හිටපු කාර්‍ය්ය කරන්න... ඇහැල ගස් පැත්තේ කොලුවා අලුතෙන් මල් පාත්ති වගයක් සකස් කර කර හිටියේ.. උදැල්ලෙන් කොටලා පස් බුරුල් කරලා සකස් කරපු බිම හෙට දිහා වෙද්දි මල් පැල ටික ඉන්දනවා කියලා ආපසු ගියේ තමන්ගේ මඩුවට යන්න ඉස්සෙල්ලා පිරිසිඳු වෙන්න...

ගංගාවට ගිහින් නාලා පිරිසිඳු වුණ කොලුවා පලතුරු ටිකක් කඩන්න කියලා ගියේ පලතුරු ගස් පැත්තට. ඒ වෙද්දි සුරංගනාවී ආයෙත් ඇවිත් පලතුරු කඩමින් හිටියේ. සමහට දවසට ඒ ලස්සන සුරංගනාවී එක්ක තව මිතුරු සුරංගනාවන් කිහිප දෙනෙක් හිටියත් අද ඉන්නේ ඇය තනියම. තමාව දැක නැවත සුරංගනාවී යාවි කියන බයෙන් ආපසු හැරුණ කොලුවාට අඩි කිහිපයයි යන්න හම්බුනේ... එක පාර පියාඹගෙන ආපු සුරංගනාවී කොලුවා ඉදිරියෙන් හිට ගත්තේ පලතුරු කූඩයත් එක්ක..

" මේ ටික ඔයාට..." එහෙම කියලා සුරංගනාවී ආයෙත් ඉගිලුනේ පලතුරු කූඩය කොලුවගේ ඉදිරියෙන් තියලා...

කූඩයත් අරන් තමන්ගේ ගස උඩ පැල්පතට කොලුවා ගියේ අද සිදුවන පුදුම සිදුවීම් සිහි ගන්වමින්...

පැල්පතට ආපු කොලුවට හුඟක් වෙලා ඉන්න වුණේ නැහැ.. ඔහුට නින්ද ගිහින් තිබුනේ... ඒ වෙනකොට කලුවර වැටීගෙන එමින් තිබුනේ... පුංචි පුංචි තාරකා එක දෙක අහසේ දිලිසෙන්න අරන්... උදේ පිපිච්ච මල් වලටත් බාගෙට නින්දට ගිහින්.. ඔහුගේ මුහුණේ හිනාවක් ඇදුනේ නින්දෙන්ම.. ඒ පුංචි සුරංගනාවී ගැන හීනයක් දකින්න පටන් ගත්ත නිසා... සුරංගනාවී තමන්ගේ අතින් අල්ලන් මල් වත්තේ ඇවිදිමින් හිටියේ.. ඔහු සුරංගනාවිට ලස්සන මල් කඩලා දුන්නා. ඒවා තමන්ගේ කෙස්‍ රැලි අතර රඳව ගනිමින් සුරංගනාවීත් ඉදිරියට ගමන් කලා... ඔවුන් හිටියේ සතුටින් හිනහෙමින්.. සවස දුටු දුක්බර මුහුණ සුරංගනාවීගේ මුහුණෙන් දකින්න තිබුනේවත් නැහැ.. 

එකපාර ඔහු ඇසුනේ කවුරුහෝ දොරට තට්ටු කරන හඬ.. ඒ නිසා ඔහුගේ හීනය අතරමැද නවතා ඔහුට ඇහැරෙන්න වුණා.. කවදාවත් කවුරුත් ආපු නැති තමන්ගේ නිවසට කවුද ආවේ කියලා බලන්න ඔහු දොර අසලට ගියේ පුදුමයෙන්...


දොරෙන් එහා පැත්තේ හිටියේ හවස තමන්ව පුදුම කල, මල් ගස යට රහසින් හඬමින් හිටි,ඒ වගේම පොඩ්ඩකට පෙර තමන් හීනෙන් දුටු ඒ සුරංගනාවී...

" මං එන්නද ඇතුලට..."

"එන්න..."

පුංචි පැල්පතේ කොනකට වෙන්න පුලුන් අතුරපු යහනාවක් තිබුණා.. ගහක කොටයක් වාඩි වෙන්න පුලුවන් විදිය යහනාවට ටිකක් එහායින් තිබුනා.. එතන පිටිපස්සේ මේසයක් වගේ කොටසක් උඩ පලතුරු කූඩය තියලා තිබුණා.. සුරංගනාවීට හිතුනේ ඒ කුඩා ගෙය තමන්ගේ ලෝකේ තියන දේවල් වලට වඩා ලස්සන හුරුබුහුටි තැනක් කියලා...

"මං ආවේ තනියෙම ඉන්න බැරි නිසා.. මල් කතා කරනවා අහන්න ආවේ මම..."

"එහෙනම් අපිට කතා නොකර ඉන්න වේවී.."

"හරි.. ඒත් සුරංගනාවී රෑ ආහාරය අරන්ද... ඔයා කඩපු පලතුරු තියෙනවා.."

"ඒවා ඔයට කැඩුවේ මම.."

"කමක් නැහැ ඔයා කන්න.."

"හෙමින් හෙමින් පලතුරු කූඩය ළඟට ගිය සුරංගනාවී ඇපල් ගෙඩියක් කන්න පටන් ගත්තේ කොටය උඩින් වාඩිවෙමින්. ඇගේ දිග රෝස පැහැති ගවුම දොර ළඟත් වඩා දිගට තිබ්බා.. කොලුවා එය ඇතුලට අරන් දොර වහලා දැම්මා..

"ඇයි ඔයා ඇඬුවේ.."

"පොඩි ප්‍රශ්නයක්.." සුරංගනාවී ඒ පාර පිලිතුරු දුන්නේ හිනාවෙමින්.. සවස අඬපු වගක් තිබුණේ වත් නැහැ.

" මං හිතුවේ නැහැ ඔයාලා දුක කියන දේ දන්නවා කියලා.. මං හිතන් ඉන්නේ ඔයාලා සතුටින් ඉන්නවා කියලා..." කොලුවා උත්තර දුන්නේ සුරංගනාවී අසලින් වාඩි වෙන ගමන්..
"එහෙම නැහැ.. මං හිතන්නේ මට වඩා ඔයා සතුටින් ඉන්නේ.."

"සුරංගනාවි ඇයි එහෙම කියන්නේ.."

"මං දැකලා නැහැ කවදාවත් ඔයා දුකින් ඉන්නවා...මං දකින හැමදාම ඔයා මල් පාත්ති සකස් කරනවා. පලතුරු පැල හිටවනවා.. මල් පැල වලට වතුර දානවා... ඒ හැමදේම කරන්නේ සතුටින්.. හිනා වෙවි.."

"එහෙම නැහැ."

"එහෙම තමයි... මං මේ මල් වත්තට එන්නේ ඔයාගේ සතුට බලන්න... මේ මල් වත්තට අපි කියන නමත් සතුටු කුමාරයගේ මල් වත්ත කියලා..."

කොලුවා නොදන්න දෙයක් ඒක.. කොලුවට දැනුනේ පුදුමයක්...

"ඉස්සර මාත් හිටියේ දුකින්. තනිකම නිසා.. මට යාලුවෙක් නැහැ.. මං මේ මල් වත්තේ හිර වෙලා... මං ඉස්සරම ඈතට ඈතට ගියා මං වගේ කෙනෙක් හොයාගන්න.. ඒත් කොච්චර දුර ගියත් වැඩක් නැහැ... හැම පැත්තෙම තියෙන්නේ ගංගාව.. මේක දුපතක්නේ... පස්සේ මං වැඩ කරන්න ගත්තා.. මල් පැල හිටෙව්වා.  පලතුරු පැල හිටෙව්වා. වල් පැලෑටි ගැලේව්වා.. මං ඒ වැඩට ආස වුණා.. මට දුක අමතක වුණා..  මං මල් පිපෙනවා දැකලා සතුටු වුණා.. මට කන්න රස පලතුරු හම්බ වුණා. ඉන්න මං මේ පොඩි ගෙදර හදා ගත්තා.."

" සුරංගනාවී ඇයි දුකින් ඉන්නේ..."

"එහෙම තමා දුක හැමෝටම දැනෙනවා.. මිනිස්සුන්ට සුරංගනාවන්ට කියලා වෙනසක් නැහැ..."

එදා ඔවුන්ට මල් කතා කරන හඬ අහන්න වුණේ නැහැ.. මොකද කතාවෙන් කතාවෙන් දෙන්නටම නින්ද ගිහින් තිබුණා..

කොළඹ වාහන තදබදය අවම කිරීමට ඇරඹූ බෝට්ටු සේවාව

කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීමට කාර්‍යාල ඇරඹෙන හා අවසන් වෙලාවන්ට උචිතව අගෝස්තු මස 22 වැනිදා ඇරඹුන බෝට්ටු සේවාවෙන් යූනියන් ප්ලේස් සිට ලේක් හවුස් දක්වා ප්‍රවාහන පහසුකම් ඇත. විනාඩි දහයකින් පමණ මෙයින් යූනියන් ප්ලේස් සිට කොටුවට යාමට හැකි වනු ඇත.

මහා මාර්ග හා බස්නාහිර නගර සංවර්ධන අමාත්‍යංශය මඟින් ආරම්භ කළ සේවාව අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ අදහසකට අනුවයි ආරම්භ කර ඇත්තේ.. මේ සඳහා පූර්ණ අනුග්‍රහය ලබා දෙන්නේ නාවික හමුදාවයි.

සැප්තැම්බර් මස 22 වන තුරු නොමිලේ සේවාව සපයන අතර යූනියන් ප්ලේස් සිට පැමිණෙනවා නම් ඉබ්බන්වල හංදිය අසල ඇති වෝක්ෂෝල් වීදියේ මීටර් 500ක් පමණ යන විට  වෝක්ෂෝල් බෝට්ටු අංගනය හමුවේ..

වෝක්ෂෝල් පිවිසුම....




වෝක්ෂෝල් බෝට්ටු අංගනයේ දර්ශන කිහිපයක්...





දැනට කුඩා බෝට්ටු දෙකක් හා විශාල වායු සමනය කල එක බෝට්ටුවක් සේවවට එක්ව ඇත. නුදුරේදී තවත් විශාල බෝට්ටුවක් මෙම සේවාවට දායක වනු ඇත. විශාල බෝට්ටුවක පනස් දෙනෙකුත් කුඩා බෝට්ටුවක 14 දෙනෙකුටත් සේවය සැපයීමට හැකි වනු ඇත.

දැනට අලුත්වැඩියා කරනු ලබන විශාල බෝට්ටුවේ දර්ශන....





සේවාවේ යෙදෙන විශාල බෝට්ටුවේ දර්ශන....








කුඩා බෝට්ටුව...



ගමන අතරමඟ දැකිය හැකි නෙළුම් කුළුණ....


ලේක් හවුස් අසල මැකලම් අංගනයේ දර්ශන...




දැනට කාල සටහන...


මෙම බෝට්ටු සේවාවේ දෙවන පියවර ලෙස වැල්ලවත්තේ සිට බත්තරමුල්ල දක්වාත්, තෙවන පියවර ලෙස මට්ටක්කුලිය සිට හංවැල්ල දක්වාත් නුදුරේදීම බෝට්ටු සේවාවන් ආරම්භ වනු ඇත.

සිතන්නට යමක්...05

අන්ධ ගැහැණු ළමයා.


අන්ධ කෙල්ලෙක් සිටියාය.
ඇය වෛර නොකළ එකම පුද්ගලයා ඇගේ ආදරණීය පෙම්වතාය විය.
ඒ ඔහු සැමවිටම ඇය වෙනුවෙන් ඇය ළඟින්ම සිටිය නිසාය. ඇය ඔහුට පැවසුවා ලෝකය දැකිමට තමාට හැකි නම් පමණක්ම ඔහුව විවාහ කර ගන්නා බව.


දිනක් යමෙක් ඇයට ඇස් යුගලයක් පරිත්‍යාග කර තිබිණි. එලෙසින් ඇයට ඇගේ පෙම්වතා ඇතුළු සියලුම දේ දැකීමට හැකි විය. 


 “දැන් ඔබට ලෝකය දැක ගත හැකි නිසා ඔබ මාව විවාහ කරගන්නවාද?” 

ඇයට ලොව දැකීමට හැකි බැවින් සිය පෙම්වතා ඇගෙන් විමසීය.


නමුත් ඔහුද අන්ධ බව දුටු ගැහැණු ළමයා කම්පනයට පත් වූ අතර ඔහු හා විවාහ වීම ප්‍රතික්ෂේප කළාය. පෙම්වතා කඳුළු සලමින් ඉවත්ව ගොස් ඇයට ලිපියක් ලිවීය.


  “මගේ ඇස් බලාගන්න වස්තුව."


සිතුවිල්ල:
අපගේ තත්වයන් වෙනස් වන විට අපගේ මනසද වෙනස් වේ. බොහෝ විට පෙර පැවති අයුරින්ම ඒවා දකින්නට නොහැකි වන අතර සමහර අයට ඒවා අගය කිරීමට හෝ නොහැකි විය හැක.

ලැජ්ජා රහිත වීමේ කතා වස්තුව.


එක් සමයක අඳුරක වූ නරයින් කණ්ඩායමක් විය... අඳුරේ වූ ඔවුහූ වර්ෂ ගණනක් මුළුල්ලේ වෙහෙසව නිර්භයව, ආලෝකය නැමති පහන් සිල ලැබීමේ සුදුස්සෝ ලෙසින් කූටාප්ප්‍රාප්තියට එලෑඹිණි.ආලෝකය ලැබීමේ සුදුස්සෝ වුවද, ආලෝකය හිමියැයි සඳහන් සහතිකය පිරි නමන්නන් ඔවුන් අඳුරේ ගිල්වා තැබීය. එනම් ඔවුනට හිමි ආලෝක සහතිකය නොලැබිණි.

ඒ වූ කලී, අලෝකය ලැබීමේ සුදුස්සෝ වීමටත් පූර්වයේ ඔවුහු බන්ධනයක බන්ධනය වූවන් සහේතුක කොටගෙනය..

කෙතරම් නිසලව අවනතව උන්නද රැහැ අඳුරේම වන. කිසිඳු එලියක සේයවකුඳු නැන්තේමය.. ඒ සමයේ බන්ධනය පිලිබඳ නොතකමින් සියල්ල අතැර සමහරක් අන්‍ය ගමනාන්තයක් කරා පියනැගුවෝය. ශේෂ වූ සියල්ල, දුක්ඛයෙන් හා පීඩාවෙන් පීඩිතව සිය කර්තව්‍යයන් කරගෙන සිටින්නාහ.

නුමුත් නිසලව සිටීම අරඹයා කිසිඳු විසඳුමක් නොවන හෙයින්,රැහැ අරගල කරන්න ආරම්භයක් ගත්තෝය.හුදෙක්  අරගල පෙලක් සිදුකලද, කිසිඳු ආලෝකයක් ලැබීමට නොපොහොසත් වූ හෙයින්, අරගලය නීතියේ දෙවඟන කරා රැගෙන යාමට පන්ති භේදයකින් තොරව සියල්ලෝම උකටලීව සිය මනාපය රැහේ නායකයන් වෙත සපථ කලෝය...

නමුත් එය සුනුවිසුණු කිරීමේ අභිලාෂයෙන්, අලෝකය අයිති කිසිවෙක් පැමිණි ආලෝකය දීම පසෙකලා, අඳුරම පැතිරීම සිදු කලහ. රැහැ පන්ති කිහිපයෙන් කඩා, හිස් වල විශ පොවා සුරලොව පෙන්වීමට ඔබව තෝරාගන්නා ලෙස දැන්වූහ.. අනතුරුව ආලෝකය සෙවීම පසෙකලා පන්ති භේද වී රැහේ උන්, සමහරක්

"එම්බා තොපගේ පහන් දැල්වීමට අග්නි සෙවීම වුව අපට අනවැසිය.. තොපගේ මුසාබස් අප විසින් විශ්වාස කර නොමැත්තේය.." යැයි භේද භින්න වන්නට විය..

මිථ්‍යා දෘටිය කෙසේද යත්, ආලෝකය තමන් වර්ෂ ගණනක් මුළුල්ලේ වෙහෙසෙන් දිනූ අයිතීය බව දැනද ඔවුහු උකටලීව නිශ්ශබ්දව වන්හ..

ඒ සමයේ සුරලොව පිලිබඳව සිහින දහසක් දුටිමින්, අලෝකය පිලිබඳ නිනව් නැති වුන් පසෙකලා රැහේ ඥාණාන්විත එවුන් නීතියේ දෙවඟනගෙන් ආලෝකය නැමති සිය අයිතිය දිනාගන්නට උකටලී වන.. මහත් වෙහෙසකින් අනතුරුව දෙවඟන නියමය දුන්නීය....
"ආලෝකය ඔවුන් මහත් වෙරදා දිනා ගත් එකක් ය.. ආලෝකය පුද කර නොහිඳීම නෛතිකව වරදක්ම වන්නේය..."

එබැව් දැනගත් සැනෙන් රැහේ සුරලොවට තේරුණ ලෙස රැවටී නීතියේ දෙවඟනගේ පිහිටට විරුද්ධ වුන්ද, තමන් තෝරාගත් සුරලොවක් නැතිය යන්න විලි ලැජ්ජවෙන් තොරව ගොස් ආලෝකය ලදැයි යන සහතිකය රැගෙන ආහ...

එයින් ඔවුහූ ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියමන සත්‍යක් බව පෙන්නා දුන්නෝය.
_____________________________________________

මෙහි නිදාන කතාව පිලිබඳ විස්සෝප නොවන්න.. මගේ කතා එකතුවක් ලෙස සුරැකෙන බැවින් මේ කතාවද පලකිරීමට සිතුවෙමි..


නිරුධක.(හිස්කම)



සංවරව    හිත මතම මදින රූ            රටාවෙක
අන්ධවම   නොදුටු අඩ, හඳින් මුව  තෙමාගෙන
සංසලව    හිත් මැදින් පිපුණ මල්   නෙලාගෙන
යන්න  ගිය දුර වැඩියි මල් පහන්      දල්වගෙන

දුයිෂේන්   වුව වුණත් උන්නේ එක    කතාවෙක
අල්තීනයි දුක් නුවුනේ කිසිත් නොම දැනහැඳින
සුන්දරයි   කතා වුව ප්‍රේමයෙන්        තෙමීගෙන
ප්‍රබන්ධය වුව වුණත් මැවුණෙ පෙම   රිදීගෙන

කඳුලකට   දුර වැඩී  හිතක පෙම් මල්      පිපුණ
සතුටකට   දුර වැඩී  හීන මල් පිපි           දිලෙන
නුඹ ළඟයි හදවතින් ප්‍රේමයම       ගිගුම්   දෙන
සනසන්න  හැකිවේද  සිත දුරින්  දුර      යනෙන

සිතන්නට යමක්...04

පාෂාණය.

පුරාණ කාලයේ රජතුමකු විසින් සිය සේවකයෙක් පාරක ගලක් පවතින ස්ථානයක සේවයට යෙදවූයේය.

ඔහු පඳුරු වල සැඟවී සිටි අතර, කිසිවෙකු ගල් පර්වතය ඉවතට ගෙන යනු ඇත්දැයි නිරීක්ෂණය කලේය.

රජුගේ ධනවත් වෙළෙන්දන් සහ රාජ සභිකයන් සමහරක් පසුකර ඒ වටා ඇවිද ගියහ. පාරවල් පැහැදිලිව තබා නොගැනීම ගැන බොහෝ අය රජුට දොස් පැවරූ නමුත් ඔවුන්ගෙන් කිසිවෙකු ගල ඉවත් කිරීම ගැන කිසිවක් කළේ නැත.

දිනක් ගොවියකු එළවළු ගෝනියක් රැගෙන මාර්ගයේ ගමන් කරමින් සිටියේය.  ගල්පරයට ළඟා වූ විට ගොවියා තම බර පසෙකින් තබා ගල ඉවතට තල්ලු කිරීමට උත්සාහ කළේය. බොහෝ තල්ලු කිරීමෙන් හා වෙහෙසට පත්වීමෙන් පසුව ඔහු අවසානයේ ගල ඉවතට තල්ලු කලේය.. ගොවියා තම එළවළු ගෝනිය ගැනීමට ආපසු ගිය පසු ඔහු ගල තැබූ ස්ථානයේ තිබු පසුම්බියක් දුටුවේය. මුදල් පසුම්බියේ බොහෝ රන් කාසි අඩංගු විය.
එහි රජුගේ සටහනක් විය. " රත්තරන් කාසි, පාෂාණය පාරෙන් ඉවත් කළ තැනැත්තාට ය. ”

සිතුවිල්ල:
කම්මැලිකම ඔබට කිසිදෙයක් ලබා දෙන්නේ නැත.

රිදුම්




ඔබ තුටින් බව අසා 

මගේ නෙත් පිය වුණා..
රැයේ සීතල නුඹේ ළඟ යැයි 
හදිස්සියේ හිත ගැස්සුනා..

කිටි කිටියේ තද කරන්
නුඹ උන්න මගේ ලයේ
නුඹ ඇවිත් තැනින් තැන
කොනිතිලා රිද්දුවා....

සින්ඩරෙල්ලත් දුප්පත් කිරිල්ලියක්.

සිහින වලා නිල්වන් ගගනේ මැවුන.
පිඹින නලා හදවත් සසලේ දැව්ව.
නහින වයස පැතු නාඹර විය තුරුණ.
වහින වැසිත් ආසිරි පැතුවා වැන්න.

ලැයිමේ ඉපදි සුර සැප නොදුටුවත් කිසි.
නෑවේ පාන්දර වත්තේ හොරෙන් වැනි.
ගාමන්ට් එකේ රෙදි කන්දක් මැද්දේ මැරී.
මසකට දහසෙ කොල දහයකි අතට හිමි.

බඹරිඳු ඇවිත් සුවඳට මත් විය සකිය.
නරනිඳු වුවත් මැව්වේ සිහිනෙකි මිතුර.
බඩ වුණු කෙල්ල ගණිකාවක් වුණි පවට.
පිරිමින් රහසේ පැන ගියේ වෙනසක් නැතිව.

හවස කුරුලු ජෝඩු ලයිට් වයරයේ හිඳී.
නොවුනට සැපක් උන් සතුටින් පෙමින් වෙලී.
පෙමකුත්, අහිමි පොරොන්දුවය රැකුවෙ නැති.
අසරණ කෙල්ල සමාජයට පිල්ලි වුණි.

නිමා නොවන ජීවිතයක හිමි ගමන.
දුවා වෙලඹ හති වැටුනට හිමි දුකය.
මවා සිහින ගාමන්ට් එකෙ ජීවිතය.
පලා ගන්න ලේ මස් නැති කවන්දය.

නුරඟන සෙයින් බිම බට කටු පොලවෙහිය.
වරඟන වීය ඇගෙ හද මස් රිදුම් විය
සුරඟන කතාවක සින්'රෙල් කිරිල්ලිය
පුරඟන වූවාය දුප්පත් කිරිල්ලිය.

පණ්ඩුකාභය

ගුරුකුල සදිසි කම්මල මැද සිත පැහැදි.
ගිනි ගෙන අවුත් මඟහැර ආ මරු නුදුටි.
වැව්මැද දඟකමින් ආයෙත් මරු සැඟවී.
බෑණා නොවේ උන් දුටු  පස මිතු සදිසි.

නුග පත් සැලෙන සේ සසැලෙන මුදු හදින.
වගවත් සුලෙල වූ ස්වණ්ණය දද ලෙලෙන.
සැදැහැත් සිරින් පා අඩි ඔසවා යනෙන.
කගපත් සැලුනේ දස්කම් බවකින් සහජ.

සඳ එන පමාවෙන් දුවනා අස් දුටිමි.
ස්වර්ණ පාලියම සසැලී ඇත සැඟවී.
ගිරිකඩ පව් වැටිය පාමුල හද පිපිණි.
සසර සරන පෙම විකසිත වී දිලිනි.

මාමාවරුන් මරණට කිසි සිතක් නැති.
උන් විත් කිරි සුවඳ නසනට කුරිරු වුණි.
අභය සේම අබදන දෙන්නට සිතිණි.
අනවැසි පවක් රජ කරුමෙට එකතු වුණි.

බසවක්කුලම වැව ගොවි බිම් සිඹ සනසා.
ඉරණම නිසා ලක්පුර රජ සිරි පාලා.
අනුරද නුවර වී ලක්දිව සිරි වීලා.
රන් අකුරින් ඉතිහාසය ලෙල දීලා.

විප්පයෝගය



කාල තරණයට අවැසි සවිය මේ මොහොත වන විට ජනිත වන්නේ අපේක්ෂාවෙන්ම බව පවසමි... නොඑසේ නම් මා විසින් අරුත් සුන් බලාපොරොත්තුවක වෙලී ගැලී හිඳිනූ වේ නම්, ඉක්මනින් ඔබ ඔබේ ගමනාන්තය සොයා ගන්න.. අනතුරුව එය මගේ දෘෂ්ටියට හසුවන මානයේ රඳවන්න.. සියල් අවසානයේ මා විසින්ම දුර්ධර යථාර්ථය එනම්, මගේ ඔබේ ප්‍රේමය තිත වැටී හමාර බව, අව්‍යාජයක් බවම ප්‍රේමය නම් හතරැස් කොටුවෙන් පිටමංව අරුත් වටහා ගනු ඇත. 

නෙත් වලට හසුවන්න අවැසි මොහොතක ඔබේ සිනහව ඡායාරූපයකින් දැක හිත සනසා ගනිමින්,නුඹෙ හඬ අවැසි මොහොතක ඉවසමින් ඔබෙන් ගිලිහුණ ආදරය ගැබ්ව පැවතුණු වදන් පවා මතක් කරමින්, සැනහෙමි... ආදරයේ පාරිශුද්ධභාවයට කිසිඳු කිලුටක් නොකරමින්, පෙම්වතියක්ව නොව, භාර්‍යාවක් සිය ස්වාමිභක්තියෙන් කටයුතුකරන්නා සේ කටයුතු කරමින් ගෙවු අට වසරක ජීවිතය නිමවෙමින් තිබෙන බව කෙලෙස පිලිගනිම් දැයි නිනව් නැත. එය අ‍තිශය වේදනාකාරී වනු ඇත.

මියෙනු හැකි නම් මියෙන්නට, සිහි විකල්ව හරින්නට හැකි නම් එලෙස වන්නට පතමි. ඔබ ඔබේ විශ්වය සොයා යාමෙන් අනතුරුව මගේ පථයෙන් බැහැර වූ වග දැන ශේෂ වන්නා වූ දොම්නස සෑම තත්පරයකදීම මා දවා හළු කරවයි.. මෙලෙස අනලින් දැවෙමින් හුස්ම යදින්නා වූ ජීවිතය අතැර අග්නි පූජාවකට වුව මා සූදානමිනි. එය මට හුදෙක් සැනසීමක් වන්නේමය...

වසන්ත පෙම



සටන්    කලද       හද    අරගලයකම     වැදී
පටන්    දිනයෙ     සිට   කවිකම නුඹට   හිමී
ගයන්   කෙලෙස  රස   කවියකම           වැදී
වසන්    කලෙද    නුඹ   ලියකම් කරපු   කවී

වසන්තය   පුරා    පිපි      මල්   නුඹට      හිමී
දසන්තය    පවා   ලෙල   දුන්    මලම       සිඹී
අනන්‍තය   දවා    හළු    කල   පෙමක්    හිමී
වසන්තය   නුරා   නුබ     පිපි    නුඹයි      සිසී

පෙමක්   අනගි      හස කැල්මෙකය       ගිලී
ලවන්      රසැති    කව් ලියැවෙන හදකි ලිලී
නුවන්     සරති      හද කිතියක් මවයි     දැවී
නුඹත්     කෙලෙස අමරණීය පෙමක්     වුණී

කුරුලු දඩයම 02

  කුරුලු දඩයම 01 දවසක් උදෑසනක දුර්ශාන් සොයා ආවේ දුර්ශාන්ගේ හොඳම මිතුරෙක් වන සංධීර්. ඔහුට පුදුමයි මේ දුර්ශාන්ගේ වෙනස.  "ක්‍රිශෝලියි ඒකිග...