ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික වශයෙන් වන වැදගත්කම
නියතයෙන්ම යටත්විජිතකරණයෙන් පසු නිදහස ලබාගන්නා අවදියේ අන් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවට ඉහළ තත්වයකට පැමිණීමට හැකි විභවතාවක් තිබිණි..
එනම්, අන් රටවලට සාපේක්ෂව නිදහස් අධ්‍යාපනය නිසාවෙන් සාක්ෂරතාව අතින්ද, නිදහස් සෞඛ්‍ය පහසුකම් නිසා සෞඛ්‍යමය අංශයෙන්ද ඉහළ තත්වයකද, අන් රටවලට සාපේක්ෂව ඒක පුද්ගල ආදායම ඉහළ අගයක පැවතීම මෙන්ම භූගෝලීය පිහිටුම අතින්ද වැදගත් ස්ථානයක පිහිටීම හේතුවෙන් ය.
නමුත් 1978 විවෘත ආර්ථිකය සමඟ වැඩි වශයෙන් ආනයන ක්ෂේත්‍රයේ උන්නතිය සිදුවූ බැවින් ස්වයංපෝෂිත අර්ථක්‍රමය බිඳවැටෙන්නට විය. පෙරදී කෘෂි භෝග වගා කලද, අඩු වියදම් ආනයනික කෘෂි භෝග සමාජය ආක්‍රමණය කරන්නට විය.
ප්‍රබල බලවත් රටවල් විසින් බලහත්කාරයෙන් දුන්නාවූ ආනයනික ද්‍රව්‍ය වලට සමාජය හැඩගැසෙන්නට විණි. එසේම, අති දූෂිත දේශපානයක් 1978 පසු බිහි විණි. ඉන් පසු බලයට ආවේ දක්ෂ බුද්ධිමත් නායකයන් නොව, සල්ලි මඟින් ඉදිරියට එන වුණ් විය. ඔවුන්ගේ පුර්වාරම්භය හොරකම්, මැරකම් මත් ජාවරම්, වැනි අපරාධ වුවද, නීතියේ රැහැනේ වූ හිඩැස් තුලින් බේරී ආවුන් ආවේ අවසානයේ අර දියවන්නා ඔයෙන් වට වූ හරක් ගාලටය.
කතාව එය නොවේ....
ලෝකයේ භූ දේශපාලනය පිළිබඳවය..
ලෝකයේ භූ දේශපාලනමය වශයෙන් වැදගත් රටවල් ඇත්තේ අතලොස්සකී.. ඒ අතරින් ලංකාව යනු අතිශය වැදගත් සන්ධිස්ථානයකි. පෙර අපර දෙදිග අතීතයේ සේද මාවතෙන් සම්බන්ධ කළේ සෙයිලාන්, නැතහොත් තැප්‍රොබේන් හෝ බ්‍රිතාන්‍යයින්ට අනුව සිලෝන් යන්න පාසල් කාලයේ සිටම අප දන්නා කාරණයකී.
එසේම ඉන්දියන් සාගරයෙ නෞකාවකට ඉතාම පහසුවෙන් ළඟා විය හැකි පහසුකම් සලසන්න හැකියාව ඇති රට වනුයේද ලංකාවයි.
තවදුරටත් කියනවා නම් දැන් දැන් නැගී එන රටවල් ලෙස නම් වන චීනය ඉන්දියාව වැනි රටවලට තර්ජනයක් එල්ල කිරීමට හැකියාවක් ඇති යුද නෞකා ( ප්ලාවිත යුද කඳවරු) රඳවන්නට හැකි වරායන් සහිත කේන්ද්‍රස්ථාන වන්නේද ලංකාවයි.
එලෙසම විශාල තෙල් ගබඩාවක් පවත්වාගෙන යා හැකි තෙල් ටැංකි ත්‍රිකුණාමල වරාය ආසන්නව පැවතීමද ලංකාව කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු වූ තවත් එක් කාරණයකි.
සොයා නොගත්තා වුවද, පර්‍යේෂණ වාර්තා අනුව ලංකාවේ මන්නාරම් ද්‍රෝණියේ සිට යාපන අර්ධද්වීපය දක්වාද, නැගෙනහිර වෙරළ කලාපයේද බොරතෙල් හා ස්වභාවික වායු සංචිත ඇති බව සනාථය. එසේ නම් 2040 වන විට අවසන් වන බොරතෙල් වලට යලි එකතු කිරීමට හැකි වන ලංකාව සතු එකී බලශක්ති ප්‍රභව වල වටිනාකම අනාගතය වන විට තක්සේරු කිරීමට නොහැකි වනු ඇත.
එසේම එලෙස සොයා නොගත්තා වූ තවත් බල ශක්ති ප්‍රභව ඉන්දියන් සාගරය තුල සැඟව ඇතැයි ද අනුමාන කෙරේ. ඉදිරියේ එක්සත් ජාතින්ගේ සාගර ප්‍රඥප්තින් අනුව ඉන්දියන් සාගරයේ වැඩිකොටසකට හිමිකම් ලැබෙන්නේ ලංකාවට වීමෙන් එකී සොයා නොගත් බලශක්ති ප්‍රභව වල වාසියද අනාගතයේදී ලංකාවට ලබාගත හැක.
අනාගතයේදී සිදුවිය හැකි ආහාර අර්බුදයන්ට පිලියම් ලෙස සාගර ආහාර භාවිතා කිරීමට සිදුවනු ඇත. මන්ද කෘෂි කර්මාන්තට අවශ්‍ය භූමි පහසුකම් දිනෙන් දින අඩු වෙමින් පවතින්නේ ශීඝ්‍ර ජනගහන වර්ධනය නිසාවෙනි.
එපමණක් නොව, දේශපාලනික වශයෙන් ශක්තිමත් නොවූ දකුණු ආසියානු රට වන්නේද වර්තමානයේ ලංකාවයි.
18 වන සියවසේ සිට 19 වන සියවස දක්වා පෘථිවියේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් වූ සාගරය වූයේ අත්ලාන්තික් සාගරයයි. බටහිර යුරෝපය හා නැගෙනහිර ඇමරිකාව තුළ ක්‍රමයෙන් ආර්ථිකයන් ස්ථාවර විය.
20 වන සියවස වන විට ලෝක ආර්ථික කේන්ද්‍ර පැසිෆික් සාගරය වෙතට භ්‍රමණය වූයේ බටහිර ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ( ලොස් ඇන්ජලීස්) ආශ්‍රිතව රන් ආකර සොයා ගැනීමත් සමඟය. එසේම ජපානය, ඕස්ට්‍රේලියාව නවසීලන්තය වැනි රටවල්ද ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කරගත් හෙයිනි.
නමුදු වර්තමානය බොහෝ වෙනස්වෙමින් පවති. එය 1990 න් පසු ලෝකයේ ප්‍රජමනිත බලවතා වූ ඇමරිකාවට සිතා ගැනීමටත් අපහසුය.
ලෝක ආර්ථික කේන්ද්‍රය ඇමරිකාව ආශ්‍රිත සාගර කලාපයෙන් ගැලවී ආසියාව දෙසට එනම් ඉන්දියන් සාගරය වෙත ගලාවිත් ස්ථාපිත වී හමාරය. එය සිදු වූ දිනය නිශ්චිත වශයෙන් කිව නොහැකිය. නැතහොත් තවමත් ස්ථිරවම ස්ථාපිත වී නොමැත.
කෙසේ නමුදු දශකයක් වැනි කෙටි කාලයක් තුල ආර්ථික මට්ටම් අනුව පහළ මට්ටමේ පැවති, චීන, ඉන්දීය, රුසියානු ආර්ථික මේ වන විට අතිශය ඉහළ ස්ථාවර වලට ළඟා වෙමින් පවතී.
මේ හේතු සමඟ එකී සියලු රටවලට (නැගි එන රටවල් සහ දැනට බලවතාට) බලය තහවුරු කර ගැනීමට අත්‍යවශ්‍ය ඉලක්කයක් වී ඇත්තේ ශ්‍රී ලංකාව යන්න විවාදයක් නොවේ.
දැනටමත් ශ්‍රී ලංකාවේ මර්මස්ථානයක් වන හම්බන්තොට වරාය අවුරුදු සියයකට චීනයට බදුදී හමාරය. ඉදිරියේ අත්‍යවශ්‍ය වූ විටෙක සිය බලය තහවුරු ගැනීම පිණිස චීනයට යුද නෞකාව වුවද එහි නැංගුරම්ලා තැබීමට හැකියාව නැතැයි කීම මුසාවකි.
එබැවින් ඊට ප්‍රතිවිරුද්ධ පියවරක් වශයෙන් ඇමරිකාව යෙදූ උපාය මාර්ගික සැලැස්මක් ලෙස මේ දිනවල කතා කෙරෙන මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඇග්‍රිමන්ට් එක හරහා සිදුවන බව රහසක් නොවනු ඇත.
ශ්‍රී ලාංකික රජය මේ වාතාවරණය තුළ කළ යුතු වන්නේ සෑම රටක් සමඟ සහයෝගයෙන්, ඝට්ටනයකින් තොරව, දේශපාලනික සබඳතා වර්ධනය කර ගැනීම මෙන්ම ආර්ථිකය ශක්තිමත් කළ හැකි දිගු කාලීන මෙන්ම කෙටි කාලීන පියවර අනුගමනය කිරීම මිස ශ්‍රී ලංකාවේ ඇති වැදගත් මර්මස්ථානය ලෙස සැලකෙන වරායන්, ගුවන් තොටුපලවල් හා තෙල් ටැංකි ආර්ථික වාසි වෙනුවෙන් බිල්ලට දීම නොවේ..
මේ ස්වර්ණ බූමියේ වෙසෙන ජනතාවගේ සිතුම් පැතුම් මළ කෑ ඒවානම් දේශපාලකයා නමැති කල දුටු කල වල හිහ ගන්නා නපුරු සත්වයා එයින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම නතර කරන්නට කිසිවිකුත් සමත්කම් දක්වන්නේ නැත.
ReplyDeleteපාරාදීසයේ වෙසෙන උන් හට ඉන් වැඩක් නැත්තේ යම් සේ වේද යාචකයකු හට සුවිසල් මාලිගාවක් ලබාදීමෙන් පලක් නැත . කල යුත්තේ යාචකයා අව ලෝකයෙන් නව ලෝකයට ගෙන එන වැඩපිළිවෙලක් සකස් කරවීමය . එවන් වැඩපිළිවෙලක් පෙනෙන තෙක්මානයකවත් නැත්තේ මය .
කතරේ අතරමංවූවන් හට තම ජීවිතය වටිනා කමක් නැතත් එය ගිජු ලිහිණියන් ට රසවත් කෑමකි .
-ආටියා-
මෙව්වනම් ඉතින් මේ මන් වගේ අයට තේරෙන එව්වා නෙවෙයි
ReplyDelete