විශාදය වළක්ව ගන්නේ කෙසේද..


මේ කොටසින් මං කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ depression වල ප්‍රතිකාර වගේම වළක්වා ගන්න ක්‍රම.. මේ ක්‍රම ඕනෑම මානසික රෝගයක් සඳහා යොදන්න පුලුවන්.. ඒත් depression ගැන කතා කරන නිසා ඒ ප්‍රතිකාර හුඟක්ම ගැලපෙන්නේ විශාදය නැත්තම් depression වලට..
මානසික රෝග වලට ප්‍රතිකාර කරන ක්‍රමය ඖෂධීය ප්‍රතිකාර හා ඖෂධීය නොවන ප්‍රතිකාර යනුවෙන් කොටස් දෙකකට බෙදා දක්වන්න පුලුවන්..

Depression වලදී මේ වර්ග දෙකේම එකතුවක් ලෙස ප්‍රතිකාර කරනවා නම් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.
Depression වලට ඖෂධීය ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

ප්‍රධාන ඖෂධ කාණ්ඩ කිහිපයක් තියෙනවා. ඒවා දෙන්නේ විශාදයේ දරුණු බව අනුව. වෛද්‍ය නියමයන්ට අනුව.


නමුත් ඔබට විශාදය උපරිමයට පත් නොවේ නම් ඖෂධ නොමැතිව වුවත් මනෝ වෛද්‍ය උපදේශනය හා මනෝ වෛද්‍ය ක්‍රම වලට යන්න පුලුවන්. 

උපදේශනයට අමතරව ඇති ප්‍රතිකාර ක්‍රම ලෙස,
1. Cognitive Behavior Therapy 
2. Behaviour Therapy
3. Interpersonal Therapy
4. Mindfulness-based cognitive therapy (MBCT)
MBCT ප්‍රතිකාර ක්‍රමයේදී නම් කරන්නේ භාවනාව වගේ දෙයක්.. ඒ නිසා මානසික තත්වය සෞඛ්‍යමත්ව තබා ගැනීමට සිත එක් තැන් කරන භාවනා සේම කලා කටයුතු වලට සිත යෙදීම ඉතාම ප්‍රතිඵලදායකයි.


මේ ප්‍රතිකාර වලට අමතරව විශාදීය ලක්ෂණ තමාට දැනෙනවා නම් හෝ කවදා හෝ දැනී තිබේ නම් මං කියන දේවල් ටික අත් හදා බලන්න.

පළවෙනි එක තමා විශාදීය ලක්ෂණ එන්න ඇගේ උෂ්ණ බව බලපානවා. ඒක ආයුර්වේදයට අනුව පැහැදිලි දෙයක්. ඒ නිසා උෂ්ණයි කියන ආහාර වර්ග නතර කරන්න. උදාහරණ විදියට ඉස්සෝ, දැල්ලො, අන්නාසි , අච්චාරු වගේ ආහාර වර්ග ගැනීම නතර කරන්න.

ඇඟ සීතල කරන ආහාර වැඩිපුර ගන්න. සව්, නෙල්ලි වගේ දේවල් ගන්න.. පුලුවන් නම් අරලු පෙති මාස හයකට සැරයක් ගන්න..
ඊට අමතරව අනිවාර්යයෙන්ම කොයි විදියකවත් තනිවෙන්න බලන්න එපා.. හැමවිටම සමාජයට යන්න. පාඩම් කරන්න වුණත් පුස්තකාලයකට වගේ යන්න. බෝඩිමක තනිව නම් ඉන්නේ  කිහිප දෙනෙක් ඉන්න බෝඩීමක් හොයාගන්න. තමාගේ ප්‍රශ්න විශ්වාසවන්ත වැඩිහිටියකුට පවසන්න. අඩුම තරමේ විශ්වාසවන්ත යහලුවෙකුට වුණත් කමක් නැහැ. 

ඒ වගේම ඔයාට කලා හැකියාවක් තියේ නම් අනිවාර්යයෙන්ම ඒක ආරම්භ කරලා දිගටම කරගෙන යන්න, චිත්‍ර ඇඳීම, ගායනය, වාදනය, චිත්‍රපට නැරඹීම, ලිවීම වගේ දේවල් කරන්න.

ඒ වගේම තමාගේ ආගමට බර වෙන්න. ආගමික දර්ශන වලින් හුඟක් වෙලාවට සිතට සහනයක් එනවා. ඒ වගේම බෞද්ධ කෙනෙක් නම් අඩුම තරමේ ගාථා කියන්න අවශ්‍ය නැහැ, බෝධියක් යට පැයක් දෙකක් වාඩි වෙලා ගත කරන්න.. 

මට හුඟ කාලයකට කලින් ලිපියක් කියෙව්වා ඇයි බෝධියක් ළඟ පොඩි කාලයක් ගත කරාම නිදහසක් දැනෙන්නේ කියලා. ඒ ලිපියේ තිබ්බා, අපේ සිරුරේ වගේම හිසේත් ධන සෘණ ආරෝපණ තියෙනවා, අපි ප්‍රශ්නයක ඉන්නවා කියන්නේ ඒ ආරෝපණ අපිළිවෙල වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ තියෙන්න ඕන විදියට නෙවෙයි.. 

 ඒ වගේම බෝ කොලෙත් ආරෝපණ තියනවා. ඒ අපිළිවෙල වෙලා තියන අපේ හිසේ ආරෝපණ බෝ කොළේ ආරෝපණ මඟින් නිවැරදිව පිළිවෙලට සකස් කරනවා කියලා... ඒක විද්‍යාත්මකව කල්පිතයක් වෙන්න පුලුවන්. නමුත් කෙසේ හෝ බෝ ගහක් යට ගත කලාම ආතතිය මඟ හැරෙනවා..

තව දෙයක් තමා දර්ශීය කාලසටහනෙන් බැහැරව මුහුදු වෙරළක ඇවිදින්න, විනෝද චාරිකා , ශොපින් යන්න වගේ දේවල් කරන්න පුලුවන් නම් සාර්ථකව විශාදීය ලක්ෂණ නවත්ත ගන්න පුලුවන් වෙනවා..  
විශාදීය ලක්ෂණ කියන්නේ ඇත්තටම ආතතිය දීර්ඝ කාලිනව පැවතීම නිසා ඇතිවන්නක්.. ඒ නිසා ආතතිය මඟ හරවා ගන්න එක වඩා වැදගත්..

ක්ෂණිකව විශාදය හැදෙන එක නම් සුලභ නැහැ. ඒ නිසා අපේ මනස නිරවුල්ව තබා ගන්න එක තමයි හුඟක්ම වැදගත් දේ...

මේ ලිපිය හුඟක් අය බලගෙන හිටපු ලිපියක්.. අවුරුදු ගණන් පරක්කු වුණාට සමා වෙන්න හොඳේ...

ප්‍රේමයේ නිදානය



ආදරණීය හොරෙක් නුඹ.
නොපල කවියක් ඉන්දවන,
මගෙ හද මැද වලක් හාරා...

වල ගොඩැලි සමතලා කොට,
යන්තමින් ඉසුව පෙම් දියර
කේෂ නාලිකා වලින් උරාගෙන 
මනි පත්‍ර දක්වාම ගෙන ගොස්,
දලුදමා වැඩෙන'යුරු,
නුඹවත් නොදැන...

තකහනියක්ම දුරැර බාධා හමා
ශේෂ වුන කවි සුලං,
නතරව අභිමුව, 
පාදා සිතැති සේ නොලත් ගිවිසුම්,
ඔබ නුදුටුවද යවන අනිසි කිවිසුම්.,
ඔබ නිසා ලදින්, උපදි හද මැද කුසුම්.

හමුවීම...


අවසාන වතාවට සියලු දේ
නොනිමි යැයි හිතෙනු ඇත.
ඔබේ සනහස මැවී බොඳව
මගේ මුවග අපහසුවෙන් දිලෙනු ඇත.

අසල හිඳිනා හෙදියකට
මියැන මොහොතෙත් හිනැහෙන
රෝගියෙකු දක්නට හැකි වනු ඇත.
එතැන සිට මා නුඹේය..

වනපස මල් පොඩිව
අතු රිකිලි බිඳව
පාවෙනා මාවත අබිමුව
නුඹ මා එන තෙක් ඉසිඹුලනු ඇත..

නුඹ මට කලියෙන් ගිය ගමන
මා වසර ගණනක් පතමින් බලාහිඳ
පැමිණෙනු ඇත...
නොකී පෙම කියාගන්නට නොහී
ආයෙත්ම තැවෙනු ඇත..

මෙතරම් කල් නුඹ තනිව ගෙව්වාට
සමාව අයදිමින් මා 
නුඹේ දෙතොල් මල් මත
හාදු තවරනු ඇත.

ප්‍රේමය ප්‍රේමයෙන්ම අවසන් වනු ඇත...

ශ්‍රී ලංකාවේ භූ දේශපාලනික වශයෙන් වන වැදගත්කම

නියතයෙන්ම යටත්විජිතකරණයෙන් පසු නිදහස ලබාගන්නා අවදියේ අන් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවට ඉහළ තත්වයකට පැමිණීමට හැකි විභවතාවක් තිබිණි.. 

එනම්, අන් රටවලට සාපේක්ෂව නිදහස් අධ්‍යාපනය නිසාවෙන් සාක්ෂරතාව අතින්ද, නිදහස් සෞඛ්‍ය පහසුකම් නිසා සෞඛ්‍යමය අංශයෙන්ද ඉහළ තත්වයකද, අන් රටවලට සාපේක්ෂව ඒක පුද්ගල ආදායම ඉහළ අගයක පැවතීම මෙන්ම භූගෝලීය පිහිටුම අතින්ද වැදගත් ස්ථානයක පිහිටීම හේතුවෙන් ය.

නමුත් 1978 විවෘත ආර්ථිකය සමඟ වැඩි වශයෙන් ආනයන ක්ෂේත්‍රයේ  උන්නතිය සිදුවූ බැවින් ස්වයංපෝෂිත අර්ථක්‍රමය බිඳවැටෙන්නට විය. පෙරදී කෘෂි භෝග වගා කලද, අඩු වියදම් ආනයනික කෘෂි භෝග සමාජය ආක්‍රමණය කරන්නට විය.

ප්‍රබල බලවත් රටවල් විසින් බලහත්කාරයෙන් දුන්නාවූ ආනයනික ද්‍රව්‍ය වලට සමාජය හැඩගැසෙන්නට විණි. එසේම, අති දූෂිත දේශපානයක් 1978 පසු බිහි විණි. ඉන් පසු බලයට ආවේ දක්ෂ බුද්ධිමත් නායකයන් නොව, සල්ලි මඟින් ඉදිරියට එන වුණ් විය. ඔවුන්ගේ පුර්වාරම්භය හොරකම්, මැරකම් මත් ජාවරම්, වැනි අපරාධ වුවද, නීතියේ රැහැනේ වූ හිඩැස් තුලින් බේරී ආවුන් ආවේ අවසානයේ අර දියවන්නා ඔයෙන් වට වූ හරක් ගාලටය.

කතාව එය නොවේ....
ලෝකයේ භූ දේශපාලනය පිළිබඳවය..

ලෝකයේ භූ දේශපාලනමය වශයෙන් වැදගත් රටවල් ඇත්තේ අතලොස්සකී.. ඒ අතරින් ලංකාව යනු අතිශය වැදගත් සන්ධිස්ථානයකි. පෙර අපර දෙදිග අතීතයේ සේද මාවතෙන් සම්බන්ධ කළේ සෙයිලාන්, නැතහොත් තැප්‍රොබේන් හෝ බ්‍රිතාන්‍යයින්ට අනුව සිලෝන් යන්න පාසල් කාලයේ සිටම අප දන්නා කාරණයකී. 

එසේම ඉන්දියන් සාගරයෙ නෞකාවකට ඉතාම පහසුවෙන් ළඟා විය හැකි පහසුකම් සලසන්න හැකියාව ඇති රට වනුයේද ලංකාවයි.

තවදුරටත් කියනවා නම් දැන් දැන් නැගී එන රටවල් ලෙස නම් වන චීනය ඉන්දියාව වැනි රටවලට තර්ජනයක් එල්ල කිරීමට හැකියාවක් ඇති යුද නෞකා ( ප්ලාවිත යුද කඳවරු) රඳවන්නට හැකි වරායන් සහිත කේන්ද්‍රස්ථාන වන්නේද ලංකාවයි. 

එලෙසම විශාල තෙල් ගබඩාවක් පවත්වාගෙන යා හැකි තෙල් ටැංකි ත්‍රිකුණාමල වරාය ආසන්නව පැවතීමද ලංකාව කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු වූ තවත් එක් කාරණයකි.

සොයා නොගත්තා වුවද, පර්‍යේෂණ වාර්තා අනුව ලංකාවේ මන්නාරම් ද්‍රෝණියේ සිට යාපන අර්ධද්වීපය දක්වාද, නැගෙනහිර වෙරළ කලාපයේද බොරතෙල් හා ස්වභාවික වායු සංචිත ඇති බව සනාථය.  එසේ නම් 2040 වන විට අවසන් වන බොරතෙල් වලට යලි එකතු කිරීමට හැකි වන ලංකාව සතු එකී  බලශක්ති ප්‍රභව වල වටිනාකම අනාගතය වන විට තක්සේරු කිරීමට නොහැකි වනු ඇත.

එසේම එලෙස සොයා නොගත්තා වූ තවත් බල ශක්ති ප්‍රභව ඉන්දියන් සාගරය තුල සැඟව ඇතැයි ද අනුමාන කෙරේ. ඉදිරියේ එක්සත් ජාතින්ගේ සාගර ප්‍රඥප්තින් අනුව ඉන්දියන් සාගරයේ වැඩිකොටසකට හිමිකම් ලැබෙන්නේ ලංකාවට වීමෙන් එකී සොයා නොගත් බලශක්ති ප්‍රභව වල වාසියද අනාගතයේදී ලංකාවට ලබාගත හැක.

අනාගතයේදී සිදුවිය හැකි ආහාර අර්බුදයන්ට පිලියම් ලෙස සාගර ආහාර භාවිතා කිරීමට සිදුවනු ඇත. මන්ද කෘෂි කර්මාන්තට අවශ්‍ය භූමි පහසුකම් දිනෙන් දින අඩු වෙමින් පවතින්නේ  ශීඝ්‍ර ජනගහන වර්ධනය නිසාවෙනි.

එපමණක් නොව, දේශපාලනික වශයෙන් ශක්තිමත් නොවූ දකුණු ආසියානු රට වන්නේද වර්තමානයේ ලංකාවයි.



18 වන සියවසේ සිට 19 වන සියවස දක්වා පෘථිවියේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් වූ සාගරය වූයේ අත්ලාන්තික් සාගරයයි. බටහිර යුරෝපය හා නැගෙනහිර ඇමරිකාව තුළ ක්‍රමයෙන් ආර්ථිකයන් ස්ථාවර විය.  

20 වන සියවස වන විට ලෝක ආර්ථික කේන්ද්‍ර පැසිෆික් සාගරය වෙතට භ්‍රමණය වූයේ බටහිර ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ( ලොස් ඇන්ජලීස්) ආශ්‍රිතව රන් ආකර සොයා ගැනීමත් සමඟය. එසේම ජපානය, ඕස්ට්‍රේලියාව නවසීලන්තය වැනි රටවල්ද ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කරගත් හෙයිනි.

නමුදු වර්තමානය බොහෝ වෙනස්වෙමින් පවති. එය 1990 න් පසු ලෝකයේ ප්‍රජමනිත බලවතා වූ ඇමරිකාවට සිතා ගැනීමටත් අපහසුය. 
ලෝක ආර්ථික කේන්ද්‍රය ඇමරිකාව ආශ්‍රිත සාගර කලාපයෙන් ගැලවී ආසියාව දෙසට එනම් ඉන්දියන් සාගරය වෙත ගලාවිත් ස්ථාපිත වී හමාරය. එය සිදු වූ දිනය නිශ්චිත වශයෙන් කිව නොහැකිය.  නැතහොත් තවමත් ස්ථිරවම ස්ථාපිත වී නොමැත.
කෙසේ නමුදු දශකයක් වැනි කෙටි කාලයක් තුල ආර්ථික මට්ටම් අනුව පහළ මට්ටමේ පැවති, චීන, ඉන්දීය, රුසියානු ආර්ථික මේ වන විට අතිශය ඉහළ ස්ථාවර වලට ළඟා වෙමින් පවතී. 

මේ හේතු සමඟ එකී සියලු රටවලට (නැගි එන රටවල් සහ දැනට බලවතාට) බලය තහවුරු කර ගැනීමට අත්‍යවශ්‍ය ඉලක්කයක් වී ඇත්තේ ශ්‍රී ලංකාව යන්න විවාදයක් නොවේ. 

දැනටමත් ශ්‍රී ලංකාවේ මර්මස්ථානයක් වන හම්බන්තොට වරාය අවුරුදු සියයකට චීනයට බදුදී හමාරය. ඉදිරියේ අත්‍යවශ්‍ය වූ විටෙක සිය බලය තහවුරු ගැනීම පිණිස චීනයට යුද නෞකාව වුවද එහි නැංගුරම්ලා තැබීමට හැකියාව නැතැයි කීම මුසාවකි. 

එබැවින් ඊට ප්‍රතිවිරුද්ධ පියවරක් වශයෙන් ඇමරිකාව යෙදූ උපාය මාර්ගික සැලැස්මක් ලෙස මේ දිනවල කතා කෙරෙන මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඇග්‍රිමන්ට් එක හරහා සිදුවන බව රහසක් නොවනු ඇත.

ශ්‍රී ලාංකික රජය මේ වාතාවරණය තුළ කළ යුතු වන්නේ සෑම රටක් සමඟ සහයෝගයෙන්, ඝට්ටනයකින් තොරව, දේශපාලනික සබඳතා වර්ධනය කර ගැනීම මෙන්ම ආර්ථිකය ශක්තිමත් කළ හැකි දිගු කාලීන මෙන්ම කෙටි කාලීන පියවර අනුගමනය කිරීම මිස ශ්‍රී ලංකාවේ ඇති වැදගත් මර්මස්ථානය ලෙස සැලකෙන වරායන්, ගුවන් තොටුපලවල් හා තෙල් ටැංකි ආර්ථික වාසි වෙනුවෙන් බිල්ලට දීම නොවේ..


එක් පෙති මල



මට තව මල් පෙති නැහැ. සමනලුන්ට බෙදන්න තරම්.. එක සමනලයෙක් වැහුවොත් බර වෙලා පෙත්ත කැඩෙන්න ඔන්න මෙන්න වෙනවා. ඉතින් කොහොමද සමනල්ලු කිහිපදෙනෙක්ට ඉඩ දෙන්නේ...

" ඔයා හිතන විදිය වෙනස් චාරු. මට ඕන හැමදාම ඉන්න වුනාට ඔයා බයයි. ඒ නිසයි ඔයා මාව අතැරියෙත්. හිනා වෙන්න එපා. අඬන්න ඕන වෙලාවට.." එහෙම කිව්වේ දසි හුඟක් කාලෙකට පෙර.


"මේ බලන්න අද මගේ අත කැපුනා. උයන්න ගිහින්. අනේ බලන්නකෝ දසි.."


දසි මගේ අත ඇල්ලුවා. මාව සීතල වෙලා ගියා. හැමදාම වගේ.. ඒ ආදරේ විවේක් ළඟ නැහැ.මට ඒක කියන්න ඕනා දසිට. ඒත් වැඩක් වෙන් නෑ. අම්මි දන්නවා නම් තාමත් මං දසි එක්ක කතා කරනවා කියලා, මට බනීවී. අනික කවදාවත් විවේක් ළඟ මගේ හැඟීම් උත්සර්ජනය වුනේ නැහැ. හරියට ලෝකයට පෙන්නන ජීවත් වෙනවා වගේ විවේක් මගේ පෙම්වතා වුනේ.


"මේකට බෙහෙත් ටිකක්වත් දාගන්නකෝ ළමයෝ.."


මං බලන් ඉන්නවා. ආදරෙන් එදා වගේම දසි මගේ අත අත ගානවා. ඒක හරියට තාත්තාගේ ආදරේ වගේ. තාත්තා නැතිව ජීවත් වුන, අම්මගෙ දුරස්ථභාවයෙන් දුක් විඳපු මට දසි ශක්තියක් වුනේ. තාත්තා කෙනෙක් වගේ හැමදේම හොයලා බැලුවා. ඒ සෙවනැල්ල මට හැමවෙලේම ඕන වුනා.. මං අවදි වුන වෙලාවේ ඉඳන් ආයේ රෑ නින්දට යනකම්ම.. කන්නේ මොනවද, කොහොමද ඔෆිස් ගියේ..., කොහොමද ඔෆිස් එකේ වැඩ... ප්‍රශ්නයක් වුනාද.. ඒ හැමදේම හොයලා බලන පිරිමියෙක්.. විවේක්ට කවදාවත් ඒ දේවල් කරන්න බැහැ.. කිලෝ මීටර් සිය ගණනක් දුරින් ඉඳන්, දවසට නිමාවක් නැති රාජකාරියක් කරමින් කවදාවත් දසි වගේ විවේක් මගේ සිතුම් පැතුම් ගැන අමුතුවෙන් වෙහෙස වුණේ නැහැ..


"දැන් කොහොමද බෝඩිමට යන්නේ.."


" යනවා ඉතින්, බස් එකේ.."


මං ගිහින් දාන්නම්..

මං අහක බලන් ඕනවට එපාවට උත්තර දුන්නේ එහෙම උත්තරයක් දසිගෙන් බලාපොරොත්තුවෙන්. ඒත් මුකුත් කිව්වේ නෑ දසි. සමහර විට දසි ඉක්මණට මැරි කරාවි. මට දසිව ඕනා කියලා මොනව කරන්නද. අම්මි කවදාවත් කැමති වෙන්නෙ නැහැ.


අම්මි කෝල් කරනවා. මං ඈතට ගිහින් කෝල් එක ගත්තා, ලංකාවට මහ දවල් වුණාට එහෙට තාම උදේ පාන්දර. ඔෆිස් එකට යන්න කලින් අම්මි හැමදාම මට කෝල් කරනවා.


" හෙලෝ.. අම්මී."


"කොහෙද දූ ඉන්නේ.."


"මං ඔෆිස් එකේ ඉන්නේ..."


"අද වැඩ ඉවර වෙන්නේ කීයටද..."


"සමහර විට පරක්කු වෙයි."


"පරිස්සමෙන් ගෙදර යන්න.. ගිහින් කෝල් කරන්න මට."


"හ්ම්..."


"මං ලබන මාසේ එනවා. ටිකට් හරි."


"හ්ම්..."


"මොනවද දූට ඕනි.."


"මුකුත් නෑ.."


"කැමති දෙයක් කියලා මැසේජ් එකක් දාන්න.. මං අරන් එන්නම්....... විවේක් කතා කලාද.."


"එයා බිසීනේ.."


"ඉතින් ඒ ළමයා කොහොමත් බිසී තමයි."


"හ්ම්...."


"මං තියන්නම් දූ... පරිස්සමට ඉන්න..."


"හරි.. "


"ජේසු පිහිටයි, දූ..."


"ජේසු පිහිටයි.."


මං දුරකතනය ක්‍රියා විරහිත කලේ විවේක් කතා කරයි කියලා. දසිත එක්ක ඉන්න ලැබෙන මොහොතෙදිවත් විවේක්ගේ කරදරයෙන් බේරිලා ඉන්න වුවමනා වුනා මට. මං විවේක් ගැන අම්මිට චෝදනා කරාට පස්සේ, විවේක් අනික් පැත්තට කෝල් කරන්න හුඟක් ඉඩ තියෙනවා. ඒ අම්මී විවේක්ට කතා කරන නිසා මගේ චෝදනා ගැන...


දසි ඉක්මනට ගියේ එයාගේ ෆෝන් එකට කෝල් එකක් ආපු නිසා... මං ටිකක් වෙලා කල්පනා කරලා මගේ සීට් එකට ගියා.. එයා එයාගේ වැඩ කරන්න පටන් ගත්තා ඇති. ලන්ච් ටයිම් එකත් ඉවර නිසා මං සල්ලි බැලන්ස් කරන්න සමුර්දිට උදව් කලා.. නැත්තම් අපි දෙන්නටම යන්න වෙන් නෑ අද... මං හිටියේ අද ඩිපොසිට් නෙවෙයි වුනාට, අපි දෙන්න පුරුදු වෙලා හිටියා එකිනෙකාට උදව් කරගන්න..


"චාරු.... චාරු.."


සමුර්දි මගේ මුහුණට එබිලා හිටියේ... ඒ වෙද්දී මං සෝෆා එකක වැතිරිලා හිටියේ.. මතක නැහැ මොකක් වුණාද කියලාවත්...


" ඔයාට දැන් හොඳද..."


"ම්ම්...මට මොකද වුණේ..."


"ඔයා ෆේන්ට් වුණා චාරු.... දැන් හොඳද..."


මං වටපිට බැලුවේ දසි ඉන්නවද කියලා... එයා ටිකක් ඈතට වෙන්න මං දිහා බලන් හිටියා.. දෙතුන් දෙනෙක් මගේ වටේ හිටියා..


"දැන් ඔයාලා යන්න චාරුට දැන් හොඳයි..." 


සමුර්දී එහෙම කිව්ව හැමෝම එතනින් ගියා... දසි මං දිහා එහෙම්මම බලන් හිටියා. සමුර්දි දසිගේ මුහුණයි, මගේ මුහුණයි මාරුවෙන් මාරුවට කිහිප සැරයක් බලලා නැගිටලා ගියේ දසි මං එක්ක ඒ රූම් එකේ තනි කරලා.. සමුර්දි දැන ගෙන හිටියා දසිගෙයි මගේ සම්බන්ධය හුඟක් දුරට.. තවම මගේ හිතේ ආදරය නැවතිලා නැති බවත් ඇය සක් සුදක්සේ දැනන් ඉන්න ඇති.


"චාරු ඔයාට දැන් හොඳද.." එහෙම කියාගෙන මගේ ළඟ පුටුව ඇදන් දසි වාඩි වුණා.


"ප්‍රශ්නයක් නැහැ.."


"ෂුවර්ද"


"ඔව්..."


"ඔයා කොහොමද දැන් තනියෙන් බෝඩිමේ ඉන්නේ.. කවුරුත් නැතුව..."


"මෙච්චර කල් හිටියේ මං එහෙම තමයි දසි."


"ඒ උනාට ඔයාට මෙහෙම අසනීප වෙනවා නම් බයයි චාරු.. අපි කෝකටත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නමු.."


"ඕන නැහැ.."


"ඔයාගේ පණ්ඩිතකම වැඩි..."


"හ්ම්ම්..."


මං හිමින් සැරේ නැගිට්ටා.. අපහසුවක් නොදැනුන නිසා මම එහෙම්ම වැඩ කරන්න පටන් ගත්තා...


අම්මට මං ෆේන්ට් උනා කියලා සමුර්දි කියලා තිබුනේ දවස් කිහිපයකට පස්සේ...


මං නොකියා හිටියේ අම්මාට කියලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්න අනවශ්‍ය නිසා. තාත්තා ඒ අතර ලංකාවට ඇවිත් මාව බලන්න බැන්ක් එකට ආවේ හදිස්සියේ... අම්මාට ඒවා වුනත් මං නොකියන්න ගියේ අනවශ්‍ය දේවල් අම්මා එක්ක  නොකියන තරමට හොඳ නිසා..


තාත්තගේ මුදල් වලිනුත්, අම්මිගේ මුදල්වලිනුත් මගේ හිතේ සතුට හම්බුනේ නැති බව අම්මට කියාගන්න ඕන වුණා මට.. ඒත් ඒකට මට ශක්තියක් තිබ්බෙ නැහැ.. දසි එක්ක ඉන්න එක මිනිත්තු කිහිපයක ඒ සතුට තිබුණා. මං ගැන සොයා බැලීම්, මට ආදරේ කිරීම්..මහ හුඟක්... අන්න ඒකයි මේ තනි හිතට ඕන කලේ... මං ඒකයි හෙව්වේ...


දින දින ගෙවුණා.. සති ගෙවුණා.. අම්මා ලංකාවට ආවා.. ගෙදර එක්ක යන්න අම්මා ආවේ මාමගේ වාහනේමයි.. නිවාඩු දෙකයි මං දැම්මේ.. අම්මා එක්ක මට ඉන්න වුවමනා වුණේ නැහැ... අම්මා සමහර වෙලාවට මම අකමැති දේවල් කරන්න ගත්තම නිදහසේ ඉන්න බැරි වෙනවා..


ඒත් දෙවනි දිනයේ නොකියම විවේක් එයාලගේ ගෙදර අය එක්ක ආවා.. 


ටික වෙලාවක් යනකම් මට වෙනසක් තේරුණේ නැහැ..


"ලබන සතියේ අපේ එන්ගේජ්මන්ට් එක.. ඔයා නිවාඩු දාන්න හොඳේ..වැඩිපුර.. අපි යමු අනුරාධපුරේ පවුලේ අය එක්ක..."


මට කතා කරන්නවත් නිවාඩු නැති විවේක්ට එක පාර අනුරාධපුරේ යන්නයි, එන්ගේජ්මන්ට් එකටයි නිවාඩු ගන්න පුලුවන් වුණේ කොහොමද කියන්න මට තේරුණ් නැහැ.. කොහොම වුණත් මං නොදැන හැමදේම ලැහැස්ති වෙලා තිබුණා.. අම්මා එක්ක මට තරහා ගියා.. ඒක නොපෙන්න ඉන්න මං හුඟාක් උත්සහ කලා... මං දන්නේත් නැතුව මගේ එන්ගේජ්මන්ට් එක ලැහැස්ති කරලා..


"මට දැන්ම මැරි කරන්න බැහැ.." මං විවේක්ට කිව්වේ හීන් සීරුවට...


"මැරි කරනවා නෙවෙයි චාරුණි.. එන්ගේජ් වෙන්නේ.. වෙඩින් එක ලබන අවුරුද්දේ ගමු.."


ඔය මොකක් කලත් මැරි කරන එකනේ වෙන්නේ.. පොතේ ලිව්වා කියන්නේ මැරි කරන එකනේ... මං මුකුත් කිව්වේ නැහැ.. 


" මේ දවස් වල ඔඩිට් යනවා.. මට හදිස්සියේ මුකුත් කරන්න බැහැ.. මට කිව්වේත් නැහැ.."


අම්මා ළඟට ගිහින් කිව්වේ විවේක් එක්ක රණ්ඩුවට යන්න බැරි නිසා...


කොහොමහරි අමාරුවෙන් එන්ගේජ්මන්ට් එක පස්සට දාගන්න පුලුවන් වුණා. මගේ අකමැත්තෙන් එයාලට කිසිම දෙයක් කරන්න බැරි බව අම්මත් තේරුම් ගත්තා.. සති හතරකින් අම්මත් ලංකාවෙන් ගියා තමන්ගේ සුපුරුදු රැකියාවට..


ඔෆිස් එකේ වැඩ සාමාන්‍ය විදියට සිද්ධ වුණා. හදිසියේ ගන්න හදපු මගේ එන්ගේජ්මන්ට් එකත් පස්සට ගිය නිසා මාත් පාඩුවේ ජීවිතය ගෙව්වා... විවේක් හැමදාම මට කතා කලා.. ඉක්මන්ට මැරිකරන්න අවශ්‍ය බව කිව්වා.. මං කිසිම දෙයක් කියන්න ගියේ නැහැ..


දින දින ගෙවුණා.. සති සති ගෙවුණා..


අන්තිමට මට අමු අමුවෙන් පිලිස්සෙන්න පුලුවන් වෙන දේ සිද්ධ වුණා.. .. 


දසීගේ විවාහය..


මට වුවමනා වුණේ ලස්සනට හැඳගෙන යන්න.. මනමාලියටත් වඩා ලස්සනට යන්න... හැමෝම මං දිහා බලනවා බලන්න..... 


ඒත් ඇත්තටම දසීගේ ළඟින් හුන්නේ මට වඩා ලස්සන කෙල්ලෙක්.. එදා දසීට මාව පෙනුන් නැහැ. ඈ එක්ක හිනා වෙවී හිටියා...


මං ප්‍රාර්ථනා කරපු හැමදේම දසී ඇය එක්ක සිදු කලා.. නිලමේ ඇඳුමෙන් ඔහු ඇය සමඟ පෝරුවේ චාරිත්‍ර කළා.. දෑඟිලි බැදී, කෙන්ඩියෙන් වතුර වැක්කෙරුණා. ඔවුන් ලස්සන කපල් ඩාන්ස් එකක් කලා. ඒ ආදරණීය කටහඬින් ඔහු ඇය වෙනුවෙන් ගීතයක් ගැයුවා.


මං එදා හැමෝටම නිකම්ම කෙනෙක් විතරක් වුණා.. 


තද කරන් උන්න හැඟීම් එක්ක මං හිටියේ තනියෙන් යුද්ධෙක.. 


සමුර්දී එක්ක ඌබර් එකක නවා තැනට ගිහිපු මම හොඳට නාගත්තා..


පිරිටන් පෙති දෙකක් බිව්වා..


"අම්මේ මං මැරි කරන්න කැමතියි..." 


එහෙම මැසේජ් එකක් දාලා, ඇස් පියා ගත්තා...




Raazi සමඟ කාශ්මීර ඉතිහාසය

මං කාවදාවත් නොලියපු වර්ගයේ ලිපියක් ලියන්නේ.. මොකද කියනවා නම් මේ කතා කරන මාතෘකාව තවමත් මගේ හිතේ භූමිකම්පා ඇති කරනවා... 

ඒ තමයි Raazi කියන හින්දි ෆිල්ම් එක. 

ඊට අමතරව කාශ්මීර අර්බුදය ගැනත් මේ ලිපියෙන් කතා කරනවා..

මං හුඟක්ම බලන්න කැමති හින්දි ෆිල්ම් නිසා, කාලෙකින් ෆිල්ම් එකක් බලන්න බැරිවුණ නිසාත්, සම්මාන ගත්ත චිත්‍රපට ලිස්ට් එක බැලුවා.. ඒකෙන්  ෆෙයාර් සම්මාන ලිස්ට් එක දිහා බලලා අන්තිමට මං තීරනය කලා, 2018 වසර වෙනුවෙන් හොඳම නිලිය සම්මානය, ආලියා බාට්ට හිමි වුණ Raazi කියන ෆිල්ම් එක බලන්න.ඉතින් ෆෝන් එකෙන්ම නයිට් ඩේටා වලින් ඩවුන් වෙන්න දාලා Raazi ඩවුන් කරගත්තා.. 



හරින්ද්‍ර එස්. සික්කාගේ  Calling Sehemath කියන නවකතාව පාදක කරගෙන පකිස්තානය හා ඉන්දියාව අතර උණුසුම වෙනුවෙන් සිය ජීවිතය කැප කරමින් ඉන්දියානු බුද්ධි අංශයට සේවය කළ තරුණියකගේ කතාවක් තමයි Raazi කියන ෆිල්ම් එකට පාදක වෙන්නේ... 

ඉන්දියාව වෙනුවෙන් සේවය කිරීමට පකිස්තාන් තරුණයකු හා විවාහ වෙන සෙහෙමත් වීරවරියක් ලෙස සිය ඉන්දියාව වෙනුවෙන් ලබා දෙන සේවය ගැන මගේ හිතේ තියන දෙදරීම ඇත්තටම කියන්න වචන නැහැ...  

යුද්ධයක ත්‍රස්තවාදයක තිබෙන කුරිරු බව ඉතාමත් හොඳින් තේරුම් කරනවන මේ චිත්‍රපටිය ඇත්තටම මට නම් වචන වලින් කියන්න බැරි තරම් අපූරුයි.



මේ දිනවලත් පැතිර යන කාශ්මීර් උණුසුම පිලිබඳ තේරුමක් ලබා ගන්නත් මේ චිත්‍රපටිය උදව් වෙනවා...

1947 බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගන්න මොහොමඩ් අලී ජින්නා පකිස්තානය බිහිකරනවා....  පකිස්තානය නිදහස දිනා ගැනීමෙන් පසුවයි ඉන්දියාවට නිදහස ලැබෙන්නේ...

කාශ්මීරය කියන ප්‍රදේශය පකිස්තානයට අයත් නොවන නිසා ඔවුන්ට කැමති රාජ්‍යයකට අයිති වීමේ අයිතියක් ඔවුන්ට හිමි වෙනවා.. කාශ්මිරය කියන කොටසේ ඉස්ලාම් ජනකාය වැඩි වශයෙන් හිටියත්, එහි ප්‍රාදේශීය පාලකයා ලෙස හුන්, හරී සිං නම් හින්දු මහාරාජවරයා පකිස්තානයට එක් නොවී ඉන්දියාවට එක් වීමට තීරණය කරනා නිසා අවසානයේදී කාශ්මීරය ඉන්දියාවට අයිති වෙනවා....

නමුත් කාශ්මීරය පකිස්තානයට ලබා ගන්න පකිස්තානයට අවශ්‍ය වෙනවා. ඒ නිසා 1947 සිට ප්‍රධාන යුද්ධ තුනකටත් අර්බුද ගණනාවකටත් කාශ්මීරය නිසා ඉන්දියාවත් පකිස්තානයත් එකිනෙකාට විරුද්ධව සටන් කරනවා...

පකිස්තානය නිදහස ලබා ගන්නේ 1947 අගොස්තු 14 දිනයි. ඉන්දියාව නිදහස ලබාගන්නේ එයින් දිනකට පසුව, එනම්.. , 1947 අගෝස්තු 15 දිනයි..



1947- 1948 කාලය

මෙන්න මේ කාල වකවානුවේදී තමයි, කාශ්මීරය වෙනුවෙන් ඉන්දියාව හා පකිස්තානය ප්‍රථම යුද්ධය ඇති වෙන්නේ... 1947 ඔක්තෝම්බර් 26 ඉන්දියන් හමුදාව කාශ්මීරයට පැමිණ සිය බලය තහවුරු කරගන්නවා.. නමුත් නැවත 1948 මැද භාගයේදී පකිස්තානය ඉන්දියාවට කාශ්මීරය වෙනුවෙන් පහර දෙනවා..

අවසානයේදී 1949 ජනවාරි 01 එක්සත් ජාතින්ගේ සංවිධානය මැදිහත්වීමක් නිසා ඉන්දියාව හා පකිස්තානය සටන් විරාමයකට අත්සන් කරනවා...

නමුත් මුල් කාශ්මීරයෙන් කොටසක් පකිස්තානයට අයිති වෙනවා.. ඒ කොටස හඳුන්වන්නේ අසාද් කාශ්මීරය කියලා..



1965 වසර

දෙවන කාශ්මීර යුද්ධය ඇතිවනේ 1965 වර්ශයේදී..
කාශ්මීරය හා රාම් ඕෆ් කුච් නම් වගුරු ප්‍රදේශය වෙනුවෙන් මෙම යුද්ධය ඇති වෙන්නේ..
එවකට නිරවි යුද්ධ වල හුන් සෝවියට් රුසියාව ඉන්දියාවටත්, හා ඇමරිකාව පකිස්තානයටත් සහය ලබා දෙනවා...

නමුත් මෙතනදිත් පකිස්තානය සිතුව තරම් සාර්ථකත්වයක් ලැබුනේ නැහැ...

නැවතත් එක්සත් ජාතින්ගේ සංවිධානය මැදිහත් වීමකින් සෝවියට් රුසියාවේ ටෂ්කන්ට් නගරයේදී 1966 ජනවාරි 10 දින "ටෂ්කෙන්ට් සම්මුතිය" අත්සන් කරමින් සටන් විරාමයකට මුල පුරනවා.. 
එම සමයේ ඉන්දියාවේ අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රී. ඔහු එම සම්මුතිය අත්සන් කල දිනට පසු දින මිය යනවා..



1971 වසර

1971 වසරේ ඉන්දියාව හා පකිස්තානය අතර ඇතිවන යුද්ධය කාශ්මීරය නිසා ඇතිවන්නක් නෙවෙයි.. එය එකල නැගෙනහිර පකිස්තානය ලෙස පැවති කොටසේ ඇති වූ නිදහස් ව්‍යාපාර හේතුවෙන් ඇතිවුන අර්බුදයක්.

පකිස්තානයේ එනම් නැගෙනහිර හා බටහිර කොටස් වල දේශපාලනමය වශයෙන් බලය තිබුණු පන්ජාබ් මුස්ලිම්වරුන්, නැගෙනහිර පකිස්තානයේ බහුතරය වූ බෙංගාලි මුස්ලිම්වරුන්ට එරෙහිව යටපත් කිරීමේ උත්සහයක් පැවතුණා..

එමනිසා 1960 සිට නැගෙනහිර පකිස්තානයේ නිදහස් ව්‍යාපාර ඇතිවුණ වගේම 1970 මහමැතිවරණයෙන් නැගෙනහිර පකිස්තානයේ අවාමි ලීගය ආසන 300න් 160ක්ම දිනාගනු ලබනවා.. එහි ප්‍රතිඵලයක් විදියට නායකයා වූ ශෙයිල් මුජිබර් රහමන් 1971 මාර්තු 26 දින නැගෙනහිර පකිස්තානයේ ස්වාධින බංගලිදේශයක් ප්‍රකාශයට පත් කරනවා.

මෙම නිදහස් ව්‍යාපාරයට පකිස්තානය කඩාකප්පල් කිරීම් කරනවා. එමඟින් වූ පකිස්තාන හමුදාමය ක්‍රියා ( ඝාතන, ස්ත්‍රී දූෂණ හා අත්අඩංගුවට පත් වීම්) හේතුවෙන්  බංගලිදේශයේ වැසියන් සරණාගතයින් ලෙස ඉන්දියාවට සංක්‍රමණය වෙනවා. එම හේතුවෙන් ඉන්දියාව මැදිහත් වීමකින් 1971 දෙසැම්බර් මස තුන් වන දා සිට දහසයවන දින දක්වා ඉන්දියාව හා පකිස්තානය අතර නැවත යුද්ධයක් ඇති වෙනවා.. ලොන්ගෙවාලා සටනෙදී විශාල පකිස්තාන වැසියන් ඝාතනය වෙනවා වගේම 1971 දෙසැම්බර් 16 දින පකිස්තානය ඉන්දියාවට යටත් වීමට සිදු වෙනවා. 

ඉන් පස්සේ තමයි, බංගලාදේශය නැමති රාජ්‍යය බිහිවීම සිදුවෙන්නේ.. 

කාශ්මීරයේ වර්තමාන තත්වය වන විට මුල් කාශ්මීරයෙන්
55% - ඉන්දියාවට
30% - පකිස්තානයට
15% - චීනයට හිමි වෙන්නේ...

ඉන්දියන් කාශ්මීර කොටසට,  පසුගියදා ප්‍රකාශයට පත් කල ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 390 වගන්තිය ඉවත් කිරීම නිසා එහි වූ විශේෂ බලතල ඉවත් වීම සිදුවුණා.. එය ඔක්තෝම්බර් 31 සිට ක්‍රියාත්මක වෙනවා..

එමඟින් වෙනම ධජයක් තිබුණ කාශ්මීරයට එම බලතලය අහිමිව යනවා.
එසේම ප්‍රාන්තයක් ලෙස තිබුණ බලතල අහිමිව ඉන්දියාවේ මධ්‍යම රජය මඟින් පාලනය වන යූනියන් ටෙරටරි එකක් ලෙස පාලන කටයුතු සිදුවෙනවා..
ඒවගේම කාශ්මීරයට ඉන්දියාවේ ව්‍යවස්ථාව යටතේ පැවතිමටත්, ඉන්දියානු මධ්‍යම රජයේ නීති වලට අවනත වීමටත් සිදුවන වගේම පෙර තිබු ප්‍රාන්තයෙන් පිටත පුද්ගලයින්ට කාශ්මීරයේ ඉඩම් මිලදී ගැනීමේ නොහැකියාවද මඟ හැරී යනවා...

මෙම වෙනස්කම නිසා ඉන්දියාවේ වූ 29 වන ප්‍රාන්ත ගණන 28 දක්වාත්, 7 ක් ලෙස පැවති යූනියන් ටෙරටරි ගණන 9 දක්වාත් දැන් වෙනස් වෙනවා.....

ඉතින් මේ Raazi කියන ෆිල්ම් එකෙන් කියවෙන්නේ 1971 යුද්ධය පිලිබඳව වුණත් එම චිත්‍රපටියෙන් ගැඹුරින් ඓතිහාසික තොරතුරු  ප්‍රකාශ වෙන් නැහැ..  මං ඉන්දියාව හා පකිස්තානයේ අර්බුද පිලිබඳ ඉතිහාසය කෙටියෙන් කතා කලේ කැමති කෙනෙක්ට අදහසක් ගන්න....

ඔන්න ඉතිහාසයත් එක්ක Raazi ෆිල්ම් එක බලන්න ඔයාලට ආරාධනා කරනවා...





කුරුලු දඩයම 02

  කුරුලු දඩයම 01 දවසක් උදෑසනක දුර්ශාන් සොයා ආවේ දුර්ශාන්ගේ හොඳම මිතුරෙක් වන සංධීර්. ඔහුට පුදුමයි මේ දුර්ශාන්ගේ වෙනස.  "ක්‍රිශෝලියි ඒකිග...