එක් පෙති මල



මට තව මල් පෙති නැහැ. සමනලුන්ට බෙදන්න තරම්.. එක සමනලයෙක් වැහුවොත් බර වෙලා පෙත්ත කැඩෙන්න ඔන්න මෙන්න වෙනවා. ඉතින් කොහොමද සමනල්ලු කිහිපදෙනෙක්ට ඉඩ දෙන්නේ...

" ඔයා හිතන විදිය වෙනස් චාරු. මට ඕන හැමදාම ඉන්න වුනාට ඔයා බයයි. ඒ නිසයි ඔයා මාව අතැරියෙත්. හිනා වෙන්න එපා. අඬන්න ඕන වෙලාවට.." එහෙම කිව්වේ දසි හුඟක් කාලෙකට පෙර.


"මේ බලන්න අද මගේ අත කැපුනා. උයන්න ගිහින්. අනේ බලන්නකෝ දසි.."


දසි මගේ අත ඇල්ලුවා. මාව සීතල වෙලා ගියා. හැමදාම වගේ.. ඒ ආදරේ විවේක් ළඟ නැහැ.මට ඒක කියන්න ඕනා දසිට. ඒත් වැඩක් වෙන් නෑ. අම්මි දන්නවා නම් තාමත් මං දසි එක්ක කතා කරනවා කියලා, මට බනීවී. අනික කවදාවත් විවේක් ළඟ මගේ හැඟීම් උත්සර්ජනය වුනේ නැහැ. හරියට ලෝකයට පෙන්නන ජීවත් වෙනවා වගේ විවේක් මගේ පෙම්වතා වුනේ.


"මේකට බෙහෙත් ටිකක්වත් දාගන්නකෝ ළමයෝ.."


මං බලන් ඉන්නවා. ආදරෙන් එදා වගේම දසි මගේ අත අත ගානවා. ඒක හරියට තාත්තාගේ ආදරේ වගේ. තාත්තා නැතිව ජීවත් වුන, අම්මගෙ දුරස්ථභාවයෙන් දුක් විඳපු මට දසි ශක්තියක් වුනේ. තාත්තා කෙනෙක් වගේ හැමදේම හොයලා බැලුවා. ඒ සෙවනැල්ල මට හැමවෙලේම ඕන වුනා.. මං අවදි වුන වෙලාවේ ඉඳන් ආයේ රෑ නින්දට යනකම්ම.. කන්නේ මොනවද, කොහොමද ඔෆිස් ගියේ..., කොහොමද ඔෆිස් එකේ වැඩ... ප්‍රශ්නයක් වුනාද.. ඒ හැමදේම හොයලා බලන පිරිමියෙක්.. විවේක්ට කවදාවත් ඒ දේවල් කරන්න බැහැ.. කිලෝ මීටර් සිය ගණනක් දුරින් ඉඳන්, දවසට නිමාවක් නැති රාජකාරියක් කරමින් කවදාවත් දසි වගේ විවේක් මගේ සිතුම් පැතුම් ගැන අමුතුවෙන් වෙහෙස වුණේ නැහැ..


"දැන් කොහොමද බෝඩිමට යන්නේ.."


" යනවා ඉතින්, බස් එකේ.."


මං ගිහින් දාන්නම්..

මං අහක බලන් ඕනවට එපාවට උත්තර දුන්නේ එහෙම උත්තරයක් දසිගෙන් බලාපොරොත්තුවෙන්. ඒත් මුකුත් කිව්වේ නෑ දසි. සමහර විට දසි ඉක්මණට මැරි කරාවි. මට දසිව ඕනා කියලා මොනව කරන්නද. අම්මි කවදාවත් කැමති වෙන්නෙ නැහැ.


අම්මි කෝල් කරනවා. මං ඈතට ගිහින් කෝල් එක ගත්තා, ලංකාවට මහ දවල් වුණාට එහෙට තාම උදේ පාන්දර. ඔෆිස් එකට යන්න කලින් අම්මි හැමදාම මට කෝල් කරනවා.


" හෙලෝ.. අම්මී."


"කොහෙද දූ ඉන්නේ.."


"මං ඔෆිස් එකේ ඉන්නේ..."


"අද වැඩ ඉවර වෙන්නේ කීයටද..."


"සමහර විට පරක්කු වෙයි."


"පරිස්සමෙන් ගෙදර යන්න.. ගිහින් කෝල් කරන්න මට."


"හ්ම්..."


"මං ලබන මාසේ එනවා. ටිකට් හරි."


"හ්ම්..."


"මොනවද දූට ඕනි.."


"මුකුත් නෑ.."


"කැමති දෙයක් කියලා මැසේජ් එකක් දාන්න.. මං අරන් එන්නම්....... විවේක් කතා කලාද.."


"එයා බිසීනේ.."


"ඉතින් ඒ ළමයා කොහොමත් බිසී තමයි."


"හ්ම්...."


"මං තියන්නම් දූ... පරිස්සමට ඉන්න..."


"හරි.. "


"ජේසු පිහිටයි, දූ..."


"ජේසු පිහිටයි.."


මං දුරකතනය ක්‍රියා විරහිත කලේ විවේක් කතා කරයි කියලා. දසිත එක්ක ඉන්න ලැබෙන මොහොතෙදිවත් විවේක්ගේ කරදරයෙන් බේරිලා ඉන්න වුවමනා වුනා මට. මං විවේක් ගැන අම්මිට චෝදනා කරාට පස්සේ, විවේක් අනික් පැත්තට කෝල් කරන්න හුඟක් ඉඩ තියෙනවා. ඒ අම්මී විවේක්ට කතා කරන නිසා මගේ චෝදනා ගැන...


දසි ඉක්මනට ගියේ එයාගේ ෆෝන් එකට කෝල් එකක් ආපු නිසා... මං ටිකක් වෙලා කල්පනා කරලා මගේ සීට් එකට ගියා.. එයා එයාගේ වැඩ කරන්න පටන් ගත්තා ඇති. ලන්ච් ටයිම් එකත් ඉවර නිසා මං සල්ලි බැලන්ස් කරන්න සමුර්දිට උදව් කලා.. නැත්තම් අපි දෙන්නටම යන්න වෙන් නෑ අද... මං හිටියේ අද ඩිපොසිට් නෙවෙයි වුනාට, අපි දෙන්න පුරුදු වෙලා හිටියා එකිනෙකාට උදව් කරගන්න..


"චාරු.... චාරු.."


සමුර්දි මගේ මුහුණට එබිලා හිටියේ... ඒ වෙද්දී මං සෝෆා එකක වැතිරිලා හිටියේ.. මතක නැහැ මොකක් වුණාද කියලාවත්...


" ඔයාට දැන් හොඳද..."


"ම්ම්...මට මොකද වුණේ..."


"ඔයා ෆේන්ට් වුණා චාරු.... දැන් හොඳද..."


මං වටපිට බැලුවේ දසි ඉන්නවද කියලා... එයා ටිකක් ඈතට වෙන්න මං දිහා බලන් හිටියා.. දෙතුන් දෙනෙක් මගේ වටේ හිටියා..


"දැන් ඔයාලා යන්න චාරුට දැන් හොඳයි..." 


සමුර්දී එහෙම කිව්ව හැමෝම එතනින් ගියා... දසි මං දිහා එහෙම්මම බලන් හිටියා. සමුර්දි දසිගේ මුහුණයි, මගේ මුහුණයි මාරුවෙන් මාරුවට කිහිප සැරයක් බලලා නැගිටලා ගියේ දසි මං එක්ක ඒ රූම් එකේ තනි කරලා.. සමුර්දි දැන ගෙන හිටියා දසිගෙයි මගේ සම්බන්ධය හුඟක් දුරට.. තවම මගේ හිතේ ආදරය නැවතිලා නැති බවත් ඇය සක් සුදක්සේ දැනන් ඉන්න ඇති.


"චාරු ඔයාට දැන් හොඳද.." එහෙම කියාගෙන මගේ ළඟ පුටුව ඇදන් දසි වාඩි වුණා.


"ප්‍රශ්නයක් නැහැ.."


"ෂුවර්ද"


"ඔව්..."


"ඔයා කොහොමද දැන් තනියෙන් බෝඩිමේ ඉන්නේ.. කවුරුත් නැතුව..."


"මෙච්චර කල් හිටියේ මං එහෙම තමයි දසි."


"ඒ උනාට ඔයාට මෙහෙම අසනීප වෙනවා නම් බයයි චාරු.. අපි කෝකටත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නමු.."


"ඕන නැහැ.."


"ඔයාගේ පණ්ඩිතකම වැඩි..."


"හ්ම්ම්..."


මං හිමින් සැරේ නැගිට්ටා.. අපහසුවක් නොදැනුන නිසා මම එහෙම්ම වැඩ කරන්න පටන් ගත්තා...


අම්මට මං ෆේන්ට් උනා කියලා සමුර්දි කියලා තිබුනේ දවස් කිහිපයකට පස්සේ...


මං නොකියා හිටියේ අම්මාට කියලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්න අනවශ්‍ය නිසා. තාත්තා ඒ අතර ලංකාවට ඇවිත් මාව බලන්න බැන්ක් එකට ආවේ හදිස්සියේ... අම්මාට ඒවා වුනත් මං නොකියන්න ගියේ අනවශ්‍ය දේවල් අම්මා එක්ක  නොකියන තරමට හොඳ නිසා..


තාත්තගේ මුදල් වලිනුත්, අම්මිගේ මුදල්වලිනුත් මගේ හිතේ සතුට හම්බුනේ නැති බව අම්මට කියාගන්න ඕන වුණා මට.. ඒත් ඒකට මට ශක්තියක් තිබ්බෙ නැහැ.. දසි එක්ක ඉන්න එක මිනිත්තු කිහිපයක ඒ සතුට තිබුණා. මං ගැන සොයා බැලීම්, මට ආදරේ කිරීම්..මහ හුඟක්... අන්න ඒකයි මේ තනි හිතට ඕන කලේ... මං ඒකයි හෙව්වේ...


දින දින ගෙවුණා.. සති ගෙවුණා.. අම්මා ලංකාවට ආවා.. ගෙදර එක්ක යන්න අම්මා ආවේ මාමගේ වාහනේමයි.. නිවාඩු දෙකයි මං දැම්මේ.. අම්මා එක්ක මට ඉන්න වුවමනා වුණේ නැහැ... අම්මා සමහර වෙලාවට මම අකමැති දේවල් කරන්න ගත්තම නිදහසේ ඉන්න බැරි වෙනවා..


ඒත් දෙවනි දිනයේ නොකියම විවේක් එයාලගේ ගෙදර අය එක්ක ආවා.. 


ටික වෙලාවක් යනකම් මට වෙනසක් තේරුණේ නැහැ..


"ලබන සතියේ අපේ එන්ගේජ්මන්ට් එක.. ඔයා නිවාඩු දාන්න හොඳේ..වැඩිපුර.. අපි යමු අනුරාධපුරේ පවුලේ අය එක්ක..."


මට කතා කරන්නවත් නිවාඩු නැති විවේක්ට එක පාර අනුරාධපුරේ යන්නයි, එන්ගේජ්මන්ට් එකටයි නිවාඩු ගන්න පුලුවන් වුණේ කොහොමද කියන්න මට තේරුණ් නැහැ.. කොහොම වුණත් මං නොදැන හැමදේම ලැහැස්ති වෙලා තිබුණා.. අම්මා එක්ක මට තරහා ගියා.. ඒක නොපෙන්න ඉන්න මං හුඟාක් උත්සහ කලා... මං දන්නේත් නැතුව මගේ එන්ගේජ්මන්ට් එක ලැහැස්ති කරලා..


"මට දැන්ම මැරි කරන්න බැහැ.." මං විවේක්ට කිව්වේ හීන් සීරුවට...


"මැරි කරනවා නෙවෙයි චාරුණි.. එන්ගේජ් වෙන්නේ.. වෙඩින් එක ලබන අවුරුද්දේ ගමු.."


ඔය මොකක් කලත් මැරි කරන එකනේ වෙන්නේ.. පොතේ ලිව්වා කියන්නේ මැරි කරන එකනේ... මං මුකුත් කිව්වේ නැහැ.. 


" මේ දවස් වල ඔඩිට් යනවා.. මට හදිස්සියේ මුකුත් කරන්න බැහැ.. මට කිව්වේත් නැහැ.."


අම්මා ළඟට ගිහින් කිව්වේ විවේක් එක්ක රණ්ඩුවට යන්න බැරි නිසා...


කොහොමහරි අමාරුවෙන් එන්ගේජ්මන්ට් එක පස්සට දාගන්න පුලුවන් වුණා. මගේ අකමැත්තෙන් එයාලට කිසිම දෙයක් කරන්න බැරි බව අම්මත් තේරුම් ගත්තා.. සති හතරකින් අම්මත් ලංකාවෙන් ගියා තමන්ගේ සුපුරුදු රැකියාවට..


ඔෆිස් එකේ වැඩ සාමාන්‍ය විදියට සිද්ධ වුණා. හදිසියේ ගන්න හදපු මගේ එන්ගේජ්මන්ට් එකත් පස්සට ගිය නිසා මාත් පාඩුවේ ජීවිතය ගෙව්වා... විවේක් හැමදාම මට කතා කලා.. ඉක්මන්ට මැරිකරන්න අවශ්‍ය බව කිව්වා.. මං කිසිම දෙයක් කියන්න ගියේ නැහැ..


දින දින ගෙවුණා.. සති සති ගෙවුණා..


අන්තිමට මට අමු අමුවෙන් පිලිස්සෙන්න පුලුවන් වෙන දේ සිද්ධ වුණා.. .. 


දසීගේ විවාහය..


මට වුවමනා වුණේ ලස්සනට හැඳගෙන යන්න.. මනමාලියටත් වඩා ලස්සනට යන්න... හැමෝම මං දිහා බලනවා බලන්න..... 


ඒත් ඇත්තටම දසීගේ ළඟින් හුන්නේ මට වඩා ලස්සන කෙල්ලෙක්.. එදා දසීට මාව පෙනුන් නැහැ. ඈ එක්ක හිනා වෙවී හිටියා...


මං ප්‍රාර්ථනා කරපු හැමදේම දසී ඇය එක්ක සිදු කලා.. නිලමේ ඇඳුමෙන් ඔහු ඇය සමඟ පෝරුවේ චාරිත්‍ර කළා.. දෑඟිලි බැදී, කෙන්ඩියෙන් වතුර වැක්කෙරුණා. ඔවුන් ලස්සන කපල් ඩාන්ස් එකක් කලා. ඒ ආදරණීය කටහඬින් ඔහු ඇය වෙනුවෙන් ගීතයක් ගැයුවා.


මං එදා හැමෝටම නිකම්ම කෙනෙක් විතරක් වුණා.. 


තද කරන් උන්න හැඟීම් එක්ක මං හිටියේ තනියෙන් යුද්ධෙක.. 


සමුර්දී එක්ක ඌබර් එකක නවා තැනට ගිහිපු මම හොඳට නාගත්තා..


පිරිටන් පෙති දෙකක් බිව්වා..


"අම්මේ මං මැරි කරන්න කැමතියි..." 


එහෙම මැසේජ් එකක් දාලා, ඇස් පියා ගත්තා...




4 comments:

  1. ගිණි ගන්න හදවත් වල ලස්සණ ට තියෙන ආදරය කොච්චර අසරණ ද ?

    අරූ ගේ තවත් තාත්වික කෙටි කථාවක් . ලස්සණයි හැමදාම වගේ . 😊😊😊🙏

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ හැමදාම වාගේ.. ඔබේ කොමෙන්ටුවට.

      Delete
  2. ඔයාගේ සමහර කතා තරම් හිතට වැදුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. හාකෝ.. මේ දවස් වල ලියැවෙන් නැහැ අප්ෆා..

      Delete

නොනිමි ප්‍රේමය

සුසුම වුව බිඳී විසිරී හඬ මවන කටුක නිහඬ යම,, නුඹටය..... දිගු රැයක පවා නොසැලෙන ප්‍රේමයටය.. තරු වර්ෂ ගණන් නොහිඳෙන කාලයට. මේ වැසි අක...