නොනවතින ජීවිත.




ඉයන්ගේ අඩවියේ ඉයන් මාමාගේ අභියෝගයට ලිව්වේ.... හදිස්සියෙම ලිව්වේ.. ඒ වගේම කතා හතරක් තියනවා. එහෙනම් බලන්නකෝ කියවලා... ^_^


  1. "චමිල අලුතෙන් ආපු බාස්ට සාත්තර කියන්න පුලුවන්. ගිහින් අහගන්න"
" ඕන් නෑ පොඩි සාදු." 
මා අලුත් බාස් ළඟට ගියේ කිහිප සැරයක්ම පොඩි සාදු කර ඇවිටිලි නිසාය. ඒත් චමිලගේ හිතේ කිසිදු විශ්වාසයක් සාස්තර පිළිබඳ නොතිබිනි.
" ළඟදිම ගෙදරින් ඔයාව බලන්න ඒවී"
සාස්තර කරු එසේ කියද්දී අවුරුදු තුනක් මේ ආරණ්‍යයේ විසුවද ගෙදරින් කිසිඳු කෙනෙකු මා බැලීමට නොපැමිණ වග කල්පනා කලෙමි. එහෙයින් මෙසේ සාස්තරකරු ගෙදරින් තමා බැලීමට පැමිණෙන බව කියන වදන මා කිසි සේත් විශ්වාස නොකලේමි.
ඊළඟට කිවේ කිසිදා තමාට මහන වීමට නොහැකි වන බවය.. එයද මා බැහැර කලේ සිනාවෙමිනි.. අවුරුද්දක් පුරා වඩමින් උන් බවුන් තමා පසු පස තියෙද්දිත් මේ කියන සාස්තර කරුගේ වදන කෙලෙස විශ්වාස කරම්දැයි මම සිතුවෙමි.. අනතුරුව සාස්තරකරු කීවෙ තමාට හිරේ විලංගුවේ ලැගීමට සිදුවන බවකි.. එයද මා බැහැර කලේ සිනහා වෙමිනි..
2."නවීන් උඹ ඇයි බන් එන්.අයි.එම්.එච්. ඉල්ලුවේ.."
සදීර තම මිත්‍රයාගෙන් ඇහුවේ මිත්‍රයාගේ මාරුවීම පිලිබඳ දැන ගත් මොහොතේය.
" මට ආසයි බන් සයි කරන්න.. අනික ලේසි එම්ඩී එක උනත් කරන්න."  සදීරට නවීන් කීවේ තමාගේ බඩු පොදිය අස් පස් කරන ගමන්‍ ය. 
"උඹ මට කිව්වෙත් නෑ. මෙච්චර දවසක්."
"මං කිව්වේ නැත්තේ මොකක් හරි කරලා උඹ මාව මෙහේ තියා ගත්තොත් කියලා. මට දැන් වුන්ඩ් බල බල ඉඳලා ඇති වෙලා බන්"  
"උඹට අර පිස්සෝ එක්ක ඉන්නකොට ආස හිතෙයි නේ එහෙනම්"
"එහෙම කියන්න එපා බන්. උනුත් ලෙඩ්ඩුනේ."
"හා හා උඹ ගිහින් උන්ට පිස්සු වැඩි කරපන්"

3. ඒ දීප්තිමත් දිනය කවි පොතක් සමඟින් තමාගේ ජීවිත කතාව සහිත නවකතාව එලි දක්වන දිනයයි. එයට උදව් කල සැවොම පැමිණ තිබේ. නමුත් අම්මා නැත. තමා අනන්තරීය පාප කර්මයක් කල බව ඔහු සැමවිටම සිතුවේය. එය සිහියෙන් නොකලත් තමන්ගේ අතින් එය සිදුවිය. 
වැඩසටහන ආරම්භ වී ඇත. නිවේදකයා මුලින්ම පොල්තෙල් පහන දල්වන්නට ආරධනා කලේය.  අනතුරුව දේශන කිහිපයක් පැවැත්විනි. 
තමාගේ කතාව කරන්නට තිබේ.. අම්මාව මතක් වෙයි. තමාට තියන කතාවට පෙර තමාට මේ සඳහා උදව් උපකාර කල වෛද්‍යවරයා ගේ කතාව ආරම්භ වී ඇත..

4. නමුත් ඊට දින හතරකට පසූ මා බැලීමට අක්කා හා අක්කාගේ මහත්තයා පැමිණියෝය.. අක්කා කියු දේවල් නිසා ඔළුව විකාර විය. අම්මාගේ ප්‍රශ්නත් ඉඩම් ප්‍රශ්නත් නිසා තමා නිවසින් පිට වු බව අක්කාට පැවසුවෙමි. අක්කා පැවසුවේ ආයේ නිවසට එන ලෙසය.නමුත් මට මහන වීමට අවශ්‍ය බව අක්කාට කිවූ විට අක්කා හඬන්න ගත්තාය.
නැවත වතාවක් පරණ යහලුවා ආරන්‍යට කෝල් කර අම්මාගේ වතගොත පවසන්නට විණි. මගේ ඔලුව ගිනි ගන්නට විය. භාවනා කරන්නට නොහැකි විණි. භාවනා කරන සෑම විටම මට අම්මාත් අම්මාගේ ජීවිතයත් මැවි මැවී පෙනෙන්නට විය.  අක්කාද කීවේ ගමේ ඉන්නට නොහැකි තත්වයක් උදා වී ඇති බවය.
මා ඇවිද ගියේ මානසික රෝහලටය. මීට අවුරුදු පහකට පමණ පෙර ප්‍රථම ප්‍රේමය බිඳ වැටීමෙන් පසු ඇති වූ හින්නෝන්මාදය නම් තත්වය නැවත උග්‍ර වී ඇති බව මට දැනෙමින් පැවතිනි.මා සැමටම හොරෙන් පැමිණියේ මානසික රෝහලටය. ගේට්ටුව පෙනි පෙනී තිබෙද්දිම මගේ හිත නැවත කීවේ නිවසට යන ලෙසය.. මා ඉතිරියට පැමිණි බසයට නවතා ගත්තෙමි.
"කොටුවට" 
විසි හයක මුදලක් ගෙන කොන්දස්තරවරයා මට රුපියල් සියයේ ඉතිරි සල්ලි දුනි. මා කොටුවට යන විට හිස ගිනි ගනිමින් තිබුනි... කොටුවෙන් අකුරැස්ස බසයක් අල්ලා ගැනීමට හැකි විය. මං කල්පනා කලේ මින් පසු කුමක් කරන්ම්දැයිය.. 
බසයෙන් බැස චමිල නිවසට යන විට ගමේ මිනිසුන් චමිල දෙස බැලුවේ පුදුම සහගතවය. ගම්මු චමිලගේ කනේ සියලු පුවත් ලුනු ඇඹුල් එක්කට තැබීමට වග බලා ගත්තෝය. චමිලගේ හිසට ඒ සියල්ල මහත් වදයක් විය.

5. සදීර නවීන්ගේ මාරු වීම පිළිබඳ කනස්සල්ලෙන් පසු වූයේ තමාගේ මිත්‍රයා මින් පසු තමා හා එකම රෝහලේ පමණක් නොව තමාගේ බෝඩිමෙන්ද වෙන් ව යන නිසාය. කවදාවත් නැති තරමට සදීරට දුක දැනෙමින් තිබුනි.
නමුත් නවීන්ව නවතා ගත නොහැකි බව සදීර දැන සිටියේය. එමෙන්ම හංසිගේ වෙනස්වීමෙන් පසුව නවීන්ට ඩිප්‍රෙෂන් වැලඳුන නිසාත් ඒ සියලු හේතු මේ මාරු වීමට හේතු වූ බව සදීර දැන සිටියේය. 
"මං දන්නවා උඹට හංසිව බල බල ඉන්න බැරි නිසානේ මේ ඔක්කොම. ඊටත් ඒකිගේ මිනිහට සර් කියන්න බැරි කමත් උඹට තියනවනේ." සදීර කීවේ නිකමටය. නමුත් එයින් නවීන්ගේ මුහුණ වෙනස් විය. මතක ගඟ ඉවුරු කැඩුවා මෙන් ගලා එන්නට විය. 
තමා හංසි සමඟ කොළඹ වෛද්‍ය පීඨයේ ඉගෙන ගත් ජීවිතය මතක් විය. එකම කණ්ඩායමේ හිඳිමින් සියලුම විභාග වලට තමන් සමඟ එකට හිඳිමින් පාඩම් කල හංසි එකෙනෙහිම වෙනස් වන්නහේතු වූ කාරනා තමාට සිතා ගත නොහැකි වූ නමුත් පසුව කනින් කොනින් පැතිරී ගිය පුවත සනාථ කරමින් ඇය අවසන් විභාගයට පෙරම හෘද රෝගී ඒකකය භාරව සිටි සීනියර් රෙජිස්ට්‍රාර් කෙනෙක් හා විවාහ ගිවිස ගෙන තිබුනි. ඒ සිදු වීමෙන් පසු ඔහුට ඩිප්‍රෙෂන් තත්වය ඇති විය. එය සුව කර ගැනීමට ඔහුට බෙහෙත් සමඟ උපදේශනයට යොමුවිය.  ඒ සියල්ල තමාට අමතක නොවේ. තමා මෙන් සියලුම මිනිස්සුන්ට මානසික රෝග සෑදීමට හැකියාවක් ඇති බව හැම වෛද්‍යවරයෙක්ම දැන සිටියත්, ඔවුන්ගේ සැබෑ මානසිකත්වය තේරුම් ගැනීමට හැකි වන්නේ තමා මෙන් මානසික රෝගයක් වැලඳුනු අයෙක් පමණි. එම නිසාම නවීන් සයිකැට්‍රි කිරීමට සිතුවේය.

6.කරුණාවතී ඒ වන විට හුන්නේ සිරිපාල සමඟ පවුල් කමිනි. තමාගේ වෛවාහික ස්වාමියා මියයාමෙන් අනතුරුව සිරිපාල සමඟ පවුල් කෑම දරුවන් පිලිගත්තද නොගත්තද තමාගේ  දෛවය බව ඇය විශ්වාස කලාය. ගම්මු කුමක් කීවද තමාට ඒවා අදාල නැති බව කරුණාවති සිතට තදින්ම කියමින් සිරිපාල සමඟ උන්නාය. සිරිපාල ගම වටේ කියන කතා පිලිබඳ තඹ දොයිතුවක් නොදන්නා කරුණාවති සිරිපාලව සැමවිටම විශ්වාස කලාය. තමාගේ පුතාද තමාහැර ගියේ මේ ප්‍රශ්නය නිස බව ඇය මෙනෙහි කලාය. ඈතින් නිවස දෙසට එන රුවක් පෙනේ. ඒ කවුරුදැයි හඳුනා ගැනීමට නොහැකි වුවත් ඔහු කවුරුදැයි හඳුනා ගැනීමට කරුණාවති වෙර දැරුවාය.
7.තමා යන්නේ මව පිලිබඳ මහ ක්‍රෝධි සිත් ඇතිවය. මව ඔහුගේ අනියම් පිරිමියා සමඟ සිටිනු මැවි මැවී පෙනීම නතර කර නොහැකි විය.. කවදාවත් නොදැනෙන තරමට තමා වෙවුලමින් සිටුනු දැනෙන්නට විය. නිවසට අසල ළං වෙත්ම මව නිවස ඉදිරියේ සිටියාය.

8.නවීන් මානසික රෝහලේ පත්වීම ලබා ඉල්ලුවේ අධිකරණ වෛද්‍ය වාට්ටුවය.. එහි වෛද්‍යවරයෙක්ගේ අඩුපාඩු තිබු නිසා තමාට එහි වැඩ බාර ගැනීමට හැකි විනි. මහා විශාල වාට්ටුවක් වුවත් එම වාට්ටුව හිර කූඩුවක් සේය. එයට යන්නට ලොක් කරන ලද දොරවල් හතරක්ම පසු කල යුතුය. එය තමා වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස  වෛද්‍ය පුහුනුවට පැමිණියාට පසු එහි පළමු පැමිණි අවස්ථාව විය. තමා හංසී සමඟ ගෙවූ මොහොතවල් නවීන්ට මතක් විය.. ඒවා අමතක කිරීමට නොහැකි නමුත් අමතක කල යුතු මතක විය.

9." චමිල මගේ වාට්ටුවේ ඉන්න කීකරුම රෝගියෙක්. දැන් ඔහුගේ තත්වය මුලුමනින්ම පාහේ සුව වෙලා තියනවා. නමුත් මෙවැනි සුව වූ පුද්ගලයින් කොපමණ අධිකරණ වෛද්‍ය වාට්ටුවේ හිටියත් දැනට ඇති නීති එක්ක මොවුන් සමාජයට ඇතුල් කිරීම ප්‍රශ්නයක් වෙලා. නමුත් ඔවුන්ගේ දක්ෂතාවන් මෙහෙම ඉදිරිපත් කිරීමට මට උදව් කිරීමට හැකි වීම මගේ වෘත්තීය ජීවිතයේ මං ලද ලොකුම භාග්‍යයි. කවදාවත් නොදැකපු රෝගියෙක් මගේ ළඟම යාලුවෙක් තරමට සමීප වෙලා. මං මානසික රෝහලේ පත්වීම අරන් ගිහිපු දවසේ මුලින්ම ලැබුනේ අධිකරණ වාට්ටුව. එදා මේ පොතේ අයිතිකරු මට පොත දීලා කියවන්න කිව්වම මං මගේ හොස්ටල් එකට ගිහින් කලේ ඒක කියවපු එක.ඇඳුම්වත් ගලවන් නැතුව. ඔහුගේ කතාව මාව හුඟක් සංවේදී කලා.. ලංකාවේ තියන මානසික රෝගී සාක්ෂරතාව ඉතාම පහලයි. මෙවැනි පොතක් සමාජ ගත කිරීමෙන් එම සාක්ෂරතාව දියුනු වෙන්න හුඟක් පිටිවහලක් වෙයි කියලා මං විශ්වාස කරනවා.. ඒ වගේම මේ කවි පොතත් ඉතාම සංවේදීව ජීවිතයේ නොදැකපු පැත්ත ගැන කතා කරලා තියනවා.. මං සුභ පතනවා චමිල කරුණාරත්න මහතාට මෙවැනි දෙයක් කිරීම පිලිබඳව."

10." මගේ  මල්ලි චමිල. ඔහු හිටියේ අපෙන් දුරස් වෙලා අවුරුදු තුනක්ම. මං සති දෙකකට කලින් මල්ලි හිටිය ආරන්‍යට ගිහින් මගේ මහත්තයා එක්ක මල්ලිට ගෙදර යන්න කතා කලා. මල්ලි ඒ වෙලේ කිව්වේ මහන වෙන්න ඕන කියලා. ඊට දින හයකට විතර පස්සේ මල්ලි ගෙදර ආවා. අපි ඉන්නේ වෙනම ගෙදරක මහ ඉඩමේ තියන. අම්මා ඉන්නේ මහ ගෙදර. අම්මා සිරිපාල කියන මනුස්සයෙක් එක්ක සම්බන්ධ කමක් තිබ්බ නිසා මල්ලි ඒකට තරහින් හිටියේ.. ඊට කලින් අවුරුදු පහකට විතර ඉස්සේල්ලා මල්ලි ගැනු ළමයෙක් එක්ක සම්බන්ධකමක් තිබිලා ඒක නතර වුනාට පස්සේ කරාපිටි ගිහින් ඒකට බෙහෙත් ගත්තා. ඒක සම්පුර්ණයෙන් සුව උනා ඊට පස්සේ. බෙහෙත් බොන්න නැති තරමටම. ඉන් පස්සේ අවුරුදු දෙකකට විතර පස්සේ අම්මගේ ජීවිතය නිසා කලකිරිලා මල්ලි ගෙදරින් තරහා වෙලා ගියා. මම අම්මට මුකුත් කියන්න ගියේ නෑ. ඒත් ඒකට මල්ලි හිටියේ තරහින්. මල්ලි උනත් අහිංසක නිසා අම්මට කිසි දෙයක් කිව්වේ නැහැ. මල්ලි ආරණ්‍යයට ගියාට පස්සේ මල්ලිගේ යාලුවෙක් ආරණ්‍යයේ නම්බර් එක හොයාගෙන මල්ලිට කෝල් කර කර අම්මගේ විස්තර වැඩිපුරත් එක්ක මල්ලිට කියලා. මල්ලිට කරදරයක් තරමට ඒ යාලුවා කෝල් දීලා කියවලා. අපි ගිහිපු වෙලේ මල්ලි ඒ බව කිව්වා."
" එදා සිදුවූ සිදුවීම කියන්න" නීතිඥයා අණ කර සිටියේ චමිලගේ අක්කාටය.

11.වැඩ භාර ගැනීමෙන් පසු එකින් එක ලෙඩ්ඩු පරීක්ෂා කල නවීන් දෛනික සටහන් තැබුවේය. 
එහි උන් සමහරක් මානසික රෝගීන් නොවේ. ඔවුන් බණ්ධනාගාරයෙන් රැගෙන ආ සැකකරුවන්‍ ය. උසාවි නියෝගයකට මානසික රෝගයක් ඇත් දැයි උසාවියට වාර්තාවක් ලබා දීමට මානසික රෝහලෙන් සති කිහිපයක් හිඳ පරීක්ෂා කර ගත යුතුය.. එනම් ඔවුන් යම් අපරාධයක් සිදු කර ඇත. එනම් ඒ අපරාධය සිදු කලේ මානසික රෝගී වීම නිසාද,නැති නම් කිසිඳු මානසික රෝගී තත්වයක් නොමැතිව සිහි බුද්ධියෙන්ද යන්න සොයා බැලීම මානසික රෝහලේ අධිකරණ වාට්ටුවේ කාර්‍යභාරයයි. සමහරු මුලු ජීවිතකාලයම අධිකරණ වෛද්‍ය වාට්ටුවේ ජීවත් විය යුතුවිය. එනම් මානසික රෝගී වීමෙන් අනතුරුව ඔවුන් මිනීමැරුමක් හෝ කිහිපයක් කර ඇත. එවිට ඔවුන් අහිංසක නමුත් සමාජයට යැවීමට සුදුසු නොවේ මානසිකව රෝගීවූ විට සමාජයේදී නැවත  මිනීමැරුමක් කල හැක. 
එක් රෝගියෙක් පැමිණියේ පොතක් අතැතිවය. සිය කතාව තමාට කියන්න බැරි බවත් සියල්ල මේ පොතෙහි අන්තර්ගත බවත් ඔහු කීවේය.  ගෙදර ගිහින් දොස්තර මහත්තයා කියවලා මට ගෙනත් දෙන්නකෝ"
එලෙස කීව ඔහු නැගිට ගියේය.  නවීන් හෙදියකගෙන් ඔහු පිලිබඳ සියල්ල කෙටියෙන් දැන ගත්තේය. නේවාසිකගාරයට ගොස් එම පොත කියවන්නට සිතා ගත්තේය.

12. "ඊට දින හයකට පස්සේ ආපු වෙලාවේ මල්ලි ආපු බව දැනගෙන මාත් ගියා මහ ගෙදරට මං යනකොට අම්ම කෑගහනවා.මං අම්මා කෑ ගහන සද්දෙට ගෙදරට දිව්වා. අම්මා කියාගෙන. අම්මා කිව්වා එන්න එපා දුවේ පුතා මන්නේ තියාගෙන ඉන්නේ කියලා. මාව මරන්න හදනවා කියලා හයියෙන් කෑ ගහලා. මං එලියට දිව්වා ඉන් පස්සේ. අම්මා මරලතෝනී දීලා කෑගගහා හිටියා විනාඩි පහක් විතර. ඉන් පස්සේ සද්දේ අඩු වෙලා ගියා. ඊට මිනිත්තු කීපයකට පස්සේ මල්ලි ආවා එලියට. මන්නේත් අතෙ තිබ්බා. මන්නේ ලේ තිබ්බා. මල්ලිගේ ඇඳුමෙ ඉඳන් ලේ. මං මැරුවේ නෑ අම්මව කියාගෙන ආවේ මල්ලි එලියට. ඇවිත් මන්නේ බිම දාලා ඇඬුවා. ගමේ මිනිස්සු ගිහින් මල්ලිව අල්ලා බැඳ ගත්තා ලනු වලින්. ඉන් පස්සේ අපි ඇතුලට යද්දි මල්ලි අම්මගේ බෙල්ලටයි බඩටයි මන්නේන් ගහලා කුස්සියෙදි අම්මව මරලා තිබ්බා. ඉන් පස්සේ පොලීසියෙන් ආවා. මල්ලිට මාව අඳුන ගන්න බැරි තරමට සිහිය තිබ්බේ නෑ. දැනටත් මල්ලි මාව අඳුන ගන්නේත් නෑ. මං අහිංසකයි කියලා අඬනවා ඇරෙන්න කිසි දෙයක් කරන් නෑ."

13. " මිනීමැරුමක් ලෙස මෙය උසාවිය භාර ගන්න අතර චමිල කරුණාරත්න මානසික රෝහලට යවන්න නියෝග කරනවා."
විනිශ්චකරු නියෝග කලේ එලෙසය..
මීට වසර දෙකකට පෙර සිදු වූ සිදුවීමෙන් අනතුරුව චමිල මානසික රෝහලේ අධිකරණ වාට්ටුව වෙත යොමු කල අතර චමිල කරුණාරත්න සම්පුර්ණයෙන් සුව වූයේ සිදුවීම සිදු වී වසරයි මාස හතරකට පමණ පසුවය.

14. නවීන් දොස්තර මහතා සිය කතාව අවසාන කිරීමෙන් අනතුරුව ඇත්තේ තමාට කතා කිරීමටය. 
" හැමෝටම මුලින්ම ස්තූති කරන්න ඕනා මේ අවස්ථාවට සහාභාගි වීම පිලිබඳව.. ඒ වගේම නවීන් දොස්තර මහතාටත් හුඟක් ස්තූතියි මේ දේට මාව යොමු කරවලා නැවත නැවතත් මගේ කතාව කියවලා අඩුපාඩු පෙන්නලා දුන්න එකට. ඒක කතාව මං කිහිප විටක්ම අලුතෙන් ලිව්වා. ඒ කතාව මේ විදියට ඔබ අතට පත් වෙන්නේ නවීන් දොස්තර මහත්තයට පිං සිද්ධ වෙන්න.. ඒ වගේම මං අන්තිමට කියන්නම් ගීතයක්. ඒක ගායනා කරන්නේ ගායක සුනිල් එදිරිසිංහ මහතා.

දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල
ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ
අම්මා.... අම්මා..... අම්මා...."


ස්තූතියි...

ඉරණම




දිනෙන් දින මියෙන වනස්පතින්
හිස් කර අක්කර ගණන්
රුදුරුව වැටෙන හිරුගේ පහරින්
අනලින් දැවී හිස් කරපු උල්පත්
තවත් තියේවිද සිංහරාජේ රැකුමට.

එක්දහස් නවසිය ගණන් වල
හිටපු තනි අලියත් පරවුනාට පස්සේ...
දැන් කෝ රාජයෙක් තියා
එක සිංහයෙක්.
දිනෙන් දින මියෙන එක
සිංහරාජේ ඉරණම..


අංකුර පත්‍රය


කෙලෙස ඇරඹීද නොදැන වසාගත් තෘණ මතින් හිස රුවා බලන මව්තුමිය අහිමි අංකුර පත්‍රයකි. පිනිබිඳෙන් හෝ වැඩෙමී යන ඒකායන බලාපොරොත්තුවෙන් විසල් වෘක්ෂයක් වන්නට පමණක්ම පෙරුම් පුරන්නේය.. ඒ මත සිනිඳු සීතල පිණි බිඳකි.. ඈ ගිනියම් කාශ්ටක හිරු කිරණ මැද වියැලෙන්නට ඉඩ හසර නොදී අංකුර පත්‍රයට සුරක්ෂිතව මෝදු වන්නට අත්වාරුවක් දෙන්නීය.
හදිස්සියෙන් පැමිණෙන සමනලයකු හෝ මීමැස්සෙකු පත්‍ර මත වැදි විසි වී ආයේ යන්නේ කිසිඳු බලාපොරොත්තුවක් මෙහි නොතිබුන සෙයිනි...නමුත් බලාපොරොත්තු ඇත්තේ සිය හදවත් තුල මිස කිසිම දෙයක නොවන වග කිසිවෙක් නොදැන සිටියෝය..

අංකුර පත්‍රය කෙමෙන් කෙමෙන් මෝදු වෙමින් මහත් හරිත ලක්ෂණ පහල කරමින්, දෙපසට පත්‍ර විහිදවමින් අහස් කුස සොයා ඇදෙන්නට වින.. යන්තමින් නෙත් ගැටෙන විහඟෙකු හැරෙන්නට කිසිවෙකු පැලෑටියට ලං නුවුනාහ.. කෙමෙන් කෙමෙන් පීදෙමින්, මහත් රකුසු මාරුතයන්ට මුහුන දෙමින්ද, මහත් වර්ෂාවන්ගෙන් පිඩීතවද හෙතෙම සිය ජීවිතය ගෙන ගියේය..
අසල වෘක්ෂ මත පිදේන පුෂ්පලතාවෝ දුට මහත් දුක්මුසුව සුසුම් හෙලමින්ද කිසිඳු විහඟුන්ගේ ගහනයක් නොලදව කිසිඳු ප්‍රේමාන්විත ස්වභාවයක් නොලද්දෙක්මි යන දුක් මුසු වැයුම තමාට මුමිනමින් ඉන්නාහ. එයින් කිසිඳු විපිලිසර බවක් නොවඩවමින් අනේක සවි ශක්‍තියකින් අනූනව දිවිගෙවන්නාම්හයි තමටම පවසාගනිමින් දුක්ඛිත තත්ව ශේෂ නොකරමින් හා නොතකමින් දිවි ප්‍රාප්ත කරන්නාහ..
නුමුත් දිනක් මහත් වූ ආශ්චර්යයක් පහල කරමින් තමාගේ මූලය අසලට විත් ශ්‍රමනයෙක් කුස තණ මිටි අතුරා අසුන් ගන්නා දුටව මහ වෘකෂයෝ මහත් වික්ෂේපයට පත් වූහ... ඒ වූ කලී කල්ප කාන්තාරයකට වරක් සිදුවන මහ බලසම්පන්න සිදූවීමක ආරම්භය යැයි වෘක්ෂ තුමූ නොදත්තෝය. කිසිඳු ප්‍රේමණීය මුලාවකට හසු නොවෙමින් තමා ගෙන ආ ජීවිතයෙන් කිසිඳු ඉරි තැලීමක් නොමැතිව විරාගික දිවියක් ගතකරෙම්දැයි එකත් පසව සිතින් සිතන්නාහ. සිය අතු පතර විහිදුනු වෘක්ෂ කලඹ ශ්‍රමනයන් වහන්සේටම සෙවන සලසන්නෙමි සිතමින් මහා විශාලව ආරෝහ පරිණාහ දේහයක් වඩන්නාහ. ශ්‍රමනයෝද කිසිඳු සිත් බිඳ වැටීමක් නොපෙන්වාම ඒකායන අදිටනින් යුතුව එහිම හිඳ භාවනානුයෝගීව සිටින්නාහ.
ඒ වෘක්ෂයෝද වර්ෂ ගණන් ගෙවෙමින් ශ්‍රමනයෝ තමා අත් හැර නොයමින් සිත ඒකාග්‍ර කරමින් බවුන් වඩමින් අවසාන අපේක්ෂාව උත්කෘෂ්ට කරන අන්දම දින මාස, වර්ෂ ගෙවමින් තමා බලා හුන් බව මෙනෙහි කරමින් ඉවසීම වඩන්නාහ.
කල්ප දහස් ගණනක් පෙරුම් පුරමින් තමා පැමිණෙන වග ශේෂව ඇති ප්‍රතිඵල වලින් දැනෙන බව සිතමින් ශ්‍රමන වහනසේ අව්, වැසි, මහ සුළං වලින් රක්නා ලදහ.
ඒ මහ දිනය මහ රන් පැහැ වූ සඳ පිපීමෙන් ආරම්භ වුනායැයි දැනෙන්මින් වෘක්ෂයෝද උකටලීව එකත් පසව සිටින්නෝය. ශ්‍රමනයන් වහන්සේගේ මහත් වු බුද්ධ ලක්ෂණ පහල වෙමින් මහ හිමිදිරියේ බුද්ධත්වයට පත් විය...
අවසානයේ ඒ වූ මහ ජයග්‍රහණයට තමාද ප්‍රාප්ත වූවා වැනී හැඟීමෙන් මඬින ලදුව මහා වෘක්ෂයෝද මහත් සන්තුෂ්ටියෙන් අතීතය මෙනෙහි කරන්නාහ. එ කල්හී කිසිඳු ලෙසකින් තමන් මහත් ජනි ජනයාගෙන් පිදුම් ලබන මහ බෝ වෘක්ෂයක් වේ යැයි නොසිතුවේය.. කල්ප ගණනක් පෙරුම් පුරාගෙන සම්‍යක් සම්බුද්ධ රජුන්ගේ බුද්ධත්වයට පත්වන කල සෙවන සලසන්න මෝදු වුනා යැයි නොදැන අනවැසි දුක් කඳුලු කුමට සැලුවේ යැයි සිතා කම්පා වූහ.. ඒ වු කලී ලෝ දහම නම්, තමාට ජීවිතය ලදින්නට කොහේ හෝ සැඟවු යටි අරුතක්ම තිබෙන්නාහයි අරුත් පැහැදුවේයැයි ලොවටම තතු දක්වන්නාහ...

පින

කතුරුමුරුංගා ගහ කපපු දවසක
අහම්බෙන් දැක්ක කඳුලු ඇබිත්ත
දළඹු කෝෂයක බව දැන
ජෑම් බෝතලයක ජෑම් අහක් කර
කෝෂය අතුලට දමා කඳුලු පිසලූවෙමි..
කට ගැට ගසා හිල් පහක් විද 
හැමදාම කොල වර්ග දැමූයෙමි..

ජෑම් බෝතලය කෝ අසන කල 
අම්මාට එදා  අහවරයැයි 
කියන්න පෙලඹුනෙමි..

කඳුලු ඇබිත්තක් සමහරදාට 
ජෑම් බෝතලය මත
නොදුටුවත් නොවේ...

පස්සේ දවසක දළඹු කෝෂය බිඳී සමනලයෙක් ඉපද එල්ලී සිටියේය 
ජෑම් සුවැඳැති බිත්තියේ.. 
කට ඉරා පාර කැපුවෙමි නිදහස් වන්න..

සිරීපාදේ කාලෙට අදත් මට මතක් වෙනවා...
පා අහිමි මට සිරීපාදේ යන්නවත් බැරුවුනත්..
අර සමනලයා පියඹනවා ඇති
වඳින්නට සිරිපාදය..

අදිසි නුවුනා නම් එදා සමනල කඳුලු පිසලන්න..
ජෑමුත් අහක් කර,
මට  ඒ සමනල් පිනවත් නොතිබෙන්න තිබ්බා 
සිරීපාදේ වඳින...



කැමත්ත...

පොමනේරියන් සුරතල් බව ඇත්ත...
ඒත් මං ආස ඩොබමන්ටල...
හුඟක් නපුරු වුනත් ස්වාමියට කීකරුයි උන්...
හැමෝම ළඟ නැතුවට සුරතල් වෙන්නෙ ස්වාමියා අබියස..
ඉතින් පොමනේරිය මොකටද..
උන් සල්ලං වගේ දැනෙනවා මට..

නව්‍යතන ප්‍රේමය

සහස් නෙතු 
බිතු සිතුවම් වැනිය.
සිය දහස් පෙදෙසෙන්ම
ඒ දෑස් සැංගි හිඳී..

කොහෙන් වුව අයා
ලොවටම ගතු කියයි.

නොමැති කල 
විනයකුඳු සිහිල් රැලි නගා එයි.
එනමුත් මහ හඬින්
කාලයකට පසු රැලි ගසයි..
ඒ රැලි මුග්ධයකුගේ සේ
හදවත පසාරු කරයි.

කවි මිමිනු අතීතය 
අමතකම කරවයි.
ප්‍රේමයක් තිබුනදැයි
කුකුසක්ව ගිලා බසී..

"ප්‍රේමය නම් මෙයය.
ලිවින් ටුගෙදර් ය.
ඒත් රහසින්මය.
මේ ආසියාවය.."

මුලු මහත් සමාජය
අළුව දිස් වුවත් රන් ඊ හිසකි.
ඒ තරම් මනරම්ය ප්‍රේමය.

රැලි නොගැසුවොත් හොඳය.
එකල නටඹුන්ද ඉතිරි නොවන
විරහවක්ද ඉතිරි නොවන
මහත් සොම්නසකි.

අවැසි නම් ඉන්න...
අනවැසි නම් යන්න...

නොබැඳි සමුළුවකි.
දෙහදක් යාවුන.


Depression හෙවත් විශාදය. 01

මගේ පුංචි බ්ලොග් එක මේ දක්වාම කවි, කෙටිකතා ලියපු බ්ලොග් එකක්.. මින් පස්සේ මං බලාපොරොත්තු වෙනවා වෛද්‍ය හා කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන ලිපි ලියන්න.. ඒක මහ කම්මැලි වැඩක් උනත් මම උත්සහ කරන්නම්.. 😊😃
###########################

මුලින්ම කතා කරන්නේ විශාදය නැත්තම් ඉංග්‍රීසියෙන් කියනවා නම් ඩිප්ප්‍රෙෂන්.. (depression) ගැන. Depression ලෝක ප්‍රජාව අතර හුඟක් සුලභ මානසික රෝගයක්. ඒ වගේම ලංකාවෙත් ප්‍රතිකාර නොගන්නා විශාල ප්‍රමාණයකුත් රෝගය හඳුනා ගෙන ප්‍රතිකාර ලබා ගන්නා පොඩි ප්‍රමාණයකුත් ඉන්නවා.. දිවි නසා ගැනීම්, දිවි නසා ගැනීමට තැත් කිරීම්, තමාටම හානි කර ගැනීම්(self harm)  වලින් වැඩි ප්‍රමාණයක්ම සිදු වෙන්නේ ප්‍රතිකාර නොකරන depression රෝගීන් අතර... ඒ වගේම සියදිවි නසා ගැනීම් වෙන මානසික රෝග නිසා වගේම වෙනත් ප්‍රශ්න නිසා සිදු වෙන්න පුලුවන්.නමුත් අවසාන වශයෙන් කෙනෙක් සියදිවි නසා ගැනීමට පෙලඹෙනවා නම්, ඒ කෙනා අනිවාර්යයෙන් මානසික වශයෙන් නීරෝගී පුද්ගලයකු වන්නේ නැහැ..

ලෝකයේ 2015 වසරේ පමණක් 828,000 ක් මරණ වලට හේතු වෙලා තියෙන්නෙ සියදිවි නසා ගැනීම්. ඒ වගේම ඒ ප්‍රමානය ලෝකය පුරා මරණ සිදුවීමට තුඩුදෙන 10 වෙනි ස්ථානයට පවතින හේතුව..
පහතින් පෙන්වලා තියෙන්නේ සියදිවිනසා ගැනීම් වල ලෝකයේ සංඛ්‍යාත්මක වශයෙන් ව්‍යාප්තිය. බලන්න ලංකාව ඉහල මට්ටමේ සියදිවි නසා ගැනීම් පවතින රටක් නේද කියලා.. සියදිවි නසා ගැනීම් ගැන මීඩියා වල පෙන්නුවට අවශ්‍ය වෙන්නේ ඒවා වලක්වා ගැනීම. අවාසනාවට ඒ පිලිබඳ වත් කිසිඳු තැකීමක්, දැනුමක් නැති මීඩියා ලංකාවේ තියෙන්නේ...


දැන් බලමු අපි depression ගැන...
Depression  කියන්නේ mood disorder එකක්.. ඒ කියන්නේ මනෝභාවය ආබාධ වීමක්... 
ඒ වගේම සුලභ, බරපතල රෝගයක්..
ඒ රෝගය තමාට දැනෙන, හිතන, තමන් හැසිරෙන ක්‍රමයට සෘනාත්මකව බලපානවා. ඒ වගේම විශාදය ප්‍රතිකාර වලින් සුවකරන්න පුලුවන්...
විශාදය ශෝකජනක සිතුවිලි නිසා හෝ/ හා කිසිම දේකට කැමත්තක් නැති වීම නිසා ඇති වෙන්න පුලුවන්.. Depression චිත්තවේගි හා කායික ගැටලු ඇති කරමින් එදිනෙදා ජීවිතය පවත්වා ගැනීමට නොහැකිවන සේ බලපෑම් ඇති කරනවා...

Depression වලට හේතු වන කරුණු විදියට පහත  කරුනු ඉදිරිපත් කරන්න පුලුවන්..

  1. Abuse / අපචාර- ඒ කියන්නේ මානසික,ලිංගික, ශාරිරික හෝ චිත්තවේගී (emotional) යන ඕනම ආකාරයක් බලපාන්න පුලුවන්..
  2. ජීවිතයේ සිදුවන විශාල වෙනස් වීමක්- විවාහයක්, දික්කසාද වීමක්, නව රැකියාවක්, ප්‍රේම සම්බන්ධතාවක් කඩා වැඩීමක්. වගේ දේවල් නිසාත් depression හැදෙන්න පුලුවන්...
  3. මරණයක් හෝ වෙන්වීමක්.. ලඟම කෙනෙක් මරණයට පත් වුනහම depression  හැදෙන්න පුලුවන්. ඒ වගේම මෙයටත් විරහව ඇතුලත් කරන්න පුලුවන්.
  4. ජානමය හේතුමත.. ඒ කියන්නේ බොහෝ විට මානසික රෝග හැදෙන්න ජානමය බලපෑම  තියනවා.. මානසික රෝග තියන කෙනෙක් ඉන්නවා නම් පවුලේ බොහෝදුරට පවුලේ තව කිහිප දෙනෙක් ඉන්න පුලුවන්.. ඥාතීන් වන...

දැන් බලමු රෝග ලක්ෂණ මොනවද කියලා...
  • දුක්බර බව
  • කිසිඳු බලාපොරොත්තුවක් නැති බව
  • වැරදිකාරී හැඟීම් සහිත වීම
  • හුදෙකලා බව
  • කිසිඳු වැඩක් පිලිබඳ සතුටක්, අවශ්‍යතාවක් නොමැති වීම
  • කිසිඳු දෙයකට අවධානය යෙදීමට නොහැකි වීම
  • තීරණ වලට එලඹීමට නොහැකි වීම
  • තමාට හානි කර ගැනීමට සිත් වීම
  • සමහරක් විටෙක delusion හෝ/හා hallucination ඇතිවීම. (Delusion  හා hallucination පිලිබඳ පසුව විස්තර කරන්නම්...)
  • එදිනෙදා වැඩ කටයුතු අතපසු කිරීම
  • මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වීම
  • ශක්තියෙන් අඩු වීම
  • ශාරිරික වේදනාවන් ඇති වීම.
  • ආහාර රුචිය අඩුවීම
  • ශරීරය බර ක්‍රමයෙන් අඩුවීම.
  • නින්ද අඩුවීම.( සමහරවිට නින්ද වැඩිවීමද සිදුවිය හැක.)
  • ලිංගික කටයුතු එපාවීම.
 මෙවැනි රෝග ලක්ෂණ සති දෙකකට වඩා නොකඩවා ඇත් නම්, ඒ පුද්ගලයා මනෝ වෛද්‍යවරයෙක්‍ට හෝ අවම වශයෙන් මනෝ උපදේශක කෙනෙක් සඳහා යොමු කිරීම වැදගත්... ඉතින් ඊලඟ ලිපියෙන් මම විශාදයට අදාල ප්‍රතිකාර කතා කරන්න බලාපොරොත්තු වෙනවා..


ස්තූතියි මගේ ලිපි කියවපු ඔබට.. 

Reference
https://en.m.wikipedia.org/wiki/Suicide
http://www.depressiontoolkit.org/aboutyourdiagnosis/depression.asp
https://www.psychiatry.org

ප්‍රේමණීය මතක වස්තු...




ඔය බළල් ඇස් මත
මං නිසලව හිඳගෙන
ලිව්ව කවි පේලි මත
නුඹ සෙව්වේ නමක් නැති වදන...

ඇක්සෝ චොකලට් සුවඳ
දැනුදු පුරුදුයි නැහැයට
අමතක කලත් ඒ සුළිසුළඟ 
බසයක හිටියත් සොයාන එන්නේ මාවම..

නුඹ එක්ක යමි අතීතෙට
අත් අල්ලන් කඳුලු කැබැලිති විසි කරපු
මඟ දෙපස හුල්ලන නටඹුන් තියෙන
මා බියෙන් පා තබන්නෙද සීරුවට

හදිස්සියේ ඇහැරුනොත් නටඹුන්
රිද්දන තරම් නොදැන නුඹ
පුදුමයි මේ තරම් සුරක්ෂිත කෙරුවේ
අපේ ජීවිත මතක .



දුක හා සඳ


මැදියමේ සැංගී හොරෙන්
හෙලුව කඳුලැලි කොට්ටේ මතදී
මැව්ව කැටයම් උදේ වියැලි 
මැකී බොඳවීම තිබුනා.

සඳත් කරුවලේ එහෙම දිනයක 
ඇවිත් මගේ දුක හිමින් ඇහුවා.
ඒත් ඒ දුක දරා ගන්නට 
බැරුව සඳ මියැදුනී ද මන්දා.

ආයේ දින ගෙවි ගෙවී තිබිලා
අලුත් සඳකුත් මැවී තිවුනා
ඒත් මගේ දුක මැකුනේ නැතුවා..
එදත් මං හරි හුඟක් හැඬුවා..

ඉතින් ඒ නව සඳවතත් දැන් 
හෙමින් මිලිනව යනවාද මන්දා..


අතීතය මනරම්..


හීතලෙන් මිරිකෙන 
වස්සානේ අග දවසක
හෙම්බත් වූ ජීවිතය
දෝතින් ගෙන විඳින
ඔබ හා දොඩමළුව
ආලින්දයේ ඇඳි පුටුව උඩ
නුඹේ උකුලේම හිඳගෙන 
වැස්ස දිහා බලන් උන්නු අතීතෙට...

සීතලම දැනී 
උහුලගන්න බැරි වෙනකොට
"කෝපි එකක්" කියා
මුව මඬල ඇල කරන..
කෝපි කෝප්ප තුන හතරක්ම ඉවරකරන
ඒ සොඳුරු අතීතෙට..

මාරි බිස්කට් පොඟවන්
කන්නවත් වෙන්නේ නැති 
ඒ තරම් සීතලක
ඒ වගේ දවසක 
උණුසුමින් බොන්න වෙන කෝපි කෝප්පෙක තරම්
කොහෙද රහ තියෙන්නෙ....

මං ආසයි ඒ මනරම් අතීතෙට.....



බලාපොරොත්තුව...



රාත්‍රියේ ඉපදුනු
පිනි බිංදුවකට බැරිද
සැංගි හිඳ හෝ විඳගන්නට
ප්‍රේමයේ මල්තුහින ඉසින 
උදෑසන හිරු කිරණ...

උදක ප්‍රාප්තිය


ලංකාද්වීපය වසරක මධ්‍යය අතිශ්ක්‍රමනය කරමින් තුබුනේය.. අතීතය නොනිමි දුක්බර සමයක් වු නමුදු, වෙසක් සිරි නරඹමින් හුන් ජනයා ප්‍රමෝදමත් අනතීතයටද,අනාගතයටද මහත් ප්‍රාර්ථනා මුසුව ආරාධනා කරමින් උන්හ...

පෙර වූ වසරෙහී ලංකාද්වීපයේ මහත් වූ විපත්තියක් ගෙනදුන් දින යන්තම් ගෙවෙමින් තිබුනාහ.
යථොක්ත දිනයන් මහත් අභිරුචියකින් ගෙවන්නෙමු'යී යන ඒකායන අපේක්ෂාව, මහත් වියරුවකින් භංගත්වයට පත් කරමින් මේඝ නදී තෙමේ මහත් පෙරලියක් කරමින් උන්හ... නීල වර්ණාදී මේඝලතාවෝ කාල වර්ණ වෙමින් බෙංගාල බොක්ක නම් අතීතයේ මහත් විපත්තීන් ගෙන දුන් ප්‍රදේශයෙහි රෞද්‍ර මාරුතයක් සුලි උපද්දූහ.. 
එහි විපත් නොදැන ගිම්හානය අහවර වූවායැයිද, වස්සනාය පැමිණියායැයි ද අහ්ලාද වෙමින් සකල ලෝ වැසි ජනයා කිසිත් නොවිමසමින් උකටලීව ඉදිරි සම්ප්‍රාප්තියන් හා බැඳෙමින් සිටියහ..

වර්ෂා සමය ඇරඹීමත් සමඟ කෙමෙන් කෙමෙන්, මහ ජල ධාරවක් උත්පාදන කරමින් කාල වර්ණ මේඝලතාවෝ කිසිත් පිලිසරණක් නොදීම දෙරණ මත කඩා හැලමින් තිබුනහ. ඉදින් එහි උත්කෘෂ්ට අවස්ථාව වන ගංගාවෝ උතුරා යමින්,  ලංකාද්වීපයේ විවිධ ප්‍රදේශයන්හී ජල ගැල්මවල්  ප්‍රාප්ත වුන්නාහ. ඒසඳ බලා හුන් වෘක්ෂලතාවෝ හා තුංග කඳු පන්තීහූ උකලීව උන්හ.

ඒ සමයෙහි මැණික්පුර වූ කලී විශාලා මහනුවර සේ සශ්‍රීකත්වය පිරි ප්‍රදේශය මහත් වියරුවක පෙරමඟට පැමිණෙමින් තිබුනි.. ඒ වූ කලී කාල නදී අවේස වූ රකුසු වේෂය දින කිහිපයක් කූටප්‍රාප්තියට පැමිණිමෙන් අනතුරුව ඒ දුට මහත් නිශ්චලව හුන්, කඳු වැටි මඬින ලද ඇසිල්ලෙහි කඩා පතිත වීමය.. ඒ ඇසිල්ලෙහිම සමහරක් නිවෙස් එක් ක්ෂණයකින්ම මිහිකත වැලඳ ගත්තේය.. එලෙස තුංග කඳු පන්ති මහත් අභිරුචියකින් හුදෙකලා නිම්නයට සිය බර පතිත කරවූවද එහි වූ ජනී ජනයා හිස් ලූ ලූ අත දුවනු අජීවී මලකඳක් වන් කඳු පන්තිය සිසාර නොදැනුනහ... ඒ සා මහත් වූ කඳු පන්ති සමහරක් ජනයා මත කුරිරුව පතිත වෙමින් ඔවුන්ගේ ප්‍රානය නිරුද්ධ කරන්නටද සාමර්ථ විය.

ඉදින් එලෙසටම මාණික්‍යපුර මෙන්ම රුහුණුපුරද, මහත් වූ විපත්තීන් සමුදායකට ප්‍රාප්ත වෙමින් පැවතිනි..  එනම් නිල්වලාවෝ ද මහත් වූ කෲර වේෂයකින් සිය දෙරණත කම්පා කරමින් සිටියෝය.. අදිසි නිම්න උදක ප්‍රාප්තියට කිසි විටෙකත් අපේක්ෂාවක් නුවුනු ජනීජනයා මහත් පීඩිතව ඉච්ඡාභංගත්වයට එක් ක්ෂණයකින් පත් විය.. කවදා කොතෙන සිදුවූ සම්‍යක් නුවූයෙන් කිසිඳු හව්හරණක් නොමැතිව ඇද වැටිනි. ඒ මහා විපත්තීන්ගෙන් ජනී ජනයා හුස්ම නිරුද්ධ කරලූයේ  උදක තරංගයෙහිදී හෝ මිහිකත වැළඳ ගත් තුංග කඳු යටය.

ඒ වූ මහත් රම්‍ය වූ නගරසීමාවෝ සුසානයක පෙනුමක් ඉසූලූහ. මලමිණී කුණු වෙමින් තවදුරටත් ජලය පමණක්ම ප්‍රාප්ථ වන්නට විය...

ඒ මහ ව්‍යසනයෙන් ඉතිරි වු කඩමාළු වන් ජීවිතය ජීවත් කරවීමේ නොනිමි ප්‍රාර්ථනා පෙරදැරිව විපත්තීන්ට මුහුන නුදුන් ජනයා එකරොක් වූහ.. ඉදින් චතුරාංගනී සේනාව වන් ත්‍රී සේනාවද, අනේක විද එකමුතූවූවෝ් මහත් හර්දයාංගම සිතුවිලි වලින් අනූනව යන්තම් හෝ රජ වන්දි භට්ටයන්ගේ උපකාර නැතිව සියල්ල නැතිමුදු හැකිතරම් උපකාර කරමින් මේ මොහොත වනතුරුද සිටින්නෝය..

###########################

පසු වදන: මෙම නිර්මාණයේ වස්තු බීජය මගේ මනසට පැමිණියේ මුහුනු පොතේ ප්‍රකට වූ පොස්ටුවක් නිසාය. ඔහුට මගේ ප්‍රණාමය....


කුරුලු දඩයම 02

  කුරුලු දඩයම 01 දවසක් උදෑසනක දුර්ශාන් සොයා ආවේ දුර්ශාන්ගේ හොඳම මිතුරෙක් වන සංධීර්. ඔහුට පුදුමයි මේ දුර්ශාන්ගේ වෙනස.  "ක්‍රිශෝලියි ඒකිග...