නුඹ ප්‍රේමයෙන් ඔත්පල කල
               මගේ පෙම්වත් සිත රිදුනි....
      නුඹේ සුසුදු පෙම්වත් මා නමට පිදු සිත
  අන් ගැහැණු සිනාවක මනහරක් වුව දුටි නම්

ඒත් සත්තකයි....
මහ ලෝභයෙන් පිරුනි,
ඒ මටම පමණක් පෙම් කල සිතේ 
අනන්ත ස්නේහය දුට
අන් ගැහැණු හිතකට....

පියකු වූ නුඹට....

සිතම තෙත් කල
ප්‍රේම සමුදුර
පතක් ගෙන
ලියැවුනී මෙලෙසින

ප්‍රේමයක් පිදු දින
නුඹ මගේ දිවියට
පියෙක් ඉපදුනි
මගේ හදවතේ

සත්තකින් මා
පින් කෙරූ තරමම
නොදනිමි මම
පෙර භවයක

ප්‍රේමය

ප්‍රේමය මලක් වී පිපෙයි.
සුවඳ විහිදුවාලා මිලිනව යයි.
විසල් වෘක්ෂ අතර නොව,
පොලවේ, තෘණ භූමියක හෝ වැඩේ..

පිලිස්සුණු ප්‍රේමය


කෙඩෑරී ගිය දෙරණත කුලුදුලේම වට වස්සානයට ප්‍රේම කරන්නට ආශාවෙන් උන්නු රුක් දෙවඟන නයිට්‍රික් ඇසිඩ් වලින් නැහැවා පිලිස්සු ප්‍රේමය ගැන ලියන්නට සිත සසුන් කරවා ගැනීමට නොගත් උත්සහයක් නැත. කටොර කාශ්ටක වු හැඟීම් උත්සර්ජනය තෙරපා පොඩිකරලා, මෙලෙස ලියන්නෙමි.එහි සැබෑ සත්‍යතාව නොවලහා ලියන්නට පොරොන්දු වෙමි.
ඔබ මහා ග්‍රීෂ්ම ඍතුවේ වස්සානයක් ලෙස ආවඩා ග්‍රීෂ්මයට වඩා උත්කෘෂ්ට වේදනාවෙන් මා ඔත්පල කල අශිෂ්ට ප්‍රේමවන්තයා යැයි මම මෙලෙස හංවඩු ගසන්නේ කැමැත්තෙන් නොවෙමි. නමුදු සත්‍යය පවසන්නට මගේ පොරොන්දුව නිසා එලෙස හෝ ඔබව හඳුන්වා දෙමි. මතක ගඟුල සිසාරා ආවඩන වස්සන ප්‍රේමවන්තයානෙනි, ඔබේ හා මාගේ ප්‍රේමය බලහත්කාරයෙන් අමතක කරලන්නෙමි. නමුදු එය දැරීමට අපහසුම  ලය දෙදරවා රිදුම් දෙන ශුංගාරයත් පලවා හැරු විසල් වේදනාව වේ..
රුක් දෙවඟන වු මම, මා තුල අරක් ගත් දිව්‍ය රාජයා පලවා හැරු හිතුවක්කාරකමට හා අකාලික වස්සනායකට සිත උමතුව ප්‍රේම යාතිකා ගැයු අඥානකමට විඳවන්නෙමි.
කේසර සිංහයකු සේ මහා තේජසින්ද, පිල් විදාලු මොනරියක සේ අලංකෘතවද පීදී අතු පතර විහිදී මේඝනදී තරණය කල මහා වෘක්ෂයෝ දැන් කෙඩැරීව මහා අපුලක් දැනෙන තරමට අවලස්සන වූයෙන්, ලඟ ලඟම වස්සනයකට අතවත් වන්න හිමිකමක් නැත්තේය.. ආයෙත් නොඑන වස්සානයක සිහිනයක්වත් නොපෙනෙන තරමට දේදුන්නක සේයාවක් නැත්තේය.අතු අතර පිපුනු ආදර පල දරන්නත් කලියෙන් ළපටි මල් කැකුලුවන් ප්‍රේම ධාරවෝ නයිට්‍රික් පහසින් පොර බදා අවසන් හුස්ම වීරියෙන් යුතුව ඉව කරති.
යලි නේන වසන්තය පිලිබඳ සිත් තැවුලින් ගෙවෙන අවසන් හෝරා නිමේෂයෙහි මට කිසිඳු අවසන් ඉල්ලීමක් නොමැත.. ඔබ මෙය නොකියවන වග දනිමි.. හුදී පාඨකයාගේ සිත් සතොස් කරලීමට නොව, මසිත තැවුල් සමනයට පමණක් මෙය මෙසේ ලියන්නෙමි...
කෙමෙන් කෙමෙන් වියැකී යන ප්‍රාණය නිරුද්ධ වු වහාම නැවත නයිට්‍රික් ඇසිඩ් වත් කොට පුලුස්සා නොදමන්න යැයි මම තරයේ නොඉල්ලමි. නමුදු, ඔබට කැමති තීරණයක් ගැනීමට අවසර දෙමි. ඔබ අවසරයක් අනවැසි බව පවසමින් ප්‍රතිපිලිතුරු දෙන්න බව දන්නා මුදු, මගේ මිය යන හදවත යලිත් වරක් ඔබ ගැන සැලකිලිමත් වන බව හෝ දැනෙන්න එලෙස ලියා තබමි..
වා ධාරව මත රැඳි නයිට්‍රජන් ඔක්සයිඩ්, ඔබ විසින් උකහාගෙන මා මත හෙලු බව මම කෙලෙස විශ්වාස කරම්දැයිද මම නොදනිමි.
පොසිල ඉන්ධනයක් ලෙස ඉපදීමට ඊළඟ උත්පත්තිය ප්‍රාර්ථනා කරන්නට සිත ඉල්ලා සිටියද, හදවත තවම ඉව කරන්නේ ඔබේ ප්‍රේමය පමණි යැයි, නිර්ලජ්ජිතව පවසමි.
යලි සසරගත බැඳීමක් ඉතිරිව නියත විවරණ ලබන්නේ නම් ඔබේ ප්‍රේමය විස නොවන විවරණයක් පතමි.




අහස හඬන කල,
පොලව....
ස්නානය කරන ආශ්චර්යය



"පව්..! ඒ කෙල්ල බලන්න කවුරුත් එන්නෑනෙ දැන්"
මාව පෙන්නලා මෙහේ ඉන්න නෝනලා කිව්වට, මාව බලන්න හැමදාම සුමල් ආවා.
එයා අඩි හයයි අඟල් එකක් උසයි. කඩවසම් නළුවෙක් වගේ. මං කතා කරන්නෙ බෙල්ල උස්සලා.
මා එක්ක කතා කර කර ඉඳලා එයා යනවා.
මට එයාව ඕන උනාම "සකුම"ට කියන්න විතරයි තියෙන්නෙ.. ඉතින් සුමල් දැන ගන්නවා.
(සකුම කියන්නේ ප්‍රවාහයක්.ඒකෙන් ගෙනියන්නෙ මගේ සිතුවිලි විතරයි. ඒක මෙහෙයවන්නේ සුමල්)

අපිව මහන්න එක්ක ගියාම මං මහන්සි වෙලා මහන්න ඉගෙනගත්තා. සුමල්ට කමිසයක් මහලා දෙන්න.
මං හොඳට මහනවා කියලා එහෙ ටීච මට කියලා පාපිසි මහ ගත්තා. මං ටීචට කිව්වා මට සුමල්ට කමිසයක් මහන්න ඕනා කියලා. ඒත් ටීච කවදාවත් මට ඒකට ඉඩ දුන්නේ නැහැ. ටීච හරිම නරකයි. මගේ ආදරයට කවදාවත් උදව් කලේ නැහැ. එයාගේ පාපිසි මහ ගත්තා විතරයි.
ඒ නිසා දැන් මම එහෙට යන් නෑ.

ගොඩක් ඉස්සර මං ගෙදර ඉන්න කාලේ මට බලයක් තිබුනා. එකෙන් මං මේ ලෝකේ ඉන්න සහසක් දෙවිවරු එක්ක කතා කලා. 
මං මගේ පාසල් යාලුවන්ට කිව්වා ඕන දෙයක් තියේ නම් කියන්න, දෙවිවරු මා එක්ක යාලුයි. මං කියන ඕන දෙයක් කරලා දෙනවා කියලා.
යාලුවෝ ටීචට කිව්වා මට පිස්සු කියලා.ඉන් පස්සේ ඊළඟ දවසේ අපේ අම්මව එක්ක එන්න කියලා ඉස්කෝලේ ටීච  කිව්වා.
ඉන් පස්සෙයි මාව බලෙන් රෝහල් එක්ක එන්න ගත්තේ. මට ලෙඩක් නෑ. මගේ වටේ ඉන්න අය මාත් එක්ක තරහ නිසා මට බොරුවට ලෙඩක් තියනවා කියලා පිස්සන් කොටුවට ගෙනත් දැම්මා. මෙහෙ ඉන්න පිස්සො එක්ක ඉඳලා මට පිස්සු හැදේවි කියලා බයයි.

දෙවියෝ එක්ක කතා කරන්න පුලුවන් නිසා ඒ කාලේ අම්මත් මගේ බත් එකට වස දාලා දෙන්න හැදුවා. මං ඒක දැන ගත්ත නිසා මං බේරුනා..
දැන් මට දෙවියොන්ගේ බලය නෑ.
ඒක මෙහෙ දොස්තර නැතිකලා මට කරන්ට් අල්ලලා.

ඒත් කමක් නෑ. මට සුමල් ඉන්නවනේ. එයා කියනවා මාව බඳින්න ඕනා කියලා.
ඒත් මෙහෙ කට්ටිය මට යන්න දෙන් නෑ. දවසක් මං පැනලා යන්න හදද්දි මාව අල්ලා කූඩුවට දැම්මා. දවස් ගානකට පස්සෙයි මාව එලියට දැම්මේ.
ආයේ පැනලා යන්න ගිහින් අහු උනොත් මාව කූඩුවට දාන නිසා මං පැනලා යන්න බයයි.

"කිසා ...!" 
මගේ නම කිව්වා. 
"මේ බෙහෙත් ටික මෙතන ඉඳන් බොන්න"නෝනා කිව්වා. 
දැන් බෙහෙත් වෙලාව. මං ආස නෑ බෙහෙත් බොන්න. ඒත් බොන්න වෙනවානේ.
මං වතුරත් අරන් ජෝගුවෙන් බෙහෙත් ටික බීලා දැම්මා.
ඒත් මුල් කාලේ මං වැසිකිලියට ගිහින්, උගුරට ඇගිල්ල දාලා ඒවා  වමනේ කලා.ඒක දැන ගත්ත නෝනා කෙනෙක්.ඉන් පස්සේ ආයේ මට කරන්ට් ඇල්ලුවා.

ඉස්සර මට අලි කෑ ගහනවා. යක්කු කෑ ගහනවා ඇහුනා. එතකොට මං කනේ ඇඟිලි ගහ ගන්නවා. හරිම අමාරුයි ඒ සද්ද ඇහෙද්දී.. 
දැන් නම් ඒ සද්ද ඇහෙන් නෑ මගේ වාසනාවට.

මාව ගෙදර යවන්න කිව්වට කවුරුත් ගෙදර යවන් නෑ. ගෙදර යැව්වොත් මං යන්නෙ සුමල් එක්ක. එයා එක්ක මට ඉන්න පුලුවන්. එයාගේ ආදරයෙන් මට සැනසිලා ඉන්න පුලුවන් මැරෙනකම්.
මං හුඟක් කල් මෙහෙ හිටියා. මෙහේ ඉන්න මට ඕන නෑ මට ඕනා සුමල් එක්ක සතුටින් ඉන්න. සුමල් ළඟට මට යන්න දෙන්න... එච්චරයි මං ඉල්ලන්නේ..
(ප.ලි.:- මානසික රෝගීන් යනු මනස් රෝගී වු අයයි. ඔබ ඔවුන්ව හඳුනා ගැනීම රෝගයන් පිලිබඳ දැන ගැනීමට පහසි වේ.ලංකික සමාජයේ එය පිලිකුලෙන් හෙලා දකින රෝග තත්වයක් වුවත් මානසික රෝග පිලිබද දැනුවත් කම අඩුය. එම සාක්ෂරතාව වැඩි දියුණු කිරීම කාලීන අවශ්‍යතාවකි.)

ඉහින්න සඳ අම්මගේ වතට...

රෑ ගගන අමාවක හුඟක් දවසට වුව
අම්මගේ වතේ මෝදු වෙලා තිවුනේ සඳ
පෝදාවල් පමා උනත් හරිහරියට
අපේ පැල්පතේ හැමදාම පාලොස්වක

දවසක් තාත්තා බීගෙන ඇවිත්
ගිලිහුන අන් ළඳකගේ නම
වැඩි කලේ අම්මගේ හදවතේ ගමන
අන්තිමට වුනේ නවත්තපු එක අම්මා රෝහල් සයනයක.

ඉහින්න සඳ අම්මගේ වතට
ඔය ඔහේ ඉහිරෙන වතුර
ගෙනෙන්න ඉක්මනින් අටකවත්
අමාවක වැඩි නොවැ මේ තරමට

දුටුව හීන මල්ලේ තිබුනේ දරුවන්ගේ හිනා මල් කළඹ
අම්මගේ කඳුලු මල් දසදහස් ගණන් මැදින්
පියා අතැ'රුන දරු දෙදෙනා එක්ක
අම්මා ආව දුෂ්කර ගමන අවසාන වුනේ ඉඩෝරෙක

ලොකු පුතාගේ ලේ පුදුකුඩිරිප්පු වෙලක.
පොඩි දුව කුස යහන දුන්නේ තිරසනකුගේ පුතෙකුට.
මේ ගෙවන මැදිවියේ ලොකු කෙල්ල ළඟදි දවසක
අම්මා නැති අවජාතක පුතෙකු එක්ක තට්ට තනියම.

ඉහින්න සඳ අම්මගේ වතට
ඔය ඔහේ ඉහිරෙන වතුර
ගෙනෙන්න ඉක්මනින් අටකවත්
අමාවක වැඩි නොවැ මේ තරමට

හද අඹරෙහි දැල්ව කුස යහනෙහි වැඩ හිඳිය..
වසර සතක් මහන්සියෙන් දලුලාපු හීනය.
මාස සතකින් වැගිර ප්‍රාණය නිරුද්ධ වුන...
හීන හීනවන තාක් සුන්දරලු..

කවදාවත් හීන ආයේ නොදකිමි.
ලැබෙන දේ පමණක් පිලිගනිමි.

සිනහවට වරම් නැති බව දැන හුන්නද..
කවිවල වැගිරීම් කලේ සිනහව විතරමයි.
සමහරක් කියවා හැඬුවත්, 
හීන සතුටක් පමනමයි දුන්නෙ.

සිරිපාදේ වන්දවන්න පැතුව පුතු
දොස්තර පැවසීය එලෙසම කුස ගැබේ
පුතු නැමති ජීවියා ආරක්ෂිතව හිඳින බැව්.
නමුදු හීනය කුණාටුවට ගසාන ගිය අරුමය...

පාලනය කර ගත නොහැකි වූ
අධි රුධිර පීඩනය මා පුතු 
රුධිරය නැහැව මා අසිහියෙන් පෙලුව
මගෙන් වෙකල මොහොත

හීන හීන වනතාක් සුන්දරලු.
හීනය රෑ දුටු නම් අගේලු.
හිරු මැද නොදුටු නම්
මා දැනුදු සොම්නසින්.

සත්මසක් වාර්තා ලැමිනේට් කර අලවමි.
වඳ බවේ සැහැසිකම් පිලිස්සුව පුතුගේ
ස්කෑන් වාර්තා රාමු කර එල්ලමි.
වඳ නමින් ගරහද්දී පෙන්නන්න සුරැකිව තබා ගමි.

කවදාවත් හීන ආයේ නොදකිමි.
ලැබෙන දේ පමණක් පිලිගනිමි.

ඔබේ ප්‍රේමයේ වස් දොස

බෝසත් හදවතක් වුව..
වස්දොසක් වැදුනු කල,
මනස් සලෙලුන් නැගී
බඹසර බිඳෙනු ඇත.

පලුද්දක් යැයි නොසිතන්න..
ඔබ පිරු පතිදම් වලටත් අධිකව,
නැඟි හුන් මගේ බෝසත් ගති,
එකිනෙහිම ගිලිහුන වරදට.

අදිසි ලියමන.


මේක දෛවයේ ලියැවුනු දෙයක්, අඬන්නම මං බලා උන්නා වගේ. හොඳක් කරන්න ගිහින් කරුමයක් කර ගහන්න වෙනවා කියන්නෙත් මේ වගේ සිදුවීමකට වෙන්න ඇති. වඳින්න ගිය දේවාලේ ඉසේ කඩා වැටීම..
මං පසුතැවිලි වෙන්න කැමති නොවේ.. පසුතැවිල්ල ගොනා පසුපස බැඳි කරත්තේ වගේ මගේ පිටුපසින් පන්නනවා කියලා මගේ හිත දැන උන්නා.. ඉතින් දොම්නසක් දැනෙන සිදුවීමක් වුනොත් මං කරන්නේ, ඒක අමතක කරන එක.. මගේ ජීවිතය වෙනස් කල, ඒක පහසු නොවනු අවස්ථාවක්.
මේ ලියන සටහන ඔබ වෙනුවෙන් බව පවසමි.නමුදු ඔබ මෙය නොදකින බව දැන දැනත් ලියන්නට ගත් ව්‍යායාමය ප්‍රේමය නිසාම බව ප්‍රත්‍යක්ෂ කරමි. මේ අවසාන හුස්ම කිහිපය ගන්නට වා තලයේන් එක මිටින් වාතය දෝතක් ගෙන පෙනහලු වලට පුරවාගන්නේ කිසිවක් නිසා නොව අවසන් වතාවට ප්‍රථම ඔබගේ මදහස පිරි වත කමල දකින රිසියෙන් බව කියමි. ඔබ මෙය නොකීවත්, ප්‍රේමය පිපාසිතව හිඳින පෙම්වතුන්ට හෝ ප්‍රේමයෙන් කඳුලු හෙලන පෙම්වතුන්ට කියවන්නට මෙසේ ලියා තබමි. හැකිනම් ඔබද කියවනු මැනවි.
මිය ගියද මිය නොයන අපේ ප්‍රේමය නාමයෙන් මා මෙසේ පතරංගයක් හෝ ලියා මගේ මරනය සන්තුෂ්ටියෙන් බාර ගනිමි. ඔබ හයිකුවකට කැමති වුවද මට හයිකුවක් ලියන්නට නොහැකිය. මන්ද මේ හදවතින් කැකැරෙන කඳුලු හයිකුවක සිර කරලීමට මට හැකියාවක් නොමැති බැවිනි.ඔබ සිතුවම් වලට ආශා වුවද මට සිතුවම් කරලීමට හැකියාවක් නොමැති බව ඔබ දන්නෙහිය..
ඉදින් ඔබට පවසමි.. මං ප්‍රථමයෙන් ඔහුට ආදරේ කලා කියලා පැවසුවොත් මා නිවැරදි නොවේ.. ඒ වු කලී මහද ගැඹුරේ පිලිසිඳ ගත් සානුකම්පිත හැඟීමකි.. ඔහු, එනම් ඒ සිත්තරා කෙරෙහි උපන් ප්‍රේමයක් නොවුනු දයාර්දිත වු සානුකම්පිත හැඟුම් ජාලයකි.. හිත සසුන් ගත කරවා තුබුනු මොහොතක ඔහු පැමිණියේ සරදමක් ලෙසටය. ඉදින් මා ගොදුරක් විනි.. ගොදුර ඩැහැ ගත් විලෝපිකයා ඔහුද, එසේ නැතහොත් මගේ දෛවයද යැයි මට නිසැකවම කිව නොහැක.
හුදෙක් ඔහුගේ සියලුම සිතුවම් වල මා දුටුවේ දොම්නසක් පමණි. එහි ආරම්භක අවස්ථාව නිශ්චිතවම නිර්ණය කළ නොහැකි වුවත්, ප්‍රේමය ඒ සිතුවම් වල, සහේතුකව රඟනයේ යෙදි සිටිනු දුටිමි. මා ඒ නිශ්චල දොම්නස, චංචල කොට, හදවතින් උදුරා දැමීමට උපකාර කරන්නට ඉදිරිපත් වුනේ, කැමැත්තෙන්මි.
ඔහු මගේ අබියසට විත් ඇයදුවේ කිමැක්දැයි තවම මට අබිරහසක්ව ඉතිහාසයේ සැඟවී පවති. මා ඔහුගේ වත මගේ ළය මඬලට සිරකොට ගත්තේ දුබල එකෙකු සේද, නැතහොත් ශක්තිමත් එකෙකු සේ දැයි අවිශ්වාසය. නමුදු ඔහු හුදෙක් මා මත ජිවිකාව ගෙන ගිය විලෝපිකයෙක් බඳු වූයේ ප්‍රේමයේ නාමයෙන්ය.. අකාලික වසන්තයක මල් පිපුණි. ඔහු මට ප්‍රේම කරන වග සක්සුදක් සේ ප්‍රත්‍යක්ෂ විණි.
මහ පාන්දර හිමිදිරියටත් කලින් කුඩා පොහොට්ටු ලෙස පැවති පුෂ්පලතාවෝ පිබිදුණහ. අතීතයට සැඟව ගොස් පවතින සීපද මෙන් මුනුමුනුවකින් දිනය ඇරඹිනි. ශ්‍රීපාද කාලය මෙන් සමනලුන් පොකුරු පිටින් පියැඹිනි. ඉදින් වසත් කල ඇරඹිනි..
මහදටත් හොරෙන් ඇරඹිනි.

ප්‍රේමය නම් රාගයෙන් තො‍ර සඳ එලිය සේ අචින්ත්‍යදැයි මම නොදනිමි. ෆ්‍රොයිඩ් ගේ දර්ශනයට අනුව මුලික ප්‍රේපකයට අදාලව ප්‍රේමය පිපාසයකි. මා පිපාසිතව හුන් එකියක් යැයි දැන ගත්තේ, හුඟ කලකට පසුවය. ඔහු ප්‍රේමයේ මුලකුරු ඉගැන්නුවේ මහත් සෙනෙහසිනි. ලද බොළඳ එකියක් යැයි ඔහු කිසි ලෙසක ප්‍රතිරාව නොකළේය. උපකාරයක් කිරීම පසෙකලා මම වික්ෂිප්තව ප්‍රේමයේ කුණාටුවට හසු විමි.
ඔහු මගේ රුව සිත්තම් කලේ තෙල් සායම් වලින් නොවේ. දිය සායම් වලිනි. සාරගී නෙත් වලින් මා ඔහු දෙස බලන කල, ඔහු මා සිතුවම් කලේය. 
"නෙත්"  ලෙස හුදෙක් මගේ රුව ඇඳි සිතුවම් වලට නම් තැබිනි.
නමුත් කුණාටුව අවසානයේ වැස්සක් පැමිණ ඒ සිතුවම් දිය කර් හැරියේ කිසිඳු දයාර්දිත හැඟීම් දැනීම් රහිතවය.

කුණාටුවක් වු ප්‍රේමය,මා එයට තුබු නම වු වස්සානයට වඩා කුරිරුව නැඟි සිටියේ මහත් වූ අශ්ට ලෙසටය. වස්සානය සුන්නද්ධූලි කර කුණාටුව ඇරඹිනි.
මා කුණාටුවට හසු වූ කලාමැදිරියෙක් වුනා. දීප්තිය සෙමින් සෙමින් අඩු වුනා. අන්තිමට එලිය තිතක්ව නොපෙනී යන තෙක් මා දැන හුන්නේ නැත. සිනහව වියැකි, කඳුලු ආරෝහ විණි.
පුපුරු ගහන යටිපතුල්, එකුත් දහසකුත් අඩි ගෙවා ආ දුර නොසඟවා පැවසුවත්, මියගිය නුඹේ ස්නේහය ගැන පවසන්න මියයමින් පවතින මගේ හදවතවත් දිරි නොගනින බව මම සක්සුදක් සේ දනිමි.
රාත්‍රි විදුලි බුබුලු නෙක වර්ණයෙන් දැල්වුවත්, කිසිඳු වර්ණයක් නැති මගේ හදවත නොපැකිලව අඳුරම සොයයි.
ඔබ මේ දෙරණත ඒකාලෝක කල,  එකෙනෙහිම රහසින් බැස ගිය චන්ද්‍රයා විය. දැන් අමාවක වුව, යලිත් පාලොස්වක එන්නට පෙර මගේ අවසාන හුස්ම මේ වා තලයට මුසු කරමි.

නොනැවතී හදවතින් ගලා යන රුහිරය පිලිබඳ මා ගතු නොකීවද, ඔබ ඒ රුධිරය වැස්සෙන කුඩා සිදුරේ නිර්මාපකයා බව නොදැන සිටියා නොවන වග මම නොකියමි. නමුදු, ප්‍රේමයට ගල් ගසා විනාශ මුඛයට ඇද දැමු, ඔබේ අදිසි වෙනස් වීම පිලිබඳව මම අතිශයින් පුදුම වෙමි. නුමුත් විස්සෝප නොවෙමි. කාලය ඇවෑමෙන් මා මියැදෙන වග දැන ඒ කාලය ගණනයේ යෙදෙමි. මම කිසිවිටෙකත් කාල තරණය නොකරමි.
ප්‍රේමයේ නටඹුන් පිරිස්සන්නවත්, ප්‍රේමයේ ගල්කුළු වල සවිය සොයන්නටත් වෙහෙස නොවෙමි.
සහතිකවම මම මියෙමි.. නොබෝදා එය සිදුවන වග දනිමි.

(ප.ලි.:- මගේ නිරුද්ධ ප්‍රාණය දැකීම දොම්නසක් නම් නොපැමිණියත් කම් නැත.)


ඔබේ ප්‍රේමය ගැන භාෂාව සොය සොයා
ලීවෙමි,
ඔබ විසින් නිරුද්ධ කල ප්‍රාණයට පණ නල දුනිමි.
ප්‍රේමය මතින්...
ඒ මහා ප්‍රේමයේ තතු...
ලියු අකුරු මත හිඳුවා,
සෙනෙහසේ අලංකාර යෙදුවෙමි..
මත් වුනෙමි. ඔබටත් ප්‍රේමයටත්....

මල් පොහොට්ටු තුල සඟවා,
තරු කැට අතර දිදුලවුයෙමි.
අහස් ගඟ කලඹා,
දේදුන්නක පෑයුව.
දියවර මැද ගලාන,
සයුරුතෙරේ සැඟවුන...

ඒ අසිරිමත් ප්‍රේමය ගැන ලියන්නෙමි..
අදත්, හෙටත්..
මියැදෙන්න පෙර, ප්‍රේමය අමරණීය කරමි.
කවියෙකුට පෙම් කල නුඹේ ප්‍රේමයට අවැසි බුහුමන ලබාදෙමි.


අමාවක අහස් දෙවිඳුනි.
ගෙනාවත් අමාවක මගේ දිවියට
හුරුයි මට අන්ධකාරය
මගේ මිතුරියක් විලසට.

ආයේමත් බලා ගන්නට
සඳවත වු ඇගේ වත කමල
ඉසිනු මැන සඳ වතුර
ඇගේ පොඩි පැල්පතට
මියැදෙන්න පෙර මෙමට
සැනහෙන්න ඉඩ දෙන්න.

සඳ නොපැයුව
අඳුර රජ කරන මොහොතක
මගේ නිරුද්ධ ප්‍රාණය ඇගෙන් සඟවා
අවසන් කටයුතු කරන්න.
පාළු සුසානයක.

පරතරය

ඔබ හා මා අතරැති දුර
තිතකට සමානයි.
එය තිතක්ව නොපෙනුනද,
තිතක් බව දනිමි.
කොමාවක් නොව.

මසිතේ ලතෙත් බව මුමුනමින්
සෙනෙහසින් බිඳුවකුදු නොතබමින්
ඈ යන්න ගියා නොඑන්නම,
ප්‍රේම කාව්‍යට තිතක් තබමින්.

හරි හුඟක් ප්‍රශ්නාර්ථ තිබුනත්
නිවැරදිව පිළිතුරු නොලියන්න,
ඈ වග බලාගත්තා සියුම්ව,
මටත් නොදැන්නෙන්න.

මම තවත් වෙහෙස නොවෙමි
පිලිතුරු නැතත්, මා ප්‍රේමය විසි කර
ඇවිද යමි වෙනත් මගකට
ඈ ගැන නොසිතමින්, නොතැවෙමින්.

කුරුලු දඩයම 02

  කුරුලු දඩයම 01 දවසක් උදෑසනක දුර්ශාන් සොයා ආවේ දුර්ශාන්ගේ හොඳම මිතුරෙක් වන සංධීර්. ඔහුට පුදුමයි මේ දුර්ශාන්ගේ වෙනස.  "ක්‍රිශෝලියි ඒකිග...