"පව්..! ඒ කෙල්ල බලන්න කවුරුත් එන්නෑනෙ දැන්"
මාව පෙන්නලා මෙහේ ඉන්න නෝනලා කිව්වට, මාව බලන්න හැමදාම සුමල් ආවා.
එයා අඩි හයයි අඟල් එකක් උසයි. කඩවසම් නළුවෙක් වගේ. මං කතා කරන්නෙ බෙල්ල උස්සලා.
මා එක්ක කතා කර කර ඉඳලා එයා යනවා.
මට එයාව ඕන උනාම "සකුම"ට කියන්න විතරයි තියෙන්නෙ.. ඉතින් සුමල් දැන ගන්නවා.
(සකුම කියන්නේ ප්‍රවාහයක්.ඒකෙන් ගෙනියන්නෙ මගේ සිතුවිලි විතරයි. ඒක මෙහෙයවන්නේ සුමල්)

අපිව මහන්න එක්ක ගියාම මං මහන්සි වෙලා මහන්න ඉගෙනගත්තා. සුමල්ට කමිසයක් මහලා දෙන්න.
මං හොඳට මහනවා කියලා එහෙ ටීච මට කියලා පාපිසි මහ ගත්තා. මං ටීචට කිව්වා මට සුමල්ට කමිසයක් මහන්න ඕනා කියලා. ඒත් ටීච කවදාවත් මට ඒකට ඉඩ දුන්නේ නැහැ. ටීච හරිම නරකයි. මගේ ආදරයට කවදාවත් උදව් කලේ නැහැ. එයාගේ පාපිසි මහ ගත්තා විතරයි.
ඒ නිසා දැන් මම එහෙට යන් නෑ.

ගොඩක් ඉස්සර මං ගෙදර ඉන්න කාලේ මට බලයක් තිබුනා. එකෙන් මං මේ ලෝකේ ඉන්න සහසක් දෙවිවරු එක්ක කතා කලා. 
මං මගේ පාසල් යාලුවන්ට කිව්වා ඕන දෙයක් තියේ නම් කියන්න, දෙවිවරු මා එක්ක යාලුයි. මං කියන ඕන දෙයක් කරලා දෙනවා කියලා.
යාලුවෝ ටීචට කිව්වා මට පිස්සු කියලා.ඉන් පස්සේ ඊළඟ දවසේ අපේ අම්මව එක්ක එන්න කියලා ඉස්කෝලේ ටීච  කිව්වා.
ඉන් පස්සෙයි මාව බලෙන් රෝහල් එක්ක එන්න ගත්තේ. මට ලෙඩක් නෑ. මගේ වටේ ඉන්න අය මාත් එක්ක තරහ නිසා මට බොරුවට ලෙඩක් තියනවා කියලා පිස්සන් කොටුවට ගෙනත් දැම්මා. මෙහෙ ඉන්න පිස්සො එක්ක ඉඳලා මට පිස්සු හැදේවි කියලා බයයි.

දෙවියෝ එක්ක කතා කරන්න පුලුවන් නිසා ඒ කාලේ අම්මත් මගේ බත් එකට වස දාලා දෙන්න හැදුවා. මං ඒක දැන ගත්ත නිසා මං බේරුනා..
දැන් මට දෙවියොන්ගේ බලය නෑ.
ඒක මෙහෙ දොස්තර නැතිකලා මට කරන්ට් අල්ලලා.

ඒත් කමක් නෑ. මට සුමල් ඉන්නවනේ. එයා කියනවා මාව බඳින්න ඕනා කියලා.
ඒත් මෙහෙ කට්ටිය මට යන්න දෙන් නෑ. දවසක් මං පැනලා යන්න හදද්දි මාව අල්ලා කූඩුවට දැම්මා. දවස් ගානකට පස්සෙයි මාව එලියට දැම්මේ.
ආයේ පැනලා යන්න ගිහින් අහු උනොත් මාව කූඩුවට දාන නිසා මං පැනලා යන්න බයයි.

"කිසා ...!" 
මගේ නම කිව්වා. 
"මේ බෙහෙත් ටික මෙතන ඉඳන් බොන්න"නෝනා කිව්වා. 
දැන් බෙහෙත් වෙලාව. මං ආස නෑ බෙහෙත් බොන්න. ඒත් බොන්න වෙනවානේ.
මං වතුරත් අරන් ජෝගුවෙන් බෙහෙත් ටික බීලා දැම්මා.
ඒත් මුල් කාලේ මං වැසිකිලියට ගිහින්, උගුරට ඇගිල්ල දාලා ඒවා  වමනේ කලා.ඒක දැන ගත්ත නෝනා කෙනෙක්.ඉන් පස්සේ ආයේ මට කරන්ට් ඇල්ලුවා.

ඉස්සර මට අලි කෑ ගහනවා. යක්කු කෑ ගහනවා ඇහුනා. එතකොට මං කනේ ඇඟිලි ගහ ගන්නවා. හරිම අමාරුයි ඒ සද්ද ඇහෙද්දී.. 
දැන් නම් ඒ සද්ද ඇහෙන් නෑ මගේ වාසනාවට.

මාව ගෙදර යවන්න කිව්වට කවුරුත් ගෙදර යවන් නෑ. ගෙදර යැව්වොත් මං යන්නෙ සුමල් එක්ක. එයා එක්ක මට ඉන්න පුලුවන්. එයාගේ ආදරයෙන් මට සැනසිලා ඉන්න පුලුවන් මැරෙනකම්.
මං හුඟක් කල් මෙහෙ හිටියා. මෙහේ ඉන්න මට ඕන නෑ මට ඕනා සුමල් එක්ක සතුටින් ඉන්න. සුමල් ළඟට මට යන්න දෙන්න... එච්චරයි මං ඉල්ලන්නේ..
(ප.ලි.:- මානසික රෝගීන් යනු මනස් රෝගී වු අයයි. ඔබ ඔවුන්ව හඳුනා ගැනීම රෝගයන් පිලිබඳ දැන ගැනීමට පහසි වේ.ලංකික සමාජයේ එය පිලිකුලෙන් හෙලා දකින රෝග තත්වයක් වුවත් මානසික රෝග පිලිබද දැනුවත් කම අඩුය. එම සාක්ෂරතාව වැඩි දියුණු කිරීම කාලීන අවශ්‍යතාවකි.)

Comments

Popular Posts