අදිසි ලියමන.


මේක දෛවයේ ලියැවුනු දෙයක්, අඬන්නම මං බලා උන්නා වගේ. හොඳක් කරන්න ගිහින් කරුමයක් කර ගහන්න වෙනවා කියන්නෙත් මේ වගේ සිදුවීමකට වෙන්න ඇති. වඳින්න ගිය දේවාලේ ඉසේ කඩා වැටීම..
මං පසුතැවිලි වෙන්න කැමති නොවේ.. පසුතැවිල්ල ගොනා පසුපස බැඳි කරත්තේ වගේ මගේ පිටුපසින් පන්නනවා කියලා මගේ හිත දැන උන්නා.. ඉතින් දොම්නසක් දැනෙන සිදුවීමක් වුනොත් මං කරන්නේ, ඒක අමතක කරන එක.. මගේ ජීවිතය වෙනස් කල, ඒක පහසු නොවනු අවස්ථාවක්.
මේ ලියන සටහන ඔබ වෙනුවෙන් බව පවසමි.නමුදු ඔබ මෙය නොදකින බව දැන දැනත් ලියන්නට ගත් ව්‍යායාමය ප්‍රේමය නිසාම බව ප්‍රත්‍යක්ෂ කරමි. මේ අවසාන හුස්ම කිහිපය ගන්නට වා තලයේන් එක මිටින් වාතය දෝතක් ගෙන පෙනහලු වලට පුරවාගන්නේ කිසිවක් නිසා නොව අවසන් වතාවට ප්‍රථම ඔබගේ මදහස පිරි වත කමල දකින රිසියෙන් බව කියමි. ඔබ මෙය නොකීවත්, ප්‍රේමය පිපාසිතව හිඳින පෙම්වතුන්ට හෝ ප්‍රේමයෙන් කඳුලු හෙලන පෙම්වතුන්ට කියවන්නට මෙසේ ලියා තබමි. හැකිනම් ඔබද කියවනු මැනවි.
මිය ගියද මිය නොයන අපේ ප්‍රේමය නාමයෙන් මා මෙසේ පතරංගයක් හෝ ලියා මගේ මරනය සන්තුෂ්ටියෙන් බාර ගනිමි. ඔබ හයිකුවකට කැමති වුවද මට හයිකුවක් ලියන්නට නොහැකිය. මන්ද මේ හදවතින් කැකැරෙන කඳුලු හයිකුවක සිර කරලීමට මට හැකියාවක් නොමැති බැවිනි.ඔබ සිතුවම් වලට ආශා වුවද මට සිතුවම් කරලීමට හැකියාවක් නොමැති බව ඔබ දන්නෙහිය..
ඉදින් ඔබට පවසමි.. මං ප්‍රථමයෙන් ඔහුට ආදරේ කලා කියලා පැවසුවොත් මා නිවැරදි නොවේ.. ඒ වු කලී මහද ගැඹුරේ පිලිසිඳ ගත් සානුකම්පිත හැඟීමකි.. ඔහු, එනම් ඒ සිත්තරා කෙරෙහි උපන් ප්‍රේමයක් නොවුනු දයාර්දිත වු සානුකම්පිත හැඟුම් ජාලයකි.. හිත සසුන් ගත කරවා තුබුනු මොහොතක ඔහු පැමිණියේ සරදමක් ලෙසටය. ඉදින් මා ගොදුරක් විනි.. ගොදුර ඩැහැ ගත් විලෝපිකයා ඔහුද, එසේ නැතහොත් මගේ දෛවයද යැයි මට නිසැකවම කිව නොහැක.
හුදෙක් ඔහුගේ සියලුම සිතුවම් වල මා දුටුවේ දොම්නසක් පමණි. එහි ආරම්භක අවස්ථාව නිශ්චිතවම නිර්ණය කළ නොහැකි වුවත්, ප්‍රේමය ඒ සිතුවම් වල, සහේතුකව රඟනයේ යෙදි සිටිනු දුටිමි. මා ඒ නිශ්චල දොම්නස, චංචල කොට, හදවතින් උදුරා දැමීමට උපකාර කරන්නට ඉදිරිපත් වුනේ, කැමැත්තෙන්මි.
ඔහු මගේ අබියසට විත් ඇයදුවේ කිමැක්දැයි තවම මට අබිරහසක්ව ඉතිහාසයේ සැඟවී පවති. මා ඔහුගේ වත මගේ ළය මඬලට සිරකොට ගත්තේ දුබල එකෙකු සේද, නැතහොත් ශක්තිමත් එකෙකු සේ දැයි අවිශ්වාසය. නමුදු ඔහු හුදෙක් මා මත ජිවිකාව ගෙන ගිය විලෝපිකයෙක් බඳු වූයේ ප්‍රේමයේ නාමයෙන්ය.. අකාලික වසන්තයක මල් පිපුණි. ඔහු මට ප්‍රේම කරන වග සක්සුදක් සේ ප්‍රත්‍යක්ෂ විණි.
මහ පාන්දර හිමිදිරියටත් කලින් කුඩා පොහොට්ටු ලෙස පැවති පුෂ්පලතාවෝ පිබිදුණහ. අතීතයට සැඟව ගොස් පවතින සීපද මෙන් මුනුමුනුවකින් දිනය ඇරඹිනි. ශ්‍රීපාද කාලය මෙන් සමනලුන් පොකුරු පිටින් පියැඹිනි. ඉදින් වසත් කල ඇරඹිනි..
මහදටත් හොරෙන් ඇරඹිනි.

ප්‍රේමය නම් රාගයෙන් තො‍ර සඳ එලිය සේ අචින්ත්‍යදැයි මම නොදනිමි. ෆ්‍රොයිඩ් ගේ දර්ශනයට අනුව මුලික ප්‍රේපකයට අදාලව ප්‍රේමය පිපාසයකි. මා පිපාසිතව හුන් එකියක් යැයි දැන ගත්තේ, හුඟ කලකට පසුවය. ඔහු ප්‍රේමයේ මුලකුරු ඉගැන්නුවේ මහත් සෙනෙහසිනි. ලද බොළඳ එකියක් යැයි ඔහු කිසි ලෙසක ප්‍රතිරාව නොකළේය. උපකාරයක් කිරීම පසෙකලා මම වික්ෂිප්තව ප්‍රේමයේ කුණාටුවට හසු විමි.
ඔහු මගේ රුව සිත්තම් කලේ තෙල් සායම් වලින් නොවේ. දිය සායම් වලිනි. සාරගී නෙත් වලින් මා ඔහු දෙස බලන කල, ඔහු මා සිතුවම් කලේය. 
"නෙත්"  ලෙස හුදෙක් මගේ රුව ඇඳි සිතුවම් වලට නම් තැබිනි.
නමුත් කුණාටුව අවසානයේ වැස්සක් පැමිණ ඒ සිතුවම් දිය කර් හැරියේ කිසිඳු දයාර්දිත හැඟීම් දැනීම් රහිතවය.

කුණාටුවක් වු ප්‍රේමය,මා එයට තුබු නම වු වස්සානයට වඩා කුරිරුව නැඟි සිටියේ මහත් වූ අශ්ට ලෙසටය. වස්සානය සුන්නද්ධූලි කර කුණාටුව ඇරඹිනි.
මා කුණාටුවට හසු වූ කලාමැදිරියෙක් වුනා. දීප්තිය සෙමින් සෙමින් අඩු වුනා. අන්තිමට එලිය තිතක්ව නොපෙනී යන තෙක් මා දැන හුන්නේ නැත. සිනහව වියැකි, කඳුලු ආරෝහ විණි.
පුපුරු ගහන යටිපතුල්, එකුත් දහසකුත් අඩි ගෙවා ආ දුර නොසඟවා පැවසුවත්, මියගිය නුඹේ ස්නේහය ගැන පවසන්න මියයමින් පවතින මගේ හදවතවත් දිරි නොගනින බව මම සක්සුදක් සේ දනිමි.
රාත්‍රි විදුලි බුබුලු නෙක වර්ණයෙන් දැල්වුවත්, කිසිඳු වර්ණයක් නැති මගේ හදවත නොපැකිලව අඳුරම සොයයි.
ඔබ මේ දෙරණත ඒකාලෝක කල,  එකෙනෙහිම රහසින් බැස ගිය චන්ද්‍රයා විය. දැන් අමාවක වුව, යලිත් පාලොස්වක එන්නට පෙර මගේ අවසාන හුස්ම මේ වා තලයට මුසු කරමි.

නොනැවතී හදවතින් ගලා යන රුහිරය පිලිබඳ මා ගතු නොකීවද, ඔබ ඒ රුධිරය වැස්සෙන කුඩා සිදුරේ නිර්මාපකයා බව නොදැන සිටියා නොවන වග මම නොකියමි. නමුදු, ප්‍රේමයට ගල් ගසා විනාශ මුඛයට ඇද දැමු, ඔබේ අදිසි වෙනස් වීම පිලිබඳව මම අතිශයින් පුදුම වෙමි. නුමුත් විස්සෝප නොවෙමි. කාලය ඇවෑමෙන් මා මියැදෙන වග දැන ඒ කාලය ගණනයේ යෙදෙමි. මම කිසිවිටෙකත් කාල තරණය නොකරමි.
ප්‍රේමයේ නටඹුන් පිරිස්සන්නවත්, ප්‍රේමයේ ගල්කුළු වල සවිය සොයන්නටත් වෙහෙස නොවෙමි.
සහතිකවම මම මියෙමි.. නොබෝදා එය සිදුවන වග දනිමි.

(ප.ලි.:- මගේ නිරුද්ධ ප්‍රාණය දැකීම දොම්නසක් නම් නොපැමිණියත් කම් නැත.)

Comments

Popular Posts