කුමරියකගේ වැලපුම

සනහස්    බවෙන්    පිරි   උතුමන්   සේ  පැහැද
අනුහස්    වියෙන්     සිරි   දිවියෙන් පිරි    නිබඳ
තිසුලවි    පිනෙන්    කිරි   සීනය     වේ      ඉපිද
පින්දම්     වඩන්       පිරි    යන්නට  සිරි     නිරිද


කුලුණු     ගුණෙන්  පිරි හද දෙවොලක   වැඳුම
සැලුණු     හදින්      කඳුලැල්  දිය            දහරාව
දිලුණු       පෙමින්   කුමරියකගේ දුක්     වැනුම
සිඳුණු       තරම්        වේ පාපී සිත්          හැඟුම


සඳ    සිසි උවන් පිරි පසලොස් වක          පෝදා
තරු  දිලිහෙන්නෙ අහසම ගැබ්බර       නැතිදා
කවි  කියවෙන්නේ හද පුදසුන පුද            දුන්දා
ඈ    හිනහෙන්නේ නිරිඳන් සුවයක්           පිදුදා


පුන්     සඳ   කිරණ   ගලනා රත     වත    කමල
නෙත් රස   අඳුන     සේමා තරු       නෙත් නයන
නන්   රත   නෙලුඹු  පෙති සේමය  තොල් සඟල
රන්    රස   ගුලක     ගිලෙනා සෙය  කුමර   සිත


ගගනදර    මෙදියත   මුහුම්    වන සොඳුරු ඇස
දිනිඳුකර     සමුදුරෙ    ගිලෙන්  දල සැඳෑ      සම
සසලතම   හදකිනි    පැතුම්    පිරි හැඟුම් තෙද
සිතිජයම   මායව      ලෙසින්   පර සිඳුව     ඇත


වනසස්   වුවත්    පැන යන්නේ හඬ    නොනග
දුර්දන්     වුවත්     සැඟවෙන්නේ         රහසින්ම
රජිඳුන්    වුවත්     සඟවන්නේ පිරි          තැවුල
තිසුලවි  කෙසේ    සනහන්නේ දැන        දැනම


නොමඳ   දහම්        සුගතින් පිරිම         වැඳුමය
සසඳ       නොකල්   දහමට  වෙත       නැඹුරුය
නිසඟ     නැගෙන්   සසර පිනක            මහිමය
එසඳ       පිපෙන්     සිහිනයේ සුදු           පියුමය


සරා     දෙනෙත ලිය ලැම හී සර              විද සේ
පුරා      වතක    නොලියූ කවි දස             දහසේ
දුරා       සඳකි     පෑයුවේ අහසට          නොරිසේ
ඉරා      නගන    හද තත් වෙණ වයම්    කෙසේ



නිදාන කතාව කෙසේද යත්, 

යටගිය දවස එක් සමයක පරසිඳු රාජ්‍යක රාජ කුමාරයෙක් වන්නාහ. කුමාරයානෝ තරුණ්‍යය ගෙවාලූයේ මහ දුෂ්ට සිත්පිත් ඇතිව සලෙලකූ සේය. මුළු මහත් රාජ්‍යයේම ප්‍රකට රහසක්ව පැවති මේ කුමරුගේ ජීවිතය වූ කලී උදෑසන පහන් වන තුරු අවදි නොවූ හේ තෙමේ නුවර වෛශ්‍යා නිවාසයන්හීදී රාත්‍රිය පහන් කළේය.

එමෙන්ම රාජ භවනේ සිට සිය ගමන් අතර දුටින රූ ශ්‍රියාවෙන් යුතු කෙල්ලන්, හේ තෙමේ හට අවැසි වුයේය. 

ඉදින් රාජ කුමරුවන්ට කෙතරම් පාපි සන්තානයක ඇද්ද යන්න කිසිවෙකුට සිතා ගත නොහීය. 

රාජ කුමරුවන්ගේ අභිශේක උත්සවය පැවැත් වූයේ කුඩා කල නම් කර කුමරියක් සමඟය.  කුමරු ආවාහ කර දීමෙන් සියලු සලෙල් ගති පැවතුම් ශේෂ නොවී ධාර්මික රාජ්‍ය පාලනයක් ගෙනයැතැයි රජකුමරුගේ මව් තොමෝ සිතුවාය. මන්ද විවාහ කර දුන් කුමරිද අතිශය ධාර්මික දිවි පෙවෙතක් ගත කල රූපශ්‍රීයෙන් යුතු මනහර කාන්තාවක් වූ නිසාවෙනි. නමුත් කුමරුගේ පාපිශ්ට කර්මයන් බලවත් වූ හෙයින් කුමරුවන් හට දරුපල නුවූයේය.

සමය ගත වන කල කුමරුගේ සියලු රහස් කුමරියගේ පරිවාර ස්ත්‍රි තුමූ ගේ සවණත වැකුණු නුමුත් කුමරියගේ සිත තැලීමට නොහැකි වීමෙන් කිසිත් කිසිවෙක් නොපැවසීමට වග බලා ගත්හ.

කෙසේ හෝ කුමරුද තමාගේ සලෙල් හැසිරීම කුමරියගෙන් රහසක් සේ තබා ගත්තේය. විවාහ පත් කුමරියට සයනයේදි හිමි වූ සොම්නසක් නොමැති වූද ඇය කිරි සිහිනය හැමදාම දුටුවාය. 

ඒබැව් නොසඟවා පවසමින් ඇය ශිව දෙවි වන්දනාවද සිදු කලාය. නුමුත් කුමරුගේ පාපි බව නිසාවෙන් කුමරුට පිය උරුමයක් රහිත වූවෙන් , කුමරියටද සිය කිරි සිහිනය නිශ්ඵල දෙයක්ම විය.


ආවර්තීය චලන




මට වුවමනා වුනේ වනවාසී වෙන්න.. හැමදේම ශුන්‍යත්වය මෙනෙහි කරමින්, සමාජයෙන් වෙන්වී, වෙනස්ම ජීවියෙක් ලෙස ජීවිතයේ ඉතිරි කාලය ගෙවා දමන්න. සත්තු , ශාක, විතරක්ම මගේ අසල්වැසියෝ කරගන්න. සියල්ලම අවසන් වෙලා තිබ්බේ අපහසුම විදියට. සියල්ලටම මං නිවැරදි වුණේ එයාලා සතුටක් වෙන අවස්ථාවකදිම පමණයි... ඒ හැර අන් සියල්ලම මං චෝදිතයි..ඒ වගේම එයා නඩු තීන්දුව නඩු ඇසීමක් හෝ නොමැතිව පල කර අවසන්...


මේකත් අවසන් අවස්ථාවක්..( සෑම අවසානයක්ම අවසානයට පෙර අවස්ථාවක්)
අපි රත් වෙච්ච ටකරමක් යට හිටියේ.. අපිවත් ඒ රස්නෙට ගිනි ගත්තා... ටකරම තිබුණේ හරියටම මගේ පපුව මැද... හදවත ඊට දශම කිහිපයක් පහලින්... ඔබ දන්නවා ටකරම් තියෙන්නේ නගර වල.. ඉතින් අපි නගරවාසී...

ඉර අවරගිරින් පහු බහින්න තව කණිසම් හතරකටත් වැඩියෙන් මිස අඩුව තිබුනේ නැහැ. ඒ වනකොටත් අපි කතාව නවත්වලා තිබුනේ. අපි ගැන තවදුරටත් කියවන්න අපිට කිසිම දෙයක් ඉතිරි වෙලා තිබුනේ නැහැ.


" ඔයාගේ අම්මා....!!!"


කතාව පටන්ගත්තට මට දිගටම ඒ හිතේ වට රවුම් ගගහා කැරකෙන කතාව එලියට ඇදලා දාන්න හැකියාවක් තිබුනේ නැහැ. ඒ වන කොටත් ඒ සිතුවිල්ල වට වන්දනාවේ ගිහින්.. මට අමතක වුණා ආයෙත්ම ඊළඟ වචනය.. ,ඒක හොයන්න බැහැ.. ගැඹුරු ජලාශයක ගිලි ගියා වගෙයි.. ගහගෙන ගිහින්, හොයාගන්නවත් නැති තැනකට..  ඒ සිතුවිලි වට වන්දනාව මගේ හදවතේ කැරලි ගැහුවත් , මගෙ දෘෂ්ටියෙන් ඈතට ඈතට ගියත්, මගේ ඇස් ඒ කැරලිකාරිත්වයේ ප්‍රතිඵලය වෙමින් අහස කලු කරන් පොද වැසි වැටුනා වෙන්න ඇති.


"මං දන්නවා එයා කැමති වෙන් නෑ මේකට."


එයා එහෙම කිව්වේත්, මාව ඇදලා අරන් එකපාර ඒ පුළුල් පපුවට කිටි කිටියේ තද කරන් කෙහෙරැලි අස්සේ ඒ උණුසුම් ඇඟිලි දිවෙව්වේ, සෑම තත්පරයක්ම, සෑම ස්පර්ශයක්ම සාමාන්‍ය දෙයක් කරමින්. සිතුවිලිවලින් නිර්මිත වර්ෂාව උරුම කලේ ආදරේ..., අවසාන වතාවට නෙවෙයි.. ඇත්තටම අවසාන වතාවට කලින් වතාව...( හැම අවසානයක්ම අවසානයක් නෙවෙයි, අවසානයට කලින් අවස්ථාව.)


ඒත් හරියටම කියනවා නම් මට හුඟක් දේවල් කියන්න තිබුණා. මං පූර්ව සුදානමකින් ආව වුනත්, සූදානම් වෙලා ආපු අවසාන කතාව එතන තිබුනේ නැහැ.. කරුණු හොයාගෙන, දවස් ගානක් පුරුදු පුහුණු වෙච්ච මගේ මහන්සිය අපතේ යමින් තිබුනේ.. මේ තරම් අපහසු වුණේ නැහැ උපාධියේ පර්යේෂණ ඉදිරිපත් කිරීම කරන අවස්ථාවෙදීවත්... මගේ ඇඩ්‍රිනලීන් කොච්චර ශ්‍රාවය වෙලාද කියනවා නම් මට මගේ හදවතේ ශබ්දය ඉතාම ප්‍රබලව ශ්‍රවණය වුණා.. ඒ වගේම එකඳු වචනයක්වත් කියාගන්න බැරි තරමට.. දන්නවා නම් ප්‍රොපනලෝල් එකක්වත් බීලා එන්න තිබුණා... ආදරේ මේ තරම් සියුම් හැඟීමක්ද..? හරිම පිවිතුරු...!!! හදවතම, සිතුවිලි ප්‍රවාහයම ගොළු කරනවද මේ තරම්ම....
ආදරණීයන් හමුවෙන දවස් හරිම කෙටි දවස්... ඒ කණිසම් ගෙවෙන්නේ, තත්පර ගෙවනවටත් වඩා වේගෙකින්... ඒ කෙටි සිදුවීම් වල පෙලගැස්මවත් අල්ලගන්න බැරිතරම් වේගයෙන් මතකයත් බොඳ වෙලා බොඳ වෙලා යනවා.. ආදරේ විරහවක් වෙන්න දඟලනම මොහොතක උණුහුමක් හොයාගන්නවත් බැරි තරම් ශීතල වෙන්න පටන් ගන්නවා. ඒ ශීතල ඒ පිරිමි පපුවේ උණුහුමටවත්, නස්න කරන්න බැහැ..හුළං වුනත් එන්නේ, සනීපයට නෙවෙයී, හීතලක් උරුම කරවන්න.... මං ඇස් පියාගෙනම උන්නේ.. ඒ අතැඟිලි මගේ හිසේ සෑම අංශුවකම ස්පර්ශය අරගත්තා.. ඒ අස්සේ හදවත ස්පර්ශ කරන්න අරන් තිබුනේ ආදරේ... මං මටම සපත වෙලා ආපු පොරොන්දු කෝ?


"ආදරේ කරන් නෑ දරදඬුවෙලා කතා කරනවා..."


කොයියෝගේ කතා මගේ හිත ඇතුලේ රස්තියාදු ගැහුවා. ඔහු  එක්ක කොයියෝගේ සිතුවිලි..., එතකොට මාව හොයාගන්නම බැරි වුණා... කොයිතරම් හීතලද ආදරේ... ඒක තනියෙන් විඳ දරා ගන්න අමාරුයි. ඇත්තටම කොයියෝගේ කතාවල තියෙන්නෙ රස්තියාදුව.. මගේ ආදරේ වගේ.. හැමතැනම රස්තියාදුව... අන්තිමට වෙච්ච දෙයක් නැහැ...
ආදරෙත් හරියට වලාකුලු වගේ.. දැන් අලු පැහැ වෙලා බර වෙලා..කඩා වැටෙන්න ඔන්න මෙන්න... ඒ වලාකුලු අරන් කඩලා කඩලා පොලොවට විසික් කරන්න මට ඕන වුනා.. ඒවා හරියට කොට්න් කැන්ඩි වගේ... ඒකේ සිංහල නම එයා දැනන් හිටියේ නැහැ.. බොම්බයි මොටයි කිව්වම එයා හිනා වෙන්න ගත්තා.. ඒ නිසා මාත් පුරුදු වුණේ කොට්න් කැන්ඩි කියන්න....


"මං කිව්වා මේක පටන් ගන්නකොටම.... මං වැඩිමල්.... ...."


එයා එයාගේ දබර ඇඟිල්ල මගේ තොල් මත තියලා මගේ වචන වලට පාර වැහුවා...



"මුකුත් කියන්න එපා...!! අපි මෙහෙම ඉමු...''


මට කියන්න වුවමනා වුණේ ඔයා දැනන් හිටියා අපේ නොගැලපීම්, අම්මට කිව්වා කියලා ඔයා කිව්වා නේද කියලා..


මුහුදු හුලඟ සනීපෙට අපේ සිරුරේ වැදුනා... නැවත වතාවක්ම ඒ වෙන් වීම නොවෙන බව පමණක් මේ සියුම් ස්පර්ශ වලින් මට තේරුම් ගියා... ශුන්‍යත්වය කෙසේ වුවත් මේ ආවර්තීය චලනයට මං පුරුදු වෙලා...

ඉරණම්.



ශිෂ්‍යත්වේ පාස් වෙලා ඈත ගමක ඉඳන්  කොළඹ ලොකු ස්කෝලෙකට එන හැම කොල්ලෙක්ගෙම එකම හීනේ වෛද්‍යවරයෙක් වෙන්න හරි ඉංජිනේරුවෙක් වෙන්න හරි කියලා මං දැන ගත්තේ මීට අවුරුදු අටකට ඉස්සෙල්ලා රෝයල් එකේ හය වසරේ ඩී පන්තියට වැටුනම. එදා තමයි ශිෂ්‍යත්වෙන් ආපු ළමයිගේ රෝයල් එකේ පලවෙනි දවස. හැමෝම යාලුවෝ හොයන් හිටියා. මං විතරක් තනියෙන්. එදා මට යාලුවෙක් උන්නේ නැහැ.. මට මතකයි ක්ලාස් එකේ ටීච මයි සෙල්ෆ් ගැන කියන්න කිව්වා. ශිෂ්‍යත්වේ පාස් වෙච්ච හැම ළමයෙක්ටම ඉංග්‍රීසි බැහැ කියලා ටීච දැනගෙන හිටියේ නැද්ද මංදා. එදා මට කියන්න පුලුවන් වුනේ අයෑම් මෙත්මල්, අයෑම් ෆ්‍රොම් අම්පාර කියලා විතරයි. 
ඒ හතර වසරේ ඉංග්‍රීසි පොතේ අයෑම් මුරු, අයැම් ෆ්‍රොම් නයිජීරියා කියන පාඩම මං කට පාඩම් කරපු නිසා.

ඒත් අනික් අය කියන එක අහන් ඉඳලා අන්තිම වාක්‍ය විදියට අයි ලයික් ටු බී ඩොක්ටර් කියන්න පුලුවන් උනා. ඒත් ටීච කිව්වා ඒකේ ග්‍රැමර් වැරදි කියලා. ඒක එන්න ඕනා අයි ලයික් ටූ බී අ ඩොක්ටර් කියලලු.

ඒත් ඒ දවස් වල මට දොස්තර මහත්තයෙක් වෙන්න ආසාවක් තිබ්බේ නැහැ. ඇත්තටම මට ඕන උනේ අපේ පැත්තෙන් ඡන්දේ දිනලා පාර්ලිමේන්තු ගිය සුමනදාස මන්ත්‍රී මහත්තයා වගේ වෙන්න. ඉගෙන ගත්තේ නැති උනාට වාහන හත අටක්ම ඒ මහත්තයට තිබ්බා. එයාට රජ සැප කියලා අපේ පුංචම්මත් හැමවෙලේම කිව්වා.. ඒ මහත්තයා ඡන්දේ දිනුවට පස්සේ අපේ ගමේ ස්කෝලේ අලුතෙන් හදපු ශාලාව විවෘත කරන්න ආපු දවසේ තමයි මං දැක්කේ ඒ අලුත්ම වාහන ටික. ඒවා පොලිෂ් කරලා වගේ දිලිසුනා. එදා මල් මාලේ දාන්න තිබ්බේ මට. මල් මාලෙත් අතින් අරන් මං බලන් හිටියා. ඒ වාහනේ ඇවිත් නැවැත්තුවේ මගේ ඉස්සරහමයි. මන්ත්‍රී මහත්තයට බහින්න හුඟක් වෙලා ගියා.. මං බලන් හිටියේ මාවම ඒ වාහනේ දොරෙන්.. මං මා එක්කම හිනා වුනා. කොණ්ඩේ අවුල් වෙලාද බැලුවා. තෙල් ගාපු කොණ්ඩේ ලස්සනට තිබුනා. මං මා එක්කම හිනා වුනා. එතකොට කාර් එකේ දොර ඇරුනා. මන්ත්‍රී මහත්තයා කාර් එකෙන් බැස්සා. මට තිබුනේ ඒ මහත්තයගේ කරට මල්මාලයක් දාන්න. ඒ මහත්තයා ඇඳන් හිටියේ සුදු නැෂනල් සූට් එකක්. රත්තරං දම්වැල් චේන් එකක් කරේ දිලිසෙනවා මං දැක්කේ යන්තමට වගේ.. ඒත් සුමනදාස මන්ත්‍රී මහත්තයා මං මල්මාලේ දාපු පමාවට ඒක ගලවලා ළඟ හිටපු සුදු කමිසයයි, කළු කලිසමයි ඇඳන් හිටපු කනේ කරාබුවක් දාන්, දම්වැලක් වගේ රිදී මාලයක් දාන් ළඟින් හිටපු මාමාගේ අතට දුන්නා. එයා දිහා නම් මට බලන්න බය හිතුනා. ඒත් සුමනදාස මහත්තය නම් මගේ ඔළුවත් අතගෑවා හිනාවෙලා..

එදා මට අඳින්න අලුත් සපත්තු දෙකකුයි, අලුත් කමිසයකුයි හම්බුනේ ස්කෝලේ සුවිනීතා ටීචගෙන්මයි. මාව තෝරගන්න එයාලට ඕන උනේ ඒ වැඩේට මං තමයි ශිෂ්‍යත්වේ පාස් වෙච්ච එකම ළමයා නිසා.

ඒත් අනික් අය ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන කියද්දි දොස්තර මහත්තයෙක් වෙන්න වුවමනා උනේ නැහැ. හැමෝම කිව්වෙ තමන් අනාගතයෙදි වෙන්න කැමති ඩොක්ටර් කෙනෙක් හරි ඉංජිනේරුවරුවෙක් හරි නිසා මාත් කිව්වේ ඩොක්ටර් කෙනෙක් කියලා. මොකද ඩොක්ටර්ට විතරයි නිකම් බෙහෙත් හම්බෙන්නේ. ඒ කාලේ මගේ අක්කා හිටියේ වකුගඩු අමාරුවට වලට බෙහෙත් කර කර. ඒ බෙහෙත් ගන්න අපේ කොස්ලන්ද, කළු මුදලාලිට උගස් කරන්න වුනා. පස්සේ උගස බේරගන්න බැරුව කොස්ලන්ද කළු මුදලාලිට සින්න උනා. ඉතින් මං ඩොක්ටර් කෙනෙක් වුනොත් ආයේ කිසි දෙයක් කළු මුදලාලිට උගස් නොකර බෙහෙත් ගන්න පුලුවන් නේද කියලා ඒ වෙනකොට මට හිතිලයි තිබුනේ.

ඉන් පස්සේ තමයි මට ඕන උනේ අනික් අය හිනා වෙන්නේ නැති විදියට ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න. ඒත් මං දැනන් හිටියේ නැහැ ඒක කරන්නේ කොහොමද කියලා. ඒත් අට වසරෙදි මං දැන ගත්තා ටෝස්ට් මාස්ටර් ක්ලබ් එක ගැන. ඉන් පස්සේ මං ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ ටෝස්ට් මාස්ටර් ක්ලබ් එකට බැඳුනේ ඉංග්‍රීසි ඉගෙන ගන්න.. ඒකේ මුල් කාලේ කලේ මං අහගෙන හිටපු එක විතරයි.පස්සේ මං කතා කලා. අහන් හිටපු ඒවා මට පාඩම් වෙලා වගේ තිබුනා. මං හුඟක් වෙලාවට කලේ අනික් අය වගේ කතා කරන එක නෙවෙයි. අනික් අයගේ කතා අහන් ඉන්න එක. කොහොම හරි මට ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් වුනා..

ඕලෙවල් වලින් පස්සේ හොස්ටල් එකේ ඉන්න බැරි වුන නිසා හම්බුන අඩුම ගාස්තුව ගත්ත බෝඩින් හවුස් එක ලස්සන වුනේ ඉංග්‍රීසි කතා කරන ඇන්ටි නිසා. මගේ බලාපොරොත්තුවත් නිකම්ම ඉටු වෙන පාර කැපිලා තිබුනේ.. මට උදේට කෑම එකක් හම්බුනා. රෑට බෝඩින් එකේ ඇන්ටි බත් එක බෙදලා මගේ කාමරේට ගෙනත් දුන්නා. මට දරුවෙක්ට වගේ සැලකුව  නිසා මං ඒ බෝඩිමට ආස වුනා. මට තිබුනේ මගේ රෙදි ටික හෝද ගන්නයි, පාඩම් කරන්නයි විතරයි. මං ඒ ලෙවල් වලට තෝර ගෙන තිබුනෙ මැත්ස්... ඒ පහ වසරෙදි කිව්ව, අයි ලයික් ටු බි ඩොක්ටර් කිව්ව බලාපොරොත්තුවම බොරු කරමින්...

බෝඩින් ඇන්ටි, ඇන්ටි කෙනෙක් වුනාට, අක්කා කියලා කියනවටයි කැමති වුනේ.. මං එයා නැති තැන ඇන්ටි කිව්වට එයා ඉන්න තැන කිව්වේ අක්කා කියලා.

දවසක් බෝඩින් එකේ ඇන්ටි රෑ කෑම එකත් ගෙනත්, කාමරයෙන් නොයා මගේ ඔලුව අත ගන්න ගන්න කොට මට දැනුනේ මගේ අම්මා වගේ කියලා. ඒත් ඒක වෙනස් හැඟීමක් කියලා දැනෙන්න වැඩි කල් ගියේ නැත්තේ, මාත් කොල්ලෙක් නිසා.

බෝඩින් එකේ ඇන්ටිට මට වඩා වැඩිමල් දුවෙක් හිටියා. එයා හුඟ දවසට ගෙදර හිටියේ නැහැ. රැකියාවට යන නිසා ගෙදර ඉන්නවෙන් නෑනේ කියලා තමයි කිව්වේ... බෝඩින් එකේ ඇන්ටි කොච්චරවාත් මගේ කාමරේට එන්න අරන් තිබුනේ කියන එක  මට දැනෙමින් තිබුනේ, මොකද ගානක්වත් හදා ගන්න වෙලාවක් නැති වෙලාවටත් එයා ඇවිත් කියව කියව ඉන්න නිසා. කොහොම හරි ඇන්ටි ළඟින් ආව සුවඳ නිකම් මිනිස්සු දාහක් වුනත් මරන්න පුළුවන් එකක්... කවදාවත් නොවිඳපු සුවඳ මං විඳින්න ගත්තේ ටික ටික... ගණන් හැදිල්ල පැත්තකට වුනේ සමහර දවසට ඇන්ටිගේ පිච්චුන බල්බ් දාන්න, කැඩිච්ච බඩු හදන්න වුන නිසා.. මං ඒක කැමැත්තෙන් කලාද, කරන්න වුනාද කියන්නවත් මං දැන ගෙන හිටියේ නැහැ...

දවසක් ඇන්ටිගේ කකුලේ අමාරුවක් ආපු  නිසා තමයි හැමදේම වෙනස් වුනේ.... එදා තමයි මං කොල්ලෙක් ගේ සතුට මේකය කියලා දැනගත්ත දවස... ඒත් වැඩි කාලයක් ඒ සතුට තිබ්බේ නැහැ.

ඒක වුනේ යුද්ධ කාලේ හමුදාවේ තුවාල වුන සොල්දාදුවන්ට ඕන ලේ ගන්න අපේ පාසලේ තිබ්බ කෑම්ප් එකට මගේ ලේ දුන්නට පස්සේ..  රුපියල් එකසිය පනහක් එක්ක උදේ කෑම වේල හම්බුනා ලේ දන්දුන්නම. අපි ඒ නිසා අපි කැමැත්තෙන්ම එහෙම ලේ දන් දීලා තිබුනා කලිනුත්... ඒත් හැමදේම සිද්ධ වුනාට පස්සේ දීපු ලේ සාම්පල් එක නිසා දවස් දහයකට විතර පස්සේ මට එන්න කියලා තිබුනා කොළඹ ජාතික රෝහලට..

මට එස්. ටී. ඩී. ක්ලින්ක් එකට යන්න තිබ්බේ. මගේ නම අහගෙන එතන හිටපු නර්ස් ඩොක්ටර් ළඟට යන්න කිව්වා..

එදා හිටියේ ගැහැණු වෛද්‍යවරියක්.

"පුතා වාඩි වෙන්න....... නම් මොකද්ද..."

"මෙත්මල්... ජයවර්ධන.."

"මෙත්මල්ගෙ වයස කීයද.."

"ඔයා දවස් දොලහකට කලින් පාසලට ආපු ලේදන් දීමකදී ලේ දුන්නා නේද..."

"ඔව් ඩොක්ටර්"

" බය වෙන්න එපා මේ කියන කතාවෙන්. ඒ වගේම කලබල වෙන්නත් එපා. දැන් ඉස්සර වගේ නෙවෙයි වෛද්‍ය විද්‍යාව දියුණුයි...ම්ම්ම්..."

"මොකද්ද ඩොක්ටර්.."

"ඔය කලබල වෙලානේ... මෙත්මල්ට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද..."

"නැහැ ඩොක්ටර්..."

"මෙත්මල්... ඇත්තටම මේකයි කාරණේ.. අපි හැම ලේ පයින්ට් එකක්ම ගත්තම, ඒ ලේ දායක කල තැනැත්තගේ ටෙස්ට් වගයක් කරනවා.. ඒ ටෙස්ට් වල මෙත්මල්ගේ ලේ රිපොට්ස් වල එඩ්.අයි.වී. පොසිටිව්..."

"මොකක්.... ඒක වෙන්න බෑ ඩොක්ටර් "

"මෙත්මල්, අපි මුලින් කරන පරික්ෂණයෙන් පොසිටිව් ආවම, දෙවනියට කරනවා කන්ෆමේෂන් ටෙස්ට් එකක්.. ඒක කරන්නේ එච්. අයි. වී. කියලා තහවුරු කරන්න.. ඒ රිපෝට්ස් දෙකම පොසිටිව් මෙත්මල්."

මට ඒ කතාව විශ්වාස කරන්න බැරි උනා..

තත්පර කීපයකට පස්සේ මට දැනුනේ ලෝකය මගේ වටේ කැරකෙනවා වගේ.. හැමදේම කලුවර බොඳ වෙලා තිබුනා.. කලු පාටින් පෙනුන බෝඩිමේ ඇන්ටී මහ හයියෙන් හිනා වුනා.,මට...

නිශාචර



නිශාචර කිරිල්ලියෙක්ට පුලුවන්ද තමන්ගේ ඇඳට ආදරය කරන කොල්ලෙක්ට ආදරයෙන් උමතු වෙන්න...

එහෙම කිව්වම ඒ ප්‍රශ්නයේ රහස් කතා කිහිපයක්ම තියෙනවා..ඒ කියන්නේ පටලැවිලි කිහිපයක්... මං කැමති පටලැවිල්ලකින් පටන් අරන් පටලැවිල්ලකින් ඉවර කරන්න.. හරියට ජීවිතේ වගේ...

මේ කතාවත් එහෙම එකක්.. හුඟක් පටලැවිලි ඇති.. ලිහා ගන්න එක බාර මගේ කතාව හොරෙන් කියවන ඔබටමයි...

මං නිශාචර වුණේ ඇත්තටම ප්‍රථම ප්‍රේමයේ විරහවෙන් පස්සේ.. දැන් තියන ප්‍රේමය මාව නිශාචර කරලා තියන්න උදව් වෙන පරිබාහිර දෙයක් විතරයි.. ඇත්තටම මං හිතන් හිටපු ප්‍රේමය වර්ණවත් දෙයක්. ඒත් මේ ප්‍රේමය (ප්‍රේමයක් තිබේ යැයි පෙන්වන විවාහයක්...) පටන් ගත්ත දවසේ ඉඳන් මට දැනුනේ හැත්තෑව දශකයේ සිනමාපටයක් වගේ..ඇත්තටම ඒක ප්‍රේමයකට වඩා මවා ගත් ප්‍රේමයක් කිව්වොත් හරියටම හරි.. ඒකේ ඇතුලාන්තේ ප්‍රේමයක් තිබුනේ නැහැ.. ප්‍රේම කරනවා යැයි අපි විසින් අපිවම රවට ගත්තා.. ඒ රැවටිල්ලට සමාජයත් රැවටුනා.. අන්න ඒකෙන් අපි සතුටු වුණා...

නිශාචර වෙන්න ගත්ත මුල්ම කාලේ ලස්සන රාත්‍රී තරු රටා එක්ක කතා කරන්න බොහෝ දේවල්, තරු රටා අස්සේ කතා හොයන්න වෙලාවල් මට රෑ යාමයේ තිබුන ප්‍රධාන රාජකාරී..ඒක ඇබ්බැහීවීමක්.. ඒත් ඒ මගේ ප්‍රථම ප්‍රේමයේ විරහවෙන් පස්සේ... කියන්න තේරෙන් නැහැ, අබ්බැහි වීමක් කියන්නේ කොච්චර නරක දෙයක්ද කියලා.. මගේ ජීවිතය ඇබ්බැහි වීම් වල එකතුවක් වුණා. ඒ කියන්නේ නිශාචර වීමට ඇබ්බැහි වීම කියන්නේ ඇත්තටම මුල්ම ඇබ්බැහිය නෙවෙයි.. ඒත් මං දන් නැහැ., මුල්ම ඇබ්බැහිය මොකද්ද කියලා, සමහර විට කවුරුත් කියන්න අකමැති රහසින් කරන දේ වෙන්න ඇති ගැහැණු ළමයි... ඒක වෙන්න ඇති මගේ පලවෙනි ඇබ්බැහිය.. තාමත් මට ඒකෙන් ගැලවෙන්න බැහැ.. තනි වුනාම මං ආසයි මගේ සියුම් සෛලවල සතුට හොයන්න.. පසුබිම් සංගීතයක් එක්ක, කොට්ටයක් තුරුල් කරන් මිනිත්තු කිහිපයක් මං වෙනුවෙන් ගත කරන්න..

එයා මම, රෑ..., එයාගේ ස්ප්‍රින් මෙට්ටේ තියන ඇඳ.. ස්ප්‍රින් මෙට්ටේ මං මෙතන හයිලයිට් කලාද මන්දා... මට තිබ්බ කොහු මෙට්ටේට වඩා එයාගේ ඇඳේ හාන්සි වෙලා හරි ඉන්න මං ඇබ්බැහි වුනා. ඉතින් මේ හැමදේම ඇබ්බැහි. එක දෙයක් කියලා වෙන් කරන්න බැහැ.. රෑ මැදියමෙත් ඇහැරගෙන ඉන්න එකත් මට ඇබ්බැහීවීමක්..  මගේ තරු රටා ඇබ්බැහි වීම නැවතුනේ නැහැ, හැඟීම් වල උච්චතම අවස්ථාවේ ඉඳන් හෝරා කිහිපයක් ගත වෙනකම් ප්‍රාණය නිරුද්ධ ජීවියෙක් වගේ හිටියට, මට රෑ එකහමාර පහු වෙනකොට තනිකම කියන ඇබ්බැහියට පණ එනවා. මං ළඟ තියන මොනම හරි දෙයකින් මං ආවරණයක් සොයාගෙන වැරෙන්ඩා එකට පා තියනවා.. එතකොට තරු රටා දිලිසි දිලිසි ඉන්නවා.. මා එක්ක හිනා වෙන්න බලාගෙන.. මට කල්පනා කරන්න දේවල් හුඟක් තිබ්බා.. සංසකගේ ලේ වලට ඉඩ දෙනවද, මගේ හැඟීම් වලට ඉඩ දෙනවද කියන්න... කොහොම වුණත් අම්මා කෙනෙක් තෝරගන්නේ අවසානේ තමන්ගේ දරුවව නිසා දෙවනි තෝරාගැනීමයි ජයගන්නේ... එතකොට පහසුවෙන්ම සංසක ජයගෙන..

මට තේරුණේ නැහැ මට පටලැවිලි සිදු වුණේ කොතනින්ද කියලා.. ඒ වගේම මං කවි ලියන්න ගත්තේ කොයි කාලෙද කියන්න දන් නැහැ. හැමෝම කිව්වා වගේම කවිත් හරිම පටලැවිලි.. කාටවත් තේරුන් නැහැ. ඒ නිසා කවුරුත් කියවන් නැතුව ඇති. කවියක් ඇතුලේ ඔබ්බලා තියන කතාව හොයන්න වෙහෙස වුණ එකම කෙනා තමා සංසක.. දැන් ගොරව ගොරව නිදා ගන්න ප්‍රාණය... ඒ සද්දෙට මට මුල්ම කාලේ තරහ ආවට මං දැන් තරහ කියන ස්නායුව කපලා තියෙන්නේ.. තරහා ගත්තා කියලා එයා මගේ විදියට හැඩ ගැහෙන් නෑනේ. මෙතන සම්බන්දතාවය පවත්වාගෙන යන්න ඕන එකම දේ, එයාගේ විදියට මං හැඩ ගැහෙන එක... ගැහැණු කියන්නේ එහෙම ජාතියක්... සංසක කියන පටලැවිල්ලේ මාත් පටලැවුනා.. දැන් තියෙන්නේ ඔන්න ඔහේ පටලැවෙන විදියට පටලැවෙන්න..

ඊළඟ පටලැවිල්ල ආරම්භ වුණේ මං ට්‍රේනින් එකකට ප්‍රංශයට යන්න වුණාම. මුලින් සංසක ගෝරනාඩුව ආරම්භ කරන්න මුල් වෙඩිල්ල තිබ්බත්, තමන්ගේ තත්වයත් මට ලැබුණ අවස්ථාවෙන් උච්චත්වයට පත් වෙනවා කියන හැඟීම එක්ක ඒ වෙඩිල්ල පුස්සක් වුණා. එයා මාත් එක්ක නොකිව්වට, ස්ටාෆ් එකත් එක්ක මගේ පම්පෝරිය ගහනවා කියලා මං දැනන් හිටියා.. වයිෆ්ට ට්‍රේනින් එකක් ඇවිත් පැරිස් යන්න. මාස තුනක්...

අපි මුල්ම තිත්ත ඇත්ත අරන් බලමු, අන්න එතන තමා මේ පටලැවිල්ලේ ආරම්භය... දොස්තර කෙනෙක්ට ඕන උනේ නැහැ තමන් ආදරේ කරපු නර්ස් එක්ක වෛවාහක සම්බන්දතාවයකින් සමාජ ගත වෙන්න. ඒ වගේම සුප්‍රිම් කෝට් ජජ් කෙනෙක් ළඟ ලේසියෙන් ප්‍රැක්ටිස් වෙන්න යන්න කිසිම දැන හැඳුනුම් කමක් නැති අලුත් ලෝයර් කෙනෙක්ට පුළුවන් වෙන්නෙත් නැහැ.. ඊටත් ලේඩි ලෝයර් කෙනෙක්ට.. ආදරය කියන්නේ පැටලැවිලි සාගරයක්... අන්න එහෙම ආදර දෙකක් ගැලවිලා අලුත් ආදරයක් විදියට පටලැවුණේ හරිම අමුතු විදියට.. ලේඩි ලෝයර් එක්ක දොස්තර වෛවාහක සම්බන්දතාවය..

ඉන්පස්සෙයි මට ඒ ස්ප්‍රින් මෙට්ටේ හම්බුනේ...

ෆෙමිනිසම් කරන කෙනෙක් විදියට ඔයා හෝමෝ සෙක්ෂුවල්ස් වලට ගත්තු ස්ටෙප්ස් මොනවද... වින්සි මගෙන් ඇහුවේ ට්‍රේනින් එකේ පලවෙනි දවස නිමාවෙලා අපි අපිට බෙදා ගන්න දීපු රූම් එකට ආපු වෙලාවේ... මගේ පිලිතුර වුණේ කිසිම දෙයක් නැහැයි කියන එක.. වින්සි කැනඩාවෙන් ආපු ෆෙමිනිස්ට් කෙනෙක්.

කොහොමවත් ඒ ගැන හිතලා නැද්ද. මගේ එක්ස්ප්‍රේෂන්ස් දැකපූ වින්සි ආයෙම ඇහුවේ පුදුමයෙන්... අපේ ඒ කතාව නැවතුනේ කොතනින්ද දන්නේ නැහැ..

ඇය කිසිම විලිබියක් නැතුව මගේ ඉදිරිපිට නිරුවතින් ඉන්න පටන් ගත්තේ මගෙ හිත ආයෙම පටලැවිලි කරන ගමන්... අන්න එහෙමයි ඒ පටලැවිල්ල ආරම්භ වුණේ.. ස්ත්‍රී පුරුෂ සම්බන්දතාවයක නැති නිදහසක් ස්ත්‍රී- ස්ත්‍රී සම්බන්ධතාවයක තිබුණා. හැමදේම මුලින් අහනවා, ඔයා මේකට කැමතිද... අකමැති නම් කමක් නැහැ... කිසිම ආක්‍රමණශීලි බවක්, දෘඪ බවක් නැහැ...

අන්තිමට මං ෆෙමිනිසම් වලට වගේම හෝමෝ සෙක්ෂුවල් රයිට්ස් ගැනත් හුඟක් දේවල් ඉගෙන ගෙන ඒ වගේම ඒක සාධාරණීකරණය කරන්න පටන් අරන් තිබුණේ.

මං කොහේ හිටියත් කවදාහරි ඔයාව හොයන් එනවා ඩාර්ලින්.. කවදාවත් නොදැකපු ලෝකයක් ඔයා මට දුන්නා.. ඒකට මට, ඔයාට තෑන්ස් කරන්න වචන හොයාගන්නත් බැහැ.. වින්සි එහෙම කිව්වේ එලියට එන්න බැරුව අපි දෙන්නා ට්‍රේනින් එක ඉවර වෙලා ප්‍රංශෙදි වෙන් වෙන මොහොතේ. අඬ අඬ.. මටත් ඇඬුනේ ඇයි කියන්න මං දන් නැහැ.. මත් පටලැවිලා තිබුණේ.... ඒක හරියට මල් අතුරපු ලෝකයක ඉඳලා එක පාර ග්‍රීෂ්ම ඉඩෝරයකට යනවා වගේ හැඟීමක්.. මං ශ්‍රී ලංකා එයාර් ලයින් එකට ගොඩ උනාම මට දැනුනේ මගේ හැමදේම නැති වුණා වගේ හැඟීමක්... ඒත් ඇත්තම කතාව කටුනායක ගුවන්තොටුපලේ මට හැමදේම වුණ සංසක බලන් ඉන්න එක...

හැමදේම පටලැවිලි....

අලුත්ම පටලැවිල්ල වින්සි තව දවස් තුනකින් ලංකාවට එන එක....
ඒත් ඒකත් නෙවෙයි... මට වුවමනා නැහැ මගේ මේ ජීවිතය ආයේ පටලවගන්න.. මොකද පැරිස් ගිහින් ආපු මං වරදකාරී හර්ද සාක්ෂිය එක්ක වරද සොය සොයා ඉන්නකොට අවුරුදු ගාණකින් ඕනෑම කන්දක් තරණය කරන්න සසංකට මං ඉඩ දීලා තිබුණේ...ඒකෙන් මගේ ගර්භාෂේ ඇතුලත ජීවියෙක් වර්ධනය වෙන්න පටන් අරන් මගේ ලෙයෙන්...

ඉතින්  නොහිතපු විදියට ආපු පටලැවිලි එක්ක ඇත්තටම බ්ලොක් ලිස්ට් පටලැවිල්ල වුණේ මගේ අලුතෙන් නැගගෙන ආපු ආසාව.. මං තීරණය කලා මගේ දරුවව තෝරගන්න ඒක තමයි හැම පටලැවිල්ලක්ම ලිහන්න පුලුවන් එකම ශක්තිය....

"සංසක.... නැගිටින්න... කියන්න දෙයක් තියෙනවා...." අමාරුවෙන් නැගිට ගත් සංසක මගේ මුහුණ දිහා බැලුවේ හරිම තරහින්...

" මං ප්‍රෙග්නන්ට්..."

ඒ තරහ මුහුණ දිලිහෙන්න ගත්තේ බලන් ඉද්දිම...

විජය- මානෙල්




විජය කුමාරතුංගගේ ගඟ අද්දර ගීතය වේදිකාවේ තරු තෝරන තරඟයක අලුත් ගායකයෙක් ගයනවා. සුනීතා ඒ ගායකයගේ නම දන්නේ නැති වුනාට, විජයව මතක් වුනා..

"විජය..."
ඒ කාලේ විජය, ඒ කියන්නේ සුනීතා හොඳින්ම දන්න, ඇසුරු කරපු විජය කියන්නේ, විජය කුමාරතුංග වගේම කඩවසම් පිරිමියෙක් තමයි...  ඒත් ගායකයෙක්වත් නළුවෙක්වත් නෙවෙයි.. ලංකාවේ මාලනී-විජය වගේ, කැම්පස් එකේ නම ඈඳිලා තිබුනේ විජය-මානෙල් කියලා.. මානෙල් ආවේ කොළඹ හතෙන් උසස් පාන්තික සමජයෙන් වුනාට, ශිෂ්‍ය ව්‍යාපාර වැඩ වලට ක්‍රියාකාරීව වැඩ කරපු කෙල්ලෙක්. ඒ කියන්නේ පීඩිත පන්තිය වෙනුවෙන් හඬ නගපු කෙල්ලෙක්. විජය වේදීකාවේ කෑගැහුවේ නැති වුනාට, මානෙල් කෑගැහුවා.
ඒ වගේම පෙලපාලි ගියා, විජය එක්ක. විජය වේදිකාවේ නිශ්ශබ්ද චරිතයක් වුනාට හුඟක් ශිෂ්‍ය ක්‍රියාකාරී වැඩ කලා.

විජයගේ යාලුව ඒ කියන්නේ මැල්කම් මැරුනේ පොලිසියෙන් අරන් ගිහිල්ලා වද දීලා. ඒ මිනිය බලන්න විජයලා ගිහින් තිබුනා. සමහර ගැහැණු ළමයි එතන කලන්තේ දාලාත් වැටිලා තිබුනා. මානෙල් විතරයිලු කිසිම ප්‍රතිචාරයක් නොදක්වා උදාසීනව මැල්කම්ව බලපු එකම ගැහැණු ළමයා කියලා කැම්පස් එකේ හැමෝම කතා වුණා. මැල්කම්ගේ රහස්‍යතැන රෝම පිලිස්සීලා කියලා දැකලා තිබුනෙත් ගැහැණු ළමයෙකුට මානෙල් විතරයි. දණහිසේ ඉඳන් කකුල් වල උඩට වෙන්න කුණු රතු පැල්ලම් හුඟක් තිබුනා කියලත් කැම්පස් එකේ ගැහැණු ළමයිට කිව්වේ මානෙල්ම තමයි. ඒත් මැල්කම් ගැන පිරිමි ළමයි කිසිදෙයක් කතා කලේ නැහැ ඒ දෙයින් පස්සේ.. හැමෝම හිටියේ බයවෙලා. මැල්කම් තමයි කැම්පස් එකේ විජයටත් වඩා ප්‍රසිද්ධ චරිතය. කොහොම හරි මැල්කම් මැරුනට පස්සේ මානෙල් ගෙදර නැවතුනා.

විජය තමාරා එක්ක සම්බන්ධයක් පටන් ගත්තා.. තමාරා එක්ක විජය හැමතැනම ඇවිද්දා.

මානෙල් ආවේ විභාගයට විතරයි. ඒකත් උදේම තාත්තා එක්ක කාර් එකෙන්. සමහරු නම් කිව්වා, විභාගයට එන්න මානෙල් නැවතිලා හිටියේ සුවිස් එකේ කියලා. විජය වැව රවුමේ තමාරා එක්ක ඇවිදිද්දි, මානෙල් දැකලා තිබුනා. තුන් අවුරුදු උපාධිය අවුරුදු හයකින් මානෙල්, සුනීතා එක්ක තව සමහර ශිෂ්‍යයන්ට පිරිසක් ලබාගත්තා.  විජය, උපාධිය ගත්තේ නැහැ. මොකද ඒ වෙනකොට ඈත ඉස්කෝලෙකට ගුරු පත් වීමක් හම්බෙලා විජය ඒකට ගියා කියලා හැමතැනම ආරංචි වෙලා තිබුනේ..

"හරියට දුයිශේන් වගේ ඇති" කියලා සමහර කෙල්ලො විහිලු කලා..

සුනීතට උපාධි ගුරු පත්වීම හම්බුනේ උපාධිය අරන් අවුරුදු දහයකට පස්සේ.. සුනීතා මාතලේ සංඝමිත්තෙට යද්දි මෙන්න විජය ඉන්නව...
************************************

" අත්තම්මේ අත්තම්මේ," පුංචි දුවගේ කොලු පැටියා ඇවිත් සුනීතගේ අතේ එල්ලුනා.  පරිකල්පනය බිඳ වැටුනේ, විජය මානෙල්, තමාරා, මැල්කම්ව පොළවට සමතලා කරමින්.

"මාව නිදි කරවන්නකෝ." පොඩි එකා කොට්ටෙ අරන් ආවේ සුනීතා ළඟට.

***************************************

ඒ කාලේ නිද ගන්න බැහැ. දැන් වගේ නිදහසේ. එක්කො පොලීසියෙන් එනවා, නැත්තම් වෙඩි හඬවල් ඇහෙනවා.. හැමෝම කාමරයකට වෙලා ගුලිවෙලා හිටියේ. ලයිට් එකක්වත් නොදා, බයේ ගැහි ගැහි. එතකොට කැම්පස් ජීවිතය ඉවර වෙලා තිබුනේ. රැකියාවකට යන්න බැහැ. කෑමක් හොයන්න තිබ්බෙ නෑ. පොතට පාන් බාගයක් සමුපකාරයෙන් අරන් ඇවිත් පොල් එක්ක කෑවේ.. වෙලාවට වත්තේ  පොල් ගස් හුඟක් තිබුනේ...

ඒවා මතක් වෙද්දී වතුරෙ ගිල්ලපු රබර් බෝලයක් වගේ අකමැති රූප මතකෙට එනවා.. ටයර් එක්ක රෑ පුච්චපු මිනී, කම්බිවල එල්ලලා තියපු පුච්චපු මිනී, උදේ පාන්දර කොහේ හරි යන්න පාරට බැස්සම කොණ්ඩේ පිච්චෙනකොට එන ගන්දය දුර තියාම  එනවා.එතකොට හැමෝම දන්නවා රෑ වෙච්ච දේවල්.. බයෙන් බයේ ඒ පැත්තට යන්නේ තමන් දන්න කෙනෙක්ක්ද කියලා හිත හිත...

****************************************
පොඩි එකාව නිදි කරලා සුනීතා ආයේ ටීවි එක ඉස්සරහින් වාඩි වුනා. ඒ වෙනකොට ජෝතිපාලගේ සිංදුවක් තරු තෝරන තරඟෙකින් ආපු අලුත් ළමයෙක් ගැයුවේ.

සුනීතලා ජෝතිපාලගේ සංගීත සංදර්ශන  වලට ගියේ ඒ කාලේ ගෙදරට හොරෙන්.

සුනීතා පලවෙනි වතාවට සංගීත සංදර්ශනයකට මානෙල්,  විජය, තව පිරිමි ළමයි කිහිපදෙනෙක් එක්ක ගියේ.  එදා තමයි මානෙල් විජය එක්ක යාලු වෙලා කියලා සුනීතලා දැන ගත්තේ..

*****************************************
විජය මාතලේ සංඝමිත්තෙට නැතුවම බැරි ගුරුවරයෙක් වෙලා හිටියේ සුනීතා යද්දී.

" සුනීතට මාව මතකද..."
විජයමයි සුනීතව හඳුනගෙන ආපු ගමන් කත කලේ. සුනීතට මුලින් හඳුන ගන්න බැරි වුනේ විජය හොඳටම කළුවෙලා තිබුන නිසා. අනික කැම්පස් කාලේ තිබ්බ කොණ්ඩේ කොටටම කපලා රැවුලත් කපලා හිටියේ..

" මොකද මතක නැතුවයේ විජේ.."

සුනීතට සතුටු හිතුනේ පරණ යාළුවෙක් හම්බුන නිසා නෙවෙයි. විජය ජීවත්ව ඉන්නව දැකලයි. මොක්ද මැල්කම්ට පස්සේ කැම්පස් එකේ දේශපාලනය කරපු හුඟක් පිරිමි ළමයි මරලාදාලා තිබුනා. සුනීතා දැක්කා විජයගේ දකුණු වෙදගිල්ලේ රන් මුද්ද.. ඒක පවුම් දෙකකවත් එකක් වෙන්න ඇති කියල බැලූ බැල්මට පෙනුනා. සුනීතට විජය කාව කසාද බැන්දද කියලා දැන ගන්නකම් ඉස්පාසුවක් තිබුනේ නැහැ..

"සුනීතා එන්නකො අපේ ගෙදර දවසක, අලු විහාරෙට එහා පැත්තේ පාරේ ඉන්නෙ අපි.." විජය කිව්වේ පරණ මිත්‍රත්වයෙන්..

ඒ වෙනකොට සුනීතාත් ආමි එකේ කැප්ටන් කෙනෙක්ව බැඳලා දරුවො දෙන්නෙක් හිටියා. නුවර ගෙවල් වුනාට සුනීතා හිටියේ කටුගස්තොටට කිට්ටු වෙන්න නිසා ගෙදර ඉඳන් උදේම ඉස්කෝලෙ යන්න අපහසුවක් වුනේ නැහැ.

අලුත් පත්වීම අරන් ඉස්කෝලෙට ගිය සුනීතා විජේගේ ගෙදර ගියේ සති දෙකකට පස්සේ ඉස්කෝලේ ඉවර වෙලා.

විජයගේ ගෙදර හොයාගන්න අමාරු වුනේ නැහැ. විජය නානායක්කාර  කියලා ඉස්සර විසාල ගේට්ටුවෙ හයි කරලා තිබුනා. ගේට්ටුව ඇරගෙන යන සුනීත දැක්කේ විශාල වැරෙන්ඩා එකෙ ඉන්න මානෙල්ව...

" මානෙල්.." එතකොට විජය කසාද බැන්දේ මානෙල්වද..

සුනීතව දැකපු මානෙල් දුවගෙන ආවේ පුංචි ළමයෙක් වගේ..

"පුදුමයි නේද සුනීතා.. අපි ආයේ හමුවේවී කියලා හිතුවේ නෑනේ කවදාවත්.."
මානෙල් කිව්වේ පරණ ලෙන්ගතුකමින්.

" මානෙල් කොයි කාලෙද බැන්දේ.. ආරංචියක්වත් ආවේ නෑනේ.. කැම්පස් ආවෙත් නෑනේ අන්තිමට විභාගෙට ආවෙත් කාර් එකේනේ.. කා එක්කවත් කතා කලේ නෑනේ."

"අපි වාඩි වෙලා කතා කරමුකෝ.." සුනීතා ඉස්පාසුවක් නැතුව කියද්දි මානෙල් සුනීත එක්ක ආලින්දයේ ලොකු පුටු සැටියේ වාඩි වුනා.

විජේ කිව්වම සුනීතා අලුතින් අපොයින්මන්ට් අරන් ආවා කියල, මට ඔයාව දකිනකම් ඉවසිල්ලක් නැති වුනා."

"මං දැනන් හිටියේ නෑනේ මානෙල් විජයව කසාද බැන්දා කියලා.."

" ඔව් සුනීතා, විජය එක්ක තියන සම්බන්ධේ නතර කරන්න කියලා අපේ ඩැඩා මට නියෝග දැම්මා. මැල්කම්ගේ මරණෙත් එක්ක මාත් හුඟක් බය වුනා. ඒක නිසයි මං ගෙදර ගියේ.. ඉන් පස්සේ මට කැම්පස් එන්න දුන් නෑ.. ඒක අපේ ඩැඩාගේ නීතී.. ඔයාලා නොදැන හිටියට උනාට එයා තමයි ඒ කාලේ පොලිස් කමිෂන් බාලසූරිය.. එයාට සී අයි ඩී එකෙන් කියලා මා එක්ක හුඟක් අය අපේ මරන්න ඉන්නවා කියලා මට ගාර්ඩ් එකක් දැම්මේ ඒක නිසා......අන්තිමට විජේට උපාධිය නවත්තලා දාන්න කියලා ගුරු පත්වීම අරන් දුන්නේ අපේ ඩැඩා. මං මැරෙන්න ගිහිපු නිසා. නැත්තම් විජේ දැනුත් ජීවතුන් අතර නැහැ.. අපේ ඩැඩත් ටික කාලෙකින් නැතිවුනා. අපි බැන්ඳේ ඊට පස්සේ.."

හැමදේම සුනීතා දැන ගත්තේ එදා. එතකොට තමාරට මොකද වුනේ.. ඒක සුනීතා ඇහුවේ නෑ... ඒක ගිලගෙන ගෙදර ආවේ විජේ එක්ක මානෙල්ට සුනීතගේ ගෙදර රෑ කෑමකට ආරාධනා කරලා.


සින්ඩරෙල්ලා



එදා තමයි දවස...

ඉර පායලා තිබ්බේ නැගෙනහිරෙන් වුණාට දූපතේ බටහිර පැත්තේ හිටපු මං ඉර ඈතින් අහසට නගිනවා දැක්කා.. ඒත් ඉර බටහිරට එනකම් මට වෙලාව තිබ්බ නිසා මං කලේ මේකප් දාලා පුරුදු වුණ එක...  මේකප් එක දැම්මත් නොදැම්මා වගේ තියෙන්න ඕනා. මට ඕන වුනේ ස්වභාවික විදියට මේකප් එක දාන්න.. ඒත් මගේ මුහුනේ තියන කුරුලෑ වල වල්, කැඩිච්ච කුරුලෑ කැලැල් පෙන්නන්න වුවමනාවක් තිබ්බෙ නැහැ.. මොකද ඒවා වලින් මගේ ලස්සන වැහිලා හරිම අවලස්සන ස්වරූපයක් පේනවා... එහෙම වුණොත් මගේ බලාපොරොත්තු සුන් වෙන්න පුලුවන්... 

මං මගෙත් එක්ක කතා කරන්න පටන් අරන් තිබ්බේ.. කාලෙකට පස්සේ.. මෙහෙම බලාපොරොත්තුවක් ලැබුණ එක හොඳයි.. මොකද මගේ ආසාවල් වලට පණ දෙන්න පුලුවන් ඒක නිසා...


මං කලින් අරගත්ත ලස්සන රෝස පාට දිග සිලික් ගවුම ඇඳගෙන, අඩි උස සපත්තු දාගෙන, හැඩ බැලුවා... ඒ හැඩ බැලිල්ල ඉවර වෙන එකක් වුණේ නැහැ.. කණ්නාඩිය ඉදිරියේ මටම හිනා වෙන ගමන්, හුඟක් වෙලා මං ඒ ලස්සන ගවුම ඇඳන් හිටියා.. මේකප් එකත් දාගෙන.. මං මාත් එක්කම කතා කලා.. කොහොමද මං රාජ කුමාරයට කතා කරන්නේ.. හිනා වෙන්නේ කොහොමද, එයාට ආස හිතෙන්න... ගැහැණු මායමක් දාලා කොහොමද මං එයාව දපනේ දාගන්නේ.. මං ඒ හැම ප්‍රශ්න වලටම පිලිතුරු හෙව්වා කණ්නාඩිය ඉදිරිපිට ඉඳන්.. අන්තිමට මටම හිතුනා මේ ගවුම නස්ති වුණොත් කියලා.. මොකද මං හුඟක් වෙලා ඒ ගවුම ඇඳගෙන එහාට මෙහාට කැරකිලා මටම මගේ දාඩිය ගඳ එන්න ගත්ත නිසා..,ඒ හින්දා හිත හදාගෙන බොහොම අමාරුවෙන් ගවුම ගලවලා හිටියා නියම වෙලාව එනකම්..

ඉර බටහිර මුහුදේ ගිලෙන්න ඔන්න මෙන්න තියෙන්න ස්ථාන ගත වෙද්දි තමයි මගේ නියම වෙලාව ආවේ.. මං බලාපොරොත්තු වුණ නියම වෙලාව...

මං පුරුදු වුණ මේකප් වල පිහිටෙන් හිතට සරිලන මේකප් එකකුත් දාගෙන, මගේ ලස්සන රෝස පාට සිලික් ගවුමත් ඇඳගෙන, අඩි උස සෙරෙප්පු දෙකත් දාගෙන, මං එලියට බැස්සේ මං ප්‍රාර්ථනා කරපු ගමන යන්න.

සින්ඩරෙල්ලා කතාවේ රාත්‍රියේ, සින්ඩරෙල්ලට මොනවගේ හැඟීමක්ද දැනුනේ කියලා මං හිතුවා... මට හිතුනේ මමයි සින්ඩරෙල්ලා කියලා. 

රජ කුමාරයා මං එනකම් බලාන ඇති...


මට ඒ පෙම්වත් සිදුවීම් හීනෙන් වගේ මතක් වෙලා කම්මුල් රතු වුණේ එක පාරට... සමහර වෙලාවට මේකප් එකටත් ඒ ලේ පිරුණු රක්ත පැහැය වසා ගන්න බැරුව ඇති.. කුමාරයා මාව අවලස්සනට දකිවිද කියලත් මට දැනුනේ බයක්..


මං හරිම තැනට ඇවිත් හිටියා.. කලින් මං මෙතන දන්න තැනක් නිසා වැඩි අපහසුවක් වුණේ නැහැ හොයාගන්න.. කොච්චරක් තට්ටු තියන ගොඩනැගිල්ලක්ද කියනවා නම්, උඩම තට්ටු අහසින් වෙන් කරලා හොයාගන්න මට බැරි වුණා.. ඒවා වලාකුලු එක්ක මුහු වෙලා තිබ්බේ.. මට ආස හිතුනා ඒ හරියට යන්න.. වලාකුලු අස්සේ ඉන්නවා වගේ හැඟීමක් ඒ තට්ටු වල ඉන්න අයට ඇති නේද කියලා තමයි මට වැඩියෙන් ආස හිතුනේ.

වලාකුලු ගැන හීන මවන්න වැඩි වෙලා සිදු වුණේ නැහැ.. ප්‍රධාන දොරෙන් ඇතුලු වෙනකොටම මාව හොයාගෙන අදාල පුද්ගලයෙක් ආවා...


" අනේ කෙල්ලේ... මං හුඟක් වෙලා බලන් හිටියා... ඔයා මං මුලින් දැක්කට වඩා ලස්සනයිනේ කෙල්ලේ"

කියලා මගේ කම්මුලට පොඩි තට්ටුවක් දැම්මා.. මං ඒ වෙලාවේ බය වුණා මේකප් ටික මැකිලා යයිද කියලා.. ඒත් මාව එහෙම කවුරුත් වර්ණනා කරලා නැති නිසා මගේ කම්මුල් ආයෙත් හුඟක් රතු වුණා ඇති.. මං බිම බලා ගත්තේ ලැජ්ජාවෙන්...

" ඔහොම ලැජ්ජා වෙලා නම් බැහැ හොඳේ... බොරු කියන්න ඕන නැහැ.. 
හොඳට මේකප් කරලා තියනවා..  ලස්සන ලිප්ස්ටික් පාට කෙල්ලේ" කියලා මාවත් එක්ක සෝපනයට නැග්ගා.


" මං මේ වල ගිහින් නෑනේ.."

" අයියෝ... කෙල්ලේ.., හරි ලේසී, ඔයාට යන්න ඕනා තට්ටුව මෙතනින් ප්‍රෙස් කරන්න විතරයි තියෙන්නේ... යටම තට්ටුවට අපි කියන්නෙ ග්‍රවුන්ඩ් ෆ්ලෝ කියලා... ඒ නිසයි මෙතන ජී අකුර තියෙන්නේ.. අපි යන්න ඕනා දාහතට.. "

එහෙම කියලා එයා දාහත ඉලක්කම එබුවා...
අපි තට්ටු හුඟක් නැග්ගා... ඇත්තටම නැග්ගේ නැහැනේ. සෝපානයකින්නේ මාව එක්ක ගියේ..

"ඔයා ගිය වෙලාවෙ ඉඳන් ඔය විදියට ලස්සනට හිනා වෙන්න ඕනා. හරිද..."

මොන පිස්සුවක්ද අප්පා.., හිනා වෙවි ඉන්න.. මං ඒ මුකුත් කියන්න ගියේ නැහැ..

අපි ඇතුලට ගියා.. එතන ඇත්තටම දේදුන්නක ඇතුල වගේ... කලුවර වුණාට හැම පැත්තෙන්ම දේදුණු එලි විහිදුනා... හරිම ලස්සනට.. ලස්සන සංගීතයක් පසුබිම් වාදනය විදියට වැයුණා...

සින්ඩරෙල්ලෝ එක පෙලට හිටගෙන හිටියා.. මං වගේ අලුත් අය හිටියේ ලැජ්ජාවේ ඇඹරී ඇඹරී... පරණ අය නම් හොඳ නැට්ටුක්කාරියෝ වගේ බැලේ, චාචා වගේ මං නොදන්න හුඟක් නැටුම් වර්ග නට නට හිටියා... එයාල දිහා තමයි කුමාරවරු බලන් හිටියේ හුඟක්.. තමන්ට ආස විදිහට කන්න එක එක කෑම තිබ්බා. මට බඩගින්නක් දැනුන් නැහැ... මං කලේ වෙනස්ම ලෝකයකට ආපු නිසා ඒකෙ සිරි විඳ විඳ බලාපොරොත්තුවෙන් හිටපු එක..


වෙලාව ගතවෙද්දි, රාජ කුමාරවරු එක එක සින්ඩරෙල්ලෝ එක්ක ගියේ හිනාවෙවි... මං බලන් හිටියා.. ඒත් කවුරුත් ආවේ නැහැ...අන්තිමට මට බඩගිනි වෙනකම්ම බලන් ඉන්න සිද්ධ වුණා.... මං වගේ ලස්සනට ඇඳ ගත්ත සින්ඩරෙල්ලො කිහිප දෙනෙක් ඉතුරු වෙලා හිටියා.. හැබැයි දොලහේ කණිසම වෙද්දි සමහරු හිටියේ ස්ලීපින් බියුටිලා වගේ..

"හෙලෝ..." බිකිනි කුමාරියක් මට හෙලෝ කිව්වේ... මං එයාව කලින් දැක්ක ගමන් හිතුවේ නම්,වයින් කරපු ලොකු බාබි ඩෝල් කෙනෙක් කියලා.. මොකද එයා හිටියේ රවුමට කැරකි කැරකි පැය ගාණක් තිස්සේ... දැන් මගේ ළඟට ඇවිත් මා එක කතා කරනවා...

" ඔයා කැමති නැද්ද අපි වගේ ඩාන්ස් කරන්න... ඔයාට හොඳ ෆිගර් එකක් තියෙන්නෙ..."

මං හෙලෝ කියන්නත් ඉස්සෙල්ලා බිකිනි කෙල්ල එහෙම කිව්වා...මට ඇති වුණේ අප්පිරියාවක්..

"අපෝ මට බැහැ..."

"ඔයාට මේකට නිකම්ම ගාණක් හම්බෙනවා.."

එතකොට නම් මට ආස හිතුණා.. මොකද, අම්මගේ අසනීපේ හොඳ කරන්න මට සල්ලිනේ ඕනා...

"කීයක්ද... "

" හිතන්නවත් බැරි තරම්.. ඔයාට ලැබෙනවා වගේ විසි තිස් ගුණයක්.."

"ඇත්තටමද..."

ඒ කියන්නේ මට රාජ කුමාරයෙක් ඕන නැහැ...

"මං කියන්නද බොස්ට...."

බාබි ඩෝල් මගෙන් පෙරෙත්ත කරන්න පටන් අරන් තිබ්බේ. අලුත්ම ලෝකෙකට ආපු අසරණ කෙල්ලෙක්ට දැනෙන අසරණකම පලවෙනි වතාවට දැනෙන්න ගත්තේ සින්ඩරෙල්ලා සුරංගනා කතාව අමතක කරමින්.

"කෝ...ඔයා හොයාගෙනවත් නැහැ තාම කාවවත්..?"

ඒක නම් කිව්වේ හරිම උපහාසයට වගේ..

එහෙම කියලා එයා ටේබල් එක උඩ තිබ්බ රට බීම එක අරන් ඉක්මන්ට ඉක්මන්ට බීගෙන බීගෙන ගියා... මට හිතා ගන්න බැරි වුණා ඒක කොහොම එයා බිව්වද කියලා...

"මගේ නම ස්ටෙෆානි... ඔයා ඕන නම් මේ විදියට නටන්න හරි වෙන මොනවා හරි උදව්වක් හරි,  මට කතා කරන්න. ඕනම කෙනෙක් මාව දන්නවා.."

එහෙම කියලා එයා ආයේ බටේ එල්ලෙන්න ගියා..

ටික ටික සිටු කුමාරවරු පානය කරපු රස බීම වලට පින් සිද්ධ වෙන්න මත් වෙන්න පටන් ගත්තා.. අන්න එතකොට තමයි මට තේරෙන්න ගත්තේ මේක කොච්චර අවලස්සන සින්ඩරෙල්ලා කතාවක්ද කියලා..
සමහර සිටු කුමාරවරු එලි පිට අසික්කිත වැඩ කරන්න ගත්තා... සමහර කෙල්ලො නම් කිසිම වෙනසක් නැතුව ඒවට උදව් වුණා.. සමහරු කෙල්ලො දෙන්නා තුන්දෙනා ඇදගෙන කොහෙද ගියා..

මගේ ළඟට ආවේ නාකිම නාකි මිනිහෙක්.. ඇත්තටම ඒ මිනිහා අපේ සීයටත් වඩා නාකිද මංදා... මට තේරුණා කිසිම කුමාරයෙක් මාව බලන්න එන් නැති විත්තිය.. මං මගේ  හීන මාලිගා ටික ඔක්කොම එකතු කරලා ජනේලෙන් එහාට විසික් කරා... ජනේලේ අරිනකොට මං දැක්කා කිසිම වලාකුලක් ඒ අස්සේ නැති විත්තිය.. පාවි පාවීවත් ඉන්න බැහැනේ,, ඒ හීන මාලිගා ඔක්කොම තට්ටු දහ හතක් පහලට වැටිලා බිඳුනේ කුඩු වෙන්නම.ආයේ කැල්ලක්වත් ඉතිරි වුණා කියලා නම් මං හිතන් නැහැ.. හිතන්නවත් මගේ ළඟ දැන් හිතක් නැහැ...

කෙහෙරැලි



"නිර්මා...!" 

බොස්ගේ වචන එක පාරටම මාව බය කලා.

උදේ පාන්දරම මාව දුටු බොහෝ දෙනෙක් වගේම බොස් ඉන්නේත් ශොක් වෙලා වගෙයි. මං සුපුරුදු හිනාවෙන්...

"ගුඩ් මෝනින් සර්.."

සුපුරුදු විදියටම මං ගුඩ් මෝනින් කිව්වේ කිසිම වෙනසක් නැතුව...

තත්පර කිහිපයකට පස්සේ බොස් දබරගිල්ලෙනුයි මාපටගිල්ලෙනුයි නලල පිරිමැද එතනින් ගියා..


සිදුවුන සිද්දිය වටේ ඉන්න හැමෝම බලාගෙන.. ඊටත් මං දිහා කන්න වගේ බලාගෙන කට්ටිය.   ඒකට කමක් නෑ.. මං නිදහස්.. මට දැන් තියෙන්නේ නිදහස් මනසක්... බැඳීමක් නැති ජීවිතයක තියන නිදහස තේරුම් ගන්න පුලුවන් බැඳීමක් නැති කෙනෙකුටම විතරයි...


"  නිර්මා.. ඔයා ආදරේ නොකලට ඔයාගේ කොණ්ඩෙට හුඟක් අය ආදරේ කරලා..." රශ්මි දුවගෙන ඇවිත් කිව්වේ උපහාසයට වගේ වුනාට එකී හිත හොඳ කෙල්ල. ඒකි දැනන් හිටියා මං එහෙම කලේ ඇයි කියලා. මං හිනා වුනා...

" දැන් හැමදේකටම හිනා වෙන්න එපා නිර්මා.."

"මට අඬන්න අමතක වෙලා.."  මං ආයේ හිනා වුනා...

" නිතේෂ් දැක්කා නම් සිහිය විකල් වෙයි..."

" දැන් නිතේෂ් නෑනේ රශ්මි.."

" සර් කියාවී..."

"මං හිතන් නෑ... ඒක නෙවෙයි රශ්මි මං උයන් ආවා කමුද ඉක්මන්ට.."

අපේ ඩිපාර්ට්මන්ට් එකට යන්න කලින් කලා යන එක හොඳයි කියලා හිතුනේ හැමෝම මගේ කොණ්ඩේ දැකලා වටකරගත්තොත් කන්නවත් වෙන් නැති නිසා.

"හානේ කිරි කොස්... එක්ක කරොල..."

රශ්මි එහෙම කිව්වේ කටට කෙල උනන ගමන් ..
මං ගියේ වෙනම ලෝකෙකට.

කිරිකොස් කියන්නේ නිතේෂ් කැමතිම කෑමක්.. අනික මං උයපුවා..

"ඒවා හරි කිරි රසයි නිරු.."

හැමවෙලේම ආදරේ නොකල නිතේෂ්, කෑමක් හදන් ආවම වර්ණනා නොකර හිටියේ නෑ කවමදාකවත්...

"මට ඉස්සරහට රසට කන්න පුලුවන් නිරූ.." ඔයාට රහට උයන්න පුලුවන්... එයා මං උයපුව කෑවේ පොඩි දරුවෙක් දවස් ගානක් බඩගින්න හිටියා වගේ... වෙන කෙනෙක් කාවි කියලා වගේ ඉක්මන්ට ඉක්මන්ට කනවා..

" අයියෝ හිර වෙයි ඔහොම කාලා... " මං හිනාවෙනවා එයා කන වේගේ දැකලා..

"හාල්මැස්සෝ තෙල් දාලා ගේන්නකෝ.."
මං වැඩිය ආස නැති වුනාට හාල් මැස්සෝ එයා වෙනුවෙන් හදන් ආවා...

හැමවෙලේම මගේ ගොතපු කොණ්ඩෙ ලිහලා එයා අතින් පිරිමදිනවා.. ආයේ අපි වෙන් වෙලා යනකොට ඒක ගුලියක් වෙන්න බඳින්න ඕනා. ඒක නීතියක්. ඇත්තටම එකම තහනම කොණ්ඩේ සමාජයට නිරාවරණය කිරීම. ඒත් මං ගොතාගෙන ආවා. සමහර දවසට නිකම්ම බූල් බෑන්ඩ් එකක් දාන් ආවා, පෝනි ටේල් එකක් වෙන්න.එදාට මූණ තරහෙන් රතු වෙලා.. 


නිතේෂ් කියන්නේ මං දැන ගන්න කලින් මගෙ බොස්ගේ  යාලුවෙක්. එයා මාව යාලු කර ගත්තේ ෆේස්බුක් එකෙන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාලා. පොඩියට කතා කරලා තිබුනට මං නිතේෂ්ව කවුද කියන්න දැනගෙන හිටියේ නැහැ.. මං කතා කලෙත් නැහැ වැඩිපුර ඇත්තම කියනවා නම්.. ඒත් නිතේෂ් නම් හැමවෙලේම මං එක්ක ෆ්‍රේස් බුක් එකෙන් චැට් කරන්න අරං තිබුනේ... මං පොඩියට රිප්ලයි ඇරියේ මේ කරදරකාරයව ටික දවසකින් අන්ෆ්‍රෙන්ඩ් කරනවා කියලා හිතාගෙන... ඒත් එයා එව්වේ දිග මැසේජ්..
අන්ෆ්‍රෙන්ඩ් කලාම එයා දැන ගත්තා මං එයාව අන්ෆ්‍රෙන්ඩ් කලා කියලා..

"අන් ෆ්‍රෙන්ඩ් කලා නේද.  මං ඔයාව අද බලන්න එනවා.."

එහෙම එෆ් බී මැසේජ් එකක් එවලා තිබ්බේ උදේ පාන්දර. මං එච්චර ගනන් ගත්තේ නැහැ.. වෙනදා වගේ උදේම වැඩට ගියා.. සාමාන්‍ය විදියට දහය පහු වෙනකම් වැඩ කලා. හැමෝම උදේ ටී එකට ගියාට මට යන්න බැරි වුනේ හවස බොස්ට දෙන්න ඕන වැඩක් ඉවර කරන්න තිබුන නිසා. එක පාර මගේ ටේබල් එකට ඉස්සරහ පුටුවේ ඉඳ ගත්තේ, කොල්ලෙක්.. මුලින් අඳුන ගන්න බැරි වුනත් මං හැඳිනුවා කවුද කියලා. මගේ ඇඟ ඇතුලේ කෙටුවේ මහ විදුලියක්.. ඒක මෙගා වොට් දාහ දාහත් පන්නන්න ඇති. ඒක එයා දැක්කා.. මං හිටියේ කතා කර ගන්න බැරුව.. ඇත්තටම මං කතා කරන්න ඕනා මොනවද කියලා දැනන් හිටියේත් නැහැ .


"අයැම් නිතේෂ් සමරසිංහ..." එයා කිවේ අත් දික්කරන ගමන්, මං හිටියේ වතුරෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ...

"හිතුවේ නෑ නේද මං ඒවී කියලා.. ඔයා නොදැන හිටියට මං ඔයාව දැනගෙන හිටියා..."
මං හිටපු තත්වේ දැනගෙන නිතේෂ්ම එතනින් ගියා... එයා ගිහින් විනාඩි කිහිපයක් ගතවුනා මං යථා තත්වෙට එන්න...

" මොකද හීනෙන් බය වෙලා වගේ..." එහා සීට් එකේ මේඛලා ඇවිත් ඇහුවමයි මං පියවි සිහියට ආවේ...

කොල්ලෙක්ට පුලුවන්ද කෙල්ලෙක්ව මේ තරම් අසිහියට පත් කරන්න...

"මං ටී එක අරන් එන්නම්.." මං එතනින් ගියේ ටී එක බොන්නම විතරක් නෙවෙයි. නිතේෂ් කොහෙද ගියේ කියලා හොයන්න..

මං එලියේ විසිටින් ඒරියා එකේ බැලුවත් නිතේෂ් හිටියේ නැහැ. මං හීනයක් දැක්කද කියලත් මට අවිශ්වාසෙකින් හිටියේ.. ඉන් පස්සෙ මං හවස ප්‍රසන්ටේෂන් එක රෙඩි කලා. පොඩ්ඩක්වත් ප්‍රැක්ටිස් වෙන්න වෙලා තිබුනෙත් නෑ..

"තුනට මීටින් එක.."  මේඛලා එහෙම කියාගෙන ආවේ සර්ගේ රූම් එකට ගිහින් දෙකහමාරට විතර ඇති.

ඒක අපේ අලුත් ප්‍රොජෙක්ට් එකේ ප්‍රපෝසල් එක.

කොන්ෆරන්ස් රූම් එකේ හිටියේ බොස් එක්ක, නිතේෂ් , මාව ටිකකට ආයෙත් විදුලි සැර කිහිපයකට අහු වුනා.. කරන්න දෙයක් තිබ්බේ නැහැ. අම්මව මතක් කරන් මං ප්‍රසන්ටේෂන් එක කලා. මට අසරණ වල හැමවෙලේම අම්ම මට උදව් කලා වගේම මං අසරණ වෙන හැමවෙලේම මං අම්මව මතක් කරන් හැමදේම සාර්ථකව කලා.

මාකටින්  ඩිපාර්ට්මන්ට් එකෙන් කරපු හොඳම ප්‍රසන්ටේෂන් එක ඒක තමයි කියලා බොස් මට තෑන්ක්ස් කලා.

"නිර්මා... මේ නිතේෂ් මගේ යාළුවෙක්.. එයා තමයි මේ ප්‍රොජෙක්ට් එක හැන්ඩ්ල් කරන්නේ වෙලෝස් කම්පැණි එකේ.."

මං ආයෙම තුන්වෙනි වතාවටත් විදුලි කුණාටුවකට අහුවුනා.

නිතේෂ් ආදරේ කිව්වේ අපේ ප්‍රොජෙක්ට් එකෙන් අපි සක්සස් වෙච්ච දවසේ.. ඒ කියන්නේ අපි වැඩිම ලාභයක් ඉපයපු දවසේ... ඔන්ලයින් මාකටින් වලට යමු කියන ප්‍රොපොසල් එක මමයි නොහිතපු වෙලාවක අපේ බිස්නස් ඩවුන් වෙලා තියන වෙලාවක ගෙනාවේ.. නිතේෂ් බිස්නස් වැඩ කලාට අයි.ටී. ගැනත් දන්නවා කිව්ව නිසා, එයා එක රැයින් වෙබ් පිටුවක් හදලා තිබුනේ මාව පුදුම කරන්න.. අපි සෝෂල් මීඩියා වලට දාල වෙබ් එක ලෝන්ච් කලේ ඩිස්කවුන්ට් වලින්. මුල්ම විසි පහට ඩිස්කවුන්ට් දෙනවා කිව්වම මුලින්ම දහස පන්නලා අපේ රේටින් තිබ්බා...
එයා පස්සේ කිව්වේ මගේ ප්‍රොපොසල් එක එයා කලින්ම දැක්ක නිසා ටික ටික වෙබ් එක ඩිවලොප් කරන් ආවා කියලා..


මගේ ආදරේ ගලාගෙන යන අතරෙයි මට මගේ කියලා හිටිය එකම කෙනා වුන අම්ම පිලිකාවකින් දුක් විඳිනවා කියලා දැන ගත්තේ.. මං අම්මව බලාගන්න ඔන නිසා ගෙදර නැවතුනේ කාටවත් නොකියා.. හුඟක් දවසට මං හිටියේ මහරගම පිලිකා රෝහලේ..
මගේ අම්මා නැතුව මං ජීවත් වෙන්නෙ කොහොමද කියලා මං දැනන් හිටියේ නැහැ. මගෙ අම්මට කීමෝ දෙන්න පටන් ගත්තට පස්සේ හුඟක් ලස්සනට හිටපු අම්මා මැලවුනා. කොණ්ඩේ ගියා. මගේ අත් දෙක අල්ලන් අම්මා ඇඬුවේ කිසිදෙයක් කියාගන්න බැරුව.. මටත් කියන්න කියලා වචන හොයාගන්න බැරි වුනා. ඔක්කොම පපුවේ හිරවෙලා තිබ්බා...

අම්මාට තව දුරටත් කරන්න දෙයක් නෑ පුතේ.. අම්මව ගෙදර එක්ක යන්න කියලා ලොකු දොස්තර කිව්ව දවසේ මගේ හැමදේම කඩාගෙන වැටුනා.. අම්මට කිසි දෙයක් නොකියා අම්මට දැන් හොඳයි කියලා බිම බලාගෙන අම්මගෙ බඩු පැක් කලේ කඳුලු හංග ගන්න ගමන්... මට උදව් කරන්න කියලා කවුරුත් හිටියේ නැහැ..

නිතේෂ් කියල කෙනෙක් මට මතක තිබුනේ නැහැ.. එයා මට කෝල් කලත් මං උත්තර දුන් නෑ කිසිමදේකට. හැමදේම වුනේ මාස දෙකක් වගේ කාලයක් ඇතුලත.. 

ගෙදර ඇවිත් හුඟ දවසට කලේ අම්මා කණ්නාඩියෙන් මූණ බලන් අඬන එක. මට අම්ම වෙනුවෙන් කරන්නෙ මොනවද කියලා තේරුම් ගන්න ශක්තියක් තිබුනේ නැහැ.. අම්මා කෙස් ගස් කිහිපයක් ඉතිරි වුන තට්ට හිස අල්ලන් අන්තිම කාලේ මගෙ අතින් සුප් බිව්වා. මට අදටත් මතක් කරගන්න පුලුවන් එච්චරයි.


ඉන් පස්සේ හැමදේම නැති වුනා. මේඛලා මාව බලන්න අනුරාධපුරේ ආවේ ඒ අතර. සර් ආයේ මට ජොබ් එකට එන්න කියලා කෝල් කලා. කරන්න දෙයක් මට නොතිබුන නිසා මං ආයේ ජොබ් එකට ගියා. හැමදේම අලුතින් පටන් ගන්න ඕන උනා. අපේ ප්‍රොජෙක්ට් එක වෙන කෙනෙක් නිතේෂ් එක්ක හැන්ඩ්ල් කලා. මං එක්ක නිතේෂ් කතා කරන්න හැදුවත්  කලින් හිටිය නිර්මා හුඟක් නිශ්ශබ්ද චරිතයකට වෙනස් වෙලා තිබුනා.. නිතේෂ්ට ආදරේ කලත් මං මට ආදරේ නොකරන තත්වෙට පත් වෙලා තිබුනේ.. හැමදේම හැදෙන්න කාලයක් ගියා..

"නිරු.. මට සමා වෙන්න. මං හිතුවේ නැහැ මෙහෙම දෙයක්.. මං හිතුවේ ඔයා මාව දාල ගියා කියලා.."

"අනේ නිරූ කතා කරන්නකෝ.."

"මොනවා කතා කරන්නද නිතේෂ්...."

ආදරේ මගේ හිතේ තිබුනත් ඒකට මං බය වුනා. මං හැමවෙලේම හැමෝගෙන්ම ඈත් වෙලා ඉන්න උත්සහ කලා.

අන්තිමට නිතේෂ් මගෙන් ගියා. කොල්ලෙක්ට උනත් කෙල්ලෙක් හැමදාම ප්‍රතික්ෂේප කරනකොට ඉන්න පුලුවන්කමක් නැහැ කියලා මං දැනන් හිටියට මට ඒ ගැන හිතන්න පුලුවන්කමක් තිබ්බේ නැහැ.

" නිර්මා... කලා ඉවර නම් යමු..."

කෑම එකත් ඉවර වෙලා තිබුනා. මං හිටියේ අත ගගා.. හැමදාම වගේ දුක පිරිලා තිබුනත් මං නිසා හෙට අනිද්දා වෙනකොට කවුරුහරි 
කාගේ හරි හිතට සතුටක් ගෙනේවි කියලා හිතුනා.

ප්‍රේමිය.. මම.. නුඹේ කෙමිය, මතට වැටිමි. මල් පෙතිතර  සැඟවෙමි. මකරද මත ගිලෙමි.