සින්ඩරෙල්ලා



එදා තමයි දවස...

ඉර පායලා තිබ්බේ නැගෙනහිරෙන් වුණාට දූපතේ බටහිර පැත්තේ හිටපු මං ඉර ඈතින් අහසට නගිනවා දැක්කා.. ඒත් ඉර බටහිරට එනකම් මට වෙලාව තිබ්බ නිසා මං කලේ මේකප් දාලා පුරුදු වුණ එක...  මේකප් එක දැම්මත් නොදැම්මා වගේ තියෙන්න ඕනා. මට ඕන වුනේ ස්වභාවික විදියට මේකප් එක දාන්න.. ඒත් මගේ මුහුනේ තියන කුරුලෑ වල වල්, කැඩිච්ච කුරුලෑ කැලැල් පෙන්නන්න වුවමනාවක් තිබ්බෙ නැහැ.. මොකද ඒවා වලින් මගේ ලස්සන වැහිලා හරිම අවලස්සන ස්වරූපයක් පේනවා... එහෙම වුණොත් මගේ බලාපොරොත්තු සුන් වෙන්න පුලුවන්... 

මං මගෙත් එක්ක කතා කරන්න පටන් අරන් තිබ්බේ.. කාලෙකට පස්සේ.. මෙහෙම බලාපොරොත්තුවක් ලැබුණ එක හොඳයි.. මොකද මගේ ආසාවල් වලට පණ දෙන්න පුලුවන් ඒක නිසා...


මං කලින් අරගත්ත ලස්සන රෝස පාට දිග සිලික් ගවුම ඇඳගෙන, අඩි උස සපත්තු දාගෙන, හැඩ බැලුවා... ඒ හැඩ බැලිල්ල ඉවර වෙන එකක් වුණේ නැහැ.. කණ්නාඩිය ඉදිරියේ මටම හිනා වෙන ගමන්, හුඟක් වෙලා මං ඒ ලස්සන ගවුම ඇඳන් හිටියා.. මේකප් එකත් දාගෙන.. මං මාත් එක්කම කතා කලා.. කොහොමද මං රාජ කුමාරයට කතා කරන්නේ.. හිනා වෙන්නේ කොහොමද, එයාට ආස හිතෙන්න... ගැහැණු මායමක් දාලා කොහොමද මං එයාව දපනේ දාගන්නේ.. මං ඒ හැම ප්‍රශ්න වලටම පිලිතුරු හෙව්වා කණ්නාඩිය ඉදිරිපිට ඉඳන්.. අන්තිමට මටම හිතුනා මේ ගවුම නස්ති වුණොත් කියලා.. මොකද මං හුඟක් වෙලා ඒ ගවුම ඇඳගෙන එහාට මෙහාට කැරකිලා මටම මගේ දාඩිය ගඳ එන්න ගත්ත නිසා..,ඒ හින්දා හිත හදාගෙන බොහොම අමාරුවෙන් ගවුම ගලවලා හිටියා නියම වෙලාව එනකම්..

ඉර බටහිර මුහුදේ ගිලෙන්න ඔන්න මෙන්න තියෙන්න ස්ථාන ගත වෙද්දි තමයි මගේ නියම වෙලාව ආවේ.. මං බලාපොරොත්තු වුණ නියම වෙලාව...

මං පුරුදු වුණ මේකප් වල පිහිටෙන් හිතට සරිලන මේකප් එකකුත් දාගෙන, මගේ ලස්සන රෝස පාට සිලික් ගවුමත් ඇඳගෙන, අඩි උස සෙරෙප්පු දෙකත් දාගෙන, මං එලියට බැස්සේ මං ප්‍රාර්ථනා කරපු ගමන යන්න.

සින්ඩරෙල්ලා කතාවේ රාත්‍රියේ, සින්ඩරෙල්ලට මොනවගේ හැඟීමක්ද දැනුනේ කියලා මං හිතුවා... මට හිතුනේ මමයි සින්ඩරෙල්ලා කියලා. 

රජ කුමාරයා මං එනකම් බලාන ඇති...


මට ඒ පෙම්වත් සිදුවීම් හීනෙන් වගේ මතක් වෙලා කම්මුල් රතු වුණේ එක පාරට... සමහර වෙලාවට මේකප් එකටත් ඒ ලේ පිරුණු රක්ත පැහැය වසා ගන්න බැරුව ඇති.. කුමාරයා මාව අවලස්සනට දකිවිද කියලත් මට දැනුනේ බයක්..


මං හරිම තැනට ඇවිත් හිටියා.. කලින් මං මෙතන දන්න තැනක් නිසා වැඩි අපහසුවක් වුණේ නැහැ හොයාගන්න.. කොච්චරක් තට්ටු තියන ගොඩනැගිල්ලක්ද කියනවා නම්, උඩම තට්ටු අහසින් වෙන් කරලා හොයාගන්න මට බැරි වුණා.. ඒවා වලාකුලු එක්ක මුහු වෙලා තිබ්බේ.. මට ආස හිතුනා ඒ හරියට යන්න.. වලාකුලු අස්සේ ඉන්නවා වගේ හැඟීමක් ඒ තට්ටු වල ඉන්න අයට ඇති නේද කියලා තමයි මට වැඩියෙන් ආස හිතුනේ.

වලාකුලු ගැන හීන මවන්න වැඩි වෙලා සිදු වුණේ නැහැ.. ප්‍රධාන දොරෙන් ඇතුලු වෙනකොටම මාව හොයාගෙන අදාල පුද්ගලයෙක් ආවා...


" අනේ කෙල්ලේ... මං හුඟක් වෙලා බලන් හිටියා... ඔයා මං මුලින් දැක්කට වඩා ලස්සනයිනේ කෙල්ලේ"

කියලා මගේ කම්මුලට පොඩි තට්ටුවක් දැම්මා.. මං ඒ වෙලාවේ බය වුණා මේකප් ටික මැකිලා යයිද කියලා.. ඒත් මාව එහෙම කවුරුත් වර්ණනා කරලා නැති නිසා මගේ කම්මුල් ආයෙත් හුඟක් රතු වුණා ඇති.. මං බිම බලා ගත්තේ ලැජ්ජාවෙන්...

" ඔහොම ලැජ්ජා වෙලා නම් බැහැ හොඳේ... බොරු කියන්න ඕන නැහැ.. 
හොඳට මේකප් කරලා තියනවා..  ලස්සන ලිප්ස්ටික් පාට කෙල්ලේ" කියලා මාවත් එක්ක සෝපනයට නැග්ගා.


" මං මේ වල ගිහින් නෑනේ.."

" අයියෝ... කෙල්ලේ.., හරි ලේසී, ඔයාට යන්න ඕනා තට්ටුව මෙතනින් ප්‍රෙස් කරන්න විතරයි තියෙන්නේ... යටම තට්ටුවට අපි කියන්නෙ ග්‍රවුන්ඩ් ෆ්ලෝ කියලා... ඒ නිසයි මෙතන ජී අකුර තියෙන්නේ.. අපි යන්න ඕනා දාහතට.. "

එහෙම කියලා එයා දාහත ඉලක්කම එබුවා...
අපි තට්ටු හුඟක් නැග්ගා... ඇත්තටම නැග්ගේ නැහැනේ. සෝපානයකින්නේ මාව එක්ක ගියේ..

"ඔයා ගිය වෙලාවෙ ඉඳන් ඔය විදියට ලස්සනට හිනා වෙන්න ඕනා. හරිද..."

මොන පිස්සුවක්ද අප්පා.., හිනා වෙවි ඉන්න.. මං ඒ මුකුත් කියන්න ගියේ නැහැ..

අපි ඇතුලට ගියා.. එතන ඇත්තටම දේදුන්නක ඇතුල වගේ... කලුවර වුණාට හැම පැත්තෙන්ම දේදුණු එලි විහිදුනා... හරිම ලස්සනට.. ලස්සන සංගීතයක් පසුබිම් වාදනය විදියට වැයුණා...

සින්ඩරෙල්ලෝ එක පෙලට හිටගෙන හිටියා.. මං වගේ අලුත් අය හිටියේ ලැජ්ජාවේ ඇඹරී ඇඹරී... පරණ අය නම් හොඳ නැට්ටුක්කාරියෝ වගේ බැලේ, චාචා වගේ මං නොදන්න හුඟක් නැටුම් වර්ග නට නට හිටියා... එයාල දිහා තමයි කුමාරවරු බලන් හිටියේ හුඟක්.. තමන්ට ආස විදිහට කන්න එක එක කෑම තිබ්බා. මට බඩගින්නක් දැනුන් නැහැ... මං කලේ වෙනස්ම ලෝකයකට ආපු නිසා ඒකෙ සිරි විඳ විඳ බලාපොරොත්තුවෙන් හිටපු එක..


වෙලාව ගතවෙද්දි, රාජ කුමාරවරු එක එක සින්ඩරෙල්ලෝ එක්ක ගියේ හිනාවෙවි... මං බලන් හිටියා.. ඒත් කවුරුත් ආවේ නැහැ...අන්තිමට මට බඩගිනි වෙනකම්ම බලන් ඉන්න සිද්ධ වුණා.... මං වගේ ලස්සනට ඇඳ ගත්ත සින්ඩරෙල්ලො කිහිප දෙනෙක් ඉතුරු වෙලා හිටියා.. හැබැයි දොලහේ කණිසම වෙද්දි සමහරු හිටියේ ස්ලීපින් බියුටිලා වගේ..

"හෙලෝ..." බිකිනි කුමාරියක් මට හෙලෝ කිව්වේ... මං එයාව කලින් දැක්ක ගමන් හිතුවේ නම්,වයින් කරපු ලොකු බාබි ඩෝල් කෙනෙක් කියලා.. මොකද එයා හිටියේ රවුමට කැරකි කැරකි පැය ගාණක් තිස්සේ... දැන් මගේ ළඟට ඇවිත් මා එක කතා කරනවා...

" ඔයා කැමති නැද්ද අපි වගේ ඩාන්ස් කරන්න... ඔයාට හොඳ ෆිගර් එකක් තියෙන්නෙ..."

මං හෙලෝ කියන්නත් ඉස්සෙල්ලා බිකිනි කෙල්ල එහෙම කිව්වා...මට ඇති වුණේ අප්පිරියාවක්..

"අපෝ මට බැහැ..."

"ඔයාට මේකට නිකම්ම ගාණක් හම්බෙනවා.."

එතකොට නම් මට ආස හිතුණා.. මොකද, අම්මගේ අසනීපේ හොඳ කරන්න මට සල්ලිනේ ඕනා...

"කීයක්ද... "

" හිතන්නවත් බැරි තරම්.. ඔයාට ලැබෙනවා වගේ විසි තිස් ගුණයක්.."

"ඇත්තටමද..."

ඒ කියන්නේ මට රාජ කුමාරයෙක් ඕන නැහැ...

"මං කියන්නද බොස්ට...."

බාබි ඩෝල් මගෙන් පෙරෙත්ත කරන්න පටන් අරන් තිබ්බේ. අලුත්ම ලෝකෙකට ආපු අසරණ කෙල්ලෙක්ට දැනෙන අසරණකම පලවෙනි වතාවට දැනෙන්න ගත්තේ සින්ඩරෙල්ලා සුරංගනා කතාව අමතක කරමින්.

"කෝ...ඔයා හොයාගෙනවත් නැහැ තාම කාවවත්..?"

ඒක නම් කිව්වේ හරිම උපහාසයට වගේ..

එහෙම කියලා එයා ටේබල් එක උඩ තිබ්බ රට බීම එක අරන් ඉක්මන්ට ඉක්මන්ට බීගෙන බීගෙන ගියා... මට හිතා ගන්න බැරි වුණා ඒක කොහොම එයා බිව්වද කියලා...

"මගේ නම ස්ටෙෆානි... ඔයා ඕන නම් මේ විදියට නටන්න හරි වෙන මොනවා හරි උදව්වක් හරි,  මට කතා කරන්න. ඕනම කෙනෙක් මාව දන්නවා.."

එහෙම කියලා එයා ආයේ බටේ එල්ලෙන්න ගියා..

ටික ටික සිටු කුමාරවරු පානය කරපු රස බීම වලට පින් සිද්ධ වෙන්න මත් වෙන්න පටන් ගත්තා.. අන්න එතකොට තමයි මට තේරෙන්න ගත්තේ මේක කොච්චර අවලස්සන සින්ඩරෙල්ලා කතාවක්ද කියලා..
සමහර සිටු කුමාරවරු එලි පිට අසික්කිත වැඩ කරන්න ගත්තා... සමහර කෙල්ලො නම් කිසිම වෙනසක් නැතුව ඒවට උදව් වුණා.. සමහරු කෙල්ලො දෙන්නා තුන්දෙනා ඇදගෙන කොහෙද ගියා..

මගේ ළඟට ආවේ නාකිම නාකි මිනිහෙක්.. ඇත්තටම ඒ මිනිහා අපේ සීයටත් වඩා නාකිද මංදා... මට තේරුණා කිසිම කුමාරයෙක් මාව බලන්න එන් නැති විත්තිය.. මං මගේ  හීන මාලිගා ටික ඔක්කොම එකතු කරලා ජනේලෙන් එහාට විසික් කරා... ජනේලේ අරිනකොට මං දැක්කා කිසිම වලාකුලක් ඒ අස්සේ නැති විත්තිය.. පාවි පාවීවත් ඉන්න බැහැනේ,, ඒ හීන මාලිගා ඔක්කොම තට්ටු දහ හතක් පහලට වැටිලා බිඳුනේ කුඩු වෙන්නම.ආයේ කැල්ලක්වත් ඉතිරි වුණා කියලා නම් මං හිතන් නැහැ.. හිතන්නවත් මගේ ළඟ දැන් හිතක් නැහැ...

6 comments:

  1. ලස්සනට ලියලා තියෙනවා අරූ .

    සමහර හීන පාට පාටින් පාට කරන්න හැදුවට සමහර වෙලාවට නොදැනුවත්වම අපි හීනය පුරාවට පාට කරන්න පාවිච්චි කරලා තියෙන්නේ කළු පාට .

    2011 ද කොහෙද පෙන්නපු Sleeping Beauty ඩ්‍රාම ෆිල්ම් එකේ Lucy ගේ චරිතය මතක් උනා .

    ReplyDelete
    Replies
    1. මාත් ඔබ කිව්ව ෆිල්ම් එක නම් බැලුවා.. ඒත් දැන් මතක නැහැ..ඒක මහ පිස්සු කතාවක් කියලා මට හිතුන බව නම් මට මතකයි...බොහොම ස්තූතියි කලන ඔබගේ ඇගයීම් වලට...

      Delete
  2. ඒ කතාව😢😢දුක්බරයි ඒත් නියමෙට ගලන් ගිහින්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කිඹුලි... ඔබගේ වටිනා ඇගයුමට...

      Delete
  3. නූතන සින්ඩරැල්ලාගේ කතාව

    ReplyDelete

ප්‍රේමිය.. මම.. නුඹේ කෙමිය, මතට වැටිමි. මල් පෙතිතර  සැඟවෙමි. මකරද මත ගිලෙමි.