කෙහෙරැලි



"නිර්මා...!" 

බොස්ගේ වචන එක පාරටම මාව බය කලා.

උදේ පාන්දරම මාව දුටු බොහෝ දෙනෙක් වගේම බොස් ඉන්නේත් ශොක් වෙලා වගෙයි. මං සුපුරුදු හිනාවෙන්...

"ගුඩ් මෝනින් සර්.."

සුපුරුදු විදියටම මං ගුඩ් මෝනින් කිව්වේ කිසිම වෙනසක් නැතුව...

තත්පර කිහිපයකට පස්සේ බොස් දබරගිල්ලෙනුයි මාපටගිල්ලෙනුයි නලල පිරිමැද එතනින් ගියා..


සිදුවුන සිද්දිය වටේ ඉන්න හැමෝම බලාගෙන.. ඊටත් මං දිහා කන්න වගේ බලාගෙන කට්ටිය.   ඒකට කමක් නෑ.. මං නිදහස්.. මට දැන් තියෙන්නේ නිදහස් මනසක්... බැඳීමක් නැති ජීවිතයක තියන නිදහස තේරුම් ගන්න පුලුවන් බැඳීමක් නැති කෙනෙකුටම විතරයි...


"  නිර්මා.. ඔයා ආදරේ නොකලට ඔයාගේ කොණ්ඩෙට හුඟක් අය ආදරේ කරලා..." රශ්මි දුවගෙන ඇවිත් කිව්වේ උපහාසයට වගේ වුනාට එකී හිත හොඳ කෙල්ල. ඒකි දැනන් හිටියා මං එහෙම කලේ ඇයි කියලා. මං හිනා වුනා...

" දැන් හැමදේකටම හිනා වෙන්න එපා නිර්මා.."

"මට අඬන්න අමතක වෙලා.."  මං ආයේ හිනා වුනා...

" නිතේෂ් දැක්කා නම් සිහිය විකල් වෙයි..."

" දැන් නිතේෂ් නෑනේ රශ්මි.."

" සර් කියාවී..."

"මං හිතන් නෑ... ඒක නෙවෙයි රශ්මි මං උයන් ආවා කමුද ඉක්මන්ට.."

අපේ ඩිපාර්ට්මන්ට් එකට යන්න කලින් කලා යන එක හොඳයි කියලා හිතුනේ හැමෝම මගේ කොණ්ඩේ දැකලා වටකරගත්තොත් කන්නවත් වෙන් නැති නිසා.

"හානේ කිරි කොස්... එක්ක කරොල..."

රශ්මි එහෙම කිව්වේ කටට කෙල උනන ගමන් ..
මං ගියේ වෙනම ලෝකෙකට.

කිරිකොස් කියන්නේ නිතේෂ් කැමතිම කෑමක්.. අනික මං උයපුවා..

"ඒවා හරි කිරි රසයි නිරු.."

හැමවෙලේම ආදරේ නොකල නිතේෂ්, කෑමක් හදන් ආවම වර්ණනා නොකර හිටියේ නෑ කවමදාකවත්...

"මට ඉස්සරහට රසට කන්න පුලුවන් නිරූ.." ඔයාට රහට උයන්න පුලුවන්... එයා මං උයපුව කෑවේ පොඩි දරුවෙක් දවස් ගානක් බඩගින්න හිටියා වගේ... වෙන කෙනෙක් කාවි කියලා වගේ ඉක්මන්ට ඉක්මන්ට කනවා..

" අයියෝ හිර වෙයි ඔහොම කාලා... " මං හිනාවෙනවා එයා කන වේගේ දැකලා..

"හාල්මැස්සෝ තෙල් දාලා ගේන්නකෝ.."
මං වැඩිය ආස නැති වුනාට හාල් මැස්සෝ එයා වෙනුවෙන් හදන් ආවා...

හැමවෙලේම මගේ ගොතපු කොණ්ඩෙ ලිහලා එයා අතින් පිරිමදිනවා.. ආයේ අපි වෙන් වෙලා යනකොට ඒක ගුලියක් වෙන්න බඳින්න ඕනා. ඒක නීතියක්. ඇත්තටම එකම තහනම කොණ්ඩේ සමාජයට නිරාවරණය කිරීම. ඒත් මං ගොතාගෙන ආවා. සමහර දවසට නිකම්ම බූල් බෑන්ඩ් එකක් දාන් ආවා, පෝනි ටේල් එකක් වෙන්න.එදාට මූණ තරහෙන් රතු වෙලා.. 


නිතේෂ් කියන්නේ මං දැන ගන්න කලින් මගෙ බොස්ගේ  යාලුවෙක්. එයා මාව යාලු කර ගත්තේ ෆේස්බුක් එකෙන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දාලා. පොඩියට කතා කරලා තිබුනට මං නිතේෂ්ව කවුද කියන්න දැනගෙන හිටියේ නැහැ.. මං කතා කලෙත් නැහැ වැඩිපුර ඇත්තම කියනවා නම්.. ඒත් නිතේෂ් නම් හැමවෙලේම මං එක්ක ෆ්‍රේස් බුක් එකෙන් චැට් කරන්න අරං තිබුනේ... මං පොඩියට රිප්ලයි ඇරියේ මේ කරදරකාරයව ටික දවසකින් අන්ෆ්‍රෙන්ඩ් කරනවා කියලා හිතාගෙන... ඒත් එයා එව්වේ දිග මැසේජ්..
අන්ෆ්‍රෙන්ඩ් කලාම එයා දැන ගත්තා මං එයාව අන්ෆ්‍රෙන්ඩ් කලා කියලා..

"අන් ෆ්‍රෙන්ඩ් කලා නේද.  මං ඔයාව අද බලන්න එනවා.."

එහෙම එෆ් බී මැසේජ් එකක් එවලා තිබ්බේ උදේ පාන්දර. මං එච්චර ගනන් ගත්තේ නැහැ.. වෙනදා වගේ උදේම වැඩට ගියා.. සාමාන්‍ය විදියට දහය පහු වෙනකම් වැඩ කලා. හැමෝම උදේ ටී එකට ගියාට මට යන්න බැරි වුනේ හවස බොස්ට දෙන්න ඕන වැඩක් ඉවර කරන්න තිබුන නිසා. එක පාර මගේ ටේබල් එකට ඉස්සරහ පුටුවේ ඉඳ ගත්තේ, කොල්ලෙක්.. මුලින් අඳුන ගන්න බැරි වුනත් මං හැඳිනුවා කවුද කියලා. මගේ ඇඟ ඇතුලේ කෙටුවේ මහ විදුලියක්.. ඒක මෙගා වොට් දාහ දාහත් පන්නන්න ඇති. ඒක එයා දැක්කා.. මං හිටියේ කතා කර ගන්න බැරුව.. ඇත්තටම මං කතා කරන්න ඕනා මොනවද කියලා දැනන් හිටියේත් නැහැ .


"අයැම් නිතේෂ් සමරසිංහ..." එයා කිවේ අත් දික්කරන ගමන්, මං හිටියේ වතුරෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ...

"හිතුවේ නෑ නේද මං ඒවී කියලා.. ඔයා නොදැන හිටියට මං ඔයාව දැනගෙන හිටියා..."
මං හිටපු තත්වේ දැනගෙන නිතේෂ්ම එතනින් ගියා... එයා ගිහින් විනාඩි කිහිපයක් ගතවුනා මං යථා තත්වෙට එන්න...

" මොකද හීනෙන් බය වෙලා වගේ..." එහා සීට් එකේ මේඛලා ඇවිත් ඇහුවමයි මං පියවි සිහියට ආවේ...

කොල්ලෙක්ට පුලුවන්ද කෙල්ලෙක්ව මේ තරම් අසිහියට පත් කරන්න...

"මං ටී එක අරන් එන්නම්.." මං එතනින් ගියේ ටී එක බොන්නම විතරක් නෙවෙයි. නිතේෂ් කොහෙද ගියේ කියලා හොයන්න..

මං එලියේ විසිටින් ඒරියා එකේ බැලුවත් නිතේෂ් හිටියේ නැහැ. මං හීනයක් දැක්කද කියලත් මට අවිශ්වාසෙකින් හිටියේ.. ඉන් පස්සෙ මං හවස ප්‍රසන්ටේෂන් එක රෙඩි කලා. පොඩ්ඩක්වත් ප්‍රැක්ටිස් වෙන්න වෙලා තිබුනෙත් නෑ..

"තුනට මීටින් එක.."  මේඛලා එහෙම කියාගෙන ආවේ සර්ගේ රූම් එකට ගිහින් දෙකහමාරට විතර ඇති.

ඒක අපේ අලුත් ප්‍රොජෙක්ට් එකේ ප්‍රපෝසල් එක.

කොන්ෆරන්ස් රූම් එකේ හිටියේ බොස් එක්ක, නිතේෂ් , මාව ටිකකට ආයෙත් විදුලි සැර කිහිපයකට අහු වුනා.. කරන්න දෙයක් තිබ්බේ නැහැ. අම්මව මතක් කරන් මං ප්‍රසන්ටේෂන් එක කලා. මට අසරණ වල හැමවෙලේම අම්ම මට උදව් කලා වගේම මං අසරණ වෙන හැමවෙලේම මං අම්මව මතක් කරන් හැමදේම සාර්ථකව කලා.

මාකටින්  ඩිපාර්ට්මන්ට් එකෙන් කරපු හොඳම ප්‍රසන්ටේෂන් එක ඒක තමයි කියලා බොස් මට තෑන්ක්ස් කලා.

"නිර්මා... මේ නිතේෂ් මගේ යාළුවෙක්.. එයා තමයි මේ ප්‍රොජෙක්ට් එක හැන්ඩ්ල් කරන්නේ වෙලෝස් කම්පැණි එකේ.."

මං ආයෙම තුන්වෙනි වතාවටත් විදුලි කුණාටුවකට අහුවුනා.

නිතේෂ් ආදරේ කිව්වේ අපේ ප්‍රොජෙක්ට් එකෙන් අපි සක්සස් වෙච්ච දවසේ.. ඒ කියන්නේ අපි වැඩිම ලාභයක් ඉපයපු දවසේ... ඔන්ලයින් මාකටින් වලට යමු කියන ප්‍රොපොසල් එක මමයි නොහිතපු වෙලාවක අපේ බිස්නස් ඩවුන් වෙලා තියන වෙලාවක ගෙනාවේ.. නිතේෂ් බිස්නස් වැඩ කලාට අයි.ටී. ගැනත් දන්නවා කිව්ව නිසා, එයා එක රැයින් වෙබ් පිටුවක් හදලා තිබුනේ මාව පුදුම කරන්න.. අපි සෝෂල් මීඩියා වලට දාල වෙබ් එක ලෝන්ච් කලේ ඩිස්කවුන්ට් වලින්. මුල්ම විසි පහට ඩිස්කවුන්ට් දෙනවා කිව්වම මුලින්ම දහස පන්නලා අපේ රේටින් තිබ්බා...
එයා පස්සේ කිව්වේ මගේ ප්‍රොපොසල් එක එයා කලින්ම දැක්ක නිසා ටික ටික වෙබ් එක ඩිවලොප් කරන් ආවා කියලා..


මගේ ආදරේ ගලාගෙන යන අතරෙයි මට මගේ කියලා හිටිය එකම කෙනා වුන අම්ම පිලිකාවකින් දුක් විඳිනවා කියලා දැන ගත්තේ.. මං අම්මව බලාගන්න ඔන නිසා ගෙදර නැවතුනේ කාටවත් නොකියා.. හුඟක් දවසට මං හිටියේ මහරගම පිලිකා රෝහලේ..
මගේ අම්මා නැතුව මං ජීවත් වෙන්නෙ කොහොමද කියලා මං දැනන් හිටියේ නැහැ. මගෙ අම්මට කීමෝ දෙන්න පටන් ගත්තට පස්සේ හුඟක් ලස්සනට හිටපු අම්මා මැලවුනා. කොණ්ඩේ ගියා. මගේ අත් දෙක අල්ලන් අම්මා ඇඬුවේ කිසිදෙයක් කියාගන්න බැරුව.. මටත් කියන්න කියලා වචන හොයාගන්න බැරි වුනා. ඔක්කොම පපුවේ හිරවෙලා තිබ්බා...

අම්මාට තව දුරටත් කරන්න දෙයක් නෑ පුතේ.. අම්මව ගෙදර එක්ක යන්න කියලා ලොකු දොස්තර කිව්ව දවසේ මගේ හැමදේම කඩාගෙන වැටුනා.. අම්මට කිසි දෙයක් නොකියා අම්මට දැන් හොඳයි කියලා බිම බලාගෙන අම්මගෙ බඩු පැක් කලේ කඳුලු හංග ගන්න ගමන්... මට උදව් කරන්න කියලා කවුරුත් හිටියේ නැහැ..

නිතේෂ් කියල කෙනෙක් මට මතක තිබුනේ නැහැ.. එයා මට කෝල් කලත් මං උත්තර දුන් නෑ කිසිමදේකට. හැමදේම වුනේ මාස දෙකක් වගේ කාලයක් ඇතුලත.. 

ගෙදර ඇවිත් හුඟ දවසට කලේ අම්මා කණ්නාඩියෙන් මූණ බලන් අඬන එක. මට අම්ම වෙනුවෙන් කරන්නෙ මොනවද කියලා තේරුම් ගන්න ශක්තියක් තිබුනේ නැහැ.. අම්මා කෙස් ගස් කිහිපයක් ඉතිරි වුන තට්ට හිස අල්ලන් අන්තිම කාලේ මගෙ අතින් සුප් බිව්වා. මට අදටත් මතක් කරගන්න පුලුවන් එච්චරයි.


ඉන් පස්සේ හැමදේම නැති වුනා. මේඛලා මාව බලන්න අනුරාධපුරේ ආවේ ඒ අතර. සර් ආයේ මට ජොබ් එකට එන්න කියලා කෝල් කලා. කරන්න දෙයක් මට නොතිබුන නිසා මං ආයේ ජොබ් එකට ගියා. හැමදේම අලුතින් පටන් ගන්න ඕන උනා. අපේ ප්‍රොජෙක්ට් එක වෙන කෙනෙක් නිතේෂ් එක්ක හැන්ඩ්ල් කලා. මං එක්ක නිතේෂ් කතා කරන්න හැදුවත්  කලින් හිටිය නිර්මා හුඟක් නිශ්ශබ්ද චරිතයකට වෙනස් වෙලා තිබුනා.. නිතේෂ්ට ආදරේ කලත් මං මට ආදරේ නොකරන තත්වෙට පත් වෙලා තිබුනේ.. හැමදේම හැදෙන්න කාලයක් ගියා..

"නිරු.. මට සමා වෙන්න. මං හිතුවේ නැහැ මෙහෙම දෙයක්.. මං හිතුවේ ඔයා මාව දාල ගියා කියලා.."

"අනේ නිරූ කතා කරන්නකෝ.."

"මොනවා කතා කරන්නද නිතේෂ්...."

ආදරේ මගේ හිතේ තිබුනත් ඒකට මං බය වුනා. මං හැමවෙලේම හැමෝගෙන්ම ඈත් වෙලා ඉන්න උත්සහ කලා.

අන්තිමට නිතේෂ් මගෙන් ගියා. කොල්ලෙක්ට උනත් කෙල්ලෙක් හැමදාම ප්‍රතික්ෂේප කරනකොට ඉන්න පුලුවන්කමක් නැහැ කියලා මං දැනන් හිටියට මට ඒ ගැන හිතන්න පුලුවන්කමක් තිබ්බේ නැහැ.

" නිර්මා... කලා ඉවර නම් යමු..."

කෑම එකත් ඉවර වෙලා තිබුනා. මං හිටියේ අත ගගා.. හැමදාම වගේ දුක පිරිලා තිබුනත් මං නිසා හෙට අනිද්දා වෙනකොට කවුරුහරි 
කාගේ හරි හිතට සතුටක් ගෙනේවි කියලා හිතුනා.

Comments

  1. අපුරුවට ගෙත්තම් කරලා. මේ කතාව මෙතැනින් ඉවර නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ඉවරයිනේ... ස්තූතියි අසංග අයියේ..

      Delete
  2. කොන්ඩ පූූූූජාවත් දැන් රැල්ලට

    ReplyDelete
    Replies
    1. ඔව් අප්ෆා ... ඒත් ඒක වටිනවා කියලා හිතෙනවා.

      Delete
  3. කේශදාන පාරමිතාව.......

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... ඒකත් එක්තරා දාන පාරමිතාවක් තමයි නේද... 😊

      Delete
  4. දුකයි . ඒත් ලස්සන කතාවක්.

    ReplyDelete
    Replies
    1. මින් පස්සේවත් මං සතුටු හිතෙන කතාවක් ලියන්න ට්‍රයි එකක් දෙන්නම්. හැමදාම දුකම කියවලා ඔයාලට දුක ඇති.. ස්තූතියි හොඳේ කොමෙන්ටුවට

      Delete
  5. ලස්සන කතාව. අකුරු ටිකක් ලොකු කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. අනේ මං හිතුවේ අකුරුවල ප්‍රමාණය ගානට කියලා. මං අකුරු තව පොඩ්ඩක් ලොකු කරන්නම්කෝ..ස්තූතියි හොඳේ මේ පැත්තේ ආවට..

      Delete

Post a Comment