ඉරණම්.



ශිෂ්‍යත්වේ පාස් වෙලා ඈත ගමක ඉඳන්  කොළඹ ලොකු ස්කෝලෙකට එන හැම කොල්ලෙක්ගෙම එකම හීනේ වෛද්‍යවරයෙක් වෙන්න හරි ඉංජිනේරුවෙක් වෙන්න හරි කියලා මං දැන ගත්තේ මීට අවුරුදු අටකට ඉස්සෙල්ලා රෝයල් එකේ හය වසරේ ඩී පන්තියට වැටුනම. එදා තමයි ශිෂ්‍යත්වෙන් ආපු ළමයිගේ රෝයල් එකේ පලවෙනි දවස. හැමෝම යාලුවෝ හොයන් හිටියා. මං විතරක් තනියෙන්. එදා මට යාලුවෙක් උන්නේ නැහැ.. මට මතකයි ක්ලාස් එකේ ටීච මයි සෙල්ෆ් ගැන කියන්න කිව්වා. ශිෂ්‍යත්වේ පාස් වෙච්ච හැම ළමයෙක්ටම ඉංග්‍රීසි බැහැ කියලා ටීච දැනගෙන හිටියේ නැද්ද මංදා. එදා මට කියන්න පුලුවන් වුනේ අයෑම් මෙත්මල්, අයෑම් ෆ්‍රොම් අම්පාර කියලා විතරයි. 
ඒ හතර වසරේ ඉංග්‍රීසි පොතේ අයෑම් මුරු, අයැම් ෆ්‍රොම් නයිජීරියා කියන පාඩම මං කට පාඩම් කරපු නිසා.

ඒත් අනික් අය කියන එක අහන් ඉඳලා අන්තිම වාක්‍ය විදියට අයි ලයික් ටු බී ඩොක්ටර් කියන්න පුලුවන් උනා. ඒත් ටීච කිව්වා ඒකේ ග්‍රැමර් වැරදි කියලා. ඒක එන්න ඕනා අයි ලයික් ටූ බී අ ඩොක්ටර් කියලලු.

ඒත් ඒ දවස් වල මට දොස්තර මහත්තයෙක් වෙන්න ආසාවක් තිබ්බේ නැහැ. ඇත්තටම මට ඕන උනේ අපේ පැත්තෙන් ඡන්දේ දිනලා පාර්ලිමේන්තු ගිය සුමනදාස මන්ත්‍රී මහත්තයා වගේ වෙන්න. ඉගෙන ගත්තේ නැති උනාට වාහන හත අටක්ම ඒ මහත්තයට තිබ්බා. එයාට රජ සැප කියලා අපේ පුංචම්මත් හැමවෙලේම කිව්වා.. ඒ මහත්තයා ඡන්දේ දිනුවට පස්සේ අපේ ගමේ ස්කෝලේ අලුතෙන් හදපු ශාලාව විවෘත කරන්න ආපු දවසේ තමයි මං දැක්කේ ඒ අලුත්ම වාහන ටික. ඒවා පොලිෂ් කරලා වගේ දිලිසුනා. එදා මල් මාලේ දාන්න තිබ්බේ මට. මල් මාලෙත් අතින් අරන් මං බලන් හිටියා. ඒ වාහනේ ඇවිත් නැවැත්තුවේ මගේ ඉස්සරහමයි. මන්ත්‍රී මහත්තයට බහින්න හුඟක් වෙලා ගියා.. මං බලන් හිටියේ මාවම ඒ වාහනේ දොරෙන්.. මං මා එක්කම හිනා වුනා. කොණ්ඩේ අවුල් වෙලාද බැලුවා. තෙල් ගාපු කොණ්ඩේ ලස්සනට තිබුනා. මං මා එක්කම හිනා වුනා. එතකොට කාර් එකේ දොර ඇරුනා. මන්ත්‍රී මහත්තයා කාර් එකෙන් බැස්සා. මට තිබුනේ ඒ මහත්තයගේ කරට මල්මාලයක් දාන්න. ඒ මහත්තයා ඇඳන් හිටියේ සුදු නැෂනල් සූට් එකක්. රත්තරං දම්වැල් චේන් එකක් කරේ දිලිසෙනවා මං දැක්කේ යන්තමට වගේ.. ඒත් සුමනදාස මන්ත්‍රී මහත්තයා මං මල්මාලේ දාපු පමාවට ඒක ගලවලා ළඟ හිටපු සුදු කමිසයයි, කළු කලිසමයි ඇඳන් හිටපු කනේ කරාබුවක් දාන්, දම්වැලක් වගේ රිදී මාලයක් දාන් ළඟින් හිටපු මාමාගේ අතට දුන්නා. එයා දිහා නම් මට බලන්න බය හිතුනා. ඒත් සුමනදාස මහත්තය නම් මගේ ඔළුවත් අතගෑවා හිනාවෙලා..

එදා මට අඳින්න අලුත් සපත්තු දෙකකුයි, අලුත් කමිසයකුයි හම්බුනේ ස්කෝලේ සුවිනීතා ටීචගෙන්මයි. මාව තෝරගන්න එයාලට ඕන උනේ ඒ වැඩේට මං තමයි ශිෂ්‍යත්වේ පාස් වෙච්ච එකම ළමයා නිසා.

ඒත් අනික් අය ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන කියද්දි දොස්තර මහත්තයෙක් වෙන්න වුවමනා උනේ නැහැ. හැමෝම කිව්වෙ තමන් අනාගතයෙදි වෙන්න කැමති ඩොක්ටර් කෙනෙක් හරි ඉංජිනේරුවරුවෙක් හරි නිසා මාත් කිව්වේ ඩොක්ටර් කෙනෙක් කියලා. මොකද ඩොක්ටර්ට විතරයි නිකම් බෙහෙත් හම්බෙන්නේ. ඒ කාලේ මගේ අක්කා හිටියේ වකුගඩු අමාරුවට වලට බෙහෙත් කර කර. ඒ බෙහෙත් ගන්න අපේ කොස්ලන්ද, කළු මුදලාලිට උගස් කරන්න වුනා. පස්සේ උගස බේරගන්න බැරුව කොස්ලන්ද කළු මුදලාලිට සින්න උනා. ඉතින් මං ඩොක්ටර් කෙනෙක් වුනොත් ආයේ කිසි දෙයක් කළු මුදලාලිට උගස් නොකර බෙහෙත් ගන්න පුලුවන් නේද කියලා ඒ වෙනකොට මට හිතිලයි තිබුනේ.

ඉන් පස්සේ තමයි මට ඕන උනේ අනික් අය හිනා වෙන්නේ නැති විදියට ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න. ඒත් මං දැනන් හිටියේ නැහැ ඒක කරන්නේ කොහොමද කියලා. ඒත් අට වසරෙදි මං දැන ගත්තා ටෝස්ට් මාස්ටර් ක්ලබ් එක ගැන. ඉන් පස්සේ මං ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ ටෝස්ට් මාස්ටර් ක්ලබ් එකට බැඳුනේ ඉංග්‍රීසි ඉගෙන ගන්න.. ඒකේ මුල් කාලේ කලේ මං අහගෙන හිටපු එක විතරයි.පස්සේ මං කතා කලා. අහන් හිටපු ඒවා මට පාඩම් වෙලා වගේ තිබුනා. මං හුඟක් වෙලාවට කලේ අනික් අය වගේ කතා කරන එක නෙවෙයි. අනික් අයගේ කතා අහන් ඉන්න එක. කොහොම හරි මට ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් වුනා..

ඕලෙවල් වලින් පස්සේ හොස්ටල් එකේ ඉන්න බැරි වුන නිසා හම්බුන අඩුම ගාස්තුව ගත්ත බෝඩින් හවුස් එක ලස්සන වුනේ ඉංග්‍රීසි කතා කරන ඇන්ටි නිසා. මගේ බලාපොරොත්තුවත් නිකම්ම ඉටු වෙන පාර කැපිලා තිබුනේ.. මට උදේට කෑම එකක් හම්බුනා. රෑට බෝඩින් එකේ ඇන්ටි බත් එක බෙදලා මගේ කාමරේට ගෙනත් දුන්නා. මට දරුවෙක්ට වගේ සැලකුව  නිසා මං ඒ බෝඩිමට ආස වුනා. මට තිබුනේ මගේ රෙදි ටික හෝද ගන්නයි, පාඩම් කරන්නයි විතරයි. මං ඒ ලෙවල් වලට තෝර ගෙන තිබුනෙ මැත්ස්... ඒ පහ වසරෙදි කිව්ව, අයි ලයික් ටු බි ඩොක්ටර් කිව්ව බලාපොරොත්තුවම බොරු කරමින්...

බෝඩින් ඇන්ටි, ඇන්ටි කෙනෙක් වුනාට, අක්කා කියලා කියනවටයි කැමති වුනේ.. මං එයා නැති තැන ඇන්ටි කිව්වට එයා ඉන්න තැන කිව්වේ අක්කා කියලා.

දවසක් බෝඩින් එකේ ඇන්ටි රෑ කෑම එකත් ගෙනත්, කාමරයෙන් නොයා මගේ ඔලුව අත ගන්න ගන්න කොට මට දැනුනේ මගේ අම්මා වගේ කියලා. ඒත් ඒක වෙනස් හැඟීමක් කියලා දැනෙන්න වැඩි කල් ගියේ නැත්තේ, මාත් කොල්ලෙක් නිසා.

බෝඩින් එකේ ඇන්ටිට මට වඩා වැඩිමල් දුවෙක් හිටියා. එයා හුඟ දවසට ගෙදර හිටියේ නැහැ. රැකියාවට යන නිසා ගෙදර ඉන්නවෙන් නෑනේ කියලා තමයි කිව්වේ... බෝඩින් එකේ ඇන්ටි කොච්චරවාත් මගේ කාමරේට එන්න අරන් තිබුනේ කියන එක  මට දැනෙමින් තිබුනේ, මොකද ගානක්වත් හදා ගන්න වෙලාවක් නැති වෙලාවටත් එයා ඇවිත් කියව කියව ඉන්න නිසා. කොහොම හරි ඇන්ටි ළඟින් ආව සුවඳ නිකම් මිනිස්සු දාහක් වුනත් මරන්න පුළුවන් එකක්... කවදාවත් නොවිඳපු සුවඳ මං විඳින්න ගත්තේ ටික ටික... ගණන් හැදිල්ල පැත්තකට වුනේ සමහර දවසට ඇන්ටිගේ පිච්චුන බල්බ් දාන්න, කැඩිච්ච බඩු හදන්න වුන නිසා.. මං ඒක කැමැත්තෙන් කලාද, කරන්න වුනාද කියන්නවත් මං දැන ගෙන හිටියේ නැහැ...

දවසක් ඇන්ටිගේ කකුලේ අමාරුවක් ආපු  නිසා තමයි හැමදේම වෙනස් වුනේ.... එදා තමයි මං කොල්ලෙක් ගේ සතුට මේකය කියලා දැනගත්ත දවස... ඒත් වැඩි කාලයක් ඒ සතුට තිබ්බේ නැහැ.

ඒක වුනේ යුද්ධ කාලේ හමුදාවේ තුවාල වුන සොල්දාදුවන්ට ඕන ලේ ගන්න අපේ පාසලේ තිබ්බ කෑම්ප් එකට මගේ ලේ දුන්නට පස්සේ..  රුපියල් එකසිය පනහක් එක්ක උදේ කෑම වේල හම්බුනා ලේ දන්දුන්නම. අපි ඒ නිසා අපි කැමැත්තෙන්ම එහෙම ලේ දන් දීලා තිබුනා කලිනුත්... ඒත් හැමදේම සිද්ධ වුනාට පස්සේ දීපු ලේ සාම්පල් එක නිසා දවස් දහයකට විතර පස්සේ මට එන්න කියලා තිබුනා කොළඹ ජාතික රෝහලට..

මට එස්. ටී. ඩී. ක්ලින්ක් එකට යන්න තිබ්බේ. මගේ නම අහගෙන එතන හිටපු නර්ස් ඩොක්ටර් ළඟට යන්න කිව්වා..

එදා හිටියේ ගැහැණු වෛද්‍යවරියක්.

"පුතා වාඩි වෙන්න....... නම් මොකද්ද..."

"මෙත්මල්... ජයවර්ධන.."

"මෙත්මල්ගෙ වයස කීයද.."

"ඔයා දවස් දොලහකට කලින් පාසලට ආපු ලේදන් දීමකදී ලේ දුන්නා නේද..."

"ඔව් ඩොක්ටර්"

" බය වෙන්න එපා මේ කියන කතාවෙන්. ඒ වගේම කලබල වෙන්නත් එපා. දැන් ඉස්සර වගේ නෙවෙයි වෛද්‍ය විද්‍යාව දියුණුයි...ම්ම්ම්..."

"මොකද්ද ඩොක්ටර්.."

"ඔය කලබල වෙලානේ... මෙත්මල්ට ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද..."

"නැහැ ඩොක්ටර්..."

"මෙත්මල්... ඇත්තටම මේකයි කාරණේ.. අපි හැම ලේ පයින්ට් එකක්ම ගත්තම, ඒ ලේ දායක කල තැනැත්තගේ ටෙස්ට් වගයක් කරනවා.. ඒ ටෙස්ට් වල මෙත්මල්ගේ ලේ රිපොට්ස් වල එඩ්.අයි.වී. පොසිටිව්..."

"මොකක්.... ඒක වෙන්න බෑ ඩොක්ටර් "

"මෙත්මල්, අපි මුලින් කරන පරික්ෂණයෙන් පොසිටිව් ආවම, දෙවනියට කරනවා කන්ෆමේෂන් ටෙස්ට් එකක්.. ඒක කරන්නේ එච්. අයි. වී. කියලා තහවුරු කරන්න.. ඒ රිපෝට්ස් දෙකම පොසිටිව් මෙත්මල්."

මට ඒ කතාව විශ්වාස කරන්න බැරි උනා..

තත්පර කීපයකට පස්සේ මට දැනුනේ ලෝකය මගේ වටේ කැරකෙනවා වගේ.. හැමදේම කලුවර බොඳ වෙලා තිබුනා.. කලු පාටින් පෙනුන බෝඩිමේ ඇන්ටී මහ හයියෙන් හිනා වුනා.,මට...

Comments

  1. මෙත්මල් ගැන දුකයි 🙁
    තාත්වික කතාවක් අරූ... ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තේ දිගටම ඇවිත් හයියක් වෙනවට අශින්සලා.

      Delete
  2. ස්තූතියි ඉයන් අන්කල්...

    ReplyDelete
  3. Replies
    1. මොනා කරන්නද දැන්..

      Delete
  4. Well done. ❤❤🔥🔥🔥😍😍😍

    ReplyDelete

Post a Comment

Popular Posts