ප්‍රේමය




ප්‍රේමයම "ප්‍රේමය" වන්නේ 
හිමිකමෙන් මිස 
ලංව විසීමෙන් නොවන බව කියමි.
ලං වන්න අවැසි තැන 
ලංව ස්පර්ශයක් නොමැතිවත්
ආදරය පවතින බව දනිමි.

ආදරය හට ගත්තේ අනාරාධිතව සේම
අනායාසයෙන් බව උනුන්ට කියා දෙමි.
සම්මතයක්වත්, අසම්මතයක්වත් නොතැකුව බවද පවසමි.

රිදෙනවද කියා අසන විට
රිදිල්ලකුඳු කෙසේදැයි අසමි.
එතරම්ම ආදරය විඳිමි.
නොවිඳවමි.

වස්තු,ඔබ නොමැති වුව
ඔබ හිඳිනවා සේ දකිමි.
ඔබේ නිහඬබව ඉවසමි.
ඔබේ ආදරයම එතරම්ම බව දනිමි.

ඉතින්,
නොපහත් දේ පවසන උන් නොඅදහන මෙන් ඉල්ලමි.
ඔබේ සියල් වැඩ පසෙකලා මා ගැන නොතකනම ලෙස අණ කරමි.
සියල්ල අවහර වූ කල අපි අපේ වගම පමණක්ම දනිමි.

ඉතින් මේ ආදරය ආදරයම යැයි හඳුනමි.
මැණික.. ඔබට අවශ්‍ය ඉවසිල්ල පමණකි.
අවසානය ඔබ මගේමත්, මා ඔබේමත් පමණකි.

ලිහිණියා


සමනොලුන් යනෙන මඟ
නොතිබුනත් කටු කොහොල,
ජීවිතය නම් විසල් තරණයක..
විමසුමක් මහ සමනල් හෙළ තරණයම....

ලිහිණියෙක් පියඹලා
සමනල් ගිරි දුර්ග මුදුන මත වසා..
ඉගිල යන්නට වරම් ඉල්ලුවේ
කුරිරු දෛවයෙන් සදහටම...

මහ ගිරි දඹට තරමක් පහලදී
ලිහන්නට ඈ වෑයමක් කර
සදාතන මතකයට ඉඩහැර
පලා යන්නට ගියේ ඈ ආයෙ නොඑන්නම..

නොබිඳි කඩතුරා බැමි තවමත්ම
වරද පටවනු ඇගේ ගැහැණුකමටම.
රිදව රිදවා යලි යලිත් පුලුස්සන.
කතා කරනවා ඈට හෙල මුදුනේම.

කඳුලු මහ ගඟ කාල නදියත් පරදා
තවම ගැහැණුන් වගුරවන දිය නොනවතා
කඳුලු උල්පත් තවම පීදේ නොසිඳා
රිදි රිදී හඬන නෙතු රිදවා.

තුමුල මහ ගිරි දඹත් පරදින
කඳුලු මහ ශිඛ ගිරි හිසත් සිඹ
දැවුන හදවත, සුවෙන සැතපුන
එකම තැන ඇගේ... ලිහිනියා හෙල...

තවම කියවන ඈව අමතන,
කඳුලු අසෙනිය සැඟව ගිය තැන...
දැවුන හදවත, සුවෙන සැතපුන
එකම තැන ඇගේ... ලිහිනියා හෙල...

තේ නෙලන්නී



නොපිපුන මල් පොහොට්ටු අතර
පරව මිලිනව ගිය කලෙක රෝස මල
රුදුරු විස කටු ඇනි ඇනී ලේ ගැලින
තවම නොමියව පණ ගැහි හීල්ලෙන

අපා දුක් මැද සිනා මල් කැන්දුව
කපා වෙන් කල හදවතකි රිදුනම
දවා වක් වුන සිහින යායේ සමුදුර
සිනාවක් පුද කඳුලු සඟවා හිඳී නිහඬව

අවදිව හිරුටත් කලියෙනුත් හැමදාම,
නොමඳව කඩිසර වැඩපලෙහි ඉඳුරාම,
කහටට සීනි උගුරක් බී අරඹාන,
දහිරිය අරගන්නේ කුසගිනි හන්දාය.

වත්තට අරුණෝදේ වේලාසන කැන්දා
තේ දළු කඩා මස් නැති පිට මත රන්දා
පා පොඩි තබා වත්තේ, සටහන් කැන්දා
රෑ වනතුරුම පා රිදුනත් දළු හින්දා

කිලෝ මීටර ගව් ගණන් ඇවිදා
තේ ගෝනි හැමදාම පිට මතම පටවා
සොච්චමක් ගැන ඇඟිලි ගැනලා
පා රිදුම්, පිට රිදුම් තෙල් වලින් හින්දා

තේ කහට පා දත් කැකුලු පාලා 
බුලත් විටකට පමණක් සතුට දීලා
කඳුළු සුසුම් දා දියෙන් හරවා
කුස පුරවන්න සුපිරින්ටන්ටත් වැන්දා

සිත නිවාලන තැනෙකි තේ වත්ත.
හරිත යායම නොනැවතී වේ දිස්න.
සිසාර යමින් දළු සොයා කර සුද්ද.
සුපිරින්ටන් පඹයා වත්තේ හරි මැද්ද.

තේ කහට පාටිනුයි ලේ බිංදු තිවුනේ.
වේලිලයි හීන තරුණකම යැද්දේ.
සීතලයි හුඟක් රෑ තිස්සේ මැද්දේ.
ඇහැරිලයි හුඟක් රෑ ගණන් ගෙව්වේ

නොපිපුන කුසුමන් පොහොට්ටු මැද
පරව මිලිනව ගිය කලෙක රෝස මල
රුදුරු විස කටු ඇනි ඇනී ලේ ගැලින
තවම නොමියව පණ ගැහි හීල්ලෙන

වලාකුලු ☁



මගේ ඇස් තිබුනේ මොහොතකට නිල් වලාකුලු වල එල්ලිලා. හරියටම කියනවා නම් මගේ උපැස් යුවල වලාකුලු බොඳ නොවී බලන්න මට උදව් කලා. ලා පැහැති නිල, ධවල පැහැති වලාකුලු එක්කලා හරියට තරඟෙක යෙදිලා වගේ මං බලා ඉද්දි මාව පහු කරලා ගියා.  ඔෆිස් එක ඇතුලේ සීතල නිසා මට ජනේල් පියන්පත් හැරලා ඒ සුන්දරත්වය විඳ ගන්න බැහැ. තට්ටු දහයක් උඩ හිටියත් වලාකුලු හිටියේ මට වඩා හුඟක් දුරින්. ඊටත් මගේ ඇතුලෙන් මහ කියගන්න බැරි දෙයක් හිර වෙලා වගේ හැඟීමක් තිබුනේ. ඒ නිසා කිසිම දෙයක් විඳින්න හැකියාවක් තිබුනේ නැහැ. හිස්කමක් වගේ දැනෙන්නේ.


ආයේ මං මගෙ ඇස් මගෙ ඉදිරිපිට තියන පරිගණක තිරයට දිවෙව්වා. අද සෙනසුරාදා නිසා වැඩි වැඩක් නෑ. සමහර විට දවල් වෙද්දි ෆෝල්ට් එන්න ගනීවී. මං කම්මැලිකම යන්න අලුත් වෙබ් පිටුවක් ඕපන් කරලා, ඩිඇක්ටිවේට් කරපු ෆේස්බුක් ප්‍රොෆයිල් එක ඇක්ටිව් කර ගත්තා.


පුරුද්දට එෆ්බී සර්ච් බාර් එකේ වලාකුලු කියලා ටයිප් කලා.ඇත්තටම මං හිතලා එහෙම ටයිප් කලේ නැහැ. ඒක ඉබේම වගේ පුරුද්දට ටයිප් වෙලා තිබුනා. වලාකුලු අලුත් ප්‍රොෆයිල් පින්තූරයක් දාලා. එකේ හිටියේ ලා අහස් නිල් ඇඳුමක් ඇඳන් ඒ හිනාව මවාගෙන, ඔලුව යන්තම් වම් පැත්තට බර කරන්, ටොප් එකේ පොකට් දෙකට අත් දෙක ඔබාගෙන. මහ දඟ පෙනුමකින්, වලාකුලුගේ ප්‍රොෆයිල් එක ඕපන් කරගෙන මං වෝල් එක දිගේ පහලට ගියා. සිංහල කවි එක්ක ඉංග්‍රීසි කවිත් ලියලා. ඉස්සර නම් ලිව්වේ සිංහලම විතරයි, මට තේරුම් ගන්න බැහැ කිසි දෙයක්..


එයා හිම ගැන කවි වගයක් ලියලා තිබුනා. ඒ කවි එක්ක හිම ගොඩේ ඉන්න එයාව මට දැක ගන්න පුලුවන් වුන. .


" හිම පියලි, වලාකුලු අතහරින
ආදරණීය පෙම්වතියක්...
උණුසුම ඉතිරිකර සීතලම උරන්
මිහිකතට වඩින....


මම වලාකුලු බව සැබැවි.
නමුත් නුඹ පොළව නොවේමයි.
සසල සිතැති නුඹ 
එසේ නම් ජපන් පොළවක්..


වසරකට භූමි කම්පා 
සියයකටත් වඩා ඇති කරන
ජපන් පොළවක්,
එසේ නැත්තම් අහසක්ද.. "



ඇත්තටම මෙහෙ ඉන්නවට වඩා වලාකුලු ලස්සන වෙලා තිබුනා. සුදු වෙලා, මහත් වෙලා. හුරුබුහුටි දඟ පෙනුමක් ඇවිත්. එයා අප්ලෝඩ් කරපු ෆොටෝස් බලන්න ගත්තා. සුද්දො එක්ක , සුද්දියො එක්ක ඉන්න ෆොටෝස් තිබ්බා. තව ලංකාවේ පෙනුමක් තියන කොල්ලෙකුත් ඒ අස්සේ හිටියා.. මාව එක පාර ගිනි උඳුනකට වැටුනේ ඒ අස්සේ.. මං ඉක්මන්ට ෆොටො එකේ ටැග් වෙච්ච අය බැලුවා. අයුෂ් මෙහෙතා.. එහෙනම්, ඉන්දියන්කාරයෙක්.. මට ඉරිසියාවක් ආවේ ඒ යකා වලාකුලුව බදාගෙන හිටපු විදියට. ඒක ෆොටො එකට ෆෝකස්වෙන්න හිටපු විදිය වුනාට මට තරහා ගියා.


මං නිකමට මැසේජ් බොක්ස් එක ඔන් කලේ වලාකුලු අන්තිමට අවේලබල් ඉඳලා තියෙන්නේ කීයටද බලන්න.


ටූ මිනිට්ස් අගෝ...


වලාකුලු දැනටමත් ඔන්ලයින්.


විදුලියක් කොටට එක පාර නුවර අහසක් මැවුනේ, නොකියම චුරු චුරුවක් ඇරඹුණා. මට දැනුනා මගේ වටේ සමනල්ලු පියාඹනවා. කුරුලු ජෝඩු කිචි බිචි ගානව, පියාපතකින් තමන්ගෙ පෙම්වතියව වසාගෙන, කුරුලු හොට පෙම්වතියගේ කුරුලු හොට මත තියාගෙන කුරුලු ජෝඩු ආදරය කරනව, හැමතැනම ඇහැල මල් වැටෙනවා......


" වලා,,,,"


ඒක ඩිලිවර් උනා...


මං එක ටයිප් කලා නෙවෙයි.මං එහෙම කරලා තිබුනා ඒ වෙනකොටත්... මං බලන් හිටියේ ඒක සීන් වෙනකම්.


තත්පර දෙක තුනක් ගත වුනා. ඒක මට දැනුනේ කල්පයක් වගේ.. විනාඩි දෙකක් බලන් හිටියා., සීන් වුනේ නැහැ. මං ෆේස් බුක් පිටුව මිනිමයිස් කරලා ඔෆිස් එකේ මේන් ඔපරේටින් වෙබ් පිටුවට ගියා,  ඒකේ මොනිටරින් වැටිල තිබ්බා. කිසිම ෆෝල්ට් එකක මැසේජ් එකක් ඇවිත් තිබ්බෙත් නැහැ.



ආයේ විනාඩි පහකින් විතර ආයේ ෆේස්බුක් ගිහින් මැසේජ් එක සීන්ද බැලුවා. සීන් වෙලා තිබුනා. ඒත් රිප්ලයි එකක් තිබ්බේ නෑ. ඒ වගේම වලාකුලු මාව බ්ලොක් කරලා කියලා පෙන්නුවා.


ඒක හරියට මං වලාකුලුට ඉස්සර කලා වගේ.
වැඩ කරන ගැහැණු කෙනා නෙස්කැෆේ එකක් ගෙනත් දුන්නා..ඒක බොන්නවත් පිරියක් තිබුනේ නැහැ.. මං ෆේස් බුක් පිටුවෙන් අයින් වෙලා ආයේ අහසේ වලාකුලු දිහා බලන්න ගත්තා.


වසන්තය



මලින් මල පිපෙන , 
කුරුලු ගී ගයන, 
සුපෙම් සිත් නිවෙන 
සමය නම් වසන්තය...

නමුදු සුපෙම්වත....,,,

නුඹෙ සිනා මැවෙන, 
සුවඳ නුඹෙ දැනෙන,
ම'සිත පොබයන, 
සමය මට වසන්තය...


කුරුලු දඩයම 02

  කුරුලු දඩයම 01 දවසක් උදෑසනක දුර්ශාන් සොයා ආවේ දුර්ශාන්ගේ හොඳම මිතුරෙක් වන සංධීර්. ඔහුට පුදුමයි මේ දුර්ශාන්ගේ වෙනස.  "ක්‍රිශෝලියි ඒකිග...