නොනිමි ප්‍රේමය


සුසුම වුව බිඳී විසිරී
හඬ මවන
කටුක නිහඬ යම,,

නුඹටය.....

දිගු රැයක පවා
නොසැලෙන ප්‍රේමයටය..

තරු වර්ෂ ගණන්
නොහිඳෙන කාලයට.

මේ වැසි අකලට නොවේ..
සමයටය..

මේ ආතුර හද,
මියැදී වුවත්...
පතන්නේ
නුඹටය..
පිදී පරව යන්නට
වුව පතන්නේ
නුඹේ පා පද්මයය



ප්‍රියය


ප්‍රියය..
දවන විට දැවෙන එකත්.
නිවෙන විට නිවෙන එකත්.


ප්‍රේමයය...

ගිනි ගහන උණුහුම වුව,
මිදෙන සීතල වුව..
හමන්නේ ප්‍රේමය දෙසටය..

මේ දරා ගැනීමම අපහසු
වේදනාව 
ශෝකය නම්....

ඉදින්,
ප්‍රේමයමය..
ප්‍රේමය පමණක්මය.




මැනිය හැකිමද..
ඔය ප්‍රේමය.,
ළතෙත් හිත හංගා
රුදුරුකම් කෙරෙන.

පැතුම් පොඩි මිරිකා
ඔහේ ගලන්න ඉඩ හරින..

මේකමද ප්‍රේමය.
සොඳුර...

නුඹ නොදනිතැයි නොසිතමි.
නමුදු නොසොයමි.

ප්‍රේමය නම්,
නොරිදවා 
නොහඬවා
නොසඟවා

පැවසීමය.
සනහස පිදීමය
තෙත හිතින් ස්පර්ශයමය..

ප්‍රති ප්‍රේමයක් නොමැතිව වුව
ප්‍රේමය දලු ලෑමය..
අවසානයේ අතහැරීමය..





සඳ දූ



පියෙක් තමන්ගේ දුවට කොයිතරම් ආදරේද කියා පවසන්න මේ විශ්වයේ භාෂාවක අකුරක්වත් තියෙනවද කියන්න සැකයි. ඒ තරම් මහා ස්නේහයක් මහ ළය මත දරාගෙන වදනක්වත් නොපවසා හුස්ම ගන්න පියෙක්ට මේ වගේ සිදුවීමක් දරා ගැනීමම දෛවයේ කෲරතර දඬුවමක්... 

මේ වචන මේ හඬ, වගේම මෙලඩි එක,යන තුනම සමපාත කරලා කෙනෙක්ට විඳින්න පුලුවන් නම් ඒක විඳීමකට වඩා වඩා දරුණු වේදනාවක් විඳවීමක්ම වෙනවා... ඒ තරම් දරුණුවට ගීතය සවන් දී අවසන් වුණත් හදවතේ වරින් වර සහකම්පන ඇති කරන්න පුලුවන් ගීතයක් තමයි මට දැනෙන විදියට සඳ දූ කියන්නෙ.

ප්‍රතිභා පූර්ණ ගීපද රචිකාවක් වන උමා අසේනිගෙ පදවැලට, වර්තමානයේ දක්ෂ තරුණ තනු නිර්මාණකරු පසන් ලියන්ගේ නිර්මාණය කල තනුවට තුරුණු ගායක තාරක ගුණරත්නගේ හඬ මැනවින් සමපාත වන බව කිවයුතුමය.. ඒ තනුවල අලංකාර විචලන සමඟ  තාරකගේ ගායන විලාසය හැඟීම් ගායනක්ව අපට ඇහෙනවා.. ඒ ගැලපීම් ගැන ඇත්තටම කියන්න වචන නැහැ...


ළයඟින් උපන් හස මල් අරන් දෙලවන තබා ස්නේහයෙන්
නුබ මිණි පහන් දෝතින් අරන් පැළඳුවා උවනතේ.
වැහි කෝඩයෙන් නොතෙමා හොරෙන් ඉර කිනිති හංගා ළයේ.
මහමෙර තරම් දුන් ස්නේහයෙන් සිහින බොඳ වී ළයේ...

සිය ළයේ කැකැරෙන සෙනෙහසින් තමන්ගෙම දුවට සතුට පමණක්ම පුදමින්, ඇගේ මුළු ලොවම එලිය කරලන්නට වෙහෙසෙමින්, වර්ෂාවෙන්, ඉර එලියෙන් සේම කිසිඳු පීඩාවක් නොවන්නට වගවෙමින් තිබුන පිය සෙනෙහසක් විය.නුමුදු මහ දුක් දොම්නසක් සමඟින් පියාණන්ගේ සියල් සිහින හදවත තුලම බොඳව යන්නට වන.

මේ කුලු එවා අසනිය සලා
නුඹ බෝම හැඬුවා නිති..
සඳ දූ මගේ සුසුමන් වරා
සුරඹුන් තුරුල්ලේ නිදී..

සිදු වූ දරුණු වරද නිසාවෙන්, කඳුලු වැසි වස්සමින් ඇය බොහෝ හැඬවීය.. දැන් ඉතින් ඒ සුසුම් අවසන් කර ඇය සුරංගනාවන් ගේ තුරුලේ සැතපීගෙනය...

ළය ගිනි නිවු සිලිලාරිණි.
සල්ලාල ගින්නේ දවා.
ඉගිලි ගිහින් සාහස බිඟුණ්
නෙලුමියක පෙති සිඳ දමා..
මොර දුන් හැඬුම් පිළිරැව් අරන්
විල් හුළඟ හමා තරම්.
උහුලා දරන් ඉනු කෝම මං
මගෙ මැණික පවසන් වරක්..

තමාගේ සයුරක් තරම් සතුට වුණ ඇය, සලෙල් පහසක් ගිනි තියා දවන්නට විය.. ඒ සාහසිකයන් ඇයගේ පහස ගෙන කෲර ලෙස සැඟව ගොස් ඇත. ඇයගේ හැඬුම් හඬ විල් හුළඟත් හමන විට පිළිරැව් දෙන බැවින් පියාණන් කෙලෙස ඉවසන්නද...

සංසාරයේ නොයනා ගමන්
නෑ මැණික බය නෑ ඉතින්..
සඳ දූ මගේ නිදියන් සුවෙන්
නුඹ නෑර හිඳිමි ළඟින්..

නොයනා ගමන් ගිය නිසා ඇය..., කිසිඳු බියක් නැත... දැන් සුවසේ නිදාගන්න... පියාණන් ඇය හා අතනොහැර ඉන්න බව පවසමින් ගීතය අවසාන වෙයි..

ඒ වේදනාව ඔබ මගේ හිතම සසල කරනු නිසැකය.. ඒ, ගායනයේ වේදනාව වචන සමඟ හොඳටම පෑහිලා වේදනාව දනවන්න තරම් ප්‍රබල නිසාමය... 

කිසිඳු රූප රචන අවශ්‍ය නොවන මෙවැනි නිර්මාණ රූපයක් නැතිව හැඟීමක් පමණක්ම හිතේ ගැඹුරේ තැන්පත් වෙන අතිශය විචිත්‍ර නිර්මාණයන් ය...
#අරු

සනහස මැවී බොඳවුණ එක නිමේෂෙක.
තොටුපල පෙනි පෙනී හැරගිය පාරුවෙක.
සිතිජය දැන දැනම හොයමින් ඇසිල්ලෙක.
කුමකට පෙමම තව පූදිනු නුරාවෙක.

තනිකම තුටකි, තොටුපල හැර ගිය දාක.
නැවියෙකු වේද පාරුව පැද ගියදාට.
මදහස මැවෙන නෙත අග ඇති කඳුලෙකද.
ශෝකය නැතැයි කා හට නම් කිව හැකිද.

යන යන මඟේ නුඹ කාටත් මල් පිපියන්.

සතුරු වෙසින් රට හාවෝ පැන යද්දී
පතුරු ගැලවි ගැලවී සියුමැලි වෙද්දී
පදම් කල යකඩ මෙන් හරි බර වෙද්දී
සිත නොවෙ ගලක් අවසානේ ඉතුරු විණි.

කළුවර රෑට දුම් දමනා ලයිට් කණු
සෙවනක් වෙන්න උසට උසේ සිට ගත්තු
හවහක ඇවිත් ඉස ඉඹ අතගා බලනු
රත් වුණ යකඩ මෙන් ලෝ බොර සේ පුළිගු.

සතා වෙසින් නොව දෙවියන් සේ වෙසෙසින්
රෑට රෑට මඟ මරුවෝ රඟ පාමින්
අත ගුලි කරන් මිට මොලවන මොණර කොලෙන්
හෙට මගෙ දරුවන්ට කුස පිරෙනවා එපින් බෙලෙන්..

තුඃ ගාමින් මා දුටු  ඒ මඟමරුවන් .
අසුබ ලකුණ  මා වුණ කර්මය වැනසෙන්.
බෝසත් ලෙසින් සුදු පිරුවට ඇඳ පැලදන්.
යන යන මඟේ නුඹ කාටත් මල් පිපියන්.

අරු 


ප්‍රේමය...

මාසික වේදනාවෙන්
පෙළෙමි.. 
කියා ගත නොහී..

නුඹ පැමිණ 
"මහන්සි අද හරිම සුදු.. "යැයි පවසද්දි..
මගේ වේදනාව 
දිය යටට කර 
පාගා පයෙන්..

හනි හනික තේ එකක් සාදමි...

එකම එක හාදුවක් දෙනවද..
ආදරෙන් නළලතට...

මේ කවි නුඹට ....



බරටම දැනෙන හුස්මක් සුසුමක් වීලා
ගහගෙන යාවී මාරුතයම කලඹාලා
ඒ සුසුමෙන් උපදින කවි පබඳාලා
නිහඬව ඉන්නේ නුඹ දකිනවා රිසි වීලා

අඹ ගහෙ හැදෙන්නේ අඹ ඵල නොවේද
මඩෙ වුව පිපෙන්නේ නෙලුඹු නොවේද
සැඟවු නියා ආදරයක් බිඳේ ද
මේ කවි සියල් නුඹ නමටම නොවේද


දන්නවද මං දැන් තනි වෙලා...


ඒක මට කියන්න අමාරුයි.. මොකද මං විඳින දුක ඔයාට චුට්ටක් හරි දැනුනොත් ඔය හිත් රිදෙන නිසා..

දන්නවද මං දැන් තනි වෙලා...

මං ළඟදි අහපු ගීතයක්...
ඒ වචන මගේ හිත පසාරු කරගෙන ගියා.  
මගේ හිතේ හිර වෙලා තිබ්බ වේදනාව කඳුලු කැට විදියට එකින් එක ගැලවිලා මේ මහ පොළව බදා ගත්තා.. ඒ කඳුලු කැටත් වත්තන් කරගන්න මහ පොළව බලාන හිටියට මාව තුරුල් කරන් ඔළුව අත ගාන්න ඒ මහ පෞරුෂය නැහැ කියලා මට දැනෙන්න අරන් තියෙන්නෙ.. පහුගිය කාලෙම මං හිටියේ ඒ මගේ ආදරය මාව හොයන් ඒවී කියල හිතන්.. ඒක යුගයකට පස්සෙ ආපු සංක්‍රාන්ති කාලයක්...

හ්ම්.....
ඒ කාලය ගෙවිලා.. 
මං හැමදාම ප්‍රාර්ථනා කරපු ඔයාගේ හිනාව මං දැක්කා.. අහම්බෙන් වගේ...
 ඔයා ලස්සන කෙල්ලෙක්ගේ අතින් අල්ලන් පාර පනිනවා.. හරියටම මාව ඔයා මුලදිම දැක්ක නුගේගොඩ නෝලිමිට් එක ළඟදී...

දන්නවද මං දැන් තනිවෙලා..
අවසාන සුසුම් නැවතිලා...
ඔබ දුන්න කඳුලේ දැවටිලා..
මට මං පවා නැති වෙලා..
දන්නවද මං දැන් තනිවෙලා..

හිත හිරිවැටිලා.. මාව ගල් වෙනකම් අපි ආදරේ කලා... 
ඒ හැම හාදුවකම තිබ්බ ආදරේ..
ඒ හැම ස්පර්ශයක තිබ්බ ඒ රැකවරනය, මං දැක්කා ඒ වාසනාවන්ත කෙල්ලට හිමි වෙලා තියන බව..

හිත රිදෙන්න ඔබ හඬන්න
හිත හැදෙන්න ඔබ බනින්න
හිමි නොවන බව දන්නවා.
හිත තාම ඔබව හොයනවා.

මට කවදාවත් බනින්න ඕන නැහැ... ඔයාට මං දුන්න ඒ ජීවිතය.. ඔයාගේ අම්මා තාත්තා ඔයා වෙනුවෙන් බලන් හිටපු ජීවිතය.. මගෙ තිබ්බ සමාජය විසින් පිලි නොගන්න බව කිව්ව හැම නොගැලපීමක්ම ගලපලා ඔයා දැන් ඇය එක්ක සතුටින් ඉන්න බව මං දන්නවා.. 

ආදරය කියන්නේ ඇත්තටම ළඟ තියාගන්න ඕන දෙයක් නෙවෙයි.. ඒක මහ පරිත්‍යාගයක්.. සංසාර පුරුද්දට වගේ හමුවෙලා ආදරේ කරලා, හැමදේම බෙදාගෙන ගත කරපු කාලය ඉවර වෙලා.. 
පටන් ගත්ත දවසේ ඉඳන් දැනගෙන හිටියා ඔය හිත ඇත්තටම මට හිමි නොවන විත්තිය.. කිසිම දෙයක් නැතිව පටන්ගත්ත ආදරේ අවසාන වෙද්දි, ඔයා හොඳට ඉගෙන ගෙන හුඟක් ලොකු තැනක හිටියේ...  ඉතින් ඒක නේද මට වුවමනා වුණේ... කෙල්ලෝ සල්ලි වලට ආදරේ කරන්නේ කියන එක මං බොරු කලා.. ඔයාට අතේ සතේ නැතුව ජිවීතය පටන් ගන්න උදව් කරල මං ගියා... 

මට රිදෙන්න මං ඉඹින්න.
මට දැනෙන්න ළඟ හිඳින්න.
හිමි නොවන බව දන්නවා.
හිත තාම ඔබ.. හොයනවා...
දන්නවද මං දැන් තනි වෙලා..


හුළං රැල්ලක් හමනකොට මට දැනෙනවා ඔයා මගේ ළඟ ඉන්නව කියලා සමහර වෙලාවට... ඒ සුවඳ මාව ඉඹිනවා.. මට දැනෙනවා... ඔබ මාව ඉඹිනවා කියලා... මං තනිවෙලා හඬනකොට, ඉස්සර ඔය පපුවෙ මං හිස තියාන ඉන්නකොට යන්තම් දැනෙන්න නොදැනෙන්න මගේ හිස අත ගානව වගේ දැනෙන්නවා... දැනුත් දැනෙනවා...

ඔයාව මං දාලා ගියත්.. මං එක්ක ඒ ආදරේ තාම තියෙනවා බබා... ඔයා සතුටින් ඉන්න...

ඉර්ෆාන්...



ඉර්ෆාන්   ඉතින්..
මං බුර්කාව නොඅඳින
දුහුල් ඇඳුමට ප්‍රිය,
කතෝලික කෙල්ලක්මි.
මට නෙත් හසුන් එව්වට...

අපි අසල්වැසියන් බව ඇත්ත..
ඒත් ප්‍රේම කරනු කෙලෙස..
ඔබ මගේ මූලික හිමිකම් 
හොරකම් කරන්නම 
මග බලන බව පමණක්ම දනිමි..

ඔබේ ඔය නෙත් හසුන් වල ප්‍රේමය කෙලෙස නමුදු...
ඔබගේ වෛවාහක බිරිඳ වූ කල
රාත්‍රිය බිහිසුනු වෙනු ඇත.
හඬමින් සීතල පොලවෙහි 
නිදන්නට වෙනු ඇත..

මේ දුහුල් සුව ඇඳුම් පසෙකලා
ලෝගු පොරවන්නට වනු ඇත.
ඔබ දෙවියන්ගේ තිලිණ ලෙස පවසමින්
පෝලිම් විලස දරුවන් මවනු ඇත...

මේ තරුණ කය මැදි වියේදිම
මහලු කරනු ඇත..
තහනම් වැට කඩොල් බැඳෙනු ඇත..

අවසානයේ මූලික හිමිකම් සියල්ල මගෙන් උදුරනු ඇත..

ප්‍රේමය නම් ස්වර්ගයක් නොව
අපායක්ම වනු ඇත...

*************************************

පසු සටහන:
තමන් අදහන ආගම යනු උපතින් තමන්ට උරුම වෙන දෙයක් නොව තමාගේ කැමැත්තෙන් අදහන්නක් විය යුතුය.  ඒ  සඳහා ආර්ථික භෞතික ලාභ ප්‍රයෝජන නොමැතිව හා බල කිරීමකින් තොරව ආගමක් ඉගැනීමේ ප්‍රවේශයක් ලොව තිබිම වැදගත් වනු ඇත.. නමුත් ආගමක හරය බුද්ධියෙන් විමසා වැරදි අතුරෙන් නිවැරදි දේ තේරීමට බුද්ධිමත් වීම පුරවැසියකුගේ අවශ්‍යතාවකි..





ඒ සියලු වරදවල් මම පවර ගනිමි.

ඒ සියලු වරදවල් මම පවර ගනිමි.

සිනාසුන තැන් වල 
විසිරු වූ කඳුලු ඇට
මා විසින් වගා කොට 
වතුර දමා සත්කාර කල බැව්,
ඔබ කරන චෝදනා 
නොසඟවා හර කරමි...
මම මගේ ගිණුමට...

ඔබට යන්න ඉඩ හරිමි..
ඈත දුර ලෝකයට..
මමත් මගේ සුවඳවත් 
නොහමනා ලෝකයට...

නමුත් තවමත් ශේෂ වූ ප්‍රේමය.
කැබලි නොකර රුවාගමි..
හදවතේ පත්ලට...

යලි හමුවෙනා දිනෙක 
පෙන්වමි..
ඒ අරුම ප්‍රේමයම හොවා හදවතින්...
රිදුම් දෙන තැන් සමඟ...

Carrier guidance




මං මේ ලියන්නේ, ලියන්න හිතාගෙනම හිටපු ලිපියක් .. මේ ලිපියෙන් ඇත්තටම තමන්ගේ වෘත්තීය තෝරාගන්නේ කොහොමද යන්නයි කතා කරන්නේ...
ඇත්තම කියනවා නම් මටත් නිවැරදි  carrier guidance එකක් ලැබුණේ නැහැ.. ඉතින් මං කැමති මට පුලුවන් හැමෝටම carrier guidance කරන්න..

මේක ලියන්නේ මගේ දැනුමින් නිසා සමහර විට වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්.. නමුත් බහුතර කරුණු නිවැරදි බව සහතිකයි..

මුලින්ම සාමන්‍ය පෙළ ශිෂ්‍යයෙක්ගෙන් මං පටන් ගන්නම්... සාමාන්‍ය පෙළ කියන්නේ ජීවිතයේ ලොකුම හැරවුම් ලක්ෂ්‍යක්.. හුඟක් හොඳ ප්‍රතිඵලයක් එනවා කියන්නේ ඉතින් තමන්ට කැමති ඕනම විෂය ධාරවක් උසස්පෙළ යටතේ කරන්න පුලුවන් කියන එකනේ.. 

සාමාන්‍ය පෙළ සමත් නොවුණ අවස්ථාවක, තමන් කැමති අංශයෙන් යන්න රජයෙන්  පවත්වන full time වගේම part time , පාඨමාලා හුඟක් තියෙනවා.. ඒ වගේ එකකට අවශ්‍ය කෙනෙක්ට ඒලෙවල් නැතිව වුණත් apply කරන්න පුලුවන්. NVQ level  කියලා දෙන්නේ ඒ ඒ පාඨමාලා වල මට්ටම්. 

NVQ කරන කෙනෙක්ට UNIVOTEC නැත්තම් 
වෘත්තීය තාක්‍ෂණ විශ්වවිද්‍යාලයෙන් උපාධිය දක්වාම ඉගෙනීම කටයුතු කරන්න පුලුවන් අවම ගාස්තු සහිතව. නැතිනම් විවෘත විශ්ව විද්‍යාලයේ වුණත් ඉංජිනේරු උපාධිය ලබා ගන්න පුලුවන්. NVQ level වලින් විවෘත විශ්වවිද්‍යාලය  ඉල්ලන මට්ටම් සහිතව.
මේ පිලිබඳ තොරතුරු වෘත්තීය හා නිපුණතා අමාත්‍යංශයට අයත් වෙබ් සයිට් වලින් ගන්න පුළුවන්.

උසස් පෙළ කරපු කෙනෙක්ට තියන පළමු බලාපොරොත්තුව විශ්වවිද්‍යාලයකට තේරෙන එක.. එහෙම නැති නම් එක එක විශයන්ට අදාලව හුඟක් මාර්ග තියෙනවා රැකියාවකට යන්න.. 

ඒ කොහොම වුණත් කියන්න ඕනම දේ තමයි ඔබ ඉගෙනීමට පෙර තමන් යන්න ඕනා වෘත්තීය ගැන තීරණය කරන එක අවශ්‍යම දෙයක් කියන එක. මොකද ඒකත් හරියට අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නැහැ වගේ උපාධිය ඉවර වුණාට පස්සේ ඒ උපාධියට අදාල රැකියාව තමන්ට සුදුසු නැහැ හෝ කැමති නැහැ කියන එක පුද්ගලන්ගෙන් 90% කටම තියන සිතුවිල්ලක් වෙන එක..

ලංකාවේ උපාධිධාරීන් බහුතරයක්ම හිතන්නේ ඕනම උපාධියක් ගත්තම ඒසී කාමරයක 8-4 රැකියාවක් රජය විසින්ම තමන්ට පුදන්න ඕනා කියලා.. ලංකාවේ රජය අපිට නිදහස් අධ්‍යාපනය දීලා, නිදහස් සෞඛ්‍ය දීලා, නිදහස් උසස් අධ්‍යාපනයත් දීලා, මව්පියන් රජයේ රැකියා නැති නම් මහපොලත් දීලා, තව අඩුවට හොස්ටලුත් දීලා රැකියාවත් රජයෙන්ම බලාපොරොත්තු වෙන එක ඇත්තටම නිවැරදි සිතුවිල්ලක්ද කියන දේ අපි හිතන්න ඕන කාරණයක්.

රටක ආර්ථිකය ගොඩනගන්න පුලුවන් තරුණ ශ්‍රමය රජයේ කාර්‍යාලයට යට කරන එකත් ලොකුම ව්‍යසනයක්. මේ කාරණයත් එක්ක දළ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට තරුණ ශ්‍රමයෙන් කිසිඳු දායකත්වයක් ලබා ගන්න රජය බලාපොරොත්තු වෙන් නැහැ. ඇත්තටම මේ විදියට රට ඉදිරියට යන්න බැහැ කියන දේ අවධාරණය කරන්න ඕනා.

ඉගෙන ගත්ත දෙයින් ආයෝජනය කරන්න ඕනා තමන්ට, අවදානම බාර අරන් ව්‍යාපාරයක් අරඹන්න පුලුවන් වෙන්න ඕනා.. කෘෂිකර්ම උපාධියක් ගත්ත කෙනෙක් ඊට අදාල නිෂ්පාදනයක් දේශීය වෙළඳපලට වගේම විදේශීය වෙළඳපලට හඳුනවා දෙනවා වගේ.. රජය වියදම් කර උපාධි ලබා දුන්නත්, එවැනි නව නිශ්පාදකයින්, තරුණ ව්‍යවසායකයින් ඉතාම අවමයි.

මේ කරුණු ටික කිව්වේ ඇත්තටම ඔබට හිතන්න උදව්වක් වෙන්න..

හරි දැන් බලමු පොදුවේ යන්න තියන මාර්ග.

රජය විසින් පිරිනමන උපාධි හා පාඨමාලා
1. රජයේ විශ්ව විද්‍යාල
2.  විද්‍යා පීඨ
3. උසස් ජාතික ඩිප්ලෝමා ආයතන හා වෙනත් තාක්ෂණික ආයතන- HND, NDT, NCT, TTI, සංචාරක අමාත්‍යංශය යටතේ පවතින හොටෙල් ක්ෂේත්‍රය ඉගැනුමට රජයේ ආයතන
4. හෙද හා පරිපූරක වෛද්‍ය සේවයේ ඩිප්ලෝමා සඳහා
5. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හෝ කැඩෙට් තනතුරු වලින් පසු ත්‍රිවිධ හමුදාවේ නිලධාරී සේවය (officer ranks)
6. නීති විද්‍යාලය

රජයේ ගාස්තු සහිත ඉගැනුම් අවස්ථා
7. විවෘත විශ්වවිද්‍යාලය.

8.සාගර විශ්ව විද්‍යාලය

රජයේ නොවන තරමක පිරිවැයක් අවශ්‍ය ඉගැනුම් අවස්ථා.
9.  පෞද්ගලික විශ්වවිද්‍යාල
SLITT
NSBM
NIBM
CINEC

10. වෙනත් පාඨමාලා 
CIMA, CIM, SLIM, Chartered Accountancy 


 
රජය තරඟ විභාග වලින් ලබා දෙන විවිධ රැකියා
බැංකු
කළමනාකරණ සහකාර

මෙවැනි හුඟක් විශාල අවස්ථා තිබෙන නිසා එකින් එක බලන්න ඕනා වාසි අවාසී.. ඒත් ඇත්තටම ඒක සාපේක්ෂයි. එක්කෙනෙක් කියන දෙයක් තමන්ට අදාල නොවෙන්න පුළුවන්. ඒ නිසා හොඳට හිතලා නිවැරදි කියලා තමන්ට හිතන මාර්ගයට විතරක් අවතීර්ණ වෙන එක තමා සුදුසුම දේ. 

තව හොඳම අවස්ථාවක් තමයි උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් පිරි නමන පිටරට ශිෂ්‍යත්ව. ඒවා පිලිබඳ හුඟක්දෙනෙක් දන් නැහැ. සම්පුර්ණයෙන්ම නොමිලේ සහ අර්ධ වශයෙන් ලැබෙන ශිෂ්‍යත්ව තියෙනවා. ඒවා පිලිබඳ උසස් අධ්‍යාපන වෙබ් අඩවියෙන් තොරතුරු ගන්න පුලුවන්.උ

අපි....

හතරරියන් සහ දෙරියන්..
මං කිව්වේ එහෙම ...

ඒත්...
ගලිවර් හා ලිලිපුට්ටි වගෙද...

කැමති...

කිව යුතුම දේ 
කවියකට නැඟීමම අපහසු..
ඊටත් ඔබට කියවීමට තබා
කියවා රිදුන පසු 
නුඹේ වදන යළි යළි කියවීමම 
හුඟක් අපහසු...

"මං දන්නවා ඒ මං ගැනම ලියූ බව.."
යන කෙටි පණිවිඩය
පැමිණීමට පෙර, 
නිවනක්‍ බව සීතීමම
කෙතරම් අඥානද...

මේ මෝඩි තවමත් ආදරේ බව 
රහසක්ද...
රිදවන්නට පෙර මගේ සියුම් ඉසියුම් හැඟුම්
කවි කිරීමම අවැසි..
නුඹ මගේ බව අසන්නට පමණක්ම කැමති...

නොනිමි ප්‍රේමය

සුසුම වුව බිඳී විසිරී හඬ මවන කටුක නිහඬ යම,, නුඹටය..... දිගු රැයක පවා නොසැලෙන ප්‍රේමයටය.. තරු වර්ෂ ගණන් නොහිඳෙන කාලයට. මේ වැසි අක...