කුරුලු දඩයම -03


ලිපියෙන් පසු දුර්ශාන් තීරණය කලේ අභියෝගය බාරගෙන කෙසේ හෝ ක්‍රිශෝලී දිනා ගන්න... ඇත්තටම ආදරයක් ජය ගන්නවා කියන්නේ ලෙසි පහසු දෙයක් නොවන වග දුර්ශාන්ට තේරුණා.. නමුත් ඔහු පසුබට වුණේ නැහැ.. ඔහු බීජ වර්ග එකින් එක හොයාගෙන තමන්ගෙ පැස පුරව ගත්තා.. ඒවා අරගෙන හනික වේගයෙන් පියඹා ගියේ දකුණු වියලි තීරුවට.. ඒකෙන් එක කොටසක් තුරුපත් රැක ගැනීමේ දූ කුමරියන්ගේ කණ්ඩායම තුරු වවන්න ආරම්භ කරලා තිබුණේ.. ඒ නිසා දුර්ශාන්ට තිබුනේ එක කොටසයි.. වසර ගණනාවක් යන වැඩක් වුණත් ඉතාම කඩිසරව හැමදාම බීජ සියයක් හොයන් ඇවිත් පැලකරන්න ඔහු තීරණය කරලා තිබුණේ.. ඔහුට ඒක ඇත්තටම අමාරු කාරනයක් වුණා.. බීජ සියයක් දිනකට වවන එකම.. විශාල බීජ නම් ඔහුට වරකට එකක් හෝ දෙකක් පමණයි රැගෙන පියාඹන්න හැකි වුණේ...

" ඔබ විඩා හරිනවද.." තුරුපත් රැක ගැනීමේ දූ කුමරියන්ගේ කණ්ඩායමේ කුමරියක් දිනක් දුර්ශාන් මහන්සිය නිවාලමින් සිටින වෙලාවක ඔහු අසල වූ අත්තක වැසුවේ එසේ අසමින්..

"හ්ම්ම්..." දුර්ශාන් පැවසූ අයුරින්ම ඔහුට හුඟක් වෙහෙස බව ඒ කිරිල්ලිට තේරුණා..

"ඔබට වෙහෙස මොකද..."

"සමහර බීජ හරිම විශාලයි... ඒවා උස්සන් යෑම හරිම විඩාබරයි. "

ඒ කුමරියට සිනහා පහල වුණේ එසැනින්.. දුර්ශාන් නම් කොච්චර මෝඩද... ඒත් ඔහු පව් කියලත් හිතුණා..

" බර බීජ පැල කරන්න හිතන්න එපා..  ඒවා රැගෙන යන්නත් අපහසුයිනේ. පහසු බීජ තියනවා.. "

වගා කිරීම පිලිබඳ නොදන්න බොහෝ දේ කිරිල්ලිය ඔහුට කියා දුන්නා..

පහසු බීජ වර්ග... පහසුවෙන් පැල වෙන බීජ වර්ග.. ඉක්මනින් වැඩෙන බීජ වර්ග ගැන... ඒ වගේම චීන උණ ගස් ගැනත් කියා දුන්නා.. ඒකට නම් අලියෙගේ හරි වෘකයෙකුගේ හරි උදව් අවශ්‍ය බවත් කියා දුන්නා.. දුර්ශාන් ඉතාම නිරහංකාරව තමන්ගේ කෘතඥතාව ඇයට පල කලා.. නොදන්න බොහෝ දේ කියා දීම නිසා..

කුඩා චීන උණ පඳුරුවල මොටෙයි ගලවන්න සමහර වෘකයන් දුර්ශාන්ට උදව් කළා...

දුර්ශාන් රැගෙන යන බීජ ඉඩ ඇති හැමතැනම වපුරන්න සුළඟ ඔහුට උදව් කළා.. හුඟක් කැලෑ සත්තු දුර්ශාන්ගේ මේ ධෛර්යයට උපකාර කළා..

වැසි දෙවඟනත් සිහින් වැසි සෑම සවසකම මිහිතලයට එව්වා.. හැමදේම සිද්ධ වුණේ දුර්ශාන්ට සතුටු හිතෙන විදියට... දුර්ශාන්ගේ පැතුම් මල් ඵල ගන්වන විදියට.

ඒ වගේම විශ්මාර් වනන්තරයේ හැම සතෙක්ම, හැම කුරුල්ලෙක්ම දුර්ශාන්ග්ගගේ ආදරය ජය ගැනීමේ මහා සටන පිලිබඳ දැන හුන්නා.. ඒ පුවතට තටු ලැබුනේ කොහොමද කියන්න කවුරුත් දැන හුන්නේ නැහැ.  වන ලැහැබේ සියොතුන්, සිව්පාවුන් හමුවෙන හැම සතෙකුටම දුර්ශාන්ගේ ප්‍රේමය ජය ගැනීමේ අභිප්‍රාය පිළිබඳ පැවසුවා... සමහර කිරිල්ලියෝ නම් ක්‍රිශෝලීට ඉරිසියා කලා.. ඒත් සමහරු හරිම සතුටු වුණා. සමහරු පැල මහ වෘක්ෂ වෙන්න උදව් කළා.

දුර්ශාන් ඔය විදියට තමන්ගේ උත්සහය නොපිරිහෙලා ඉටු කරමින් පැවතුණා. ඒ ක්‍රිෂෝලි දිනා ගැනිමේ අවශ්‍යතාව නිසාම නෙවෙයි. පස්සේ ඔහුට ඒ කර්තව්‍යය ආස කරන දෙයක් වුණා . දින ගෙවුනා, සති ගෙවුනා.. මාස ගෙවුනා... ඔහොම මාස ගණන් ගෙවී යද්දී කුඩා පැල මහ විසල් වෘක්ෂයන් දක්වා වැඩෙමින් තිබුණා ඒවා දවසින් දවස වැඩෙන හැටි දකින දුර්ශාන්‍ ට හරිම සතුටුයි.. 

ක්‍රිෂෝලී දැනන් හිටියා දුර්ශාන් ආදරය නාමෙන් තුරුපත් වවන බව.. ඇත්තටම තමන්ගේ අභියෝගය ප්‍රේමය නාමයෙන් ජය ගන්න බව... තනිවම... ශක්තිමත් තරුණ පහේ කොල්ලෙක්ට පුලුවන් හැම ශක්තියෙන්ම... දුර්ශාන්ට සිය කැමැත්ත පල කරන්නේ කවදද කියලා ඇය ඇඟිලි ගනිමින් උන්නේ... සෑම රාත්‍රියකම ඇය ඇගේ සිතැඟි වේලිච්ච පත් වල ලියුවා. ඒවා දුර්ශාන්ට කවද හරි දෙන්න ඇය සිහින මැව්වා.. ඒ හසුන් පැසක් තුල සඟවා තමන් ජීවත් වුණ් විසල් වෘක්ෂය තුල සැඟවුවා..

"ප්‍රේමය අභ්‍යන්තර සුව කරන ඔසුවක්..."

"වදනක් නොදෙඩුවත් ඒ ආදරය..."

එවැනි කුඩා ප්‍රේමනීය වදන් වේලිච්ච පත් අතර ලියැවුණා..

ඔය අතරයි ඒ විශ්මාර් වනන්තරය තිබුණ රට සෝවියට් රුසියානු සමූහාණ්ඩුවට අයත්ව තිබිලා වෙනම රාජ්‍යයක් වෙන්න කටයුතු සැලසුනේ. ඒ දේවල් නිසා ඒ රටේ බිහි වුණ නායකයා කෘෂි කර්මාන්තය දියුණු කරන්න හිතාගෙන විශ්මාර් වනාන්තර භාවිතා කරන්න අවසර දුන්නා.. හැම පැත්තෙන්ම මිනිස්සු ගොවිතැන් කරන්න වනාන්තර එලි කරන්න ගත්තා..  කෙතරම් විශාලව තිබුනත් විශ්මාර් වනන්තරයේ ප්‍රදේශ ටිකෙන් ටික කාන්තාර බවට පත් වුණා... 

එය නොදැන ක්‍රිෂෝලි ඇතුලු තුරු පත් රැක ගැනීමේ දු කුමරියන්ගේ කණ්ඩායම තුරුපත් නොමැති කොටස් වලට බීජ පැල කරමින් උන්නා..

ආදරණීය කතාන්දරය කවුරුත් හිතුවේ නැති විදියට අවසානය දෛවයෙන් ආ ලියමනක ලියවී තිබුනා..

අහෝ... කෙතරම් ඛේදනීයද .... ඒ මහ ගිම්හාන කාලේ ගොවියෙක් විසින් තිබ්බ එක කුඩා ගිනිතැබීමක් ලැව් ගින්නක් තරම් විශාල වෙන්න ගතවුනේ එක රාත්‍රියක පැය කිහිපයක් පමණයි...  ගිම්හාන වියලි බව, ගිම්හාන උණුසුම නිසා ඉතාම වේගයෙන් ගින්න පැතිරුණා.. අග්නි වලා මුළු විශ්මාර් වනන්තරයේ දකුණු තීරුවේ කොටසක් වසා ගත්තා..ඒ හරියටම ක්‍රිශෝලි සමඟ තුරුපත් රැක ගැනීමේ දූ කුමරියන්ගේ කණ්ඩායම නවාතැන් ගෙන සිටි කොටස... අනේ අසරණ ක්‍රිශෝලි...!!! ඇය ඒ මහ රුදු ගින්නට හසු වුණා.. ඒ  සිනිඳු  මනෝහර පියාපත් මුලින්ම වියැලුණා.. තවත් ගිනිසිළු වැදීමෙන් පිලිස්සුණා.. ඇය ඉතාම අසරණව ජීවිතය යදිමින් සිටියා.. නමුත් සියල්ලම එක් ක්ෂණයෙන් විනාශව ගියා...
ඒ මහා අග්නි ජාලාව දුටු දුර්ශාන් ක්‍රිශෝලී සොයා පියැඹුවා...

හරියටම ක්‍රිශෝලි උන්න ඉස්සව්ව සොයා ගන්න දුර්ශාන්ට අපහසු වුණේ නැහැ.. ඒ තමයි ඒ වෙනකොට විශ්මාර් වනන්තරේ තිබ්බ සශ්‍රීකත්වයෙන් ආඪ්‍ය ප්‍රදේශය. එකින් එක යන්තමින් ගිනි ගහන තුරු පසුකරගෙන භියෙන් සලිතව දුර්ශාන් ක්‍රිශෝලි ළඟට පැමිණ සිටියා..

නමුත්... අහෝ!!! ක්‍රිශෝලි,, දුර්ශාන්ගේ ප්‍රේමය තිබුනේ අවසන් හුස්ම කිහිපය අයදිමින්.. පොළව මත පිලිස්සුන පිහාටු තිබුණා. ක්‍රිශෝලීගේ පියාපත් මෙන්ම දුර්ශාන්ගේ හරිත කහ මිශ්‍ර වුන අලංකාර පියාපතත් පිලිස්සෙමින්  තිබුනා.... දුර්ශාන් දුටු ක්‍රිශෝලි යන්තමින් වදනක් කියාගන්න වෙර ගත්තා.. "හැකි ඉක්මන්ට ඔබ බේරෙන්න.. මා ආදරෙයි."

ඒත් ඒ වදන් අවසන් කරන්න බැරි වුණා.. ඉක්මනින් අග්නි ජාලාව දුර්ශාන්ද මැදිකරගත්තා.. ඒ ප්‍රේමණිය කතාව එසේ අවසන් වුණා.

නිමි..


1 comment:

  1. අරූ, ඔයාගෙ මල්ලිගෙ "https://matahithenahatiblogger.blogspot.com/" බ්ලොග් එකට එයා පෝස්ට් දාන්නෙ නැත්තෙ මොකද? මම කියවපු මාරම ලස්සනට කතා කියන බ්ලොග් කාරයා තමයි ඔබේ මල්ලි. පොඩ්ඩක් හොයලා බලල කියන්නකො මොකද සීන් එක කියලා. පුලුවන්නම් ආයිත් පොස්ට් දාන්න කියලා කියන්න. ආසාවෙන් බලාගෙන ඉන්නෙ.

    ReplyDelete

තනිකමක් තියා නොතියාම  ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම  හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...