කඳුලු වියැලෙන පිණිස
හමා ආ මාරුතය
රැගෙන ආ සුවඳ පොද
ඔබව යලි රැගෙන ආවේ
මගේ හද මස්තකයට

නොලියුව හැම අකුරු මත
රැඳුනු දුක්බර කවිය
දියවුනේ කඳුලු මත
ඔබට නොපෙනෙන්නට
ඔබෙන් සඟවන්න..

ගෙවා ආ ගමන ගැන
කිසිඳු දොම්නසක් නැතිවද
බිඳුනු හැම හීන ගැන
වැලපෙනවා හදවතම
ඔබව සඟවා හීන යට...

කවුරුද නුඹ?




පාළු විඩාබර සීත නිශායම 
උණුසුම් පහසක් තුරු අතරින් ගෙන
මගෙ නෙත් පියවෙන ලා අඩ නින්දට
සුවයක් ගෙනවිත් හීන පලසකට

අරා නුබ ගැබට සරා සඳක්වම
භද්‍ර යෞවනයේ හැඟුම් වැසි මැද
නිසලව හිඳි හිත අතගා හෙමිහිට
කවුද කියනු මැන නාඳුනනා නුඹ

සිහිල් පැන් පොදක පහස හැඳින හද
නිවා මහද ඉහිලූ මහ ගින්දර
නුඹේ මුදු අතැඟිලිමගෙ හිස මත දිව
ගෙනෙනා පහසින් ඇහැරෙයි හදවත

ආදරයක් සෙනෙහසක්‍ ය නොමියෙන
කෙලෙසක කීවත් හැඟේය මහදට
හැබැහින් විඳවමි ලෞකික සොම්නස
රැඳෙන්න ඉඩ දෙනු මියෙනතෙක්ම මට

හෙමිහිට මුමුණන ආදර වදනක
ඇති මහ සෙනෙහස විඳිනෙමි නිහඬව
දොඩමළු වී මා නුඹ හා හෙමිහිට
ගිල්වමි නුඹවම ආදර සිඳු තුල

සුරතල් වෙන්නට ආසයි නුඹේ ළඟ
හොවනෙමි හිස නුඹේ ළය මත හෙමිහිට
මගේ සුසුමන් හැම අමතක කරවන
නුඹ කවුරුද මගේ හදවත පැහැරුව?


නැකතට උදාවෙන සුභ මොහොත
පතිකුලය පිලිගන්න වරම් උදාවුන
ලෝකයට නොපෙනෙන්න හිනා වෙන
අසරණ දෙනෙත් තුල කිමිදෙන්න
බයයි මට ආයෙත්ම...

හිත කිව්ව බසට අවනතව
කවි ලිව්ව හිත රිද්දුවට
ආදරය නොමියෙනුය
ගිලිහෙන තෙක්ම හුස්ම
ඔබ පෙම් කරපු ළය මතින්ම...

කෙතරම් ගල් මුල් පැමිණද
ඔබ සවිමත්ව හුන්නද
මා ඉදිරි වැටුනේ එකනෙහිම
ඔබට පිරි නමනු කියා සතුට
මට පුදනු නොහැකි ලොව
හිමි කරන්නට නුඹට  මගේ ළබැඳියේ...

ඔබේ දුක්ඛිත දෙනෙත් මැද
කිමිදෙන්නේ කෙලෙසක
මට අහිමි යන මගේ එකඳු වස්තුව
ම'විසින්ම අහිම කර ගත් අඥානකමට

නොදන්වා එන පෙම්වත......

රහසින් පැමිණ
රහසින් යෑම
පුරුදු ඔබට...
රහසින් හඬන
මගේ නෙතු
බරව යන්නට
ඉඩ දීමත්
පුරුද්දට ගිහින්...
මා හඬා වැලපී
රහසින්ම
නොක නොබී හිඳ
රහසින්ම
කෘශව ගොසින්.
මියෙන තරමට
සවියක් නෑ කිසිඳු.

ඉරිදා දේව මෙහෙය අතරතුර
ඔබ හොරැහින් බලන වර
මා අපහසුවෙන් ගණනය කල
තිගැස්සිම් ගණන අතලොස්සකි.

මන්ද නොඅසනු සබඳ
ඒ අතලොස්සක වෙනස
ඔබ හොරැහින් බැලු ගණන
දහසක් ඉක්මවන සඳ

වෙහෙසයි මට ඔබේ සලකුණු
හුරු වුනේ වේගයෙන් ඔබට
අල්තාරය අබියස හිඳ යටසින් වන වැනුම
දෙවියන්ටත් හොරෙන් පියාපත් අත් හරින

අගෞරවයක් නොකරෙන්න දෙවියන්ට
බිඳෙනු ඇත තටු දිනෙක
ඔය තරම් වේගයට නැතිය ආයුෂ.
හෙමිහිට ගලන්න දෙන්න ජීවිතය.

ඉදින් නොබලන්න මා දෙස.
මට දැනීමක් නෑ දැන්
ඔය කුරුලු බැල්ම
තටු අත් හැරලා මඟ බලන

තටු ගසා පියඹන්න.
කවි ලියා ගී ගයන්න.
ජීවිතය විඳින්න
හදිස්සියක් නෑ පියඹා යන්න

බිඳුණු මේඝයන් සේ
පතුරු ගැලවි ගැලවී
සුසුම් පොදියක් විටින් විට
වා තලයට මුසු වනු
දරාන අපහසුයි..

වෙදදුරෙකු වූ නුඹ
අද රෝහල් සයනක
තතන තතනා
ගෙවන මොහොත
මටඳු හරිම බරයි..

අබියසට විත් වදනක්
දොඩන්න බයයි...
පැමිණියේ ඔබ
ආරෝහ පරිණාහ දේහයෙනි.
දැන් කෙසඟව ගිය සිරුර
පවසන කතාව නොදැන නොවේ.
සඟවනු කෙලෙස ඔබේ තතු
ඔබ මටත් වඩා හොඳින්
දන්නවා නොවෙද.

සිලි සිලියේ විසිරෙන
හීන මල්ල දැක දැක
ඔබ ඇහිඳින්නවත්
වෑයමක් නොවෙතත්..
කඳුලු කතාවක් නරඹන්න
නොහැකිය තවදුරටත්

හිමිදිරියටත් කලින්
පැමිණෙන යුවතිය
ඔබේ පෙම්වතිය බැව් දැනත්
කෙලෙසක කතා බස් කරනු
ඔබ ගැන ඇය සමඟින්වත්.

හිනාව මිස කිසිත් නැත
පුදන්නට මට ඇයටත්..
ඉදිරියෙන් පැමිණෙන
අසෙනි මහ වැස්ස ගැන
තතු දැනත් නොදැන සේ
හිඳින්නට වෙර දරන
ඔබ මෙන් මමත් අසරණයි.

මිලිනව යන හුස්ම
ගිලනුන් දහස් ගණනක්
සුව කරන්නට හුන්නත්..
සවියක් නැති මේඝයකි
ඉදිරියෙදී කඩා හැලෙන.
පිලිකා සෛලයකින් ඇරඹි.

ආදරය කියන්නේ පාවෙනා තරුවකටය.


කළු වලා මධ්‍යයේ හිනා වෙන
රන් නෙතින් සැර විදා කොනිත්තන
උඩඟුවෙන් සිලි සිලියේ නොහික්මුණ 
ආදරය කියන්නේ බැබලෙන තරුවක්‍ ය..

එකෙනෙහිම තාරකා දැවෙන සුළුය
හිතුවක්කාරකමට නෑ කිසිත් පහදන්න.
රත් වෙනවා ඇති පදම නොදැනම
ආවේශව අනේකවර වෙසෙසින.

ගිනි ගෙන දැවෙන සඳ තාරකාව
මෙදියතට බහිනවා උල්කාශ්මයක්ව 
පුපුරන හඬ නොඇසුනද
විසල්ව බැබලෙන්නේ ආදරයය.



පැනය

රක්ත රත්මල් වතුර වීදුරුව
දෑතින් හොවාගෙන
මන්දහාස මවාගෙන
රතු පාවඩ අබියස
හිටගෙන හිඳින ඔහුගේ මව
රැවටී හිඳින බව
සහසුද්දෙන්ම දන්න උන්
පිටුපසින් හිඳ හිනැහෙනවා.

මහ වික්‍රමයක් කලා සේ
හැඟෙනවා මගේ හිතට
ප්‍රේමයට පිදුව බඹසර
සුරක්ෂිතව මා දිනෙන් දින
විවාහයක් දක්වා රැගෙන
ඔහු බෝසත් පිරිමියෙක්දැයි
අහනවා මගේ හිත..




නොහිතා ඉන්න හිතයි.
හිත හිතා ඉන්නවට වඩා.
අසෙනි මහ වැසි වැටෙයි
මේ උග්‍ර ග්‍රීෂ්මයේදිත්.
ඔබ නාවේ ඇයි හිත අසයි.

අසෙනියක් වෙලා හෝ 
ඇද වැටෙනු'යි අයදිමි..
ඔබෙන් එකම එක වරක්.
මේ භවේදී පමණක්වත්..

මතක මල් පෙති 
නොදවටමි, මේ කඩා හැලෙන අසිනි වැස්සක, ඇද හැලී  ගසාගෙන යන්න..
කවියක දියකරලමි.
ප්‍රේමයේ උත්කෘෂ්ට වේදනාව විඳින්න..

විකාර ජීවිත මිස කවි නොවේ....

"කවි විකාරයක්..."
ඔයා කිව්වේ එහෙම.
ඒත් මේ ආදරෙන් රිදෙන හිත හදා ගන්න තිබුන එකම ක්‍රමය කවි ලියන එක කියලා කියන්න මට පුලුවන්කමක් තිබ්බේ නෑ. අහස වගේ වෙනස් වෙන හිතකට ආදරේ කරලා පොලව වගේ දුක උහුලන්න දැන් මට හුරුයි.
කඳුලු කැට එක දෙක නොගලනවා නෙවෙයි. ඒත් ඒවා කාටවත් නොපෙනෙන්න රහසින් ලේන්සුවෙන් පිහදාලා හිනා වෙවි ඉන්නවා.

"කවි ලියන හිත්
හරිම සුසුදුයි....."
ඔබ කිව්වේ එලෙස නොවේ..
ඒත් ඒ හිත් සියුමැලියි.
අව්‍යාජයි.

"කවි හිත් මහ කුරිරුයි.
වචන හරි තියුනුයි.
හිත් පතුලටම 
කිනිසි පහර එල්ල කර
නොදන්නා ලෙස හිඳින හැටි 
පුදුමයි....
හරිම පුදුමයි...."

නොනිදනා නගරයේ මට නිදන්න අවැසි වුව, හැකියාවක් නැත්තේ ඔබ නිසා බව කෙලෙස පවසන්නදැයි නොදන්නෙමි.
ප්‍රේමය වන්දනාවක් කොට මා ඔබට වන්දනා කලේ මගේ හද බැතිනි. නමුදු ඔබේ සසල සිත එකෙනෙහිම සසල වී මසිත රිදවා හුරු කරන්නට තරම් නිර්ලජ්ජිත වුයේ කෙලෙසදැයි නොදන්නෙමි. ඊටත් වෙනස්වෙන වෙනස් වෙන වාරයක් පාසා මමම ඔබට සමාව දෙන්න හුරුවීම ඊටත් වඩා නිර්ලජ්ජිත නොවන්නේදැයි මට පිලිතුරු නැති පැනයකි. පෙම් කරන්න පෙම් කරන්න සමාවත්, නික්මයෑමත් ඔබම පවරා ගත්තා නොවේදැයි මම නොඅසමි. ප්‍රේමය අන්ධකාර තාරකාවකි. ඔබ ඒ තාරකාව හිමි අහස් ගව්වයි.

අන් ළඳුන්ට හිමිවන සන්තාපය සේ මට ඔබ මා ඇසුරු කලේ හුදෙක් ඔබේ සන්තුෂ්ටියට නොවන වග ඉතා හොඳින් මා නොදන්නවා නොවේ. ඔබ මා කිසි දිනෙක යහනට නොගත්තේ ඔබේ වූ බෝසත් බව නිසා බැව් මම දනිමි. මා තුරුලු කර නොසැහෙන්න ආදරය කල ඒ ආදරයෙන් මා අමන්දානන්දයට පත් කල මගේ වස්තුව ඔබයි. ඔබ කෙසේ මා රිදවූද, මසිත කිසිඳු තරහක්, ක්‍රෝධයක් ඔබ පිළිබඳ නොවේ. රිදුන විගස තරහක් පැමිණියද මට එක් ක්ෂණයෙන් එම තරහා අමතකව යන බැව් ඔබද නොදන්නවා නොවේ. ඉදින් සත්තකින්ම මට මේ ආදරය වැලලීමට නොහැකියි..
මා කවිකාරියක් කල ඔබේ ආදරය, විසින් ආදරය අමරණීය කරන්නට තරම් කවි පැබැඳිලා...
කවි පුලුස්සන්න 
එන්න පෙම්වත
මේ රිදෙන කවි
ඔබව රිදවන කවි....

ඔබ ආවේ ප්‍රේමය රැගෙනය. ගියේද ප්‍රේමය රැගෙනය.. ඉතිරි කලේ මතකය පමණය. ඉදින් මා දිනෙක මතකයෙන් ගිලිහෙමි.
+++++++++++++++++++++++++++++++

වර්ෂ කිහිපයක් ගත කල හුදෙකලා දිවියට තිත තබන්නට දෙමව්පියන්ගේ බලකිරීම මත මම කැමැත්ත ප්‍රකාශ කලෙමි.
මනාලයා පැමිණීමට පෙරම මා කැමැත්ත පල කලේ ප්‍රේමය මිය ගිය හිතට බලාපොරොත්තු නැති බැවිනි.. මම බුලත් හෙප්පුව ගෙන ගියද මනාලයාගේ වත දෙස නොබැලුවෙමි. ලැබෙන දේ මම පිලිගනිමි.
ඉදින් පෝරුවට නැගීමට ප්‍රථම වුව මට කුහුලෙන් ඔහු දෙස බලන්නට නුවමනා විය. මා දෙමාපිය ආශිර්වාද මධ්‍යයේ පෝරු මත්සකය මත නැගීමේ මොහොත උදා විය.
අසිරිමත්ද දුක්බරිතද යැයි පැහැදිය නොහැකි තුෂ්නිම්භූත වූ අහම්බයක් සිදුවිනි. ඒ අහම්බය ඔහුගේ මුහුන දැකීමයි.
විශ්වාස කරන්න..
ඒ ඔහුය..
වසර ගණනක් මා ප්‍රේම කල,
ප්‍රේමය බිඳ පලා ගිය ඔහුය..

ඔබ පැමිණීම අහම්බයන් සේ ආයේ පැමිණියේ අහම්බෙනි.
ආදරය පුද දී රැගෙන ගිය ඔබ දෙවන වතාවට ආවේ විවාහයක් ගෙනය.
මම කිවයුත්තේ කුමක්දැයි නොදැන සිටියෙමි.

පෙම්වත..
බිඳුනු ප්‍රේමය ආයෙත් දලුලන්න
ඉදින් පැන් පොදක්වත් ඉහිමු....
කවි වලින් පැන් පොදක් ඉහිමු...

කවි විකාරයක් කියු නුඹ,
මා හා ඉහින්න පැන් පොදක් කවි වලින්...
ප්‍රේමය ඇවැසි දලුලන්න..

රිදුම



රිදුම් දෙන කේෂනාලිකා මත විස්කි දිය කර හරිමි.
සිහින පුලුස්සන නිකොටීන් ගර්ථ මත තවරමි.
ඔබව දකින්නට රිසි වෙමි.
මතට හා දුමට මොහොතකට ඉබියතුරු දමමි.
ඔබේ තොල්පෙති මත තැවරෙන සිහිනයක් දකිමි.
සිහිනයේ සැරිසරමි.

ආයේ මොහොතක් නැවතෙමි.
නැවත ආශාව යටපත් කර නිකොටීන් සිහිනයෙම වෙලෙමි. ගර්ථ මත එලමි.
ඔබව නිදහස් කර හරිමි.

ඔබව මතක් වී හිටි හැටියේ හඬමි.
දුම්බටේ උණුහුමින් නෙත් දියර වියලමි.
විස්කි වල රහ මැදින් හද රිදුම් දිය කර හරිමි.
ඔබව මතකයේ මතකයෙන් නෙරපමි.

සිහිනෙන් ඔබේ තොල්පෙති මත ඇවිද යමි.
තොල්පෙති සායම් දිය කර හරිමි.
විඩාපත් ඔබේ ප්‍රේමයේ මගේ ගිනිසිළුව දවමි.
ඔබව පුලුස්සමි.
තහනම් ඔබව අතහැර සිගැරෙට්ටු දල්වමි.
මමම පිලිස්සෙමි.

මගේ කෙඳිරිලි ශබ්දයන් නොඇසෙන්න මගේ ස්වර තන්ත්‍ර කීතු කීතු කර ඉරාලමි.
දුක හේදී යන්න කවි කීපයක් කුරුටු ගාමි. ඒ කඩදහි පුලුස්සමි. ඔබෙන් සඟවමි.

ඔබ ඒන නොඑන දෙගිඩියාවෙන් පෙලෙමි.
ආවත් නොආවත් ආදරේ සුරක්ෂිත හද පතුලටම කර තබමි.
නැතහොත් නිකොටීන් කේශ නාලිකා වල එලා සමුගනිමි.


වැරදි කවුරුද

සිනහවක් දීගෙන ලෝකයට පාඩුවේ ඉන්න බව පෙන්වාම සුගන්ධය විදා  මත් කරන එකයි  වරද පාඩුවේ මල් මැදින් පියඹන බඹරුන්ව උන් උනුන් පියඹන්නෙ සනුහ...