බිඳුණු මේඝයන් සේ
පතුරු ගැලවි ගැලවී
සුසුම් පොදියක් විටින් විට
වා තලයට මුසු වනු
දරාන අපහසුයි..

වෙදදුරෙකු වූ නුඹ
අද රෝහල් සයනක
තතන තතනා
ගෙවන මොහොත
මටඳු හරිම බරයි..

අබියසට විත් වදනක්
දොඩන්න බයයි...
පැමිණියේ ඔබ
ආරෝහ පරිණාහ දේහයෙනි.
දැන් කෙසඟව ගිය සිරුර
පවසන කතාව නොදැන නොවේ.
සඟවනු කෙලෙස ඔබේ තතු
ඔබ මටත් වඩා හොඳින්
දන්නවා නොවෙද.

සිලි සිලියේ විසිරෙන
හීන මල්ල දැක දැක
ඔබ ඇහිඳින්නවත්
වෑයමක් නොවෙතත්..
කඳුලු කතාවක් නරඹන්න
නොහැකිය තවදුරටත්

හිමිදිරියටත් කලින්
පැමිණෙන යුවතිය
ඔබේ පෙම්වතිය බැව් දැනත්
කෙලෙසක කතා බස් කරනු
ඔබ ගැන ඇය සමඟින්වත්.

හිනාව මිස කිසිත් නැත
පුදන්නට මට ඇයටත්..
ඉදිරියෙන් පැමිණෙන
අසෙනි මහ වැස්ස ගැන
තතු දැනත් නොදැන සේ
හිඳින්නට වෙර දරන
ඔබ මෙන් මමත් අසරණයි.

මිලිනව යන හුස්ම
ගිලනුන් දහස් ගණනක්
සුව කරන්නට හුන්නත්..
සවියක් නැති මේඝයකි
ඉදිරියෙදී කඩා හැලෙන.
පිලිකා සෛලයකින් ඇරඹි.

Comments

  1. රහයි මේ නිර්මාණය.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී

      Delete
  2. Replies
    1. ස්තූතියි විසිරි

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. සමා වෙන්න. වැරදිලා dlt උනා

      Delete

Post a Comment

හුඟක් අය බලපුවා