විසංයෝජන


"මිස් කතා කරන්න කැමති ෆෙමිනිසම් ගැන නේද... ලියන කවි වලත් තියෙන්නේ ෆෙමිනිසම්... ඩොමෙස්ටික් ව‍යල්න්ස් ගැන තකහනියක්ම අවලාද කියලා..."

රාහුල් මගෙන් ඇහුවේ ඒ ගැන කතා කල හැකි වෙලාවක නෙවෙයි... මොකද මං හිටියේ අදිසි කම්පනයක... එක දිගට කම්පන සියයකටත් අධික ප්‍රමාණයකට මුහුණ දුන්න මං හිටියේ එල්ලෙන්න පිදුරු ගහක් හරි හොය හොය... 
කිසිම පිලිතුරක් දුන් නැති වුණත් රාහුල් දිගටම කතා කරමින් හිටියේ...

"මැඩම් දන්නවද සමහර ගෑනු කැමති මිනිහගෙන් ගුටි කන්න... මසොකිස්ටික් ගෑනු ඉන්නවා හරියට.. එතකොට ඒක ඩොමෙස්ටික් වයල්න්ස් වෙන්නේ නැහැ... මැඩම් කියනවා වගේ.."

"ඒ ගැන මං ලියන කියන දේ වල තියනවා නම් එහෙම වෙන්න ඇති. මං මසොකිසම් ගැන දන්නේ නැහැ රාහුල්. මං ඒවට කැමතිත් නැහැ....." කතාවට තිත තියන්න මං ඉක්මන්ට කියලා දැම්මේ රාහුල්ගේ කතාවට බාධා කරමින්...

මට ඉක්මනට ගෙදර යන්න ඕන වුණා.

කඩා වැටුණ ජීවිතය ගොඩ ගන්න කල්පනා කරන්න ඕනා..  ඇන්තනීගෙන් ශෝට්ලීව් රික්වෙස්ට් කරන්න පුළුවන්.. කවදාවත් නොගන්න ශෝට් ලීව් ගැන අහන ඒවට පිලිතුරු මං ගාව නැති බව මං දැනන් හිටියා. 
මගේ අපිලිවෙල ඩෙස්ක් එකේ ෆයිල්, පෑන් පැන්සල් තියෙන තැන් වලින් තියන ගමන් හිටියේ...

රාහුල් කියන්නේ ට්‍රේනින් ආපු පොඩි කොලු ගැටයෙක්... ඌට මාව පේන්නේ අදහන්න වටින ජර්නලිස්ට් කෙනෙක් විදියට..

" සමහර ෆෙමිනිස්ට්ලා ෆෙමිනිසම් කරන්නේ ෆැෂන් එකට.. ගෙදර ගිහින් බලන්න ඕනා මිනිහට වඳින වැඳිල්ල..."

ටිකක් සද්දෙට මිස්ට කාපිරි කිව්වේ මට ඇහෙන්න.. කාපිරි කියන්නේ කාඩ් එක උගේ... ඇත්ත නම දැන් මට මතකත් නැහැ.. කිසි දෙයක් නොකියා මං ගියේ ඇන්තනීගේ ඔෆිස් එකට.. ඒ යනකොට ඇන්තනී කොම්පියුටරය බදාගෙන ටයිප් කරනවා.. කණ්නාඩි කුට්ටමත් හැලෙන්න ඔන්න මෙන්න. ඒ ගැනත් කිසිම නිනව්වක් නැහැ...

"එක්ස් කියුස් මී... "

මං දිහා බැලුවේ ඇන්තනි නොබලන ගානට. ආයේම කොම්පියුටරයට මූණ ඔබා ගෙන...

" යර්ස් , ඩාර්ලින් සෙනේකා, "

" මට ශෝට් ලීව් ඕනා..."

පුදුමෙන් වගේ ඇන්තනී කොම්පියුටරයෙන් මුහුන අරන් බැරැරුම් මුහුණක් අලව ගත්තා...

" කවදාවත් නැතුව මොකද.."

" කවදාවත් නැති දේවල් කරන්න වෙනවා.."

" ඉස් එවුරිතින් ඕකේ?.."  කණ්නාඩිය නලලට ඔබා ගන්න ගමන් ඇහුවේ.. ඒ ඇස් මගේ ඇස් වල ගිලුනා. මං තාමත් හිටගෙන...

මං ඒ බැල්ම මඟ හරින ගමන් කතා කලා.

" නොට් ඇට් ඕල්.............
මං ශෝට් ලීව් ගන්නද..."

" ඕකේ... බට් වට් හැපන්ඩ්..."

" මං යනවා මිස්ටර් ඇන්තනී.. මට රෙස්‍ට් එකක් ඕනා.."

එහෙම කියලා  මගේ පුටුවට ආපු ගමන්ම මං බෑග් එකත් අරන් එලියට එන්න ආවා..

"මැඩම් යනවද..... මෙච්චර ඉක්මනට.." රාහුල් මගෙ පස්සෙන් එන්න අරන්..

"මං කලින් යනවා රාහුල්.."

එහෙම කියාගෙන මං ආවේ ජංගමයට මුහුණ ඔබන්... ඒ ටැක්සියක් හොයන නිසා... මේ වෙලාවට කාර් එකක් ඕනා අඬ අඬ යන්න... කාර් ඒසී එකේ එන අමුතු සුවඳ තවත් මාව හඬවනවා කියලා මං දන්නවා...

රිසෙප්ශන් එකට එනකම්වත් ඩ්‍රයිවර් කෙනෙක් මාව තෝරගෙන තිබුනේ නැහැ. මල ඉලව්, ටැක්සි සමාගමත් එක්කත් මට මල පැන්නා.. රිසෙප්ශන් එකේ කෙල්ලත් මං එන කොට කන්න වගේ බලන් හිටියා...

" මැඩම් කලින් අද.."

මුන්ට ඕන ඉලව්වක් නැහැ.. මං යන්තම් හිනාවක් දාලා සැටි එකේ වාඩි වුණේ කාර් එකක් එනකම්..

මුස්ලිම් ඩ්‍රයිවර් කෙනෙක් මගේ ඉල්ලීම අරගෙන තිබුනේ...

වෙන වෙලාවක නම් ඒක කැන්සල් කරන්න තිබ්බා. කවුරුත් නැති වෙලාවක මං ජාති වාදි වුනොත් වෙන්නේ මට ඉක්මන්ට ගෙදර යන්න බැරි වෙන එක..

රැඩිකල් විප්ලවවාදි සන්තානයක් නොහිතපු ප්‍රේම විප්ලවයක... සනුකව හොයාගන්න ඕනා, කොහෙන් හරි.. පරිසරවේදියෝ කැලේකට ගියාම කොහොන් හොයාගන්නද, මාසයක්, අවුරුද්දක්... දවස් කිහිපයක්.. මං දන් නැහැ... පුරුද්ද තිබුණට මේ වෙලාවේ ඒක ප්‍රායෝගික නැහැ.. එක්කෝ මං ගෙදර යන එක නවත්තලා ලංකාවේ කැලේ ගානේ යන්න ඕනා...

මං නිකමට සනුකගේ නම්බර් එක ඩයල් කලා.. 
ෆෝන් එක ඔෆ් බව හෝ කනෙක්ෂන් නැති වෙච්ච නිසා ප්‍රතිචාරයක් නැති බව හඬවමින් රෙකෝඩින් එක ගියා. මට ඉලව් ටෙලිෆෝන් කම්පැනිය එක්ක තරහා ගියත් මට කරන්න කියලා දෙයක් තිබ්බේ නැහැ..

"රැඩිකල් ලිපි ලිව්ව ගෑනී, ඔය කරගෙන තියෙන්නේ.." මගේ හිතින්ම දෝංකාර දෙන්න ගත්තා.

කෝල්ස් වැඩ නොකලත් සනුකට මේල් දාන එක ප්‍රැක්ටිකල්.. අනිවාර්යයෙන්ම ඊමේල් චෙක් කරන්න ඕනා එයා සතියකට වතාවක්වත් එයා.

ටැක්සි කාරයා ඇවිත් තිබුණා.. මං ඉක්මන්ට එලියට ඇවිත් ටැක්සියට නැග්ගේ ඉක්මන්ට ඔෆිස් එකෙන් චුත වෙලා යන්න ඕනා නිසා.

" උඩහමුල්ලට.."

"මිස් කැෂ් ට්‍රිප් එකක්ද?"

"කාඩ්."

ටැක්සි කාරයගේ මූණ ඇඹුල් උනේ කාඩ් කිව්වම.

උන් මොකට දුවනවද මන් දන් නැහැ. 

" නැහැ මිස් දුර කාඩ් ට්‍රිප් හම්බුණාම අපිට දවස කවර් කරගන්න බැහැ.."

ටැක්සි කාරයා ආඩපාලි කියන්න අරගෙන තිබ්බේ... මං ඇහෙන් නැති ගානට නිහඬව හිටියා... 

කුස ඇතුලෙන් දරුණුවට රිදිල්ලක් ආවා.. මං සූදානම් නැති වුණත් දෛවය ක්‍රීඩාව පටන් අරන්...

Urgent!!! Meet me at my place immediately..

Senekaa.

ඊමේල් එක එහෙම යවලා ඊමේල් පිටුව දිහාම බලන් හිටියා.. කවදා සනුක මේ ඊමේල් එක දකීවිද කියන්න මං දන් නැහැ...

විනාඩි හතලිස්පහක ගමන ටැෆික් නිසා තවත් පරක්කු වෙමින් තිබුනේ.. නවාතැනට ඉක්මනට යන්න වුවමනා වුණත්, ටැක්සිකාරයටත් ඉක්මනින් මගෙන් නිදහස් වෙන්න වුවමනා වුනත් ට්‍රැෆික් එක ඊට ඉඩ දුන් නැහැ.. පැය එකහාමාරක ගමනකින් පස්සේ මං නවාතැනට ආවා.. දොර වැහුව ගමන්ම හැම ඇඳුමක්ම ගලවලා නාන කාමරයට වැදුනේ මගේ පපුව ඇතුලෙන් බුර බුරා නැගෙන ගිනි දලු නිවෙන සීතල වතුරක්.. ඇත්තටම මං නෑවා කියලා ඒ ගිනි රස්නේ නවත්තන්න බැහැ.. ඒත් කුඩා බිඳුවක් තරම් සහනයක් මට අවැසි වුණා.. අන්තිමට මං කිසිම ඇඳුමක් නොහැඳම ඇඳේ වැතිරුණා...

සනුකගේ සුවඳ මගේ සයනයෙන් එන්න ගත්තා. මාසයකින් නොදැකපු සනුකගේ ආත්මයම මගේ වටා සැරිසරනවා වගෙයි... මං බෙඩ්ශීට් එක මාරු කලා... ඒත් ඒ සුවඳ හමන එක මට නවත්තන්න බැරි වුණා.. 

එහෙම්මම මට නින්ද ගිහින් තිබුණා.

අලුත් දවස් එකින් එක ආරම්භ කරමින් අවසන් කරමින් සතියක් ගෙව්වා.. ෆ්ලැට් එකෙන් එලියට නොයන දවස් කවදාවත් නැතුව ගෙවුණා. නින්ද සහ බඩගින්නටම පමණක් කුසට වැටෙන ආහාරයකින් හෝ දෙකකින් දවස ගෙවුණා.. දුරකතනයත් දවස පුරාම තිබුනේ ඕෆ් එකේ.. 

සතියට කිසිම ඊමේල් එකක් ලැබුණේ නැහැ.. හැමවෙලේම මේල් චෙක් කරනමින් ගෙවුණා. සනුක මේල් එක දැක්කද නැද්ද කියන්නවත් මං දැනන් හිටියේ නැහැ.

හත් වෙනි දවස් උදා වෙලා තිබුණා. උදේ අට වුනෙත් නැහැ.. ගෙදර බෙල් එක රින් වෙන්න ගත්තා.. මිස්ටර් ඇන්තනී වෙන්නත් පුලුවන්. මං නොකියම වැඩට නොගිය නිසා එක්ක යන්න ආවා වෙන්නත් පුලුවන්.. මං දොර හැරියේ නැහැ. ගෙදර නැහැ කියලා ආයේ හැරිලා යාවි. ඒත් බෙල් එක මිනිත්තු පහළවක් තිස්සේ රින් වුණා.

මං වැඩිය නොහිතා දොර හැරියා.. දොර ඉදිරිපිට හිටියේ සනුක... අතේ බෑග් එකත් එක්ක මල් බොකේ එකක් තිබ්බා.. මට දැනුනේ සතුටක් නෙවෙයි.. උදාසීන බවක්... බලාගෙන හිටිය කෙනා මගේ ඉදිරියට ආවා වුණත් මට දැනීමක් නැති කෙනෙක් ගානය වැටිලා තිබුණා... ඇත්තටම ස්නායු පද්ධතියම අඩපණ වුණා වගෙයි... මගේ ප්‍රතිචාරය බලාපොරොත්තුවෙන් හිටපු සනුක මගේ ක්ෂණික වැලඳ ගැනීම නැති වුණ නිසා මාව වැලඳ ගත්තේ දෙතොල් මත හාදුවක් තබන ගමන්.. මං ඉතාම කුඩා ඉඩ ප්‍රමාණයකට ඉඩ දෙමින් ඔහුගෙන් ඉවත් වුණා.. ඔහු මා අනුගමනය කරමින් නිවසට ඇතුල් වුණා.. මල් කළඹ තවමත් ඔහුගේ අතේ.. ඔහුම මේසය මත තිබෙන මල් වාස් එකට මල් ටික දැම්මා...

" සෙනේ... ස් එවුරිතින් ඔකේ?"

"නෝ.."

" වට් හැපන් බේබී.."

සැටියේ වාඩි වෙලා උන්න මාගේ අසලින්ම වාඩි ගත් සනුක මාව තුරුලට ගැනීමට මගේ උරහිසට ඉහලින් සිය අත යැව්වා... 

මට වැලඳ ගැනීම් අවශ්‍ය නැහැ... 

මං කිසිම ප්‍රතිචාරයක් නොදක්වා ගියා කාමරයට.. හංගලා තිබ්බ ස්ට්‍රිප් එක හොයා ගන්න මට වැඩි වෙලා ගියේ නැහැ.. බොක්ස් එකෙන් එලියට අරන් මං එයාගේ අතට දුන්නා. 

ඒ මුහුණ.. මට ඒ එක්ස්ප්‍රේෂන් එක තේරුන් නැහැ. සමහර විට ඒ මැවුණ එක්ස්ප්‍රේෂන් මික්ස් එකක් වගෙයි. සතුට, දුක, භිය මට වෙන් කරලා අඳුර ගන්න බැරි වුණා..

මං ඇස් පියා ගත්තා... ඒ මුහුණේ වූ කතාව නොදකින්න..

ඔව්.. මං බබාව නැති කරනවා... එයාගේ තීරණය එතකොට මාව රිදවන් නැහැ... මං තීරණය කලා... 

"මං බබා නැති කරන්න හිතලා ඉවරයි.."

...............

" ඔයා මොකද කියන්නේ.."

නික්මට වගේ මං ඇහුවා එයාගේ තීරණය...

" මොකද්ද ඉතින් කියන්න තියෙන්නේ සෙනේකා... බබාව අපි හදමු... ඊට කලින් අපි මැරි කරමු..."

Comments

  1. කාලෙකින් වෙනස් කතාවක් කියෙව්වා. ගොඩක් ලස්සනයි අරු. මිනිස් සිත ක්‍රියා කරන විදිහ බොහොම සියුම්ව හොයාගෙන ගිය කතාවක්.💜️

    ReplyDelete
    Replies
    1. වර්ණනාවට ස්තූතියි 🤣🤣🙋

      Delete

Post a Comment

Popular Posts