විසඳුමක්??




පිරිමි පපුවක ලතෙත් බව මහ හුඟක් මිහිරියි දන්නවා.
තුරුලු කරගෙන නින්ද එනතුරු නලල හෙමිහිට ඉඹිනවා.

මට හෙමින් හෙමින් හැම හැඟීමක්ම ලියන්න හිතුනා. මේ මහ රෑ ඇහෙරෙනවා සමහර වෙලාවට.. එතකොට මං ඔයා දිහා බලන් ඉන්නවා.. සමහර වෙලාවට ඔයා මාව තුරුල් කරගෙන ඉන්නවා මං හදිස්සියේ නැගිට්ටෙන කොට. සමහර වෙලාවට අනික් පැත්ත හැරිලා ඔයා නිදි. ඇත්තටම හුඟක් වෙලාවට අනික් පැත්ත හැරිලා නිදා ගන්නේ මං.. ඔයාට ඕනා මාව තුරුල් කරන් නිදාගන්න.. අපි ඒකට රණ්ඩුත් වෙනවා.

ඔයා හරිම අහිංසකයි. නිදාගෙන ඉන්න කොට හුඟාක් අහිංසකයි.. 

ඒත් තරහා ගියාම නපුරුයි, මටත් වඩා. එතකොට මං ඔයා කියන දේ අහනවා. මං බයයි ඔයාට තරහ ගියාම.. ඔයා ඔරවනවටත් බයයි. මං නපුරුයි තමා. ඒත් ඔයා මට වඩා නපුරුයි..


මං නියපොතු වලින් හූරනකොට ඔයාව, ඔයා මගේ හිතම වචන වලින් හූරලා දානවා.එතකොට මගේ හිත තුවාල වෙනවා. දන්නවද හිත තුවාල උනාම හොඳ වෙන් නෑ. ඒත් මගේ නියපොතු පාරවල් දවස් තුනෙන් හොඳ වෙනවා. මගේ හිත දැන් නම් ලෙඩ වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් තුවාල වෙන්න දෙයක් නෑ..


ඒක වෙනම කතාවක්.

මුලින්ම මොනවා ලියන්නද, මට හිතෙනවා මේ ආදරේ පටන් ගත්තේ අවුරුදු දහයකට කලින් නෙවෙයි, පහුගිය ආත්ම වලදි පවා කියලා. අපේ ආගමේ ආත්මයක් කියලා දෙයක් නැහැ. ආත්මයක් කියන එකේ තේරුම අල්ලන් ඉන්න පුලුවන් දෙයක්ලු... ආත්මයක් කියන එකේ හරිම වචනය කියලා තියෙන්නේ පුනුරුප්පතිය කියලා..

ඔයාලගේ ආගමේ නම් තියෙන්නේ එක භවයක්නේ.. මේ භවය ඉවර වුනාම එක්කෝ ඔයා ස්වර්ගයට යනවා,නැත්තම් අපායට යනවා.. අපාය කියන වචනේ ඔයාලා මතක් කරන්නත් භයයි..

ඔව්....!!!

ඔයා අනිවාර්යයෙන් යන්න ඕනා ස්වර්ගයට.. මං පතන්නෙත් එහෙම.
ඒත් මං නම් තව භව කිහිපයක් ප්‍රාර්ථනා කරනවා. ඒ මගේ ආගමේ විදියට.
හරි අමුතුයි නේද ආගම් දෙකක් නිසා වෙන වෙනම ප්‍රාර්ථනවල් තියන එක..
මං මගේ ආගම අනුව තව සසර දික් වෙන්න පතන්නේ ඔයත් එක්ක ජීවත් වෙන්න ආසාවට.. සසර දිග වෙන්න දිග වෙන්න, අපිට නිවන් දකින්න පරක්කු වෙනවා. ඒත් ඔයා ළඟින් ඉන්න එක මට සතුටක්.. අපේ ආගම හැටියට සතුටක් කියන්නේ අවසානයේ දුකක් ඇත්තම කිව්වොත්...

මට ලෝභයි ඔයාව නැති කරගන්න.. ඒකයි මං භව කිහිපයකය හරි ඔයාව පතන්නේ...
ඒ කියන්නේ භව දුක...

භව දුක ඇති වෙන්නේ මගේ තණ්හාව නිසා. තණ්හා වර්ග තුනක් තියෙනවා.
1.කාම තණ්හා – පස්කම් සැප පිළිබඳ ඇති ආශාව
2. භව තණ්හා – නැවත නැවත ඉපදීම පිළිබඳව ඇති ආශාව
3. විභව තණ්හා – නැවත නොඉපදීම පිළිබඳව ඇති ඇල්ම.


මට ඇත්තටම ඔයා නිසා ඒ තුනම හට ගෙන. තුන් වෙනි එක ඒ කියන්නේ විභව තණ්හාව ඇති වෙන්න හුඟක් හේතු වෙන්නේ ඔයාගේ ආගමේ හැටියට ඔයා ස්වර්ගෙට ගියොත් මගේ සසර කෙටි වෙයි කියන බය.

ඔයාගේ අම්මා දැක්කොත් අපි මෙහෙම ආදරෙන් ඉන්නවා ඒකටත් කේලම් කියයි මොනව හරි ඔයාට. ඇයි ඔයාට ඉස්සර ආදරේ කරන කාලේ වගේ මගේ හිත තේරුම් ගන්න බැරි.. ඔයා ගෙදර ආපු ගමන් අම්මා කියන හැමදේම හරි කියලා මට බැන ගෙන බැන ගෙන යනවා. මගෙ දුක අහන්නෙත් නෑ.. දැන් ඒකත් මට පුරුදු වෙලා.ගෙදරට වෙලා උදේම උයලා, ඔයාට බත් බැඳලා දීලා ඔයා ගෙදරින් එලියට බැහැලා ගියාම, ගේ අතුගාලා මිදුල අතුගාලා එනකොට තම‍යි අම්මා නැගිටින්නේ.. ඉන් පස්සේ උයපු එකේ අඩුපාඩුයි, අතුගාපු තැන් වල කුණුයි හොයාගෙන බනින්න ගන්නවා, මං ඒවා ඇහෙන් නැති විදියට ඉන්නවා..

" මගේ පුතා කොහොම කනවද මන්දා මේ රහ නැති මාලු..."

දන්නවද ඒක තමයි මං වැඩියෙන්ම අහන්නේ ගෙදර ඉන්නකොට. ඔයාමයි ඉස්සර කිව්වේ මගේ කෑම රහයි කියලා. ඔෆිස් එකේ යාලුවොත් ඔයාගේ බත් එක ලිහනකම් බලන් ඉන්නවා කියලා බැඳපු මුල් දවස් වල කිව්ව ඔයාමයි දැන් අම්මගේ කතා වලට කිසිම දෙයක් නොකියා ඉන්නේ.. සමහර විට දැන් දැන් අපේ විවාහේ අවසානේ ලං වෙලා ඇති. දැන් මටත් ඉවසීම ඇති වෙලා.. මං කරපු රැකියාව කලා නම් දුකක් නැහැ කියලත් වෙලාවකට හිතෙනවා. ඒක ඔයාගේ තත්වෙට ගැලපෙන් නෑ තමයි. බැංකුවක ගණකාධිකාරිවරයෙක්ට කියන්න බැහැනේ හොටෙල් එකක රිසෙප්ශනිස්ට් කෙනෙක් කියලා විවාහ වෙලා ඉන්නේ.. ඒත් මං ඒ රැකියාවෙන් සතුටු  වුනා. මටම කියලා ආස දේවල් ගත්තා.ලස්සනට ඇන්දා. මාසෙකට අනිවාර්යයෙන්ම සාරියක් ගත්තා. දැන් අම්මා දාන්නේ මගේ චේන් එක කියලවත් අම්මට මතක නැහැ. මං අම්මා කියලා කියද්දී, මගේ නම කියලා කතා කරන්න තරම් අම්මා දුරස් බව පෙන්නන්නවා. කිසිම දෙයක් නැති වුනාම මගෙ රැකියාව පහතට දාලා කියවන්න ගන්නවා.. ඔයාටත් දැන් කිසිම දෙයක් මතක නැති ගානට වැඩ සිද්ධ වෙන්නේ. අපි වාහනයක් ගමු කියලා මගේ ඉතිරි කරන් හිටපු සල්ලි ටිකත් අම්මා ගත්තේ අක්කට දෙන්න කියලා.  දැන් අක්කලා වාහනයක් අරගෙන. මං ඕවා කිව්වොත් ඔයාගෙත් හිත නරක් වෙනවා. හිතුනොත් මං ඔයාටත් නොකියා ආයේ රැකියවට යනවා. එතකොට හැමදේම වෙනස් වෙයි.ඒක තමයි දැන් තියන හොඳම විසඳුම...

7 comments:

  1. Replies
    1. මොන ආදරේ තිබුනත් මොන ප්‍රශ්ණ ආවත් තමන්ගේ රැකියාව අත් හරින්න නරකයි. රැකියාවක් තියනකොට තමන් ආරක්ෂා වෙනවා. හැම අතින්ම.

      Delete
    2. අනිවාර්යයෙන්ම....

      Delete
  2. This is the kind of story that gets something to think 🙂

    ReplyDelete

තනිකමක් තියා නොතියාම  ඔබ ගියා වුව මතක එලියකි. රිද්දා නොරිද්දාම  හද කොනිති ගැසුවට එයද සුවයකි. පෙමක් අහිමිව යන්නේ කෙලෙසක ණයට දීමක්...