පතිනියගේ පතිවෘත


"ඔයා ඒ කාලේ ආදරේ හෙව්වේ මගෙන් විතරයි." කඳුලු කැට මිරිකලා පතිනි ගෝතමගේ පපුවට තුරුලු වුනේ තව මොහොතකින් වෙන් වෙන්න ඇති බව අමතක කරමින්...
ගෝතම පිලිතුරක් නොදී නිහඬව උන්නේ නිහඬ බව හොඳම පිලිතුර නිසා වෙන්න ඇති.. ඒ අතර පතිනිගේ හද මන්දිරයේ මේඝ වලාවන් අළු පැහැති වෙමින්, රත් පැහැති විදුලි රේඛා ඇදෙමින් මැකෙමින් තිවුනේ.. කොයිම හරි මොහොතක මහ හඬ තලමින්, විදුලිය විහිදුවමින්, අසෙනි වැස්සක් කඩා හැලෙන්න නියමිතව.. නමුත් පතිනි උන්නේ හැමදාම වගේ හරිම නිවිච්ච හදවත ඉදිරියට අරන්.. ඉවසීම ප්‍රගුණ කලේ ඈ ගෝතමට ආදරේ කරන්න ගත්තු මුල්ම දවස් වල ඉඳලා..
" ඔයාට බෑ ගෝතම වෙන ගෑනියෙක් එක්ක ඉන්න. මං දන්නවනේ ඔයාගේ ඕන එපා කම්"
පතිනි කිව්වේ ඇත්ත.. ගෝතමට උවමනා වුනේ නාට්‍ය කරන්න විතරයි. විවාහ වුන දවසේ ඉඳන් ගෝතමගේ අවශ්‍යතා, ගෝතමගේ අම්මගේ අවශ්‍යතාවන්, ගෝතමගේ ලෙයින් පතිනි උප්පත්තිය දුන් ගෞරි හා ගජිඳු වන දු-පුතුන්ගේ සියලු අවශ්‍යතාවන් ඉටු කලේ පතිනි. ගෝතමට අවශ්‍ය වුනේ නාට්‍යකරුවෙක් වෙන්න විතරයි. පවුල් ජීවිතය රැකුනේ පතිනි නිසා.. ගෝතමගේ සබඳතා පතිනි දැනහුන්නත් කිසිඳු වචනයක් නොකීවේ ආදරය ඊට වඩා ප්‍රබල නිසා,අනෙක් අතට අනාථ වුනු තමන්ට පියෙක් වගේ පුරුෂයෙක් ලැබුනේ පිනකට කියලා විශ්වාස කල නිසා. ගෝතම පෙම් කරන අවදියේ පතිනිව රැකුවේ ඇත්තටම පියෙක් වගේ.. වේලකට කෑම එකක් ගන්නවත් මුදල් නැති පතිනි, ඒ දිනවල ගෝතම නැත්තම් දැනටමත් මියැදෙන්න තිබුනා. ගෝතම කුමක් කලත් පතිනි කළගුන සලකමින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පතිනියක්ව හුන්නා..

ගෝතම වයසින් මුහුකුරා ගියත්, තාරුණ්‍යයේ ඔද වැඩි ගති පැවතුම් වලින් දිනෙන් දින වැජඹුනේ සිය දරු දෙදෙනාවත් අමතක කරමින්..
පරිසරයෙත් මුසල සුළඟක් හමයමින්, විප්පයෝගයට සූදානම් වුනා. අහස් මේඝයන් අළු පැහැවෙමින් වැහි දිය කැට කැට බිමට වැටුනා.
"මට දික්කසාදය ඕනා" ගෝතම නිහඬ බවට තිත තිබ්බා..
පතිනි ගැඹුරු හුස්මක් හෙලලා, හීනියට ඇයදුවේ.. 
" ඔයාගේ දරුවන්ට තාත්තා කෙනෙක් නැති කරන්න එපා" කියලා.. හෙමින් ඉකිබිඳින්න ගත්තා. ඒ එක්කම මෙපමණ කලක් බෙදා හදා ගත් ගෝතමගෙත් තමන්ගෙත් සයනයෙන් රූරා ගෝතමගේ සිරුර දිගේ පාද ස්පර්ශ කර කඳුලු සයුරක් අතහරින්න පටන් ගත්තා.

ගෝතම කඳුලු වලට බයයි. විශේෂයෙන්ම පතිනිගේ... මොනවා වුනත් තමන් අවුරුදු විසි පහකටත් වඩා ආදරය කරපු, අවුරුදු විස්සකටත් වඩා විවාහ ජීවිතය ගත කල තමාගේ දුකටත් සැපටත් උන්න මියුලැසිය, පතිනි...
නාට්‍ය පිටපත් ලියනකොට මැදියමේ වුනත් තමන්ට අවශ්‍යතා සැපිරුව ගැහැනිය...
තමන්ගේ අම්මටත් ආදරෙන් සැලකුවා..
තමන්ගේ රුදුරු ගති පැවතුම් ඉවසුවා. තමන්ගේම ළමයි දෙන්නෙකුට උප්පත්තිය දුන්නා.. ආදරේ කලා.. කොපමණ වැරදි කලත් ඒවා ඉවසා සිටියා..

දෙවෙනි වතාවට ගෝතමට හිතෙන්න ගත්තා තමන් වැරදි දෙයක් කරන බව..
පළමු වතාව වුනේ මීට වර්ෂ දහයකට පමණ පෙර පලමු වතාවට පතිනිව අමතක කර වෙන ගැහැනියක් හා යහන් ගත් වු අවස්ථාව.. එයින් පස්සේ ඒක වැරැද්දක් ලෙස නොහිතුනේ පුරුද්දට ගිය හන්දා.

"ඔයා දන්නවා පතිනි ඔයාගේ කඳුලු වලට මං අකමැති බව" ගෝතම එහෙම පැවසුවේ පතිනිව සම්පුර්ණයෙන්ම සිය දෑතින් ඔසවලා යහන මත තබන ගමන්...
වැස්ස අඩු කරලා තිබුනා.. ඒත් හීතල සුළං ජනෙල් තුලින් කාමරය ආක්‍රමණය කලා. පතිනි සීතලෙන් මිරිකුනේ පුරුද්දට වගේ.. එහෙම වුනාම පතිනි දැනන් හිටියා ඊළඟට මොකද වෙන්නෙ කියලා..

"මට සමා වෙන්න පතිනි." ගෝතම එහෙම මිමිනුවේ පලමු වතාවට වෙන්න ඇති.. 
" අපි දරු දෙන්නා වෙනුවෙන්වත් එකට ඉන්න ඕනා ගෝතම" පතිනි ගෝතමගේ 
තුරුලට වුනේ ආයේ කවදාවත් වෙන් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරමින්..
"ඒත් කවදා වෙනකම් ගෝතම පතිවෘත රකීවිද?" පතිනි හිතන්න ගියේ නෑ. මොකද එන විදියට ජිවිතයට මුහුණ දෙන එක තමයි හොඳම කියලා ඈ දැන උන්නා..


Comments

  1. මේක තමයි මන් ඔයාගෙ කියෙව්ව හොදම එක.නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රස්තියාදුකාරයා කොමෙන්ටුවට...
      පොඩි ආරාධනාවක් පිලිගෙන එක දිගට කියවලා කමෙන්ට් දානවට...

      Delete

Post a Comment

Popular Posts