මතක ඇහැරීම.


මේ අරුම සටහන ලියැවෙන්නේ දුර්ධර ත්‍රාසජනක අත්දැකීම ඔබ හා බෙදා ගැනීමටයි. නොදැන උන් ඔබට දැන ගන්නටත්, දැන හුන් ඔබට නැවත මගේ හැඟුමන් විඳින්නට හෝ විඳවන්නටත් මෙසේ ලියා තබමි..
ඒ වර්ෂ දෙදහස් හතරක් වු උඳුවප් මස විසි හයවනදාය. හරියටම නත්තලට පසු උදා වු දිනයයි. මම විශ්වාස කරමි. ඔබට අමතක නැතුව ඇති, එදින පසලොස්වක දිනයක්වූ බවද.
අපි එදින දුම්රියෙන් මාතර යන්නට උදෑසන අටකුත් ගානට විය හැකි වෙලාවක කලුතරින් දුම්රිය නැග ගත්තෙමු. මගේ පුංචි නැගනිය මහත් අපහසුතාවකින් පෙලෙමින් උන්නීය.. එය එලැඹෙන භයානක සිදූවීම පිලිබද පෙර නිමිත්තක් බව අපි කිසිලෙසකවත් නොසිතුවෙමු. දුම්රියෙ අසුන් හිස් නොවු හෙයින් අපි දොරටුවක් අසල ගමන් මළු තබාගෙන හිඳියෙමු.එතැන අසල වැසිකිලිය තුබු බවද මගේ මතකයේ ඇත්තේ යම් යම් සිදුවීම් නිසාය.. නමුත් අප කැමති වූයේ දුම්රිය දොරටුවේ බිම හිඳගෙන යාමට වුවත් එයට විදේශික යුවලක් බාධාවක්ව සිටි හෙයින් මාද නංගීද බලා සිටියේ ඔවුන් දුම්රියෙන් බසිනා තුරුය.. අළුත්ගම හෝ හික්කඩුවෙන් අනිවාර්යයෙන්ම ඔවුන් දුම්රියෙන් නික්මෙන බව ඔබද නොදන්නවා නොවේ.. ඉදින් අළුත්ගම  පසුවුවත්, ඔවුන් දුම්රියෙ සිටි බැවින් අප ඇඟිලි ගැනමින් හිඳියේ හික්කඩුව එනතුරුය. තවත් කුඩා ළමුන් හතරක් පමණ සිටි පවුලක් අසල තිබු මුහුනට මුහුනලා තිබු අසුන් දෙකක රජකරමින් සිටි බවත් මගේ මතකයේ තිබේ. ඔවුන්  නැගනියට එතනින් හිඳ ගැනීමට කතා නොකල නිසා පුංචි හිත පුංචි වෛරයකින් පෙලුනු බැවින් මට මෙවැනි සිදුවීම් මතක තිබෙන බව නොසඟවා පවසමි.
ඒ අතර තවත් තනි විදේශීකයෙක් සිතියමක් පෙන්වා හික්කඩුව කොහිදැයි ළඟ හිදි ලංකිකයෙකු ගෙන් විමසුවේය. අම්බලන්ගොඩ පසු වූ හෙයින් ඊලඟ නැවතුම හික්කඩුව බව එම ලාංකිකයා පැවසු බවත්, නමුත් විනාඩි කිහිපයක් ගතවෙත්ම දුම්රිය නැවතුනු බවත් මගේ මතකයේ පවති.. ඉදින් හික්කඩුවට එම දුම්රිය ඒ දුම්රියේ සිටි ජනයා රැගෙන නොගිය අතර, එම විදේශීකයාද නැවත කිසිදා නොඑන ගමන් ගියේය..

ඉදින් මේ ආරම්භ වූයේ ඒ මොහොතයි..
නැවතුන දුම්රියට ඇසුනේ ඒ ප්‍රදේශයයේ මිනිසුන් ගේ විලාපයයි. මා සිතුවේ පුද්ගලයකු දුම්රියට කියා සියදිවි නසා ගත් බවය. නමුත් දුම්රියෙන් එලියේ ගැමියන් එහෙ මෙහෙ දුවමින්, සමහර පිරිමි පා පැදිවල නැග ඉතා යුහුසුළුව කොහෙදෝ ගියෝය.. කාන්තාවෝ දිව විත් දුම්රියට නැග ගත්තෝය. ගත වුයේ නිමේශයකි..
අනතුරුව ක්ෂණයෙන් මුහුද පැත්තේ ප්‍රදේශයයේන් දිස් වූයේ, පොලව මධ්‍යයේ සිට පොලව ඉරා ගෙන සේ ඉතා වේගයෙන් පැමිනුනු අළු පැහැති ජල ධාරවයි. ගතවූයේ නිමේෂයකි. එහි ආගමනය කුණුරොඩු සහිතව සියල්ල සුන්නද්ධූලි කරමින් සිදුවුනි..
අප දුම්රිය පෙට්ටියේ හිඳි පුද්ගලයෝ "ශටර් වහන්න." කියමින් කෑගැසුවෝය.
ශටර් වැසිනි. දුම්රිය තුලට ජලය පැමිනියේය. නමුත් එය දුම්රිය පොලවේ සිය අඩි බාගයක් පමනය. ඉදින් සිතන්න එය පොලවේ සිට අඩි 3,4 ක් හෝ 5ක් පමණය. මට ඒ ඒ ප්‍රමාණයන් නිවැරදිව කීමට හැකියාවක් නොමැත...
ක්ෂණයෙන් ජල ධාරාවේ පීඩනය ඉසිලිය නොහැකිව,අප දුම්රිය පෙට්ටිය ගොඩබිම දෙසට අර්ධ වශයෙන් ඇලවුනි.
ඒ දුම්රිය අසල රැඳි ගස් වලට රැඳුනු නිසාවෙනි.මා සිටියේ මුහුද දෙසට දොර මුහුනලා තිබු වැසිකිලියට යාබදව වැසිකිලි දොර අසලය. දුම්රිය ඇලවුනු නිසා වැසිකිලි දොරට මා තුලිස නොවි ඇලවුනි. දොර හැරි මා  තව නිමේෂයකි න් මා ජලය පිරුනු වැසිකිලිය තුලට ඇදෙන්න තිබුනි.මම ඉතා අපහසුවෙන් එය වලක්වා ගත්තේ අම්මා මාව අල්ලා ගත් නිසාය.මගේ සෙරෙප්පුවක් ජලයට ගසාගෙන ගියේය. අර්ධව ඇලවුනු දුම්‍රිය ජලයෙන් පිරෙමින් තිබිනි. අහස දෙසට මුහුනලා තිබු ජනේල වලින් දුම්රියේ වහලට නැගගත් මිනිසුන් අපව දුම්රිය වහලටත්  අහස දෙසට විවෘතව තිබුනු දුම්රිය බිත්තිය මතටත් ගත්තේය..

අප පෙට්ටිය එන්ජිමේ සිට තිබු ඉදිරිපස දෙවන පෙට්ටියයි. එලෙස ඒවෙන විට ගැලවුයේ අප පෙට්ටිය පමනි.
කිහිප දෙනෙක් පෙට්ටියේ ඉහල වහලයෙත් සමහරු අර්ධ ලෙස පෙරලුනු හෙයින් දුම්රිය බිත්තිය මතත් හිඳිමින් නොසිතූ මොහොතක සිදුවූ කම්පිත සිදුවීම තේරුම් ගන්නට වෙහෙස දැරීය.
එම වතුර පහර පැමිණ සසල වූ ප්‍රදේශය මඳ වේලාවකින් නිසල විය.. ඒ වන විට එම රැල්ල හේතුවෙන් දුම්රියේ ගමන් ගත් කිසිඳු පුද්ගලයකුට හානියක් නොවුනි.

අවට නිවාස සමහරකට අර්ධ වශයෙන් හානි වී තිබුනි. ගස් පෙරලි, කුනු ජලය ගං වතුරක් සේ සැම දිශාවකම පිරි තිබිනි.
දුරකතන තිබු පුද්ගලයෝ ආරක්ෂාව සඳහා විවිධ ස්ථාන වලට දුරකථන ඇමතුම් දුන්හ. හෙලිකොප්ටර් කිහිපයක් උඩු ගුවනේ සැරිසැරීය.  අප උදව් ඉල්ලමින් හඬ නැගීය. නමුත් ඒ හෙලිකොප්ටර් ආපසු හරවා ගියේය.
පැය භාගයක් පමණ ගත වන්නට ඇත. සියල්ල නිශ්චල වී තිබිනි. අනෙක් දුම්රිය පෙට්ටි වල සිටිය මිනිස්සු  නිවසෙන් ගෙනෙන ලද ආහාර පාන ගනිමින් නිදහස්ව සිටියෝය. මා පෙර සඳහන් කල විදේශීය යුවලගේ පුරුශයා බිමට බැස සිදු වු ව්‍යයසනය ඡායාරූප ගත කරමින් පසුවිය.
අසල නිවසක ජලය අඩියක් පමණ බැස යනු අප දල වශයෙන් නිගමනය කර තිබුනි.
අසල පොල් රුකක මිනිසෙකු නැග සිටියේ ජල පහරෙන් බේරීමටය. පසුව ඔහු ජල පහර අඩු වෙත්ම සෙමින් සෙමින් පහලට රූරමින් සිටියේය.

එකිනෙහිම අපට නොදැනෙම විලස අප දුම්රිය පෙට්ටිය ගැලවී නිවසක් දෙසට නොසෙල්වී ගසාගෙන ගියේය..
එම නිවස තනි තට්ටුවේ නිවසකි. එක් පසක කුඩා ස්ලැබ් එකක් තිබුනි. එහි ආර්පිකෝ ජල ටැංකියක් පෙර තිබුනද දුම්රිය පෙට්ටිය ඇදීයන අවස්ථාවේ එය ජලයට ගසාගෙන ගොස් තිබුනේ අපට එය මතට ගොඩ වෙන්න ඉඩ සලසමිනි.
දුම්රිය පෙට්ටිය එම ස්ලැබ් එක අසලට ගොස් එකිනෙක බැඳිනි. අපට පෙර අප පෙට්ටියේ සිටි කිහිප දෙනෙක් එයට ගොඩ වුනු අතර අනතුරුව වහලය මතට නැගුනි. නංගි, මං, එයට ගොඩවී, පසුපස බැලුවෙමු.තාත්තා ස්ලැබ්  එකට ගොඩවී සිටි නමුදු ඊලඟ අවස්තාව තිබු මගේ මව දෙවන ජල පහර මඟින් පැහැර ගොස් තිබිනි.අප සියල්ලම ඒ වන විට සිටියේ වහල මත වන අතර සැල්බ් එකද නොපෙනෙමින් ඒ මතද ජලය තිබුනි.

සියල්ල ව්‍යර්ථ වෙමින් දෙවන ජල පහර පැමිනියේ එක ක්ෂණයෙනි. අපටත් නොදැනෙන ලෙස එයට මොහොතකට කලින් පැමිණි ජලය අපව බේරා තිබුනි. ඒ දුම්‍රිය නිවස මතට හේත්තු කර අපිට එයට ගොඩ වන්නට ඉඩ සලසමිනි.
සියල්ලටම සිදුවූයේ අසුරු සැනිනි.. ජල පහර සියල්ල සුන්නද්ධූලි කරමින් ගොඩබිම දෙසට ගලා යනු දක්නට ලැබිනි.
ජල පහර හා අතරින් පතර තිබු උස ගස් හැරෙන්නට කිසිඳු දෙයක් පරිසරයේ නොදුටුවෙමි. නිවෙස් බිඳ ජල පහර ගසාගෙන ගියේය.
අප හැඬුවේ අපේ මව වෙනුවෙනි.
බැලු බැලු අත සියල්ල සුන්නද්ධූලි කරමින් ගලන ජල පහරියන් සියල්ල විනාශ වෙමින් තිබුනි.

වහල මත අපි තිදෙනා හා බේරුනු මිනිස්සු කිහිප දෙනෙක් සිටියෙමු. ජල ප්‍රහාරය කැලඹි කැලඹි බොහෝ වේලාවක් තිබුනි.
අපි හෙලු කඳුල අම්මා නොමියේවා කියාය. ටිකෙන් ටික ජලය බැස යමින් තිබුනි. ගස් හානි වු නිවෙස් හා සුන්බුන් කොටස් පෙනෙන්නට පටන් ගති.
අප තවදුරටත් සිටියේ වහල මතය. හඬමිනි. ඒ අතර අපේ මව හැඳ සිටි ඇඳුමට සමාන ඇඳුමක් ජලයේ පාවෙමින් තිබුනි. අදටත් මගේ හිතේ එය නොමැකෙන මතකයන් අතර පවති. අපගේ සියලු ප්‍රාර්ථනා සුනුවිසුනු කරමින් ජල පහර අප තිදෙනාගෙ ජීවිත පමනක් ඉතිරි කරමින් තිබුනි.

ඒ අතර මගේ මතකයේ තිබු පොල් ගසේ හුන් මිනිසා මියගොස් තිබුනේ පොල්ගස කැඩි කුමක් හෝ විශාල දෙයකට ඒ පුද්ගලයා හිර කරමිනි. ජලය බැස යත්ම ඔහුගේ මලසිරුර පෙනෙන්නට තිබුනි. ඒ මේ අත මල සිරුරුද, බේරුනු කිහිපදෙනෙකුගේ විලාපයන්ද පමණක් සජීවීව පැවතුනි.
එලෙසම අප සිටි වහල හිමි නිවසේ සිට මුහුද දෙසට අඩි 10ක් පමන ගිය තැන දුම්රිය පාරය. නමුත් දුම්රිය පෙට්ටි ගොඩබිම දෙසට මීටර් සියයක් තරම් ඈතටත් ඒවා ඒ මේ අත හැරිද තිබුනි.

ජලය ඉතා අඩුවෙත්ම මිනිසුන් සුන්බුන් අතරින් ඉතා අපහසුවෙන් ගොඩබිම පැත්තට ගියේ තොටගමුවේ පන්සල සොයාගෙනය.
අපි තවදුරටත් වහල මත හිඳිමින් මව සොයන්නට වෙහෙසුනෙමු.
ජලය බැස ගියද ගොඩබිම හා මුහුද වෙන් කරන සීමාවක් නොපෙනිණ. ඒ වන විට එකොලහයි විස්ස පමන විය.

අවසානයේ.....
අපි වහල මත හිඳින විට අපේ මව ගොඩබිම දෙසට වන්න මිටර් සියයක් පමන ඈතින් සුන්බුන් ගොඩක් මැද ජිවිතය බේරාගෙන හිටගෙන සිටිනු අපි දුටිමු. එය පැහැදිය නොහැකි සන්තුෂ්ටියකි. ඒ අසල දුම්රිය පෙට්ටි කිහිපයක්ද ඒ මේ අත වැටි තිබුනි.

මා බැලුවේ මුහුද දෙසය. මන්ද අප වහල මත සිටියද මව සිටියේ පොලවෙය. නැවත වතුර පහරක් ආවහොත් මව නැවත අහිමි වන නිසාය.
දෙවියනේ නැවත වතුර පහරක් පැමිණෙමින් තිබුනි. අප මවට කෑ ගසා අසල තිබු දුම්‍රිය පෙට්ටිය උඩට ගොඩ වෙන්නට කිව්වෙමු. 
මා දුටු ආශ්චර්යම සිදුවීම එයයි. මගේ මව දුම්‍රිය පෙට්ටි දෙකක් අතර ඇති කලු පැහැති රබර් බුශය අල්ලාගෙන දුම්රිය වහල මතට ගොඩ විනි.

එම රල පහර විශාල එකක් නොවීය. සමහර විටෙක එය සාමන්‍ය මුහුදු රල පහරක් වුවා වන්නට ඇත. නමුත් අප බියෙන් සලිත වී සිටියේ නැවත ජල පහරක් එනු ඇත කියාය.
අනතුරුව අපි වහලෙන් බැස සුන්බුන් මතින් පන්සලට ඇවිද ගියෙමු.
හානි වු නිවෙස් වල බිත්ති, කඩා වැටුනු ගස්, ඒ අතර හිර වෙලා හුන් මිය ගිය මිනිස්සු බොහෝමයක් විය.
පුංචි මල්ලියෙක් තනිව අපහසුවෙන් සුන්බුන් මතින් ඇවිද යන්නට තැත් කරනු ඈත සිට අපි දුටිමු. අප ඔහු ළඟට එන විටත් කල යුතු දෙයක් නොදැන තනිව ඔහු වැටෙමින් මිනිස්සු ඇවිද යන දෙසට යැමට උත්සහයක යෙදී සිටියේය.
අපි ඔහු තනියෙන් බැවින් ඔහු සමඟ පන්සලට ගියෙමු.
අපගේ පෙර කල පිනකට පවුලේ කිසිඳු කෙනෙකුට ජීවිත හානියක් නොවී තිබුනද දහසක් මිය ගිය මිනිසුන් මැදින් අපි ගමන් කලෙමු.
අප සිතුවේ පන්සලට ගොස් ඒ මල්ලිගේ මව හෝ පියා සොයා ගැනීමටයි.
නමුත් අවාසනාවකට එය සිදු නොවිනි. පන්සලේ නොදන්න මිනිසුන් අතර මල්ලිගේ කවුරු හෝ නොසිටියේය. 
ඔහු සිය මව පියා හා අක්කා සමඟ ගාල්ලේ පිහිටි සිය මහ ගෙදරට යෑමට පැමින තිබුනි.

තවද මගේ හොඳම මිතුරියක්ද එහිදී හම් විය. ඇයගේ නැගනිය රකුසු රල පහර මඟින් රැගෙන ගොස් තිබුනි.
අපි හවස ගොඩබිම දෙසින් අපගේ නෑ නිවසකට යෑමට පිටත් වුනෙමු.
පුංචි මල්ලි අපේ කෙනෙක් නොවන නිසා රැගෙන ඒම නීතිමය ගැටලුවක් බැවින් පොලිසියට බාර දෙන්න යැයි කියා ගමේ මිනිසුන් හට අපි බාර කලෙමු.
අපි පයිනුත්, එක එක වාහන වල පිහිටෙනුත් අපේ මාමාගේ නිවසට අවසානයේ පැමිණියෙමු.

ප.ලි.: මෙම කතාව සාමාන්‍ය සාහිත්‍යයමය කතාවක් ලෙස ලියන්න උත්සහ කලත් එය ඉතා අපහසු විය. වැරදි අඩුපාඩු හුඟක් ඇති බව මම දනිමි. 
හැකි නම් විවේචනය කරන්න. ස්තූතියි.

තවද මගේ මව ජල පහරේ රවුමට එකම ප්‍රදේශයේ කැරකෙමින් හිඳ කඩා වැටුනු කොස් ගසක අත්තක් අල්ලන් බේරී ඇත.
එදින මට කිසි ලෙසකත් සුව නින්ද නොලැබුනි. කන් දෙකෙන් මුහුදේ ශබ්දය මහා කරදරයක් ලෙස ඇසෙමින් තිබුනි. රෑ මැද දෙතුන් වරක් බියවී ඇහැරුනි.
කතාවේ කියු මලනුවන්, දන්න කෙනෙක් වෙතොත් මට දුරකතන අංකයක් හෝ ලබා දෙන්න. මගේ පියා ඔහු ගැන දැන ගැනීමට ආසාවෙන් සිටින නිසාවෙනි.
ඔහු 1997 ඉපදුනු, පානදුර පදිංචි වේල්ස්කුමාර විදුහලට ගිය පිරිමි ළමයෙකි.

^_^

Comments

හුඟක් අය බලපුවා