පිහාටු


මං උන්නේ සුදු ඇඳුමෙන්, පොලවේ වැතිරිලා, ඒක තෙත සීතල පොලවක්..... ගන කළුවර තිවුන නිසා නිර්නය කරන්න නොහැකි වුනා කොහෙද කියලා... ඒත් ඒක හරියට ගුහාවක් වගේ ස්ථානයක් කියලා මට නිශ්චිතවම කියන්න නොහැකි වුනත් එවැනි සලකුණු මගේ දෘෂ්ටියට හසු වුනා... නමුත් පියස්සක් තිබ්බා.. කොන්ක්‍රීට් පියස්සක්... මට දැනුනේ මහ තනිකමක්, සිරකරලා වගේ හැඟීමක්. මට මගේ අම්මට කතා කරන්න ඕන වුනා... ඒත් කෑ ගැහුවට ශබ්දය පිට වුනේ නැහැ.. ඒ විතරක් නෙවේ, මගේ අත්,පා දරදඬු වෙලා තිබුනේ. ඒ හන්දා මට දඟලන්නවත් බැරි වුනා... මං මතක් කර ගන්න උත්සහ කලා අන්තිමට වෙච්ච සිදුවීම හරි  සිදුවීම් දාමය හරි... මෙතන මෙහෙම මං වැතිරිලා ඉන්න හේතු වුන සිදුවීමට අතිච්ඡාදනය වන සලකුනක්වත්..
සෞම්‍ය හිරු එලිය සිදුරකින් පෙරී මාව හොයාගෙන ආවා මං හිටපු තැනට... ඒත් අඳුර නස්නයට ඒ සිදුර දක්ෂ වුනේ නැහැ.. 
මං හයියෙන් හුස්ම ගත්තා.. ඒත් හුස්ම වැටුන් නැහැ... මං මගේ හුස්ම නොවැටුන බව දැක්කේ අහම්බෙන්.. ඒ දනහිස මදුරුවෙක් කනවා බලන්න කකුල් දිහා මං බලපු හන්දා...මගේ පපුව සෙලවීමක් තිබුනේ නෑ... එකයි මං අනුමාන කලේ හුස්ම වැටෙන් නැති විත්තිය... (ඒත් කොහොමද මදුරුව කනවා දැනුනේ....)

ටික වෙලාවකට පස්සේ දැනුනේ මං ඉහල ආකාශේ පා වෙනවා.. මාව ඇදිලා ආකාශෙට පා වුනා... ඒ සිදුවීම හරිම වේගවත්... හරියට වෙනත් ග්‍රහලොවක් හොයන් විශාල රොකට්ටුවක් ගමන් ආරම්භ කරනවා වගෙයි, නිසලව තිබුන මගේ සිරුර එකපාර ඇදිලා ගියේ හරිම වේගයෙන්... අනතුරුව මාව පාවෙන්න පටන් ගත්තා... මං අහසේ පාවි පාවී හිටිය වෙලාවේ මං දැක්කා මං සුදු මාමා එක්ක සරුංගල් අරිනවා. ඒ කැලිඩෝ වෙරලේ. ඒ සරුංගලේ හුඟක් ලොකුයි.. සරුංගලේ හදන්න සෝමතිලක මාමාත් උදව් කලා.. එයා අපේ වත්තේ වැඩට හිටිය කෙනා... මට මතක් උනා සුදු මාමා ගියාට පස්සෙ මං තනි උන විත්තිය.. ඒ කාලේ අපේ ගෙදරට ආව ගිය ජයනි අක්කා සුදු මාමා එක්ක විවාහ වෙලා ගිය නිසා මං හිටියේ ජයනි අක්කා එක්ක තරහින්. ඒත් ඒ විවාහයට කලින් ජයනි අක්කා මට හරි ආදරෙයි. මාවත් එක්ක යනවා මුහුදු වෙරලට.. මං සෙල්ලම් කරනවා එයාලා එක්ක... මං මගේ ජිවීතේ ආසම දවස තමයි එයාලගේ විවාහ උන දවස.. එයාලගේ විවාහයට හරිම ලස්සනට ඇන්දා... ඒත් ෆොටෝ ගන්න ගිහින් නම් මට එපා වුනා... මට කෙල්ලෙක්වත් ඉඹින්න වුනා ෆොටෝ එකට..
මං ආකාශේ පාවෙවී ඉඳලා පාවීම නතර වුනේ අපේ සුවිසල් නිවහන අද්දරින්.. මං විතරයි ගෙදර නොහිටියේ හුඟක් අය ඇවිත් අපේ ගෙදර.. තාත්තා හිටියේ හඬමින්.. අම්මා විලාප තියනවා ඇහුනා... ටික වෙලාවකින් අම්මට සිහිය නැතිව වැටුනා... මං අම්මා ළඟට ගිහින් රහසින් පැවසුවා මං හැංගිලා ඉන්න විත්තිය.. 
අපේ ගෙදර බැල්කනි එකේ ටික වෙලාවකින් මං හිටියේ හැංගිලා අම්මට මාව හොයා ගන්න බැරි වෙන්න.. අම්මට සිහිය ඇවිත්... අම්මා බැල්කනියට ආවා..
මං හැමදාම හැංගෙන්නේ ලොකු රෝස මල් පෝච්චියට එහායින්.. අම්මා හැමදාම වගේ බංකුව ළඟට ඇවිත් මාව හෙව්වා... මං විශ්වාස කලා අම්මා බංකුව පහු නොකර මාව හොයන් රෝස පෝච්චි ළඟට එන්නේ නැත්තේ බොරුවට කියලා...  ඒත් අද අම්මා ආවා..මං හිටියේ අම්මා හොයන් ආපු තැනමයි.. ඒත් අම්මා මාව දැක්කේ නෑ... මට අම්මට කතා කරන්න වුවමනා වුනත් මං කතා කරන්න උත්සහ කලත් බැරි විත්තිය මතක් වුනා.. ශබ්දය පිට වුනේ නැහැ.. ඒත් අම්මා "චුටිපුතා" කියලා මට කතා කලා... "ඇයි අම්මේ" කියලා කියාගන්න මට බැරි වුනා ඒත්...

ආයේ මාව පාවෙන්න ගත්තා අහසේ... මං දුටුවා මගේ පිහාටු ඇල්බම් එක බිම වැටිලා තියෙනවා. ඊට යාරයක් එහයින් පිහාටු සේරම පොලවේ හැමතැනම විසිරිලා. ඒ අපේ වත්ත නෙවෙයි.. මං නොදන්න තැනක්. ඒත් ඒ වත්තේ තිබ්බ පොඩි නිවසේ අපේ ඩ්‍රයිවර් අයියා හිටියා.. මං හිමින් හිමින් ඒ පිහාටු මතට පාවෙලා ඇවිත් ඒ පිහාටු මත් වැතිරුනා.. ඒක කොහොම සිදු වුනාද කියන්නමට තේරෙන් නෑ..හරිම සුමුදු සනීපයක් මට දැනුනේ. ඒත් හදවත ඇතුලෙන් හුඟක් විසල් වේදනාවක් දැනුනා. වේදනාව තියෙද්දිම මම කල්පනා කලා අවසාන සිදුවීම්....
මට සිදුවීම් ජාලය අමතක වෙලා තිබුනත් මට මතකයි මං පාසල් ඉවර වෙලා ඉන්නකොට අපේ නිවසේ වැඩ කරන අයියා කෙනෙක් ඇවිත් පිහාටු තියනවා කියලා මාව එයගේ ගෙදරට අරන් යනවා.... මං ඒ අයියා වැඩිපුර නොදුට තිවුනත්, මකං පිහාටු ඉල්ල ගන්න අයියා එක්ක ගියා.. ඊට පස්සෙ මට කිසිම දෙයක් මතක නෑ...
ආයේ වේදනාව මතු වුනා... ඒක මොන හේතුවක් නිසා ඇති වුනාද කියන්න මට තේරුන් නෑ.. ඒත් පිහාටු ඒ ස්පර්ශය මඟින් සුමුදු සනීපය මගේ හදවතේ වේදනාව සමනය කරන්න අසාමාන්‍ය වෙහෙසක් ගත්තා... පිහාටු දිනලා මගේ වේදනාව වාෂ්ප වෙලා ගියා මටත් නොදැනීම...මට අඬන්න වුවමනා වුනත් අඬන්න බැරි වුනා... ඒත් කඳුලු කැට පිහාටු මත තිබුනා... මං හිමින් හිමින් ඒවා පිහිදලා වටපිට බැලුවා.. ආයෙත් මගෙ විසල් වේදනාව උග්‍ර වෙන්න ගත්තම මට වුවමනා වුනේ අම්මගේ තුරුල... "අම්මා" කියලා කෑ ගැහුවත් ශබ්දය පිටවුනේ නෑ.... මට මතක් වුනා මං අඬනකොට තාත්තා මාව වඩාගෙන අහසට විසි කරනවා.. මං ඇඬිල්ල නවත්තලා හිනා වෙනවා.. ඒ සිදුවීම මීට අවුරුදු කිහිපයකට පෙර සිදුවීම් වුනත් මං ආස වුනා තාත්තා මගෙ ළඟ ඉන්නවට හැමදාම...
තාත්තා අවිවේකි වෙන්න ආරම්භ වුන දිනය මට නිශ්චිතවම කිව නොහැකි වුනත් තාත්තගේ ව්‍යාපාර දියුණු වෙන්න ගත්ත නිසයි මට හුඟක් දේවල් ලැබෙන්න ගත්තේ.. මගෙ යාලුවොන්ට නොතිබුන  විඩියෝ ගේම්ස් සෙට් එකක් මං ගාව තිබුනා.. මගේ උපන්දින පාටියට ඇවිත් හැමෝම පොර කෑවේ ඒකට.. මගේ උපන්දිනයෙන් පස්සේ මං පන්තියේ ප්‍රසිද්ධම ළමයා වුනා.. හැමෝටම මාතෙක්ක මිතුරු වෙන්න වුවමනා වුනත් මට වුවමනා වුනේ තනියම ඉන්න...
ඒත් මං පිහාටු එකතු කරනවා දැනගෙන හුඟක් යාලුවෝ මට පිහාටු ගෙනත් දුන්නේ මාත් එක්ක මිතුරු වෙන්න..මං ගාව හුඟක් පිහාටු තිබුනා.. මං ආස වුනේ මොනර පිහාටු වලට. ඒවා හරිම ලස්සනයි.. තාත්තා දවසක් මගේ මොනර පිහාටු දැකලා ඒවා ඉවත් කරන්න කිව්වා.. ඒත් මං අඬලා ඒවා තියා ගත්තේ මං හුඟක් ඒවට ආස නිසා... තාත්තා කැමති වුනේ නැත්තේ, මොනර පිහාටු අපේ නිවසේ තියාගන්න... අසුභයි කියලා... අසුභවාදී යමක් ඉක්මනට සිද්ධ වෙන්න පුලුවන් කියලාත් තාත්තා කිව්වා...


+++++++++++++++++++++++++++++++++++

(නිදාන කතාව: මං ඉතාමත් කුඩා කාලයේ ප්‍රවෘත්ති වලින් ඇසු කතාවක් මගේ හිතේ අදටත් රිදුම් දේ... ඒ නම්, කලුතර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙක් ගේ පුතකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමයි.. එය මුදල් සඳහා කල පැහැර ගැනිමක් වූ අතර ඒ කුඩා දරුවා සඟවා තිබුනේ වැසිකිලි වලකය... එය 2000 වසරේ පමණ සිදුවූ සිදු වීමකි.)

Comments

  1. යන්තං මතකයි සිද්ධිය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගෝල්ඩ් ෆිෂ් මේ පැත්තට ගොඩවෙලා ඇවිත් මතකයත් එල්ලුවට...

      Delete
  2. අරූ අපූරුවට කතාව ගළපලා. දුක්මුසු පුවතකට ජීවයක් දීලා වගෙයි.

    ජයවේවා!!!

    ReplyDelete
  3. සදීප ලක්ශාන් නේද.... මටත් හොඳට මතකයි ඒ සිද්දිය. කුරුලු පිහාටුවලින් තමයි අඳුරගත්තේ.ඔය කතාවේ තියන අඳුරුම පැත්ත තමයි ඒ මිණීමැරුම කල පුද්ගලයා ඒ වෙනකොට අවුරුදු 17-18 පමණ වයසක සිටිය කෙනෙකු වීම.

    ලිවීමේ රටාව සිත්ගන්නාසුලුයි අරූ..

    ReplyDelete
    Replies
    1. ඔබට තියෙන්නෙ විශිෂ්ට මතකයක්නේ කටුසු.. ඔබේ දිරිගැන්වීමත් ඒ අතිතාවර්ජනයටත් ස්තූතියි

      Delete
  4. හරිම අපුරුයි අරු කතාව
    ඔබට ජය!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයු.. නැවත එ පැත්තට එන්න,ගොඩ වෙලා යන්න එන්න

      Delete
  5. it is heart touching and wish u all the very best

    ReplyDelete

Post a Comment

Popular Posts