අවසානය...




මං ගියේ සියල්ලම අවසන් වෙච්ච නිසා නිදා ගන්න.. නිදා ගන්න කලින් සිගරට් එකක් ගහන්න තිබ්බ පුරුද්ද නම් තාම අහක් කරගන්න බැරුව සිගරට් එකක් පත්තු කර ගත්තා...මගේ සයනේ හරිබරි ගැහිලා වාඩි උනේ පලවෙනි දුම් පාර අදින්න.. ඒත් ඒකටත් අපලයි වගේ හුනෙක් "චුක් චුක්" ගාලා කෑගැහුවා.. මං අකමැතිම සත්තු ජාතිය තමයි හූනෝ.
මට මතක් වුනා ඒ ඇස් දෙක.. අන්තිම වතාවට දකිද්දි කඳුලු පිරිලා තිබුනා.. තාමත් ඒ කඳුලු එහෙම්මම තියෙනවද කියලා දැන ගන්න වුවමනා වුනත් මට ඒකට ශක්තියක් තිබ්බෙ නැහැ. මගේ හිත "පව්" කියලා කිව්වත් මං ඒක අමතක කරලා සිගරට් එක උරන්න ගත්තා.. මුල් දුම් රැල්ල ගියේ උඩට. ඒකට පස්සේ දෙවනි එක.. ඒකටත් පස්සේ තුන් වෙනි එක. ඔහොම සිගරට් එක ඉවර වෙනකම් දුම් රැලි අහසට නැග්ගා. එකක් පස්සේ එකක්.. ඒත් සිවිලම තිබ්බ නිසා අහසට යන්න බැරි වුනා.. බොහොම අමාරුවෙන් ජනේලේ උඩ හංස පූට්ටුව අස්සේ තියන සිදුරු වලින් රිංගලා ගියා.. ඉන් පස්සේ මං වතුර බෝතලයක්ම හිස් කරලා ඇස් පියා ගත්තා..
දිය සුලි හතක් කැරකෙමින් තිබුනා. ඒක සුලියක හිටියේ ඇය.. ඇගේ මුහුණ විකෘති වෙලා තිබුනේ... ඒත් මං හඳුන ගත්තා ඒ ඇයමයි කියලා. මට ඇගේ හැම අංශුවක්ම පුරුදුයි.. ඒ ඇය කියලා හඳුන් ගන්න වැඩි වෙලා ගියෙ නෑ ඒ නිසා... මං හිටියේ ඇය අහු වෙලා තිබුන සුලියට වම් පැත්තේ සුලියේ... සුලියට අහු වෙලා උනත් මං කලේ ඇය දිහා බලන් උන්නු එක.මගෙ හිත දෙකකට බෙදිලා තිබුනේ. එක කොටසක් කිව්වේ කවදාවත් ඇය දිහා බලන්න එපා කියල. ඒත් අනික් හිතින් ඇය දිහා බලන්න ඕන වුනා. අන්තිමට ජය ගත්තෙ හිතේ දෙවනි කොටස. මට මගේ හිත අවනත කරගන්න බැරි වෙලා ඈ දිහාම බලන් හිටියා..
ටික වෙලාවකින් මං සුලියට අහු වෙලා සිහි නැති උනා. ඇත්තටම මට මතක නෑ මොකද වුනේ කියලා..

අන්තිමට මං නැගිටින කොට හිටියේ  ඇගේ උකුලේ ඔලුව තියන්.. ඇගේ හිස කෙස් විසිරිලා හොඳටම අවුල් වෙලා තිබුනේ.. ඇගේ ඇඳුම වුනත් හොඳටම අවුල් වෙලා.. මට උවමනා කලා ඇගෙන් වෙච්ච සිද්ධිය අහන්න. ඒත් පලවෙනි හිත කිව්වේ ඇය එක්ක කතාවට නොයන ලෙසයි... ඒත් ඇගේ ඇස් වල කඳුලු හොඳටෝම.. මට මගේ දෙවනි හිත පාලනය කරගනා බැරි වුනා.. කොහොම වුනත් අවුරුදු දෙකක් මගේ හිතේ නතර වෙලා උන්නේ ඇය. මං මගේ පණ තරම් ආදරේ කලේ ඇයට. පිරිමි බය ගෑනුන්ගේ කඳුලු වලට කියන කතාව ඇත්ත. මගේ දෙවනි හිතටවුවමනා වුනේ ඇයව සනසන්න... මං ඇගේ උකුලෙන් නැගිටින්න හැදුවත් බැරි වුනා.. මුළු සිරුරම පණ නැති වෙලා වගේ... 
ඒත් ඇගේ ඇස් වලින් දිගටම කඳුලු ගැලුවා.  ඒ කඳුලු මගේ නිරුවත් පපුව උඩට වැටුනා. ඉන් පස්සේ එක පාර මගේ පපුවෙන් ඒ කඳුලු උරා ගත්තා...

මං කතා කරන්න උත්සහ කලා...
"ඔයා කතා කරන්න එපා.. ටිකක් මෙහෙම ඉන්න හොඳ වෙනකම්....... දැන් ඇස් පියන් ඉන්නකෝ.."
ඇය කිව්වේ එහෙම.. ඒකත් හරිම ආදරෙන්. මට ඉවස ගන්න බැරි වුනේ ඒ ආදරණීය බවට... 
ඇගේ ඇස් රතු වෙලා.. ඒත් කඳුලු දිගටම බේරුනා.. මගේ පපුව කිසිම තෙතක් නැති විදියට ඇගේ ඒ අහිංසක කඳුලු උරා ගත්තා.. 
පණ නැතිව තිබුන මගේ මුළු සිරුරම පණ එන්න ගත්තා.. ඒක හරිම පුදුමයක්... අන්තිමට මට පණ ආවා. මං හිතන්නේ ඇගේ කඳුලුවල බලයෙන්.. මං නැගිට්ටා.. මගේ මුළු සිරුරටම දැනුනේ නැවුම් ප්‍රබෝධමත් හැඟීමක්.. මං නැගිටිනකොටම ඇය පරඬැලක් වගේ කඩාගෙන වැටුනා.. 
මං ඈව උස්සගෙන රෝහලට ගෙනිච්චා.. මේ මගේ අත් දෙකෙන්ම...
දොස්තරලා හෙදියෝ හුඟක් වට වෙලා මැෂින් වලට ඇයව හයි කලා.. ඉන් පස්සේ එක එක ඉන්ජෙක්ෂන් ගැහුවා ඒත් අන්තිමට මට පුටුවක වාඩි වෙන්න කියලා දොස්තර කිව්වේ ඈ මිය ගිහින් කියලා.. 
මරණ පරීක්ෂණ වාර්තාවේ තිබුනේ ඇගේ හදවත අකර්මණ්‍ය වෙලා වගේම එහෙම වෙන්න අරං තිබුනේ අවුරුදු දෙකකට පෙර කියලා....


Comments

Post a Comment

හුඟක් අය බලපුවා