ලැවෙන්ඩර් යාය.


මං හිටියේ අනවරත පහසක ගැලිලා.  ඒක කොච්චර අනවරත ද කියනවා නම්, මට මගේ මූලික අවශ්‍යතාත් අමතක වෙන්න පටන් ගත්තා.. හීන යායක් හරියට දම් පාට ලැවෙන්ඩර් මල යායක් මැද හිර වෙච්ච සමනල් පැටියෙක් වගේ, මං ඒ පහසේ හිර වුණා.ඒත් ඒ සිර වීමට මං ආසා කළා..

කාලය බොහෝ ගත වුණත් සමනල් පැටියා දැනන් උන්නෙ හරිම පොඩි දේවල් ටිකක් විතරයි. ඒ ලැවෙන්ඩර් මල් වල ලස්සනයි, සුවඳයි, ඒ මල් පැණි වල රසයි විතරයි.. ඒක නිසා මේ ලෝකේ තියන වෙන දහස් ගණනක් වන, ලස්සන මල් ගැන, රස මල් ගැන, සමනල් පැටියට වගක් වුණේ නැහැ. ඒ වගේ මටත් හිර වෙලා කියලා දැනුනේ නැහැ.. 

ඒත් මේ සමනල් ලෝකේ ඇත්තටම කොච්චර මල් යායවල් තියනවද.. කහ පාට සූරියකාන්ත මල්, වෙන ලස්සන කහ පාට මල් යාය වල්.. රතු පාට මල් යායවල්.. රෝස පාට.. ඔක්කොම මික්ස් වෙච්ච මල් වර්ග විවිධ ප්‍රමාණයක් තියන මල් යායවල්... ඒත් ඇයි මං ලැවෙන්ඩරා මල් යායක ජීවිත් වුණෙ..???   මං කලින් කල්පනා කර නොතිබුණු දෙයක් තමයි.. ඊටත් මට මේ ලැවෙන්ඩරා යාය දාලා යන්න හේතුවක් හට ගත්තෙත් නැහැනේ.  මේ අලුත් ගැටලුව එනකම්ම.. 

ඒත් එක තැනක සමනලයා දුක් වෙන්න ගත්තා.. ඒ රෑ... හදිස්සියේ සමනලා රෑ පාන්දර නැගිට්ටා කවදාවත් නැතුව සමනල් පැටියට රෑ කුසගින්නක් ඇවිත් තිබුණා. මගේ කුස ගින්න කියන්නේ දරා ගන්න අමාරු දෙයක්.. රෑ ලැවෙන්ඩර් මල් නැති විත්තිය තේරෙන්න මගේ හිතට, ඒ කියන්නේ සමනල් පැටියට ගත වුණේ පුංචි මිනිත්තු කිහිපයක් විතරයි..

"ඇයි මට ඒක කලින් නොතේරුණේ.. ඒක තමයි අනික් සමනල්ලු විවිධ මල් තියන මල් යායවල් වල ජීවත් වෙන්නෙ... " මං මටම කියා ගත්තා.

ඒ නිසා සමනලයා වෙච්ච මම තීරණය කළා ලැවෙන්ඩර් මල් දහන හැර යන්න. මෙච්චර කලක් සෙවණ දුන්න ලැවෙන්ඩර් දහනේ රෑට ආහාරයක් සොයා ගන්න නැහැ කියන්නේ මොන දොම්නසක්ද. මගේ සමනල් හිත හිතුවා.. ඒක විශාල ප්‍රශ්නයක්... රෑත් පිපෙන මල් තියන මල් උයනකට යන්න ඕනා. ඒත් මෙච්චර කාලයක් මාව පෝෂණය කරපු, මාව ආරක්ෂා කරපූ ලැවෙන්ඩර් මල් වලට එහෙම කරන දේ හරිද කියලා සමනල හිත මගෙන් විමසන්න ගත්තා. (ඒත් ලැවෙන්ඩර් මල් පැණි සුරක්ෂිතව තියන්න වෙන ක්‍රමයක් ගැන හිතන්න ඕන කියන අදහස මගේ සමනල් මොළයට ආවෙත් නැහැ. ඒ මොළේ ආවේ පස්සේ..) 

මොකද ඇත්තටම සමනලුන්ට මොළයක් තිබුණේ නැහැ. ඔවුන් හිතන්නේ හදවතින්.. මී මැස්සෙක් වගේ මල් පැණි සුරක්ෂිත කරන්න මොළයක් තිබුණ නම් මං කවදාවත් දුක් විඳින් නෑ කියලා තේරෙන්න ගද්දි මං පරක්කු වැඩි.  ඇත්තටම ඒ ප්‍රශ්නෙට උත්තර හොයා ගන්න පුළුවන් ශක්තියක්  සමනල හිතට තිබුණේ නැති නිසා, සමනල දවස් 4ක් ගත කරලා ඒ කියන්නේ මිනිස් වර්ෂ දහසකුත්, තව මාස පහකුත්, දවස් දෙකකුත් ගත කරලා, ලැවෙන්ඩර් වලින් බඹ සියක් දහස් තුනකට පස්සේ තිබ්බ නිදහස් උයනකට මම පියඹගෙන පැමිණ තිබුණා.


 ඒකේ රෑ මනමාලි ඉඳන් රෑ මල් තිබුණා. ඒත් ලැවෙන්ඩරා තිබුණේ නැහැ. මට පාලුවක් නොදැනුනා නොවෙයි. ලස්සන දම් පාට යාය නැතිව. ඒක, ඒ ලා දම් පැහැය කොච්චර වුණත් සෞම්‍යයයි. සුන්දරයි. උත්කෘෂ්ට නැහැ. චංචල නැහැ. හරිම නිස්කලංකයි.

අලුත් මල් දහනට ඇවිත් සිරි නරඹා එතන ස්වාධීන සමනලයෙක් විදියට ස්ථාපිත වෙන්න මට කාලයක් ගියා. ඒත් ඒ කාලයේ මට අපහසුතා නොදැනුනා නෙවෙයි. ආයෙත් ලැවෙන්ඩර් යායට යන්නත් නොහිතුනා නෙවෙයි. මං ආස වුණා මේ වෙනසට. හිත ඉල්ලුව වෙනස. ඒත් අපහසුතා වැඩි වුණා ටිකෙන් ටික. ඒ ලැවෙන්ඩර සුවඳ නැතිව සමනල් පෙනහල්ලෙන් ගන්න, හුස්ම වල කිසිම නැවුම් බවක් මට දැනුනේ නැහැ. සමනලුන්ට තියෙන්නේ එක පෙනහැල්ලයි. ඒ නිසා පෙනහැල්ල ආරක්ෂා කරගන්න ඕනා.

හුස්ම ගන්න වාරයක් පාසා කැස්ස ආරම්භ වෙලා තිබුණා. අලුත් උයනේ උන්න සමනලුන් මාව සමනල් වෙදෙක් ළඟට එක්ක ගියත් කිසිම බෙහෙතකට කැස්ස හොඳ කරන්න බැරි වුණා. ලැවෙන්ඩරා සුවඳ නැතිවය, යන හේතුව මම සොයාගෙන තිබුණේ නැහැ. උදේ, රෑ ඕනෑම වෙලාවක මගේ කුසගින්න නිවාරණය කරන්නට මල් පැණි තිබුණත් මගේ අසනීපය එන්න එන්න දරුණු වෙමින් පැවතුණා. ඉන් පසුව මම සිහිසුන්ව මල් පෙති අතර වැටෙන වාර ගණන් දිනෙන් දින වැඩි වුණා. මල් පෙති අතර වුණ සමනල් රෝහලක මාව නවතා මී පැණි සේලයින් දෙන්න වුණා. සමනල් හෙදියන් කීවේම, ඔයාගේ ආදරේ නැති වුණ නිසා මේ දේ වෙන්න ඇති කියලා. හුදෙක් සමනල් වෙදුන් මාව පර්‍යේෂණ වලට භාජනය කලා. මොකද කිසිම රුධිර පරීක්ෂණයකට, කිසිම මැෂින් පරීක්ෂණයකට මගේ සමනල්  ලෙඩේ සොයාගන්න බැරි වුණ නිසා. 

දිනක් කුණාටුවක් ආවා. ඒ ලැවෙන්ඩරා උයනේ ආරම්භ වුණ කුණාටුව ලැවෙන්ඩරා සුවඳ උරා ගත්ත වාත ප්‍රවාහයක්ව මහා වේගයෙන් අලුත් උයනට හමා ආවා. ඒ කුණාටුවෙන් උයනේ උන්න හැම සමනලයෙක්ටම වගේ අනතුරු සිදු වුණා. ඒත් පුදුමය වුණේ අසනීපව හුන් මට ඒ කුණාටුව ආ ක්ෂණයෙන් අසනීපය තුරන්ව, ශක්තියක් ලැබීම. කුණාටුව මධ්‍යයේ වුණත් මම පියඹා ගියා. කැස්සක්වත් සිහිසුන්ව වැටීමක්වත් සිදු වුණේ නැහැ. කුණාටුවේ ප්‍රවාහයට මගේ සමනල් තටු හැකිලුනෙත් නැහැ. ඒ ප්‍රතිරෝධය දරාගෙන, කුණාටුව හරහා මං පියඹා ගියා. කුණාටුවට හසුව  අනතුරු වුණ හැම සමනලයෙක්ටම පාහේ උදව් කළා. ,

ඇත්තටම ඒ අමෘත, ලැවෙන්ඩර් සුවඳ මුසු වුණ ඒ සැඩ මාරුත ප්‍රවාහය,  මගේ සමනල් සිරුරේ තිබුණ, අසනීප සම්පූර්ණයෙන්ම තුරන් කර තිබුණා. හැමදේම සිද්ධ වෙලා ඉවර වුණාට පස්සේ සමනලුන් මට කියන්න ගත්තා ඔයාගේ ලැවෙන්ඩර් සුවඳින් ඔයා සවිය අරන් උදව් කර නිසා ලැවෙන්ඩර් යාය තමයි ඔයාගේ හරි තැන. ඒ නිසා ආයෙත් අසනීප වෙන්න කලියෙන් ඔයාගේ හරි වාසස්ථානයට යන්න කියලා... මටත් ඒ සත්‍ය දැනෙමින් තිබුණේ.. අපිට අයිති තැන් මේ ලෝකේ වෙන් වෙලා තියනවා. ඒක කොයි තරම් කටුක වුණත්, සතුට තියෙන්නේ එතන. ඒ නිසාම, ලැවෙන්ඩර් යාය ගැන මට කවදටත් වඩා ලොකු ආදරණීය හැඟීමක් එක්ක මං ලැවෙන්ඩර් යාය වෙත පියැඹුවා.

Comments

  1. ලැවැන්ඩර් යායක ඔබේ හිතුවිලිත් එක්ක ඇවිදගෙන ගියා. ලස්සනයි.

    ReplyDelete
  2. සමනලයෙක්... කතා කරයි ✍️🌹

    ReplyDelete
    Replies
    1. කොහෙන් පාත් උන සමනලයෙක්ද මංදා

      Delete

Post a Comment

Popular Posts