වෙනස




කලු කෙස් අතර තිබ්බ සුදු කෙස් ගහක් කිසා ඇදලා දැම්මා.ඒ සුදු කෙස් ගහ හොයා ගත්තේ ටිකක් වෙලා ගිහින්.
කෙස් ගහ ගලවනකොට දැනුන රිදිල්ලට වඩා කිසාගේ හිත රිදිලා තිබුනේ. 



විහිළුවට වගේ "කිසාගේත් දැන් සුදු කෙස් ගස් එක දෙක පේනවා" කියලා ස්ටාෆ් එකේ අය කිව්වම කිසා නම් හිනා වෙලා නිකම් හිටියට මොකද එයා දැනන් හිටියා ඒවා කියන්නේ රිද්දන්න කියලා.. ඒ සුදු කෙස් ගස් අස්සේ තමාගේ වෛවාහක ස්වාමිපුරුෂයාගේ ලස්සන දකින එක තමයි කිසාට ඉවසගන්න බැරි රිදිල්ල වෙලා තිවුනේ. හදිස්සියේ උදේ පරක්කු වෙච්ච නිසා බත් එක අමතක වෙලා ඇවිත් තිබුන කිසාට ජනක බත් එක ඔෆිස් එකටම ගෙනත් දීලා ඔෆිස් ගියේ ආදරේට කියලා කිසාට දැනුනට මොකද ඔෆිස් එකේ ගෑනු තමාට වඩා ජනකගේ තරුණකම ගැන මනමාල කතා කියන එක නම් ඉවසුම් නැති වුනා.. ඒ කැඩිච්ච කටවල් වලට ඉබි යතුරු දාන්න තමන්ට බැරි බව ජනක එක්ක යාලු වෙච්ච දවස් වලම කිසා තේරුම් අරන් හැමදේටම හිනාවෙන්න පුරුදු වුනේ ඒකයි.



ජනකට අද ඉක්මන්ට ගෙදර එන්න පුලුවන් නම් කියලා කෝල් එකක් දෙනවද නැද්ද කියලා ෆෝන් එක අතට ගත්ත කිසා කෝල් කලේ නැහැ. කල්පනා කර කර ඉන්න කොට චූටි දුව ඇවිත් ගවුමේ එල්ලුනා.. ළමයි තුන් දෙනෙක් හැදුවේ තමන්ගේ වුවමනාවට නොවුනට, පණ වගේ තමන්ගේ ළමයිට ආදරේ කරන ස්වාමිපුරුෂයා, තමන්ට ආදරේ නැහැ කියලා හිතන් උන්න සිතුවිල්ල හිතලුවක් වුනේ අද උදේ ඔෆිස් එකට බත් එක උස්සන් ආපු ජනකව දැක්කම.


"අම්මි."


චුටි දූ තමන් හොයන් එන්නේ හුරතල් වෙන්න මිසක් බඩගින්නට නෙවෙයි. අවුරුදු තුනක් වෙන චූටි දූ තමන් ඔෆිස් ගියාම ආච්චි අම්මා ළඟ කවන බත් පිඟානම කන්න තරම් පෙරේතයෙක් කියලා ජනකගේ අම්මා හැමවෙලේම කියන්නේ, පුංචි කාලේ ජනකත් මේ වගේ පෙරේතයි කිය කිය හිනා වෙවි.චුටී දූගේ  කිරි බොන එක නවත්ත ගන්න වුවමනා වුනත් කිසා ඔෆිස් ඇරිලා ආවම, චුටි දූ ඇවිත් කිසාගේ ඇඟේ එල්ලිලා ගවුම් කර අස්සේ හැමදාම අත දාන්නේ කිරි බොන්න තියන ආසාවටම නෙවෙයි. තමන්ගේ අම්මා එක්ක හුරතල් වෙන්න තියන වුවමනාවට. ජීවිතේ එපා වෙලා වගේ දැනෙන කිසාට දරුවන්ට ආදරේ කරන්නත් ආසාවක් නැහැ කියලා ජනක කියන ආඩපාලි ඇත්තමද කියලා අද උදේ සිදුවීමත් එක්ක කිසාට තේරුම් යමින් තිබ්බේ..


"අද අම්මගේ කිරි ඉවර වෙලා දූ."


"අම්මී බොරූ..."


"බොරු නෙවෙයි. අපි අද කිරි හදාගෙන බොමු.. ඉන් පස්සේ සෙල්ලම් කරමු."



චූටී දූව උකුලට අරන් කිරි බොන්න නොදී අද හුරතල් කරන්න කිසා උනන්දු වුනා. කොහොම හරි එක එක ඒවා කියලා කිරි නොදී ඉන්න කිසාට පුලුවන් උනේ සෙල්ලම් ගෙයක් දාන්න කැමති වුන නිසා. පැය බාගයක් විතර දරුවා එක්ක සෙල්ලම් කරලා කිසා ගියේ දූව නිදි කරලා,පොඩි පුතයි ලොකු පුතාටයි ගාවට. ඒ යනකොට ජනකගේ අම්මා පුතාලගේ හෝම්වර්ක් කරවනවා. කිසා පුතාලා දෙන්නගේ ඔලුව අතගෑවේ ආදරෙන්.



තමන් ආදරේ කරන කාලේ වගේ රසට ස්පෙෂල් කෑම මුකුත් ජනක වෙනුවෙන් කාලෙකින් හැදුවේ නැහැ කියලා මතක් වෙච්ච කිසා රෑට ස්පෙෂල් බතක් උයන්න තීරණය කලා.



"අම්මේ උයන්න ඕන් නෑ අද. මං උයන්නම්." පුටුවක් ඇදන් ඉඳ ගන්න ගමන් කිසා අම්මට කියුවා.


"ඒ මොකෝ දුවේ..  මහන්සි නැතෙයි."


"කමක් නෑ අම්මේ. උදේට උයනවා වගේ රෑටත් උයන්න පුරුදු වෙන්න ඕනා දැන්."


"ලොකු පුතා අදත් පරක්කු වෙයිද දන්නෑ. "


"මං කෝල් කරලා බලන්නම් අම්මේ."


කාලෙකින් වට්ස් ඇප් මැසේජ් එකක් නොයවපු කිසා ජනකට මැසේජ් එකක් යැව්වා.


"පුළුවන් නම් කලින් ගෙදර එන්න..."



ආදරේ කරන කලේ වගේ පුලුවන් නම් ඉක්මන්ට එන්නකෝ වස්තු කියලා ටයිප් කලත් එහෙම යවන්න කිසාට හිතු නෑ. ඒ නිසා වස්තු කෑල්ල ඩිලීට් කලා. "එන්නකෝ" කියලා ටයිප් කලොත් හුරතල් වැඩී කියලා "එන්න" කියලා විතරක් ටයිප් කලා.
කාලෙකින් එහෙම වචනෙකින් වත් ජනකට දැනෙන්න ආදරේ කරලා නැහැ..



ඇත්තටම ජනක බිසී ඇති කියලා කිසාට දැනුනේ වට්ස් ඇප් මැසේජ් එක ඩිලිවර් වුනත් රීඩ් කරේ නැති නිසා. ඒක යවලා රිඩ් කරාද කියලා මිනිත්තුවෙන් මිනිත්තුව බලපු කිසා ජනක කියවයිනේ කියලා උයන්න ගත්තා. ඒත් ටික වෙලාවකින් ආයේ ෆෝන් එක අරන් මං අද ස්පෙෂල් උයනවා කියලා මැසේජ් එකක් ටයිප් කරලත් ඩිලීට් කරලා දැම්මා. පැයකට විතර පස්සේ ජනක මැසේජ් එකක් එවලා තිබ්බා.



" අද ඉක්මනට එන්න පුලුවන් සුදු."


"සුදු..!!" කියන කොටස දැක්ක කිසා හරියට අවුරුදු දහයක් පස්සට ගියා වගේ වුනා. ෆෝන් එක දිහා බලන් ඉන්නකොට ඇඳුනු හීනි හිනාව කවුරු හරි දකී කියලා කිසා තොල් හපාගෙන මකලා දාන්න උත්සහ කලා.



කිසා ඉව්වේ ෆ්‍රයිඩ් රයිස්... දුවලා ගිහින් කීල්ස් එකෙන් බඩු ගෙනාවා.. ඕන කරන ඔක්කොම කෑම උස්සන් ඉක්මන්ට ආවේ හරිම සතුටින්.. ෆ්‍රයිඩ් රයිස් හදලා, චොප්සිත් හැදුවා. චිකනුත් හැදුවා... ඒ වෙනකොටත් ජනක ඇවිත් තිබුනේ නැති නිසා චීලී පේස්ට් එකක් හදන්න ඉස්සෝ කරවල කුඩු කලා...



ජනක ඇවිත් ඉන වටේ අත් දෙකම දාලා තුරුල් කර ගන්නකම් කිසාට දැනුනේවත් නෑ ජනක ආවා කියලා. ජනක ඒ වෙනකොට වොෂ් දාලත් ඉවරයි...  පිටිපස්සෙන් ඇවිත් ඉනවටේ අත දානකොට කිසා බය වුනත් ඒ එක්කම වගේ ජනකගේ සුවඳ දැනුනා. තාම පොඩි කොල්ලෙක් වගේ හුරතල් වෙන්න දඟලන ජනක ගැන බොරු තරහක් මවා ගත්තත්, කිසාට ඒ වැලඳ ගැනීමෙන් දැනුනේ ජීවිතයම අලුත් වුනා වගේ හැඟීමක්...


Comments

  1. ලස්සනයි.. තව ටිකක් දිගට තිබ්බානම් කියලා හිතුණා කියවලා ඉවර වුනහම!

    ReplyDelete
    Replies
    1. මටත් .... ඒත් ඉවර කරන්න වුනා..
      ස්තූතියි මේ පැත්තට ගොඩ වෙලා යන්න ආවට

      Delete
  2. නියමයි.... ඒත් මදි... තව මැදට කෑලි ආවනම් හොදා....

    ReplyDelete
  3. Replies
    1. ස්තූතියි ඔබතුමාට

      Delete
  4. වෙනසට ආදරෙයි. කාලෙකට පස්සෙ අරු අපට කතාවක් දීලා. ස්තූතියි. ප්‍රීති.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියට වගේම කොමෙන්ටුවට ස්තූතියි සඳවතිය ...

      Delete
  5. තව ලියන්නනෙ තිබුණෙ...
    ලස්සනයි ❤️

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අනේ... මට දිගට ලියන්න කම්මැලිනේ.. හුඟක් අය කියනවා මගේ කතා කොටයි කියලා මං වගේ... හී හී.. ස්තූතියි මේ පැත්තේ ආවට

      Delete

Post a Comment

Popular Posts