ප්‍රේමය අහිමිව..






පහුවුන මුළු ගිම්හාන කාලයම අතීතයටම එක්කහු කරලා ඔහේ පාවෙන සරුංගලයක නැගලා වසන්තෙට යන්න ඕනකමක් තිබ්බට මට ගැහැණුකම කිව්වේ ඇඳට වෙලා රෙද්දක් පෙරෝගෙන වහන් වෙලා ඉන්න කියලා. ඒ පොරෝනේ ඇතුලේ ඇති තරම් උණුහුම තිබ්බා. ඊටත් ආරක්ෂාව වැඩියි. ඉතින් බය වෙන්න දෙයක් තියනවා කියලයි....!!!

සීතල හුඟක් නම් කෝපි කෝප්පයක් විතරක්ම සීතල නස්නයට තිබ්බම හොඳටෝම ඇති කියන සිතුවිල්ලත් එක්ක මං තරඟ කලා..නැත්තම්, හුඟක් ඉස්සර දවස් වගේ එයාගේ තුරුල හොයන්න පුලුවන්කමක් තිබුනේ නැහැනේ.. එහෙම කිව්වට යටි හිතේ තිබ්බෙම එහෙම රහස් ලිංගික අවශ්‍යතාවක්.. කෝපි කෝප්පයක් පමණක් කියලා එතන තිබ්බේ පරිත්‍යාගයක් නෙවෙයි. එහෙම ලෝකයට කියන්න ව්‍යංගයෙන් පැහැදුවත්, විනිවිදභාවයෙන් යුතුව පවසන එකේ තිබ්බේ හුඟක් රිදවිලි. ඒකට කිව්වේ දරුණුම වචනයක්.

එතන තිබුනේ ලිංගික ඉරිසියාව කියන සංකීර්ණ හැඟීම රොත්තක්. ඒකම තමා පිරිමි හිතක් රිදවන ලොකුම රිදවිල්ල.. ගැහැණු හිත රිද්දන්නේ ඒකිට 'ඔහු'කියන කෙනා ආදරේ කලාද කියන රිදවිල්ලත් එක්ක.. ඒකත් එක්කයි ලිංගික ඉරිසියාව එන්නෙ... ඒ හැඟුම් සිත දරුණුවට පත් කිරීම ආරම්භ කල මොහොතේ ඉඳන් වුනේ හිත හුඟක් රිදවීම්. ඒ නිසා ඒක මං අමතක කරලා දැම්මා. ඊටත් ආරක්ෂාකාරී බවක් තවදුරටත් එතන තිබුනේ නැහැ.


ඇස් දෙක පියාන නින්ද සොයන්න වෙහෙසුනත් ඒ නින්ද මාව සොයාගෙන ආවේ නැහැ. මං අවදිව කිරි එකක් බොන්න තීරණය කලේ, මට කරන්න දෙයක් නැති කමට. ජීවිතයට අවැසි වෙලා තිබ්බේ, වෙනසක්.. කොයි තරම් වෙනසක්ද කියන්න දැනන් හිටියේ නැහැ.. හැබැයි කැරලි ගැහුවා වගේ තියෙන්න ඕනා.. "හප්ෆා උඹ රැඩිකල්නේ.." හුඟාක්ම ඉස්සර කැම්පස් එකේ කොල්ලෝ කිව්වේ එහෙම.. මගේ කැරලි ගහන ජීවිතය නැවතුනේ ඒ උණුහුම වැදුනට පස්සේ.. රාජලියෙක් තනි ජීවිතයට තිත තිබ්බා කියන්නේ හැමෝටම පුදුමයක්, ඊළඟ නිමේෂය පෙම් වෑහෙන තරමට පරිසරයත් නිස්කලංක වෙනවා... නමුත් රජාලි කිරිල්ලිගේ තිබ්බ නිර්භීතකම දියවෙලා ගං ඉවුර දිගේ ගහගෙන ගියා.. ගං ඉවුරේ තිබ්බ රොන් මඬ අස්සේ ඒක වැලලුනා. සදහටම....

ඒක වෙනම රහක් ,දන්නවද ඔයා ගියාට පස්සේ මං බොන්න පුරුදු වුණා. ඔයා මධුවිත බොනවට නීති දාලා ආදරේ කරපු මං බිව්වා. ඔයාව අමතක කරන්න.. එක වෙනම රහක්.. ඒ වෙලාවට, කතා ඔයා එනවා නිකම් හුළඟක් වගේ...ඒ හුළඟ සීත නැහැ.. ඉස්සර සීත සුළඟට මාව වෙව්ලනකොට ඔයා තුරුල් කරගන්නවා.. අන්න ඒ තරම් වත් සීතල නැහැ..

දන්නවා නේද සුළං කවි කියනවා.. ඉස්සර අපි තුරුල් වෙලා බොල්ගොඩ ගඟ ළඟට වෙලා අහන් ඉන්නවා ඒ කවි.. හරිම සෞම්‍යයයි..
ඒත් දැන් හමන සුලං කවියක් නැතිව හීනියට හමන්නේ...

ඉතින් මං තනිකම ඇරෙන්න සිංදුවක් කියනවා.. සිංදු කියන්න බැරි මට ඒකත් පුළුවන් වෙනවා. ඔයත් මා එක්ක යුග ගී ගායනා කරනවා.. 

මං හිමින් හිමින් නෙත් පියා ගන්නවා. ඔයා ඇවිත් මගේ ළඟින් ඇල වෙනවා. පපුව උඩින් අත දාලා ළඟට තුරුල් කර ගන්නවා... මං එහෙම්මම ඔයාට තුරුල් වෙලා දොයියනවා... හුරතල් වෙනවා.. වෙනදට වඩා ඉක්මනට මං නිදි දෙව් තුරුලට යනවා.. ඒක මට ලොකු සහනයක්.....


ආයේම උදේ වුණාම තමයි දුක දැනෙන්නෙ..
ඉන් පස්සේ පරිච්ඡේදය සම්පුර්ණයෙන්ම වෙනස් කතාවක්... දරුවෝ දෙදෙනෙක් එක්ක තනිකඩ වීම..

මං පොඩි එවුන්ව ඉක්මනට පාසල් ඇරලා, මං යනවා වැඩට.. දූයි, පුතයි, පාසල් ඉවර වෙලා එක්කො ගෙදර එනවා... නැත්තම්, ක්ලාස් යනවා. ආච්චි ඉන්නෙක හොඳයි.. උන් ගැන මට වද වෙන්න ඕනේ නැහැ...

දැන් මේ ජීවිතයට මං පුරුදු වෙලා. කවදාවත් ඔයා නැති ජීවිතයක් ගැන හිතන්නවත් බැරුව උන්න මං තනියෙන් දූවයි, පුතාවයි උස් මහත් කරනවා..

ඔයාගෙයි මගෙයි මේ ගෙදර දැන් මගේ වෙලා. ඔයාට වෙන ගෙයක් තියනවා කියලා දැනෙද්දී මාවම පිච්චෙනවා.. සමහර දවසට මං නේත්‍රාව දකිනවා.. මට ජොබ් එක අතාරින්න කිව්ව ඔයා ඇයට තවම නීතී දාලා නැහැ... ඇය තවම පාසල් යනවා. දරුවොන්ට උගන්නන්න. මුලින්ම ඇයට උගන්වන්න ඕනා, අනුන්ගේ විවාහක පිරිමි හොරකම් කිරීම වරදක් කියලා.. ඉතින් ඔයාව මගෙන් උදුර ගත්තේ එයාද කියලත් හිතෙනවා. සමහර විට මට ඔයාව මඟ ඇරෙන්න ඇති..දරුවෝ හම්බුනාට පස්සේ දරුවෝ පස්සේ වැටුන මට මගේ පලවෙනි දරුවා වුණ ඔයාව අමතක වුණා.. ඒක මගේ වැරැද්ද...


මං දන්නවා දරුවෝ ඉන්න අම්මා කෙනෙක් මත්පැන් බොන එක හොඳ නැහැ කියලා. ඊටත් තාත්තා නැතුව හැදෙන දරුවෝ.. ආදරෙන් හොඳට බලා ගන්න ඕනා.. දරුවෝ ආච්චී ළඟ දාලා නයිට් ඩියුටි කියලා අපි මාසෙකට වතාවක් ගිය හොටෙල් එකේ තනියෙන් රූම් එකක් අරන් තනිවෙන එක එච්චරම හොඳ නැහැ. මාසෙකට වතාවක් හරි මගේ පිරිමියා එක්ක තනි වෙන්න ඕනා.. මං තනියෙන් බොන එක නවත්තන්න ඕනා කියලා මං දන්නවා.. "ඔයා මහ හිතුවක්කාරයි තරූ..." තාමත් ඔයා එහෙම කියනවා මට ඇහෙනවා.. ඔයා කතා කරනවා ඇහෙන්න මං බොන්නම ඕනා. ඉතින් මං ආසයි තාමත් ඔයාගේ කටහඬ අහන්න.මට බනින්නවා අහන්න.. ඔයා එක්ක මං තුරුලු උන ඇඳේ ආයෙත් තුරුල් වෙලා නිදා ගන්න. ඒවා සිද්ධ වෙන්නෙම මං මත් වුණාම විතරයිනේ... ඉතින් මේ මත් වීම මට වුවමනායි.

හොඳ බිරිඳක් වෙන්න බැරි වුණ මට හොඳ අම්මා කෙනෙක්වත් වෙන්න පුළුවන් වෙයිද කියන්න මං දන් නෑ.  ඒත් මං හොඳ පෙම්වතියක්.ඉස්සර වගේම තාමත්. ඔව්ව්.. මං තාමත් ඉස්සර වගේ ඔයාට ආදරෙයි..

Comments

  1. හදිස්සියේ ලියල වගේ . ඒ උනත් ලස්සණයි !

    ReplyDelete
    Replies
    1. එහෙමත් නැහැ... ලියලා තිබ්බ එකක් ආයේ කියවලා එහා මෙහා කරලා පොස්ට් කලා...

      Delete
  2. හ්ම්ම්ම්... ඒකනම් වැදුනා..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්... මටත් වැදිලා ඉන්නේ දැන්...

      Delete

Post a Comment

Popular Posts