ආධ්‍යාන්
ආධ්‍යාන්.. මිනිස්සුන්ට ඕනා එයාලගේ බලේ තහවුරු කරගන්න. එයාලා හැරෙන්න අනිත් ඔක්කොම බෙලහීනයෝ කියලා දැනවෙන්න වැඩ කරන්න.. කොතනවත් නැහැ සමතැනක් තියන එයාල කැමති නැහැ බලය බෙදෙනවටත්, විශේෂයෙන් එයාලට තිබුණ බලය වෙන කෙනෙක්ගේ අතට යනවට කැමති නැහැ ආධ්‍යාන්.
බුදු හාමුදුරුවෝ වුණත්, නැගීගෙන එනකොට ඒ කාලයේ හිටපු එක එක ශාස්තෘවරයන් ඒ බලය තියාගන්න එක එක දේවල් කලානේ.
මට වුණත් දැන් හරිම ප්‍රශ්න ආධ්‍යන්.. මුලින් ඔයාව කසාද බඳින්න ඉද්දි මං හිතුවේ ඔයාව බැඳලා සතුටින් ඉන්න පුලුවන් වෙයි කියලා. ඒත් මං තේරුම් ගත්තා එක ගෙදර ගෑනු දෙන්නෙක්ට රැජිනක් වෙන්න බැරි විත්තිය. ඔයාට කොහොමත් වෙනම රාජ්‍යක් ගොඩ නගන්න තරම් වත්කමක් තිබ්බේ නෑනේ. ඔයා හිටපු රාජ්‍යයේ මව් රැජිනට අමතරව තව උප රැජිනලා දෙන්නෙකුත් හිටියා. කොහොමත් රාජ්‍යයක හැම රැජිනකටම සම තැන නොලැබෙන බව ටික කාලයක් ගිහින් හරි මං තේරුම් ගත්තා. ඒකයි මං තනියෙන් රාජ්‍යක් ගොඩ නගන්න අලුතින් ජොබ් එකක් හොයාගත්තේ. ඉගෙන ගෙන තිබ්බ නිසා මට ඒක අපහසු වුණේ නැහැ. ඒකට මට මාස දෙක තුනයි ආධ්‍යන් මහන්සි වෙන්න වුණේ. මහ රැජිනගේ වත් ඔයාගෙන්වත් ආධ්‍යන් අනුමැතියක් ගන්න වුවමනා වුණෙ නැහැ. මං කලේ මගේ කුමාරයව විතරක් දැනුවත් කරන එක විතරයි. උදේ මගේ සාරි ඇඳිල්ල එක්ක රජ මාලිගාව ගිනි නොගත්තා විතරයි. මුලු රාජ්‍යම හෙල්ලිලා, මට දැනුනා ආධ්‍යන් ඔයත් යුධ ප්‍රකාශයට පත් කරන විත්තිය. ඒත් අරමුණක් තියන ගැහැණියක් සැලෙන්න හොඳ නැහැ කියලා මං දැනන් හිටියා. මගෙ නෙවෙයි ආධ්‍යන් එක සෛලයකට දැනුනේ මේ මහ යුද්ධ ප්‍රකාශය. ආධ්‍යන් ඔයා ඉන්නේ යාපනේ වුණ්ත් එහේ නැති යුද්ධ ආධ්‍යන් දැන් මේ දකුණේ තියෙන්නේ. විශේෂයෙන්ම ඔයාගේ ගෙදර. ෆොටෝ එකක් යවලා මං එහෙනම වැඩට යනවා කියලා යැව්ව මැසේජ් එක බලන්නත් කලින් ඔයා මට කෝල් කරලා අම්මලට කිව්වේ නැද්ද කියලා බනිද්දී මට අහන්න හිතුනා මං එයාගෙන් අවසර ගන්න ඕනද කියලා. ඒත් මං කිව්වේ, මං හිතුවේ ඔයා කිව්වා ඇති කියලා. ඔයනේ මගේ හස්බන්ඩ් කියලා මං බොරුවට තොඳොල් වුණා.
ඔයා හරි ශෝක්නේ, අම්ම දන් නැතුව එහෙම ජොබ් එකකට යන එක හරිද අහද්දිම මට රණ්ඩු කර ගන්න ඕන නැති නිසා මං කිව්වේ නැහැ මුකුත්. එහෙනම් මට පරක්කු වෙනවා කියලා මං කලේ ෆෝන් එක කට් කල එක. රණ්ඩු වෙනවා නම් මටත් පුලුවන් එක එක ඒවට රණ්ඩු වෙන්න. දැන් යුද්ධේ ආධ්‍යන් ඔයලා ප්‍රකාශයට පත් කරලා තිබ්බට මං යුද්ධ ප්‍රකාශයට පත් කරන්න කලින්ම ජය අරන් තිබ්බේ ආධ්‍යන්. ඒ නිසා මට ආයේ යුද්ධයක්වත් ජයග්‍රහණයක්වත් ඕන වුණේ නැහැ.
වැඩිහිටියෙක විදියට මට ඕන තීරණයක් ගන්න බැරි වෙන්න එකම හේතුව රැජිණියක් ඉන්න රාජ්‍යක මං දාසියක් විදියට එයලා සලකන එක. මං දාසියක් නොවන බව එයාලට දැනුනම රිදෙන නිසා, එයාලට ඕනා මං හැමදාම බෙලහීන දාසියක් විදියට ඉන්නවට. ගෙදර වැඩ මට කියලා කරගන්න, උයාගන්න, තියන ආසාවට මං ජොබ් එකකට යන එක ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා මං දන්නවා ආධ්‍යන්. ඒත් මට කරන්න දෙයක් නැහැ. ලෝකේ අනික් විවාහක ගැහැණු වගේ මට දාසියක් වෙලා ඉන්න වුවමනාවක් නැහැ. මං මැරි කළේ ඔයාව මිසක් ඔයාගේ ගෙදර අයව නෙවෙයි ආධ්‍යන්. මේ රාජ්‍යයේ වැඩ කටයුතු මට දැන් එපා වෙලා තියෙන්නේ. අදට මං ගෙදර හැමෝටම ඉව්වට මං ටික දවසකින් කඩෙන් කන්න, සැලඩ් එකක් හදන් ගිහින් කන්න පුරුදු වෙනවා. එතකොට රාජ්‍ය ආයේ හෙල්ලිලා මට නඩු තීන්දුවක් දෙනවා කියන්න මං දන්නවා. මේ වගේ දුක් විඳින ජීවිත දහස් ගණනක් මේ ලංකාව ඇතුළේ හොයාගන්න පුලුවන් ආධ්‍යන්. මට ඒ වගේ අගතියට පත් වුණ ගැහැණියක් වෙන්න ඕන නැහැ ආධ්‍යන්. මං දැනටමත් වින්දිතයෙක් ආධ්‍යන්. ඒ වුණාට මං ඉගෙන ගත්ත ගැහැණියක්.මට මොළයක් කියලා දෙයක් තියනවා. තව දුරටත් මට මේ දුක විඳින්න ඕන නැහැ. මට මගේ ශක්තියෙන් නැගිටින්න පුලුවන් ආධ්‍යන්. ඔයාගේ මහ ලොකු සල්ලි මට වැඩක් නැහැ. මටත් ඔය සල්ලි ටික හොයන්න පුලුවන්.
මං දැනන් හිටියා ඔයා නොකියන බව අම්මලට. ඔයාට එතකොට දෙන්න පිලිතුරක් තිබ්බේ නැහැ. මං ඉගෙන ගන්නවා ආධ්‍යන් තවම ඌරගේ මාලු ඌරගෙ පිටේ තියලා කපන ටෙක්නික් එක. මං කියන් නැහැ ආධ්‍යන් ඔයා ඌරෙක් කියලා. ඔයා සමහර වෙලාවට ඌරෙක්ටත් වඩා අන්තයි. සමහර විට බුරුවෙක් වෙන්න ඇති. මොකද ඔයා මව් රැජිණිගේ, උප රැජිණියන්ගේ කුණු අදිනවනේ. තමන්ට ආධ්‍යන් වටින බිරිඳක් ඉද්දි, එයාව රැජිනක් කරලා තියාගන්න වුවමනාවක් නැතිව ඉද්දී, ඔයා බුරුවෙක් කියලා ආයේ කියන්න ඕන නෑනේ ආධ්‍යන්. බොරුවට ලස්සනට මේ මාලිගාව මැද මාල හත දාලා මං හිනා වෙලා හිටියට ගේ මුල්ලේ මට දාසියක්ටවත් තියන තැන නෑ කියලා තේරුම් ගන්න මට මාස දෙකක් ගියේ නැහැ. ඒකයි මේ තුන්වෙනි මාසෙම මගේ එක්ස්පීරියන්ස් එක කැඩෙන්න ඉස්සෙල්ලා ඉක්මන්ට ජොබ් එකක් හොයාගත්තේ.
මව් රැජින ආවේ නැහැ අහන්න ජොබ් එකේ විස්තර. උප බිසෝවරු අහන්න ආවා.මං කලේ හිනා වුණ එක විතරයි. ටික වෙලාවක් යනකොට උප බිසෝවරු යන්න ගියේ අඩි මහ හයියෙන් හප්පලා. මට ඕවා පුරුදු නිසා මං ගණන් ගත්තේ නැහැ. කොහොමත් ටික කාලෙකින් මං බෝඩිමක් හොයාගන්නවා කියලා හිතා ගත්තා. එක්ස්පීරියන්ස් එක මාස 4ක් විතර කැඩිලා තිබුණට ඉක්මණට ජොබ් එකක් හොයා ගන්න පුලුවන් උනේ මගේ ඉගෙනීමට පින් සිද්ධ වෙන්න. ආධ්‍යන්... මට කියන්න තියෙන්නෙ ඔයා ඔහේ ප්ලැටූන් එකක හිටියට රජෙක් වගේ, මං මගේ රාජ්‍යක් මීටත් වඩා පුලුල්ව ගොඩ නගා ගන්නවා කියලා ආධ්‍යන්, මාත් ආසයි මගේම රාජ්‍යක රැජිනක් වෙන්න.
ආධ්‍යන් ටික දවසක් යද්දී උප බිසෝවරු මගේ පස්සේ වැටෙන්න ගත්තා. ඔෆිස් එකට යන පාර හරියේ කැරකෙන්න ගත්තේ එයාලට වැඩක් නැතිව වගේ. මං දැක්කත් නොදැක්ක ගානට හිටියා. වෙලාවට අපේ ඔෆිස් එකේ සිකුරිටි සිස්ටම් එකක් තියෙන්නේ, නැත්තම් ඔෆිස් එකටම එනවනේ ආධ්‍යන්. උප බිසෝවරුන්ට කියන්න ආධ්‍යන් මං ගැන හොයනවට වඩා එයාලා ඉගෙන ගන්නවා නම් තමා එයාලට හොඳ කියලා, කාලය තියන එකේ එයාලට තව ඉගෙන ගන්න කියලා කියන්නා අධ්‍යන්. හොඳ වෙලාවට මං චාර්ටඩ් අකවුන්ටන් කෙනෙක් වුණේ. මං ඉගෙනීම සම්පූර්ණ නොකර හිටියා නම් කොහොමද මං ජොබ් එකක් හොයාගන්නේ.
ඔයා වගේ මනුස්සයෙක් බැඳ ගත්තොත් ඒයාලටත් වෙන්නේ මේ ටිකමයි කියලා මං කියලා තිබුණත් ඔයාගේ අම්ම වගේ නරක නැන්දම්මා කෙනෙක් වෙන නෑ කියලා එයාලා සතුටින් ඇති සමහර විට, නේද ආධ්‍යන්.
ඉතින් ආධ්‍යන් මේ මස ගණන් එක්ක අපේ ජිවීතෙත් ගෙවෙනවා ආධ්‍යන්. මාස තුනක් මගේ රැකියාවෙන් මං ඇනෙක්ස් එකක් ගත්තා ආධ්‍යන්. ඔයාගේ මාලිගාව වගේ ලොකුනම් නෑ ආධ්‍යන් මේ පුංචි ගෙදර. ඒත් අපිට පාඩුවේ ඉන්න පුලුවන්. වෛවාහික ස්වාමියා, බිරිඳ වගේ, ඔයා කැමති නම් ඒකට එන්න මේ පාර නිවාඩුවට. අපිට පුලුවන් අපේ රාජ්‍ය පුංචියට ගොඩ නගන්න. ඔයා මේ රාජ්‍යයේ එකම රජ, මං ඒ රජුගේ රැජින. වෙන වෙන රැජිනලා ඕන නැහෑ ආධ්‍යන් මේ අපේ පුංචි රාජ්‍යට. ඉතිං ආධ්‍යන් ඔයා එනවද?


Comments
Post a Comment