හුඟක් හීතල හීන...


ඔයාලා හැමෝටම සතුට සාමය සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා...!!! 
අලුත් අවුරුද්දේ වෙනස් කතාවක් හැමෝටම තෑග්ගක් විදියට දෙන්න හිතුනා.. ඒක වෙනස්ම කතාවක් නිසා අඩුපාඩු ඇති... කියවලා අවවාද දීලා යන්න අමතක කරන්න එපා ඉතින්... මන් තාම ජුනියර් බ්ලොග් ලියන්නියක්නේ... ^_^ 


++++++++++++++++++++++++++++++++++++


හුඟක් හීන සීතල වෙලා අයිස් වගේ මිදුනට අරුන්දතීගේ හිතේ සමහර හීන තාමත් පණ ගැහි ගැහී අංකුර මෝදු වෙනවා වගේ ඉලිප්පි ඉලිප්පි තිබුනා.. හත වසරේදී අරුන්දතී නොදන්නවා වුනාට පන්තියේ හැම ගැනු ළමයෙක්ම කතා වුනේ අරුන්දතීගේ ෆිගර් එක ගැන... දැන් ෆිගර් කිව්වට පොඩි කාලේ එහෙම කිව්වේ නෑනේ... පොඩි අරුන්දතී කියන්නේ දුප්පත් ළමයෙක් වුනාට හුඟක් විසේ තිබ්බ ළමයෙක්.. ඒ කාලේ මුලු පන්තියේම ළමයිට රසකර කර කියන්න තිබ්බ එකම දේ, සිංහල ටීචට අහු කරලා දුන්නේත් පන්තියේ ළමයිමයි. පොඩි කෙල්ලෝ වුනාට හත වසරේ ළමයි ඕන තරම් ආදර සිංදු ඇහුවා.. ඒවා කතා වුනා... ඒවා කිව්වා.. ඒත් අරුන්දතී විතරයි ඒවා පොතක ලියලා ලස්සන කරන්න හාර්ට් ස්ටිකර්, රෝස මල් ස්ටිකර් අලවලා තිබුනේ. ඒක දැකපු කෙල්ලෝ දෙන්නෙක් ටීචර්ට අල්ලලා දෙන්න අරුන්දතීට හොරෙන් කතා වුනා.. ඒක පන්තිය පුරාම යන්න වැඩි වෙලා ගත වුනේ නෑ.. ඒ වෙලාවේ තිබ්බේ ෆ්‍රී පීරියඩ් එකක්.. ඊලඟට තියෙන්නෙ සිංහල පීරියඩ් එක නිසාත් සිංහල ටීච හරිම රළු, සැරම ටීච නිසාත් ළමෝ හිටියේ නොඉවසිල්ලෙන් නාට්‍ය ආරම්භ වෙනකම්... ඒත් සමහර ළමයි නම් ඒ වැඩේට කැමති වුනේ නැහැ... කොහොම වූනත් සිංහල ටීච ඇවිත් විනාඩි කිහිපයක් ගත වෙන්නත් මත්තෙන් පන්තියෙම උන්න කටකාරි, ශෙහානා හීන් සිරුවේ සිංහල ටීචගේ කනේ ඒ අරුම පුදුම පුවත තිබ්බා.. සිංහල ටීචත් ඉවක් බවක්  නැතුව අරුන්දතීගෙන් පොත් ඉල්ලුවා...
නාට්‍ය ආරම්භ වුන හෙයින් ළමෝ හැමෝම බලන් හිටියේ ඊළඟට මොකද වෙන්නෙ කියලා. අරුන්දතී කලේ පොත් අතට අරන් තද කර ගත්ත එක.. ඒ පොත ඒ තරම් නොදී ඉන්න තියන හේතුව සොයන්න සිංහල ටීච බලෙන් පොත උදුරලා ගත්තා... සජීවීව පෙන්නන නාට්‍ය වලට ලොල් වුන ළමෝ හැමෝම හිනා වෙවී නාට්‍ය දෙස බලන් හිටියේ කටවලුත් ඇරගෙන... 
ටීච තමන්ගේ මේසෙට ගිහින් පොත පෙරලුවේ අරුන්දතීගේ හැඬිල්ල අතරෙමයි... ගත වුනේ නිමේශයයි... ළමයිටත් වඩා හොඳම සොයා ගැනීම කලේ සිංහල ටීච.. ඒක පෙම් හසුනක්..

ළමයි නම් දැනගෙන හිටියේ නෑ පෙම් හසුනේ මොනවද තිබුනේ කියලා.. ඉස්සරහා පෝලිමේ ළමයි ඒ පෙම් හසුන කියවන්න එබි එබි උත්සහ කලත් කියවන්න හම්බුනේ, "ආදරනීය අරුන්දතී" කියලා විතර‍යි... ඒකත් කියවලා තිබ්බේ ශෙහානා... ඇත්තද බොරුද කියලා හරියට නොදැන වුනත් දැන ගත්ත ළමෝ සිය යෙහෙලියන්ට ඒ කතාව කිව්වේ රහ නිසා...

කොහොම නමුත් සිංහල ටීච ඒ හසුන කියවලා ඉවර වෙලා, කලේ හොරෙන් හොරෙන් කතා කර කර පැතිරෙන කසුකුසුව නවත්ත ගන්න අණ කරපු එක. "

ඒ හසුන නිසා ගිනියම් වුන සිංහල් ටීච "කවුද අශ්වින්?"කියලා අරුන්දතීගෙන් ඇහුවේ හයියෙන්.... අරුන්දතී හයියෙන් හඬන්න ගත්තේ පරණ ඇඬුම අළුත් කරන ගමන්... "මං පන්‍තිභාර ටීචට මේක භාර දෙනවා.." කිව්ව සිංහල ටීච උගන්නන්න පටන් ගත්තා..

පස්සේ අරුන්දතීව පන්ති භාර ටීච කවුන්සලින් කරා ඇරෙන්න ඊට එහා දෙයක් වුනේ නෑ.. ඒත් අවුරුදු ගානක් යනකම් ඒ වෙච්ච දේ සෙක්ශන් එකේම ළමයි රහ කර කර කියෙව්වා...

ඒත් ඇත්ත කතාව ඊට හාත්පසින්ම වෙනස්... අරුන්දතීගේ තාත්තා අරුන්දතී එක්ක ළමයි තුන් දෙනෙක් දාලා ගිහින් තිබ්බේ අරුන්දතීගේ අම්මව අසරණ කරලා.. ළමයිව හදන්න අරුන්දතීගේ අම්මා කරේ ළමයි ටික ආච්චිට දාලා අරාබියේ බාබා කෙනෙක්ට වැඩ කරපු එක. අරුන්දතී වැඩිමල් දරුවා නිසා තමන්ගේ නංගිටයි මල්ලිටයි අම්මා වුනේ අරුන්දතී.. පොඩි අරුන්දතීට නිවසේ වැඩපල නිසා ළමා කාලය නැතිවෙලා තිබුනේ... ඇය හෙව්වේ ඊට හාත්පසින්ම වෙනස් සතුටක්..  දුටුවේ ආදරයක් ආරක්ෂාවක් අබියස සතුටින් ඉන්න හීන... ඒක විසේකාරකමද කියන්න ප්‍රශ්නයක්.. දවසින් දවස අරුන්දතී දැක්කේ සුරංගනා හීන....

පස්සේ දහය වසරෙදි අරුන්දතී ගැන ආයේත් මේන් ටොපික් එක වුනේ පිරිමි ළමයෙක් එක්ක පැනලා ගිහිපු නිසා... 
පස්සෙ පස්සේ ස්කෝලේ ළමයිට අරුන්දතීව අහම්බෙන් හමු වෙලා තිබුනා. සමහරුන්ව මඟ ඇරලා ගිහින් තිබුනා.. ඒ අතර ශෙහානාව හම්බෙලා අරුන්දතී ගස්සගෙන ගියා කියලා ශෙහානා කලේ ඒක කිය කිය බැනපු එක අරුන්දතීට...
පස්සේ ඒලෙවල් කරද්දි අරුන්දතීව හම්බුනම අරුන්දතීමද ඒ කියලා හඳුන ගන්නත් බැරුව තෘෂ්නිම්භූත වෙලා සමහර ළමයි හිටියා.  ශෙහානාටත් අරුන්දතීව හමුවෙලා තිබ්බා සැලුන් එකට කොණ්ඩේ කපන්න ගියාම. ශෙහානා ට ඇයව හඳුන ගන්න බැරුව හිටියේ අරුන්දතීගේ ස්ටයිල් නිසා... 
"ඒකී ලෝකේ පැරණිම වෘත්තීයද කොහෙද කරන්නේ.. බලන්න එපැයි ඇඳන් ගිය ස්කර්ට් එකේ කොට.." කියලා ශෙහානා කිය කිය ගියෙ ඉරිසියාවට මිසක් වෙන මොකටවත් නෙවේ... ශෙහානාට විතරක් නෙවේ වෙන කෙල්ලොත් එහෙම කිව්වා..

අරුන්දතී පැනලා ගිහින් ළමයෙකුත් එක්ක තනිවෙලා හුන්නේ.. ඒ අරුන්දතීගේ පෙම්වතා රස්තියාදුකාරයෙක් වුන නිසා.. ඇගේ හීන යායම වියැලිලා තිබුනේ.. ඒත් අරුන්දතී නෙවෙයි වැටුනේ.. ඈට ගාමන්ට් එකෙ රස්සාවට යන්න ගත්තේ වියැලිලා තිබ්බ හීන ටික අරන් අයිස් කරලා හරි ආරක්ෂා කර ගන්න... ඇය හැමදාම මැශිම පාගන ගමන් කල්පනා කලේ හීතලව අයිස් වෙලා තිබ්බ හීන ටික කොහොමද පන දීලා ගන්නේ කියලා. ඒකට හුඟක් සල්ලි වුවමනයි.. දරුවත් එක්ක ජීවිතය ගැට ගහ ගන්න ලේසි වෙලා තිබුනේ නැහැ.. ඒත් අරුන්දතී අදටත් ගාමන්ට් යන්නේ හීන ටික යථාර්ථයක් කර ගන්න උත්සහ කරන්නයි...




Comments

  1. අලුත් ඉරක උණුහුමකින් නැහැවේවා
    අලුත් පැතුම් එකින් එකට ඉටුවේවා
    අලුත් අලුත් හොඳ හදවත් ළංවේවා
    අලුත් වසරෙ නිරෝගි සුව වැඩි වේවා......

    , සතුට, මුදල, නිරෝගිසුව වැඩෙන සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    කතාව හිමීට කියවන්න ඕනෙ අරූ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සැනසිල්ලේ කියවන්නකෝ දුමී

      Delete
  2. අනේ මන්දා..මේකයි අරූ ගුරුවරු දරුවන්ට දඬුවම් කරන්නෙ ආදරේට කිව්වට සමහරක් ඉන්නව ඒකෙන් අමුතු තෘප්තියක් ලබනව..ඒ ළමයට බැනල ළමයි ගොඩේ චාටර් කරල දානව..නමුත් ඇත්තටම ගුරුවරයෙක්ට අවශ්‍ය නම් දරුවෙක්ගෙ අනාගතේ හදන්න ඒක ඒ ළමයව හෙමීට පැත්තකට කරල විස්තර අහල තීරණයක් ගන්න පුලුවන්..ඒත් එහෙම කරන අය අඩුයි..ගොඩක්ම කෑ ගහල දඟලලා පොරක් වෙන්න නටන ගුරුවරු කියාගන්න අය තමා ඉන්නේ..ගුරුවරයෙකුගෙ ආදරණීය ස්පර්ශයකට ආදරණීය බැල්මකට පුලුවන් සම්පූර්ණයෙන් ජීවිත කතාවක් අලුතෙන් ලියවන්න..මේ කතාව වෙනස් කරන්න තිබුන ඒ ගුරුවරුන්ට

    ReplyDelete
    Replies
    1. මං ඔය කතාව නිකම් ලිව්වේ... ඒත් සමහර ගුරුවරුන් හරිම නරකයි.. එයාලාට මනෝවිද්‍යාවේ මුලධර්ම උගන්වනවා වුනත් කිසිම මානුෂික හැඟීමක් නෑ ළමයි ගැන... ගුරුවරයෙකුට ළමයෙක් හොඳ මාර්ගෙට ගන්නවා වගේම නරක මාර්ගයට යවන්නත් පුලුවන් ලේසියෙන්ම... ඉතින් වැහිබිඳු ඔබ කිව් කතාව ඇත්ත... නැවත ගොඩවෙලා යන්න එන්න... ස්තූතියි අදහසට..

      Delete

Post a Comment

හුඟක් අය බලපුවා