රාත්‍රිය



ඒක හුඟක් කෙටි රාත්‍රියක්.. මට වුවමනා වුනේ ඒ රාත්‍රිය නවත්තන් ඉන්න.. ඉවරයක් වෙන්න නොදි...
අපි වෙනදා වගේම අසුන් ගත්තේ බිම  වැලි ගොඩේ එරමිණියා ගොතාගෙන. ගැහැනු  සාමාන්‍යයෙන්  අසුන්  ගන්නේ අර්ධ පර්‍යන්කෙන් වුනාට මට පුරුදු බද්ධ  පර්‍යන්කය. එයත් බද්ධ පර්‍යන්කයෙන්.. අපි ඒ නිසා හුඟක් දුරින් වගේ උන්නේ. සිරුරු එකට ස්පර්ශ වුනේවත් නෑ.. ස්පර්ශ වෙලා දැන් කුමක් කරන්නද...
"ඔයාට පුලුවන්ද අන්තිම වතාවට මිල්ටන් මල්ලවආරච්චි ගේ සිංදුවක් කියන්න." නිහඬතාව ගොලු කලේ මං එහෙම කියලා.. එතකොට මට පුලුවන් අඬන්න....ඒත් එයා කිව්වේ නෑ.. 
අපි බලන් හිටියේ ක්ෂිතිජය දිහා... තද තැඹිලි පාට.. තව ටිකකින් දම් වෙලා අඳුරු පැහැයට හැරෙනවා.. අමාවකද කොහෙද... හඳ තිබුනේ නැහැ..ටික වෙලාවකකින් තරු නම් එකින් එක ඇහැරෙන්න අරන් තිබුනේ... එතකනුත් අපි කතා නොකර ඈත අහස දිහා බලන් හිටියා..

"අපි තරු රටා හොයමුද?"
මං ඇහුවේ එයාගේ මුහුන දිහා බලලා මගේ වත පැත්තට බර කරලා.. මං දැනන් හිටියා එහෙම ඇහුවම එයාව පිස්සූ වැටෙනවා කියලා.. 
මට වුවමනා වුනේ අන්තිම වතාවට හරි ආදරෙන් බැඳෙන්න... 
ඒත් එයා කිසි සසලවීමක් නැතුව හිටියා..
වෙනදට නම් එහෙම බැලුවත් ඇති.. මාව පෙරලන් ප්‍රංශ හාදු දෙන්න...

මං තනියෙන් තරු රටා තෝරන්න ගත්තා... අපි හමු වුන මුල් දවස් වගේම ඔරායන් ඇවිත් දුන්න අපි දිහාට දික්කරන් හිටියා.. දුන්නේ තියෙන්නෙ මලක් ඒ මල්සරා, නැතුව දඩයක්කාරයා නෙවේ. ඔහු කිව්වේ ඒ දවසේ එහෙම..
"අන්න අනංගයා අදත් ඉන්නවා" 
මං එහෙම කිව්වම ඔහු ඔච්චමට හිනා වෙලා කිව්වේ ඒ දඩයක්කාරයා කියලාමයි... මං තර්ක කරන්න ගියේ නෑ.. ඔහු කියනවා නම් ඒ දඩයක්කාරයා කියලා මං එහෙම පිලිගන්න පුරුදු වෙලා හිටියේ කොහොමත්...

"සරස්වති, අපි යන්නේ කීයටද? මට පහ වෙද්දි ලැහැස්ති වෙන්න තියනවා."
සරස්වතී.... ඒ තරම් දුරස් වෙලාද මාව.. මං ඔයාගේ සාරා නේද. එයාගේ ප්‍රශ්නෙට මං පිලිතුරු දෙන්න දැනන් හිටියේ නැහැ.. මේ ගමන රාත්‍රියෙන් නවතින්න. මං පැතුවේ එහෙම.
" තව ටිකකින් දකුනු අහසේ දකුණු කුරුසය දිස් වෙවී.. ඔයා එකේ මාව තියලා ඇණ ගහන්න.. ඊට පස්සේ ගෙදර ගිහින් ඔයාගේ මංගල්‍යයට ලක ලැහැස්ති වෙන්න පුලුවන්නේ.."
හීන සීතලයි තමයි.. ඒත් මේ සීතල මේතරම් වේදනාකාරී කියලා මං දැනන් හිටියේ නෑ. රැයේ සීතල එක්ක මාව ගැහෙන්න අරන් තිවුනේ..
මට අවශ්‍ය වුනේ එයාට රිද්දන්න..මං හිමිහිට බෑග් එකට අත දාලා ලයිටරෙයි, සිගරට් පෙට්ටියයි ගත්තා... මං දුම් උරන කෙල්ලෙක් නෙවේ... ඒත්  මං ගණිඳු එක්ක සිගරට් බීලා තියනවා. අපි ඒවා කලේ නිදහස භුක්ති විඳින්න... සිගරට් පෙට්ටිය සුදු පාටයි. එලියේ ප්‍රින්ට් කරලා තිබුනා හර්ද රෝග හා පෙනහළු පිලිකා ඇති කරයි කියලා. සිගරට් හතරක් සුදු පාට කොලේක ඔතලා තිබ්බා. මං එක සිගරට් එකක් තොල් අතර තියා ගත්තා.. ලයිටරේ පත්තු කලා.. පත්තු උනේ නෑ. දෙවනි පාර පත්තු කලා.. පත්තු උනා... ඒ එක්කම එයා මහ බරට සුසුමක් හෙලුවා...
"ඔයාට කොහෙන්ද මල්බොරෝ සාරා... අනික මං කිව්වා නේද සිගරට් ගහන්න පුරුදු වෙන්න එපා කියලා.."
මං කිසිඳු වචනයක් නොකියා දුම් ඇද්දා.. එයා කියා දීපු විදියට.. එලියට නොයවා.
"සාරා ඔය තරම් විහින්  නාස්ති  වෙන්න  හදන්න එපා. මං ජිවීතේ  හුඟක් ආදරය  කල ගෑනි උඹ..මං කොහොමද මේවා බලන් ඉන්නේ.."
ගණිඳු ඒක හිතන්න තිබ්බේ ගෙදරින් යෝජනා කල මනමාලිට   කැමති වෙන්න පෙර නේද.. මං ඇහුවේ නෑ.. එයා මහ බරට සුසුම් යැව්වා..
මට සීතල දරාගන්න පුලුවන් වුනා.. ඒවගේම කාටවත් නොකියා දුකත් මේ සිගරට් දුම් එක්ක වා තලයට මුසු කරන්න පුලුවන් වුනා..
සිගරට්  එකත්  ඉවර  වුනා  අපිට වෙන් වෙන වෙලාවත් ලං වෙමින් තිබුනේ එයා යන්න ඕන කියලා නැගිට්ටා .මාත් එයාට කීකරුව එයාගේ පස්සෙන් ගියා . එයා කාර් එක අරන් ගියේ නයිටෙන්ගෙල් මියුසික් ක්ල්බ් එකට.. අපි හුඟ දවසකට පස්සේ  ඒකට ගියේ.
එයා පුරුදු විදියට  විස්කි බොන්න ගත්තා  මාත් බියර් බිව්වා  එතකොට වෙලාව එකොලහයි  හතලිස් පහයි  තව මිනිත්තු  පහලවකින්  එයාගේ  ජිවිතයේ අලුත්ම දවස උදා වෙනවා.. මං කිසි දෙයක් කිව්වේ නැහැ. අපි  පුරුදු  විදියටම  ඒ සෙල්ලම පටන් අරන් තිබුනේ.. එයා වෙන කෙල්ලෙක් එක්ක නටන්න ගියා.. ඒත් මං බලන් හිටියා එයා දිහා.. අද විතරයි  මෙහෙම එයා දිහා  බලන් ඉන්න පුලුවන් .. මිනිත්තු දහයකට පස්සේ එයා ආවා.. 
"සාරා ඇයි  අද ඩාන්ස් කරන් නැද්ද ..?"
මං හිනාවුනා.... එයාට හුඟක් වැදිලා තිබුනේ.. එයා මං දිහා බලන් අඬන්න ගත්තා.. මාව තුරුලු කර ගත්තා...

වෙනදා වගේම අපි අපි දෙන්නව අල්ලගෙන කාර් එකට ගියා... ඉන් පස්සේ එයා කාරය අරන් ගියේ එයාගේ මහල් නිවාසෙට.. එයා ඉංග්‍රීසි ගීතයක් කියකිය පඩිපෙල  නැග්ගා 
අපි උදේ ඇහැරුනේ අපේ ඇඳේ ඉඳලා, ඒ එයාගේ අක්කා කතා කරන සද්දෙට  අපි දිහා හුඟක් අය බලන් හිටියා. මට  දැනුනේ  මගේ  ඇස් නිලංකාර  වෙනවා  විතරයි..
එතකොට රාත්‍රිය මට වුවමනා විදියට නැවතිලා තිබුනේ....

Comments

  1. ලස්සන කතාවක් අරූ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී... ඔබටත් ජය වේවා...!

      Delete
  2. අරුශි ඔයාට කෙටි කතා ලිවීමේ අති විශේෂ හැකියාවක් තියෙනවා
    මන් බොරුවට පට්ටයි කියන් නෑ. ඒත් ඔයාගේ ලියවිලි නම් පට්ටම පට්ට

    ReplyDelete
    Replies
    1. රෝමා ඒ තරම් හැකියාවක් නැහැ... මාත් උත්සහ කරනවා හොඳට ලියන්න... මගේ ටොපික් එක වගේ.... අලුතින් හිතලා වෙනසක් කරන්න ඕනා... ඔබේ කමෙන්ට් එකට බොහොම ස්තූතියි... ^_^

      Delete
  3. ලස්සනයි අරූ...ජය!!! (තර්ජනය කර බලෙන් ලබාගත් කමෙන්ටුවකි)😂😂😂

    ReplyDelete
    Replies
    1. බොරු කියන්න එපා ආයු. කමෙන්ට් එකට ස්තූතියි ...

      Delete
  4. ඔන්න ඔඉකනේ මම කියන්නේ. මොනවම හරි අවුලක් නිසා ඔලුව බරවුන වෙලාවකට වතුරබෝතලේකුයි සිගරට් පැකට් එකකුයි ලඟතියනවනම් සිගරට් ඉවරවෙන වේගයට සමානුපාතිකව ප්‍රශ්නෙත් ඉවරවෙනවා. අත්දුටුවයි....

    ලියවිල්ල රහයි අරූ.මේ වගේ පොඉස්ට් සතිඅන්ත දුන වල පබ්ලිශ් කරන්න එපා. මේ බ්ලොග් කියවන ගොඩ දෙනා ඒවා කියවන්නේ "ඔෆිස් හවර්ස්" වල ඔෆිස් ඩේටා වලින්. ඒ නිසා මේ දවස්වල දාන පෝස්ට් වැඩි දෙනෙක් අතරට යන්නේ නෑ. මේ ලිපි අනිවාර්‍යයෙන්ම ගොඩක් දෙනෙක් අතරට යන්න ඕනේ ඒවා.ඒ නිසා පබ්ලිශ් කරන දවස ගැන මීට වඩා ටිකක් හිතන්න

    ReplyDelete
    Replies
    1. හරි කටුසු.. ස්තූතියි අවවාදයට... මං තාම අලුත් නිසා ඒ ගැන හිතුවේ නෑ...

      Delete
  5. රාත්‍රිය නැවතිලා .. ලස්සනයි ..

    ReplyDelete
    Replies
    1. නැවතුනු විදිය හොඳයි නේද... ස්තූතියි සිතුෂි...

      Delete

Post a Comment

Popular Posts