රන් අශ්වයා සහ මාශා



එකෝමත් එක රටක ‍රත්තරන් පාට විශාල අශ්වයෙක් හිටියා.. ඌ ඒ තරම් විශාල වුනේ එලකිරි බිව්ව හින්දා... මොකද අශ්වයා ඉපදෙදිම අශ්ව අම්මා මියගියේ විශාල වශයෙන් රුධිර වහනය නිසා..අශ්වයාව මුල් කාලයේ බලාගත්තේ ධනවත් ගොවියෙක්.. ඒත් පස්සේ මේ අශ්වයාට ස්වාමියෙන් හිටියේ නැහැ... මොකද ඒ ධනවත් ගොවියාත් කාලෙකට පස්සේ මිය ගියේ අසනීපයක් හැදිලා. ඉතින් මේ රන් අශ්වයා පස්සේ හැදුනේ කැලයේ තනිවම.

දවසක් රත්තරං පාට දිගු කොණ්ඩයක් තියන මාශා කැලයේ දර කඩන්න ගියේ අම්මට කාසි හොයාගන්න උදව් වෙන්න.... මොකද මාශාට හිටියේ අක්කලා තුන්දෙනෙක්. එයාල හැමදාම ලස්සන වෙන්න කාසි වියදම් කලා විතරයි. අම්මට උදව් කලේ නැහැ. අම්මා දුකින් ඉන්නවා බලන් ඉන්න බැරි තැන හැමදාම මාශා අම්මට උදව් වුනා... අක්කලා තුන්දෙනා නම් මාශාට සැලකුවේ වැඩකාරියක් විදියට.. ඒත් මාශා ලස්සන කෙල්ලක්... වැඩ කරන නිසා හැමදාම කැත වැඩකාරියක් විදියට තමයි හැමෝටම පෙනුනේ.. හැමවෙලේම ඇඳුම් වල දැලි කුණු තැරවිලා තිබුනා.. ඉතින් මාශගේ අක්කලා මාශට සැලකුවේ නැහැ. මාශා එක්ක කතා කලේවත් නැහැ හරියට. මොකද කිසිම ලස්සනට ඉන්න වුවමනා නැති නිසා මාශා හරියට වැඩකාරියක් වගේ හිටිය නිසා.. ඒත් ඇත්ත කතාව මාශා අම්මා ගැන හැමදාම හිතුවා. අම්මට උදව් වුනා.. ඒකයි.

දවසක් මාශා අම්මට උදව් දර ඇහිඳින්න කැලයට යනකොට ඉස්සරහට ආවේ අර විශාල රන් අශ්වයා.

" මාශා, ඔයා මගේ ස්වාමියා වෙන්න.. එහෙම වුනාම ඔයාගේ අනාගතය ලස්සන වෙයි."

එක පාර අශ්වයා හේෂාවර කරලා මාශට කියුවේ එහෙම.. මාශා පුදුම වුනා අශ්වයෙක් කතා කරන එක ගැන. ඒත් මාශා දුක් වුනා අශ්වයාව හිමි කරගන්න තමාට වත්කමක් නැති එක ගැන.. මොකද අශ්වයෙක් ඇති කරනවා කියන්නේ හුඟක් වියදම් යන වැඩක්..  මාශගේ පියා ඉන්න කාලේ නම් ඔවුන්ට හුඟක් කාසි තිබුනා. ගොවිපොලක් තිබුනා... ඒත් දැන් එහෙම නෑ.. තාත්තා මිය ගිය නිසා අම්මා තමාවයි අක්කලා තුන්දෙනාවයි හදන්නේ බොහොම දුක් විඳලා.. ඒ අතර තව අශ්වයෙක් ගෙදර ගෙනියනවා කියන්නේ අක්කලා තුන්දෙනාගෙනුයි අම්මගෙනුයි තමාට බැනුම් අහන්න වෙන එක...

"අශ්වයෝ... අපිට කාසි නැහැ.. ඒනිසා උඹව හදා ගන්න මට බැහැ.."

මාශා කිව්වේ අශ්වයව දුකට පත් කරන ගමන්...

ඉන් පස්සේ මාශා දර කඩාගෙන ගෙදර ගියා... ගෙදර යන කොට ඇපල් ගස් වල හුඟක් ඇපල් හැදිලා තිබුනා.. ඒ ඇපල් කාලෙත් නෙවෙයි.. ඒත් ඒ ඇපල් හැදිලා තිබුනේ මාශ වෙනුවෙන්ම වගෙයි. මාශා අක්කලා තුන්දෙනාටයි, අම්මට‍යි, තමාටයි ඇපල් කඩාගෙන ගියා...
එදා රෑ ඇපල් කාලා මාශගේ ගෙදර හැමෝම නිදා ගත්තා...

ඊළඟ දවසෙත් මාශා ගියේ කැලේට දර කඩන්න... එදත් අශ්වයා ඇවිත් හිටියා..

" මාශා, ඔයා මගේ ස්වාමියා වෙන්න.. එහෙම වුනාම ඔයාගේ අනාගතය ලස්සන වෙයි."

එදත් එහෙම කිව්වා අශ්වයා.
එදත් මාශා කලේ අශ්වයට බැහැ කියලා දර කඩපු එක...

ඔහොම හැමදාම මාශා දර කඩන්න එනකොට අශ්වයා ඇවිත් හිටියා.. 
හැමදාම අශ්වයා මාශට මෙහෙම කිව්වා.

" මාශා, ඔයා මගේ ස්වාමියා වෙන්න.. එහෙම වුනාම ඔයාගේ අනාගතය ලස්සන වෙයි."

මාශාට අන්තිමට සිදු වුනේ අශ්වයව ගෙනියන්න වුන එක.. ඒත් මාශා කලේ ගෙදරට කලින් තියන තණපිටියේ අශ්වයව තියලා යන එක..

හැමදාම මාශට හම්බවුනේ රෑට පාන් පෙතිදෙකයි. එක පාන් පෙත්තක් මාශා අශ්වයාට ඉතුරු කරගත්තා.

"උඹට මේ පාන් කෑල්ලට වැඩිය දෙයක් මට දෙන්න බැහැ මගේ රන් අශ්වයෝ" කියලා මාශා අශ්වයගේ බෙල්ල අත ගාලා දුකින් ගෙදර ගියා..

අශ්වයට කන්න දෙන්න ඕන නිසා මාශා හුඟක් මහන්සි වෙලා දර ඇහිලුවා. ඒවා මිටි බැඳලා විකුණන්න අම්මට දුන්නා.. ඒ එක්කම කැලේ ගිහින් ඇපල් කැඩුවා... ඒවා අශ්වයට ගෙනත් දුන්නා. අශ්වයා එක්ක කතා කලා. රටේ විස්තර කිව්වා. හැමවෙලේම අශ්වයව හොඳින් බලා ගන්න මාශා උත්සහ කලා..

දවසක් මාශගේ ලොකුම අක්කා මේ රහස දැන ගත්තා.. ඒ මාශා සතුටින් ඉන්න හේතුව සොයාගෙන මාශගේ පස්සෙන් රහසින් ආපු නිසා.. තණපිටියේ මාශා අශ්වයට රහසින් හංගගෙන ආපු පාන් පෙත්ත දෙන බව දැක්ක අක්කාට හොඳටම තරහා ගියා... තමන් පාන් පෙති දෙකක් කාලා කුසගින්න නිවා ගන්න වතුර බොද්දී අශ්වයට පාන් පෙත්ටක් දෙන්න තරම් මාශා මෝඩ කෙල්ලක් බව අම්මට කේලම් කිව්වා..

අම්මටත් හොඳටම තරහ ගියා... ඇයි හාමතෙන් ඉන්න පවුලට පාන් පෙත්තක් කියන්නේ වටිනා දෙයක් නිසා..
ඉන් පස්සේ ඉඳන් මාශට ලැබුනේ එක පාන් පෙත්තක් විතරයි... ඒත් හැමදාම කෑලේට ගිහින් දර වගේම පලතුරු කඩන්නත් මාශා උනන්දු වුනේ අශ්වයා කුසගින්නේ තියන්න බැරි නිසා..

ඔහොම කාලයක ගත වුනා... රජ මාලිගාවෙන් නිවේදනය නිකුත් කලා. රටේ රජ කුමරුගේ අභිෂේක සිදු වන නිසා කුමරුට සුදුසු කුමරියක් සොයන බවට.

ඉතින් එදත් සාමාන්‍ය ලෙසටම වගේ මාශා රන් අශ්වයා ළඟට ගිහින් කුමරුගේ අභිෂේකය දැන්වුවා...

"මාශා ඔයාත් යන්න කුමරිය තෝරන තරඟෙට.." රන් අශ්වයා මාශාට කිව්වේ එහෙම..

ඒත් මාශාට එලෙස යන්න තරම් හැකියාවක් තිබ්බේ නැහැ.. මොකද කියනවා නම් ලස්සන ඇඳුමක් ගන්නවත් මාශාට කාසි තිබුනේ නැති නිසා. මාශා කිව්වා තමාට යන්න බැරි බව.

ඒ අතර මාශගේ අක්කලා තුන්දෙනා කොහොමහරි ලස්සන ඇඳුම් හොයාගෙන තිබුනා. අම්මගෙන් කාසි ඉල්ලගෙන. ඒත් අසරණ මාශා අම්මට කරදර කරන්න ගියේ නැහැ.

"මගේ රන් අශ්වයෝ, අක්කලා කුමරියක් තෝරන තරඟෙට යනවා, එයාලා ලස්සන ඇඳුම් අරන්..."

අශ්වයාට මාශා එහෙම කිව්වම අශ්වයා හිතා ගත්තා මාශට ඇඳුමක් හදලා දෙන්න..

එදා හවස අශ්වයා තමන්ගේ රන් කෙඳි වලින් ලස්සන ගවුමක් හැදුවා මාශට..

ඇත්තටම ඒ දවස උදා වුනා.. කුමරුට කුමරියක් තෝරන, එදා උදේ ඉඳන් මාලිගාව ඉදිරිපිට දිගු පෝලිමක්.. උදේ පාන්දරම මාශගේ අක්කලා තුන් දෙනත් ලස්සනට ඇඳගෙන ගියා. මාශා උදේට බාර්ලි ඇට තම්බලා කෑවා. අශ්වයව හොයාගෙන ගියා උදේ කෑම දෙන්න. එතකොට අශ්වයා ළඟ ලස්සන රන් කෙඳි  ගවුමක්.. මාශට පුදුමයි...

" මාශා ඉක්මන් කරන්න අපි තරඟෙට යන්න ඕනා."

" මොන තරඟෙටද රන් අශ්වයෝ"

"කුමරුගේ රාජාභිෂේකය කුමරියක් තෝරන තරඟේ අදනේ.. අපි ඒකට යන්න ඕනා."

" මං කැමති නැහැ"

"ඒ උනාට මේ ඇඳුමත් ඇඳගෙන යන්න ඕනා. මං හැදුවෙ ඒ තරඟෙටමයි." මාශට රන් අශ්වයගෙන් බේරෙන්න බැරි වුනා.

අකමැත්තෙන් වුනත් මාශා ගවුමත් ඇඳගෙන ආවා තරඟෙට ඉදිරිපත් වෙන්න.

"මාශා, මං කවදාවත් නොකියපු කතාවක් කියන්නද,"

මාශා පුදුම වෙලා බලන් හිටියා රන් අශ්වයා කියන්නේ මොනවද කියලා..

"ඇත්තටම මාශා, මං හැදුනේ ඔයාගේ පියතුමාගේ ගොවිපොලේ, මං ඉපදෙද්දි මගේ අම්මා මියගියේ ගොඩක් රුධිර වහනය නිසා. මට ඔබගේ පියා බොන්න දුන්නේ හොඳ එලකිරි. මාව ආදරෙන් බලා ගත්තා.. ඔබගේ පියා මියයද්දි කිව්වා, මට ඔබව බලා ගන්න කියලා. මොකද, හැමෝගෙන්ම ලස්සනම හදවත තියෙන්නෙ මාශට නිසා, එයා ඔයාට තමයි හුඟක් ආදරේ කලේ, ඒ වගේම ඔයා නිර්භීතකටත් මාශගේ තාත්තා ආදරේ කලා..   ඉතින් ඔයාගේ ජීවිතය අලුතින් ලියැවෙන දවස තමයි අද.. " අශ්වයා එහෙම කියාගෙන ගියා.
මාශට පුදුමයි මේ කතාව..

"දැන් හිතන්න වෙලා නැහැ මාශා නගින්න මගේ පිට උඩට"

එහෙම කිව්ව අශ්වයගෙ පිටට මාශා නැග්ගා... සුළඟ වගේ වේගයෙන් අශ්වයා මාලිගාවට දිව්වා.. මාශට නම් කරකැවිල්ල වගේ, ඒත් ඒක කියන්නවත් වෙලා උනේ නෑ.. අශ්වයා හරි තැනට ඇවිත්. හුඟක් කුමරිකාවන් ඇවිත් හිටියේ අශ්ව කරත්ත වල. සමහර ලස්සන කරත්ත වල අශ්වයන් හතර දෙනා බැගින් හෝ  දෙදෙනා බැගින් හිටියා.. ඒවා  ඇතුලේ උන්නු කුමාරිකාවන් එලියට බැස්සේ නැහැ.. ඔවුන් ඉතා ලස්සන ඇතිය  යන්න මාශා හිතුවා.. මේ තරඟෙට මුලින්ම කුමාරිකාවන් තෝරන්නේ රජ කුමරුගේ අමාත්‍යවරුන්.. සුදුසුකම් ඇති නම් විතරයි කුමරු ළඟට යවන්නේ. නමුත් මේ සියල්ලම කුමරු බලාගෙන හිටියා මාලිගාවේ සඳලු තලයේ ඉඳන්. විකාර රූපිව ඇඳ ගෙන හිටපු සමහර ගැහැණු ළමුන් දැක්කම කුමරුට සිනහා නැගුනා. තමන් සොයන ආකාරයේ කුමරියක් දැක ගන්නට හමුවේ යැයි සිතමින් කුමරු දිගු වෙලාවක් බලා සිටියා.

ඇත්තටම කිසිම ගැහැණු ළමයකු තමන්ගේ කුමරුව හොයාගෙන අසුපිටින් කිසිම කතාවකවත් පැමිණිලා තිබ්බේ නැහැ. ඒත් මාශා ආවේ රන් පාට අසෙකු පිට තමන්ගේ කුමරුව හොයාගෙන. කුමරු මේ දර්ශනයෙන් උමතු වුනා. එවැනි නිර්භීත කුමරියක්ය තමාට අවශ්‍ය කියලා කුමරු තමාටම කියා ගත්තා.

ඉතින් සඳලු තලයෙන් බැහැලා කුමරු ආවේ මාශා ළඟට.. ප්‍රධාන දොරටුව වෙත එන කුමරුව දැකපු කුමරියන් උමතු වුනා, මොකද කුමරු ආවේ හැමෝම සමඟ හිනා වෙමින් හරිම නිහතමානීව, ඒත් සමහර කුමරියන් අඟර දඟර පානවා.. ඒත් මාශා හිටියෙ තවමත් රන් අශ්වයගේ පිට උඩ. තමන් කුමක් කරන්නද කියලා මාශා දැන සිටියේ නැහැ.

කුමරු ඇවිත් මාශගේ දෙසට අත දික් කරා.. අශ්වයගේ පිට උඩින් බහින්න.. මාශා ඒ මොහොතෙයි කුමරුව පලමු වතාවට දැක්කේ.. ඇත්තටම කුමරු ලස්සනයි. මාශටත් එහෙම හිතුනා.. මාශත් ගැහැණු ළමයෙක්නේ. එහෙම දෙයක් හිතෙන එක පුදුමයක් නෙවෙයි..

"උමතුවෙන් වගේ බලන් ඉන් නැතුව මගේ පිටින් බහින්න මාශා" ඇහෙන නොඇසෙන ගානට රන් අශ්වයා කිව්වේ නැත්තම් තවමත් මාශා අශ්වයා ගේ පිට උඩ. මාශා කුමරුගේ අත අල්ල බිමට බැස්සා. හැමෝම දැන ගත්තා මාශා තමයි වාසනාවන්ත කුමරිය කියලා..

ඉතින් කුමරුගේ හිත ගත්ත මාශා ඒ රාජ්‍යයේ රජ කුමරිය වෙලා සතුටින් ජීවත් වුනා... ඒ වගේම රන් අශ්වයත් මාශා ළඟ හැමදාම හිටියා..

Comments

  1. A beautiful story. I like it very much.

    ReplyDelete
    Replies
    1. Thank u Mr. Sarath... this is ur first comment on my blog... thanx for it also...

      Delete
  2. Replies
    1. Hmmmmmmmmm, ස්තූතියි හ්ම් එකට ,

      Delete
  3. සෝයි සුරංගනා කතාවක්, ලස්සනයි අක්කේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලි ... 😊😊😊

      Delete
  4. etakota Masha ge ammata mokada une?

    ReplyDelete
    Replies
    1. ඇනෝ .... අම්මව අමතක උනා.. කතාව ලියද්දී අවසානයට ඉන්න හැමෝම මතක් කරන්න බැහැනේ....
      ඔයා හිතුන විදියට අලුතින් ආයේ අම්මවත් ඇතුල් කරලා අවසානය හදා ගන්නකෝ ....

      Delete
  5. ජීවිත කාලයීදී මා ප්‍රථමයෙන්ම ලද කතන්දර පොත "හත් පෙති මල් " යි.
    තවමත් ඒ කතාවේ චිත්‍ර සටහන් සිත තුල!
    නව පුද්‍රණයක් පොත් සාප්පුවක අද දැක්කත් මා නැවත පෙරලා බලා රස විඳිමි!
    මේ වන විට එම කතාවේ අතිශයින් සුන්දර මානුෂීය වසානය තීරුම් ගියද මා රස වින්දේ මුළු ලෝකයේම සෙල්ලම් බඩු ශේන්යා ලඟට ගෙන්වා ගත් සිදු වීමයය.
    ඒ එකල මා දෙමාපියන් අතිශයින් උග්‍රවූ ජීවිත සටනක පැටලී සිටි ශාපය නිසා කිසිදු සෙල්ලම් බඩුවක් නැතිව සිටි කුඩා දරුවෙකු වීම නිසා විය යුතුය!
    සුන්දර ලිපියක්!

    ReplyDelete
    Replies
    1. ඔබේ ළමා කල ගැන දුකයි .. ස්තූතියි මේ පැත්තට ගොඩ වුනාට...

      Delete
    2. //ඒ එකල මා දෙමාපියන් අතිශයින් උග්‍රවූ ජීවිත සටනක පැටලී සිටි ශාපය නිසා කිසිදු සෙල්ලම් බඩුවක් නැතිව සිටි කුඩා දරුවෙකු වීම// ඔබේ ළමා කල ගැන දුකයි ..// හා හා.. දුක් වෙන්න දෙයක් නෑ. ඒක ඒ කාලේ බොහොම සාමාන්‍ය දෙයක්.. තට්ටයා මහතාට දශකයකට විතර පස්සේ ළමා කාලය ගෙවපු මටත් මතක හිටින කිසිම සෙල්ලම් බඩුවක් තිබිලා නෑ.. සෙල්ලම් බඩු, ඇපල්, මිදි, චොකලට් වගේ ඒවා කියන්නේ ඒ කාලේ 'රට ගිය ඇත්තෝන්ගේ' පවුල් වල ළමයින්ට විතරක් ලැබෙන දේවල් කියල අපි හිතාගෙන හිටියේ.. මස් මාළු උනත් ඒ වගේ තමයි.. පඩි දවසට හෝ දෙකකට පමණයි. :)

      Delete
    3. අයියෝ අයියේ... මං ඒකට සතුටු වෙන්න කියලා කියන්නෙයෑ... මට මතක මගේ වෝකින් රවුන්ඩ් එක තමා.. වෙන සෙල්ලම් බඩු කියලා බෝනික්කෙක්ව මතකයි. ඒත් ඒක මගේ ළඟට ලැබෙන්නේ හරිම නීතී එක්ක. ඇයි පොඩි ළමයි සෙල්ලම් බඩු කඩනවනේ... ඒක අපේ සීය රට ඉඳන් ගෙනත් එකක්ලු... ඉන් පස්සේ ඒකට වෙච්ච දෙයක් මට මතක නැහැ.. තව සුදු පාට ටෙඩි කෙනෙක්ව මතකයි. ලොකු කලු පාට ටෙඩියෙකුත් හිටියා.. ඌට මං කැමති නැහැ කලු නිසා.. ඒත් දුකක් උනාම කලු ලොකු ටෙඩියා එක්කමං කතා කලා මතකයි.. ඒත් දැන් ළමයිය කිසිම ලමා කාලයක් නැහැ.. තාක්ෂණික මෙවලම් විතරයි එයාලගේ ළමා කාලය... අඩුම තරමේ පොතක් , කියවන්නවත් එයාලට ඇහෙන්න අම්මට තාත්තට වෙලාවක් නැහැ. අපි ගෙවපු සුන්දර ළමා කාලයක් දැන් ළමයිට ඇත්තේ නැහැ. ලස්සන වසිලිස්සා , හත්පෙති මල, දැන් ළමයි දන්නේ නැහැ.. දන්නේ ෆෝන්, කම්පියුටර් ගැන ඒවගේ ගේම්ස් ගැන විතරයි..

      Delete
  6. සඳලු තලේ සිට පෙර මඟ බලනා රාජ කුමාරවරුනි.. ඔබට කියන වගනම්.. රන් අශ්වයෝ පිට රන් සළු පිළිලා .. මාෂලා එන්නේ නැත නිකම් බලා සිටියොත් නම්.. :))))

    අපූරුයි! ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. හි හි .... ඔබ හරි අයියේ

      Delete
  7. ලස්සන සුරංගනා කතාවක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආයු ❤️❤️❤️

      Delete
  8. ෂාාාා...! ලස්සන වසිලිස්සා මතක් උනා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රැකි... මාත් ඒක කියෝලා තමයි ඒ ක්‍රමේට ලිව්වේ...

      Delete
  9. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. අද වැට නම් හුඟක් ලොකුයිනේ... ස්තූතියි

      Delete

Post a Comment

හුඟක් අය බලපුවා