අත්හැරීම


සියලුම ක්ෂුද්‍ර කාරණා මෙන්ම විසල් කාරණා ඇඟිලි තුඩු වලින් එකතු කරමින් හුන්නෙමි. මහා සක්වල ධාතුව කම්පා කරන්නා වූ ක්ෂුද්‍ර කාරණාද, මහා ධරණිතලයේ කුඩා භූමිකම්පා ඇති කරන්නට සමර්ථ වන්නාවූ විසල් කාරණාද වෙන් වෙන්ව මා එක ගොඩකට ගසමින් හුන්නෙමි.. ඒ යටින් රතු පාට තීන්ත වලින් විශේෂ කාරණා පමණක්ම ඉස්මතු කලෙමි.. එය භූ ගර්භය කම්පා කරගෙන මධ්‍ය ලක්ෂයේ සිට කුණාටු මාරුතයක්ව සුන්නත්දූලි කරගෙන පැමිණෙන ආදරය පමණක්ම අතැර තිබුණ බව කිව යුතුය..

ලොව පුරාම මහ ජන සංහාරයක් ඇති කල වසංගතය අවසානයක් නුදුටුවද මගේ හිතේ වූ ආවේණික වසංගත තත්වය මඟහැර ඒ ජන සංහාරයට මගේ නමත් එකතු කරන්නට අවැසි වූවද එය මගෙන් මඟ හැරී තිබුනි. නුමුත් මෙහි කෙලවර දක්නා ලදුව සිය දිවි නසා ගැනීම නම්, එය වූ කලී හුදෙක් නොනැවතීමක් බව මම විශ්වාස කරන්නෙමි. එය මා විසින් අත්හල කරුණකි. නමුත් මෙහි අවසානයක් අවැසිය.. අහවරක් නොවේ නම් යලි යලිත් නැගෙමින් බිඳෙමින් නිර්මිත සාගර රල මෙන් හැඟීම් හා බැඳීම් වලින් ආතුරව මා වර්ෂ කිහිපයක් නොව දශක කිහිපයක් ගෙවිය යුතුමය. එකී නොනැවතීම අවසානයේ මගේ සන්තානගත ප්‍රේමයේ නාමයෙන් සන්තානය ආතුර වන බව නම් නිසැකය.  නුමුත් යලිත් වතාවක් බලාපොරොත්තු අත්හල මා, තවත් වතාවක් එයට අනුබල නොදෙමියැයි සපත කරමින් හුන්නේමි. සියලු බලාපොරොත්තු වලාකුලු වියැකෙමින් තිබිනි... මම විසින්ම ඒවා එකින් එකගෙන ස්ත්‍රික්කයකින් මැද චොප්පා කරලන්නෙමි. ලෝබොර තලන්නා සේ කුළු ගෙඩියකින් සිතුම් ප්‍රවාහය තලන්නෙමි.


අනාරාධිතව පැමිණි ආදරය අනාරාධිතවම අවක්ෂේප වීම කෙතරම් වේදනාකාරි රිදුමක්දැයි කිව යුතු නොවේ.. අන්‍යන්ට අනර්ථයක් වන මගේ අවශේෂ කතාව ඔහුගේ මව විසින් අතැර දමන ලද්දකි. මේ සිතුවම් පටය ඇරඹි ප්‍රථම භාගයේ ඇය මා හා කිසිඳු වෛරයක් නොදැක්කාය. මාගේ වරදක් හෝ නොගැලපීමක් නුදුටුවාය. මෙය අවසාන භාගයදැයි නොදනිමි. නමුත් දැන් මා හා විසීම වූ කලී ඇයගේ මිය යාමයැයි සපත කරගෙන ඔහුව භාවිතා කරන්නාය.


නමුත් එය මා තවම එල්බ සිටින වණයකි. ඔහු තවමත් ළදරුවකුව සන්තුෂ්ටිය සොයමින් යෙදෙන ගමනකි. මෙය වහාම අවසන් කල යුතුම පරිද්දෙන් සිදුවිය යුතුව තිබිනි. 


කුඩා හුස්මක නොරැදෙන ආදරය ගැඹුරු හුස්මක තිබේ යැයි කිව හැකිද... එය එසේය. පුදුමය නම් සෑම නොගැඹුරු හුස්මක් අනිච්ඡානුග බැවින් ආදරය නොරැඳෙන්නේමය. නමුදු සියලු ගැඹුරු හුස්ම අනිච්ඡානුග වුව ඉච්ඡානුග වුව ආදරය හෝ එහි සංක්ෂිප්තය නොවරදවාම රැඳෙනු ඇත...

ආදරය වේගයෙන් හමන සුළඟක් නම් මා එහි වේගයට හසු වූ වරා මලක් වැනිය.. නුඹ මා චණ්ඩව මාරුතයේ ගසාගෙන ගොස් කළඹා අතරමං කර ඇත..


"මේ මල ඔබට...!"

සිනාවක් නොරැඳුනද නුඹ මලකින් හෝ ප්‍රේමය රැගෙන ආ බව කිව යුතුය... නුමුත් මල් පෙති ඉස ගොඩ නැඟු මාවත එපරිද්දෙන් නොනැඟි ඇති බව නම් සැබවි.. 

කඳුකරය සිසාර පවතින්නේ දැනුදු අපේ මතකයන්‍ ය.. ඒවා ගොඩැලි එක් කර සමතලා කර ආදාහනයට කැමැත්තෙමි.
මේ මුහුදු බඩ දාහයට මා අකමැත්තෙන් හෝ කැමති වනු ඇත. නොඑසේ නම් වන්නේ කඳුකර මාරුතයේ මතකයන්ට හසුවන්නටය.

ඔබට කිව යුතු කාරණය නම් මෙයය.

මා ඔබව අත්හැරයා නොව, මා ඔබ නමින් හුස්ම ගන්නා මතක ප්‍රවාහයට හසු වූ සියලුම ක්ෂුද්‍ර වස්තූන් හා ස්ථාන හැර පියා නව ලැගුම් හලක් සොයන්නෙමි. ඔබ ඔතැනම සිටින්න. නොපැමිණෙන්න.. 



Comments

  1. අරූ ......
    මේ.... ඔබ වෙනෙකෙකු වෙත නම් ඔබ ඔතැනම ඉන්න

    හැකිනම් ,
    මතක ඈත වාතලයේ පා කර හරින්නට
    වළාවලට ඉහලින් ඇති කන්දකට නගින්න ....
    පරිස්සමෙන් .

    ReplyDelete

Post a Comment

Popular Posts