බැලුම්


අහසේ හිරු සයුරුතෙර හොයන් යන ගමන හුන්නේ.. තව ස්වල්ප වෙලාවයි තිබුණේ හිරු සයුරේ ගිලෙන්න.. ඇසල සඳ මෝදු වෙමින් රාත්‍රිය උදවනු ඇත.

විහාරෙ පැත්තෙන් ඇහෙන බෙර හඬ හුන්නේ රාත්‍රියේ පැවැත්වෙන්න නියමිත පෙරහැරේ පූර්ව සුදානම් වීම් ගමටම ප්‍රසිද්ධ කරමින්.. ගමේ ළමෝ බයිසිකල් වලින් වගේම, පයිනුත් රංචු පිටින් විහාරේ දෙසට ඇදමින් තිබුණා.. සුදු හැඳි කාන්තාවන්, ළමෝ සහ සමහර පිරිමින් පන්සල වෙත ඇදෙමින් හුන්නේ මල් වට්ටි රැගෙන පෙරහැරේ යාමට පෙරුම් පුරමින්.

නමුත් සිරිමල්ගේ නිවසේ තත්වය ඊට හාත්පසින්ම වෙනස්.. සිරිමල්ට උන්නේ අම්ම විතරයි. තාත්තා මියැදී තිබුනේ සිරිමල් පුංචි කාලේදිමයි. ඒ රෑ දෙගොඩ හරියේ පැල රකින්න ගිය වෙලාවක අලි ගහලා. සිරිමල් හදන්න සිරිමල්ගේ අම්මා නොවිඳිනා දුක් විඳිනවා... උදේටයි දවල්ටයි ගල් කුරේ ගල් කඩන්න යන අම්මා රෑට ගෙවල් වල මෙහෙකාර කම් කරන්න යනවා.. සිරිමල් මේ දුක බලන් ඉන්න බැරිවයි අම්මට උදව් වෙන්න එක එක දේවල් කරන්නෙ.

සිරිමල් උන්නේ බැලුම් බෝල පුම්බමින්.. ඒ තම පැල්පත අයිනේ වූ බංකුවේ ඇණ තියා ගනිමින්.

ඒ බැලුම් එකින් එක ඉක්මනින් පිම්ඹෙමින් පැවතුනා.. එවිට රාත්‍රියෙ තියෙන පන්සලේ පෙරහැර බලන්න එන ළමයින් තමයි සිරිමල්ගේ පාරිභෝකයෝ වෙන්නේ... ඇත්තටම නීතිය එක්ක බැලුවොත් සිරිමල් ළමයෙක්.. ඒත් සිරිමල් වෙන ළමයින්ට විකුණන්න බැලුම් පුම්බනවා.. ඇතුලට සව් ඇට වගේ ප්ලාස්ටික් ඇට දාන ගමන් ලොකු ඇපල් ගෙඩියක් වගේ පුම්බන බැලුම් හිටපු ගමන් පිපිරෙනවා.. හරියට සිරිමල්ගේ ප්‍රාර්ථනා වගේ... හුඟක් ඒවා හැබෑවෙන් නැහැනේ.. සිරිමල් ඒක හිතන් නැහැ.. සිරිමල් බැලුම් පුම්බන ක්‍රමය හරි පිලිවෙලයි.. බැලුමට ඇට දානවා.. බැලුම පුම්බනවා ඒ එක්කම ගැට ගහලා ඇපල් ගෙඩිය වගේ වෙන්නත් ආයේ බැලුමේ පහලින් අල්ලලා ගැට එක්ක තව ගැටයක් දානවා. එක බැලුමක් රුපියල් එකසිය පනහකට විකුණ ගත්තම ලාභය හුඟක් ලොකුයි... අම්මට එයින් කොටසක් දුන්නම ලබන අවුරුද්දට ස්කෝලේ යන්න සපත්තු ජෝඩුවක් ගන්න පුළුවන්.. සිරිමල් එහෙම හිතුවා.. ඒත් ඉස්සර වගේ සිරිමල් බයිසිකල් ගන්න හීන මවන් නැහැ..
අම්මා කහට කෝප්පේ ගෙනත් පිල උඩින් තිබ්බේ සිරිමල්ට කහට එක බොන්න.. බැලුම් පුම්බන ගමන් සිරිමල් කහට උගුරින් උගුර බොනවා... මැස්සො දෙන්නේක් සිරිමල්ගේ කහට එකට ඔලුව දාන්න එනවා. සිරිමල් උන්ව බැලුම් පුම්බන ගමන්ම එලවන්න මහන්සි ගන්නවා...

"ආ සිරිමල්.. මොකෝ කරන්නේ... " පාරේ යමින් මල් බයිසිකලේ නවත්තගෙන අත වනලා සිරිමල්ට කතා කළේ සුනිමල්...

" මම එන්නම්.. ඔයාලා යන්න..."
සිරිමල් එහෙම සුනිමල්ට කියන ගමන් තව බැලුමක් අතට ගත්තා...  

සුනිමල් කියන්නේ සිරිමල්ගේ පන්තියේ යාලුවෙක්.. දහය පන්තියේ ඉඳන් එකොලහට යන්න තව මාස කිහිපයයි තියෙන්නේ. සිරිමල් අවුරුද්දේ හුඟක් දවසට මුදල් හොයාගන්න මේ වගේ ආදායම් මාර්ග වල නිරත වුණා... ගල් කපන්න ගියා. වත්තේ පොල් කඩන්න ගියා.. පුලුවන් හැමදේම සිරිමල් කරනවා. 

සුනිමල්ගේ මල් හරි ලස්සනයි... සව් කොළ වලින් හදලා තියෙන්නේ... මැද කහ පාටිනුයි, පෙති රතු පාටිනුයි ගැලපෙන්න හදලා තියෙන්නේ... ඒ මදිවට බීරලු එල්ලෙනවා වගේ තැනින් තැන ලස්සනට සව් කොළ වලින් හදපුව එල්ලෙනවා. සිරිමල්ට හිතෙන්න ගත්තා..

මටත් මල් බයිසිකලයක් පදින්න ඇත් නම්... සිරිමල් හිතුවා...
ඒත් එක්කම ඒ සිතුවිල්ල විසි කලා.. සිරිමල් සතුටු හිතෙන්න හීන බලන් නැහැ. පස්සෙ දුක හිතෙන නිසා... 

තමන් හරියට දහයේ සිංහල සාහිත්‍ය පොතේ පලවෙනි කතාව අපටත් දවසක ඉර පායයිද කතාවේ සිරියාවති වගේ නේද කියලා සිරිමල්ට හිතුනා..  මටත් කවදාහරි ඉර පායයිනෙව් සිරිමල් කල්පනා කලා.. ඒකට කොහොම හරි මහන්සි වෙනවා කියලා හිතාගෙන සිරිමල් බැලුම් අරන් පන්සල පැත්තට යන්න එලියට බැස්සා.


Comments

  1. ඉර පායන බව ඇත්තයි. ඒත් ඒ වෙනුවෙන් කළ යුතු දේ කළ යුතු ය.

    ReplyDelete
    Replies
    1. එසේය. මේ පැත්තට පැමිණියට බෙ‌ාහොම තුති.

      Delete

Post a Comment

Popular Posts