මන්දාකිනියේදී

මට පුංචි කාලේ ඉඳලම ආසවක් තිබ්බා. පොළව අතහැරලා අහසට යන්න.. හදිස්සියේ දවසක මට උඩට නගින්න අවස්ථාවක් ලැබුණා.. ඒ  බැලුමකින්... බැලුමක් කිව්වට ඇත්තටම ඒක පැරෂුට් එකක් වගේ එකක්.. හැබැයි මමමයි ඒක පිම්බුවේ. මමම පුම්බගෙන ටික ටික මං ඉහලට නැග්ගා.. මුලදි නම් මට හුඟක් මහන්සි වෙන්න සිද්ධ වුණා.. ඒත් ටික දුරක් යද්දි මට එයාව සෙට් වුණා.. ඊට පස්සේ මට ශක්තියක් ආවා.. ඒ ශක්තිය එයා.. ඒත් ඇත්තටම එයා කලේ මගේ ශක්තියෙන් වැඩ ගත්ත එක.. ඒක මට තේරුණේ කතාවේ අන්තිමට.. එයා මට උදව් කළේ නම් පොඩ්ඩයි.. හැමවෙලේම එයාට මහන්සි. ඒ නිසා මමම හුලං පිම්බුවා. එයා ආවේ මගේ පස්සෙන්. එල්ලිලා.

ඒත් ටික ටික උඩ යනකොට මට දැනුන දෙයක් තිබ්බා.. ඒ දේ, මං ඇත්තටම උඩ යද්දි අමතක කරලා තිබුනේ. මොකද මං ඒ දෙයට ඇත්තට බය වුණා.. හරිම සැහැල්ලුවෙන් මං උඩ ගියා. මං බය වුණ කාරණය තමයි එයා උඩදී මාව අතහරී කියලා.. එහෙම වුණොත් මං වැටෙන එක වළක්වන්න බැහැ.. මට ඒකට බය වුණා. ඒත් මං ඒක මතක් වෙන වාරයක් පාසා අමතක කළා.. බය නිසාම මං ඒ ගැන දිගටම හිතුවේ නැහැ.. මොකද හිතුවොත් මට පිස්සු හැදෙන්න ඉඩ තිබුණා.

අනේ හරිම ලස්සනයි. මං එයා එක්ක එහෙම කිව්වා. එයා කලේ මං දිහා හිනා වෙවි බලන් හිටපු එක විතරයි. ඒත් ටික ටික උඩ යද්දී එයාට අපේ තනිකම ගැන විශ්වාසයක් ආවා. එතකොට එයා මට ආදරෙයි කියලා මං හුඟක් විශ්වාස කරන්න පටන් අරන් තිබුණේ..

හදිස්සියේ එයා කවුරුත් නැති වළාකුලකදි මාව කිස් කලා.. මාව කොච්චර කුල්මත් වුණාද කියනවා නම් මං ගිහින් පළවෙනි මන්දාකිනියේ වැදුණා.. ඒක සිද්ධ වුණේ හරියට ආලෝකයේ වේගෙන් වගේ.. අපි උඩට ගියෙත් හුළඟේ වේගයෙනේ.. මාව ඒ ආලෝකේ වේගයෙන් ගිය යෑමට ලොකු ශොක් එකක් ආවා. ඒත් ඒ ශොක් එක වැඩි වෙලා තිබුණේ නැහැ. මොකද එයා මාව පළවෙනි මන්දාකිනියට වැටුනට පස්සෙ හුඟක් කිස් කරන්න පටන් ගත්ත නිසා.

පළවෙනි මන්දාකිනියේ ඉඳන් දෙවනි මන්දාකිනියට වැඩිදුරක් තිබ්බේ නැහැ. ඒත් අපි පළවෙනි මන්දාකිනියේ නවතින්න තීරණය කළා.. අපි ඇත්තටම අවුරුදු දෙකක් එතන ගතකළා. එයා පළවෙනි මන්දාකිනියේදී කලේ මාව කිස් කරන එකයි හග් කරපු එකයි විතරයි. මං මුලින් අකමැති වුණත් පස්සේ මටත් ඒවා ඕන වුණා. මං පස්සේ දැන ගත්තා කිස් සහ හග් එයා කඩා ගත්තේ ගස් වලින් කියලා. ඒවා තිබ්බේ පළවෙනි මන්දාකිනියේ හුඟක් ඇතුලට වෙන්න. එයා එක පාර හුඟක් කඩාගෙන ඇවිත් ගොඩ ගහගන්නවා. පොඩ්ඩ පොඩ්ඩ මට දෙන්නේ ඒවා. මායි එයයි තනියෙන් හිටියේ. කවුරුත් අපිට බාධ කරන්න හිටියේ නැහැ.

ඒත් මං පස්සේ දැන ගත්තේ මං තනි කරලා, ගෙදර යන්න ජෙට් එකක් හොයාගෙන තිබුණා.. එයා දවස් දහයකට සැරයක් ජෙට් එකේ නැගලා අම්මලව බලන්න ගියා..එයාගේ අම්මා මාව දැනන් හිටියා. ඒත් මං බැලුමක නැගලා මන්දාකිනියේ නැවතිලා ඉන්නවා කියලා දැනන් උන්නේ නැහැ.

මායි එයයි දවසක් දම්පාට වළාකුලකින් බ්ලුබෙරි අයිස්ක්‍රීම් එකක් අරන් කෑවා.. ඒකේ ෆොටෝ එකක් එයාගේ ජංගමේ වෝල්පේපර් එකට දාගෙන හිටියා. දම් පාට වළාකුලේ තිබ්බ රෙස්ටුරන්ට් එක හරියට ශ්‍රී ලාංකික ෆුඩ්ස් කඩයක් වගේ. එයාගෙ අම්මා හිතලා තියෙන්නේ ඇත්තටම ඒ ලංකාව කියලා. එයා වැරැද්ද නිවැරදි කරන්න ගිහිනුත් නැහැ.. කොහොම කොහොම හරි එයා ගෙදර යන එක අඩු කලා. මොකද එයාට ජෙට් එකට තෙල් ගහන්න එයාට සල්ලි තිබ්බේ නැහැ.  ඇත්තටම පස්සේ පස්සේ අපේ වියදම වැඩි වුණා. මොකද අපි ෆයිෆ් ස්ටර් හොටෙල් වලට යන්න පුරුදු වුණා පළවෙනි මන්දාකිනියේ ඉන්දෙද්දි. එහේ ලස්සන ෆයිෆ් ස්ටර් හොටෙල් තිබ්බා.

කන්ඩලම වගේ හැමතැනම ගස් එක්ක පොඩි වැවක් ඈතට පේන හොටෙල් එකක් තිබ්බා. අපි ඒකට තමයි වැඩිපුරම ගියේ.. කන්ඩලම ගියා වගේ ෆීලින් එකක අපි හිටියා..


ඒත් මං එක දවසක් ඒ ෆයිෆ් ස්ටර් හොටෙල් එකේදි, මාවයි එයාවයි එක පාරට දෙවනි මන්දාකිනයට වැටුණා. අපි හිතුවෙවත් නැති විදියට ඒක සිද්ධ වුණේ.. හදිස්සියේ.. දෙවනි මන්දාකිනය හරිම සුවපහසු තැනක්. දේදුනු පායලා, හොඳ සනීප කාලගුණයක් තිබ්බේ.. හරියට ස්විස්ටර්ලන්තය වගේ.. ලස්සන කියලා නිම කරන්න බැහැ.
,

ඔන්න ඔහොම අපි දෙවනි මන්දාකිනියේ නවාතැන් ගත්තා.. ඒ වෙනකොට එයා ගෙදර එක්ක තිබ්බ සම්බන්දතාවය හුඟක් දුරට නතර කරලා තිබුනේ. ඒත් එයා ෆයිබර් තාක්ෂණ ආයතනයකට කතා කරලා පොළවේ ඉඳන් ෆයිබර් රැහැන් වගයක් දෙවනි මන්දාකිනියට ඇදගෙන තිබ්බා. ඒ නිසා ඒ ෆයිබර් තාක්ෂණයට පින් සිද්ධ වෙන්න එයා ගෙදර එක්ක ජංගමයෙන් වීඩියෝ කෝල්ස් ගත්තා.. එයාගේ අම්මා, ඒ කියන්නේ මට මේ ලෝකේ වැඩියෙන්ම වෛර කරන තැනත්තිය ඇඬුවා කෝල් එකෙන්. අනේ පුතේ ගෙදර එන්න කියලා ඔයා ගෑණි ඔයාව රවට්ටන් ඉන්නේ කියලා. ඒත් එයා කිව්වා මං එයාට හුඟක් ආදරේ බව. මං එයාට උදේම නැගිටලා උයලා දෙන බවත්, දෙවනි මන්දාකිනියේ හිටියට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ එයා ජොබ් එක කරන බවත්.. ඒයාට අම්මා කිව්වෙම මං එයාව රවට්ටන් ඉන්නවා කියලා. මං මුකුත් නොකියා නිහඬව හිටියා ඒ හැමවෙලේම.

එයා හුඟක් හොඳට ජොබ් එක කලා. ඒ නිසා එයාට හදිස්සියේ අපි හිතුවෙවත් නැති මොහොතක ප්‍රමෝෂන් එකක් හම්බුනා. ඒ නිසා එයා තීරණය කලා තුන්වෙනි මන්දාකිනියේ පදිංචි වෙන්න.. අපි ඉන් පස්සේ තුන්වෙනි මන්දාකිනියට යන්න ගත්තා. ඒක පළවෙනි මන්දාකිනයට ආපු විදිය වගේවත්, දෙවනි මන්දාකිනියට ආපු විදිය වගේ වත් පහසු වුණේ නැහැ. අපිට මහන්සි වෙන්න සිද්ධ වුණා.

අපි මහන්සි වෙලා තුන්වෙනි මන්දාකිනයම සල්ලි වලට ගන්න වැඩ කලා. ඒත් හුඟක් කල් තිබුණේ නැහැ ඒ මහන්සිය. එයාට ප්‍රයිවෙට් ජෙට් එකක් තියන සුරූපී මොඩ්ලර් කෙනෙක්ව සෙට් වෙලා තිබ්බේ හදිස්සියේ ආපු මිස් කෝල් එකකින්. ඒක මං දැන ගන්න කොට හුඟක් පරක්කු වැඩියි. මගේ බැලුමත් ඒ වෙනකොට හැකිලිලා තිබුණේ.
දවසක් රණ්ඩුවක් වුණා ඒ මොඩ්ලර් නිසා. එයා ගහපු පාරකින් මගේ බැලුම පිපුරුණා.


කොච්චර හයියෙන් බැලුම පිපිරුණාද කියනවා නම් ඒ ශබ්දය නිසා මන්දාකිනි තුනම දෙදරුවා. ඒව වල භූමිකම්පා ඇති වුණා..

අන්තිමට මාව වැටුණා. ඒ වැටිල්ල කොච්චර නරක ද කියනවා නම් මං පොළවත් හාරගෙන පොළවේ මධ්‍යයටම ගමන් කරනවා මට දැනුණා.. ටික ටික මට උණුසුම දැනුණා.. ඒක එන්න එන්න වැඩි වුණා.. අන්තිමේදී ලාවා ගඟක මාව ගිලුණා..


Comments

  1. හොඳට ගලපලා ලියල තියෙන්නේ වර්තමාන/අනාගත ආදර කතාවක් වෙන්න. ප්‍රේමයකින් පරදෙන්න කොච්චර විධි තියනවද

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි... 💜️💜️💜️

      Delete

Post a Comment

Popular Posts