පන්දම

ආයෙත් ඔන්න කාලෙකට පස්සේ ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ ඉහලම තියන ගීතයක විචාරයක් එක්ක මං ආවා..

මේ ගීතයත් කරලියට එන්නේ කතරකට දියපොදක් වැටෙන සේ.. එහෙම නැත්තම් පසු බැහැපු සංගීත ලෝකයට සාර්ථක සාධාරණත්වයක් ඉටු කරමින්. විශේෂයෙන් සංගීත රූප රචනයට කියලම කිව්වොත් තමයි සාධාරණ. 

මුලින්ම කියන්න ඕනා මං මේකේ විචාර කිහිපයක් යූටියුබ් එකේ කියෙව්වා. ඒවලත් අදහස් එක්වෙයි. නමුත් මේක මට අනුව නම් කුවේණී තරම් පට්ට ගීතයක්ම නෙවෙයි. නමුත් රූපරචනය නම් "පට්ටයි" කියලා ලේබල් කරන්න පුලුවන්.


අපි මුලින්ම පද පෙලේ අර්ථයට යමු.
ආදරය හා ලිංගිකත්වයෙන් තොර කලාවක් බිහි වන්නේ නැත. ඉදින් "පන්දම" ගීතයේද ඒ සියල්ල සම්මිශ්‍රව අතිශය රූපාකාරව සියල්ල සහෘදයා අභිමුවට කැන්දයි.

"පන්දම" ලෙසින් නම්කොට ඇති ගීතයේ පන්දම යන්න අර්ථය මට තව පැනයකි. එය සමහරු පවසනා අන්දමට ලිංගිකත්වය නිරූපනයට රචකයා විසින් යෙදු හොඳම අවියම විය හැක.

කෙසේ හෝ අර්ථ කිහිපයක් වචනයක් වචනයක් පාසා තිබිය හැක. එය නිර්මාණයක අපූර්වත්වයි. පන්දම යනු අඳුර නස්නය පිණිස දල්වන්න උපකරණයකි. සියල්ලෝම ආදරය නොමැති කල අඳුරක  සිටීමක් වැනිය. එනම් සිය පෙම්වතියට අඬ ගසන පෙම්වතා මෙසේ පවසනවාද විය හැක... "ඔබ අඳුරේ ඉන්නේ. එන්න ඇවිත් මේ ආදරය නිසා ආලෝකයට යන්න..."  මෙහි එන්න මා හදවතට යන්න පැවසීම නම් ඉඳුරාම ආදරය නම් හදවතේ ඇරඹීමක් නිසාවෙන්, හදවතට ගොඩවන්න ලෙස ආරාධනා කරන්නේ ආදරය කරන්න පැමිණෙන ලෙසටමය. නමුත් දෙවන හා තෙවන පද පෙලින් නම් ඉඳුරාම අරුත් දෙන්නේ ආදරය නොව ලිංගිකත්වය ගැනම බව පැවසිය යුතුමය. පිරිමියෙකු නෙතු දැහැනක සිටි නම් එය බිඳලිය හැක්කේ ගැහැණියකටම පමණි. එනම් සිය රූ ලාලිත්‍යය පෙන්විය හැකි කිසිත් අැඳීමෙනි. එය එසේම රචකයා පවසයි.

"නෙතු දැහැන් බිඳිනා රන් සලුව ඇඳ
ලියතඹර ලෙලවා හද මඬල යට"


ලියතඹර මලක් වූ කලී සාහිත්‍යයේ පවසන නාරී දේහය ඉස්මතුව නිර්මාණය වූ පුෂ්පයකි. එය සේ නාරි දේහයක් ඇත්නම් පරිසමාප්තියෙන්ම පිරිමි සිතක දැහැන් බිඳ උපරිමයට ඇද දැමීමට තරම් හැකියාවක් පවතින බව සාහිත්‍යයේම සඳහන් වේ. පෙම්වතා පෙම්වතියට ඇරයුම් කරන්නේ මේ ගින්දර තමාට දෙන ලෙසය. එනම් තමා රාගය නැමති ගින්නේ දවන්න යන්නය. බුදු දහමේ ගින්න යන්න යෙදෙන්නේ රාගයටමය. එය එසේම මෙම ගීතයටද රචකයා එක් කර ඇත.
"පපුවට " යන්න පැවසීමම ආදරය ගැන නැවත සඳහන් කිරීමක් යන්න මාගේ මතයද වේ.ආදරය තිබෙන්නේ හදවතේ වුවද, අනුරාගය හදවත නොවැලඳගෙනම පහස සෙවිය හැක. එනිසාම වදන් භාවිතය අපූර්වට සිදු කර ආදරය පිලිබඳවම තතු පහදයි.

ගීතයේ මුල් කොටස ඉතා සංයමයෙන් ගායනය වේ. ඉන් පසුව දෙවන කොටසට පා තබද්දීම වේග රිද්මයකට හසු වේ.. මෙය නම් නිර්මාණකරුවාගේ හදවතද සැලෙන සේමය. කිසිඳු පූර්ව හැඟීමක් නොමැතිව ඇරඹි මේ කතාවට ආදරය හා අනුරාගය නොඅඩුව ගැබ් වෙන කල්හී පිරිමි සිත වේගවත් නොවන්නේද...

"මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැති.
රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ."


සිය පූර්ව දිවිය කිසිඳු ප්‍රේමයක් රාගයක් නොමැතිව කතරක්ව පැවතුන බවද, මේ විචල්‍යය කිසිඳු දිනෙක තමා අත් නොවිඳි බවද මේ පෙම්වතියගේ පැමිණීම නිසා කතරකට දිය පොදක් වැටුනා සේ හැඟීමකින් තමා පෙලෙන බවද පෙම්වතා නොසඟවා පසක් කරලයි.

"අනෙ මගෙ යකුනේ නටපන් හනිකේ.
තම් දෙන තානෙනේ තානෙනේ තානෙනේ"


අනතුරුව කිසිඳු ඉවසීමක් නොමැතිව පෙම්වතා තමාගේ රාගික හැඟුම් වලට ආරාධනා කරන්නේ ඉක්මණින් කරලියට පැමිණෙන ලෙසයි. පිරිමි හැඟීම් "යකෙකුට" සමාන කරවන ඔහු ඒ රිද්මයට තමාද නටන්නට නැති නම්, සැලෙන්නට සූදානම් බව මොනවට පෙන්වයි.

එය රිද්මය තාලයකින් ගීතයට රැගෙන ආවෙන් ඉතාම සංවරව, නුමුත් ඉතා ස්ථීරව දැනේ..


"ඉන වට බැන්දා වූ මුතු පට සැලෙනා විට" මෙලෙස පවසන්නේ මුතු පටක් පිලිබඳව නම් නොවන බව සක්සුදක් සේ විශ්වාසය. එනම් කුමක් පිලිබඳව යන්න සිතිය යුතුමය. 
මෙය රජකුමරියකට සම්බන්ධ කලා නම් කුමරියක් අනිවාර්යයෙන් මණිමේඛලාවක් පලඳින බැව් රහසක් නොවේ. එනම් ඒ මණි මේඛලාවේ මුතුපට යැයි කිව හැක..නුමුත් මේ ගී පද රචනයේ කෙසේවත් රජ පෙලපතකට මුහු නොකල නිසා වෙන් මේ පද පෙල පිලිබඳ මට නම් කිසිඳු අදහසක් නැත්තේමය. නැති නම් මෙසේ පවසමු, නාරිදේහය පා තබන කලද, නො එසේ නම් රමණයේ යෙදෙන කලද, ඉන ප්‍රදේශය මෙන්ම උකුලද රිද්මයානුකූලව ලෙලෙනු ඇත. රචකයාගේ සිතෙහි හට ගන්නා කිසියම් සත්තකින්ම නොතිබෙන දෙයක් පිලිබඳ කරුණු පහදන පද පෙලක් ලෙස මෙය ඉදිරිපත් කල හැක. නැතිනම් මුතු ලෙස හඳුන්වන්නේ දහදියද?


එසේ නම්, "පන්දම දැවෙනවා හදගිනි ලවා ගෙන" යන්න පැහැදිය හැක. එසේම නම් "පන්දම" ලෙසින් රචකයා උද්දීපනය කරන්න හදන්නේ සංස්කෘතික කඩතුරාවෙන් වැසුනු සංයමයෙන් කතා කල නොහැකි පිරිමියකු සම්බන්ධ දෙයක් පිලිබඳවමය. හදවතේ වූ ආදරය නිසාවෙන්ම මෙම සියල්ල සිදුවන බවද රචකයා පවසයි. එනම් රාගය ආදරයෙන් වියුක්ත කිරීමට කිසිදා නොහැක යන්න මෙයින්ද අතිශයෙන් විවරණය වේ.

"වැහි කළුව එනවා නුඹ නැතිදාට.
සිත් අහසම පුරවා අන්ධකාරෙක."


පෙම්වතිය නැති කලෙක සිය ලෝකයම අන්ධකාරයෙන් වැසෙන බව පෙම්වතා පවසයි. එනම් ජීවිතය ආලෝකමත්ව ගලායෑමට නම් ආදරයද ගැහැණියක්ද අනිවාර්යයෙන් සිටිය යුතුමය. එබැව් පවසමින් ගීතය අවසාන වේ..



පන්දම රැගෙන යන්න එන්න මා හදවතට
නෙතු දැහැන් බිඳිනා රන් සලුව ඇඳ
ලියතඹර ලෙලවා හද මඬල යට
දෙන්න මැණිකේ මගෙ පපුවට ගින්දර.

මේ දුර දිවි කතරේ අතරමඟදි දැකලා නැති.
රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ.
අනෙ මගෙ යකුනේ නටපන් හනිකේ.
තම් දෙන තානෙනේ තානෙනේ තානෙනේ.

ඉන වට බැන්දාවු මුතු පොට සැලෙනා කොට
පන්දම දැවෙනවා හදගිනි ලවා ගෙන
වැහි කළුව එනවා නුඹ නැතිදාට.
සිත් අහසම පුරවා අන්ධකාරෙක.

ගායනය, ගීත රචනය, තනු නිර්මාණය හා රූප රචනයේ තිර පිටපත: Dhanith Sri

ගීතයේ විචාරය අවසන් වුවද රූප රචනය පිලිබඳ අනිවාර්යයෙන්ම කතා කල යුතුමය. රූප රචනය පිලිබඳ නැවත ලිපියක් ලිවීමට බලාපොරොත්තු වෙමි.


Comments

  1. මං ආව. කියෙව්වෙ නෑ. කියවන්න පස්සෙ එන්නං.

    ReplyDelete
    Replies
    1. අයි අයියෝ.. කියෙව්වේ නැතෙයි..!!

      Delete
    2. හැමදේම ගොඩක් ගැබුරින් විස්තර කරලා තියෙන්නේ.

      Delete
    3. ස්තූතියි ඉරෝ....

      Delete

Post a Comment

Popular Posts