නිශාචර



නිශාචර කිරිල්ලියෙක්ට පුලුවන්ද තමන්ගේ ඇඳට ආදරය කරන කොල්ලෙක්ට ආදරයෙන් උමතු වෙන්න...

එහෙම කිව්වම ඒ ප්‍රශ්නයේ රහස් කතා කිහිපයක්ම තියෙනවා..ඒ කියන්නේ පටලැවිලි කිහිපයක්... මං කැමති පටලැවිල්ලකින් පටන් අරන් පටලැවිල්ලකින් ඉවර කරන්න.. හරියට ජීවිතේ වගේ...

මේ කතාවත් එහෙම එකක්.. හුඟක් පටලැවිලි ඇති.. ලිහා ගන්න එක බාර මගේ කතාව හොරෙන් කියවන ඔබටමයි...

මං නිශාචර වුණේ ඇත්තටම ප්‍රථම ප්‍රේමයේ විරහවෙන් පස්සේ.. දැන් තියන ප්‍රේමය මාව නිශාචර කරලා තියන්න උදව් වෙන පරිබාහිර දෙයක් විතරයි.. ඇත්තටම මං හිතන් හිටපු ප්‍රේමය වර්ණවත් දෙයක්. ඒත් මේ ප්‍රේමය (ප්‍රේමයක් තිබේ යැයි පෙන්වන විවාහයක්...) පටන් ගත්ත දවසේ ඉඳන් මට දැනුනේ හැත්තෑව දශකයේ සිනමාපටයක් වගේ..ඇත්තටම ඒක ප්‍රේමයකට වඩා මවා ගත් ප්‍රේමයක් කිව්වොත් හරියටම හරි.. ඒකේ ඇතුලාන්තේ ප්‍රේමයක් තිබුනේ නැහැ.. ප්‍රේම කරනවා යැයි අපි විසින් අපිවම රවට ගත්තා.. ඒ රැවටිල්ලට සමාජයත් රැවටුනා.. අන්න ඒකෙන් අපි සතුටු වුණා...

නිශාචර වෙන්න ගත්ත මුල්ම කාලේ ලස්සන රාත්‍රී තරු රටා එක්ක කතා කරන්න බොහෝ දේවල්, තරු රටා අස්සේ කතා හොයන්න වෙලාවල් මට රෑ යාමයේ තිබුන ප්‍රධාන රාජකාරී..ඒක ඇබ්බැහීවීමක්.. ඒත් ඒ මගේ ප්‍රථම ප්‍රේමයේ විරහවෙන් පස්සේ... කියන්න තේරෙන් නැහැ, අබ්බැහි වීමක් කියන්නේ කොච්චර නරක දෙයක්ද කියලා.. මගේ ජීවිතය ඇබ්බැහි වීම් වල එකතුවක් වුණා. ඒ කියන්නේ නිශාචර වීමට ඇබ්බැහි වීම කියන්නේ ඇත්තටම මුල්ම ඇබ්බැහිය නෙවෙයි.. ඒත් මං දන් නැහැ., මුල්ම ඇබ්බැහිය මොකද්ද කියලා, සමහර විට කවුරුත් කියන්න අකමැති රහසින් කරන දේ වෙන්න ඇති ගැහැණු ළමයි... ඒක වෙන්න ඇති මගේ පලවෙනි ඇබ්බැහිය.. තාමත් මට ඒකෙන් ගැලවෙන්න බැහැ.. තනි වුනාම මං ආසයි මගේ සියුම් සෛලවල සතුට හොයන්න.. පසුබිම් සංගීතයක් එක්ක, කොට්ටයක් තුරුල් කරන් මිනිත්තු කිහිපයක් මං වෙනුවෙන් ගත කරන්න..

එයා මම, රෑ..., එයාගේ ස්ප්‍රින් මෙට්ටේ තියන ඇඳ.. ස්ප්‍රින් මෙට්ටේ මං මෙතන හයිලයිට් කලාද මන්දා... මට තිබ්බ කොහු මෙට්ටේට වඩා එයාගේ ඇඳේ හාන්සි වෙලා හරි ඉන්න මං ඇබ්බැහි වුනා. ඉතින් මේ හැමදේම ඇබ්බැහි. එක දෙයක් කියලා වෙන් කරන්න බැහැ.. රෑ මැදියමෙත් ඇහැරගෙන ඉන්න එකත් මට ඇබ්බැහීවීමක්..  මගේ තරු රටා ඇබ්බැහි වීම නැවතුනේ නැහැ, හැඟීම් වල උච්චතම අවස්ථාවේ ඉඳන් හෝරා කිහිපයක් ගත වෙනකම් ප්‍රාණය නිරුද්ධ ජීවියෙක් වගේ හිටියට, මට රෑ එකහමාර පහු වෙනකොට තනිකම කියන ඇබ්බැහියට පණ එනවා. මං ළඟ තියන මොනම හරි දෙයකින් මං ආවරණයක් සොයාගෙන වැරෙන්ඩා එකට පා තියනවා.. එතකොට තරු රටා දිලිසි දිලිසි ඉන්නවා.. මා එක්ක හිනා වෙන්න බලාගෙන.. මට කල්පනා කරන්න දේවල් හුඟක් තිබ්බා.. සංසකගේ ලේ වලට ඉඩ දෙනවද, මගේ හැඟීම් වලට ඉඩ දෙනවද කියන්න... කොහොම වුණත් අම්මා කෙනෙක් තෝරගන්නේ අවසානේ තමන්ගේ දරුවව නිසා දෙවනි තෝරාගැනීමයි ජයගන්නේ... එතකොට පහසුවෙන්ම සංසක ජයගෙන..

මට තේරුණේ නැහැ මට පටලැවිලි සිදු වුණේ කොතනින්ද කියලා.. ඒ වගේම මං කවි ලියන්න ගත්තේ කොයි කාලෙද කියන්න දන් නැහැ. හැමෝම කිව්වා වගේම කවිත් හරිම පටලැවිලි.. කාටවත් තේරුන් නැහැ. ඒ නිසා කවුරුත් කියවන් නැතුව ඇති. කවියක් ඇතුලේ ඔබ්බලා තියන කතාව හොයන්න වෙහෙස වුණ එකම කෙනා තමා සංසක.. දැන් ගොරව ගොරව නිදා ගන්න ප්‍රාණය... ඒ සද්දෙට මට මුල්ම කාලේ තරහ ආවට මං දැන් තරහ කියන ස්නායුව කපලා තියෙන්නේ.. තරහා ගත්තා කියලා එයා මගේ විදියට හැඩ ගැහෙන් නෑනේ. මෙතන සම්බන්දතාවය පවත්වාගෙන යන්න ඕන එකම දේ, එයාගේ විදියට මං හැඩ ගැහෙන එක... ගැහැණු කියන්නේ එහෙම ජාතියක්... සංසක කියන පටලැවිල්ලේ මාත් පටලැවුනා.. දැන් තියෙන්නේ ඔන්න ඔහේ පටලැවෙන විදියට පටලැවෙන්න..

ඊළඟ පටලැවිල්ල ආරම්භ වුණේ මං ට්‍රේනින් එකකට ප්‍රංශයට යන්න වුණාම. මුලින් සංසක ගෝරනාඩුව ආරම්භ කරන්න මුල් වෙඩිල්ල තිබ්බත්, තමන්ගේ තත්වයත් මට ලැබුණ අවස්ථාවෙන් උච්චත්වයට පත් වෙනවා කියන හැඟීම එක්ක ඒ වෙඩිල්ල පුස්සක් වුණා. එයා මාත් එක්ක නොකිව්වට, ස්ටාෆ් එකත් එක්ක මගේ පම්පෝරිය ගහනවා කියලා මං දැනන් හිටියා.. වයිෆ්ට ට්‍රේනින් එකක් ඇවිත් පැරිස් යන්න. මාස තුනක්...

අපි මුල්ම තිත්ත ඇත්ත අරන් බලමු, අන්න එතන තමා මේ පටලැවිල්ලේ ආරම්භය... දොස්තර කෙනෙක්ට ඕන උනේ නැහැ තමන් ආදරේ කරපු නර්ස් එක්ක වෛවාහක සම්බන්දතාවයකින් සමාජ ගත වෙන්න. ඒ වගේම සුප්‍රිම් කෝට් ජජ් කෙනෙක් ළඟ ලේසියෙන් ප්‍රැක්ටිස් වෙන්න යන්න කිසිම දැන හැඳුනුම් කමක් නැති අලුත් ලෝයර් කෙනෙක්ට පුළුවන් වෙන්නෙත් නැහැ.. ඊටත් ලේඩි ලෝයර් කෙනෙක්ට.. ආදරය කියන්නේ පැටලැවිලි සාගරයක්... අන්න එහෙම ආදර දෙකක් ගැලවිලා අලුත් ආදරයක් විදියට පටලැවුණේ හරිම අමුතු විදියට.. ලේඩි ලෝයර් එක්ක දොස්තර වෛවාහක සම්බන්දතාවය..

ඉන්පස්සෙයි මට ඒ ස්ප්‍රින් මෙට්ටේ හම්බුනේ...

ෆෙමිනිසම් කරන කෙනෙක් විදියට ඔයා හෝමෝ සෙක්ෂුවල්ස් වලට ගත්තු ස්ටෙප්ස් මොනවද... වින්සි මගෙන් ඇහුවේ ට්‍රේනින් එකේ පලවෙනි දවස නිමාවෙලා අපි අපිට බෙදා ගන්න දීපු රූම් එකට ආපු වෙලාවේ... මගේ පිලිතුර වුණේ කිසිම දෙයක් නැහැයි කියන එක.. වින්සි කැනඩාවෙන් ආපු ෆෙමිනිස්ට් කෙනෙක්.

කොහොමවත් ඒ ගැන හිතලා නැද්ද. මගේ එක්ස්ප්‍රේෂන්ස් දැකපූ වින්සි ආයෙම ඇහුවේ පුදුමයෙන්... අපේ ඒ කතාව නැවතුනේ කොතනින්ද දන්නේ නැහැ..

ඇය කිසිම විලිබියක් නැතුව මගේ ඉදිරිපිට නිරුවතින් ඉන්න පටන් ගත්තේ මගෙ හිත ආයෙම පටලැවිලි කරන ගමන්... අන්න එහෙමයි ඒ පටලැවිල්ල ආරම්භ වුණේ.. ස්ත්‍රී පුරුෂ සම්බන්දතාවයක නැති නිදහසක් ස්ත්‍රී- ස්ත්‍රී සම්බන්ධතාවයක තිබුණා. හැමදේම මුලින් අහනවා, ඔයා මේකට කැමතිද... අකමැති නම් කමක් නැහැ... කිසිම ආක්‍රමණශීලි බවක්, දෘඪ බවක් නැහැ...

අන්තිමට මං ෆෙමිනිසම් වලට වගේම හෝමෝ සෙක්ෂුවල් රයිට්ස් ගැනත් හුඟක් දේවල් ඉගෙන ගෙන ඒ වගේම ඒක සාධාරණීකරණය කරන්න පටන් අරන් තිබුණේ.

මං කොහේ හිටියත් කවදාහරි ඔයාව හොයන් එනවා ඩාර්ලින්.. කවදාවත් නොදැකපු ලෝකයක් ඔයා මට දුන්නා.. ඒකට මට, ඔයාට තෑන්ස් කරන්න වචන හොයාගන්නත් බැහැ.. වින්සි එහෙම කිව්වේ එලියට එන්න බැරුව අපි දෙන්නා ට්‍රේනින් එක ඉවර වෙලා ප්‍රංශෙදි වෙන් වෙන මොහොතේ. අඬ අඬ.. මටත් ඇඬුනේ ඇයි කියන්න මං දන් නැහැ.. මත් පටලැවිලා තිබුණේ.... ඒක හරියට මල් අතුරපු ලෝකයක ඉඳලා එක පාර ග්‍රීෂ්ම ඉඩෝරයකට යනවා වගේ හැඟීමක්.. මං ශ්‍රී ලංකා එයාර් ලයින් එකට ගොඩ උනාම මට දැනුනේ මගේ හැමදේම නැති වුණා වගේ හැඟීමක්... ඒත් ඇත්තම කතාව කටුනායක ගුවන්තොටුපලේ මට හැමදේම වුණ සංසක බලන් ඉන්න එක...

හැමදේම පටලැවිලි....

අලුත්ම පටලැවිල්ල වින්සි තව දවස් තුනකින් ලංකාවට එන එක....
ඒත් ඒකත් නෙවෙයි... මට වුවමනා නැහැ මගේ මේ ජීවිතය ආයේ පටලවගන්න.. මොකද පැරිස් ගිහින් ආපු මං වරදකාරී හර්ද සාක්ෂිය එක්ක වරද සොය සොයා ඉන්නකොට අවුරුදු ගාණකින් ඕනෑම කන්දක් තරණය කරන්න සසංකට මං ඉඩ දීලා තිබුණේ...ඒකෙන් මගේ ගර්භාෂේ ඇතුලත ජීවියෙක් වර්ධනය වෙන්න පටන් අරන් මගේ ලෙයෙන්...

ඉතින්  නොහිතපු විදියට ආපු පටලැවිලි එක්ක ඇත්තටම බ්ලොක් ලිස්ට් පටලැවිල්ල වුණේ මගේ අලුතෙන් නැගගෙන ආපු ආසාව.. මං තීරණය කලා මගේ දරුවව තෝරගන්න ඒක තමයි හැම පටලැවිල්ලක්ම ලිහන්න පුලුවන් එකම ශක්තිය....

"සංසක.... නැගිටින්න... කියන්න දෙයක් තියෙනවා...." අමාරුවෙන් නැගිට ගත් සංසක මගේ මුහුණ දිහා බැලුවේ හරිම තරහින්...

" මං ප්‍රෙග්නන්ට්..."

ඒ තරහ මුහුණ දිලිහෙන්න ගත්තේ බලන් ඉද්දිම...

Comments

  1. ලස්සන කෙටි කථාවක් .

    ReplyDelete
  2. හරිම ලස්සනයි අරු මේ කතා
    ශෛලිය.එක කතාවක් කියෙවුවම ප්‍රේමය අහිමිව,වලාකුලු, කෙහෙරැලි,ඉරණමි,පිලිගැනීම් දෙකක් කතා පේලියම ආසාවෙන් කියෙවුවා. ඉතිරි ටිකත් කියවාවි. දිගටම ලියන්න.සුභ පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිලිණි... ඔබ එහෙම ආසාවෙන් කියෙව්වා නම්, ඒක හරිම සතුටක් මට...

      Delete

Post a Comment

Popular Posts