මනමේ කුමරි.. 01


මං කැමති වුනේ නැහැ මනමේ කුමාරයා මැරෙනවට. මට වුවමනා වුනේ මනමේ කුමරියම වෙලා වැද්දව මරන්න, අවසානේ වෙනස් කරන්න... මොකද එයා මැරෙනවා මට බලන් ඉන්න බැරි උනා. ප්‍රේක්ෂකාගරයේ හිටපු මගේ හුස්ම හිරවෙනවා වගේ දැනුනා. මං පුටුවටම ඇලිලා හිටියේ. මගේ පිට කොන්දත් පුටුවට ඇලිලා.. ඇස් පිය සැලුන් නෑ.. මං එයා දිහාම බලන් හිටියා. මනමේ කුමරා දිහා... එයා එහෙම නාට්‍යයට වුණත් මෙහෙම මැරෙනවා බලන් ඉන්න බැරි මට කවදාවත් එයාව හිමි කර ගන්නවත් බැරි වෙනවා කියලා මං දැනන් හිටියා.. ඒක බගාදා හොඳයි කියලා මං මගේ හිතට කිව්වා.. හදිස්සියේ එයාට අසනීපයක්වත් හැදුනොත් මගේ ඉදිරිපිට මටම සිහිය නැති වෙයි වගේ..


"මොකෝ බන් අඬන්නේ.."
නිශා මගේ අතට ගැහුවා.. මාව උඩ ගිහින් බිම වැටුනා වගෙයි.. කුමක් කියන්නද කියල හිතුනෙත් නැහැ. කඳුලු වැක්කෙරිලා ඒක පිහිද ගන්න ඕන කියල වත් දැනුන් නෑ.. අඩුම තරමේ මට පණක් තිබුනේ නැහැ වගේ..

පේරාදෙණියට ආපු මුල්ම කාලේ , එයා තමයි අපිව රැග් කරන්න ආවේ.. තව කිහිප දෙනෙකුත් සමඟ. සමහරු මගේ කොණ්ඩෙට එක එක ඒවා කියලා බනිද්දි, එයා හැදුවේ හැමොගෙන්ම මාව බේරගන්න.. ඒත් එයා බේරනවා වගේ ඇවිත් මට බනින්න ගත්තා. එයා බනින්න ගත්තම මාව ගැස්සෙනවා. සමහර දවසට කඳුලු බේරුණා. මං ඒවා හංගගෙන හිටියා. නැත්තම් තව බැනුම් අහන්න වෙන නිසා.

ඒත් දවසක් මට බනින කොට වුණ සිදුවීමක් පිලිබඳ යෙහෙලියන් විහිළු කලේ මට මගේ හැඟීම් අමත කරන්න බැරි විදියට.  ඒ සිදුවීමෙන් මං තේරුම් ගත්තා, මගේ ප්‍රේමය එයම බව.. 

"උඹේ කඳුලු දැකලා ඒ අයියට බනින්න ඕනා ඊළඟ වචනෙ ලොප් වෙනවා බන්. ඒක හොඳයි. එතකොට අපිව රැග් වෙනවත් අඩුයි. උඹව රැග් කරන්න ගන්නවා නම් හොඳයි හැමදාම මුලින්."
නිශා, පියුමි හැමෝම මට ඒක කියලා තියනවා.. ඒත් එයා දිහා මං කෙලින්වත් කවදාවත් බලලා තිබුනේ නැහැ.. 

ඒ වගේම කවදාවත් ඔහු ඒ පිලිබඳ නාම මාත්‍රයක ඉඟියක් මගේ තුන් වන වසර අවසන් වනතුරුත් කර තිබුනේ නැහැ.. 

කහොමත් පියුමි නිශා තරම් පැහැපත් නැහැ.. මං තලෙලු කෙල්ලෙක්.. ඒත් එයත් මට වඩා සුදුයි.

" උඹ එතකොට ගාල්ලේ.."

"හ්ම්"

"ඇයි උඹ බකමූණෙක්ද හ්ම් ගාන්නේ...... බකමුණී..."

"නැහැ."

"තෝ දන්නේ නැද්ද පහිඳි ජ්‍යේෂ්ඨ උතුමන්ට ගරු කරන්න."

"දන්නවා ජ්‍යේෂ්ඨ උතුමනි."

මං බයෙන් වගේ මුමුණද්දි, ඔහු ආයේ මා ඇමතුවේ පෙරටත් වඩා නපුරු විදියට.

"දන්නවා නම් ජ්‍යේෂ්ඨ උතුමන් වන්දනා කරන ගාථාව කියලා වැඳපන්"

මම එහෙම ගාථාවක් දැන සිටියේ නැත. එමෙන්ම අදටත් දන්නේ නැහැ.

අඬන්න බලන් හිටියට අහස කළු කරගෙන වැස්ස ආරම්භ කරමින් තිබුනි. කඳුලු දැක්කා නම් නැවත බැනුම් අහන්න වන බව දැන සිටියෙමි. නමුත්, පුදුමය නම්,ඒ බව දුටු ඔහු මට කිසි දෙයක් නොකියා අපිව පැන්නුවේය.

"දැන් පල, පස්සේ අල්ල ගන්නම්.. ගාථාව පාඩම් කරගෙන තියා ගන්න."

නමුත් ඉන්පසු කිසිදිනෙක ඔහු නැවත එම ගාථාව ඇසුවේද , නැවත වත් කරන්නවත් පැමිණියේ නැත.
වත් කාලයද අවසන් විය.

වත අවසන් උනේ කාඩ් දැමීමෙන් පසුය. කාඩ් දැමීමට පෙර තමන් වේදිකාවට නැග තමා ගැන විස්තරයක් කල යුතුවිය. පසුව තමාට ඒ වනවිටත් කාඩ් එකක් ලැබී නැත්තම් කාඩ් එකක් ලැබේ. කාඩ් එකක් ඒ වනවිටත් ඇත් නම් කාඩ් එකද කිව යුතුය. මා මගේ විස්තරය කියා අවසන් වූ පසු, මගේ කාඩ් එක දැන ගැනීමට බලා සිටියෙමි.

" උඹේ කාඩ් එක මොකද්ද "

මට ගාලු කුමාරි කියලා කාඩ් එක පට බැන්ඳෙත් එයාමයි. සමහරුන්ට නැට්ටිච්චි, කටුස්සි, වගේ කාඩ් දාද්දී මට දැම්ම කාඩ් එකට මං දොහොත් මුදුන් තියලා එයාට හිතින් වැන්දා.. කාඩ් එක මට කැම්පස් එකේ ඉන්නකම් කියන නමනේ. සමහර විට කැම්පස් අවුට් වුනත් ඒ නමම කියන වෙලාවල් තියෙනවනේ පුරුද්ද නිසා.. කැත නමක් උනා නම් එපා වෙනවනේ..

මනමේ කුමරු මැරී තිබුණා.. වේදිකාව මත ලේ විසිරිලා තිබුණා.. මනමේ කුමරි දුකින් වැලපෙමින් හිටියා.. ඒත් ඇත්ත මනමේ කුමරි හිටියේ ප්‍රේක්ෂකාගරයේ... 

ටික වෙලාවකින් මනමේ කුමරිය වැද්දා සමඟ යන්න පටන් ගත්තා... ඒත් වැද්දා ඇයව හැර ගියා...

ඒ වෙනකොට නාටකය අවසන්ව තිබුණා..

සියල්ලම බෙලි මල් දන්සලට ගිහින් තිබුනේ මාව ශාලාවේ තනි කරලා. පෝලිමේ ඉන්න අකමැති නිසා බොහෝ දෙනා ඉක්මනින් පෝලිමේ මුල අල්ල ගන්න දුවන්නේ.. ඒත් මගේ කල්පනාව දුර ඇදී තිබුණයින් මට නැවත බෙලිමල් බොන්න යන්න සිතුණේ නැහැ. අදින් පසු ඔහුව මට ආයෙත් දකින්න නොලැබේවී.. 

මට වුවමනා වුණෙ ආයෙත් මනමේ නාට්‍ය බලන්න. දෙවනි ශෝ එක තව පැය එකාමාරකින් ආරම්භ වේවී.. ඇත්තට මට අවශ්‍ය වෙලා තිබ්බේ මනමේ කුමරයව මගේ හිතේ නිදන් ගත කරන්න. ඒ දර්ශන හිතේ දෘඩව තැන්පත් කරගන්න. අමතක නොවන ලෙසටම..

ඒ වගේම මට අවැසි වුණේ මගේ මනමේ කුමාරයා එක්ක කාත් කවුරුත් නැති වනයකට ගිහින් ප්‍රේමයෙන් දිවි ගෙවන්න.. ඒත් වැද්දෙක් ඇවිත් මනමේ නාට්‍යයේ වගේ නොවිය යුතු දෙයක් වුණොත්.. මං බය වුණා..

ඇත්තටම  මනමේ කුමරිය මා වූණා නම් කොහොම මා\"තින් සිදුවූ වරදට මටම සමාව දෙන්නද...මට කවදාවත් ඒ විදියට කියන්න බැරි වේවී.. මම ඒ සැනෙන්ම වැදි රජුගේ කඩුව පැහැර ගෙන සියදිවි නසා ගනිවී. නැතුව කොහොම වැද්දා සමඟ යන්න හිත හදා ගන්නද..

“මා ප්‍රිය සැමියා මරුමුව වැටුණා -

කිම ද කළේ ඔබ මේ අපරාදේ

යහතින් සිටි ඔහු ඔබ ඇන මැරුවා -

මේ ඔබ දෝසා - මේ ඔබ දෝසා”

එසේ  වැදි රජුගේ දෝෂාරෝපණය කිරීම ඇත්තටම වැරදියි.. වරද තිබුණේ කුමරියගේ අතේ.. 

"ආ.."

මගේ ඇස් ඉස්සරහා මං වෙනුවෙන් බෙලි මල් කෝප්පයක් දික් කරන්. කවුද... මං හිතුවේ නිශා කියලා.. ඇත්තටම ඒ මනමේ කුමාරයා.. මම දකින්න ආසාවෙන් හිටපු මනමේ කුමාරයා.. 


මතු සම්බන්ධයි.


4 comments:

  1. වෙනද වගේම බලලා, හිමීට ලුහුටලා යන්නයි හැදුවෙ, ඒත් හිතුනා වැඩේ වැරදියි කියලා. තවමත් අපි අතර රැඳිලා, මෙහමවත් ලියනවට මගේ ප්‍රණාමය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිමීට ලිස්සලා නොගිහින් පොඩි හරි කමෙන්ට් එකක් දානවට.. ඒකෙන් ලොකු මෝටිවේෂන් එකක් එනවා. 😍😍😍

      Delete
  2. අපි කාගෙත් කතාව වගේ නේද. ඉතාම සියුම් ලිවීමක්.

    'ඒත් වැද්දෙක් ඇවිත් මනමේ නාට්‍යයේ වගේ නොවිය යුතු දෙයක් වුණොත්.. මං බය වුණා'. මේ බය තරම් ජීවිතේ ආපස්සට අදින තවත් දෙයක් නැහැ නේද.

    Can't wait for the rest.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොමෙන්ටුවට.. ඉක්මන්ට තව කොටසක් දාන්නම්.. දවස් දෙකකින් විතර..

      Delete

කුරුලු දඩයම 02

  කුරුලු දඩයම 01 දවසක් උදෑසනක දුර්ශාන් සොයා ආවේ දුර්ශාන්ගේ හොඳම මිතුරෙක් වන සංධීර්. ඔහුට පුදුමයි මේ දුර්ශාන්ගේ වෙනස.  "ක්‍රිශෝලියි ඒකිග...