අම්මා..




දින පොත 1
Day -25

අද දිනය මට මතක නැහැ.. ඇත්තටම මට මතක් කල යුත් නැහැ. අද කිව්වට ඒ අදම නෙවෙයි. සමහර දේවල් තියනවා ඒවා මතක් කරන්න බැහැ.. මට තනියි අම්මේ හුඟක්...

ඇත්තටම අද කියන දවසේ මං අම්මාගේ බ්ල්වුස් එකක් තුරුලු කරන් ඇඳේ ගුලි වෙලා හිටියා.. ඒ සුවඳ... අම්මගේ දාඩිය සුවඳ.. මට අම්මා මගේ ළඟම බව මතක කලා. මීට වඩා ලියන්න මං අකමැතියි..

දින පොත 1
Day - 32

මං අද උදේට ඉව්ව පරිප්පු සහ හාල්මැස්සො. උදේට විතරයි කන්න පුලුවන් වුනේ.. තාත්තා ඇයව එක්කගෙන ඇවිත් තිබුනා.. ඒ නිසා මං සමන්ගේ ගෙදර ගියා.. සුසිමා නැන්දා මට දවල්ට කවන්න හැදුවත් මං කෑවේ නැහැ. මං කලේ නිදා ගත්ත එක දවසම.

දින පොත 1
Day - 33

ආච්චි ආවා.. මාව ගෙදර එක්ක ගියා.. ගෙදර ඔප්පුව නැති වෙලා කියලා ආච්චි පොලිසියේ ඇන්ට්‍රියක් දැම්මා කිව්වා...

"මේ ඉඩම උඹේ අම්මාගේ. උඹේ තාත්තා එක එක වේසියෝ ගෙදර නතර කරගත්තට තුන්මාසයක් යන්න වුනේ නෑ ගෑනී මැරිලා.." ආච්චි එහෙම කෑ ගහලා කියලා මහ කෙල තැම්බක් ගෙදර පඩිය උඩට ගහලා මාව ඇදන් ගෙට ගොඩ වුනා. ආච්චි , අම්මයි තාත්තායි ඉඳපු කාමරේ නතර වුනා.. ඇය බයෙන් වගේ හිටියේ දවසම. තනියෙන් පුංචි කාමරේ හිටියේ.

දින පොත 1
Day - 46

මගේ විභාග ප්‍රතිඵල ඇවිත් තිබ්බා.. කැම්පස් යන්න ලකුණු තිබුනා.. පාසලේදී අම්මා මතක් වෙලා මට ඇඬුනා. රෑට කෑවෙත් නෑ. තාත්තා බීලා ඇවිත් හැමදාම වගේ මටයි ආච්චිටයි බැන්නා..
ශ්‍රියානි ගෙදරින් ගිහින් තිබුනේ දවස් තුනකට කලින්.
_____________________________________

දින පොත 2

Page 78  

ඇත්තටම මං හුඟක් දේවල් ඉවසන් හිටියේ ඔයා නිසා. මාව හොස්පිටල් ඇඩ්මිට් කරන්න මූලිකම හේතුව තාත්තා. මං දැනන් ඉන්නත් කලින් පුතා හොයාගෙන තිබුනා කියලා දැන ගත්තම ඒ දේවල් මට ඉවස ගන්න බැරි වුනා.. මං ජොබ් එකත් අතෑරියේ පුතාව හොඳට ආදරෙන් බලා ගන්න ඕන හින්දා.. සාලිය ඉස්සර ඉඳලා මනමාලයා කියලා ස්ටාෆ් එකේ යාලුවෝ මට කියලා තිබුනට, එයා මට ආදරෙ කරයි කියලා මං විශ්වාස කලා පුතා හම්බුනාට පස්සේ හැමදේම වෙනස් වෙයි කියලා මං හිතුවා..ඒත් පුතාට ඉස්කෝලේ යන්නත් බැරි තැනට එයා වැඩ සිද්ධ කරලා තිබුනා කියන්න මං දැන ගන්න කොට පහු වෙලා.. මං ගෙදර ඔප්පුව ඔයාගේ නමට හරවලා සම්පත් බැංකුවේ සේප්පුවක දැම්මා ඊයේ. සමහරවිට මං ඉක්මනින් යන්න යාවී.. තව මට ඉවසන්න බැහැ පුතේ.. මං ඉල්ලන්නේ මෙච්චරයි. තාත්තා වගේ හැදෙන්න එපා.. තමන්ගේ ගෑනිට ආදරේ කරන්න..

දින පොත 2
Page 79

මං ටිකට් කපන් ආවේ බලෙන්. ප්‍රෙෂර් වැඩි කියලා දොස්තර කිව්වට මට හිතුනා ගෙදර ඇවිත් මගේ පුතාව තුරුලු කරන් නිදා ගන්න.. ඒත් පුතා පාඩම් කරන්න සමන් පුතාලගේ ගෙදර  ගිහින් තිබුනා.
මං හවස ප්‍රේෂර් බලන්න තනියෙන් ත්‍රීවිල් එකක හංදියේ දොස්තර ළඟට ගියා.. බෙහෙත් බීලා හැමදාම පුලුවන් නම් ප්‍රෙෂර් බලා ගන්න කිව්වා.  ප්‍රෙෂර් වැඩි නිසා...

දින පොත 2
Page - 80

අම්මා ගෙදර ආවා. කාර් එක කෝ කියලා ඇහුවා සාලියගෙන්, සාලිය හරි උත්තරයක් දුන් නෑ.. මගේ කාර් එක ගැන අනික් අයට තියන වුවමනාව මොකද්ද කියලා සාලිය කෑ ගැහුවා. මං අම්මට කිව්වට කතාවට යන්න එපා කියලා අම්ම ඇහුවේ නැහැ. සමහර විට අර ගෑනිටම වියදම් කරලා කාර් එක විකුණන්න වුනා ඇති සාලියට. මං හෙව්වේ නැහැ ඒවා...

පුතා ගෙදර නැති එක හොඳයි කියලා මට හිතුනා. සාලිය බීලා ඇවිත් මට වද දුන්නා එදත්.

දින පොත 2
Page - 83

මං මහ ගෙදර ගියා. අම්මත් කලේ බනින එක. මට ජීවිතයම එපා වෙලා. ගෙදර ගිහින් නිදහසේ ඉන්න බැරි වුනා.. මං පන්සලට ගියා. මට මතක් වුනා සාලිය එක්ක පන්සල් ආපු දවස්..

දින පොත 2
Page - 86

පුතා ගෙදර එද්දි සාලිය හිටියේ නැහැ. පුතා පාඩම් කරන නිසා මං මුකුත් කිව්වේ නැහැ. මං කිව්වට නිදා ගන්නකොට මගේ ළඟට එන්න කියලා පුතාට ඒක විහිළුවක් වුනා..

දින පොත 2
Page - 95

එග්සෑම්  පටන් ගත්ත ළඟ නිසා මං පන්සලේම හිටියේ. උදේ හවස බෝධී පුජා තිබ්බා. මගේ හිතත් සැහැල්ලු වුනා..
සීතාදේවි උපාසිකාව හම්බුනේ එහෙම. එයා කිව්වා මාව ආරාමෙට එක්ක යන්නම් කියලා.

දින පොත 2
Day - 99 

එග්සෑම් පටන් ගත්තා. පුතා සතුටින් හිටියා, සාලිය ගෙදර ආවේ නැහැ මාස දෙකකින්. මං හෙව්වෙත් නැහැ.

දින පොත 2
Page - 109

එග්සෑම් ඉවරයි කියලා පුතා ට්‍රිප් එකක් ගියා. දවස් හතරක.
මං ආරමෙට ගියා.
හැමදේම හොඳින් සිද්ධ වුනා.. සල්ලිත් ටික ටික මගේ පොතේ ඉවර වෙවි තිබුනේ. මං මල්ලිට කිව්වම පනස්දාහක් එයැයි දාලා තිබ්බා.

දින පොත 2
Page - 115

මට භාවනා කරලා සිත සන්සුන්ව තියා ගන්න පුලුවන් වුනා.
ගෙදර ආවා උදේ. රෑ පුතා ආවා.
මං බත් කැව්වා කාලෙකට පස්සේ පුතාට අදත් පුතාට පුලුවන් නම් නිදා ගන්න එන්න කිව්වා මාත් එක්ක. අදත් පුතා හිනා වුනා.මං කිව්වා උඹ ලොකු වුනාට තාම මට පොඩි තමයි කියලා.

.................................................................

අම්මා....!!
අනේ මගේ අම්මා...!!!
අහිංසක අම්මා, ජීවිතයේ දුක විඳපු සතුට හෙව්වේ මගෙන්. මටවත් ඒ සතුට දෙන්න බැරි වුනා. ආයේ අම්මාගේ තුරුලේ කවදාවත් හම්බෙන්නේ නෑ නේද.
දෙවියනේ මට පව්...
අහිංසක මගෙ අම්මා.. දුක හමාර කරලා ගියා..... ආයේ මේ වගේ දුකක් අම්මට මොන භවෙකදිවත් වෙන්න එපා.... අම්මේ මට තනි.... හැමදාම තුරුලුවෙලා ඉන්න ඉක්මන්ට මං එන්නම්.....


Comments

  1. හරියට දුක හිතුන, හදවතටම දැනුන. ලස්සනයි

    ReplyDelete

Post a Comment