දෛවය



මං සන්තෝශ උනේ තේජාන් මගේ ජිවිතයට වැඩිය මුල්ම දින වල. දැන් නම් ස්වයං රැවටිල්ලකටවත් කිසිසේත්ම සන්තෝශ වෙන්න හේතුවක් මතකයෙන් අරන් පැලැස්තර අලවලාවත් ඔබට පෙන්න හොයා ගන්න නැහැ. දුකම පමණයි මගේ හදවතේ කැකැරෙන්නේ.
මටත් කියලා සුන්දර ආදරයක් තිවුනා. ඒ ආදරය බිඳ වැටුනේ විසල්ගේ පියතුමා මට අකමැති වුන නිසා.
විසල්... ඒ ආදරයත් මහ විසාලයි.
මගේ හිත උමතු වෙලා තිබුනේ ඒ විසල් ප්‍රේමය උකහා ගන්න බැරිව. විසල්ගේ ආදරය එක්ක තේජාන් කොහේ මට්ටු වෙන්නද. ඒ ආදරය හරිම උත්කෘෂ්ටයි. ඒ ආදරය වැලඳන් ආපු විසල්ගේ විසේකාර තාරුණ්‍ය මාව ඔත්පල කරලා තිවුනේ. ඒ හැඟීම මනසේ අකුණු කොටනවා වගේ ක්ෂණයෙන් මතක මගේ හදවතේ රඟන කොට. ඒ උණුහුම් හැඟීම් එක්ක මට ජිවිත කාලෙම විඳින්න හැකියාවක් තිවුනා. අදටත් මං මගේ විසේකාර හැඟීම් එක්ක ඔට්ටු වෙන්න තේජාන්ට නොහැකි වුනාම විසල්ව මතක ගබඩාවෙන් එලියට අරන් මං තේජාන් එක්ක තරඟ කරවනවා. ඒත් කවදාවත් තේජාන් නම් දිනන් නෑ. නිතරඟයෙන්ම විසල් ජයග්‍රහනය කරනවා. මං තේජාන්ට හිනා වෙනවා. 
තේජාන්..
එයා හරිම රළු පිරිමියෙක්. කවදාවත් ආදරණීය වෙන්න එයාට හැකි උනේ නෑ.

මගේ වයස විසි පහ පහු වෙන්න ගන්නකොට මගේ අම්මට කෙසේ වෙතත් නෑ පරපුර ට නම් මාව විවාහයක් කරවලා ගෙදරින් පිටමං කරන්න හරිම අවශ්‍යතාවක් තිබුනේ. ලොකු අම්මා අපේ නිවසට ගොඩ උනාම "ලොකු දූට තවම කිසි දෙයක් හරි ගියේ නෑ නේද" කියන පුනරාවර්ථි කියමන දිගහැර සුසුම් වරුසාවක් වස්සන්න ලෙඩක් තිවුනා.
එහෙම ඇහුවේ නැත්තම් එයාට ගෙදර ගියහම නින්ද යන් නෑ වගේ.
"හ්ම්..! කිසි දෙයක් හරි ගියේ නැහැනේ."
කියලා පුනරාවර්ථි දෙඩවිල්ලකට අපේ අම්මාත් ඒ කලේ හුරු වෙලා හිටියේ.

කොහොමත් මට මගේ ආදරය නැති උනට පස්සෙ විවාහයක් ගැන අදහසක් තිබුනේ නැති තරම්. අධ්‍යාපන කටයුතු වලට පමණයි වැඩි අවධානයක් තිබුනේ.
එම්. බී.ඒ. එකත් ඉවර කරේ ඉක්මනට වෘත්තීය ජිවිතය ජය ගන්න.. උසස්වීම් වලට යන්න මිසක් ජීවිතය ගැන වෙන සිහින කිසි දෙයක් තිබුනේ නැහැ.

තේජාන් ගේ යෝජනාව අපේ නිවසට රැගෙන ආවේ ලොකු අම්මාමයි.
එයාට ආනයන අපනයනය ව්‍යාපාර සමඟ ව්‍යාපාර කිහිපයක්ම තිබුනා. මං එම්. බී. ඒ. එකත් කරලා කිව්වම එයා එක පයින් කැමති වෙලා. එයාගේ ව්‍යාපාර දියුණු කරන්න හොඳ මස්තිෂ්ක යක් මිසක් එයා හොයලා තිබුනේ බිරිඳක් නෙවෙයි කියලා මට අරුත් ගැන්වුනේ විවාහ දිවියේ මුල් අවදියමයි.

කොහොම හරි ඉක්මනින් සිදු වුන මගේ මංගල්‍යයට හරියට මධුසමයක් වත් තිබුනේ නැහැ.
විසල් නම් ඒ කාලේ කිව්වේ අපි මාසයක්වත් මධුසමය ගත කරමු කියලා. ඒ මධුසමයට ප්‍රංශය, නුවරඑළිය, ටජ් මහල් එහෙම අයිති වෙලා තිබුනේ.
ෆ්‍රාන්ස් ගිහින්, අයිෆල් කුලුන අබියස ප්‍රංශ හාදුවක් දෙන්න අපි ඇඟිලි ගැන ගැන හිටියේ. ලංකාවේ ප්‍රසිද්ධියේ හාදු දෙන්න වරම් නෑනේ.. මං කිව්වේ ලැජ්ජයි කියලා හැමෝම ඉදිරිපිට හාදු දෙන්න.. ඒත් විසල් කිව්වේ, එහේ හැමෝම තුරුලු වෙලා ප්‍රංශ හාදු දෙනකොට මටත් නිකම්ම හාදු වැස්සක් ඕන වෙයි කියලා.. 
"සුවි, ඔයා හිතන්නේ මෙහෙ වගේ මානසික රෝගීන් ඉන්නවා කියලද ප්‍රංශේ.. එහේ ප්‍රංශ හාදු ප්‍රසිද්ධියේ දුන්නා කියලා මිනිස්සුන්ට ලෝක පුදුමයක් වෙන්නේ නෑ.. එහේ මිනිස්සු හොඳ ලිංගික අධ්‍යාපනයක් ලබලා තියනවා."

මං පත්තර වල කියවලා තිබුනා මානසික රෝගීන් ඉන්නවා කියලා, කොල්ලා කෙල්ලෝ ප්‍රේම කරන දිහා බලන් ඉන්න.. අපිට මල් උයන් ගානේ, මුහුදු වෙරලට වලට යන්න උවමනා වුනේ නෑ. විසල් ආවේ හැමදාම එයාගේ කාර් එකෙන්.ඒක මිට්සුබිෂි ලාන්සර් එකක්.අපි සැප පහසුවට ඒ.සී. එකත් ඔන් කරගෙන තුරුල් වෙලා හිටියා..
නුවරඑළියේ ගිහින් සීතලේ නිරුවතින් තුරුල් වෙලා ආදරේ කරන්න අපි හීන මැව්වේ. ඉතිං විසල් මාව අත්හැරලා ගියාට පස්සේ ඒ හීනත් නැති උන එකේ මධුසමයක් නැති මගේ උත්කර්ෂවත් මංගල්‍යය ගැන කිසිඳු විස්සොපයක් මගේ හිත් පතුලේ කොනකවත් තිබුනේ නැහැ.

අවසානයේ මම සුන්දර බිරිඳක් වෙලා කොලඹ පිහිටි, එකට පස්සෙ බිංදු අටක වටිනාකමක් තියන සුපිරි බද්ධ නිවාසයක වාසයට පැමිනියා.
තේජාන් කිව්වේ ඉක්මනට එයාගේ ටෙක්ස්ටයිල් කම්පැනි එකේ ජෙනරල් මැනෙජර් වෙන්න කියලා. මං වෘත්තීය ජීවිතය සමඟ පවුල් ජීවිතය පැටලුමක් කරගන්න කැමති වුනේ නැහැ. 
ඒත් විවාහ වෙලා දින කිහිපයක් ගත වෙද්දිම තේජාන් කුංචනාද කරන්න ගත්තේ එයාගේ බිස්නස් දියුනුකරන මිසක් අනුන්ගේ බිස්නස් දියුනු කරන ගැණියෙක් ඕන් නෑ කියලා. කුංචනාදය, උඩු බුරලීමක් වෙන්න වැඩි කල් ගත වුනේ නැහැ.. මට ඉවසා දරා ගත නොහැකිව මං අස්වීම් ලිපිය බාර දීලා මගේ ස්වාමිපුරුෂයාගේ වැඩ කටයුතු වලට හවුල් වෙන්න ගත්තා.

නිවසේදිත් පුරුශාධිපත්‍යයේ දද කෙහෙලි නැංවුනා වගේම වෘත්තීයමය ජීවිතයත් මගේ ස්වාමිපුරුෂයාගේ ආධිපත්‍යයට නතුවුනා.. ඒ ආධිපත්‍යය මං ඉවසුවත්, මං කවදාවත් ඉවසන්න කැමති වුන දෙයක් නෙවෙයි මගේ ඉගෙනීම, මගේ හැකියාව, අවතක්සේරු  කරනවට. 
නමුත් සමහර වෙලාවට ඔහුගේ කිනිසි පහරවල් වැනි වදන් මගේ හද පසාරු කරගෙන කිඳාබැස්සේ මගේ හැකියාව, ඉගෙනීම ඔහු අවතක්සේරු කරන විට,
මම අතිශය අපහසුවෙන් මගේ තරහා ඉවසා දරාගෙන මුකුත් නොකියා හිනාවීගෙන හිටිය වාර අනන්ත ප්‍රමානයක් වුනා.
මගේ ස්ත්‍රීවාදී චින්තනය යටපත්ව දර්ශීය කාන්තා නිරූපණයක් රඟ දැක්වුවා වුනත් ඔහුගේ වාග් ප්‍රහාර වලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම් හදවතට පමණක් සීමා වුනා. සිහින් කෙඳිරිලි හදවතෙන් පැන නගින කොට මං කලේ හදවතට අණ කරපු එක.. ඒත් මං දැන හිටියා ඉවසීමේත් සීමාවක් තියන විත්තිය.

නිදි යහනේ නම් යුග පුරුෂයා වුනේ ඔහු. කිසිඳු තෙතක් නැතිව ඔහුගෙ චුම්බනයන් මට හිරිකිත වෙන්න ගත්තේ වෘත්තීය ජීවිතයේ මහන්සි වෙලා ආවත් නිවසේදිවත් ඔහුගෙන් දිගටම හිරිහැරවෙන්න ගන්න කොට.. 
වේග රිද්ම සංගීතයට මං අකමැති බව දැන සිටියත් ඔහු දිගටම වැයුවේ වේග රිද්ම.. මං අකමැතිම දේවල් එකිනෙක සිද්ධ වෙනකොට මගේ හීන බොඳ වෙලා තිබුනේ.

ඔහු කාර්‍යාලයට ආවේ කලාතුරකින් වුනත් ඒ හැම වෙලේම මං හරි හරියට අනවශ්‍ය දේවල් වලටත් කාර්‍යාලයේදී සේවකයන් ඉදිරිපිටම තේජාන්ගෙන බැනුම් ඇහුවා. හරියට ලිපි ගොනු මගේ ඉදිරිපිටම පියාඹන්න ගත්තා, තේජාන්ගේ අණින්. මගේ ජීවිතය අවුල් ජාලයක් වුනා. මං කිව්වා මං සේවයෙන් ඉවත් වෙන බව. එහෙනම් නිවසේ නතර විය යුතු බව අණ කරමින් කුංචනාද කලා. 
ඔය අතරෙදී තේජාන් අලුත් ව්‍යාපාර වගයකට බැංකොක් යන්න සූදානම් වුනේ.. මට නිම්හිම් නැහි සතුටක් ආවා. ඔහු නිවසට එන දින ගනන අඩු වෙන්න ගත්තා.

ඒ වගේම දෛවයේ සරදමකටද කියන්න නොතේරුනත්, පුපුරා ගිය හර්ද භූමියට දිය පොදක පහසක් ලැබෙන්න ගත්තා. ඒ මට විසල්ව අහම්බෙන් මුන ගැහුන නිසා. සුපර් මාකර්ට් එකෙදී.. ඔහුව අවසානයට හමු වෙලා ඒ වන විට වසර තුනකටත් වඩා ගෙවිලා තිබුනා.
ලාපාට කුර්තා කමිසයට දුඹුරු පාට කලිසමක් හැඳ ඔහු දුටුවෙන් මගේ හද කුණාටුවකට හසු උනාක් මෙන් වියවුල් වුවත් විසල් මා අබියස පැමිණ කිසිඳු චකිතයක් නොමැතිව කථාකරන්න ගත්තා.. ජලයෙන් ගොඩ දැමු මාළුවෙක් මෙන් මගේ සිරුර දඟලන්න පටන් ගත්තා. සිහිනයක් ද සැබෑවක්ද කියලා තේරුම් ගන්නවත් නොහැකි වුනා. මගේ අතේ තිබුන එලවලු ටික විසල් තම අතට ගෙන මගේ අතින් අල්ලන් එයාගේ කාරයට එක්ක ගියේ යන්තම් හිනා වෙවි.
මට හිරකරගෙන ඉන්න පුලුවන් කමක් තිබුනේ නෑ. මට උවමනා වුනේ ඔහුගේ නොනිමෙන පිරිමි පහස.. ඒ මං  ලෝභ වුන ආදරය. තේජාන්ගේ ලෝකයක් ගැන මට මතකයේ තිබුනේ නැහැ. 

ඔහු ගියේ මුහුදු වෙරලට. කාරය නවතා ඔහු මගේ වත දෙස බලා සිටියා.. තත්පර කිහිපයක්.. හිත සසුන් ගත කරන්නට මට හැකියාවක් තිබුනේ නෑ. නෛතික බැඳීමට පමණක් සීමා වුන විවාහය ගැනවත් නිනව්වක් නැති වුන මම විසල්ගේ ප්‍රේමය අයදින්න පටන් ගත්තා..
"සුවි,මට කියන්න ඔයාට මාව ඕනද කියලා. මං දන්නවා ඔයා සතුටෙන් නොවන වග."
ඔහු ඇසුවේ එපමණයි.
ප්‍රේමය දෙවන වතාවට මාව සොයාගෙන පැමිණ වුවත් හිර වෙලා උන්නු මට ප්‍රේමයක් හිමිකමක් තියේවිද...


Comments

  1. මේකනම් මරු.සමහර උපමා උපමේයන් ඉස්තරම්
    //කිසිඳු තෙතක් නැතිව ඔහුගෙ චුම්බනයන් මට හිරිකිත වෙන්න ගත්තේ වෘත්තීය ජීවිතයේ මහන්සි වෙලා ආවත් නිවසේදිවත් ඔහුගෙන් දිගටම හිරිහැරවෙන්න ගන්න කොට.. //
    //අදටත් මං මගේ විසේකාර හැඟීම් එක්ක ඔට්ටු වෙන්න තේජාන්ට නොහැකි වුනාම විසල්ව මතක ගබඩාවෙන් එලියට අරන් මං තේජාන් එක්ක තරඟ කරවනවා. ඒත් කවදාවත් තේජාන් නම් දිනන් නෑ. නිතරඟයෙන්ම විසල් ජයග්‍රහනය කරනවා. මං තේජාන්ට හිනා වෙනවා. //
    //වේග රිද්ම සංගීතයට මං අකමැති බව දැන සිටියත් ඔහු දිගටම වැයුවේ වේග රිද්ම.. මං අකමැතිම දේවල් එකිනෙක සිද්ධ වෙනකොට මගේ හීන බොඳ වෙලා තිබුනේ.//

    කෝම උනත් මේකෙ අන්තිම ටික ටිකක් වෙනස් වුණානම් හොදයි කියලත් හිතෙනවා.කොහොම උනත් මරූ ඈ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රස්තියාදුකාරයා අදහසට....

      Delete

Post a Comment

Popular Posts