ඩොලර් සියය 01



මං අශ්වයා ගාල් කලේ මගේ ස්තාලේ මට උවමනා විදියට.. ස්තාලේ එක අශ්වයෙක් විතරක්ම හිටියට හැමදාම මං ඒ අශ්වයට හොරෙන් වෙන අශ්වයෝ කැන්දන් ඇවිත් ගාල් කරනවා. ඒත් ඒ හැමදේම වෙන්නේ මගේ හිතින්.. හිතින් කරන දේවල් වලට සීමා මායිම් නැහැ. මං හුඟක්ම ආස වුනේ ඒකට. සීමා මායිම් නැති ජීවිතයකට. 

"ඔයා ලිමිට් එක දන් නෑ ගෝමේද "


කිව්වම මං ප්‍රති උත්තර බැන්දේ, 


"ඔයා පෙන්නන්න මගේ ලිමිට් එක" කියලා

සීමාව අභෞතිකයි.ඉතින් සීමාව සාපේක්ෂව පවතිනවා.. කාටවත් වරදක් කියලා ඇඟිල්ල දික් කරන්න බැහැ "ඔයා වැරදි ! ඔයා සීමාව පැන්නුවා" කියලා. ඒ කියන්නේ ඒක මේන් මේක කියලා පෙන්නන්න පුලුවන් දෙයක් නෙවේනේ.. ඉතින් රේණුට වුනත් අයිතිවාසිකමක් තියේද ගෝමේදට වරදක් කියන්න. රේණු නෙවේ සඳරේණු කෙල්ලගෙ ඇත්ත නම. පහසුවට මම කිව්වේ රේණු කියලා.


ගෝමේදට තමන්වත් අයිති නෑ කියලා පලවෙනි වතාවට දැනුනේ පලවෙනි ප්‍රේමය ඉවර වුනාට පස්සේ ඒ අහිංසකී වගේ හිටපු කෙල්ල ගෝමේදව දාලා සල්ලි තියන මොන්ටාරෝ කුරුල්ලෙක් එක්ක පැනලා ගිහිපු දවසේ.. ඒ සියදිවි නසා ගන්න දුම්‍රියට බෙල්ල තියන්න ගිහින් එතන හිටපු කොහොදෝ යන මනුස්සයෙක් මනුස්සකමට කියලා ගෝමේදව බේරගෙන පොලීසියට බාර දීපු නිසා..

මොන්ටාරෝ කුරුල්ලා මහ සල්ලි කාර සිංහයෙක්.. ඒ කාලේ ගෝමේදට සල්ලි තිබුනේ නැහැ.. රටකජු ගොට්ටක් ඇරෙන්න ඒ ප්‍රථම ප්‍රේමයේ දේවතාවියට කිසි දෙයක් අරන් දෙන්න වත්කමක් තිබුන් නෑ.. ඒ ප්‍රේමයේ රෝමන්තික බව තිබුනේ රටකජු කකා පයින් හැතැක්ම ගණන් ඇවිදන් යන එකේ කියලා ගෝම්ද විශ්වාස කලා.. කොහොම හරි ඒ කෙල්ලට ඒකේ රොමැන්ටික් ගතියක් නැතුව මොන්ටාරෝ කුරුල්ලා එක්ක පැනලා ගියාට පස්සේ ගෝමේදව අයිති වුනේ එක එක අයට.. 
මුලින්ම ගෝමෙදව බේර ගත්ත කොහෙදෝ යන මනුස්සයට.. ඉන් පස්සේ  පොලීසියට.. ඉන් පස්සේ යාලුමිත්‍රයෝ ටිකට.. යාලුවෝ ඒ දවස් වල බෝඩිමට  ආවේ එක එක වර්ගයේ බෝතල් අරන්.. ඒවා රහ බල බල ගෝමේද ජීවිතය ගෙව්වා... 


ටික කාලෙකට පස්සේ හම්බුනේ ලස්සන කෙල්ලෙක්... ඒකී කලින් වගේ අහිංසක  කෙල්ලෙක් නෙවේ..  ඒකිට ඕන වුනේ අම්මට තාත්තට හොඳට සලකන්න... කොහොම වුනත් ඒ දෙවැනි කෙල්ල නොම්බර දෙක, ගෝමේදව වෙනස් කලා.. ජිවීතේ බිබී නාස්ති වෙවී හිටපු ගෝමේද මනුස්සයෙක් කරලා ගත්තේ ඒ නොම්බර දෙක කෙල්ල.. ඒකීට ඒ නිසා ගෝමේද හුඟක් ආදරේ කලා.. ඒත් ඒක ඉවර වුනේ ඒ කෙල්ලගේ හීන ගෝමේද අදාල කර ගන්න අකමැති උන හන්දා... නොම්බර දෙක කිසිම බයක් නැතිව ඉස්සරහටම ගියා.. තමන්ගේ අම්මාට සැප පහසුකම් සලසන්න ගුවන් සේවිකාවක් වුනේ ගෝමේදගේ අකමැත්ත මැද්දේ.. හැම කෙල්ලටම ඕනා සල්ලි කියන දේ නොම්බර දෙකෙන් පස්සේ ගෝමේද තේරුම් ගත්තා.. ඒත් ඒ කෙල්ලො දෙන්නා සල්ලි හොයපු විදිය වෙනස්.. නොම්බර එක මොන්ටාරෝ කුරුල්ලගේ සල්ලි වලට කෑදර වුනේ.. නොම්බර දෙක තමන්ම සල්ලි හොයනවා කියලා තනියම තමන්ගේ මහන්සියෙන් සල්ලි උපයන්න ගත්තා.... ඒකත් ඉවර වෙලා හම්බුනේ රේණුව.. එයා නොම්බර තුන කියන්න බැහැ. මොකද ඒ අතර තිබ්බ සංක්‍රාන්ති අවධියේ හුඟක් ගැහැණු හිටියා. ගෝමේදට ඒ නම්වත් මතක නැති...


දැන් මගේ ළඟ උන්නු අශ්වයා ගැන කියනවා නම්, ඌ දුඹුරු පාට එකෙක්.. මං ආස උනේ සුදු පාට එකෙක්ට උනත්... ඒත් කඩා හැලෙන් ඝන කාල වර්ණ වරලසක් තියන....  අපි හැමෝම පොත්ත සුදුවට හෙව්වත් සුදු කෙස් තියනවට නම් කැමති නැහැ.. ඒක පීනස් හැදිලා හරි සුදු වෙල තිබුනොත් එපාවෙනවා.. මගේ ආසාව මොනවා උනත් බඹා කෙටුව හැටියට හොයාගෙන තිබුනේ දුඹුරු අශ්වයෙක්ව.. ඌ උනත් මට හීලෑ වුනේ නැහැ. සමහරවිට අයිතිවාසිකම නුදුන්න නිසා වෙන්න ඇති. ඒත් ලස්සනට විවිධ රිද්ම වලට හේෂාවර කරන්න ඒ අශ්වයා දැනගෙන හිටියා... මගේ කැමැත්ත වේග රිද්ම හේෂාවරයක්ද, ස්ලෝ මෝෂන් හේෂාවරයක්ද කියන්න හැකියාවක් ඒ දුඹුරු අශ්වයට තිබුනා.

ඒ වුනාට මං සීමා මායිම් නැති ජීවිත ගැන
හොයනකොට අශ්වයා ස්තාලේ කඩාගෙන ගිහින් තිබුනා... සමහරවිට අශ්වයාත් හොයන්න ඇත්තේ අසීමාන්තික නිදහස.. ඒක හරිම වේගවත්.. හේෂාවරයක්වත් ඇහුනේ නෑ... හරිම නිස්කලංකව පරිසරය තියලා අශ්වයා කඩාගෙන ගිහින්... 



Comments

  1. අනේ අරු. මේකෙ මුල දකිනකොට මං හිතුවෙ රුසියන් කතාවක් කියල. ඒ කතා වලනෙ වැඩිපුර අශ්වයො, අශ්ව ස්තාල එහෙම තියෙන්නෙ.

    හරිම අපූරුයි.
    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉෂානි.. කාලෙකින් මේ පැත්තේ ආවේ...

      Delete
  2. හොඳ කතාවක ආරම්භයක් වගෙයි.. කියවන්න බලාගෙන ඉන්නවා

    ReplyDelete
    Replies
    1. කතා පටන් ගත්තට ඉවර කරලා නෑනේ මං.. ඔක්කොම බාගෙට...ඒත් මේ කතාව නම් ඉක්මනින් ඉවර වෙයි..

      Delete
  3. කොටස් කොටස් නැතුව එකෙන්ම ලියන්න.අපි කියවන්ඩ බලාගෙන ඉන්නේ .

    ReplyDelete
    Replies
    1. කලින් කොටස් කතාත් ඉවර නැතුව ආයේ එකක් පටන් අරන් නේද. හී හී.. මං මේ කතාව ඉවර කරලමයි පෝස්ට් කලේ එක කොටසක්.. අනික් කොටස හෙට වගේ දාන්නම්කෝ.. ස්තූතියි

      Delete

Post a Comment

Popular Posts